Wednesday, October 7, 2015

පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හමුවේ ඔඩුදුවන ජාතිවාදය..

අප රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙති. නිදහසින් පසු ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජාතිකත්වයක් (Nationality) ගොඩ නගනු විනා, එක එක ජනවර්ගයට විවිධ ප්‍රමාණයේ හැඳිවලින් බෙදීමේ සහ විවිධ ප්‍රමාණයෙන් බෙදා ගැනීමට තැත් කිරීමේ පටු ජාතිවාදී දේශපාලනයේ ප්‍රතිඵල ලෙස 1948 ලත් නිදහසින් පසු හරි අඩක්ම අප රට ජන ඝාතක සහ ආර්ථිකඝාතක දැවැන්ත යුද්ධයක පැටළුණි.


 ශ්‍රී ලාංකීය දේශපාලන න්‍යාය පත්‍රවල ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රවල ද තවමත් යුද්ධයේ ශේෂමාත්‍ර කතා බහට ලක් වන බැවින් තවමත් අප ඒ යුද්ධයෙන් මිදී නැති බව පැහැදිළිය. 


නමුත්, යුද්ධයක අමිහිරිබව විඳි රටක පුරවැසියන් වශයෙන් අප තවමත් අතීතයෙන් පාඩම් උගනින්නට සූදානම් නැති බව පෙනේ. සමාජ ජාල වෙබ් අඩවිවල වෛරසයක් සේ විවිධ නිර්නාමික පිටු සකස් කරගෙන සිංහල මුස්ලිම් කෝලාහලයක්ට අර ඇඳීමට දිවා රෑ නොබලා ඇතැමුන් අර අඳිනු පෙනීමෙන් ඒ බව පසක් වේ. මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයන් පමා වන්නට- පමා වන්නට සිදු වෙන හානිය ඉතා දැඩි බව පාලකයන් තේරුම් ගත යුතුය. 

කිසිදු ආගමික කොට්ඨාසයකට නීතිය අතට ගැනීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය. එය  ඉස්ලාම් ද බෞද්ධ ද ක්‍රිස්තියානි ද හින්දු ද වෙන කුමක් හෝ කියා භේදයක් නැත. නබි තුමා ආව ද බුදුරදුන් ආව ද ජේසු තුමා ආව ද නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක විය යුතුය. (බුදුරදුන් පවා භික්ෂූන්ට කීවේ "අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තිතුං" එනම් රාජ නීතියට අනුව (එනම් රටේ නීතියට අනුව) කටයුතු කරන්නට කියාය) 

විග්නේශ්වරන් මහ ඇමතිවරයා උතුරේ අනෙකුත් ජාතීන්ට පදිංචි විය නොහැකි යැයි තවමත් ප්‍රකාශ කරති. ඒ අනුව, උතුරේ වෙනම ජාතිවාදයකි. රටේ ව්‍යවස්ථාවට අනුව ඕනෑම පුරවැසියෙක්ට රටේ ඕනෑම තැනක පදිංචි වීමට නිදහසේ ජීවත් වීමට අයිතිය ඇත. එහෙත්, මේවාට විරුද්ධ නොවී රට බල්ලට ගියත් ඡන්දය බලා ගෙන වැඩ කරනා අපේ රටේ පාලකයන් ගල් ගිල්ල බමුණන් සේ කට පියා ගෙන සිටිති.

ඒ අතර, ප්‍රතිපත්තිවලින් බෞද්ධ නොවන එහෙත් සිංහල බෞද්ධ යැයි උජාරුවෙන් කියා ගන්නා ඇතැමෙක් (සැබැවින්ම බෞද්ධ ප්‍රතිපත්ති මත කටයුතු කරනා සිංහලයන් ගැන නොවේ. ඔවුන්ගෙන් සතා සිව්පාවෙකුටවත් කරදරයක් නැත) මෙය බුදුන්ගේ දේශය යැයි ද, මෙය අන් ජාතීන්ට තහනම් යැයි ද අන් ජාතීන් ආ තැනකට යා යුතු යැයි ද තවත් ජාතිවාදයක නිරත වෙයි. ඒ ගැන ගී සින්දු සකස් කර රින්ගින් ටෝන් ලෙස ද යොදාගනිති. මුස්ලිම් කවඩල් වර්ජනය කරන්නැයි ඔවුන් කියනා විට ඔවුන් වැනිම අන්තගාමී ඇතැම්  මුස්ලිම් අය ද සිංහල ව්‍යාපාර සහ ඔවුන් නිපදවන භාණ්ඩ වර්ජනය කරන්නැයි සමාජ ජාලවල පෝස්ට් ෂෙයා කරති. 


