Friday, November 28, 2014

අගේ ඇති කතාවක්....

හොඳින් උගත් තරුණයෙක් විශාල සමාගමක කළමනාකාර තනතුරකට අයදුම් කළේය. පළමු සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් වූ ඔහුට, අවසාන සම්මුඛ පරීක්‍ෂණය යෙදී තිබුණේ සමාගමේ අධ්‍යක්‍ෂවරයා සමගය. තරුණයාගේ විස්තර සටහන (CV) බැලූ අධ්‍යක්‍ෂවරයා, මොහු අධ්‍යාපනයෙන් විශිෂ්ට  දක්‍ෂතා පෙන්වා ඇති අයෙකු බව පසක් කරගත්තේය.

‘‘ඔබට පාසලෙන් මොනව හරි ශිෂ්‍යත්වයක් එහෙම ලැබුණ ද?’’ අධ්‍යක්‍ෂවරයා විමසීය.

‘‘නැහැ’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘එතකොට ඉගෙන ගන්න වියහියදම් කළේ අම්ම තාත්ත වෙන්නැති නේද ?’’ අධ්‍යක්‍ෂවරයා යළිත් ඇසීය.

‘‘ඔව්. මගේ අම්ම තමා වියදම් කළේ. මගේ තාත්තා මට අවුරුද්දක විතර වයසෙදි නැති වුණා’’ තරුණයා පිළිතුරු දුන්නේ ය.

‘‘ඔබේ අම්ම කොහෙද වැඩ කරන්නෙ?’’ අධ්‍යක්‍ෂවරයා ඇසීය.

‘‘මගේ අම්ම රස්සාව විදිහට කරන්නෙ කුලියට ඇඳුම් හෝදන එක.’’ තරුණයා පිළිතුරු දුන්නේය.

මඳක් කල්පනා කළ අධ්‍යක්‍ෂවරයා, තම දෑත පෙන්වන ලෙස තරුණයාට පැවසුවේය.

තරුණයා වහා අත්ල උඩු අතට හරවා
තම දෑත අධ්‍යක්‍ෂරවයාට පෙන්නුවේය.

‘‘ඔබ මීට කලින් අම්මට රෙදි හෝදන්න එහෙම උදව් කරලා තියෙනව ද?’’

‘‘උදව් කරලා නම් නෑ. මොකද.. අම්මට  ඕන වුනේ නිතරම මම පොතේපතේ වැඩක් කරනවා දකින්න. අනෙක මට වැඩිය වේගෙන් අම්මට රෙදි හෝදන්න පුළුවන්’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘මම අද ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. අද ගෙදර ගියාම අම්මගේ අත්දෙක හොඳට හෝදන්න. හෝදලා හෙට උදේ ඇවිත් මාව හම්බවෙන්න’’

අධ්‍යක්‍ෂවරයාට සමු දී, තරුණයා තම නිවසට ගියේය. මවට කතා කළේය. ඇගේ දෑත් සේදීමට තමාට අවශ්‍ය බව මවට පැවසුවේය. ඇයට මෙය මහත් කුතුහලය ගෙන දෙන්නක් විය. කුතුහලය සමග සියුම් සතුටක් ද ඇගේ හදවතට දැනුණි. අවසන ඇය තම පුතුට සේදීම සඳහා දෑත දිගු කළේය. 

තරුණයා තම මවගේ දෑත් සෙමින් පිරිමදිමින් සේදුවේය. ඔහුගේ දෑසට කඳුළු ඉනුවේය. තමාගේ සුමුදු දෑත් මෙන් නොව මවගේ දෑත් ගොරෝසුය. රැළි වැටී ඇත. අත්ලේ තැන් කිහිපයකම සම පළුදු වීම නිසා හටගත් කුඩා තුවාලය. එලෙස සම පළුදු වූ තැන් පිරිමදින විට මවගේ ඇඟ වෙව්ළුම් කනු ඔහුට පෙනුණි. මේසා කලක් තමාට සිප්සතර හැදෑරීමට වියපැහැදම් කළේ මේ දෑතය.

මවගේ දෑත් සේදූ තරුණයා, ඉන්පසුව සේදීම සඳහා නිවසට ගෙනවිත් තිබූ රෙදි සියල්ල සේදීමට
මවට උදව් කළේය. ඔහුට මහත් වෙහෙසක් දැනුණුමුත් සතුට මුසු පෙර නොවූ විරූ හැඟීමකින් එය යටපත්ව ගියේය. තම මව මෙතෙක් කලක් මෙම වෙහෙස තනිවම විඳදරා ගන්නට ඇත. පෙර කිසිදිනක ඇති නොවුණු ආකාරයේ සෙනෙහබර හැගීමක් ඔහුට තම මව ගැන ඇති වුණි.

ගිවිස ගත් පරිදිම, පසුදා උදෑසන තරුණයා අධ්‍යක්‍ෂවරයා හමු වීමට ගියේය.

‘‘ඊයේ මං කිව්ව දේ ඔබ කරන්න ඇතිනෙ’’ අධ්‍යක්‍ෂවරයා තරුණයාගෙන් විමසීය.

‘‘ඔව්. ඔබතුමා කිව්ව විදිහටම මං අම්මගේ අත් දෙකම ඊයේ හේදුවා. ඒ විතරක් නෙමෙයි හෝදන්න ගෙනල්ල තිබිච්ච රෙදි ටිකත් ඔක්කොම හෝදන්න අම්මට උදව් කළා’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘ඉතින් ඔබට දැනුණු හැගීම් මොනව ද? ඒකෙන් ඉගෙන ගත්ත දෙයක් එහෙම තියෙනව ද ?’’ අධ්‍යක්‍ෂවරයා ඇසීය.

