Friday, December 18, 2015

ජාතිවාදයේ මූලබීජ නැති කළ යුත්තෙ රාජ්‍ය ව්‍යුහයෙන්ම නොවේ ද?

මනුෂ්‍යත්වය අගය කරන මිනිස්සු වශයෙන් අප අයිසිස් වේවා තලේබාන් වේවා බෝකෝ හරාම් වේවා එල්ටීටීඊ වේවා (මතවාදීමය වශයෙන් සක්‍රීය වුවත් සන්නද්ධමය වශයෙන් අක්‍රීයව ඇති) එසේත් නැතිනම් වෙන යම් ආගමික/වාර්ගික වේශයෙන් ක්‍රියාත්මක අන්තවාදී ව්‍යාපාරයක් වේවා ජනතාව තළන පෙළන- මනුෂ්‍යත්වයට එරෙහි ඒ සියලුම අන්තවාදී ව්‍යාපාර සපුරා හෙළා දකින්නෙමු. එහෙත්, අප එසේ කරන්නේ අප අප්‍රිය කරන කිසියම් අන්තවාදයක්/දෘෂ්ටිවාදයක් නරකය කියන අතරේ, අප ප්‍රිය කරන තවත් වාර්ගික හෝ ආගමික අන්තවාදයකට/දෘෂ්ටිවාදයකට හුරේ දමන අතරේ නොවේය.


නිදසුනක් ලෙස, ඉස්ලාම් අන්තවාදයට එරෙහි වන අතරේම සිංහල බෞද්ධ වෙසින් ක්‍රියාත්මක අන්තවාදයට ද, එසේම උතුරේ දෙමළ අන්තවාදයට ද අප එරෙහි වන්නෙමු. ඒ මක් නිසාද යත්, එක් අන්තවාදයක් පිටු දැකීමට වෙනත් අන්තවාදයක් යොදා ගැනීම මගින් එකිනෙකට එරෙහි කලකෝලාහල-එදිරිවාදීකම් නිර්මාණය වෙනවා පමණක් නොව කාලයාගේ ඇවෑමෙන් රට තුළ මහා පරිමාණ යුද ගැටුම් පවා ඇවිළිය හැකි බැවිනි.   

නමුත්, අපට ඇති ප්‍රශ්නය වන්නේ රටේ නීතිය තුළම- රාජ්‍ය ව්‍යුහය තුළම එවැනි අන්තවාදයන් පෝෂණය කිරීමට අවශ්‍ය සාධක තබා ගන්නා අතරේම ඒවා වළක්වා ගත හැක්කේ හෝ ඉන් ජනතාව ඈත් කළ හැක්කේ කෙසේ ද යන්නයි. 


නිදසුනක් ලෙස, කන්ද උඩරට, තේසවලමේ, මුස්ලිම්, මුක්කුවා ආදී විවිධ වාර්ගික ආගමික සහ ප්‍රාදේශීය විශේෂතාවෙන් යුත් නීති පද්ධතීන්ගෙන් අපේ රටේ නීතිය සැදුම්ලත්ය. (ව්‍යවස්ථාපිත නීතිය හැර) නමුත්, එලෙස අච්චාරු සහගතව පවතින අපේ රටේ නීතිය දැන්වත් කිසිදු ආගමික-වාර්ගික-ප්‍රාදේශීය විශේෂත්වයකින් තොරව පුරවැසියන් ලෙස සැමට පොදුවේ බලපාන පරිදි සකස්  කළ යුතු නොවේ ද? 


1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අනුව (මුස්ලිම් විවාහ නීතියට අනුව) මුස්ලිම් මිනිසෙකුට විවාහ හතරක් එකවර කරගත හැක. ඉස්ලාම් ආගමානුකූලව ඊට අවසර ඇති නිසා වෙනම පනතක් හරහා ඊට අවකාශ සළසා ඇත. නමුත්, සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥාපනතට අනුව විවාහ වීමේදී එක් විවාහයක් කර ගෙන සිටින අතරතුර එය දික්කසාද නොකර තවත් විවාහයක් කරගතහොත් ඔහු හෝ ඇය බහුවිවාහ වරදට හසුවෙයි. නමුත්, එක රටක එලෙස නීති පද්ධති දෙකක් තිබිය හැකි ද සහ එලෙස තබා ගත යුතු ද? සැබවින්ම නැත.


