Thursday, April 28, 2016

පම්පෝරි එපා...ප්‍රතිචක්‍රීයකරණය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකසන්න.


විවිධ අවශ්‍යතා සඳහා වරින් වර වෙළඳපොලේ සිට අප කොපමණ දෑ නිවෙස් කරා රැගෙන එන්නෙමු ද? විවිධ ආහාරපාන වර්ගවල පටන් ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ප්ලාස්ටික් භාණ්ඩ, ලෝහමය භාණ්ඩ ආදී ලැයිස්තු ගත කළ නොහැකි තරමේ අයිතමයන් රැසක් එලෙස අප රැගෙන එන්නෙමු. 

මේ අතරින් ආහාරපාන වර්ග හැරුණු විට අනෙක්වා බොහොමයක් නොදිරන සුළු ද්‍රව්‍යයන්ය. බොහෝ විට ඇසුරුම්කරන ලද ආහාරපාන වර්ගයන්හි ද අසුරනයන් සහ බහාලුම් පහසුවෙන් දිරන සුළු ද්‍රව්‍යයන් නොවේ. 

මීට අමතරව අප වෙළඳසැලට ගොඩවෙන වාරයක් පාසා කොපමණ නම් පොලිතින් මලු ප්‍රමාණයක් නිවෙසට රැගෙන එන්නෙමු ද? නිවසට අවශ්‍ය අඩුමකුඩුම ටික වෙළඳපොලෙන් රැගෙන ඒම සඳහා අපේ නිවෙස්වල පවා බොහෝ කලකට පෙර තිබුණේ එක මල්ලකි. ඒ ඉඩකඩ සහිත පන් මල්ලකි. අද ඒවා බැද්දට ගොස්, වෙළඳපොලෙන් නිකම් ලබා දෙන පොලිතින් මල්ලට අපිදු හුරු වී සිටිමු. 

මෙලෙස දිනපතා එකතු වන පොලිතින් මලු සහ කාලෙන් කාලෙට භාවිතයෙන් ඉවත් කරනු ලබන සෙරෙප්පු, සපත්තු, විදුලි උපකරණ, ප්ලාස්ටික් උපකරණ ආදී භාණ්ඩ වර්ග කොපමණ නම් අප පරිසරයට මුදා හරින්නෙමු ද?

මේ සඳහා ගතයුතු විසඳුම කුමක් ද? පරිසරයට හානිකර යැයි එම නොදිරන සුළු ද්‍රව්‍ය තහනම් කිරීම ද? 

මහපොළොවේ පවතින යථාර්ථය ට අනුව නම් නිසි ආදේශකයන් නැතිව එවැනි දේ තහනම් කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. 

එසේ නම් වඩා ප්‍රායෝගික සහ තිරසර විසඳුම කුමක් ද?
Image result for recycling

භාවිතයෙන් පසු ඉවතලන පොලිතින් උර, සෙරෙප්පු කුට්ටම්, සපත්තු කුට්ටම්, ප්ලාස්ටික් භාණ්ඩ, විද්‍යුත් උපකරණ ආදී පහසුවෙන් නොදිරන සුළු දෑ ප්‍රතිචක්‍රීයකරණය සඳහා යළි එම ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන සමාගම් වෙත යැවෙන වැඩපිළිවෙළකට යාමය. එවිට පරිසරයත් රැකෙන්නේය. සම්පත් අනවශ්‍ය ලෙස වැය වීමත් නතර වන්නේය. මිනිස් අවශ්‍යතාත් පහසුවෙන් ඉටුවන්නේය. 

අපේ රටේ නිෂ්පාදනය නොකෙරෙන එනම් ආනයනය කෙරෙන භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් කළ යුතු වන්නේ භාවිතයෙන් පසු ඉවත් කරනු ලබන විදුලි උපකරණ, ජංගම දුරකතන වැනි දෑ සන්නම් අනුව ප්‍රකෘති තත්වයෙන්ම හෝ අමුද්‍රව්‍ය ලෙසින් ඔවුන් වෙතම යළි යවන වැඩපිළිවෙලකට යාමය.       

ජනඝනත්වය වැඩි නාගරික ප්‍රදේශවල මතු වී ඇති කසළ ප්‍රශ්නයට ඇති එක් තිරසර විසඳුමක් ලෙස ද ප්‍රතිචක්‍රීයකරණය හැඳින්විය හැක. දිරන සුළු ආහාර ද්‍රව්‍ය වැනි දෑ පොහොර සකස් කිරීමට හෝ මහපොළොවට යට කිරීමට යොදාගත් විට කසළ දැන් පවත්නා තරමේ ප්‍රශ්නයක් වන්නේ නැත.    

මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුම ක්‍රියාමාර්ගය වනුයේ පවතින ප්‍රාදේශීය සභා සහ නගර සභා හරහා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සහ කළ නොහැකි ද්‍රව්‍ය යම් දින සැලැස්මකට අනුව වෙන වෙනම එකතු කිරීමයි. 

