Showing posts with label අධ්‍යාපන/Educational. Show all posts
Showing posts with label අධ්‍යාපන/Educational. Show all posts

Tuesday, October 8, 2019

අනාගත ජනාධිපතිට ලියන ලිපි පෙළ අංක 03 . අධ්‍යාපනය

අනාගත ජනාධිපතිට ලියන ලිපි පෙළ
අංක 03 . 

අධ්‍යාපනය 
=========

රටක් සතු හොඳම ආර්ථික ප්‍රතිපත්තිය අධ්‍යාපනය යි- කියමනක් 

ගරු ජනාධිපති තුමනි , 

ඔබ මා විසින් යොමු කල දෙවැනි ලිපියෙහි අන්තර්ගත ඉඩම් හා භූමි කළමනාකරණය ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන්නට ඇතැයි සිතමි. එයට අවශ්‍ය මූලික පදනම ඔබ සකස් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. ඔබගේ මේ අලුත් රටට මේ සැළසුම් සියල්ල ඉටු කර ගැනීමට ඔබට අවශ්‍ය ලොකුම සම්පත මානව සම්පත බව ද ඒ ගොඩනැගෙන රටේ ශ්‍රම බලකාය රට හදන යාන්ත්‍රණයේ මූලිකම පාදම බව ද ඔබට මතක කරනු කැමැත්තෙමි. 

එබැවින් ඔබ මේ ගමන යාමට රටේ මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කරමින් මෙහෙයවා ගත යුතුය. ඔවුන්ට නිසි අධ්‍යාපනය, පුහුණුව , නිපුණතා ලබා දී වෘත්තීයම වශයෙන් ඔවුන් සූදානම් කල යුතුය. මේ රට ගොඩ නැගිය යුත්තේ අප විසිනි. ඒ සඳහා අවශ්‍ය දැනුමසහ ශ්‍රමය වෙන රටකින් ගෙන ආ නොහැකිය. එබැවින් මේ රටේ උපදින හැදී වැඩෙන අපේ දරුවන් ඔබ මේ දකින අනාගතය වෙත ගෙන යෑමට සූදානම් කල යුතුය. ගොඩ නැගෙන රටට ඔවුන්ගෙන් ද එසේ රට ගොඩ නැගීමෙන් ලැබෙන පල ඔවුන්ට ද ලැබෙනුයේ ඔවුන් ඒ සඳහා සූදානම් නම් පමණි. වර්තමානයේ අප බිහි කරන ශ්‍රම බලකාය අක්‍රමවත් ය. එබැවින් මේ ක්‍රමයෙන් තව දුරටත් ඔබ තුමාට රට ඉදිරියට ගෙන යා හැකි නොවේ. එබැවින් ඔබ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කල යුතුය. හෙට ලොව දිනන වෘත්තිකයා හා ශ්‍රමිකයා නිර්මාණය වන්නේ ඒ වෙනස් කරන අධ්‍යාපන ක්‍රමයෙනි. අධ්‍යාපන වෙනස් විය යුතු යැයි මා සිතන ආකාරය ඔබට මෙසේ පැහැදිලි කිරීමට මට අවසර...

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස් කම් හා ප්‍රතිසංස්කරණ මා ප්‍රධාන කොට ආකාර හයකින් ඉදිරිපත් කරමි. 

1. අධ්‍යාපන ක්‍රමයෙහි අන්තර්ගතයෙහි වෙනස් කම්
2. අධ්‍යාපනයෙහි ව්‍යුහයේ වෙනස් කම්
3. අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක භෞතික වෙනස් කම්
4. අන්තර්ජාතික පාසල් සඳහා උසස් අධ්‍යාපන ක්‍රමයක් 
5. ජාතිය, ආගම, භාෂාව අනුව නොබෙදුන පාසල් ක්‍රමයක්
6. ඉංග්‍රීසි භාෂාව පාසල තුලට ගැනීම 

👉1. මා අන්තර්ගතයෙහි වෙනස් කම් පහත ලෙස විස්තර කරමි. 
රටක අධ්‍යාපනය යනු රටේ රටේ උපදින දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන මාධ්‍ය වූවත්, අප එයින් බලාපොරොත්තු වන ප්‍රධානතම ප්‍රතිඵලය නම් ඒ පුරවැසියා රටේ පවතින ආර්ථික ක්‍රියාවලිය තුලින් සිය ජීවනාලිය සරි කර ගැනීමට හැකියාවක් ඇති සුදුස්සෙකු බවට පත් කිරීම ය. එනම්, රටේ ආර්ථිකය තුල ව්‍යාපාරයක්, නිර්මාණයක් හෝ රැකියාවක් කර ඔහු හෝ ඇය සිය ජීවිතය හොඳින් පවත්වා ගෙන යාමට ආදායමක් සකස් කර ගත යුතුය. එනම්, ඔබ පවත්වා ගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන ශ්‍රමිකයා හෝ වෘත්තිකයා රටේ පවතින ආර්ථික ක්‍රමයට පලදායී කෙනෙකු විය යුතුය. එවිට ඔවුන් සෘජුවම ආර්ථිකයට ඔබ්බවා ගත හැකි පුරවැසියන් බවට පත් වන අතර එලෙස බිහි වූ දක්ෂයෝ ආර්ථිකයට අන්තර් ග්‍රහණය වීමෙන් ආර්ථික ක්‍රියාවලියට ද වාසි සහගතය. 

එබැවින්, අප අපගේ අධ්‍යාපන ක්‍රමය සකස් කර ගත යුත්තේ රටේ ආර්ථික ක්‍රියාවලිය , සංවර්ධන උපාය මාර්ගය අරමුණු කර ගෙනය. ආර්ථිකයට වෘත්තිකයන්, නිර්මාණ කරුවන්, ශ්‍රමිකයන් , තාක්ෂණික ශිල්පීන් , ව්‍යවසායකයන් ආදීන් ප්‍රමාණවත් අයුරින් සැපයෙන ක්‍රමයකට ඔබ අධ්‍යාපන ක්‍රමය සකස් කල යුතුය. ඔබ අනාගතයේදී ඉදි කිරීමට නියමිත කාර්මික නගර , කාර්මික කලාප, නැව් ගුවන් ප්‍රවහන සේවා , කැණීම් , උද්‍යාන, ස්වාභාවික වනාන්තර ඇති කිරීම ආදිය ඉලක්ක කරගෙන ඒම ආර්ථික උපාය මාර්ග පුරවැසියා ඉලක්ක කරවන අධ්‍යාපන ක්‍රමයක් ඔබ සැකසිය යුතුය. 

අපේ රටේ දැනට බහුතරයක් ලෙස බිහි වන ඉතිහාසය , ශිෂ්ඨාචාරය , සාහිත්‍යය , භූගෝලය , කෘෂි කර්මය ආදියෙන් දාර්ශනිකයන් බිහි කිරීමෙන් ආර්ථිකයට පණ පොවන ශක්තිමත් ශ්‍රම බලකායක ගොඩ නැගීමට අපට නොහැකිය. එම දාර්ශනික විෂයන් එසේ දාර්ශනිකයන් විය හැකි පිරිසකට පමණක් සීමා කොට අනෙක් පිරිස් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය , විද්‍යා හා තාක්ෂණ , ඉංජිනේරු , විවිධ ක්ෂේත්‍ර වල තාක්ෂණික ශිල්පීන් ආදිය නිර්මාණය කිරීමට යොදා ගත යුතුය. එවිට ඔවුන් විශ්වවිද්‍යාලය තුලින්ම වෘත්තීය නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියන් බවට පත් වන අතර එළියට එන විටම රැකියාවක් ලබා ගැනීම සෘජුවම කල හැකිය. ආර්ථිකයට අවශ්‍ය ශ්‍රමිකයා නිර්මාණය කර දීම තුලින් පුරවැසියා ට ජීවනාලියත් , ආර්ථිකයට දක්ෂ මානව සම්පතත් ලැබීමෙන් රට වේගයෙන් ඉදිරියට ගලා යනු ඇත. එවිට රැකියා විරහිත උපාධි දාරීන් යැයි කොටසක් මින් මතු වට බිහි නොවේ. 

