Friday, June 26, 2015

මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කළ යුත්තේ කුමක් ද?


පසුගිය ජනවාරි 08 වැනිදායින් දසවසරක මහින්ද රාජපක්ෂ පාලනය අවසන් විය. “යහපාලනය“ තේමා පාඨය කරගනිමින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට පොදු විපක්ෂය සමත් විය. 

එවකට එජාපයේ ඇතැමුන් විසින් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති හමුදාපතිවරයකු යැයි ද, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඍජුවම වගකිවයුත්තා යැයි ද චෝදනාවන්ට ලක් කළ සරත් ෆොන්සේකා මහතා “කලකදි වහළු කලකදි රහ වෙනවාලු“ යන කියමන සිහිගන්වමින් 2010 ජනාධිපතිවරණයේදී මහින්දට එරෙහිව වේදිකාවට නැංවූවා සේම, 2015 ජනපතිවරණයේදී ද ඒ ක්‍රමෝපායම භාවිත කරමින් මහින්ද සමග චිරාත් කාලයක් එකට දේශපාලනය කළ, මහින්ද සභාපතිත්වය දැරූ පක්ෂයේම මහලේකම්වරයා වූ ද, එපමණකුදු නොව මහින්දගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දට එරෙහිව වේදිකාවට නැංවීමට කටයුතු කළේය. 

ජනතා විමුක්ති පෙරමුණ 2010 ජනපතිවරණයේදී ඍජුවම සරත් ෆොන්සේකා මහතාට සහය ලබා දුන්න ද, ඒ තීරණය සමග පක්ෂය සභාගවාදයට - සංශෝධනවාදයට යට වීම සහ මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් වශයෙන් රැකගත යුතු ප්‍රතිපත්තිවලට එරෙහිව යාම යන කාරණා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන්ම එල්ල වූ දැඩි විවේචනය පක්ෂයෙන් කොටසක් කඩාගෙන යෑම දක්වා දුරදිග ගිය බැවින්, ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඍජුවම සහය පළ නොකිරීමට වග බලා ගත්තේය. එසේ වුව ද, මෛත්‍රීපාල සිරිසේන මහතාට  අවශ්‍ය “හඬ බලය“ මදි නොකියන්නට ලබා දීමට අවශ්‍ය සෑම පියවරක්ම ගත්තේය. 

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට තීරණය කළ වසරට පෙර වසරේදී (2013) මහින්දගේ දේශපාලන දිවියේ 43 වන සංවත්සරය නිමිත්තෙන් මහින්ද වෙනුවෙන් “ අතීතය වර්තමානයට බරක් වන්නට ඉඩ නොතැබූ නායකයා" යැයි මහා ප්‍රශංසාත්මක ලිපියකින් සංග්‍රහ කළ, මහින්දට එරෙහිව ජනපතිවරණ සටනට බසිනා තෙක්ම විපක්ෂය පතුරු ගැසූ සහ මහින්දට ගුණ කියූ මෛත්‍රීපාල සිරිසේන මහතා, තමා එතෙක් නියෝජනය කළ පක්ෂයේම නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි වන්නට තීරණය කළේ කෙසේද යන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තම නෙත්සිත් අදහා ගත නොහැකි සිදු වීමක් විය. 

ජයග්‍රහණය දෑස් මානයේ තබා සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දෙදරවීමට තරම් මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂය සමග අත්වැල් බැඳ ගැනීම ප්‍රබල හේතුවක් විය. එජාපය ප්‍රමුඛ විපක්ෂය විසින් භීෂණයයි-දූෂණයයි- රාජපක්ෂ පෝෂණයයි යැයි 2005 සිටම ජනගත කරන්නට මහත් සේ උත්සාහ කළමුත්- අසාර්ථක වූ සටන් පාඨයන්ට සහ චෝදනාවන්ට ද මහත් වලංගුභාවයක් ඒ සමගම ලැබුණි. 