එවැනි ජාතිවාදී ඇතැම් මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී පාකිස්තානය ජයගත් පසු විසිල් ගසා හුරේ දමා රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වෙති. 

ඒ අනුව බලන විට ජාතිය ගොඩ නැගීම (Nation Building) කියන කාරණයෙන් අප ගව් ගාණක් එපිට බව පෙනේ. සිංගප්පූරුව ජාතිය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ඇණගත් ඇනගැනිල්ල දෙස බලා ගුරුහරුකම් ගත්තේය. නමුත් අප රට වාර්ගික වශයෙන් බෙදී වෙන් වෙලාය. එකාට එකා නැත. තවමත් එකිනෙකා ගැන වෛරයෙන් සැකයෙන් බලන තැනය. සියලු ජනවර්ගයන්ට ශ්‍රී ලංකාව අපේ රට යැයි හදවතින් සහ ආඩම්බරෙන් කිව හැකි  තැනක නැත. 

විල්පත්තු කැලේ කපනවා නම් එය ආරක්ෂා කිරීමේ නෛතික වගකීම තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මිස ආගමික කණ්ඩායම්වලට නොවේ. තලේබාන් ගණයේ විසඳුම් ආරෝපනය කරන්නට යෑම බුද්ධිමත් පිළිවෙත නොවේ. බංගලාදේශයේ බෞද්ධ භික්ෂූන් අමු අමුවේ ඝාතනය කෙරෙන්නේ එලෙස ආගමික අන්තවාදයන්ට යට වී නීතිය බල්ලට ගොස් ඇති නිසාය.   

කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් නම්, එය ආරක්ෂා කිරීමේ වගකීම අදාළ ආයතන සතුය. ආයතනවල අකාර්යක්ෂමතාව මැඩලීම සඳහා විසඳුම් දෙනු වෙනුවට ජාතිවාදයෙන් පිළතුරු සෙවීමට යාම විසඳුම් නොවේ.

මෙලෙසින් රටේ පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හේතුවෙන් දිනෙන් දින ඔඩුදුවන ජාතිවාදය, දිනක අපේ රට මහා විනාශයකට ඇද දමනු ඇත.

ශ්‍රී ලංකාවේ සාක්ෂාරතාව 98% යි... ඒත් අපි කොතන ද?

සාක්ෂරතාව අතින් අප ආසියානු කලාපයේ ඉහළම රටවල් අතර සිටී.  (අප රටේ සාක්ෂරතා මට්ටම 98%ක් යැයි කියති) 

සමාජ සංවේදීතාවක් රහිත එහෙත් විවිධ උපාධි ගසාගත් ඇතැමුන්ම දෙමළා -හම්බයා පරයින් යැයි ද එවුන්ට මෙහි ඉන්නට වරම් නැත යැයි ද කියන විට, ඊට ප්‍රතිපක්ෂ ලෙස දෙමළා ද මුසල්මානුවා ද රටේ වෙනම කෑලි කඩා ගැනීමේ මානසිකත්වයෙන් පටු ජාතිවාදයෙහි යෙදෙන විට, නීතිය බල්ලට යන විට, හොරකම-වංචාව-දූෂණය ආයතන වසාගෙන ඇති විට, ළමා අපචාර-ස්ත්‍රී දූෂණ එකක් පස එකක් අසන්නට ලැබෙන විට, ඇඟේ හැපුනත් සොරි කියා යන අතක නොයා අතින් පයින් ගේම ඉල්ලනා මිනිසුන් සමාජයේ නොසෑහෙන්න සිටින විට, තමන්ගෙ කුණු තැනක් නොතැනක් නොබලා රිසිසේ දමා රට අවලස්සන කරන මිනිසුන් නොසෑහෙන්න සිටින විට, අප රට සාක්ෂරතාව අතින් ඉහළ යැයි සැබවින්ම කිව හැකි ද යන්න මට නම් ගැටලුවකි.