උදාහරණයක් ලෙස ගත් කල, ඔබ රටේ සැලසුම් කරන ගොඩ නැගීම අනුව අවශ්‍ය වන ඉංජිනෙරුවන් ප්‍රමාණය ගණනය කරන්න. අනතුරුව එම ඉංජිනෙරුවන් ප්‍රමාණය සමහ වැඩ කිරීමට අවශ්‍ය තාක්ෂණික ශිල්පීන් ( මේසන්, වඩු, විදුලි කාර්මික, වෙල්ඩින් , ආදිය) ප්‍රමාණය ගණනය කරන්න දැන් ඒවාට අවශ්‍ය පාඨමාලා ඇති කරවන්න. මෙලෙසම රටට දොස්තරලා කීයක් අවශ්‍ය ද, එම ප්‍රමාණයට හෙදියන් කීයක් අවශ්‍ය ද ආදිය ලෙස සෑම ක්ෂේත්‍රයකටම මෙම ගණනය කිරීම කල හැකිය. එවිට ඔවුන් අධ්‍යාපන අවසන් වූ වහාම රැකියාවට යොමු වීමේ අවකාශය සැලසෙයි. 

එබැවින් ඔබ අධ්‍යාපනයේ අන්තර්ගතය රටේ ආර්ථික සැලසුම් මත සිට මෙහෙයවා ගෙන වෙනස් කරන්න. ඔබට පුලුවන් .

👉2. අධ්‍යාපනයේ ව්‍යුහයේ වෙනස් කම් මම ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්. 

අප රටේ සිසුන්ගේ දැකිය හැකි ප්‍රධානතම ලක්ෂයක් නම් පාසල් හැර යෑමයි. එක වසරෙන් පාසලට ඇතුල් වන දරුවන් උසස් පෙළ වන විට සැහෙන ප්‍රමාණයක් පාසැල් හැර ගොසිනි. සාමාන්‍ය පෙළට පෙරම සෑහෙන්න ප්‍රමාණයක් හැලී යන අතර සාමාන්‍ය පෙළින් පසුව තව කොටසක් හැලී යයි. උසස් පෙලින් විභාගයට මූණ නොදීම කොටසක් ද විභාගයෙන් අනතුරුව තව කොටසක් ද රටේ අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ නොලබාම සැඟවී යයි. විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ප්‍රමාණයෙන් ආර්ථිකයට සෘජුව දායක විය නොහැකි පිරිසක් ද පිටව යති. 

සියළුම දරුවන්ගේ බුද්ධි මට්ටම් හා හැකියාවන් සමාන නොවන බැවින් ඔවුන්ගේ විවිධත්වය තේරුම් ගෙන එකිනෙකා සතු දක්ෂතාවයන් හඳුනා ගෙන එම දක්ෂතාවයන් ඔබ නංවා ගෙන ඔවුන් සාර්ථකත්වයට තල්ලු කරනා ක්‍රමයක් අප සැකසිය යුතුය. ඒ සඳහා මා මෙලෙස ඔබට යෝජන කරමි. 

සාමාන්‍ය පෙල දක්වා රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය අනිවාර්යය කරන්න. එය රජයේ වගකීමක් විය යුතු අතර ඒ සඳහා පූර්ණ මැදිහත්වීමක් රජය දැරිය යුතුය. මේ සවහා අවශ්‍ය නීතී සම්පාදන කර ගන්න. සාමාන්‍ය පෙළින් අනතුරුව උසස් පෙළ හැදෑරීමට අකමැති , නුසුදුසු හෝ නොහැකි දරුවන් සඳහා තාක්ෂණික විද්‍යාල ඇති කරන්න. මේසන් වරුව්, වඩුවන්, විදුලි ශිල්පීන්, මිකැනික් වරුන්, ආදී බොහෝ ක්ෂේත්‍ර වලට වෘත්තීය සුදුසුකම් ඇති කරනවන නිපුණතා වර්ධනය කරවන සිද්ධාන්තමය ඉගැන්වීමක් කර සහතිකයක් ලබා ගත හැකි මට්ටමේ ක්‍රමවේදයක් ඇති කරන්න. උසස් පෙලින් අසමත් හෝ මුහුණ නොදූන් අයටද සිය අධ්‍යාපන හැකියාව මත විවිධ වෘත්තීන්ට යොමු වීමට ශිල්පීය ඥාණය හා පුහුණුව ලබා දෙන තාක්ෂණික විශ්වවිද්‍යාල ඇති කරන්න. 
එම විද්‍යාල හා විශ්වවිද්‍යාල මෙලෙස පාසල් හැර යන හෝ ඉවත් වන දරුවන් ප්‍රමාණයට ප්‍රමාණවත් විය යුතු අතර ඔවුන් සියල්ලන්ටම යම් ශිල්පීය හැකියවක් ලබා දෙන්නක් විය යුතුය. ඒ ඒ ශිල්පීය ක්ෂේත්‍ර ඔබගේ ආර්ථික උපාය මාර්ග අනුව සකසා ගත යුතුබව මා නැවතත් මතක් කරමි. 

මෙම ක්‍රියාවලිය ඇති කල පසු රටේ සියළුම දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් පුරවැසියන් බවට පත් වෙන අතර, ඔවුන් පාසැල් හැර ගිය පසු යම් වෘත්තීය සුදුසුකම් සැපිරූ ශ්‍රමිකයන් ලෙස මෙම ආයතන වලින් පිටවේ... ඔබේ ශ්‍රම බලකාය දැන් ඒ ආර්ථිකයට පණ පොවන්න සූදානම් ජනාධිපති තුමනි... 

අධ්‍යාපනයේ ඇති විය යුතු ප්‍රමාණාත්මක භෞතික වෙනස් කම් පිළිබඳව දැන් මා පැහැදිලි කරන්නම්.

👉3. ප්‍රමාණත්මක වෙනස් කම් ලෙස මා හැදින්වූයේ පාසල් පද්ධතිය තුල සිදු විය යුතු භෞතික වෙනස් කම් පිළිබඳව ය. 

රට තුල පවතින පාසල් අතර සම්පත් බෙදි යෑමේ දැඩි විෂමතාවයක් පවතින අතර අන්ත දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් පමණක් යන අන්ත දුප්පත් පාසල් මෙන්ම රටේ බොහෝ පොහොසතුන්ගේ දරුවන් යන සුපිරි පාසල් දක්වා රට තුල පාසල් අතර සම්පත් බෙදීයාම අනුව දැඩි වෙනස් කමක් පවතී. මේ තත්ත්වය අධ්‍යනය කර සුපිරි පාසල් මට්ටමට නොවුනත් රටේ සියළුම පාසල් වලට අවම පහසුකම් නිර්මාණය කිරීමේ වගකීම ඔබ සතුය. 

මෙයද ගණනය කර කළ හැකි විද්‍යාත්මක කාර්‍ය්යක් බව මා ඔබට පෙන්වා ද්නු කැමැත්තෙමි. 