කසළ වර්ගීකරණ කාර්යය නිවැසියන්ගේ වගකීමක් කළ යුතුය. එක් එක් කසළ කාණ්ඩය රැගෙන යනු ලබන විශේෂිත දින පිළිබඳව නිවැසියන් කල්තබා දැනුවත් කර, ඒ අනුව නියමිත දින සැලැස්මට අනුව අදාළ කසළ කාණ්ඩය පමණක් අදාළ දිනයට රැගෙන යා යුතුය. එම කසළ කෙළින්ම විවෘත පරිසරයට මුදා නොහැර, ප්‍රතිචක්‍රීයකරණය සඳහා අදාළ ආයතන වෙත යොමු කළ යුතුය. එතෙක් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි එම ද්‍රව්‍ය රැස් කර තබා ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රීක්ක මට්ටමින් ඇති කළ යුතුය.    

දැනට බෝතල්, පත්තර, පරණ යකඩ, පරණ ප්ලාස්ටික් බේසම් වැනි දෑ විවිධ පුද්ගලයන් නිවාස වෙතම පැමිණ සුළු මුදලකට හෝ පැරැණි භාණ්ඩ කිහිපයකට අලුත් භාණ්ඩයක් ලබා දීමේ පදනම මත එකතු කරගෙන යති. එය සැබවින්ම ප්‍රශංසනීයය. නමුත්, රටක් ලෙස එය ප්‍රමාණවත් නැත. පවත්නා පළාත් පාලන ආයතන ව්‍යුහය හරහා විධිමත්ව ක්‍රියාත්මක කෙරෙන තිරසාර වැඩපිළිවෙළක් ලෙස එය ක්‍රියාත්මක විය යුතුය. 

මෙය පළමුව බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශයන්ගෙන් ආරම්භ කළ හැක. 

රටේ සිව් දෙසින් ඇල දොළ ගංගා ගලා බසින, සොබා අසිරියෙන් පිරි රටක් දිනෙන් දින කසළින් පිරි අසුන්දර වටපිටාවකින් යුක්ත වනු දකින විට අපට නම් ඇතිවන්නේ කලකිරීමකි. අපේ රටේ සොබා සුන්දරත්වයේ වටිනාකම අපේ රටේ මිනිසුන්ට වඩා සතියකට දෙකකට සංචාරයට පැමිණෙන විදේශිකයන්ට වැටහේ යැයි විටෙක අපට සිතේ. විදේශිකයෙකු අඩුම තරමේ ටොපි කොළයක් නොව කෙළ පිඬක්වත් පාරේ අශෝභන ලෙස අතන මෙතන දමනු අප නම් දැක නැත. 

එම නිසා, සුන්දර රටක්-සුන්දර වටපිටාවක් නිර්මාණය කළ හැක්කේ එවැනි විධිමත් වැඩපිළිවෙලකට අප යන්නේ නම් පමණි. එය කිසිසේත්ම කිරීමට අපහසු කාර්යයක් නොවේ. අවශ්‍ය වන්නේ ඕනකම සහ කැපවීම පමණක්ය. 

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව උද්ඝෝෂණය කළ අයට පහරදීම සම්බන්ධයෙන් මා මීට පෙර ලියූ සටහනින් ද මේ පිළිබඳව කරුණු දක්වා ඇත. විශේෂයෙන්ම එම ලිපිය මගින් ජපානයේ එක්තරා ප්‍රදේශයක ක්‍රියාත්මක කෙරෙන එවැනි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් පිළිබඳව තොරතුරු දක්වා ඇත. ඔවුන්ගේ ඉලක්කය 2020 වන විට 100%ක් කසළින් තොර නගරයක් බවට පත් වීමය.

එම ලිපිය පහතින් කියවන්න.

Thursday, April 21, 2016

පුපුරා යන්නට පෙර දැන් සිටම අපේ රටට ජනගහණ පාලනයක් අවශ්‍යය.


දිනෙන් දින අපේ රටේ වනවැස්ම අඩු වෙමින් තිබේ. මහපොළොව මත ඉදිවන ලොකු-කුඩා ගොඩනැගිලි විසින් තුරුලතා පිරි හරිතවර්ණ පරිසරය කෙමෙන් ගිලගනිමින් තිබේ. රක්ෂිත සහ වනෝද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර ද විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින හායනය වෙමින් තිබේ. 

මීට දශක දෙකකට පමණ පෙර, එනම් අප කුඩා කාලයේ අපේ ගම්වල තිබෙනු දුටු වනවදුළු සහ තුරුලතා පිරි හිස් ඉඩම් අද දක්නට නොමැති තරමට, එම ඉඩම්වල මිනිසුන් නව නිවාස ඉදිකර පදිංචි වී ඇත. රටේ අනෙකුත් ප්‍රදේශ ගත්ත ද, තත්වය ඔයිට වෙනස් නැත. මෙලෙසින්, දිනෙන් දින ජනගහණ වර්ධනයත් සමග භූමියේ ඉඩකඩ සහ අනෙකුත් සම්පත් එන්න එන්නම හීන වී යනු පෙනේ.  

