Monday, November 16, 2015

මිනිසුනේ, නිදහස් පොදු සංස්කෘතියකට එකතු වෙයව්...

මිහිතලය මත මිනිසාගේ පැවැත්ම ඇරඹියේ යම් දවසක ද, එදා පටන්ම මිනිසා හා සබැඳි සෑම දෙයක්ම පාහේ වෙනසට භාජනය වෙමින් පැවතවිත් තිබේ. එම වෙනස් වීම් පොදුවේ මානව සමාජයට-මේ මිහිතලයට සාධනීය මෙන්ම නිෂේධනීය ඵල ද ඇති කර තිබේ. එසේ වුව ද, ඒ අවිච්ඡින්න වූ පරිණාමීය ක්‍රියාවලිය මිනිසා හා බැඳී පවත්නා විවිධ වූ අංශ පුරා අදදු සිදු වෙමින් පවතින අතර, මිනිසාගේ වගකීම වන්නේ එම වෙනස සමස්ත සමාජයට සෙත සැළසෙන පරිදි සාධනීය අයුරින් සිදු කර ගැනීමය.  

වසර දහස් ගණනක් පුරා තම ජනසමාජය තුළ පරම්පරාගතව පැවත එමින් තිබුණේ යැයි කියා හෝ තම ආගමික ශාස්තෘෘවරුන් විසින් මෙසේ කළ යුතු යැයි පවසා ඇති නිසා හෝ කිසියම් ජන සමාජයක පවත්නා සංස්කෘතිය කිසිවිටෙකත් ආධානග්‍රාහීව පවත්වා ගත යුත්තේ නොවේ. වසර දහස් ගණනක් පැරැණි වුව ද, ආගමින් නියමිත වුව ද යම් සංස්කෘතිකාංගයක් සමාජයේ පොදු යහපැවැත්මට හානිකර නම් සහ ප්‍රතිගාමී නම්, ඒවා ඉවත් කර, ඒ වෙනුවට සමාජයේ පොදු යහපැවැත්මට හිතකර වූ ප්‍රගතිශීලි අංගයන් මිනිසා වැළඳ ගතයුත්තේමය. එසේ නොවන ජනසමාජ තුළ ආගමික හා වාර්ගික අන්තවාදයන් බලපවත්වනු ඇත්තේය. එය වාර්ගික හා ආගමික ගැටුම් කරා පියනගනු ඇත්තේය.  

එබැවින්, තමා අදහන ආගමින් නියමිත ඇඳුමට හෝ තමා අයත් යැයි කියනු ලබන ජනවර්ගයට අනන්‍ය යැයි කියන ඇඳුමට පැළඳුමට මිනිසා කිසිසේත්ම කොටු විය යුතු නැත. බාහිර පෙනුමෙන් මිනිසෙකු කුමන ආගමකට-කුමන ජාතියකට අයත් දැයි හඳුනාගත නොහැකි තරමට කිසිදු වාර්ගික හෝ ආගමික වශයෙන් ලේබල්කරණය නොවූ නිදහස් ඇඳුම් පැළඳුම් රටාවකට සමස්ත සමාජය පැමිණිය යුතුය. එහෙත්, එලෙස වෙනස් වීමට ඇති අවකාශය සහ නිදහස බොහෝ විට ආගම මගින් අහුරා ඇති බව පෙනේ. මෙකල සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ මෙන්ම වෙනත් බොහෝ රටවල ජනසමාජයන්හි ද පවතින්නේ මිනිසෙකු දකින පළමු බැල්මෙන්ම " මොහු අසවල් ආගමේ - අසවල් ජාතියේ " යැයි එකිනෙකා බෙදා වෙන් කරන්නා වූ, වාර්ගික හෝ ආගමික වශයෙන් එකතු වී ඇති අංගයන් නොවේ ද? 

සැබවින්ම, එකිනෙකා වෙන් කරන්නා වූ එවැනි සංස්කෘතිකාංගයන්ගෙන් මානව සමාජයට ඇති ඵලය කුමක් ද? 

ආගමේ හෝ ජාතියේ නමින් තවත් පිරිසකගේ දිවි නසන්නට පෙළඹෙන මිනිසුන්ගේ ඔළුගෙඩි තුළ කිඳා බැස ඇති ආගමික හෝ වාර්ගික අන්තවාදයන්හි ඇති තරම කොතරම් ද යන්න අප රට දෙස පමණක් නොව ලොව අන් බොහෝ රටවල් දෙස ද බැලීමෙන් පෙනී යයි. එහෙත්, ප්‍රශ්නය ඇත්තේ ආගමික හා වාර්ගික වරපටිවලින් දැඩිව බැඳුණු මිනිසුන් ඉන් නිදහස් වෙන්නට සූදානම් ද යන්නය. 