මේ සමාජ ප්‍රශ්නවලට හේතුව අපගේ අධ්‍යාපනයෙහි ඇති අසංවිධිතබව නොවේ ද? විෂය නිර්දේශවල අන්තර්ගතයන්හි අඩුපාඩු නොවේ ද? 


සමස්තයක් වශයෙන් ලංකාවේ අධ්‍යාපනයේ ඵලදායීබව සහ ගුණාත්මකබව පිළිබඳ දැඩි ප්‍රශ්න තිබේ. 

2015 පළමු කාර්තුවට අදාළ සංඛ්‍යාෙල්ඛනවලට අනුව ශ්‍රී ලංකාවේ රැකියාවිරහිතබව 4.7%ක් වන අතර, ඉන් ඉහළම ප්‍රතිශතය උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන සුදුකම් ඇති අයවළුන් අතරය. (පහත වගුව බලන්න) මෙය අපේ රටේ අධ්‍යාපනයේ ඇති අර්බුදය මැනවින් පිළිබිඹු කරන්නක් නොවේ ද? 

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශ්‍රම අවශ්‍යතාවන්ට නොගැළෙපෙන උපාධි පාඨමාලා හදාරන පිරිස ඉතා ඉහළය. ඒ හැරත්, බාහිර උපාධි වශයෙන් රැකියා ඉල්ලුමක් නැති එවැනි විෂයන් හදාරන පිරිස දහස් ගණනකි. වසර තුන හතරක් කැප කර, උපාධියකුත් ලබා රැකියාවකට යනු නොහැකිව නිවසට වී, රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් එනතෙක් බලා සිටින්නට වීම යනු දැඩි අර්බුදයකි. 

විෂය ධාරා තෝරා ගැනීමේදී පාසල් මට්ටමින්ම ඉහළ ප්‍රතිශතයක් විද්‍යා, ගණිත,වාණිජ සහ තාක්ෂණික විෂය ධාරාවන්ට යොමු කරවීමත්, ඉතා සීමිත ප්‍රතිශතයක් කලා විෂය ධාරාව සඳහා යොමු කරවීමත් කළ නොහැක්කේ මන්ද? (එවැනි යෝජනාවක් පසුගිය රජය සමයේ පැමිණිය ද ඒවායෙහි වත්මන් තත්වය නොදන්නෙමු) 

එසේම, උසස් පෙළ හදාරන සැවොම සරසවි යා යුතු යැයි නියමයක් නැත. සාමාන්‍ය පෙළින් හෝ උසස් පෙළින් හැළෙන ළමයාගේ ඉදිරි අනාගතය සඳහා නිසි වෘත්තීය වැඩ පිළිවෙළක් ඇති කිරීම පාලකයන්ගේ වගකීමය. ඒ සඳහා දැනට පිහිටුවා ඇති වෘත්තීය පුහුණු ආයතන වඩා ශක්තිමත් කරමින්, ජීවිකාව සඳහා වෙළඳපොළ ඉල්ලුම ඇති කිසියම් වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැළසිය යුතුය. අප රටේ ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනයෙන් පවා නිසි ඵල ලැබෙන්නේ එවිටය. 

එවැනි අධ්‍යාපනයක් ලබා දීමට නම් ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව ඉතා පැහැදිළිය. ඉගැන්වීම් ක්‍රමශිල්ප සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සහ විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් අදට ඔබින ලෙස සමාජහිතකාමී මිනිසෙකු නිර්මාණය කරන ලෙස සකස් කිරීම ඒ අතර ප්‍රධානය.

වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා, විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් සම්බන්ධයෙන් මා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙසේය.