2010 වසරේදී ද එජාපය ප්‍රමුඛ විපක්ෂය විසින් සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට කැඳවාගෙන විත්, කරන්නට ගියේ ද එම කාර්යයම වුව ද ජනතාව ඔහු දේශපාලනඥයකු වශයෙන් දැක නැති නිසා ඔහුට බලය ලබා දිය යුතු යැයි රැල්ලක් ලෙස සමාජයේ ඉස්මතු වීමක් සිදු නොවුණි. නමුත්, ඒ අවාසිසහගත තත්වය මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් නම් ඇති නොවුණි. දේශපාලනඥයකු වශයෙන් ඔහු විසින් ගොඩනගා ගෙන තිබූ ප්‍රතිරූපය, පාවෙන ඡන්දවල සිට වෙනසක් පැතූ සැමට බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක පැවතුණි.

කෙසේ වුවද, ත්‍රස්තවාදයට ගොදුරුව අගාධයට වැටී තිබූ රටට යළි ජීවය දෙන්නට එදා එඩිතරව ගත් දේශපාලන තීන්දුවේ සිට එය අවසන් වන තෙක් ආරක්ෂක හමුදාවන් සඳහා අවශ්‍ය දේශපාලනමය-මතවාදීමය සහ මූල්‍යමය සවිය ලබා දෙමින්- ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන, ඉන් කෙළවර නොවී රටට ආර්ථික ස්ථායීභාවය ළඟා කිරීම සඳහා එදා සංකල්පයන්ට පමණක් සීමා වී තිබූ අධිවේගී මාර්ග, වරාය, මංමාවත්, නාගරික සංවර්ධනය ආදී විසල් පරාසයක පැතුරුණු සංවර්ධන ව්‍යාපෘති යථාර්ථයක් බවට පත් කරමින්, කොටින්ම සියයට සියයක් යථාවාදී තථාකාරී නොවුව ද පෙර සිටි පාලකයන්ට වඩා යථාවාදී තථාකාරී වෙමින් කටයුතු කළ තම නායකයාට එවන් ඉරණමක් අත් වේ යැයි ඔහුට ඡන්දය දුන් සුවහසක් ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළහ.

ඒ සඳහා පොදු විපක්ෂය විසින් ගෙන ගිය සැලසුම් සහගත- සංවිධිත ක්‍රමෝපාය දැඩි බලපෑමක් එල්ල කළේය. ඒ යටතේ, මහින්දගේ පාලන කාලය තුළ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති මෙගා ඩීල් යැයි ද, කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් කොල්ලකන ලද ආලාපාළු ආර්ථිකයකැයි ද පවසමින් ජනතාව අතර ප්‍රබල ලෙස මනෝමූල මෙහෙයුම් දියත් කරන්නට පොදු විපක්ෂය සමත් විය. මහින්දගේ පාලන කාලය තුළ මාධ්‍ය නිදහස-වග වීම-නීතියේ ආධිපත්‍යය-සමාජ සාධාරණත්වය ආදී නස්පර්ශිත වූ ඇතැම් සංවේදී අංශයන් සම්බන්ධයෙන් නිසි සහ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම සහ නැගුණු චෝදනාවන්ට නොපමාව පිළිතුරු දීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් නොතිබීම ද විපක්ෂයට සිය බල ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ප්‍රබල සහයක් විය.

කෙසේ වුව ද, 57 ලක්ෂයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය භාවිත කළේ තමන් ඡන්දය දිය යුත්තේ මෛත්‍රීපාල සිරිසේනට නොව මහින්ද රාජපක්ෂට යැයි දැඩිව සිතූ නිසාය. තමන්ගේ හදගත් නායකයා මෛත්‍රී නොව මහින්ද යැයි එකහදින්-එකහඬින් පිළිගත් නිසාය. මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දට එරෙහිව පැවසූ වදනක් පාසා මහින්දට ළැදි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මනසෙහි මෛත්‍රීපාල සිරිසේන මහතා කෙමෙන් මියැදුණු චරිතයක් බවට පත් විය. 