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ක්‍රමයෙන් ගස්වැල් අතේ ඇඟිලි ගණනටත්, ඇතැම් විට නැත්තටම නැතුවත්, නිවාස සහ වෙනත් ගොඩනැගිලි දස දහස් ගණනිනුත් භූමිය පුරා තිරස් සහ සිරස් ලෙස වසා පැතිර යන තත්වයට පත්වීමයි. 

මෙලෙස කුඩා ප්‍රදේශයක් තුළ ජනඝනත්වය වැඩි වී, හුස්මක් කටක් ගත නොහැකි තරමට ඉතා සීමිත ඉඩකට කොටු වීමට සිදු වන විට, පැල්පත් නිවාස බිහිවීම, කසළ සහ අපජලය බැහැරලීමේ ගැටලු, ඇළමාර්ග-වැව් අමුණු නෑමට නොව අඩුම තරමේ පය ඔබන්නටවත් බැරි තරමට අපවිත්‍ර වීමේ ගැටලු ආදී විවිධ සමාජ-පාරිසරික ගැටලු රැසකට අපට මුහුණ පාන්නට සිදු වේ. 

යසට ඇති ග්‍රාමීය ප්‍රදේශ කෙමෙන් නාගරීකරණය වන විට, ඔය කී ගැටලු රැසට නිසැකවම අපට යම් දිනක මුහුණ දීමට සිදු වේ. මෙය මන්දගාමී කිරීමට සහ එහි යම් පාලනයක් කිරීමට ගතයුතු එක් වැදගත් පියවරක් වනුයේ ජනගහණ වර්ධනය පාලනය කිරීමය. 

ඒ අනුව, අප රටේ පවුලකට හැදිය හැකි උපරිම දරුවන් සංඛ්‍යාව දෙදෙදෙනකු දක්වා සීමා කිරීම උචිත යැයි අපට හැඟේ. එවැනි නීතියක් ක්‍රියාත්මක කරන්නේ නම් කිසිදු වාර්ගික භේදයකින් තොරව එය ක්‍රියාත්මක කිරීමටත් රජය වගබලා ගත යුතුය. 

පවත්නා සමාජ ආර්ථික තත්වය තේරුම් ගත් නාගරික ඇතැම් පවුල් නම්, මේ වන විටත් දරුවන් එක් අයෙකුගෙන්ම සෑහීමට පත් වෙති. 

අපේ කලාපයෙන් ජනගහණ පාලනය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වසර 35ක් මුළුල්ලේ දැඩි සේ ක්‍රියාත්මක කරන රටක් ලෙස චීනය හැඳින්විය හැක. ඔවුන් එය ක්‍රියාත්මක කළේ 1980 සැප්තැම්බර් 25 දින සිටය. 

"එක පවුලකට එක දරුවෙක්" (one child policy) ප්‍රතිපත්තියේ සිටින ඔවුන් මෑතකාලීනව නම් ඇතැම් පවුල් සඳහා පමණක් දරුවන් දෙදෙනෙකු හැදීමට අවසර ලබා දුන් අවස්ථා ඇත. චීන රජය විසින් එය ක්‍රියාත්මක කරනු ලබන දැඩිබව නිසා, ඇතැමුන් ඒ පිළිබඳව විවේචන එල්ල කළ ද, සමස්තයාගේ යහපත සඳහා එවැනි ක්‍රියාමාර්ග ගැනීම වරදක් ලෙස අප නම් නොදකින්නෙමු. 

ඉන්දියාව වැනි රටවල ජනගහණය අධික ප්‍රදේශයන්හි පවතින සංකීර්ණ ගැටලුකාරී තත්වයන් දෙස බලන විට, අප රටේ තත්වයන් තවමත් පාලනය කළ හැකි මට්ටක පවතී යැයි අපට හැඟේ. 

එබැවින්, අප රටේ ජනගහණ පාලනය සඳහා කල් නොයවා අද අදම පියවර ගතහොත්, ජනඝනත්වය අධික වීමෙන් මතුවන විවිධ සමාජ-ආර්ථික සහ පාරිසරික ගැටලු යම් මට්ටමකින් හෝ පාලනය කිරීමට සහ අනාගත පරපුරට හොඳ හුස්මක් කටක් ගෙන, ජීවත් විය හැකි ඉඩකඩ සහිත තුරුලතා පිරි වටපිටාවක් ඉතිරි කිරීමට නිසැකවම අපට හැකි වනු ඇත.  

Tuesday, April 19, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9

මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....

ගෝලාකාරව හාත්පසට විහිදි මහා අහස් ගැබ පලින් පල සුදු පුළුන් කැටිති විසුළ නිල් වියනක් මෙනි. අතොරක් නැතිව පතිත වන සැඩ හිරු රැස් මහපොළොව සිප ගනිමින්, පරිසරය ගිනියම් කරමින් ඇත. දැඩි අව්රශ්මිය උහුළනු බැරිව ගතේ සෙවනැල්ල පවා දෙපා යට සැඟව ඇති මොහොතකි මේ. වරින් වර හමන සුළං පහර, දහඩියෙන් තෙතබරිත ඇඟේ දැවටී හමන විට දැනෙන්නේ පුදුමාකාර සනීපයකි.  

