Showing posts with label කසළ_කළමනාකරණය. Show all posts
Showing posts with label කසළ_කළමනාකරණය. Show all posts

Tuesday, October 8, 2019

අනාගත ජනපතිට ලියන ලිපිපෙල අංක 1. (කුණු ප්‍රශ්නය විසඳීම )

අනාගත ජනපතිට ලියන ලිපි පෙල 
අංක 1.

කුණු ප්‍රශ්නය විසඳීමට සැළසුම
=========================

ගරු ජනාධිපති තුමනි, 

ශ්‍රි ලංකාවේ කුණු ප්‍රශ්නය ජාතික මට්ට්මේ ව්‍යසනයක් බවට පත්ව ඇති බැවින් හා ඒ පිළිබඳව මෙතෙක් ඉදිරිපත් කර ඇති , මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයන් අසාර්ථක වී ඇති බැවින් වඩා පලදායී හා තිරසාර විසඳුම් පහත පරිදි ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මෙම විසඳුම් වර්තමාන තත්ත්වය අනුව භාවිතාවේ යෙදවිය හැකි පරිදි සීරු මාරු කර ගෙන ප්‍රායෝගික ලෙස යොදා ගැනීමට මූලික දළ අදහසක් සේ යොදා ගත හැකි දැයි සළකා බලනු මැනවි. 

1. කුණු ප්‍රශ්නය ජාතික මට්ටමේ ගැටලුවක් ලෙස සළකා බලා ඒ වෙනුවෙන් ජාතික මට්ටමේ සැලැසුම් නිර්මාණය කළ යුතුය. වර්තමානය වන විට පවතින ප්‍රාදේශීයව බෙදි ගිය ප්‍රාදේශීය නායකයන් අතින් පාලනය වන එකිනෙකින් වෙනස් වූ මේ ක්‍රමය තව දුරටත් මෙම ගැටලුව විසඳීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙම සමස්ථ ක්‍රියාවලිය පොදු ජාතික සැලැස්මක් යටතේ  ක්‍රියාත්මක වන රටටම එක යාන්ත්‍රණයක් සේ බලපවත්වන එකක් විය යුතුය. 

එබැවින් කසළ කළමනාකරණය ජාතික වැඩසටහනක් බවට පත් කර "පරිසර අමාත්‍යාංශය" යටතට පමුණුවන්න. එමගින්, රටටම පොදු කසළ කළමනාකරණ වැඩසටහන නියාමනය කර පාලනය කරන්න. 

2. කසළ කළමනාකරණය කිරීම පිණිස රට වෙනම ප්‍රධාන  කලාප කීපයකට වෙන් කරන්න. ඒ කලාපයට වෙන වෙනම කසළ අංගන නිර්මාණය කරන්න. පුද්ගලික අංශයේ වෙනමම ආයතන පිහිටුවා එම අංගන වෙත කුණු රැගෙන ඒම සඳහා ක්‍රමවේදයන් හදන්න. 

3. දැනට පවතින ප්‍රාදේශීය සභා ඔස්සේ කෙරෙන කුණු කළමනාකරණ ක්‍රමවේදයන් අසාර්ථකයි. වාහන, සේවකයන් , ඒවා නඩත්තුව ,පරිපාලනය ආදී ගැටලු රැසක් ඒවායේ වෙයි. එබැවින් මෙම ක්‍රියාවලිය පුද්ගලික අංශයට පවරන්න. ඔවුනට ගෙවීම, ඒවා නියාමනය කිරීම ආදියට පමණක් රජයේ සේවකයන් යොද වන්න. 