‘‘ඊයේ දවස මගේ ජීවිතයේ ගෙවපු හොඳම දවසක්. මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
 
01වෙනි එක තමයි යමෙකුගේ සේවය කොතරම් වටිනව ද කියන එක. ඒ වගේම ඒ සේවය අගය කිරීමේ තියෙන වැදගත්කමත් මම ඊයේ තේරුම් ගත්තා. ඇත්තටම.... මගේ අම්මගේ කැපකිරීම් නොවෙන්න, මම අද මේ සාර්ථකත්වය ලබන්නේ නැහැ. (Value of Appreciation)

02වෙනි කාරණය තමයි සාමූහිකව වැඩ කරන කොට ඇත්තටම වැඩ විතරක් නෙමෙයි අපි බෙදාගන්නෙ, අපේ හැඟීම් සමුදායත් අපි එකිනෙකා අතර බෙදා ගන්නවා කියන එක. සාමූහිකත්වය වැඩකටයුතු කරන්න පහසුවක් ගෙනදෙනවා විතරක් නෙමෙයි අපට මානසික සතුටකුත් ගෙනදෙනවා කියන එක. අනික... වැඩ කරන එක කොච්චර වෙහෙසකර දෙයක් ද කියන එකත් මම ඊයේ හොඳට තේරුම් ගත්තා. (Value of Teamwork)
03වෙනි කාරණය තමයි පවුලක එකිනෙකා අතර තියෙන්න ඕන බැඳීම කොච්චර වටිනව ද කියන එක’’ තරුණයා පැහැදිළි කළේය. (Value of Relationships)

අධ්‍යක්‍ෂවරයා සිය හඬ අවදි කළේය.

‘‘මගේ ආයතනයේ කළමනාකාර තනතුරට මට අවශ්‍ය කළේ ආයතනයේ තව කෙනෙක් කරන වැඩ කොටස අගය කරන්න දන්න, මිනිසුන්ගේ හදගැස්ම හඳුනන මනුස්සයෙක්. වැඩක් කරන කොට විඳින්න වෙන දුෂ්කරතා සහ අපහසුතා ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක්. අනික තමයි.... මුදල් තමන්ගේ ජීවිතේ එකම ඉලක්කය කර නොගත්ත සහ තමන්ගේ පවුලට ආදරේ කරන මනුස්සයෙක්. මොකද... තමන්ට, තම පවුලට ආදරේ කරන්නෙ නැති මනුස්සයා කවදාවත් තමන්ගෙ ආයතනයට, තමන් සමග වැඩ කරන සේවකයන්ට ආදරේ කරයි කියලා හිතන්න බැහැ. ඔවුන්ට හොඳින් සළකන එකකුත් නැහැ. 

ඉතින්..... මම හිතනවා ඔබ තමයි අපේ ආයතනයට සුදුසුම කෙනා. හෙට ඉඳන් වැඩට එන්න. හොඳට වැඩ කරන්න.
ඔබ සුභපැතුම්!’’ තරුණයාට අතට අත දෙමින් අධ්‍යක්‍ෂවරයා සිය කරුණු දැක්වීම අවසන් කළේය.

තරුණ කළමනාකාරවරයා දැඩි කැපවීමෙන් වැඩ කළේය. නොබෝ දිනකින්ම ඔහු කාර්යමණ්ඩලයේ සිත ද දිනාගත්තේය. පෙර මෙන් නොව දැන් ඕනෑම සේවකයෙකුට තමන්ගේ ගැටලූ ඍජුවම කළමනාකරු සමග කතා බස් කර, අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට හැකිය. සේවකයන් රැකියාව අතහැරයාම ද සැළකියයුතු ලෙස අඩු වුණි. මෙලෙස සියලූ දෙනාගේ සාමූහික කැපවීම මත ආයතනය දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් ද අත්කර ගත්තේය. 

 ***
පසුවදන

සැබවින්ම මිනිසෙකුගේ වටිනාකම ගොඩනැගෙන්නේ හදවත (Heart), මනස (Head) සහ ක‍්‍රියාශීලිත්වය (Hand) යන අංග තුන (3H) එක්වුණු විටය. මෙම කාරණයම අධ්‍යාපනයේ පරමාර්ථ පැහැදිළි කරමින් අපේ කාලයේ (චන්ද්‍රිකා පාලන සමයේ) පාසල් පෙළපොත්වල පෙරවදනේ, දැනුම (Knowledge), ආකල්ප (Attitudes), කුශලතා (Skills) යනුවෙන් සඳහන් කර තිබුණා ඔබට මතක ඇති. සැබවින්ම මෙකී සාධක ත‍්‍රිත්වයෙන් තොර අධ්‍යාපනයකින් රටට, සමාජයට මතු නොව පුද්ගලයාට ද ඇති වන සෙතක් නැත. යමෙකුට දැනුම සහ කුශලතා තිබුණ ද, යහපත් ආකල්ප යන සාධකය නොමැති නම් එවැනි පුද්ගලයා කෛරාටිකයකු, හොරෙකු, වංචනිකයෙකු හෝ දුර්ගුණයෙකු වනු නොඅනුමානය. 

එමනිසා දයාව, කරුණාව, ආදරය, සහකම්පනය (empathy) වැනි ගුණාංග අපේ හදවතේ තිබිය යුතුය. තාර්කිකත්වයෙන් සහ දැනුමින් (සමාජ දැනුමින් සහ විෂය දැනුමින්) අපේ මනස සන්නද්ධ විය යුතුය. කුශලතාවලින් අපේ ගත සවිමත් විය යුතුය. එවන් හදවතක්, එවන් මනසක්, එවන් ගතක් සහිත මිනිසුන්ගෙන් කිසිදා තම පවුලට, සමාජයට, මතු නොව රටට ද වැඩක් මිස අවැඩක් නම් නොවන්නේය.



Saturday, November 22, 2014

කාලය මැව් වෙනස-මෛත්‍රීපාල Vs මහින්ද













  .....................................................................................................

විටෙක ගුණ වැයූවන්...
විටෙක ගුණ ලියූවන්...
අගුණ වයන්නට...
අගුණ කියන්නට...
සැරසිච්ච හැටියක්...
හැබෑටම මහතුනි...
හැකි ද මේ හැටි කොරන්නට..
එකම වේදිකාවේ...
එකට සිටි එවුන් නෙවැ මුන්...

පිළිතුර: සරළය... සුගමය...

ඇහැකිය එලෙස කොරන්නට..
දේශපාලනේ හැටි ඔහොම නොවැ බං...
පුදුම වෙන්නට කාරි නැත...
පිල් මාරු වෙන කල සොහොයුරා වුව..
නැති ගුණත් ගුණ වෙනවා...
ඇති ගුණත් ඍණ වෙනවා....

Wednesday, November 12, 2014

මීට වැඩිය හොඳයි පුකට ටයර් දෙකක් හයි කරගත්ත නම් !

මේ දවස්වල කොළඹට හිටු කියලා වැස්සය. කුණු කාණු පිටාර ගලන, පාරවල් යටවෙන වැසි මිසක් මොර සූරන වැසි මේ කොලොම්පුරේ නැහැ නොවැ. මොක ද මොර සූරන්න මෙහෙ මොරගස් තියෙන එකක් යැ. 