අක්කර හතරහමාරකින් යුත් මේ කුඹුරු යායෙහි ගොයම් කපන්නට ආරම්භ කර, දැන් පැය පහකට ආසන්නය. මෙලෙස කැපෙන්නේ තෙමසකට අධික කාලයක් පුරා අව්-වැසි-දිවා-රෑ නොතකා, ඇට-ලේ-මස්-මිදුලු පුපුරු ගහනා තෙක් හෙළන ලද දහඩිය කඳුළුවල ඵලයයි. 

උසැති කට්ට සහිත රෝදවලින් සහ අඩි 14ක් පමණ දිගැති දැති ඇන්දකින් යුත් මේ ගොයම් කපන මැෂිම, ගොයම් ගස් එක පෙළට ගිලගනිමින්, කෙමෙන් කුඹුර පුරා ගමන් කරමින් ඇත. දියසීරාව රැඳි එරෙනසුළු තැන්වලින් සහ නියරවල් මතින් ගමන් කරන විට, යන්ත්‍රයේ හඬ තීව්‍ර වෙමින්, කළු දුම්රොටු ඉහළට නගියි. ඒවා සැණෙකින් තුනී වෙමින්, හිස් අහසේ අතුරුදහන් වී යයි. 

මීට සතියකට පමණ පෙර, අතරින් පතර ශේෂ වී තිබූ කොළපැහැ ගොයම් පත් දැන් මුළුමණින්ම පාහේ වියළී ගොස්, බොරපැහැ ගැහී ඇත. ඈත කුඹුරු යායක ගොයම් කපන මැෂිමක හඬ ද විටින් විට සුළං පහරට හසුව උස්පහත්ව ඇසේ. 

මේ කුඹුරු බිමෙහි කැපීමට තවත් ඉතිරිව ඇත්තේ කුඩා ගොයම් කුට්ටියක්ය. එයට තවත් විනාඩි පහළොවක් පමණ ගත වෙනු ඇත. උදෑසන වන තෙක්ම සුළඟට ළෙළදෙමින් ඒ මේ අත පැද්දෙමින් තිබූ කෙත දැන් දිස්වන්නේ මහා නියංසායකට හසුව වියළී ගිය තණ පිටියක් සේය. 


   


ගොයම කැපී, පෑගී, වී ටික පමණක් ඉතුරු වන නවීන යන්ත්‍ර සූත්‍ර නොතිබූ යුගයේ හැමතැනම පාහේ ගොයම් කැපුනේ මිනිසුන් යොදවා දෑකැත්තෙනි. නමුත්, දැන් එලෙස කැපෙන්නේ මැෂින් දැමීමට නොහැකි තරමට දැඩි සේ එරෙනසුළු කුඹුරු බිමක සහ මැෂින් යොදා කැප්පවීමට තරම් ලොකු වපසරියක් නැති කුඹුරු බිමක පමණි. 

මැෂිමෙන් ගොයම් කපන විට, මිනිසුන් යොදා කුලියට කපනවාට වඩා කාර්යක්ෂම මෙන්ම පිරිවැය ද අඩුය.   

මෙලෙස අද අස්වනු නෙළන මේ කුඹුරු බිමෙහි මඩවැඩ කර, වී වැපුරුණේ මීට තෙමසකට පමණ පෙරය. ගිනි ගහන අව්වට මැදිව මඩවැඩ කෙරෙන විට, ඇතැම් තැන්වල අත්ට්‍රැක්ටරයේ එන්ජිම යටවෙන මට්ටමට එරෙන විට, අත්ට්‍රැක්ටරය හැසිරවීම යනු උරපත්තේ පටන් මුළු ඇඟම වෙව්ලුම් කවන- ගතේ හයියත් මදි වන කාර්යයකි. 

කලවා තෙක් එරී, ඇඟපුරා මඩ නාගනිමින්, දැති රෝදවල තදින් බැඳී ඇති මඩ තට්ටු අස්කිරීම, අතැඟිලි තුවාල වනසුළු හා අතේ නිය පවා ගැලවී යන සුළු ඉතා දුෂ්කර කාර්යයකි. එය ගතේ ශක්තියත්, හිතේ වීර්යයත් අන්තිම අංශුවට හිඳෙනසුළු මොහොතකි.

වී වැපිරීමට පෙර ඇළවල් කපා, පෝරු ලෑලි ඇද- වළගොඩැලි නැති කිරීම ද ඉතා වෙහෙසකර කාර්යයකි. ඉහළ අහසේ සිට ගිනියම බෙදන හිරුගේ අව්රශ්මියෙන් දැඩිව රත් වූ වාතයට මැදිව වැඩ කරනු මදිවට. හිරුගේ ප්‍රතිබිම්බය කුඩා දිය කඩිති පිරි මඩට වැටී, එහි කිරණ ද පෙරළා ඇසට පරාවර්තනය වන විට ඇඟ පිච්චෙන්නේ උඩින් සහ යටින් ගින්දර දමා මැද කරවන ආප්පයක් ගාණටය.  