4. කුණු වෙනුවෙන් කුණු නිශ්පාදනය කරන්නන්ගෙන් මිලක් අය කරන්න. එය ක්‍රම දෙකකට කල හැකිය. 

a) සෘජුව බිලක් ගෙවීම. 
විදුලි බලය, වතුර බිල ආදිය වගේම කුණු වෙනුවෙන් ද ගෙවීමක් මාස් පතා මිනිස්සුන්ගෙන් අය කර ගත හැකිය. එය මසකට රුපියල් 200-300/= ක් පමණ වෙන කුඩා මිලක් නිසා එය ගෙවා ගැනීමට මිනිස්සුන්ට බැරි වෙන එකක් නැත. 

b) වක්‍ර බදු අය කිරීම
අනෙක් ක්‍රමය නම් කුණු නිශ්පාදනය වන තැනින්ම ඒ මිල අය කර ගැනීමයි. උදාහරණයක් ලෙස බිස්කට් පැකට් එකක් මිලදී ගැනීමේදී එහි කවරය අනිවාර්යයෙන්ම කුණුලෙස පරිසරයට එකතු කරන බැවින් එම කුණු පැකට් එක කළමනාකරණය කිරීම සඳහා අදාල මුදලක් බදු ලෙස එම මිළදී ගැනීම කරන විටදීම අය කර ගත හැකිය. සියළුම පාරිභෝගික භාණ්ඩ වෙත මෙම සුළු මුදල එක් කිරීමෙන්, කුණු නිශ්පාදනය කිරීමට අදාල පුද්ගලයාගෙන්ම එම මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙයි. 

මේ ක්‍රම දෙකෙන් අප රටට මුලින්ම වක්‍ර බදු ක්‍රමය ගැලපෙන බව මාගේ විශ්වාසයයි. කුණු ඉවත් කිරීමට කළමනාකරණය කිරීමට  වැය වන මුදල මින් උපයා ගත හැකි විය යුතුය. මින් එම සේවකයන්ට හොඳ වැටුවක් ලබා දීමට ද හැකි වීමට ඔබ වග බලා ගන්න. 

5. කුණු කළමනාකරණය කර ගැනීමට හොඳම ක්‍රමය ඒවා වෙන් කර ගැනීම බව ඔබේ ජනතාවට ඒත්තු ගන් වන්න, කියා දෙන්න, ඔවුන් හුරු කරවන්න. කුණු වෙන් කිරීම පිණිස ඔවුන් යොමු කරවන නීතී රෙගුලාසි සම්පාදනය කර ගන්න. ප්ලාස්ටික් , බෝතල්, ලෝහ, දිරායන කුණු ආදී ලෙස වැඩසටහනට ගැලපෙන විද්‍යාත්මක ආකාරයකට ඒවා වෙන් කර ගන්න. ඒ අනුව ඒවා කළමනාකරණය කර ගැනීම පහසු වෙනු ඇත. 

ප්ලාස්ටික් දිරා නොයන එක පාරිසරික ගැටලුවක් වී ඇත්තේ අපි දිරන දේ නොදිරන වැඩේටත් , නොදිරන දේ දිරන වැඩේටත් යොදා ගැනීම නිසාය. ප්ලාස්ටික් දිරා නොයෑමේ ගුණය භාවිතා කොට එසේ ඉවත ලන ප්ලාස්ටික් භාවිතා කොට විවිධ නිශ්පාදන සඳහා යොමු වන, විය හැකි වටාපිටාවක් හදන්න. ඒ සඳහා පර්යේෂණ, අත් හදබැලීම් කරන පුද්ගලයන් දිරි මත් කර දිරා නොයන ප්ලාස්ටික් වලින් දිරා නොයන වැඩක් ගන්න යොදවා ගන්න. 

දිරා යා යුතු දේ දිරායායුතු වැඩ වෙනුවෙන් භාවිතා කරන්න වෙළෙඳපොළ යොමු කරවන්න. එය කළ හැක්කේ රජයකට පමණකි. ප්ලාස්ටික් වෙළෙඳපොළට එක් වන ක්‍රම සොයා බලා ඒවා සීමා කරන්න ක්‍රම සම්පාදනය කරන්න. ෂොපින් බෑග් එකේ සිට බේසම බාල්දිය දක්වා මේ ක්‍රියාවලිය දික් කර ගත හැකිය. 