අප රටෙහි මේ වසරේ ඉපදෙන දරුවන් ප්‍රමාණය ගණනය කර ගැනීමට උපත් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේන් ඔබට පහසුවෙන් හැකියාව ලැබේ. එසේනම් තව අවුරුදු පහකින් ඒ ප්‍රමාණයට රටේ ප්‍රාථමික පාසල් වල එක වසරේ සීට් ප්‍රමාණයක් තිබිය යුතුය. දැනට පවතින එම සීට් ප්‍රමාණය ගණනය කර , ඒවා මදි නම් ඔබ එම පහසුකම් සෑදීමට දැන් මම සැලසුම් සකස් කරන්න. එවිට දරුවා ලොකු වී ඉස්කෝලේ යෑමට සැරසෙන විටම ඔවුන් වෙනුවෙන් පහසුකම නිර්මාණය වී තියේවී. පාසල් වල අනෙකුත් පහසු කම් ද, උසස් පෙළට දරුවන් කීය ද, තාක්ෂණික විද්‍යාල හා විශ්වවිද්‍යාල වලට දරුවන් කීය ද ආදී වශයෙන් ගණනය කිරීමේදී මේ වසරේ උපදින දරු පරම්පරාවට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ඔබට ප්‍රක්ෂේපණය කර ගත හැකි වෙනු ඇත. ඒ අනුව එය සැකිල්ල කර ගනිමින් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ භෞතික වෙනස් කම් සංවර්ධන කිරීමට ඔබට පිළිවෙන. 

අන්ත දුප්පත් දිරා ගිය ගොඩ නැගිලි සහිත පරණ පාසල් වසා දැමීමට ඔබ පසු බට නොවන්න. නිසි පරිදි ඔබ සතු සම්පත් කළමනාකරණය කර ගන්න. ඔබ නවීන පන්නයට හිතන්න. ලෝකය සමග ගමන් කල හැකි පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය නූතන දැනුම පාසල් තුලට ගෙන එන්න. 

ඔබට තව මා විශේෂ යෝජනාවක් කරන්නම්. කොළඹින් පිට වන ප්‍රධාන පාරවල් 5 සහ පිටත වට රවුම් අධිවේගය ඇසුරු කොට ප්‍රධාන පාසල් 5 ක් අලුතින්ම ගොඩ නගන්න. නෙළුම් කුළුණ , මත්තල ගුවන් තොට, සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ආදියට වියදම් කලා මෙන් ණය මුදලක් ගෙන විශාල ප්‍රමණයේ ප්‍රධාන පාසල් 5 ක් අලුතින්ම හදන්න. දරුවන් 20,000 ක් පමණ අලුතින් බඳවා ගත හැකි මට්ටමේන් මෙම පාසල් සමන්විත විය යුතුය. ඒම පාසල් වලට කොළඹ පොඩි පොඩි ඉස්කෝල වල දරුවන් බඳවා ගන්න. රටේ ඈත කොන් වල සිට මහ පාන්දර නැගිටගෙන ඉස්කෝලේ ඇවිත් කොළඹ ට්‍රැෆික් එකේ ඉස්කොල වෑන් වල ජීවිතය ගෙවා දමන දරුවන් මෙම නව පාසල් වලට බඳවා ගන්න. කොළඹ ට්‍රැෆික් එක අඩු කිරීමට ද කොළඹ අසු මුළු වල ඇති කුඩා පාසල් වල දරුවන් ට හොඳ පාසලක් ලබා දීමටද වෑන් වල කොළඹ රස්තියාදු වන දරුවන්ගේ ජීවිතය ප්‍රකෘතිමත් කිරීමට ද එම ඉඩම් වඩා හොඳ සංවර්ධනයකට යෙදවීමට ද එයින් හැකි වේවි. 

මේ සංවර්ධන උපාය මාර්ගය මා අංක 2 ලිපියේ සඳහන් කල අනාගත සුපිරි ජනාවාස සැලසුම් වන භූමි වල සැලසුම් විය යුතුය. රටේ අනෙකුත් ප්‍රදේශ වලට ද මවන් පාසල් අවශ්‍යතාවය පරිදි ඇති කරන්න. රටේ සියළුම දරුවන්ට පාසලක් තුල සීට් එකක් වෙන් කරන ක්‍රමයකට ගණන් බලා අපි සැලසුම් සකස් කල යුතුය. එම සීට් එකේ අවම ගුණාත්මකභාවය නිර්ණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටිය යුතු අතර ඔබ ඒ සඳහා නියාමන ක්‍රමවේද ඇති කල යුතුය. ක්‍රමයෙන් වර්ධනය වන ආර්ථිකයෙන් මේ සඳහා සහය ඔබට ලැබෙනු ඇත.

👉4. වර්තමානය වන විට රට තුල අන්තර්ජාතික පාසල් විශාල ප්‍රමාණයක් පවතින අතර ඇති හැකි පවුල් වල දරුවන් විශාල ප්‍රමාණයක් එම පාසල් වල අධ්‍යාපනය ලබයි. ඔබේ අධ්‍යාපන සැලසුම් වලට එම පාසල් පද්ධතිය ද ඇතුලත් විය යුතුය. 

රජයේ පාසල් වලින් ප්‍රමාණවත් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කල නොහැකි නිසා, හොඳ පාසලකට දරුවන් ඇතුලත් කර ගත නොහැකි වූ දෙමාපියන් මෙලෙස සිය දරුවන් අන්තර්ජාතික පාසල් වෙත යවා අධ්‍යාපනය ලබා දෙයි. එහි වරදක් මා නොදකිමි. ඔවුනට තෘප්තිමත් අයුරින් රජයේ පාසලේ අධ්‍යාපනය නොලැබේ නම්, මුදල් ගෙවා එය ලබා ගැනීමේ වරදක් නොමැතිය. 

නමුත්, ඒවා අන්තර්ජාතික පාසල් යැයි කියා එම දරුවන් රජයේ වගකීමෙන් නිදහස් නොවේ. ඒ දරුවන් ද මේ රටේ අනෙකුත් දරුවන් සේම සම අයිතියක් දරණ දරුවෝ ය. එබැවින් අප ඔවුන් වෙනුවෙන් ද අපගේ ප්‍රතිපත්තිය සකා කර ගත යුතුය. 

අන්තර්ජාතික පාසල් වල විෂය නිර්දේශය අන්තර්ජාතිකව පිළිගත් සියල්ලන්ටම පොදු එකක් කරන්න. එම දරුවන්ට පාආල් අධ්‍යාපනයෙන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුලත් වීමට අවකාශ හෝ එම දරුවන්ට මෙරට් තුල සිටම උසස් අධ්‍යාපනය ලබා ගත හැකි විශ්වවිද්‍යාල පහසුකම් පිළිබඳව කලෙක පටන් හිඩැසක් පවතී. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ එම දරුවන් විශාල ලෙස මුදල් ගෙවා විදේශ රට වල අධ්‍යාපනය සොයා ඉගිල යාමත් , ඔවුන් බහුතරයක් ආපසු නොඒම නිසා බුද්ධි ගලනය ලෙස අපේ දක්ෂ දරුවන් අපට අහිමි වීමත් ය. දරුවා රටට මෙන්න දෙමාපියන් ගෙන් ඈත් වීම දඑසේ නැතිනම් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය නොලබා රට තුල අතරමං වීම ද සිදු වෙයි. එබැවින් අප මේ සඳහා විශේෂ උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතුය. ගුණාත්මක පුද්ගලික විශ්වවිද්‍යාලය ක්‍රමයක් ඇති කිරීම හෝ එම දරුවන්ට රජයේ විශ්වවිද්‍යාල වල දොරටු විවර කිරීම කල යුතුය.

👉5. පස් වන කරුණ නම් ආගම , ජාතිය අනුව වෙන්වූ පාසල් හෝ විශ්ව විද්‍යාල වල පැවැත්ම අත් හිටුවීමයි.