                             

එතැන් පටන්, උගුර බැරැණ්ඩි වනතෙක් කෑකෝ ගසමින්, පැල වී කන්නට දිවා කාලයට එන කුරුළු රංචු සහ මොනරුන් එළවීම ද සුකර කටයුත්තක් නොවේ. සාමාන්‍යයෙන් වි ඇට අහුළා කන්නට කුඹුරට පාත්වන කුරුළු රංචුවක සාමාජිකයන් දහසක් පමණ සිටී. එකා වී ඇටය ගණනේ කෑව ද, එය ප්‍රමාණාත්මකව කොතරම් ද? 

ලීටර් 16 ටැංකියක් කරේ එල්ලා ගෙන, තනි අතින් හැඬලය උස් පහත් කරමින්, අක්කර හතර හමාරක් පුරා වල්නාශක තෙල් ගැසීම ද නුපුරුදු අයෙකුට නම්, හත්මාසයක් එක තැන සිටිමින් අතේ-තුනටියේ සහ කොන්දේ අමාරුවට බෙහෙත් කිරීමට සිදු වන කාර්යයකි. 




රෑ පුරා නොකඩවා නිදිවරමින්, අලින්ගෙන් කෙත පරිස්සම් කරගැනීම සඳහා කරන ලද අරගලය ද සුළුපටු නැත.

එලෙස අව්-වැසි-දිවා-රෑ නොතකා, විවිධ දුක්කම්කටොලු විඳිමින්, තම ඇට මස් මිදුලු පුපුරු ගහනා තෙක් වැඩකරමින්, අලි එක්ක හැප්පෙමින් පරිස්සම් කළ කුඹුරු යාය කෙමෙන් කහපැහැ ගනිමින්, සුළඟට ළෙළදෙමින් විසිතුරු මවන විට ගොවියන්ට දැනෙන සතුට අපමණය. 
   


නමුත් මෙලෙස හෙළන සියලු ශ්‍රමය සහ නිෂ්පාදන වියදම සළකා බලන විට, වී සඳහා සාධාරණ ගැනුම් මිලක් නොලැබුණහොත්, එය ගොවියා මුහුණ දෙන දැවැන්තම ගැටලුවක්ය. දැන් පවත්නා ගැනුම් මිල සම්බන්ධයෙන් ද ගොවියන් මැසිවිලි නගන්නේ ඒ නිසාය. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.





Saturday, April 16, 2016

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8

අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...

කිසිදු මිනිස් පුළුටක ස්ථිර පදිංචියක් නැති, රක්ෂිත කැලෑ මායිමේ පිහිටි මේ කෘෂි බිමේ ගොඩමඩ ගොවිතැන් කරන විට, අනෙක් පළාත්වල මෙන් නොව විශේෂයෙන් අලින්ගෙන් පවා පරිස්සම් කරගැනීමට සිදුවන බව මීට පෙර ලිපිවලදී සඳහන් කළෙමු. එසේ අලි වගාබිම් වෙත වැදුනහොත් සිදු වන අලාභහානි සුළුපටි නොවන බව ද එහිලා සඳහන් කළෙමු. 

උස් මිටි භේදයක් නැතිව පොල් ගස් පවා බිමට පෙරළන එක අලින්ට ඉතා පහසු කාර්යයකි. මේ ලිපිපෙළට මාතෘකාගත කුඹුරු බිමට යාබද අත්හැර දමන ලද ඉඩමේ වවා තිබූ පොල් ගස් වරින් වර පැමිණි අලින් විසින් බිමට පෙරළා දමා ඇති ආකාරයයි මේ.





මනුස්සකමට නොව මිලට හෝ බොන්නට වතුර බිඳක් ඉල්ලා ගතහැකි තැනක් නැති, ගිනි අව්ව රජයන මේ බිමේ අප පවා තිබහට වෑවර ගෙඩියක් දෙකක් කඩාගෙන බොන්නේ අලින්ගෙන් හානියක් නොවී තවමත් ඉතිරිව ඇති පොල් ගස් කිහිපයෙනි. ඒවා ද බිමට වට්ටවන දිනය දන්නේ මෙහි වදින අලින් පමණය.  




අලින්ගෙන් වගාවන්ට සිදු වන අලාභහානි සහ ඒ වෙනුවෙන් අතිරේකව වැය කළ යුතු කාලය-ශ්‍රමය සහ ධනය නිසා, මෙම ඉඩමේ පෙර ගොවිතැන් කළ ඉඩම් හිමි අය අද මෙහි ගොවිතැන් කෙරුවාව තාවකාලිකව අත්හැර දමා ඇත. ඔවුන් විසින් ඉදි කරන ලද ගස උඩ පැල පවා දිනෙන් දින දිරාපත් වෙමින් තිබෙනු පෙනේ.