යෝජනා

1.
පොදු සමාජ ආචාර ධර්ම පාසල් අධ්‍යාපනයේ ප්‍රාථමික අවදියේ සිටම විෂය ඒකකයක් ලෙස ඉගැන්වීම 

(මිනිහෙක්ට මිනිහෙක් කෙරෙහි තිබිය යුතු මානව ගෞරවය, ආචාරශීලිත්වය සහ කිසිවෙකුටත් හානිකර නොවන සමාජ චර්යාවන්හි වැදගත්කම ඉන් අවධාරණය විය යුතුය)

2. සැමට එකඟ විය හැකි සහ ආචාර විද්‍යාත්මක වශයෙන් වැදගත් සියලු ආගම්වල එන මූලික ඉගැන්වීම් ඇතුළත් පොදු විෂය ඒකක පාසල් විෂය නිර්දේශය තුළට ඇතුළත් කිරීම  -සමයාන්තර අධ්‍යයනයක් වශයෙන්

ඒ අනුව ආගමෙන් හින්දු වන ශිෂ්‍යයාට බුදුදහම, ඉස්ලාම් දහම සහ ක්‍රිස්තු ධර්මය ගැන අවබෝධයක් ලැබිය හැක. මුස්ලිම් ශිෂ්‍යයාට බුදුදහම, ක්‍රිස්තු ධර්මය සහ හින්දු දහම ගැන වැටහීමක් ලැබිය හැක. බෞද්ධ ශිෂ්‍යයාට ඉස්ලාම් දහම, ක්‍රිස්තු ධර්මය සහ හින්දු ධර්මය ගැන වැටහීමක් ලැබිය හැක. එය ජාතික ඒකාග්‍රතාවට මග සළසනු ඇත. අන්තර් ආගමික අවබෝධයට ද ඉවහල් වනු ඇත.

3. මූලික නීතිය, මූලික මිනිස් අයිතිවාසිකම්, නීතිගරුකත්වයෙහි ඇති වැදගත්කම සහ සමාජය යහපැවැත්මට එය ඉවහල් වන ආකාරය පිළිබඳව අවධාරණය කරමින් නීතිය පිළිබඳ සරළ පොදු විෂය ඒකකයක් අධ්‍යාපන විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 


( දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳවත්, වැරදි කළහොත් ලැබෙන දඬුවම් පිළිබඳවත් 9 වසරේ සිට උසස් පෙළ දක්වාම එය ක්‍රමිකව ඉගැන්විය යුතුය)

4. කලා විෂයධාරාව හදාරන ප්‍රමාණය අතිශය සීමා කිරීම හා මානවශාස්ත්‍ර විෂයන් ඇසුරින් සකසන ලද පොදු විෂය ඒකක ගණිත, විද්‍යා සහ තාක්ෂණික විෂය ධාරා හදාරන අයට අනිවාර්ය කිරීම 


(ඒ අනුව, කුමන භාෂා මාධ්‍යයකින් කුමන විෂය ධාරවක් හැදෑරුව ද ඔවුන්ට විෂය ඒකකයක් ලෙස මව්බස ඉගෙන ගැනීමට සිදු වනු ඇත. පොදු ආචාර ධර්ම විෂය ඒකකයක් ලෙස හැදෑරීමට සිදු වනු ඇත. ඕනෑ නම් සමයාන්තර අධ්‍යයනය ද ඊට ඇතුළත් කළ හැක. වඩා සාධාරණ සමාජ දැක්මකට මග පාදන තෝරා ගත් සාහිත්‍ය කෘති අනිවාර්යයෙන් ඊට ඇතුළත් විය යුතුය. (විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකීය සහ විශ්ව සාහිත්‍ය කෘති)

මා දන්නා තරමින් ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල විද්‍යා තාක්ෂණික ආදී කුමන විෂය ධාරවක් හැදෑරුව ද නිදහස් කලා විෂයධාරාව (liberal arts) යටතේ හැදෑරිය යුතු පොදු විෂය ඒකක ඇත. ඒ අනුව, සාහිත්‍යය, ආචාර ධර්ම,තර්ක ශාස්ත්‍රය,දර්ශනය,සමාජ විද්‍යාව ආදී මානව ශාස්ත්‍ර විෂය ඒකක ප්‍රධාන උපාධි පාඨමාලා හා ඒකාබද්ධ කර ඇත. 

මානව අයිතිවාසිකම් සුරකින- වඩා ප්‍රජාතාන්ත්‍රික වූ සමාජයකට පිය මැනීමේදී යාන්ත්‍රික මිනිසුන් වෙනුවට සමාජ සංවේදීතාවෙන් යුතු, ප්‍රශ්න නිවැරදි ලෙස කළමනාකරණය කළ හැකි මිනිසුන් බිහි කිරීමට එය ප්‍රබල පිටුබලයක් සපයයි. (සමාජ සංවේදී මිනිසුන් බිහිකිරීමට මානව ශාස්ත්‍ර විෂයන්ට අපූරු හැකියාවක් ඇත)

මේ සම්බන්ධයෙන් කියවන්න.