ජනපතිවරණයදා තවදුරටත් බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණයක් දියත් කළැයි (තවමත් ඔප්පු නොකළ) චෝදනා නැගුව ද, ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙරම අරලියගහ මන්දිරයෙන් පිටව ගිය මහින්ද රාජපක්ෂ මහතා නොබෝ දිනකින් පක්ෂ නායකත්වයෙන් ද සමු ගත්තේය. එහි කිසිදු ගැටලුවක් නැත. එහෙත් ඒ සමගම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරිය සම්බන්ධයෙන් ද, තමන්ට ඡන්දය දුන් පමණක් නොව නොදුන් ජනතාවගේ පැත්තෙන් ද බැලූ කල සිදු නොවිය යුත්තක් සිදු වුණි. එනම් මහින්දගේ ඇවෑමෙන් මෛත්‍රීපාල පක්ෂ නායකත්වයට පත්වීමයි. එය සිහිනෙන් වත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බලා පෙරොත්තු වූවක් නොවේ. ජනපතිවරණ සමයේම තම හදවත් තුළ මියැද-භූමිදාන කළ පුද්ගලයෙකු තම පක්ෂයේ නායකත්වයට පත් වීම කිසිසේත්ම පාක්ෂික ජනතාව පිළිගන්නා තත්වයක් නොවේ. මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතාව ද කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවේ. ඒ තත්වය මේ වන විට ඉතා පැහැදිළි වෙමින් තිබේ. මහින්ද පක්ෂ නායකත්වයෙන් බැස ගිය ද, පාක්ෂිකයෝ තවමත් ඔහු සමගය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තවමත් තම නායකයා යැයි පිළිගන්නේ මහින්ද මිස මෛත්‍රීපාල නොවන වග ඉතා පැහැදිළි කරුණකි. 

පක්ෂයෙන් පිට පැනීමෙන් ජනපතිවරයා වූවා මදිවට- තමා පිටුපෑ පක්ෂයේම නායකයා වීමට ද අවස්ථාව ලැබීම තමා ළත් වෙස්වළාගත් ආශිර්වාදයක් යැයි ද, තම පෙරොන්දු ඉටු කිරීමට එය ප්‍රබල සහයක් යැයි  ද මෛත්‍රීපාල සිරිසේන මහතා සිතුවේය. සැබෑය. ඔහු පක්ෂ නායකත්වයට පත් නොවූවා නම්, ව්‍යවස්ථා සම්මත කිරීම ආදී බොහෝ දේ ලත් තැනම ලොප් වන්නට බොහෝදුරට ඉඩ තිබුණි. එහෙත් පාක්ෂිකයන්ගේ මනස තේරුම් ගන්නට ඔහුට නොහැකි විය. තමන් පක්ෂයේ මහලේකම් වශයෙන් සිටි කාලයේ පාක්ෂිකයන් තුළ තිබූ ගෞරවය තවමත් තමන්ට ඇතැයි යන වැරදි අදහසෙහි ඔහු එල්බ සිටියේය. එබැවින් පක්ෂ නායකත්වයට පත් මුල් දිනවලදී ඔහු මහින්දට පතුරු යන්නට දොස් නැගුවේය. මහින්දට පක්ෂය නැතුව රැඳිය හැකි වුවත්, පක්ෂයට මහින්ද නැතුව මේ මොහොතේ පැවතිය නොහැකි බව තේරුම් ගෙන ඇති නිසාදෝ, දැන් දැන් මහින්ද විරෝධය අකැමැත්තෙන් වුවත් යම් පාලනයට ලක් කිරීමට ඔහු කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. 

කොටින්ම, මෛත්‍රීපාල දැන් මහින්ද සමග හාද වන්නට යත්න දරණ බවක් පෙනේ. මහින්දට හාද වන්නට උත්සාහ දරන්නට-දරන්නට මෛත්‍රීපාලට ඡන්දය දුන් ජනතාව ඔහුට එරෙහිව දොස් නගන්නේය. සැබෑය, ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ මහින්දට නොදිය යුතු යැයි තරයේ විශ්වාස කළ නිසාය. එලෙස විශ්වාස කළ නායකයා මහින්ද සමග යළි ඇයිහොඳයිකම් පානු දකින්නට වෙනසේ පංගුකාර ජනතාව කොහෙත්ම කැමති නැත. 