පාලුවට ගොස් ඇති මෙම ඉඩම්වල යළි වගා කෙරෙනු ඇත්තේ අලි කරදරය යම් තරමකින් හෝ අඩු වූ කාලයකය. එතෙක් දිනෙන් දින වල්වදිමින් මෙම ඉඩම් මෙලෙස පවතිනු ඇත.

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Wednesday, April 13, 2016

මේ කාලේ පරිස්සමින්- බීගත්තු ගොන් රංචු පාරවල්වල

මේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයයි. හිතවත්කම් අලුත් කෙරෙන, විවිධ කෑම-බීම වර්ග නොසෑහෙන්න කැවෙන-පෙවෙන විනෝදමත් කාලයකි මේ. 

අඩිපුඩි ගසන අයට නම්, කැවුම්-කොකිස්-කිරිබත් නැතත්, බෝතලයක් දෙකක් ඇත්නම්, අවුරුද්ද එතනය. අප්‍රේල් 13-14 දිනයන්හි සුරාසැල් වසා තැබුවාට, බෝතල් මදි වුනහොත් වැඩිමිලට වුනත් ගතහැකි තැන් ගමේ-නගරයේ කියා භේදයක් නැතිව තිබේ. එය රහසිගතව හිතවතුන් හරහා පමණක් සිදු වන ගනුදෙනුවක්ය. 

යමෙකුට මත්පැන් නොබී සිටිය හැකි නම්, එය හැම අතින්ම හොඳය. මේ කාලේ බෝතල්වල මිලගණන් අනුව නම්, නොබී ඉන්නා එක කොහොමටත් තමන්ගේ ආර්ථිකේට හොඳය. 

ඒ කෙසේ වෙතත්, පුරුද්දකට හැමදාම නොවෙතත් ඉඳලා හිටලා හෝ විනෝදෙට යහළු මිතුරන් එකතුව අඩියක් පුඩියක් ගැසුවාට ඒ හැටි අවුලක් නැතිය. අවුල නම් බීලා හාන එකය. එකට අඩිය ගහපු එකා එක්කම පැටලී, එකට හිස්කරපු බෝතලේම බිඳ, අනෙකාගේ බඩට බසසන එකය. ගමට ඇහෙන්න කුණු හරුප කියා-කෑකෝ ගසා වලිබලි දා ගන්නා එකය. 

වගකීමෙන් බොන්න (Drink Responsibly) යැයි බෝතලේම සඳහන් කර තිබුණාට, ඇතැමෙක් ඒ ගැන දන්නේවත් නැතිය. බොන්නේ තමන්ට දැරිය හැකි පදමට නොවේය. කරටි කැඩී වැටෙන්නමය. එහෙම බිව්වාම විඳවිල්ල මිස කිසි ගතියක් නම් නැතිය. විනෝදෙකුත් නැතිය.

බිව්වම වීරයෝ වෙන්නේ ගොන්නුය. ගොන්නු කිව්වාට සැබවින්ම කකුල් හතරේ ගොන්නු නම්, එහෙම අඩි පුඩි ගහන්නේ නැතිය. විවිධ මිනිස් ගුණාංගයන් තිරිසන් සතුන්ට ආරෝපණය කර, උන් පුද්ගලත්වාරෝපණයට ලක් කෙරුණේ පැරැණි ඉන්දීය උපදේශ කථා සාහිත්‍යය තුළය. කතා කරන සත්තු අපට දක්නට ලැබෙන්නේ ඒවාහිය. එය උපදේශ කතා කීමේ කලාවේ අංගයක් ලෙස සිදු වූවක්ය. හැමවිටම සිංහයා වීරත්වයත්, නරියා කපටිකමත් උරුමකරගත්තකු වශයෙන් දැක්වෙන්නේ ඒ අනුවය. 

අපේ රටේ වත්මන් ජනව්‍යවහාරය තුළ යමෙක් ඉවක් බවක් නැති ඔලමොට්ටල වැඩ කරන විට ඒ චරිත ලක්ෂණය ආරෝපණය කෙරෙන්නේ ගොනාටය. නැතිනම් හරකාට හෝ මීහරකාටය. නැතුව, එසේ කෙරෙන බව උන්වත් දන්නේ නැතිය.   

කෙසේ වුවත්, එවැනි කකුල් දෙකේ ගොන් රංචුවක ආසන්නතම කෙරුවාවක් මෙසේය.

ඊයේ රාත්‍රී එකොළහට පමණ පස් හයදෙනෙකුගෙන් යුත් කකුල් දෙකේ තරුණ ගොන් රංචුවක් කරටි කැඩෙන්න අඩිය ගසා, වාහන යනෙන මහ පාරේ වැතිර, කුණු හරුප කියමින්, අන් අයට බාධාකරමින් තම ගොන්කම ප්‍රදර්ශනය කරමින් සිටිනු දුටුවෙමි. වාහන ආවා කියා උන්ට අයින් වෙන්න හදිසියක් නැතිය. 

