Sunday, January 24, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1

පලු ගසේ පැල මත රැයක්....

හාත්පස ගනඳුර වෙළා ගෙන ඇත. කලු විසල් ඇතිලියක් හිසට ඉහළින් නැවූවාක් සේ දිස්වන මහා අහස්ගැබ, ලොකු කුඩා නෙක විසිතුරු විදුලි බුබුළුන් අලංකෘත වියනක් මෙනි. දිවා කල කිසිදු හාන්කවිසියක් නැතිව සීරුවට මුනිවත රැකි පළඟැටියන්, බිම් ඌරන් හා ඇටිකිත්තන් ඊට හිලව් වන්නට මෙන් මේ ගොම්මන් රැයේ අතොරක් නැති හඬලෑමේය. එය එකිනෙකා කල් ඇතුව කතා කරගෙන තරඟයට කරනා සංගීතමය වාදනයක් බඳුය. 

වෙනදා රෑ නවය-දහය වන තෙක්ම ඩක ඩකස් - ඩක ඩකස් හඬින් ගල් කුළුවලට වැරෙන් තඩි බානා ගල්කොරියේ ගල් කඩන යන්ත්‍රය අද වේලපහම නිහඬ කර ඇති සේය. මෙහි සිට කි.මී. 6ක් පමණ එපිටින් පිහිටි මේ ගල් කොරියේ ගල් කඩන හඬ දිවා කාලයට එතරම් නොඇසුන ද, රාත්‍රියට නම් ඉතා පැහැදිළිව ඇසේ.  

මාස පෝය දිනයක් වූ අද වැනි දිනක, අහස පුරා සියදහස් ගණනක් තරු පායා නොතිබෙන්නට මුළු අහසම එකම කලු කුහරයක් සේ දිස්වන්නට ඉඩ තිබුණි. 

නිහඬවම ඉතා ඉහළ අහසේ චන්ද්‍රිකාවක් ගමන් කරයි. පොල් අතු පැලේ වහළෙට වැසී නොපෙනී යන තෙක්ම මම ඒ දෙස බලා හුන්නෙමි. අහසේ එක මොහොතකට එය නිසල කර තැබිය හැකි නම්, කිසිදු ලෙසකින් හෝ අන් තරුවලින් එය වෙන් කර හඳුනා ගැනීමට කිසිවෙකුත් සමත් නොවන බව නිසැකය.

හම්බන්තොට තිස්සපුර ප්‍රදේශයෙහි අක්කර සිය ගණනක් පුරා විහිදි මේ කෘෂි බිමෙහි පලින් පල ඉතිරිව ඇති මහා පලුගස් හා කොහොඹ ගස් පිස වරින් වර හමා එන සුළඟින් උඩු පැල ලතාවට පැද්දෙයි. එය කිසිවෙකු විසින් මුළු පැළම තම දෝතට ගෙන, ලතාවට පද්දන්නාක් වැනිය. 

අක්කර හතර හමාරකින් යුත් මේ කුඹුරු යාය දිවා කල දකින්නෙකුට නම්, ඒසා විසාල එකකැයි කිසිවිටෙකත් නොසිතෙනු ඇත. මදක් ත්‍රිකෝණාකාර හැඩයක් ගත් මේ කුඹුරු බිම මධ්‍යයෙහි සාමාන්‍ය ප්‍රමාණයේ පලුගස් තුනකි. ඉන් එකක හොඳින් තෝරා ගත් අතු දෙබලක් මත සවිමත් ලෑලි අතුරා සකස් කළ පොල් අතු පැළකි. එම ගස පාමුලම ඉවුම් පිහුම් කිරීම සඳහා පොල් අතු සෙවිලි කර සැකසූ බිම් පැලකි. 

පලුගස උඩ සකසා ඇති උඩුපැල කෙනෙකුගේ සිත බැඳ ගන්නාසුළු හරි අපූරු නිමැවුමකි. කිසිදු අපහසුවකින් තොරව පස් දෙනෙකුට වැතිරිය හැකි ඉඩකින් යුත් මෙහි මදුරු දැල් දෙකක් සහ කොට්ට දෙකක් ද, මදක් දිරා ගිය පැදුරු කඩමාලු දෙකක් ද නිරතුරුව තබා ඇත. උඩුපැලට නැගීම සඳහා ගසටම ආඳා සැකසූ සවිමත් ලී ඉණිමගකි. 