කොළඹට මෙහෙම වහින්නේ මාස දෙකක් දෙක හමාරක් විතර තිස්සේය කියන එක කොළඹ ඉන්න අපේ උදවියට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.  

ඔය හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, පොලොන්නරු වගේ පළාත්වලට ලෙල්ලෙට පායද්දිත් කොළඹට හිටු කියලා වැහපු විත්තිය දන්නව නම් ඒ පළාත්වල මිනිස්සු ඔය නිසි දේව බලධාරියාට මොනවා කොරයි ද කියලා මට නම් හිතා ගන්න බෑ. වැස්ස වලාහක දෙය්යො වුනත් මං කියන්නෙ සාධාරණ විදිහට කටයුතු කොරන්න ඕනෑය. අනික කොළඹට වැස්ස කියලා ඇති සෙතක් නෑ නෙ. කුණු කාණු ටිකයි, ඇලවල් ටිකයි පිරිලා පාරවල් යටවෙන එක තමයි වෙන එකම නස්පැත්තිය. අර කිව්ව පැතිවලට වහිනවා නම් ඒ මිනිස්සු ගොවිතැනක් බතක් හරි කර ගන්නවා යස අගේට. දෙයියොන්ගෙ මෙව්ව එක කෙසේ වෙතත් මේ සොබාව දරුමෙ පාලනය කොරන්න පුලූවන් ජගතෙක් මේ මිහිපිට නැහැ නොවැ. පුලුවන් උනා නම් ආපදා කළමනාකරණ අමාත්‍යංශෙත් අස් කරලා දාන්න වෙනවා. 

වැස්සත් එක්ක වැඩට යනව කියන්නෙ හොදි ඕන්නෑ. මෙහෙම වහින වෙලාවට, පාර අයිනෙ උනත් ඉන්න ඕන හරි පරිස්සමෙන්. කොටින්ම හොඳ සූදානම් පිට. කොයි වෙලාවෙ මඩ නාන්න, මඩ කන්න වෙයි ද කියලා කව්ද දන්නෙ. මොකද වාහනවලින් ඉගිළිලා යන අපේ සමහරක් මහත්තුරුන්ට පාර අයිනෙ ඉන්න මිනිස්සු ගැන පුදුම හැඟීමක් නෙ තියෙන්නෙ.  

කොහොම හරි අද මහ වැස්සෙම හනිකට බස් එකට ගොඩ වුනා. වහින දවසට බස් එකේ හිට ගෙන යන එක නම් එපා වෙන කාරියක්. අර මෙව්ව එකත් නගිනවා. අර යකා ද මොකා ද කියන්නෙ. මොකද සමහරක් එහෙට මෙහෙට යන්නෙ මඩ තැවරිච්ච සපත්තු -සෙරෙප්පු අනිත් මිනිස්සුන්ගෙ කලිසමේ හොඳට අතුල්ලගෙන. ඒත් අද නම් වාඩිවෙලා යන්න සීට් එකක් වේලාසනින්ම හම්බ වෙච්ච නිසා අර කලින් කිව්ව එකා නග්ග ගන්න ඕන උනේ නෑ. 

ෂාහ්හ්හ්හ්හ් ...මේ බස් එක යන වේගයක්. කොටින්ම පපුව සීතල වෙලා යනව. 

මොන වේගයක් ද බොල මේ ? ඉබ්බො යනවා මීට වැඩිය වේගයෙන්. 

මිනිස්සුත් කන්කෙඳිරි ගානවා බස් එකේ මේ අධිවේගී ගමන ගැන. සමහර අයගේ මූනවල් ඉදිලා වැටිලා තැලිච්ච ගොරක ගෙඩි වගේ. රතු පාට වෙලා. බලන්න වටින සිරියාවක්. ඒත් අපේ ඩ්‍රයිවර් උන්නැහේ නම් වෙනසක් නෑ., සුපුරුදු ලැසි ගමනෙම තමයි. 

''ෂිහ් .... මේකා යන්නෙම නෑ නෙ.. බලන්න අනිත් බස් ඔක්කොම මේක පහු කරගෙන යනවා. ඒත් මූ කොටනවා'' 

මගේ ළග හිටං හිටපු අවුරුදු 40ක විතර අන්කල් කෙනෙක් මගේ පැත්තට හැරිලා එහෙම කිව්වා. මාත් ඉතින් මද සිනහවකින් අන්කල්ට සංග්‍රහ කරලා ඒක අනුමත කළා. 

මේ චෝදනා, ඇණුම් බැනුම්, ගෙරවිලි අස්සෙ පහුගිය කාලෙ මේ හා සමානවම වෙච්ච සිද්ධියක් මට මතක් වුනා. කොළඹදි වෙච්ච එකක් නම් නෙමෙයි මේක.

මම තව යාළුවෙකුත් එක්ක උඩවලවේ අපේ මිත‍්‍රයෙක්ගෙ ගෙදරකට යන්න ඇඹිලිපිටිය - උඩවලව බස් එකකට ගොඩවුනා. මේක රෝසා බස් එකක්. මේ බස් කාරයාත් අර මුලින් කියපු බස් කාරයාගේ සහෝදරයෙක් මයෙ හිතේ. ජනේලෙන් බලන් ගියාම වැලි කැට ගණන් කරත හැකි. ඇක්ස්ලේටරෙ නම් පෑගෙන්නෙම නැති තරම්. සෙනග අහුලා- අහුලා, හෙමින්- හෙමින් ලතාවට දැන් මේක යනවා. මේ යන වේගෙ හැටියට ඉස්සරහ හෝල්ට්වලින් නගින්න හිතාගෙන, තාමත් ගෙවල්වල ලකලැහැස්ත්ති වෙවී ඉන්න මිනිස්සුන්ටත් පාරට එන්න වෙලා ඇති. 

ඒ මදිවට මගීන් ටින් මාලූ කරනවා. පිටිපස්සෙන් සෙනග නග්ග ගන්නවා. ''ඉස්සරහට යන්න...ඉස්සරහට යන්න.. තව තව....ඔය ඉඩ තියෙනවා නෙ. යන්නකො ඉස්සරහට '' 

ඉස්සරහිනුත් සෙනඟ පටවා ගන්නවා. ''පිටිපස්සට යන්න. ඔය මැද ඉන්න මහත්තය එහාට යන්න. ඕන තරම් බස් එකේ ඉඩ තියෙනවනෙ '' කොන්දොස්තර මහත්තයගේ සැරපරොස් බෑඟිරිය ඒ විදිහට යනවා. 