අප රට තුල පොදු අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතු අතර ඒ අධ්‍යාපන ක්‍රමය ජාතිය, ආගම හෝ ජන වර්ගය මත වෙනස් වීම සිදු නොවිය යුතුය. සාමාන්‍ය පෙල දක්වා දරුවන් පාසල් අධ්‍යාපනය ලැබිය යුත්තේ රටේ පොදු විෂය පථයට සමගාමීව ය. විවිධ ජාතීන්, ආගම් හා ජන වර්ග අනුව පාසල් හෝ විශ්වවිද්‍යාල ඇති වීම වැළැක්වීය යුතු අතර ඇති වී තිබෙන පාසල් ඉක්මනින් වෙනස් කොට පොදු දහරාවට අනුයුක්ත කර ගත යුතුය. සියළුම පාසල් ඇතුලත ඒ ඒ ජන වර්ග වලට අදාලව ඔවුන්ගේ මව් භාෂාව හා ආගම ඉගෙන ගැනීමට අවකාශය සළසා දිය යුතු අතර එම උගන්වන දෑ පොදු එකඟතාවක් මත නියාමනය කිරීම රජයේ වගකීමකි. 

👉6.පාසල් ඇතුලත උගන්වන භාෂාව ක්‍රමයෙන් අප ඉංග්‍රීසියට යොමු කර විය යුතුය. 

ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ද කණිෂ්ඨ අධ්‍යාපනය වැඩි වන සේ ක්‍රමයෙන් ඉංග්‍රීසියෙන් ද උසස් අධ්‍යාපන ඉංග්‍රිසියෙන් ද ලැබෙන ක්‍රමයක් අප අනුගමනය කල යුතුය. 

ලෝකයේ දැනුම ජනිත වී ඇත්තේ බොහෝමයක් ඉංග්‍රීසියෙන් බවද ඒවා පහසුවෙන් අධ්‍යනය කිරීම ද , එතනින් එහාට වැඩි දුර දියුණු කිරීමද කල හැක්කේ ඉංග්‍රීසියෙනි. 

අප කුඩා ජාතියක් බැවින් වීනයේ , ජපානයේ , කොරියාවේ මෙන් ඔවුන්ගේ භාෂාවෙන්ම රට දියුණු කිරීමට සිතීම ප්‍රායෝගික නොවේ. එබැවින් අප යම් දිනෙක, යම් යම් ප්‍රමාණවලින් ඉංග්‍රිසිය අපේ වැඩ කරන භාෂාව බවට පත් කර ගත යුතුය. 

අපේ මව් භාෂාවන් සුරැකිව රකින ගමන්, එම භාෂාවන් පාසල් තුල උගන්වන ගමන් අප සාමාන්‍ය පෙලින් අනතුරුව, උසස් අධ්‍යාපනය හා රට තුල වැඩ කරන භාෂාව ලෙස ඉංග්‍රීසි පිළි ගැනීම කල යුතුය. 

අප මෙය නිල වශයෙන් නොකලත් මේ වෙනස සෙමින් සිදු වෙයි. රට තුල අන්තර්ජාතික පාසල් වැඩි වීමත්, පුද්ගලික අධ්‍යාපන ආයතන බහුල වීමත්, පුද්ගලික අංශය සම්පූර්ණයෙන්ම වාගේ ඉංග්‍රීසියෙන් වැඩ කිරීමත් මේවාට උදාහරණ ය. ඉංග්‍රීසි නොදැනීම රැකියාවකට යාමට අප තරුණ පරම්පරාවට ඇති ප්‍රධාන බාදකයක් වී ඇත්තේ ය. එසේ නම්, අප එය පිළිගත යුතුව ඇත. අප ඉංග්‍රීසි භාෂාව ක්‍රමයෙන් රට තුල ස්ථාපිත කල යුතුව ඇත. එය එක වර සිදු වන්නක් නොවිය යුතුය. එය වසර් 5-10 ක් පමණ කාලයක් ඇතුලත ඊට අවශ්‍ය සම්පත් හා පරිසරය සකසමින් දරු පරම්පරාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් සිදු විය යුත්තකි. එය අද හෝ හෙට සිදු විය යුතුමය.

 එහි ප්‍රමාදය රටේ ප්‍රමාදයට අනුලෝමව සමානුපාතික යැයි කිව හැකිය.

එබැවින්, ඔබ සිතන්න. ඔබට තනිවම මෙය කල හැක්කක් නොවේ. මෙය සිදු කිරීමට ඔබට අත්‍යාවශ්‍යම සාධකය නම් මෙය කළ හැකි දක්ෂයෙකු මෙහි නියමුවා කර වීමය. Meritocracy හෙවත් දක්ෂයාට තැන දීම යන ප්‍රතිපත්තිය ඔබට මෙහිදී වැදගත් වේවි. නෑයන්ට ආයතන වල ප්‍රධාන තැන් දෙන ක්‍රමයක් ඔබට මෙවන් දේ කල නොහැකිය. මා මේ ඔබට දෙන වැදගත්ම පණිවිඩයයි. දක්ෂයෙකු පත් කර ගෙන මෙය භාර දෙන්න. 

ඔබට පුලුවන් 
අපිට පුලුවන් 

පැතුම් .
(පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )

https://m.facebook.com/story.php?story_fbid=10215772503682034&id=1127212983

Sunday, November 25, 2018

සරත් කාලයේදී ශාඛපත්‍ර විවිධ පැහැ ගන්නේ ඇයි?


පත්‍ර යනු ශාඛවල ආහාර නිෂ්පාදනාගාරයන්ය. ගසේ මුල් මගින් ලබා ගන්නා ජලය සහ වාතයෙන් ලබා ගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව, හිරු එළිය උපයෝගී කරගනිමින් ඔක්සිජන් සහ ග්ලූකෝස් බවට පරිවර්තනය කෙරෙන අතර, ඒ අතරින් ගසේ වර්ධනයට සහ පැවැත්මට යොදා ගන්නේ ග්ලූකෝස්ය. ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින් හඳුන්වන මෙම ක්‍රියාවලිය සිදු වීම සඳහා පත්‍රවල ඇති හරිතප්‍රද (chlorophyll) නමැති රසායනිකය උපකාරී වේ. (ශාඛ පත්‍ර කොළ පැහැ ගැන්වී තිබෙන්නේ මෙම හරිතප්‍රද නිසාය)

ග්‍රීෂ්ම කාලය නිමාවී සරත් කාලය ඇරඹීමත් සමග, හිරු පායා තිබෙන කාලය හෙවත් දිවා කාලය කෙමෙන් අඩු වී ගෙන යයි. (දකුණු කොරියාවේ ග්‍රීෂ්ම කාලයේදී රාත්‍රී අට පමණ වන තෙක් දිවා එළිය තිබුණත්, මේ දිනවල ගෙවෙන සරත් කාලයේදී හවස හතර-පහ වන විටම අඳුර වැටේ) ශීත ඍතුව සඳහා සූදානම් විය යුතු බව ශාඛ දැනගන්නේ එමගිනි. 

ශීත කාලයේදී ප්‍රභාසංස්ලේෂණය සඳහා ප්‍රමාණවත් තරම් හිරු එළිය සහ ජලය නොලැබේ. එමනිසා, ග්‍රීෂ්ම කාලයේදී ගබඩා කරගත් ආහාර මගින් තම පැවැත්ම තහවුරු කරගනිමින්, ශීත කාලයේදී ශාඛ විවේක ගනී.  එම නිසා, ශාඛ තම ආහාර නිෂ්පාදනාගාර වසා දැමීම සරත් කාලයේදී අරඹයි. ඒ සමග, පත්‍ර කොළ පැහැ ගන්වන හරිතප්‍රද පත්‍රවලින් ඉවත් වෙයි.