මෙම බිමේ සිට හම්බන්තොට වරායට ඇත්තේ කි.මී 7කට නොවැඩි දුරකි. වරායේ ඇති දැවැන්ත විදුලි පහන්වල ආලෝකය අහස් කුසට වැදීමෙන් ඒ අහස් කුට්ටිය පමණක් වඩා ආලෝකමත්ව දිස්වෙයි. 

අලි ගහණ කැලයට මායිම්ව පිහිටි මේ ගොවිබිම් කරා දිනපතාම පාහේ රාත්‍රී කාලයට අලි කඩා වදිති. දෑතේ විරියෙන් දහදිය හෙළා කරන වගාවන් රැක ගන්නට රෑ පුරා මෙසේ පැල් රකින්නට ගොවියන්ට සිදු වේ. 

එපිට යායක් දෙසින් නොකඩවා කෙරෙන බල්ලන්ගේ බිරුම් හඬක් ඇසේ. නිසැකවම අලි එහි ඇති වගාවන්ට වැදීලා විය යුතුය. එය සැබෑය. බිමට වැටෙන පුළුන් රොදක හඬ පවා ඇසෙන සුළු මේ නිසොල්මන් රැය දෙවනත් කරමින් අලි වෙඩි හඩක් දෝංකාර දුන්නේය.

ඒ සමග, කි.මී දෙක තුනකට එපිට යායක පැල් රකින්නකු විසින් වරින් වර තම වගා බිම වෙත එල්ල කරනු ලබන අධිබලැති විදුලි ආලෝකය මේ පැල වෙත ද වරින් වර වදියි.  

මේ මැදියම් රැයේ මහා පාලුව අතරින් මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරින් සකස් කළ ගම්පෙරළිය චිත්‍රපටයේ එන කොටසක් මට සිහිවෙයි. 

එය ජිනදාස විසින් බිබිලේ තමන් ගත කරන දුෂ්කර ජීවිතය ගැන නන්දාට එවූ ලිපියේ සඳහනකි.    

අපේ වාඩිය තියෙන්නෙ පාලුවට ගිය වැවක් අද්දර..හතර වටේම මහා මූකලන් කැලේ..
මෙහෙ හරිම පාලුයි..
දවල්ට හරියට පායනවා...පොළොවෙ අඩිය ගහන්න බෑ..
හැන්දෑවේ හය වුනාට පස්සෙ මිනිස් පුලුටක් දකින්න නෑ... දන්න හඳුනන කෙනෙක් මේ හතර මායිමකවත් නෑ..

මැදියම් රැයට තවත් ඇත්තේ අඩහෝරාවක් පමණය. මේ කෘෂිබිම් යාය අද කිසිදු මිනිස් පුලුටක් නැති පාලුවට ගිය බිමක් වුව ද, මීට වසරකට දෙකකට උඩදී බලන්නට ආස හිතෙන තරමේ එකම සරුසාර කෘෂි යායක්ව පැවතුණි. සෝවියට් රුසියානු කෙටිකතාවන්හි  අපූරුවට වණන සරුසාර සමූහ ගොවිපලක අසිරිය එකල මේ කෘෂිබිම් දුටු විට කෙනෙකුට සිහි වේ.  

මෙහි ගොවිතැන් කිරීමට එකල මිනිසුන්ට තිබූ උනන්දුව කෙමෙන් වියැකී ගියේ අන් කිසිවක් නිසා නොව දිනපතාම පාහේ විදුලි වැට පෙරළා ගෙන සරුසාර කෙසෙල් වතුවල-කුඹුරුවල සහ වෙනත් ගොඩ වගාවල රස විඳින්නට පැමිණෙන අලින් නිසාය. මේ පෙරේදා දිනයෙහි මේ කෙතට ද අලියෙකු වැදුණි.
ගොවිතැනයි ජීවිතයයි යනු දෙකක් නොව එකක් ලෙසට ඇට ලේ මස්වලට කැවුණු නිසාවෙන්දෝ මෙවර මේ යායටම කෙරෙන්නේ මේ කුඹුරු යාය පමණක්ය. 