ඔය මැද ඉන්න මහත්තය කිව්ව කෙනාට එහාට යන්න තරම් ඉඩක් බස් එකේ නම් නෑ. ඒත් ඉතින් මේ සුවච (එකෙකු දෙන්නෙකු හැරුණු විට අපේ කොන්දොස්තොර මහත්වරු බොහෝ දෙනෙක් මගී ජනතාවට ඉතාමත් කාරුණික, යහපත් වචනයෙන්ම අමතන නිසාම මේ විශේෂණ පදය යෙදූ බව සළකන්න.) කොන්දොස්තර මහත්තයගේ ඉතා කාරුණික ඉල්ලීම අහක දාන්න බැරි කමට දෝ, ඇඟ වකුටු කරගෙන හරි මිනිස්සු එහාට යනවා. 

දැන් මේක කුකුල්ලූ පැක් කරපු ලොරියක් වගේ. නෑ.. නෑ ... හරියටම කියනව නම් දෙකොණ බැඳපු මුං ඇට මල්ලක් වගේ. ආයි ඉතින් හුස්මක් කටක් ගන්න, වාතාශ්‍රෙ ටිකක් වදින්න කිසිම ඉඩක් නෑ. ඒත් මේ බස් උන්නැහේලගේ  තණ්හාව ද මොකද්ද දන්නෑ... මෙච්චර සෙනඟ පිරිලත් තවත් කොටනවා. මං හිතන්නෙ මෙයාලගෙ ට්‍රයි එක සීට්  60 වයිකින් එකක පටවන සෙනග මේ පුංචි බස් එකට පටව ගන්න වෙන්න ඇති. 

ඉතින් මෙහෙම බස් එක පැද්දි -පැද්දි, ඉබි ගමනෙ ඉදිරියට ඇදෙනවා. මිනිස්සුත් එකා දෙන්නා ''ෂිහ්... ෂිහ් '' කියනවත් කනට ඇහෙනවා. 

මං වාඩිවෙලා හිටපු සීට් එකට ඉස්සරහ සීට් එක කෙළින් හිටගෙන හිටියා අවුරුදු 50 ක 55 ක විතර අංකල් කෙනෙක්. මේ අංකල්ට නම් මලම පැනලා වගේ හිටියේ. විටින් විට තොල් මතුරනවාත් දැක්කා.

මේ අන්කල් ෆුල්ම කේන්තියෙන් විත්තිය මට තේරුම් ගියා. දැන් බස් එක ඇඹිලිපිටියේ ඉඳන් හෝල්ට් හතරක් පහක් විතර පහු කරලා.
 

'' මීට වැඩිය හොඳයි පුකට ටයර් දෙකක් හයි කරගත්ත නම් ! අම්මපා මීට වැඩිය හයියෙන් යන්න තිබ්බා'' 

වේගයෙන් වටපිට බලලා අන්කල් හයියෙන්ම එහෙම කිව්වා. 

මට හුකුස් ගාලා හිනා ගියා. 

ඇත්ත නේන්නම් මොන ක්‍රමෙන් හරි ඕක හයි කරගන්න පුලූවන් වුනානම් ඒකත් මරු. ලොකු පොඩි ගැහැණු පිරිමි හැමෝම තම තමන්ගෙ පශ්චාත්භාගෙට ටයර් හයි කර ගෙන, පාරෙ එහෙට මෙහෙට යනවා මට එවෙලෙම මැවිලා පෙනුනා.
 

නව නිර්මාණ එහෙම කරන්න අදහසක් තියෙන අයට මේක හොඳ Idea එකක්. කොටින්ම Full Innovative. පේටන්ට් එකකුත් ගන්න බැරි වෙන එකක් නෑ ඕං.😂

Friday, November 7, 2014

අඩු රැකවරණය - වැඩි රැකවරණය - අඩු වැඩි නැති නිසි රැකවරණය

දෙමව්පියන්ට මෙලොව සිටිනා වටිනාම වස්තුව තම දරුවන් බවට කිසිදු විවාදයක් නැත. විවාහපත් යුවළකට අලුතින් දරුවෙකු පිළිසිඳ ගැනීම යනු මහමෙරක් ලැබුනා හා සමානය. එය ඒ තරමට පවුලක පරිපූර්ණත්වයට බලපායි. කොටින්ම, නිවසක් (House) ගෙදරක් (Home) බවට පත් කරන්නේ දරුවන්ය.



කිසිදු දෙයක් තනිව කරකියා ගත නොහැකි අසරණයකු ලෙස මෙලොව එළිය දකිනා දරුවාට, තනිව දෙපයින් නැගී සිටින  තෙක් නිරන්තර රැකවරණය ලබා දීමට දෙමව්පියන් දරනා වෙහෙස කොතරම්දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත. 

මේ ලිපියෙන් ඔබේ අවධානයට යොමු කරන්නේ මව්කුසින් බිහි වූ දා පටන් විවිධ සංවර්ධන අවධි පසුකරමින් යන දරුවාට ස්වකීය ළමාකාලය තුළ දෙමව්පියන් වශයෙන් අප ලබාදෙන්නා වූ  ආදර-රැකවරණයේ නිසි-අනිසිබව ගැනය. 

රුවන්ට අප බෙහෙවින් ආදරේ බව ඇත්තය. එහෙත් අප කුඩා කල සිටම දරුවන්ට  ඕනෑවට වඩා ආදරේ කරන්නේ නම් එය දරුවෙකුට කරන්නා වූ මහත් අසාධාරණයක් බව ඔබ දන්නේ ද?

දරුවන්ට ඕනෑවට වඩා නීතිරීති දැමීමෙන් අප වැළකිය යුතුය. විශේෂයෙන්ම මෙම තත්වය බෙහෙවින් දැකිය හැක්කේ තනි දරුවෙකු හෝ දෙදෙනෙකු සිටින කුඩා පවුල් ඒකක තුළය. ඒ ඇතැම් විට දෙමව්පියන්ගේ පූර්ණ අවධානය ඔවුන් වෙත යොමු වෙන නිසා විය යුතුය. එවැනි පවුල්වල දෙමව්පියන් දරුවන් කෙරෙහි තිබෙන වැඩි ආදරේ නිසාම දරුවාට නිදහසේ දුවපැන ඇවිදිමින් නිදහස්  ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථා අහිමි කරයි. අසල්වැසි ළමා ළපටින් සමග සෙල්ලම් කිරීමට ඇති අවස්ථා අහිමි කරයි. යම් යම් දේ අත්හදා බැලීම් ඔස්සේ ඉගෙන ගැනීමට ඇති අවස්ථා අහිමි කරයි. 