6. දිරා යන කුණු කසල අංගන වල කළක් තියෙන්නට හරින්න. ඒවා සතුන් කෑමට ගන්නා බැරි මහජන   සෞඛ්‍යයට හානි නොවන , මැස්සන් බෝ නොවන  මට්ටම පනින විටම  කෝම්පොස්ට් ආදිය නිපැයීමට යෙදිය හැකිය. එසේත් නැතිනම් ලොරි පිටින් රැගෙන ගොස් පුරන් වූ කුඹුරු, නිස්සාර වූ හේන්, වගා බිම්, පොල් වතු, රබර්, තේ වතු වලට හලන්න. තවද එළිකල කැලෑ, මුඩු බිම්, ගස් වැවිය යුතු බිම් , ඇති කල යුතු කැලෑ ආදියට ඒවා රැගෙන ගොස් හලන්න. කෘෂි බිම් වලට පෝර ද, වන වගාවද ඇඟට පතට නොදැනීම ඉබේම සිදු වනු ඇත. 

7. කුණු නිශ්පාදන කරන ස්ථානය අනුව ද  වර්ග කර ගන්න... 
පොදු ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හා නිවාස  ලෙස කොටස් තුනකට ඒවා වෙන් කර ගන්න. ව්‍යාපාරික ස්ථාන වලට ඔබට වෙනමම අය කිරීමක් සිදු කළ හැකි ය. 
පොදු ස්ථාන පිරිසිදු කිරීම ද කොන්ත්‍රාත් ක්‍රමයට පුද්ගලික අංශයට පවරන්න. ඒවා නියාමනය කිරීමට පමණක් රජයේ සේවකයන් යොමු කරවන්න. 

ඉතුරු කාරණා දෙක කුණු වලට පමණක් සීමා නොවේ. රටේ පොදු වැඩ පිළිවෙලට මේවා අත්‍යවශ්‍ය වේ. 

8. මෙම ක්‍රියාවලිය පාලනය කිරීමට ඉතා ක්‍රමත් රාජ්‍ය පරිපාලන සේවයක් තිබිය යුතුය. වගකීමෙන්  සේවය කරන, ප්‍රතිඵලයට වග කියන, හොරා නොකන රාජ්‍ය පරිපාලනයක් ඇති කරන්න. එම කාර්‍යක්ෂම පරිපාලන ක්‍රමය මගීන් මෙම ක්‍රියාවලිය නීත්‍යානුකූලව පරිපාලන කිරීමට නීතී රෙගුලාසි සම්පාදනය කරන්න. 
a) දක්ෂයන් රජයේ සේවයට බඳවා ගන්නා
b) හොරා නොකා අවංකව රාජකාරි කරන
c) ගැලපෙන, නිවැරැදි තීන්දු තීරණ ගන්න හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න. 

9. කෙතරම් ඉල්ලා සිටිය ද මිනිසුන් සමාජ සාධාරණත්වයෙන් කටයුතු නොකරයි. එබැවින් මෙම කුණු සම්බන්ධ ද විනය මහජනයා තුල ඇති කිරීමට නීතී පද්ධතියක් තිබිය යුතුය. එම නව නීතී සම්පාදනය කල යුතු වගේම ඒවා ක්‍රියාත්මක වන වටාපිටාවක් රට තුල නිර්මාණය විය යුතුය. එය මූලික රාජ්‍ය පාලනයේ වටිනා අංගයක් ලෙස රට හදනවා නම් ඕන වෙයි. එබැවින්, එම කාර්‍යක්ෂම අධිකරණ පොලිස් සේවා ඔබට ඇති කර ගත යුතු වෙයි. සොරා කෑම්, කොමිස් ගැසීම්, දේශපාලන බලපෑම් ආදී විවිධ අක්‍රමිකතා මුලිනුපුටා දමන ක්‍රමයක් ඔබ අනුගමනය කරයි නම්, ඔබට මෙම අධිකරණයේ කාර්‍යක්ෂමතාවය හොඳින් භාවිතා කල හැකිය. 