හිමින් හරි බරි ගැහී, එහෙට මෙහෙට පැද්දී, අතපය ඇඟිලි විසිකරමින් උන් පාරේ අයින් වෙන තෙක් බලා සිටීමට වාහනකරුට සිදු වේ. උන් එක්ක හරි වැරැද්ද කතා කරන්න යෑම, එසේ යන එකාගේ ද ගොන්කමය. ඒ මක්නිසා ද යත්, හරිවැරැද්ද කතා කළ යුත්තේ ඒවා අහන්න සූදානම් එවුන් එක්කය. අහන්න සූදානම් නැති එකාට මක්කා කිව්වත් වැඩක් නැතිය. 

ළඟ බැලුවොත් නම්, ඒ වගේ උන්ට විසඳුම අතින් පයින් ගේම දෙන එකය. එවිට සිදු වන්නේ උන්ටත් තුවාල කර, තමනුත් තුවාල කරගෙන, පොලිසි ගානෙත් රස්තියාදු වී, ඇතැම් විට එකෙක් දෙන්නෙක්ගෙ ජීවිතයත් නැති කරගෙන අවුරුද්දත් කාබාසිනියා කරගන්නටය. ඒ නිසා, දුර බලන එක කොයි පැත්තෙනුත් හොඳය. 

"මේ කාලේ පරිස්සමින් - බීගත්තු ගොන් රංචු පාරවල්වල" යැයි මුලම කිව්වේ ඒ නිසාය. 

Sunday, April 10, 2016

ඔබේ නිගමනය හැමවිටම නිවැරදි නොවිය හැක...


කිසියම් කාසියක් නූලකින් එල්ලා නිශ්චලව තබා ඇතැයි සිතමු. නිදසුනක් ලෙස රුපියල් පහේ කාසියක් ගනිමු. මේ කාසිය දෙස එකිනෙකට වෙනස් දෘෂ්ටිකෝණයන්ගෙන් පුද්ගලයන් 5 දෙනෙකු බලා සිටිනවා යැයි ද සිතමු. 

පළමු තැනැත්තා කාසියේ රාජ්‍ය ලාංඡනය සහිත පැත්ත පමණක් හොඳින් පෙනෙන ලෙසත්, දෙවන තැනැත්තා කාසියේ වටිනාකම ආදී තොරතුරු සඳහන් පැත්ත පමණක් පෙනෙන ලෙසත්, තෙවන තැනැත්තා කාසියේ දාරය පමණක් පෙනෙන ලෙසත්, සිව්වන තැනැත්තා කාසියේ රාජ්‍ය ලාංඡනය සහිත පැත්තත් දාරයත් යන දෙපැත්ත පමණක් පෙනෙන ලෙසත්, පස්වන තැනැත්තා කාසියේ වටිනාකම ආදී තොරතුරු සඳහන් පැත්තත් කාසියේ දාරයත් යන දෙපැත්ත පමණක් පෙනෙන ලෙසත් සිටුවා තබා ඇතැයි සිතමු. 

එලෙස කාසියේ පස් දෙසින් සිටුවා ඇති පුද්ගලයන් කාසිය දකින්නේ එකිනෙකට සමාන දෘෂ්ටිකෝණයන්ගෙන් ද? නැත. කිසිසේත්ම නැත. ඔවුන්ගේ දෘෂ්ටිකෝණයන් එකිනෙකට වෙනස් නිසා ඔවුන් දකින දේ ද වෙනස්ය. 

මෙලෙසින්ම, යම් කාරණයක් පිළිබඳව ඇතැම් විට අප දකින දෘෂ්ටිකෝණයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයකින් වෙනත් අයෙකු දැකිය හැක. 

එමනිසා, කිසියම් දෙයක් පිළිබඳව අප දරණ මතය හැමවිටම නිවැරදි නොවිය හැක. ඇතැම් විට නිවැරදි විය හැකි වුවත්, අඩුපාඩු සහිත විය හැක. ඒ පිළිබඳ දැනුවත්බවින් යුතුව අප කටයුතු කරන්නේ නම් බොහෝ විට ගැටලුකාරී තත්වයන් මතු නොවී මානසික සතුටින් යුතුව කටයුතු කිරීමට අපට හැකිවේ.  

රටක් පාලනය කරන විට වුව ද, කිසියම් ආයතනයක් හෝ සංවිධානයක් පාලනය කරන විට වුව ද, එසේ නැතිනම් පිරිසක් එකතුව කිසියම් වැඩක් සිදු කරන විට වුව ද, සංවාදශීලිව අන් අයටත් අදහස් දැක්වීමට ඉඩ දී, ඒවායෙහි යුක්තියුක්තභාවය ද විමසා බලා වඩාත් නිවැරදි විදිහට වැඩ කටයුතු සිදු කරන විට කිසිවෙකුටත් තමන්ට ඇඟිලි දික් කිරීමට නොහැක. සිදු කිරීමට යන කාර්යය ද වඩා පිළිවෙළට සිදු වේ. 