එලෙස හරිතප්‍රද ඉවත් වීමත් සමග, පත්‍රවල කහ සහ ඔරේන්ජ් පැහැය අපට දිස්වන්නට පටන් ගනී. (පත්‍රවල එම පැහැයන් කුඩා  ප්‍රමාණ වශයෙන් හැමවිටම පැවතුනත්, ඒවා වසා ගනිමින් පත්‍රය පුරා පැතිර පවතින කොළ පැහැති හරිතප්‍රද නිසා ග්‍රීෂ්ම කාලයේදී අපට එම පැහැයන් දැක ගත නොහැක.)

සරත් කාලයේදී ගස්වල දැක ගත හැකි දම් සහ රතු පැහැයන් බොහෝ විට ඇති වන්නේ සරත් කාලයේදීමය. ඒ මේපල් වැනි ඇතැම් ශාඛවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නතර වූ පසු, පත්‍රවල ඉතිරිවන ග්ලූකෝස් නිසාය. සරත් කාලයේ පවතින දිවා හිරු එළිය සහ රාත්‍රී සීතල නිසා පත්‍රවල රැඳී ඇති එම ග්ලූකෝස් රත් පැහැයක් ගනී.

ඕක් වැනි ඇතැම් ගස්වල පත්‍ර දුඹුරු පැහැ ගන්නා අතර, ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නතර වීමත් සමග ඉතිරි වන අපද්‍රව්‍ය නිසාය.

මේ සියල්ලේ එකතුවක් ලෙස සොබාදහම අපට සරත් කාලයේ විචිත්‍රත්වය කැන්දන් එයි. #autumn #southkorea #Korea

Thursday, April 28, 2016

පම්පෝරි එපා...ප්‍රතිචක්‍රීයකරණය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකසන්න.


විවිධ අවශ්‍යතා සඳහා වරින් වර වෙළඳපොලේ සිට අප කොපමණ දෑ නිවෙස් කරා රැගෙන එන්නෙමු ද? විවිධ ආහාරපාන වර්ගවල පටන් ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ප්ලාස්ටික් භාණ්ඩ, ලෝහමය භාණ්ඩ ආදී ලැයිස්තු ගත කළ නොහැකි තරමේ අයිතමයන් රැසක් එලෙස අප රැගෙන එන්නෙමු. 

මේ අතරින් ආහාරපාන වර්ග හැරුණු විට අනෙක්වා බොහොමයක් නොදිරන සුළු ද්‍රව්‍යයන්ය. බොහෝ විට ඇසුරුම්කරන ලද ආහාරපාන වර්ගයන්හි ද අසුරනයන් සහ බහාලුම් පහසුවෙන් දිරන සුළු ද්‍රව්‍යයන් නොවේ. 

මීට අමතරව අප වෙළඳසැලට ගොඩවෙන වාරයක් පාසා කොපමණ නම් පොලිතින් මලු ප්‍රමාණයක් නිවෙසට රැගෙන එන්නෙමු ද? නිවසට අවශ්‍ය අඩුමකුඩුම ටික වෙළඳපොලෙන් රැගෙන ඒම සඳහා අපේ නිවෙස්වල පවා බොහෝ කලකට පෙර තිබුණේ එක මල්ලකි. ඒ ඉඩකඩ සහිත පන් මල්ලකි. අද ඒවා බැද්දට ගොස්, වෙළඳපොලෙන් නිකම් ලබා දෙන පොලිතින් මල්ලට අපිදු හුරු වී සිටිමු. 

මෙලෙස දිනපතා එකතු වන පොලිතින් මලු සහ කාලෙන් කාලෙට භාවිතයෙන් ඉවත් කරනු ලබන සෙරෙප්පු, සපත්තු, විදුලි උපකරණ, ප්ලාස්ටික් උපකරණ ආදී භාණ්ඩ වර්ග කොපමණ නම් අප පරිසරයට මුදා හරින්නෙමු ද?

මේ සඳහා ගතයුතු විසඳුම කුමක් ද? පරිසරයට හානිකර යැයි එම නොදිරන සුළු ද්‍රව්‍ය තහනම් කිරීම ද? 

මහපොළොවේ පවතින යථාර්ථය ට අනුව නම් නිසි ආදේශකයන් නැතිව එවැනි දේ තහනම් කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. 

එසේ නම් වඩා ප්‍රායෝගික සහ තිරසර විසඳුම කුමක් ද?
Image result for recycling

භාවිතයෙන් පසු ඉවතලන පොලිතින් උර, සෙරෙප්පු කුට්ටම්, සපත්තු කුට්ටම්, ප්ලාස්ටික් භාණ්ඩ, විද්‍යුත් උපකරණ ආදී පහසුවෙන් නොදිරන සුළු දෑ ප්‍රතිචක්‍රීයකරණය සඳහා යළි එම ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන සමාගම් වෙත යැවෙන වැඩපිළිවෙළකට යාමය. එවිට පරිසරයත් රැකෙන්නේය. සම්පත් අනවශ්‍ය ලෙස වැය වීමත් නතර වන්නේය. මිනිස් අවශ්‍යතාත් පහසුවෙන් ඉටුවන්නේය. 

අපේ රටේ නිෂ්පාදනය නොකෙරෙන එනම් ආනයනය කෙරෙන භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් කළ යුතු වන්නේ භාවිතයෙන් පසු ඉවත් කරනු ලබන විදුලි උපකරණ, ජංගම දුරකතන වැනි දෑ සන්නම් අනුව ප්‍රකෘති තත්වයෙන්ම හෝ අමුද්‍රව්‍ය ලෙසින් ඔවුන් වෙතම යළි යවන වැඩපිළිවෙලකට යාමය.       

ජනඝනත්වය වැඩි නාගරික ප්‍රදේශවල මතු වී ඇති කසළ ප්‍රශ්නයට ඇති එක් තිරසර විසඳුමක් ලෙස ද ප්‍රතිචක්‍රීයකරණය හැඳින්විය හැක. දිරන සුළු ආහාර ද්‍රව්‍ය වැනි දෑ පොහොර සකස් කිරීමට හෝ මහපොළොවට යට කිරීමට යොදාගත් විට කසළ දැන් පවත්නා තරමේ ප්‍රශ්නයක් වන්නේ නැත.    

මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුම ක්‍රියාමාර්ගය වනුයේ පවතින ප්‍රාදේශීය සභා සහ නගර සභා හරහා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සහ කළ නොහැකි ද්‍රව්‍ය යම් දින සැලැස්මකට අනුව වෙන වෙනම එකතු කිරීමයි. 

කසළ වර්ගීකරණ කාර්යය නිවැසියන්ගේ වගකීමක් කළ යුතුය. එක් එක් කසළ කාණ්ඩය රැගෙන යනු ලබන විශේෂිත දින පිළිබඳව නිවැසියන් කල්තබා දැනුවත් කර, ඒ අනුව නියමිත දින සැලැස්මට අනුව අදාළ කසළ කාණ්ඩය පමණක් අදාළ දිනයට රැගෙන යා යුතුය. එම කසළ කෙළින්ම විවෘත පරිසරයට මුදා නොහැර, ප්‍රතිචක්‍රීයකරණය සඳහා අදාළ ආයතන වෙත යොමු කළ යුතුය. එතෙක් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි එම ද්‍රව්‍ය රැස් කර තබා ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රීක්ක මට්ටමින් ඇති කළ යුතුය.    

දැනට බෝතල්, පත්තර, පරණ යකඩ, පරණ ප්ලාස්ටික් බේසම් වැනි දෑ විවිධ පුද්ගලයන් නිවාස වෙතම පැමිණ සුළු මුදලකට හෝ පැරැණි භාණ්ඩ කිහිපයකට අලුත් භාණ්ඩයක් ලබා දීමේ පදනම මත එකතු කරගෙන යති. එය සැබවින්ම ප්‍රශංසනීයය. නමුත්, රටක් ලෙස එය ප්‍රමාණවත් නැත. පවත්නා පළාත් පාලන ආයතන ව්‍යුහය හරහා විධිමත්ව ක්‍රියාත්මක කෙරෙන තිරසාර වැඩපිළිවෙළක් ලෙස එය ක්‍රියාත්මක විය යුතුය. 