එබැවින්, සාරාංශයක් ලෙස ගත් කල හොඳ නායකත්වය , හොඳ රාජ්‍ය පරිපාලනය හා කාර්‍යක්ෂම , ස්වාධීන නීතීඅධිකරණ ක්‍රියාවලිය රට හදන මුල් ගල් තුන වැනිය... ඒ ලිප්ගල් තුන උඩ කුණු ප්‍රශ්නය නැමති හොද්ද තියා උයා ගැනීමට ඔබ දක්ෂයෙකු වන්න. ඒ හොද්ද වගේම අනෙක් හොදි ද මෙලෙසම උයා ගත හැකි බව අවබෝධ කර ගන්න. 

මෙම සමස්ථ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබට කාලයක් මුදලක් අවශ්‍ය වනු ඇත. ඔබ ණයක් ගන්න, මෙහි ආයෝජනය කරන්න. ප්‍රතිලාභ අවුරුදු 2-3 ක් යනකොට ලැබෙන්නට පටන් ගනීවී... මෙම ක්‍රමය හොඳින් සමාජ ගත වූ විට එය හොඳින් සාර්ථකව ක්‍රියාත්මක වූ විට ලංකාව ලස්සන, තිරසාර රටක් වේවි. ඊළඟ ඡන්දයෙන් ඔබට දිනන්නට එය හොඳ සාධකයක් වේවි. ඔබට ජය!!! රටට  ජය!!! 

පැතුම්     

( පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )
https://www.facebook.com/pathumkerner

Wednesday, January 23, 2019

යෝගට් කප් එකේ සිට පොලිතින් උරය දක්වා ප්‍රතිචක්‍රීයකරණය කරන දකුණු කොරියාව~~


දකුණු කොරියාව යනු ඉතා සංවිධිත අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන රටක්. ලොව දෙවෙනි විශාලතම නගරය වන සහ මිලියන 50ක් වූ කොරියානු ජනගහණයෙන් හරි අඩක් ජීවත් වන, ඉතා ජනාකීර්ණ සොවුල් අගනුවරින් පමණක් බැහැරළන ටොන් ගණනක අපද්‍රව්‍යවලින් තුනෙන් දෙකක් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. නමුත්, එය කොරියානු මහපොළොවේ අද යථාර්ථයක්.  

විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී, කොරියානු පරිසර අමාත්‍යංශය විසින් සම්මත කර ඇති කසළ වර්ගීකරණ ප්‍රතිපත්තියට අනුව ආහාරමය අපද්‍රව්‍ය (음식물 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ආහාරමය නොවන අපද්‍රව්‍ය (일반 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය (재활용  쓰레기) සහ විශාල භාණ්ඩ වශයෙන් ඉවතළනදෑ වෙන් වෙන්ව  වර්ග කර බැහැර කිරීම ජනතාවට අනිවාර්ය කර තිබෙනවා. එසේ  කිරීමට අපොහොසත් වීම දඩුවම් ලැබිය හැකි වරදක් පමණක් නොවෙයි, එවැනි අය පිළිබඳව දැනුම් දුන්නොත් රජයෙන් මූල්‍ය ත්‍යාග පවා ලබාගත හැකියි. නමුත්, එලෙස දඩ කාපු කොරියානුවෙක් නම් සොයා ගත නොහැකි තරමට අතිශය විරලයි. 

සාමාන්‍යයෙන්, දකුණු කොරියාවේ කසළ රැගෙන යාම සඳහා ඍජුව ගාස්තු අයකිරීමක් කෙරෙන්නෙ නෑ. ඒ සඳහා ‍යොදා ගන්නේ 1995 වසරේදී හඳුන්වා දුන් පරිමා පාදක ගාස්තු ක්‍රමය (volume based fee system). එනම්, තමන් ඉවතළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතුයි කියන සරළ සිද්ධාන්තය. 