ඒ සඳහා අවශ්‍ය කරන්නේ තමන් හැමවිටම නිවැරදි ලෙසත්, අන් අය හැමවිටම වැරදි ලෙසත් සිතන අගුළු ළාගත් මනසක් නොව විවෘත මනසකි.  

විවෘත මනස නිසැකවම ඔබට බොහෝ ජීවිත ජයග්‍රහණ ළඟා කරදෙනු ඇත.

Tuesday, April 5, 2016

වත්තල ව්‍යායාම මංතීරුවෙන් ඔබ්බට.....


ආණ්ඩුවේ කිසියම් ප්‍රබලයෙකුගේ අනුදැනුම මත පසුගිය දිනක කඩා දමා තිබූ වත්තල ව්‍යායාම මංතීරුව මසකට නොඅඩු කාලයක් තුළ යළි සකස් කිරීමට අද වැඩ ආරම්භ කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ සඳහා රුපියල් මිලියන 8කට ආසන්න මුදලක් වැය කිරීමටත් නියමිතය. 

පුදුමය කියන්නේ එලෙස පොදු දේපල විනාශ කරන්නට නියෝග/උපදෙස් ලබා දුන් වගකිවයුතු කිසිවෙකුත් නීතිය හමුවට නොව අඩුම තරමේ මාධ්‍ය හමුවකටවත් ඉදිරිපත් කිරීමට සොයා ගත නොහැකි වීමය. තමන්ට සිතුණු සිතුණු වෙලාවට සංස්කරණය කළ හැකි නාට්‍ය පිටපතක තත්වයට අද එම සිද්ධිය පත්ව තිබෙනු පෙනේ.  

මේ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ යහපාලනය ගෙනෙන්නට පුරසාරම් දෙඩුවාට ක්‍රියාවෙන් එය ඉටු නොවන්නේ නම්, එහි පාඩුව සහ අවාසිය මුළු රටටම පමණක් නොව රට කරවන ආණ්ඩුවටත් විඳින්නට සිදු වන බවය.   

විශේෂයෙන්ම දැඩි සේ නාගරීකරණය වූ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ  ආශ්‍රිතව දිවි ගෙවන මිනිසුන්ගේ ශරීර සුවතාව සඳහා ක්‍රමවත් ව්‍යායාම මංතීරු සහ විවේක ස්ථාන ඉදිකරන්නට පසුගිය රජය විසින් කටයුතු කෙරුණි. එය නාගරික ජනයා වෙනුවෙන් දියත් කෙරුණු ප්‍රශංසනීය ව්‍යාපෘතියකි. 

කොටින්ම අඳුරු ගුබ්බෑයමක් ලෙස තිබූ විහාර මහාදේවී උද්‍යානය වැනි ස්ථාන පවා කලඑළි දැක්කේ එවැනි ව්‍යාපෘතිවල මහිමයෙනි. අද පවා නාගරික මිනිසුන් තම ළමා ළපටින් සමග එහි විනෝද වෙන ආකාරය සහ උදේ හවා මිනිසුන් ව්‍යායාම කරන අපූරුව දකින විට අපට නම් ඇති වන්නේ අපමණ සතුටකි. ඒ අන් කිසිවක් නිසා නොව ගම්වල නිදහසේ ඇලේ දොලේ පීනා, පිරිසිදු හුස්ම ටිකක් ගෙන ජීවත් වූ අපට ඇඟවල් ලෙඩ කරවන නාගරික ජීවිතයේ ඇති ආතතිජනක පීඩාකාරීබව හොඳින්ම වැටහෙන නිසාය.  

එලෙස පසුගිය රජය සමයේ ඉදිකළ බොහෝ ව්‍යායාම මංතීරු සහ විවේක ස්ථාන අද නිසි නඩත්තුවක් නැතිව තිබෙනු දැකීම සැබවින්ම කණගාටුදායකය.      

අඩුම තරමින් ජනතාව වෙනුවෙන් එවැනි අලුත් ව්‍යාපෘති දියත් කරන්නට වත්මන් රජයට හැකියාවක් හෝ වුවමනාවක් නැතිනම්, පසුගිය රජය සමයේ ගොඩනගන ලද එවැනි දෑ ජනතාව වෙනුවෙන් නිසි නඩත්තුවක් යටතේ පවත්වා ගෙන යාමටවත් කටයුතු කිරීම වත්මන් රජයේ යුතුකමය.  

තනි පුද්ගලයෙකුගේ හෝ තවත් කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් විය හැකි වුවත්, වත්තල සිදුවීමෙන් පවා ජනතා අපවාදය එල්ල වන්නේ සමස්ත ආණ්ඩුවට බැවින් එවැනි අත්තනෝමතික මුග්ධ ක්‍රියා යළි නොවෙන්නටත් ආණ්ඩුව වගබලා ගත යුතුය. 

එසේ නොවුනහොත් වන්නේ නිසැකවම ආණ්ඩුවේ පිරිහීම "තවත්" වැඩිවන එකය.  

(පින්තූරය ගත්තෙ මෙතනින්)