ඒ අතරෙම, මෛත්‍රීපාලට තමන් නායකත්වය දරණ පක්ෂයේ ජනමතයට පිටුපාන්නට ද නොහැකි තත්වයක් උදා වී ඇත. පාක්ෂිකයන්ට අනුව, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහි වී, පක්ෂයෙන් ඉදිරිපත් වූ නායකයාට පිටුපා පක්ෂය කඩා ගෙන ගිය අයෙකි. කට ඇර නොකිව්ව ද බොහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ද සිටින්නේ එම අදහසේමය. එබැවින්, මන්ත්‍රීවරුන්ට විනය සමබන්ධයෙන් උපදෙස් දෙන්නට මෛත්‍රීපාල නුසුදුසුස්සෙකු වී හමාරය. එජාපයේ මහත්මා දේශපාලනඥයකු වශයෙන් ජනප්‍රසාදය දිනා සිටි කරූ ජයසූරිය මහතා වැනි අය පවා එජාපයෙන් වෙන් වී- මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය විට එජාප පාක්ෂිකයන් තුළ ද ඔවුන් පිළිබඳව ද හට ගත්තේ එවන් අදහසකි. ඇතැමෙක් යළි පක්ෂයට පැමිණිය ද, ඔවුන් සම්බන්ධයෙන් තවමත් පාක්ෂිකයන් තුළ එකහිතින් කැමැත්ත පළ කරන ස්වභාවයක් නැත.

යම් පක්ෂයක නායකයකු හෝ ජනතා නියෝජිතයකු නම් ඔහු එම පක්ෂය නියෝජනය කළ යුතුය. පාක්ෂිකයාගේ ජනමතය නියෝජනය කළ යුතුය. එක පක්ෂයක තනතුරු දරමින් වෙනත් පක්ෂයක න්‍යාය පත්‍රයන්ට අනුව වැඩ කිරීම කවරෙකුට වුව තම තනතුර අහිමි කර ගැනීමට ප්‍රබල හේතුවක් වනු ඇත්තේය. පක්ෂ අභ්‍යන්තරයෙන්ම එවැනි තැනැත්තන්ට එරෙහිව කැරළි ගැසීම ආරම්භ වනු ඇත්තේය. 

එසේ නම්, මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කළ යුත්තේ කුමක් ද? 

තමන්ට ඡන්දය දුන් ජනතාවට ද ද්‍රෝහී නොවී, තමන් පිටුපෑ පාකෂික ජනතාවට ද ද්‍රෝහී නොවී වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය වෙනත් සුදුස්සෙකුට පවරා නිර්පාක්ෂික වීමය. දේශපාලනික වශයෙන් නිල්-රතු කොළ යැයි කිසිදු පාටක් නැති පුද්ගලයෙකු බවට පත්වීමය. 

මේ අවස්ථාවේ කළ යුතු නිවැරදිම තීන්දුව එය වන්නේය. නැතහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට නිසැකවම අල්ලපු අත්ත ද, පය ගහපු අත්ත ද නැති වනු ඇත්තේය. එසේ නොවුවහොත්, කොටින්ම තෘප්තියෙන් යුතුව සහ ගෞරවාන්විතව පක්ෂ නායකත්වයේ කටයුතු සේම ජනපති ධුරයේ කටයුතු කරන්නට අවකාශ නොලැබෙනු ඇත්තේය. 

නිර්මාණය වී ඇති දේශපාලනික තත්වය හමුවේ "රැවුළත් කැඳත් දෙකම ඕනෑය" යන මනෝභාවයේ තවදුරටත් රැඳී සිටීම මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතකර නම් නොවන්නේය.