කන්ද උඩරට නීතිය ගත්ත ද තේසවලමේ නීතිය ගත්ත ද මුක්කුවා නීතිය ගත්ත ද ඒ ඒ නීති පද්ධති මගින් ද යම් යම් වාර්ගික-ආගමික සහ ප්‍රදේශ බද්ධ කණ්ඩායම්වලට විශේෂ සැළකිලි දක්වා ඇත. එය වෙනස් විය යුතු නොවේ ද? වෙනස් කළ යුතු නොවේ ද?


ඒ ඒ ආගමිකයන්ගේ පාරම්පරික ආගමික සංස්කෘතික චාරිත්‍රයන්ට-සම්ප්‍රදායන්ට ගරු කරමින් නීතිය තුළ එලෙස අවකාශ සළසා දිය යුතු යැයි කිසියම් අයෙකු කිව හැක. නමුත්, නීතිය තිබිය යුත්තේ ඒ කිසිදු පාරම්පරික හෝ නූතන කිසිදු හෝ ආගමකට/ආගමික චාරිත්‍රයකට/සම්ප්‍රදායකට යටත්ව නොව ඊට ඉහළින් නොවේ ද? 


එමෙන්ම, රටක නීතිය සේම රාජ්‍ය ව්‍යුහය ද සියලුම වාර්ගිකත්වයේ සහ ආගමිකත්වයේ වරපටිවලින් සපුරා වියුක්ත විය යුතු යැයි අප පවසන්නේ එමගින් නීතියට-රාජ්‍යයට සහ එහි ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම පොදු පුරවැසි සංස්කෘතියකට මග සළසන නිදහස් ලෞකික රාජ්‍යයකට දැඩි සේ බාධාකාරී වන නිසාය. එපමණක් නොව මිනිසුන් වෙන් කරන සුළු නිසාය. 


එහෙත්, අප රටේ ඉදිරිය ගැන නොව එකිනෙක ජාතීන් එකිනෙකාට එදිරිව ගහමරා ගත්ත ද, තම ඡන්දය ගැන පමණක් සිතා කටයුතු කරන, රට හැදීමට යැයි කියා ගොස් තමන් හැදෙන්නට වෙර දරන අධම දේශපාලනඥයන් මේ කිසිවක් නිවැරදි කිරීමට පියවර ගන්නා බවක් අපට පේන්නෙ නැත. 


ජාතිය ආගම ලේබල් කරගත් පක්ෂ තවමත් තිබෙන්නේ ඒ නිසාය. ජාතිය ආගම ලේබල් කරගත් පාසල් තවමත් තිබෙන්නේ ඒ නිසාය. රටේ සියලු පුරවැසියන් රාජකාරි සඳහා යන එන රාජ්‍යයට අයිති පොදු ස්ථාන කිසිදු ආගමකට සංකේතමය වශයෙන් හෝ විශේෂත්වයක් නොදෙන පොදු ස්ථාන ලෙස පවත්වා නොගන්නේ ඒ නිසාය. 


උතුරේ ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් සහ සංවිධාන උතුරේ පදිංචි විය හැක්කේ දෙමළ ජනයාට පමණකැයි කියන විට එය ඔවුන්ගේ නිජබිම යැයි කියන විට, ඇතැම් ජාතිවාදී සිංහල සංවිධාන මෙය සිංහල බෞද්ධයන්ගේ රට යැයි ද, අන් ජාතීන්ට වසන්නට මෙහි අයිතියක් නැතැයි ද කියන විට, ඇතැම් ජාතිවාදී මුස්ලිම් දේශපාලනඥයන්ස හ සංවිධාන නැගෙනහිර පාරම්පරික මුස්ලිම් භූමිය යැයි කියන විට, ඔවුන්ට එහි වෙනම පරිපාලන ඒකක අවශ්‍ය යැයි කියන විට මේ කිසිවකට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර, අවම වශයෙන් මේ සෑම ජාතිවාදයකටම එරෙහිව වචනයක් හෝ නොකියා ගල් ගිල්ලා සේ රාජ්‍ය පාලනය කරන්නේ ඒ නිසාය. 