සැබවින්ම ඔබට ඔබේ දරුවා කිසිදු සිරීමක්වත් නැතිව එලෙස හදා වඩා ගත හැක. නමුත් වැඩි පරිස්සමට එලෙස හැදීම තුළින් දරුවා මානසික වශයෙන් දුර්වලයෙකු, නැතිනම් අන් ළමයින්ට සාපෙක්ෂව වටපිටාවේ ඇති දේ උකහා නොගත් අයෙකු බවට පත් විය හැකිය. එවැනි දරුවන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගෙන අවස්ථා සීමිත වේ. එවැනි දරුවන් අභියෝගවලට මුහුණ දීමට බියක් දක්වයි. සෑම විටම  දෙමව්පිය සරණම පතයි. අභියෝගයක් ආ විට දෙමව්පියන්ගේ පිටුපස හැංගීමට බලයි. තමන්ම සිතා යමක් කිරීමට තිබෙන හැකියාව ඔවුන්ට අඩුය. නිර්මාණශීලි හැකියාවන් ඉස්මතු නොවෙයි. හුදු පොත පතේ දැනුම පමණක් ඇත්තෙකු බවට දරුවා පත් වෙයි. මේ තත්වය දරුවෙකුගේ ඉදිරි ජීවිතයට නම් කොහෙත්ම හිතකර වන්නේ නැත.  

එමනිසා දරුවන්ට ළමාකාලය නිදහසේ විඳින්නට ඉඩදෙන්න. නගරයක ජීවත් වන්නේ නම් මසකට වරක් හෝ තුරුලතා පිරි උද්‍යානයකට රැගෙන ගොස්  පරිසරය විඳින්නට ළමයාට අවස්ථාව සළසා දෙන්න. 

දරුවාට සීතල, උණුසුම දැනෙන්නට ඉඩ හරින්න. බාහිර පරිසරයට නිරාවරණය වන්නට ඉඩ හරින්න. දරුවාගේ ප්‍රතිශක්තිය සහ දරාගැනීමේ හැකියාවන් වර්ධනය වන්නේ එවිටය. 

දරුවාට බඩගින්න නැති වෙලාවට පවා පිටුපසින් ගොස් පැරැත්ත කර කර බලෙන් ආහාර කැවීමෙන් වළකින්න. ඔවුන්ට බඩගින්න දැනෙන්නට ඉඩ හරින්න. 'සුවැති බණ්ඩියක්' ඔවුන්ට ලැබෙනු ඇතිවා පමණක් නොව  ඔවුන් ආහාරයේ ඇති වටිනාකම තේරුම් ගනු ඇත. 

කුඩා කල සිට අනවශ්‍ය ලෙස රැකවරණය ලද දරුවන් ඇඟපත මෝරා නිසි කලවයසට එළඹුන ද හැසිරෙනු ඇත්තේ නොදරුවන් මෙනි. ඔවුන් 'ගෙදරටත් බබා සමාජයටත් බබා' වර්ගයේ අයෙකු බවට පත් වනු ඇත.

හැකි සෑම විටම දරුවාට ස්වයං අධ්‍යයනයන්ට අවස්ථාව සළසා දෙන්න. දරුවාට සෙල්ලම් කිරීම මගින්, වටපිටාව ගවේෂණය කිරීම මගින් සහ අත්හදාබැලීම (trial & error)  මගින් දේවල් ඉගෙනීමට අවස්ථාව ලබා දෙන්න. අනවශ්‍ය ලෙස ඔවුන්ට උපදෙස් දීමට නොයන්න. එ යමක් දැක විමසා බලා තීන්දු තීරණ ගැනීමට දරුවාට බාධාවකි. 

එසේම සෙල්ලම් භාණ්ඩ ගෙනවිත් දීමේදී ද, දෙවරක් සිතන්න. කිසිවිටකත් සෙල්ලම් තුවක්කු වැනි ප්‍රචණ්ඩත්වය හුරුකරවන සුළු සෙල්ලම් භාණ්ඩ වර්ග ගෙනවිත් දීමෙන් වළකින්න. දරුවන්ගේ බුද්ධිය සහ නිර්මාණශීලිත්වය ඔප්නංවන සුළු ප්‍රහේළිකා (Puzzles) වර්ගයේ සෙල්ලම් භාණ්ඩ, කුඩා සංගීත භාණ්ඩ, ගෙවල් කට්ටල, වාහන වැනි දෑ ගෙනවිත් දෙන්න. 

දරුවාට ගැළපෙන- නොගැළපෙන භේදයක් නොබලා කුඩා කලසිටම ඔවුන් ඉල්ලන සෑම දේම ගෙනවිත් දෙමින්, කොටින්ම 'ඕනෑවට වඩා හුරුතල් කරමින්'  දරුවන් හැදීම තුළින් ''සෑම දෙයම තමන්ට හිමි විය යුතුය'' යන පටු මානසිකත්වයක් (Entitlement Mentality) දරුවන් නිර්මාණය කරගනී. එම මානසිකත්වය තුළින් ආත්මාර්ථකාමීව කටයුතු කිරීමට දරුවන් පෙළඹෙන අතර තම දෙමව්පියන්ගේ උත්සාහයන් ගැන කිසිදු වැටහීමක් හෝ අගය කිරීමක් ද ඔවුන් තුළ ඇති නොවේ. 

එලෙස අනවශ්‍ය ලෙස මව්පිය ආදර රැකවරණය ලද දරුවන් ලොකු මහත් වී, ඉගෙන කියාගෙන යම් ආයතනයක ඉහළ තනතුරකට පත් වුවහොත්, ඔවුන් අන් සේවකයන් ගැන හැගීමක් නැති, සමාජශීලී නැති අයෙකු බවට පත් වෙයි. එපණකුදු නොව තමා පානය කළ තේ කෝප්පය කිසිවෙකු හෝ හෝදනු ඇතැයි බලාපොරොත්තුවෙන් හෝ එය තමා සේදිය යුතු නැතැයි යන පටු මානසිකත්වයෙන් හෝ එය නොසෝදා, ආහාර ගන්නා පොදු  ස්ථානය තුළම තිබෙන්නට හරියි. තමා ආහාර ගැනීමේදී මේසය මතට වැටෙන ආහාර කැබලි කිසිවෙකු හෝ ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් හෝ එසේ අස් කිරීම තම තරාතිරමට තරම් නොවේ යැයි සිතා හෝ මේසය මතම තිබෙන්නට හරියි. ස්වයංසේවා නොවන හෝටලයක නම් එසේ කෙරුවාට කම් නැත. මේ අන් කිසිවක් නොව දෙමව්පියන්ගේ වැරදිය. මේ සරළ උදාහරණ කිහිපයක් පමණි.