ඒ අනුව, ජනතාව තමන් ඉවතළන කසළ බහාලිය යුත්තේ ලීටර් 5,10,20, 50, 100 ආදී වශයෙන් තමන්ට අවශ්‍ය පරිමාව අනුව සාමාන්‍යයෙන් සුපිරිවෙළඳසැල්වලින් පහසුවෙන් මිලදී ගත හැකි, එක් එක් දිස්ත්‍රීක්කයට සුවිශේෂීව හඳුන්වා දී ඇති සහ එක් එක් කසළ වර්ගයට නියමිත වර්ණයෙන් යුත් පොලිතින් බෑග්වල. කසළ එකතු කරනු ලබන්නන් එම ප්‍රමිතියට අනුකූල නොවන බෑග් සහ තමන්ට අදාළ නොවන වෙනත් දිස්ත්‍රීනක්කයකට අයත් කසළ බෑග් රැගෙන යන්නෙ නැහැ.

ආහාරමය අපද්‍රව්‍ය බහාළනු ලබන ප්ලාස්ටික් බඳුන් සඳහා නියමිත ටැග් මිලට ගෙන ඇමිණිය යුතුයි. බයිසිකල්, කබඩ්, රූපවාහිනී වැනි විශාල භාණ්ඩ ඉවතළෑමේදී දිස්ත්‍රීක්ක කාර්යාල මගින් මිලදී ගත් ස්ටිකර් අලවා, රැගෙන යායුතු කසළ තබන පොදු ස්ථානයක තැබිය යුතුයි.



සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ කසළ රැගෙන යනු ලබන්නේ රාත්‍රී 7ත් පාන්දර 5ත් අතර. එනිසා නියමිත දිනයේ එම කාල සීමාව තුළ පමණක් කසළ නිවසින් පිටත තැබිය යුතු වෙනවා. අවේලාවේ කසළ පිටතින් තැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. 



මෙලෙස රැගෙන යන කසළ අතරින්, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සියලුම ද්‍රව්‍ය එනම්, ප්ලාස්ටික් බෝතල්-යෝගට් කප්-බාස්කට් ඇතුළු සියලුම ප්ලාස්ටික් වර්ග, ඇලුමීනියම්- ටින්- තඹ වයර් ආදී සියළුම ලෝහමය ද්‍රව්‍ය, බ්ලෙන්ඩර්- ප්‍රින්ටර් වැනි සියලුම විදුලි උපාංග, වීදුරු බෝතල්, කඩදාසි නිෂ්පාදන, ඍජුෆෝම් ආදී සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි භාණ්ඩ කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබනවා. එහිදී, ඒවා තෝරා වර්ගීකරණය කර, ප්‍රෙස් මැෂින් මගින් කුට්ටි කර, යළි පිරිසිදු අමුද්‍රව්‍ය නිපදවනු ලබන ආයතන වෙත අලෙවි කරනු ලබනවා. 


ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියේ පහසුව පිණිස දකුණු කොරියාවේ නිෂ්පාදිත සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළහැකි භාණ්ඩවල ප්‍රතිචක්‍රීයකරණ සළකුණ මැද එම භාණ්ඩය නිෂ්පාදිත අමුද්‍රව්‍යය සටහන් කිරීම අනිවාර්යයි. නිදසුනක් ලෙස සියලුම ප්ලාස්ටික් භාණ්ඩවල PP,HDPE,PS, PET වශයෙන් ඊට අදාළ ප්ලාස්ටික් අමුද්‍රව්‍යයේ නම සටහන් කර තිබෙනු දකින්න පුලුවන්. මෙලෙස දිනකට මෙවැනි ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයකට රැගෙන එනු ලබන කසළ ප්‍රමාණය ටොන් ගණනක්. 