ලෝකයේ අද මේ මොහොත වන විටත් යුද ගැටුම්වලින් දහසකුත් දෙනා මියැදෙති. අප රට ද තිස්වසරක සාපලත් යුද්ධයකින් නොසෑහෙන්න බැට කෑවෙමු. එම තත්වය නිර්මාණය කිරීම සඳහා ඇප කැපවූ-මතවාද හැදූ- වර්ගෝත්තමවාදී චින්තනයෙන් එකිනෙකට එදිරි දේශපාලන තීන්දු තීරණ ගත් සිංහල දෙමළ දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනෙක් තමන් විසින් පෝෂණය කරන ලද ඒ යුද්ධයේ අවසානය ද නොදැක මහපොළවට පස්වෙලා ගියහ. එහෙත්, ඒ කාලකණ්ණි යුද්ධයේ විපාක වින්දේ පොදු මහජනතාවය. ඇවිළවීම ලේසිය. නිවීම දුෂ්කර නොව කළ නොහැකි තරම් සංකීර්ණය. යුද්ධය හමාර වුව ද තවමත් අප විඳවන්නේ ඒ නිසාය.


අප ඉල්ලන්නේ ෂාරියා නීතිය ද නොවේ. බෞද්ධ නීතිය ද නොවේ. හින්දු නීතිය ද නොවේ. ආගමික, වාර්ගික හෝ ප්‍රාදේශීය නැඹුරුතාවෙන් යුත් වෙන යම් නීතියක් ද නොවේ. ඒ කිසිදු භේදයකින් තොර පුරවැසියන් වශයෙන් සැමට සාධාරණව බලපවත්වන එක නීතියකි. පොදු රාජ්‍ය ව්‍යුහයකි. 

Sunday, December 13, 2015

සිය ගැබ්බර බිරිය වෙනුවෙන් තනිවම කන්දක් කපා පාරක් හැදූ අපේ කාලයේ අසහාය මිනිසා


නම - දශ්රත් මාංජී
රට - ඉන්දියාව
ප්‍රාන්තය - බිහාර්
දිස්ත්‍රීක්කය - ගයා
ගම - ගෙහ්ලෝර්


ඒ 1960 දශකය. ඒ වෙනකොට ඉන්දියාවේ ඉතා අඩුවෙන්ම සංවර්ධනය වූ ප්‍රදේශයක් තමයි ගෙහ්ලෝර්. ගෙහ්ලෝර්වල පාසල් තිබුනෙ නෑ. ඉස්පිරිතාල තිබුනෙ නෑ. ජලය-විදුලිය-ක්‍රමවත් මංමාවත් ආදී මූලික යටිතල පහසුකම් කිසිවක් තිබුණෙ නැහැ. 

ගෙහ්ලෝර් ගම්මානය අඩි 330ක් උස කන්දකින් බාහිර ලෝකයෙන් වෙන්වෙලා තිබුණා. සැබවින්ම කියනව නම් කොන්වෙලා තිබුණා. ඒ නිසා, සියවස් ගණනාවක් මුළුල්ලෙ පැවත ආ ලෙසටම හැම දෙයක්ම පැවත එමින් තිබුණා. බලවතුන් විසින් කරන ලද සූරාකෑම ඒ ලෙසම සිදු වෙමින් තිබුණා. කුලභේදය දැඩි ලෙස ක්‍රියාත්මක වූ මේ ගමේ පාලනය පැවතුනේ බලවත් කුලීනයන්ගේ අතේ. නඩු විසඳීම පවා ක්‍රියාත්මක වුනේ ඔවුන්ගෙ උවමනා එපාකම් මත. ඔවුන්ගෙ අසාධාරණකම්වලින් සහ දුෂ්ටකම්වලින් නොසෑහෙන්න පීඩා විඳින්න ගම්මුන්ට සිද්ධ වුනා. මෙහෙව් ගමේ තමයි දශ්රත් මාංජී තම ආදරණීය බිරිඳ පාගුනියා එක්ක ජීවත් වුනේ. 


දශ්රත් මාංජී ඉපදුණේ 1934 අවුරුද්දෙ මේ ගෙහ්ලෝර් ගම්මානයේමයි. ඔහු කුඩා කාලෙදි ගෙදරින් පැනලා ගිහින් වසර ගණනාවක් ධනාබාද්වල ගල් අඟුරු පතල්වල වැඩ කළා. නැවත ඔහු ගමට ආවට පස්සෙ තමයි පාගුනියා විවාහ කරගත්තෙ. එය ආදර සම්බන්ධයක්. නමුත්, ඇගේ පියා හරිහමන් ආදායම් මාර්ගයක් නැති දශ්රත්ට තම දුව දෙන්න කැමති වුනේ නෑ. නමුත්, ඇයට මෙන්ම ඔහුටත් එකිනෙකාගෙන් වෙන් වෙන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. ඒ නිසාම, ඇයව ගෙදරින් පන්නා ගෙන ඔහුගෙ ගෙදරට කැන්දන් එන්න ඔහු කටයුතු කළා. 