එසේ නම් ඔබේ වගකීම කුමක් ද ?

ඔබේ වත්පොහොසත්කම අනුව
ඔබ ඔබේ දරුවාට සුවිසල් නිවසක, මිල අධික ආහාරපාන, පියානෝ වැනි සංගීත භාණ්ඩ ගෙනවිත් දෙමින්, පුළුල් තිර රූපවාහිනියක දසුන් නැරඹීමට පහසුකම් ද සළසා දෙමින් සුවපහසු ජීවිතයක් ගත කරන්නට අවස්ථාව සලසා දෙනවා විය හැකිය. 

නමුත් ඔබ ගෙවත්තේ තණකොල කපන විට ඔවුන්ට ද එය කරන අයුරු බලා සිටින්නට අවස්ථාව දෙන්න. ගෙදරදොර අස්පස් කරන විට දරුවාට ද ඊට සම්බන්ධ වීමට ඉඩදෙන්න. දරුවාගෙන් ලබාගත හැකි උදව් ඔවුන්ගෙන් ලබා ගන්න. ගෙදරදොර 'වැඩ'' කරන අයුරු දෑසින් දැක ගැනීමට අවස්ථාව ලබා දෙන්න. තම පිඟාන කෝප්පය ඔසවා ගත නොහැකි නම් පමණක් දරුවා ආහාර ගත් පසු, ඔබ ඔවුන්ගේ පිඟාන සේදුවාට කම් නැත. නමුත් එසේ නොවේ නම් තමන්ගේ පිඟාන කෝප්පය සෝදා ගැනීමට දරුවන් පුරුදු කරවන්න.  

ඔබේ දරුවාට එසේ කිරීමට ඉඩ දිය යුත්තේ ඔබේ කාර්යබහුලත්වය නිසා හෝ ගෙදරදොර කටයුතු කිරීමට සේවකයකු නොසිටිනා නිසා හෝ නොවේ. ඔබ ඔවුන්ට නිවැරදි ලෙස ආදරය කළ යුතු නිසාය

ඔබ ගෙදර දොරේ යම් වැඩක් කරන්නේ නම්, ඔබේ දරුවාට ද කුමන හෝ පුංචි උදව්වක් කිරීමට අවස්ථාව දෙන්න. එය ඇතැම් විට යම් උපකරණයක් ගෙන්වා ගැනීම විය හැකිය. 

එසේම අසල්වැසි දරුවන් සමග සෙල්ලම් කිරීමට ඔවුන්ට අවස්ථාව දෙන්න. එමගින් සාමූහිකත්ව ගුණාංග කුඩාකල සිටම ඔවුන් ඉගෙන ගනු ඇත. අනෙකාගේ උදව්වේ වටිනාකම තේරුම් ගනු ඇත. අනෙකා අගය කිරීමට ඉගෙන ගනු ඇත. 

මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය දරුවා නැණගුණ පිරි, තම වටපිටාව ගැන සවිඥානක, කායික මානසික නිරෝගීතාවෙන් යුතු පුද්ගලයෙකු බවට පත් වීමය. මේ සියල්ල සමග හැදෙන දරුවා ජීවිතයේ සැඳෑ සමයේදී ඔබට ද හොඳින් සළකනු ඇත.  

DON'T DO UNDER-PARENTING - දරුවන්ට අඩුවෙන් ද ආදරය නොකරන්න.

DON'T DO OVER-PARENTING -    ඕනෑවට වඩා ද ආදරය නොකරන්න.

JUST DO PARENTING -  අවශ්‍ය පමණට නිවැරදි ලෙස පමණක් ආදරය කරන්න.

Saturday, November 1, 2014

මුදල් ඔය කියන තරම් වටිනව ද?

‘‘ආ............මෙන්න’’

මා බස් රථයට ගොඩ වූ ස්ථානයේ සිට කොටුව තෙක් ගමන් ගාස්තුව වශයෙන් රුපියල් 20 ක් ගත් කොන්දොස්තර මහතා, ඉතුරු මුදල් වශයෙන් රුපියල් 20 කොළයක් සහ රුපියල් 10 කොළයක් මා අත තැබීය.

මුදල් පරිහරණයේදී මාගේ එක්තරා පුරුද්දක් ඇත. එනම් මුදලේ වටිනාකමේ අනුපිළිවෙළට පසුම්බිය තුළ මුදල් තැන්පත් කර ගැනීමයි. ඒ අනුව රුපියල් 20 කොළය යට තිබූ රුපියල් 10 කොළය උඩට ගෙන, මම පසුම්බියට බහාළීමට සූදානම් වුණෙමි. පුරුද්දේ වාසනා මහිමය !

"මේක ඉරිලනෙ.... මේක නැතුව මට වෙන 10ක් ගන්න පුලුවන් ද?''

තුනෙන් පංගුවකට වඩා ඉරී තිබූ රුපියල් 10 කොළය යළි කොන්දොස්තර මහතාට දී, ඒ වෙනුවට වෙනත් කොළයක් මම ඉල්ලා ගතිමි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඉරුණු මුදල් නෝට්ටු බස් රථය තුළදී මාහට ලැබී ඇතිමුත්, එය කොන්දොස්තරවරයාගේ දැනුවත්කම පිට සිදුවන්නක් ද නැතහොත් අත්වැරදීමෙන් සිදු වන්නක් දැයි එකහෙළා පැවසීමට මට නොහැක. කෙසේ වෙතත් නිසැක ලෙසම එම ඉරුණු නෝට්ටු කිසියම් මගියෙකුගෙන්ම ඔවුන් අතට පත්වන්නට ඇත. 