අධ්‍යයන විෂයයක් ලෙස තුලනාත්මකව සෑම ආගමික ඉගැන්වීමක්ම ඉගෙන ගත්තාට සහ ඉන් කිසිවෙකුටත් හානියක් නැති යහපත් ඉගැන්වීම් ජීවිතයට එකතු කර ගත්තාට කිසිදු ගැටලුවක් නැත. එසේම, මිනිසා කිසියම් ආගමකට බැඳී නොසිටියා කියා සුරක්ෂිත මානව සමාජයක් නිර්මාණය කිරීමට එය බාධාවක් නොවන බව ද මෙහිලා සඳහන් කළ යුතුය. ආගමික ලේබල්කරණයෙන් තොරව පොදු මානව ආචාර ධර්ම මිනිසාට ප්‍රාථමික අවදියේ සිටම අධ්‍යාපනික ක්‍රියාවලිය හරහා ලබා දෙන්නේ නම්, ආගමින් ඇති කරනු ලබනවා යැයි කියනු ලබන සමාජ සදාචාරය පහසුවෙන් ඇති කළ හැක. නීතිය ද ඒ සඳහා උපකාරී වනු ඇත්තේය.    

පොදුවේ අප සමාජයේ බටහිර ජාතීන් පිළිබඳව පවතින්නේ සුභවාදී ආකල්පයක් නොවේ. එය උදේ රෑ දිවා පාලකයන් විසින් අප මත ඇති කරන ලද මතයන් හා ඉතිහාසය තුළ ඇතැම් බටහිර ජාතිකයන් සිදු කර ඇති ක්‍රියාකාරකම්හි ප්‍රතිඵල ලෙස ඇති වුණකි. ඒ කෙසේ වුව ද, අප සමාජයට ඔවුන්ගෙන් උකහා ගත යුතු බොහෝ දේ ඇති බව අපගේ හැඟීමයි. පළමු කොටම අප වැළඳගත යුත්තේ ඔවුන් අතර ඇති සංස්කෘතික නිදහස්බවය.

ප්‍රංශය පසුගිය කාලයේ පාසල් තුළ ආගමික සංකේත හැඳීම තහනම් කළේය. ඒ ආගම් කෙරෙහි ඇති වෛරයක් නිසා නොව, ලෞකික රාජ්‍යයක් ලෙස තමන් ප්‍රවර්ධනය කරන්නා වූ පොදු නිදහස් සංස්කෘතියට එය බාධාවක් ලෙස ඔවුන් සළකන නිසාය. මුස්ලිම් නොව බෞද්ධ වුව ද හින්දු වුව ද අන් කිසි ආගමක වුව ද පොදු සංස්කෘතියකට බාධාකාරී වන එවැනි ගතානුගතික අංග තිබේ නම්, සමාජය ඉන් නිදහස් විය යුතුය. මෙය නීති මගින් පාලනය කරනවාට වඩා මිනිසුන් විසින් සිතා බලා වෙනස් වන්නේ නම් වඩා හොඳය. නමුත්, එවැනි වෙනසකට මගපෑදීමට පාලන තන්ත්‍රයට කළ හැකි කාර්යභාරය බොහෝය.  

පසුගිය ආණ්ඩු සමයේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයක් පැවතුණි. වත්මන් ආණ්ඩුව යටතේ ජාතික සංවාද ඇමතිධූරයක් ඇති කර තිබේ. එකිනෙකා බෙදා වෙන්කරන වගන්ති- නීති- අංගයන් පිරිවරා ගන්නා අතරම, වාර්ගික සංහිඳියාව සඳහා අමාත්‍යංශ හැදුවාට පලක් නැති බව අපගේ හැඟීමයි. අධ්‍යාපනික ක්‍රියාවලිය තුළින් පොදු සංස්කෘතියකට මග සළසන නිදහස් මනස් නිර්මාණය නොකරන තාක් සහ කිසිදු ජාතියකට ආගමකට විශේෂයක් නොකරන ආකෘතියක් නිර්මාණය නොකරන තාක් සමාජය දිනෙන් දින බෙදී වෙන්වනු ඇත්තේමය. 

එබැවින්, අපට පොදුවේ මිනිසුන්ට කීමට ඇත්තේ මෙපමණය.

මිනිසුනේ, ආගම්-ජාති-කුල-ගෝත්‍ර පැත්තකින් තබව්.. නිදහස් පොදු සංස්කෘතියකට එකතු වෙයව් කියාය...