ඔහු එදාවේල හම්බ කරගත්තෙ එදිනෙදා කුලී වැඩවලින්. කොතරම් අඟහිඟකම් මැද්දෙ වුනත් ඔවුන් ආදරණීය ජීවිතයක් ගත කළා. පළමු දරුවා විදිහට ඔවුන්ට පුතෙක් ලැබුණා. 


කාලය ගෙවිලා යද්දි, ඇය ආයිත් ගැබ්බර වුනා. ඇය දරුගැබත් දරාගෙනම හැමදාම දවල්ට කන්න වතුර ටික දශ්රත්ට අරගෙන ගියා. දශ්රත් වැඩ කළේ ගම වසාගෙන තිබුණු කන්දෙන් ටිකක් එපිට ගොවිබිමක. එතෙන්ට යන්න ඇයට කන්ද නැග යා යුතු වුනා. ඒත්, හදිසියෙම පය පැකිළිමෙන් ඇය කන්දෙන් ළිස්සලා වැටුනා. හිස මත තබුණු වතුර කලය බිඳිලා ගියා. බත්පත සීසීකඩ විසිරුණා. ඇයට විලිරුදාව ඇතිවුණා. 


දශ්රත් මේ කිසිවක් නොදැන, ඇය කෑම එක අරන් එනකම් මග බලන් හිටියා. ඒ අතරෙ තමයි ඔහුට පණිවුඩය ලැබුණෙ පාගුනියා කන්දෙන් පහළට වැටිලා- අමාරු විත්තිය. ඇයව ඉස්පිරිතාලෙට අරන් යන එක ලේසි වුනේ නෑ. මොකද, හරිහමන් පාරක් නැතිකම නිසා ලී මැස්සක තබා ගෙන කන්ද නගිමින් කන්ද හරහා ඇයව පයින්ම රැගෙන යන්න ඔහුට සිද්ද වුනා. ඇයව කන්දෙන් එපිට නගරෙ ඉස්පිරිතාලෙට රැගෙන ගියත්, පාගුනියා ජීවිතේ දාලා ගියා. නමුත්, ලැබෙන්න හිටිය දරුවා බේර ගන්න පුලුවන් වුනා. ඇය කෙලිපොඩිත්තක්. 


ඔහුට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. ඇගේ අවසන් කටයුතු කරලා ඇවිත් එදාම ඔහු කන්ද ළඟට ඇවිත් දිවුරුවා. අනාගතය වෙනුවෙන් මේ කන්ද කපලා පාරක් හදනවා කියලා. ඔහු තමන් සතු අවසන් එළුවත් විකුණලා, කටුවකුයි මිටියකුයි සල්ලිවලට අරගත්තා. 
                  
ඒ 1960 අවුරුද්ද. එදා ඉඳන් ඔහුගෙ එකම රාජකාරිය උනේ උදේ ඉඳන් ඉර බහිනකම් කන්ද කපන එක. දෑතේ තරගැට එනකම්- ගිනි අව්වෙ ඔහු මහා ගල්පරයට පහර දෙමින් වෙහෙසකර ව්‍යායාමයෙ යෙදුණා. දරුවන් දෙන්න ගැන බොහෝ විට බැලුවෙ ඔහුගෙ පියා. තමන්ට හැකි ලෙස ඔවුන්ට නොසැළකුවා නොවේ. ගමේ බාලමහළු කොයි කවුරුත් ඔහුට පිස්සෙක්-මෝන්ගල්කාරයෙක් කියලා සමච්චල් කරා. කුඩා කොල්ලො කුරුට්ටො ඔහුට පිස්සා - පිස්සා කියමින් ගල්කැටවලින් පහර දුන්නා. ඒත් ඔහු කිසිවකින් නොසැළී, කන්ද කැපීමේ කාර්යය දිගටම කරගෙන ගියා. 