සැබවින්ම අපේ රටේ ඇතැමෙක් මුදල් නෝට්ටු හරිහැටි පරිහරණය කිරීමට නොදන්නා බව මුදල් නෝට්ටු කිහිපයක් අතට ගත් විට මනාව පැහැදිළි වේ. කාසි මෙන්ම මුදල් නෝට්ටු ද හුවමාරුව ආත්මය කරගත් ඒවාය. එමනිසා කාසිවල මෙන්ම මුදල් නෝට්ටුවල ද අයිතිය නිරන්තරව මාරු වේ. එනම් තමා සන්තකයේ ඇති විට මුදලේ අයිතිය තමාට වුව ද, තවත් කෙනකු අතට එය පත් වූ විට, එය එම තැනැත්තාගේ අයිතියට නතු වේ. නමුත් තම අයිතියට නතු වූ පමණින් මුදල් නෝට්ටු කිළිටි කිරීමට, නැවීමට, පොඩි කිරීමට සහ විකෘති කිරීමට නෛතික වශයෙන් අපට කිසිදු අයිතියක් නැත.

මුදල් නෝට්ටු විකෘති කිරීම ශ‍්‍රී ලංකා මුදල් නීති පනතේ 58 වන වගන්තියට අනුව දඳුවම් ලැබිය හැකි වරදකි.   

පනතේ ඒ බව මෙසේ සඳහන් කර තිබේ. 

Chapter III, Section 58 of Monetary Law Act No. 58 of 1949

ශ‍්‍රී ලංකාවේ මුදල් සම්බන්ධයෙන් පූර්ණ අධිකාරි බලය ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවටය. එබැවින් මුදල් නෝට්ටුවල යම් වෙනසක් සිදු කරන්නේ නම්, එය කිරීමේ පූර්ණ අයිතිය සහ බලය ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවට විනා අන් කිසිවෙකුට හෝ නොවේ. මුදල් නෝට්ටු විකෘති කිරීම සම්බන්ධයෙන් නෛතික පැත්ත කෙසේ වුව ද, මුදල් නෝට්ටු විකෘති කිරීම කොතරම් සදචාරසම්පන්න දැයි මඳක් සිතා බැලීම වටී.

එසේම රුපියල් 05 කාසි යොදා ගෙන සකසන ලද මාල ඇතැම් විට බස්රථවලදී හෝ මගතොටේදි අලෙවි කරනු ඔබ දැක තිබෙන්නට පුලුවන. නමුත් පෙරකී පනතේ 58A වගන්තියට අනුව එලෙස කාසි උණු කිරීම සහ විකෘති කිරීම නීතියට පටහැනි වන්නා සේම දඬුවම් ලැබිය හැකි වරදක් ද වේ. 

ඔබට සම්පූර්ණ පනත කියවීමට අවශ්‍ය නම් පහත ලින්කුව යොදා ගන්න.


කිසියම් ගනුදෙනුවකදී යම් අයෙකු ඔබට ලබා දෙන්නේ අපිරිසිදු නෝට්ටු (හෝ විකල නෝට්ටු) නම් එම නෝට්ටු ප‍්‍රතික්‍ෂේප කර, පිරිසිදු නෝට්ටු ඉල්ලා සිටීමේ පූර්ණ අයිතිය ඔබ සතුව ඇත.

ඇතැමුන් මුදල් නෝට්ටු පරිහරණයේදී කරන්නා වූ ප්‍රධාන වැරදි කිහිපයක් මෙසේ පෙන්වා දිය හැකිය.

1. මුදල් නෝට්ටු මත විවිධ දේ ලිවීම (නිදසුන් ලෙස තම නම, පෙම්වතාගේ හෝ පෙම්තියගේ නම, දුරකතන අංක, කවි, සින්දු ආදිය)

2. මුදල් නෝට්ටු කැපීම සහ සීරීම

3. මුදල් නෝට්ටු නැවීම, පොඩි කිරීම, ගුළි කිරීම පමණක් නොව අපිරිසිදු අතින් ඇල්ලීම



සැබවින්ම හිස් කොළයක් ගෙන එහි තම නම මතු නොව තම හත්මුතු පරම්පරාවේම නම් ලැයිස්තුව ලීවාට කිසිදු ප‍්‍රශ්නයක් නැත. නමුත් එය අතින් අතට යන, අතින් අතට යා යුතු මුදල් නෝට්ටු මත කිරීම නම් අශෝභනය. පිළිකුල්ය.

තම පෙම්වතාට හෝ පෙම්වතියට ආදරේ නම් එය සනිටුහන් කළ යුත්තේ ඇයගේ හෝ ඔහුගේ හදවතේ මිස, අතින් අතට යන මුදල් නෝට්ටු මත නම් නොවන බව විකෘති මානසික ආශාවන් ඇතිවුන් කවදා නම් තේරුම් ගනීවි ද?

පොතක පිටු මත පෑනේ තීන්ත සිඳෙන තුරු කවි, ගී, පදවැල් දහසක් වුව ලීවාට කිසිදු ගැටලුවක් නැත. නමුත් එය මුදල් නෝට්ටු මත කිරීම නම් අශෝභනය. පිළිකුල්ය.

ඇතැමෙක් වෙළඳසැලේදී හෝ බස් රථයේදී ඉතුරු මුදල් ලද පසු, එය ගුලිකර තම සාක්කුවේ ඔබා ගනිති. සාමාන්‍යයෙන් අපි අනවශ්‍ය කොළ කැබලි නම් ගුලිකර කුණු කූඩයට දමන්නෙමු. එසේ කරන්නේ ද කුණුකූඩයේ ඉඩ ඉතිරි කරගනු පිණිසය. නමුත් වටිනාකමක් ඇති මුදල් නෝට්ටු එලෙස ගුලිකර දමා ගැනීමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඇති අපිළිවෙළ සහ අපිරිසිදුකම විනා අන් කිසිවක් හෝ නොවේ.

ඇතැම් අයගේ මුදල් පසුම්බිය මීතොටමුල්ලේ කුණු කන්ද මෙනි. (ප‍්‍රසිද්ධ බ්ලූමැන්ඩල් කුණු කන්ද දැන් නිකන්ම පස්කන්දක් බැවින් එය නිදසුන් කර නොගත්තෙමි). කුණු ගොඩ අපිළිවෙළ යැයි කිසිවෙකුත් දොස් කියන්නේ නැත. මන්ද කූණු ගොඬේ ස්වභාවයම අපිළිවෙළ වන නිසාය. නමුත් මුදල් පසුම්බිය යනු තමන්ට නිතර අවශ්‍ය වන වටිනා දේ බහාළන තැනයි. එබැවින් තම පසුම්බිය තුළ මුදල් නෝට්ටු තැන්පත් කර ගැනීමේදී, වටිනාකමේ අනුපිළිවෙළින් (වටිනාකමින් ඉහළ නෝට්ටු යටටත්, වටිනාකමින් අඩු නෝට්ටු උඩටත් එන පරිදි) අසුරා ගැනීමෙන් මුදල් නෝට්ටු සුරැකෙනවා පමණක් නොව මුදල් ඉවතට ගැනීමේදී තමන්ට ද පහසුවක් ගෙන දෙයි.