දිනකට එක්රැස්වන ටොන් ගණනක පොලිතින් ප්‍රතිචක්‍රීයකරණය කරන්නෙත් මෙලෙසින්මයි. 

මෙලෙස කසළ තේරීමේදී ඉවතළන සහ ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය වෙනම කුට්ටි කර දහනය කර විදුලිය නිපදවන මධ්‍යස්ථාන වෙත සහ භූමිය ගොඩකිරීම් සඳහා සපයනු ලබනවා. කොරියාවේ ඉවත ලනු ලබන ආහාරමය අපද්‍රව්‍යවලින් සත්ව ආහාර සඳහා සාමාන්‍යයෙන් ගොවිපොළවල් වෙත රැගෙන යන්නේ 10%ක් පමණ. ඉතිරි සියල්ල දහනය කර බලශක්තිය නිපදවන කර්මාන්තශාලා වෙත හෝ පොහොර නිපදවීම සඳහා යොමු කෙරෙනවා. ප්‍රතිචක්‍රීය කළ නොහැකි ආහාරමය නොවන ද්‍රව්‍යත් බොහෝ විට යොමු කෙරෙන්නේ දහනය කරන මධ්‍යස්ථාන වෙත. 

සොවුල් අගනුවර පිහිටි නුවොන් දහන මධ්‍යස්ථානයට කොරියාවේ දිස්ක්‍රීක්ක 25 අතරින් 6කින්ම එන ටොන් ගණනක අපද්‍රව්‍ය බලශක්තිය නිපදවීම සඳහා දහනය කෙරෙනවා. අපද්‍රව්‍ය දහනය කළ පසු දහයෙන් පංගුවක් පමණයි සාමාන්‍යයෙන් ඉතිරි වන්නෙ. එලෙස ඉතිරි වන අළු පොළොව ගොඩකිරීම් සඳහා යොදා ගනු ලබනවා. 

පරිමා පාදක ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර, 1985 වසරේදී කොරියාවේ ඒක පුද්ගල කසළ ඉවතළන ප්‍රමාණය රාත්තල් 4.85ක්. නමුත්, 1995දී එම ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම ප්‍රමාණය රාත්තල් 4.43 දක්වා අඩු වී තිබෙනවා. 2010 වන විට එම ප්‍රමාණය රාත්තල් 2.11 දක්වා ක්‍රමිකව අඩු වී තිබෙනවා. මොකද, ජනතාව දන්නවා තමන් බැහැරළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතු බව.  

කැළිකසළින් තොර ඉතා පිරිසිදු අලංකාර නගර, සුපිරිසිදු දුම්රියහල්-බස්නැවතුම් වැනි පොදු ස්ථාන, දෙපස එක පෙළට සිටුවන ලද ගස් පේළි සහිත ක්‍රමවත් මං මාවත්, ඉතා ජනාකීර්ණ නගරවල පවා තැන තැන පිහිටුවා ඇති කසළින් තොර පරිසර උද්‍යාන ආදී නෙත් ඇදගන්නා බොහෝදෑ පිටුපස පදනම තමයි, මුල සිට අග දක්වා ඉතා සංවිධිත වූ දකුණු කොරියානු කසළ කළමනාකරණ ක්‍රමය.

දැනට ඉවතළන කසළවලින් 80%ක් වන කසළ ප්‍රතිචක්‍රීයකරණ අගය 2020 වන විට 87% දක්වා වැඩි කිරීම කොරියානු රජයේ ඉලක්කයයි. 

අහස උසට කුණු කඳු ගොඩ ගසනා, ඒවාට යටවී ඔහේ මිනිසුන්ට මියැදීමට ඉඩසළසන ශ්‍රී ලංකාවේ අපි මෙවැනි දියුණු රටවල්වලින් දැන්වත් පාඩම් උගත යුතු නොවේ ද?

        --දමයන්ත--