බීජ, තෙල්, පෝර වැනි දේට වැය කරන්නා වූ මහා මුදල් කන්දරාව පරයන සුළු, තමන් විසින් ගිනි මද්දහනේ මහ පොළොවට මුසුකරන දහඩිය කඳුළුවලට නිසි ප්‍රතිඵල යථාකාලයේදී ලැබෙනු ඇත යන විසල් බලාපොරොත්තු හිත දරන් - ඒ මතින් ඉපිළෙන අවිනිශ්චිත බවේ සුසුම් පොද හිස් වාතලයට මුසු කරමින් ගොවියන් අලි වදින මේ බිමේ කෘෂිකර්මාන්තයේ නියැළෙති. 


පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)



කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Monday, January 11, 2016

ඔළුගෙඩි පලා-අධිකරණෙට යටකරාම කුණු ප්‍රශ්නය අහවර ද?

මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් බලධාරීන්ගේ ඇස් ඇරවීමට කටයුතු කළ මිනිසුන්ට පසුගිය දිනවල ඔළුගෙඩි පලා ගන්නට සිදු විය. අලුත්ම පුවත නම්, අධිකරණ නියෝග නොතකා කටයුතු කළැයි එහි ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමය.

පසුගිය ආණ්ඩු සමයේ ද මේ ප්‍රශ්නය පිළිබඳව උද්ඝෝෂණය කළ මිනිසුන්ට ලැබුණේ හොඳ ප්‍රතිචාර නොවේය. දැනුදු එහි වෙනසක් නැති බව අපට පෙනේ.

මීතොටමුල්ල කුණු කන්ද අසළින් වසර කිහිපයකට පෙර සිටම ඉඳ හිට හෝ පා ගමනින් ගොස් අත්දැකීම් ඇතියකු වශයෙන්, අප මෙහි ඉහිළිය නොහැකි දුගඳ පිළිබඳව හොඳාකාරව දනිමු. ඒ අවට දිවි ගෙවන මිනිසුන් උදේ හවා මේ දුගඳ විඳිමින් ජීවත් වන්නේ කෙසේ දැයි අපි එකල අපෙන්ම ප්‍රශ්න කර ගතිමු. නමුත්, අද ප්‍රශ්නය නගන්නේ ඔවුන්මය.

මීට වසර දෙක තුනකට පෙර තොටළඟ බ්ලූමැන්ඩල් කුණු කන්ද ද ඔය ලෙසම ගඳ ගස්වමින් සහ කලින් කලට ඉබේම ගිනි ගනිමින් අශෝභනව පැවතුණි. නමුත්, එහි කසළ බැහැරලීම දැනට නතර කර ඇති හෙයින්, ස්වාභාවික කන්දක් සේ දැන් එය කොළ පාටින් දිස්වේ. නමුත්, එහි බැහැර කළ කුණු ටික ද දැන් බැහැර කරනවා ඇත්තේ මීතොටමුල්ලට විය යුතුය.


දිනපතා කොළඹ ප්‍රදේශයෙන් පමණක් රැස්වන ප්ලාස්ටික් බෝතල්, පොලිතින් උර, ආහාර ද්‍රව්‍ය ආදී ටොන් ගණනක් වන ප්‍රතිචක්‍රීය කළ හැකි සහ නොකළ හැකි සියල්ල අවිධිමත්ව මෙලෙස විවෘත අවකාශයකට බැහැරලීම කොයි අතින් බැලුව ද තිරසර විසඳුමක් නොවේ.

මෙවැනි ප්‍රශ්න දිනකින් දෙකකින් විසඳිය නොහැකි බව සැබෑය.

නමුත් ඉතා කණගාටුදායක කරුණ නම්, කසළ වර්ගීකරණය,ප්‍රතිචක්‍රීයකරණය සහ බැහැර කිරීම සම්බන්ධයෙන් ලෝකයේ අන් දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ද අධ්‍යයනය කර, වඩා කාර්යක්ෂම, වඩා පරිසර හිතකාමී සහ කල් පවත්නා කසල බැහැරළන ක්‍රමවේදයක් අප රටට හඳුන්වා දීමට මෙවැනි හඬනැගීම් සාධනීය හේතුවක් කරගන්නවා වෙනුවට, එ් ගැන හඬ නගන මිනිසුන්ගේ ඔළුගෙඩි පලා-අධිකරණ නියෝගයන්ට යටත් කොට ඔවුන් නිශේධනය කිරීමට බලධාරීන් කටයුතු කිරීමය.   