මෙය පළමුව බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශයන්ගෙන් ආරම්භ කළ හැක. 

රටේ සිව් දෙසින් ඇල දොළ ගංගා ගලා බසින, සොබා අසිරියෙන් පිරි රටක් දිනෙන් දින කසළින් පිරි අසුන්දර වටපිටාවකින් යුක්ත වනු දකින විට අපට නම් ඇතිවන්නේ කලකිරීමකි. අපේ රටේ සොබා සුන්දරත්වයේ වටිනාකම අපේ රටේ මිනිසුන්ට වඩා සතියකට දෙකකට සංචාරයට පැමිණෙන විදේශිකයන්ට වැටහේ යැයි විටෙක අපට සිතේ. විදේශිකයෙකු අඩුම තරමේ ටොපි කොළයක් නොව කෙළ පිඬක්වත් පාරේ අශෝභන ලෙස අතන මෙතන දමනු අප නම් දැක නැත. 

එම නිසා, සුන්දර රටක්-සුන්දර වටපිටාවක් නිර්මාණය කළ හැක්කේ එවැනි විධිමත් වැඩපිළිවෙලකට අප යන්නේ නම් පමණි. එය කිසිසේත්ම කිරීමට අපහසු කාර්යයක් නොවේ. අවශ්‍ය වන්නේ ඕනකම සහ කැපවීම පමණක්ය. 

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව උද්ඝෝෂණය කළ අයට පහරදීම සම්බන්ධයෙන් මා මීට පෙර ලියූ සටහනින් ද මේ පිළිබඳව කරුණු දක්වා ඇත. විශේෂයෙන්ම එම ලිපිය මගින් ජපානයේ එක්තරා ප්‍රදේශයක ක්‍රියාත්මක කෙරෙන එවැනි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් පිළිබඳව තොරතුරු දක්වා ඇත. ඔවුන්ගේ ඉලක්කය 2020 වන විට 100%ක් කසළින් තොර නගරයක් බවට පත් වීමය.

එම ලිපිය පහතින් කියවන්න.

Thursday, April 21, 2016

පුපුරා යන්නට පෙර දැන් සිටම අපේ රටට ජනගහණ පාලනයක් අවශ්‍යය.


දිනෙන් දින අපේ රටේ වනවැස්ම අඩු වෙමින් තිබේ. මහපොළොව මත ඉදිවන ලොකු-කුඩා ගොඩනැගිලි විසින් තුරුලතා පිරි හරිතවර්ණ පරිසරය කෙමෙන් ගිලගනිමින් තිබේ. රක්ෂිත සහ වනෝද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර ද විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින හායනය වෙමින් තිබේ. 

මීට දශක දෙකකට පමණ පෙර, එනම් අප කුඩා කාලයේ අපේ ගම්වල තිබෙනු දුටු වනවදුළු සහ තුරුලතා පිරි හිස් ඉඩම් අද දක්නට නොමැති තරමට, එම ඉඩම්වල මිනිසුන් නව නිවාස ඉදිකර පදිංචි වී ඇත. රටේ අනෙකුත් ප්‍රදේශ ගත්ත ද, තත්වය ඔයිට වෙනස් නැත. මෙලෙසින්, දිනෙන් දින ජනගහණ වර්ධනයත් සමග භූමියේ ඉඩකඩ සහ අනෙකුත් සම්පත් එන්න එන්නම හීන වී යනු පෙනේ.  

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ක්‍රමයෙන් ගස්වැල් අතේ ඇඟිලි ගණනටත්, ඇතැම් විට නැත්තටම නැතුවත්, නිවාස සහ වෙනත් ගොඩනැගිලි දස දහස් ගණනිනුත් භූමිය පුරා තිරස් සහ සිරස් ලෙස වසා පැතිර යන තත්වයට පත්වීමයි. 

මෙලෙස කුඩා ප්‍රදේශයක් තුළ ජනඝනත්වය වැඩි වී, හුස්මක් කටක් ගත නොහැකි තරමට ඉතා සීමිත ඉඩකට කොටු වීමට සිදු වන විට, පැල්පත් නිවාස බිහිවීම, කසළ සහ අපජලය බැහැරලීමේ ගැටලු, ඇළමාර්ග-වැව් අමුණු නෑමට නොව අඩුම තරමේ පය ඔබන්නටවත් බැරි තරමට අපවිත්‍ර වීමේ ගැටලු ආදී විවිධ සමාජ-පාරිසරික ගැටලු රැසකට අපට මුහුණ පාන්නට සිදු වේ. 

යසට ඇති ග්‍රාමීය ප්‍රදේශ කෙමෙන් නාගරීකරණය වන විට, ඔය කී ගැටලු රැසට නිසැකවම අපට යම් දිනක මුහුණ දීමට සිදු වේ. මෙය මන්දගාමී කිරීමට සහ එහි යම් පාලනයක් කිරීමට ගතයුතු එක් වැදගත් පියවරක් වනුයේ ජනගහණ වර්ධනය පාලනය කිරීමය. 

ඒ අනුව, අප රටේ පවුලකට හැදිය හැකි උපරිම දරුවන් සංඛ්‍යාව දෙදෙදෙනකු දක්වා සීමා කිරීම උචිත යැයි අපට හැඟේ. එවැනි නීතියක් ක්‍රියාත්මක කරන්නේ නම් කිසිදු වාර්ගික භේදයකින් තොරව එය ක්‍රියාත්මක කිරීමටත් රජය වගබලා ගත යුතුය. 

පවත්නා සමාජ ආර්ථික තත්වය තේරුම් ගත් නාගරික ඇතැම් පවුල් නම්, මේ වන විටත් දරුවන් එක් අයෙකුගෙන්ම සෑහීමට පත් වෙති. 

අපේ කලාපයෙන් ජනගහණ පාලනය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වසර 35ක් මුළුල්ලේ දැඩි සේ ක්‍රියාත්මක කරන රටක් ලෙස චීනය හැඳින්විය හැක. ඔවුන් එය ක්‍රියාත්මක කළේ 1980 සැප්තැම්බර් 25 දින සිටය. 

"එක පවුලකට එක දරුවෙක්" (one child policy) ප්‍රතිපත්තියේ සිටින ඔවුන් මෑතකාලීනව නම් ඇතැම් පවුල් සඳහා පමණක් දරුවන් දෙදෙනෙකු හැදීමට අවසර ලබා දුන් අවස්ථා ඇත. චීන රජය විසින් එය ක්‍රියාත්මක කරනු ලබන දැඩිබව නිසා, ඇතැමුන් ඒ පිළිබඳව විවේචන එල්ල කළ ද, සමස්තයාගේ යහපත සඳහා එවැනි ක්‍රියාමාර්ග ගැනීම වරදක් ලෙස අප නම් නොදකින්නෙමු. 

ඉන්දියාව වැනි රටවල ජනගහණය අධික ප්‍රදේශයන්හි පවතින සංකීර්ණ ගැටලුකාරී තත්වයන් දෙස බලන විට, අප රටේ තත්වයන් තවමත් පාලනය කළ හැකි මට්ටක පවතී යැයි අපට හැඟේ. 

එබැවින්, අප රටේ ජනගහණ පාලනය සඳහා කල් නොයවා අද අදම පියවර ගතහොත්, ජනඝනත්වය අධික වීමෙන් මතුවන විවිධ සමාජ-ආර්ථික සහ පාරිසරික ගැටලු යම් මට්ටමකින් හෝ පාලනය කිරීමට සහ අනාගත පරපුරට හොඳ හුස්මක් කටක් ගෙන, ජීවත් විය හැකි ඉඩකඩ සහිත තුරුලතා පිරි වටපිටාවක් ඉතිරි කිරීමට නිසැකවම අපට හැකි වනු ඇත.  