කන්ද කැපීමේ කටයුත්ත පටන් අරන් වසර ගණනකට පස්සෙ විශාල නියඟයක් ගෙහ්ලෝර් ගමට ආවා. ගමේ හැමෝම ගම අතතහැරලා යන්න ගියා. දශ්රත්ගෙ පුංචිවුන් දෙන්නත් දශ්රත්ගෙ පියා එක්ක ගම අතහැරලා යන්න ගියා. තමන් සමග එන්න කියලා ඔවුන් දශ්රත්ට කතා කළා. ඒත් කන්ද කැපීමේ කාරිය අතෑරලා දාන්න ඔහු සූදානම් වුනේ නෑ. ඔහු නැවතුනා. දැඩි නියඟයත් එක්ක ළිං හිඳිලා. කන්න දෙයක් නෑ. දැඩි පිපාසය සන්සිඳුව ගන්න ඔහු වතුර කඳුලක් තිබුනෙ නැති ළිංපතුල්වලට බැස්සා. එහි තිබුණු දියසෙවෙල් හූරලා බිව්වා. පස්සෙ ගල් පරය බිඳිද්දිම ඔහුට භූගත ජල මාර්ගයක් හමුවුණා. ඒකෙන් ඔහුගෙ දිවි රැකුණා. ගමේ අය මාස කිහිපයකට පස්සෙ එනකොටත් දශ්රත් සුපුරුදු විදිහටම කන්ද කපමින් හිටියා. හැමෝම පුදුම වුනා. 

දවසක් පත්තරේට ලිපි ලියන මනුස්සයෙක් ඔහුව හමු වෙන්න ආවා. ඔවුන් දෙදෙනා අතර අපූරු සංවාදයක් ඇති වුනා.

පුවත්පත් කලාවේදියා - මට අවංකව රස්සාව කරන්න ඕනකම තියෙනවා. ඒත් අන්තිමට වුනේ දේශපාලනඥයන්ට ගොට්ට අල්ලන්න


දශ්රත් - ඇයි ඔබ ඔබේම කියලා පත්තරයක් පටන් ගන්නැත්තෙ


පුවත්පත් කලාවේදියා - ඔබ හිතන්නෙ ඒක ලේසි වැඩක් කියල ද


දශ්රත්- ඒක කන්දක් කපන තරම් අමාරු වැඩක් කියල ද ඔබ හිතන්නෙ


මේ සිදු වීම වෙලා වසර කීපයකට පස්සෙ අර පුවත්පත් කලාවේදියා ඔහුව හමුවෙන්න ආවා. ඔහුගෙ අතේ තමන්ගෙම කියලා පත්තරයක්. ඔහු තමන්ගෙම කියලා පත්තරයක් පටන් අරගෙන, දශ්රත්ගෙ දිරිමත් වචනවලට පින්සිද්ද වෙන්න. ඒ වෙන කොටත් දශ්රත් කන්ද කැපීමේ කටයුත්තෙ නියැළෙමින් හිටියෙ. 

ඔහු මෙහෙම වසර 22ක් තිස්සෙ තනිවම කන්ද කැපුවා. ඔහුගෙ අධිෂ්ඨානය ගැන පැහැදිච්ච ගමේ ඇතැම්මු පස්සෙ කාලෙ ඔහුට කන්න බොන්න ගෙනවිත් දීලා හැකි පමණින් උදව් කරන්නත් කටයුතු කළා. ඒ ගෙවුනු කාලය තුළ දේශපානඥයන්ගෙ විවිධ අසාධාරකම්වලට-තාඩනපීඩනවලට ලක් වෙන්න ඔහුට සිද්ද වුනා. වරක් ඔහුගෙ නමට මේ වැඩේ සිදු කරන්න අනුමත වෙච්ච මුදල් වංචනිකව ප්‍රාදේශීය දේශපානඥයො යටිමඩි ගහගත්තා. ඒ ගැන ප්‍රශ්න කරන්න ගියාම ඔහුට හිරේ විලංගුවෙ වැටෙන්නත් සිද්ද වුනා. 

මේ සියලු බාධක-කෙණහිලිකම් මැද්දෙ ස්වෝත්සාහයෙන් පාර කැපීමේ කාර්යය නිම කරන්න ඔහුට 1982 අවුරුද්ද වෙන කොට පුලුවන් වුණා. ගමේ හැමෝම ඔහුව වීරයෙක් විදිහට සැළකුවා. ගම ලෝකයත් එක්ක විවෘත වුනා.