ජපානයේ එක්තරා නගරයක කසළ බැහැර කරන ආකාරය පිළිබඳව අපූරු පුවතක් කියවන්නට පසුගියදා අවස්ථාව ලැබුණි. 
  
ජපානයෙ කමිකත්සු නම් මේ ඉතා කුඩා නගරයෙ ඉලක්කය වන්නේ 2020 වෙද්දි සම්පූර්ණයෙන්ම කැළිකසළින් තොර නගරයක් බවට පත් වීමය. දැනටමත් මේ නගරයෙ එක්රැස්වන කැළිකසළින් 80%ක් ප්‍රතිචක්‍රීය කිරීමට, නැවත භාවිතයට ගැනීමට හෝ කොම්පෝස්ට් බවට පත් කිරීමට කටයුතු කරමින් තිබේ. 2020 වෙද්දි සපුරා ගත යුතු ඒ විශිෂ්ට ඉලක්කය පෙරදැරිව දැඩි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් ඔවුන් මේ නගරයෙ ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, එම නගර වැසියන් විසින් තම නිවසේ හෝ තම ආයතනයේ දිනපතා එක්රැස්වන කැළිකසළ කාණ්ඩ 34ක් යටතේ වෙන් කළ යුතු වේ. මුලින්ම නගර වැසියන් බොහොමයක් මේ ක්‍රමයට එහි ඇති දුෂ්කරභාවය නිසාම අකමැත්ත ප්‍රකාශ කර ඇති නමුත්, මේ උත්සාහය අන් කිසිවෙකුත් ගැන නොව එහිම දිවි ගෙවන තමන් ගැනම බව තේරුම් ගත් ඒ මිනිස්සු දැන් ඉතා සාර්ථකව ඒ ක්‍රමයට අනුගත වී සිටින බව පැවසේ. මින් පෙනී යන වැදගත් කරුණ නම්, මිනිසුන්ගෙ සාමූහිකත්වය-සාමූහික අවබෝධය නිසැකවම යහපත් ප්‍රතිඵල ගෙන දෙන බවයි. 

මේ පිළිබඳව ඔබට වීඩියෝ සහිතව විස්තර දැන ගන්න පුලුවන් පහත ලින්ක් එකෙන්.





මෙතරම් දැඩි කසළ බැහැරලන ක්‍රමයක් අපේ රටේ නොතිබුණ ද, මගේ පෞද්ගලික අත්දැකීමකට අනුව අපේ රටේම කඩවත ප්‍රදේශයේ ජැක්සන් ඇන්තනී මහත්මයගෙ නිවස පිහිටි පාර සහ ඒ අවට ප්‍රදේශය මීට වසර දෙක තුනකට උඩදි කසළ බිඳක් නැතිව, ඉතා පිරිසිදුව සහ පිළිවෙළට තිබුණා මතකය. එහි පදිංචි අය විසින්ම සාමූහික ප්‍රයත්නයක් විදිහට ඒ කාර්යය සිදු කර යමින් තිබුණි.  



එපමණක් නොව, ඒ මග දෙපස සහ ඒ අවට ප්‍රදේශය කසළින් තොර කලාපයක් ලෙස ප්‍රදේශවාසීන් විසින් පවත්වා ගෙන යන බවට සහ එම මාර්ගයෙහි ගමන් කරන පිටස්තර වැසියන්ටත් ඊට සහයෝගය දක්වන ලෙස තැන තැන දැන්වීම් පුවරු පවා ඔවුන් සවි කර තිබුණි. 

ඒ කෙසේ වුවද, අප අවධාරණය කරන්නේ නාගරීකරණයත් සමග මතුවන මෙවැනි ප්‍රශ්න ප්‍රජා සහභාගීත්වය ඇතිව නිවාස සහ ආයතන මට්ටමින්ම විසඳීම සඳහා නිසි ක්‍රමවේද ගෙන ඒමට අදාළ බලධාරීන් දැන්වත් කටයුතු කළ යුතු බවයි.