Sunday, April 10, 2016

ඔබේ නිගමනය හැමවිටම නිවැරදි නොවිය හැක...


කිසියම් කාසියක් නූලකින් එල්ලා නිශ්චලව තබා ඇතැයි සිතමු. නිදසුනක් ලෙස රුපියල් පහේ කාසියක් ගනිමු. මේ කාසිය දෙස එකිනෙකට වෙනස් දෘෂ්ටිකෝණයන්ගෙන් පුද්ගලයන් 5 දෙනෙකු බලා සිටිනවා යැයි ද සිතමු. 

පළමු තැනැත්තා කාසියේ රාජ්‍ය ලාංඡනය සහිත පැත්ත පමණක් හොඳින් පෙනෙන ලෙසත්, දෙවන තැනැත්තා කාසියේ වටිනාකම ආදී තොරතුරු සඳහන් පැත්ත පමණක් පෙනෙන ලෙසත්, තෙවන තැනැත්තා කාසියේ දාරය පමණක් පෙනෙන ලෙසත්, සිව්වන තැනැත්තා කාසියේ රාජ්‍ය ලාංඡනය සහිත පැත්තත් දාරයත් යන දෙපැත්ත පමණක් පෙනෙන ලෙසත්, පස්වන තැනැත්තා කාසියේ වටිනාකම ආදී තොරතුරු සඳහන් පැත්තත් කාසියේ දාරයත් යන දෙපැත්ත පමණක් පෙනෙන ලෙසත් සිටුවා තබා ඇතැයි සිතමු. 

එලෙස කාසියේ පස් දෙසින් සිටුවා ඇති පුද්ගලයන් කාසිය දකින්නේ එකිනෙකට සමාන දෘෂ්ටිකෝණයන්ගෙන් ද? නැත. කිසිසේත්ම නැත. ඔවුන්ගේ දෘෂ්ටිකෝණයන් එකිනෙකට වෙනස් නිසා ඔවුන් දකින දේ ද වෙනස්ය. 

මෙලෙසින්ම, යම් කාරණයක් පිළිබඳව ඇතැම් විට අප දකින දෘෂ්ටිකෝණයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයකින් වෙනත් අයෙකු දැකිය හැක. 

එමනිසා, කිසියම් දෙයක් පිළිබඳව අප දරණ මතය හැමවිටම නිවැරදි නොවිය හැක. ඇතැම් විට නිවැරදි විය හැකි වුවත්, අඩුපාඩු සහිත විය හැක. ඒ පිළිබඳ දැනුවත්බවින් යුතුව අප කටයුතු කරන්නේ නම් බොහෝ විට ගැටලුකාරී තත්වයන් මතු නොවී මානසික සතුටින් යුතුව කටයුතු කිරීමට අපට හැකිවේ.  

රටක් පාලනය කරන විට වුව ද, කිසියම් ආයතනයක් හෝ සංවිධානයක් පාලනය කරන විට වුව ද, එසේ නැතිනම් පිරිසක් එකතුව කිසියම් වැඩක් සිදු කරන විට වුව ද, සංවාදශීලිව අන් අයටත් අදහස් දැක්වීමට ඉඩ දී, ඒවායෙහි යුක්තියුක්තභාවය ද විමසා බලා වඩාත් නිවැරදි විදිහට වැඩ කටයුතු සිදු කරන විට කිසිවෙකුටත් තමන්ට ඇඟිලි දික් කිරීමට නොහැක. සිදු කිරීමට යන කාර්යය ද වඩා පිළිවෙළට සිදු වේ. 

ඒ සඳහා අවශ්‍ය කරන්නේ තමන් හැමවිටම නිවැරදි ලෙසත්, අන් අය හැමවිටම වැරදි ලෙසත් සිතන අගුළු ළාගත් මනසක් නොව විවෘත මනසකි.  

විවෘත මනස නිසැකවම ඔබට බොහෝ ජීවිත ජයග්‍රහණ ළඟා කරදෙනු ඇත.

Sunday, March 27, 2016

ඔබත් හිතේ එලාම් ඔරලෝසුවෙන් වැඩ අරගෙන තියෙනව ද?


පසුගිය දිනක යම් ප්‍රදේශයකට යාම සඳහා පාන්දර 3ට පමණ ඇහැරීමට මට අවශ්‍යව තිබුණි. ඒ සඳහා, මා ජංගම දුරකතනයෙන් එලාම් එක සකස් කළෙමි. නමුත්, පුදුමයකි. හරියටම පාන්දර 3.00ට විනාඩි පහක් පමණ තිබියදී මට ස්වාභාවිකවම ඇහැරුණි. සැබවින්ම, මෙවැනි අත්දැකීමක් විඳි පළමු අවස්ථාව මෙය නොවේ. 

විස්මිත මනසේ එලාම් ක්‍රියාකාරීත්වය මා බහුල වශයෙන්ම අත් විඳි කාලය නම් මා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පාඩම් කළ කාලයයි. එම කාලයේදී සාමාන්‍යයෙන් රාත්‍රී 11.00ට නින්දට ගිය මම පාඩම් කිරීම සඳහා පාන්දර 3.00ට නොවරදවාම ඇහැරුණි. මෙය මාස තුනක පමණ කාලයක් තිස්සේම නොකඩවා මා ක්‍රියාත්මක කළ දෙයකි. 

නමුත්, එම කාලය තුළ එලාම් එක වැදීමෙන් පසු මා ඇහැරුණේ මුල් කාලීන සතියක් පමණය. ඉන්පසු, එලාම් එක හඬලන්නට විනාඩි දෙක තුනකට පෙර නොවරදවාම මට ස්වාභාවිකව (ස්වයංක්‍රීයව) ඇහැරිය හැකි විය.

සැබවින්ම මෙය සිදු වන්නේ කෙසේ ද?

මේ පිළිබඳව පර්යේෂණ කළ ජර්මනියේ ලුබෙක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජැන් බෝන් මහතාට අනුව, අපේක්ෂිත වෙලාවට ඇහැරීම සඳහා මිනිස් මනසට අභ්‍යන්තර එලාම් ඔරලෝසුවක් ලෙස ක්‍රියාත්මක වීමේ අපූරු හැකියාවක් ඇත. එය සිදු වන්නේ adrenocorticotropin සහ cortiso නමැති දිවා කාලයේ ආතතිය පාලනය කිරීම සඳහා නිකුත් කෙරෙන හෝර්මෝන දෙකෙහි ක්‍රියාකාරීත්වයෙනි. 

ඇහැරීමට අපේක්ෂිත වෙලාවට පැයකට පමණ පෙර සිට වැඩි වශයෙන් මේ හොර්මෝන නිකුත් වෙන්නට පටන් ගනී. ඒ ඇහැරීමේ ආතතියට (Stress of waking) ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. ඒ අනුව, ඇහැරීමට අපේක්ෂිත වෙලාවට විනාඩි පහකට- දහයකට පෙර, නැතිනම් හරියටම එම වෙලාවටම ස්වාභාවිකව අප ඇහැරීමට ලක් වේ. වඩාත් වැදගත් දෙය නම්, මෙය ක්‍රියාත්මක වන්නේ නින්දට යාමට පෙර අප ඇහැරීමට අපේක්ෂා කරන වෙලාව පිළිබඳව මනා සිහියෙන් මනසට නිසි සේ සන්නිවේදනය කළහොත් පමණක් වීමයි. 