එවැනි පාරක් තිබුන නම් පගුනියා අදටත් ජීවතුන් අතර බව ඔහුට හිතුනා. අනාගතය වෙනුවෙන් ඔහු ඒ කාර්යය ඉටු කරා. ගෙහ්ලෝර ගම්මානය කරා යාන වාහන ඇදෙන්න පටන් ගත්තා. සංවර්ධනයෙ අරුණළු ගෙහ්ලෝර්වලට වැටෙන්න ගත්තා. ඒ සමග ගෙහ්ලෝර් සහ වසිර්ගන්ජ් ප්‍රදේශ අතර දුර කි.මී. 80 සිට 10 දක්වා අඩු වුණ බව කියනවා. ඔහු කපපු පාර මීටර් 110 ක දිගිනුත්, මීටර් 7.6ක ගැඹුරිනුත්, මීටර් 9.1ක පළලිනුත් යුක්ත වුනා. 

තමන්ගෙ බලය සහ ධනය යොදවලා ෂාහ් ජහාන් රජ්ජුරුවො (ක්‍රි.ව. 1592-ක්‍රි.ව. 1666) තම බිරින්දෑවරු සමූහයෙන් එක් බිරියක් වෙච්ච මුම්ටාෂ් දේවිය වෙනුවෙන් ඉදිකළ ටජ් මහළටත් වැඩිය දශ්රත් විසින් සිය පළමු සහ අවසන් බිරිඳ පාගුනියාගෙ ආදරය වෙනුවෙන් හැමෝගෙම යහපත සඳහා කපපු මේ පාර වටිනවා කියලයි මගේ අදහස. 

මොක ද දශ්රත් ඒක කළේ ස්වෝත්සාහයෙන්. බලය යොදවනවා වෙනුවට බලවතුන්ගෙ විවිධ කෙණහිලිකම්-තාඩනපීඩනවලට පෑගෙන අතරෙ. ඒ විතරක් නෙමෙයි එදා වේල සරි කරගන්නවත් හරිහමන් ක්‍රමයක් නැතිව. 

ඔහුගෙ මේ සමාජ සත්කාරය අගයමින් ඉන්දියාවේ පිදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානය සඳහා ඔහුගෙ නම යෝජනා කෙරුණත්, ඉන්දියාවේ වන සංරක්ෂණ පනතට අනුව ඔහු සිදු කර ඇති කාර්යය නීතිවිරෝධී කටයුත්තක්ය කියලා එය ලබා දුන්නෙ නැහැ. ඒ ගැන ඔහු කියලා තිබුණෙ තමන් කිසිසේත්ම නම්බුනාම-මිලමුදල් අපේක්ෂා නොකරන බවත්, තමන්ට අවශ්‍ය වුනේ පගුනියා වෙනුවෙන් ගමට පාරක්, ඉස්පිරිතාලයක් සහ ඉස්කෝලයක් ලබා ගැනීමට බවත්ය. 

දශ්රත් පිළිකාවක් නිසා 2007 අගෝස්තු 17 වැනිදා ජීවිතෙන් සමුගත්තා. එතකොට ඔහුට වයස 73යි. බිහාර් ප්‍රාන්ත රජය ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන්න කටයුතු කළා. දශ්රත් තනපු පාර ඔහුගෙ නමින් නම් කරන්න පසු කාලෙ කටයුතු කළා. 

ආදරය, අභිප්‍රේරණය සහ අධිෂ්ඨානය ගැන අලුත් ආදර්ශයන් එක්ක "කඳු මිනිසා" ("The Mountain Man" ) යන විරුද නාමයෙන් දශ්රත් සදා ජීවමාන චරිතයක් බවට පත් වුනා. 


ඔහු ගැන චිත්‍රපටයක් "Manjhi -The Mountain Man" නමින් මේ අවුරුද්දෙදි නිර්මාණය කරන්නත් කටයුතු කළා.


"ඔයාගේ මතකයන් එක්ක අවුරුදු ගාණක් ගෙවිලා ගිහින්....මං ඔයාට කොච්චර ආදරෙයි ද....ඒ ආදරය කිසිම කන්දකට නතර කළ නොහැකි තරම්...මුළු අහස් ගැබට දරා ගන්න බැරි තරම්...කාටවත් හිතාගන්න බැරි තරම්... "


(Manjhi- The Mounatin Man (2015) චිත්‍රපටයේ එන දෙබසක කොටසකි)

මූලාශ්‍රය- https://en.wikipedia.org/wiki/Dashrath_Manjhi