කලාව කුමට ද? පරිවර්තනය ලියනගේ අමරකීර්ති. පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මානව ශාස්ත්‍රීය අධ්‍යාපනය තාක්ෂණික විෂයන් එක්ක බද්ධ කරන අධ්‍යාපන ආකෘතියකට හොඳ ආලෝකයක් මේ පොත අපට ලබා දේ.

5. පරිසර අධ්‍යයනය සහ පාරිසරික සම්පත් සුරැකීමේ වැදගත්කම අවධාරණය කෙරෙන පොදු විෂය ඒකකයක් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 


6. ලිංගික අධ්‍යාපනය පාසලේදී විෂය ඒකකයක් ලෙස නව යොවුන් වියේ දී ලබා දීම

"උදා වූ යෞවනය" නමින් එජාප රජය සමයේ පාසල්වල බෙදාහැරි පොත ද අවාසනාවට එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය වූ තාරාද මැල් මහත්මිය විසින් අපේ සංස්කෘතිය විනාශ වේ යැයි තහනම් කෙරුණි. පොත මුල සිට අගට කියවූවෙකු වශයෙන් ද මගේ අදහස නම් එහි නොවැදගත් යැයි බැහැර කළ හැකි කිසිවක් නැති බවත්, නව යොවුන් වියට පත්වන ළමයෙකුගේ කායික මානසික වෙනස්වීම්-ලිංගිකත්වය පිළිබඳවත් වැදගත් තොරතුරු එහි සඳහන් වන බවත්ය. 

එවැනි අවබෝධයක් ලබා දීම වැරැද්දක් වන්නේ කෙසේ ද? 


............................................................................................................

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සැප්තැම්බර් මාසයේ දී නිව්යෝක් නුවරදි රැස්විය. 

එහිදී 2000 වසරේ සිට 2015 වසර තෙක් ක්‍රියාත්මක කරනු ලැබූ සහශ්‍ර සංවර්ධන ඉලක්ක (MDGs)  2015 වසරින් ඇතැම් සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් සමග අවසන් වීමත් සමග, 2015 වසරේ සිට 2030 දක්වා ඊට වඩා පුළුල් ඉලක්ක සමුදායක් "තිරසර සංවර්ධන ඉලක්ක" (SDGs) නමින් ඉලක්ක 17ක් යටතේ ප්‍රකාශයට පත් කෙරුණි. 

එ් යටතේ ප්‍රධාන වශයෙන්ම සමාජ සාධාරණත්වය රජයන, සියලු පාර්ශව ඇතුළත් වන (Inclusive), පරිසර හිතකාමී, ස්ත්‍රී පුරුෂසමානාත්මතාව සපිරි, ජාතිභේද රහිත, දරිද්‍රතාව රහිත මානව සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක සමුදායක් ඉදිරිපත් කෙරුණි. 

මා විසින් ඉහතින් යෝජනා කර ඇති විෂය නිර්දේශ අන්තර්ගතයන් සම්බන්ධ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකින් එහි එන බොහෝ ඉලක්ක සාධනය කර ගැනීමට ප්‍රබල පිටුවහළක් බව මගේ අදහසයි. 


ජාතිවාදී කෝළාහල නොඇවිළවෙන තැනට- පුද්ගලාන්තර ගැටුම් නිර්මාණය නොවන තැනට- සමාජ සාධාරණත්වය සහ නීතිගරුකත්වය මත සමාජය දුවන තැනට- අධ්‍යාපනය ජීවිකාව සඳහා මෙන්ම සමාජයේ යහපැවැත්මට ද උපකාරී වන තැනට සහ ආගමික හෝ ගතානුගතික සංස්කෘතික වරපටිවලින් මිදුණු නිදහස් පොදු සංස්කෘතියක් ඔස්සේ ගමන් කරන තැනට අධ්‍යාපනය තුළින් මිනිසුන්ගේ ඔළු ගෙඩි ටික හැදිය හැකි නම් එවන රටක ජීවත් වීමේ භාග්‍යය තරම් භාග්‍යයක් මට නම් තවත් නැත.