පසුම්බියෙහි මුදල් තැන්පත් කළ යුතු පිළිවෙළ මෙන්න.




විකල වූ හෝ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මුද්‍රණය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට වසරකට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව ඔබ දන්නවා ද?

2012 වසරේදී පමණක් රුපියල් මිලියන 159.6ක වටිනාකමින් යුත් භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටු ප‍්‍රමාණයක් මහ බැංකුව විසින් විනාශ කර ඇති අතර එම විනාශ කළ නෝට්ටු වෙනුවට අලූතින් නෝට්ටු නිකුත් කිරීමට මහ බැංකුව රුපියල් මිලියන 855ක මුදලක් වැය කර ඇත. (දත්ත මූලාශ‍්‍රය:-ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් 'පිරිසිදු මුදල් ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව' මැයෙන් 2014.03.23 දිනැති දිවයින පුවත්පතේ පළ කළ ආර්ථික ලිපිය)

මේ වැය වන්නේ මේ රටේ සුවහසක් මිනිසුන්ගේම මුදල්ය. ග‍්‍රාමීය ප‍්‍රදේශයකට සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට තිබෙන මුදල්ය. අඩුපාඩු සහිත පාසලකට පහසුකම් දීමට තිබෙන මුදල්ය. කොටින්ම කියනවා නම් මේ රටේ මිනිසුන් වෙනුවෙන් කුමන හෝ වැඩදායක දෙයක් කිරීමට තිබෙන මුදල්ය.

පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය මගින් අපට ලැබෙන මහඟු ප‍්‍රතිලාභ කිහිපයක් මෙසේය.

1. මුදල් නෝට්ටුවල ආයු කාලය දිගු වෙයි.

2. නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා වැය වන වියදම අඩු වෙයි.

3. විදේශ මුදල් දේශීයව මාරු කිරීමේදී අපේ මුදල් නෝට්ටුවල පවතින හොඳ තත්වය නිසා විදේශිකයන් අප රට පිළිබඳ යහපත් පළමු හැගීමක් ඇති කර ගනියි.

4. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපට තම රටේ පුරවැසියන් ගැන ආඩම්බරයක් ඇති වෙයි.

4. පිරිසිදු නෝට්ටු තේරීම, බන්ඩල් කිරීම, ගණන් කිරීම පහසුය.

5. පිරිසිදු නෝට්ටු භාවිතය රොගකාරක විෂබීජ පැතිර යාමේ අවදානම ද අඩු කරයි.

මහබැංකුව විසින් වසර ගණනාවක් මුළුල්ලේ ජනතාව අතර පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමට සුවිශේෂී වැඩසටහන් දියත් කරමින් සිටී. 

තවමත් සංසරණයේ තිබෙන රුපියල් 500, 1000, 2000 පැරණි නෝට්ටු සම්පූර්ණයෙන් දමා ගැනීමට ඔබේ මුදල් පසුම්බිය ප්‍රමාණවත් නොවන බව ඔබ අත්දැකීමෙන් දනී. එසේ දමා ගත් විට නෝට්ටුවෙන් කොටසක් පසුම්බියෙන් පිටතට මතු වී එම කොටස හොඳහැටි නැවී පොඩි වන බව ද ඔබ හොඳාකාරව දනී. නමුත් මෑතකදී ප්‍රමාණයෙන් කුඩා මුදල් නෝට්ටු නිකුත් කිරීමට මහබැංකුව සාධනීය පියවර ගත්තේ ද රට තුළ පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමටය.

ඊට අමතරව රට පුරා පිහිටි වාණිජ බැංකු හරහා තමන් අත තිබෙන භාවිතයට නුසුදුසු හෝ විකල නෝට්ටු (Unfit or Mutilated Notes) අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමේ අවස්ථාව ද සළසා තිබෙන අතර කිසිදු බැංකුවකට එය ප්‍රතික්ෂේප කළ නොහැක. 

එලෙස නෝට්ටු මාරු කිරීමේදී මෙයත් මතක තබා ගත යුතුයි. 

එනම් ඔබ රැගෙන යන මුදල් නෝට්ටුව සත්‍ය එකක් වුනත්, පලුදු වෙලා නම් අවම වශයෙන් මුදල් නෝට්ටුවෙන් තුන් කාලක් (3/4) සහ අවම වශයෙන් එක් නෝට්ටු අංකයක්වත් තිබිය යුතු වීමයි. විකල නෝට්ටුව සඳහා සම්පූර්ණ මුදල ප‍්‍රතිපූරණය කිරීමට මහ බැංකුව කටයුතු කරන්නේ එලෙස තිබේ නම් පමණයි. එසේම නොට්ටු අංක හඳුනාගත හැකි අයුරින් නොට්ටුවේ බාගයක් පමණක් තිබේ නම්, එවිට ඔබට ලැබෙන්නේ එම නෝට්ටුවේ වටිනාකමින් බාගයක් පමණයි.

එසේම මේ 2014 වසරේ සිට රුපියල් 10 නෝට්ටු යළි මුද්‍රණය නොකිරීමටත් ඒ වෙනුවට කාසි පමණක් නිකුත් කිරීමටත් මහ බැංකුව තීරණය කර ඇත්තේ ද, රුපියල් 10 මුදල් නෝට්ටු විකෘති වීමට පිළියමක් වශයෙනුයි. නමුත් ඉහළ වටිනාකම් සහිත නෝට්ටු සඳහා එම පිළියම යෙදිය නොහැක. 

එසේ නම් රට තුළ පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමට නම් මහජනතාව වශයෙන් අප කළ යුත්තේ මුදල් පරිහරණය කිරීමේදී වඩා වගකීම්සම්පන්න වීමයි. වඩා විනයගරුක වීමයි. ඒ හැර වෙන විකල්පයක් නම් නැත.

  මුදලට වටිනාකමක් දෙන්න- ඔබට වටිනාකමක් ගන්න
Give value to money-Add value to you