මගේ හැඟීම නම්, විද්‍යාව හා තාක්ෂණය පෙරට වඩා දියුණු මේ කාලයේ ශරීරයේ අවයව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අප කොතරම් දැනුමින් පොහොසත් වුව ද, මිනිස් මනසේ විස්මිත ක්‍රියාකාරීත්වය පිළිබඳව නම් අප තවමත් දැනුමින් දුප්පත් බවය. 

නමුත්, මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම අනාගතයේදී වඩාත් පුළුල් වන්නට පුළුල් වන්නට ඇතැම් විට අප සිහිනෙන්වත් නොසිතන මට්ටමේ මනස හා භෞතික උපකරණ ඒකාබද්ධ වූ තාක්ෂණික ඉසව්වන්ට විද්‍යාව අපව නිසැකවම රැගෙන යනු ඇත. 

Wednesday, March 16, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6

මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?

වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ සංවර්ධිත හම්බන්තොට තිස්සපුර ප්‍රදේශය මීට වසර දෙකකට එපිට වනතෙක්ම එකදු පාලු ඉඩමක් හෝ දැකිය නොහැකි තරමට සරුසාර කෘෂියායක්ව පැවතුණි. 

නමුත්, අද මේ ප්‍රදේශයෙහි ඇතැම් යායවල්වල වගා කෙරෙන ඉඩම් ප්‍රමාණයට වඩා නොකෙරෙන ප්‍රමාණය වැඩිදෝ කියා සිතෙන තරමට පාලු ඉඩම් ඇත. එසේ නොවන සරුසාර යායවල් ද මේ ප්‍රදේශයෙහි නැතුවා නොවේ. ඒ එම යායවල්වල ගොවිතැන් කරන ගොවීන්ගේ අප්‍රහතිහත ධෛර්යය සහ කැපවීමට පින්සිදු වෙන්නටය.

අලින්ගෙන් වගාබිම් ආරක්ෂා කර ගැනීමට යොදන ධෛර්යය හීන කරගත් ඇතැම් ගොවීන්, තම වගාබිම් වල් වැදෙන්නට ඉඩහැර තම නිවාස ආසන්නයේ අලි කරදරය නැති ඉඩමක් කඩමක් බද්දට ගෙන හෝ වගා කරන්නට පෙළඹ තිබේ. 

අලින්ගෙන් මහත් සේ කරදර සිදු වන මේ ප්‍රදේශයෙහි කෘෂි යායක දෙතුන් දෙනෙකු පමණක් කුඹුරු සහ වෙනත් ගොඩ වගා කරන විට මුහුණ පාන්නට සිදුවන ගැහැට ඉමහත්ය. 

කුරුල්ලන්ගෙන් වන හානිය ගැන වුව ද එසේමය. වී වැපුරූ පසු පැල වී අහුලා කන්නටත්, ගොයම කිරි වැදුණු පසු ඒවා කන්නටත් කුඹුරට පාත් වෙන කරුලු රෑනක සාමාන්‍යයෙන් කුරුල්ලන් 1000ත් 2000ත් අතර සිටිති. කිහිප දෙනෙකු පමණක් කුඹුරු කරන විට, එවැනි කුරුළු රංචු වලින් වන හානිය ඉතා වැඩිය. 

කෙසේ වුව ද, මිනිසුන්ගේ ධෛර්යය එක වගේ නැත. වරක් අලි නිසා විශාල පාඩුවක් විඳින්නට සිදු වූ විට, යළිත් එහි වගා කරන්නට ශ්‍රමය සහ ධනය යොදවන්නට ඇතැම් මිනිසුන් පසුබට වෙති. එය ඔවුන්ගේ පැත්තෙන් අසාධාරණ තීරණයක් ද නොවේ. 

අක්කර හතාර හමාරකින්  යුත් මේ කුඹුරු යාය ද අද මුහුණ පා සිටින්නේ එකී නීරස සත්‍යයටය. දිවා කාලයට කුරුල්ලන්ගෙන් ද, රාත්‍රියට අලින්ගෙන් ද බේරා ගැනීමට විශාල සටනක් කිරීමට සිදුව ඇත. 

දැනට හොඳින් පීදී ඇති මේ කුඹුරු යාය අස්වනු කපා ගෙට ගන්නා තෙක් සුළඟට ළෙළදෙමින් අසිරි මවමින් තිබෙන නමුත්, මේ යාය වටා ඇති කෘෂි ඉඩම් සියල්ලම පාහේ මෙවර පාලුවට ගොස් ඇත.  



පාලුවට ගිය අසල්වැසි ඉඩමක්

එහෙත්, මේ ලිපි පෙළට මාතෘකාගත කුඹුරු යායට කි.මී.1ක් පමණ ඉහත්තාවට වන්නට පිහිටි ප්‍රදේශයෙහි නම් පාලු ඉඩම් නැති තරමට කුඹුරු සහ කෙසෙල් වගාව සරුවට කෙරේ. එහි ඉඩම් හිමි ගොවීන් සැවොම පාහේ තම වගාවන් වටා විදුලිය දමා ගෙන, ඉතා ධෛර්යයෙන් වගාකෙරුවාව සිදු කරති. 







මේ ප්‍ර දේශයෙහි පොළොවෙහි ඇති සරුසාරත්වය මේ පොල්ගස් මෙතරම් කෙටිකලකින් පීදීමෙන් පෙනේ.




මෙලෙස කෙසෙල් සහ පොල් ගස් උස් මහත් කර පරිස්සම් කරගැනීම සඳහා සෑම ඉඩමක් වටාම කම්බි ඇද විදුලිය දැමීමට ගොවියන් කටයුතු කරති. එසේ කළ ද, ගස් උඩ සකස් කළ පැලවල් මතට වී සුපරීක්ෂාවෙන් රැය පහන් කරන්නට ද ඔවුන්ට සිදු වේ. 



මේ සියල්ලට දියවර සැපයෙන්නේ වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරුණු මෙවැනි වැව් වලිනි.



වැවේ සිට ජලය ඉඩම් වෙතම රැගෙන යාම සඳහා මෙවැනි කොන්ක්‍රීට් ඇලවල් සකස් කර ඇත.


එසේ වුව ද, අක්කර හතර හමාරකින් යුත් මාතෘකාගත මේ කුඹුරු යාය අවට පාලුවට ගොස් ඇති ආකාරය රක්ෂිතය මායිමේ ඇති වැව් බැම්මේ සිට බැලූ විට දිස්වන්නේ මෙසේය. මැද රවුම් කර ඇත්තේ එකී කුඹුරය.


නමුත්, මෙවර වගා නොකෙරුව ද, මේ කුඹුරු යාය ආසන්න ඉඩම් හිමි ඇතැම් ගොවීන් මෙහි ගොවිතැන් බත් කෙරුවාව සපුරා අත් හැර නොමැති බව දැනට ඉදිකරමින් පවතින මෙවැනි ස්ථිර ඉදිකිරීම්වලින් පෙනේ. 



ගස් උඩ පැල වෙනුවට කෝන්ක්‍රීට්වලින් ඉදි කෙරෙන මෙවැනි ඉදිකිරීම් පවා අලින්ට විනාශ කළ නොහැකි දේවල් නොවේ. මෙහි බිම් කණු වටා උල්ව සිටින සේ කම්බි කූරු ඔබ්බවා ඇත්තේ අලියාට ඇඟෙන් තල්ලු කිරීමට හෝ හොඬවැල දමා ඇදීමට නොහැකි වන ලෙසය.

කොතරම් සශ්‍රීක පසක් හිමි වුව ද, අලි කරදරය බහුල මේ ප්‍රදේශයෙහි වගා කෙරුවාවේ අනාගතය කාලය විසින්ම විසඳනු ඇත.


පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Sunday, December 13, 2015

සිය ගැබ්බර බිරිය වෙනුවෙන් තනිවම කන්දක් කපා පාරක් හැදූ අපේ කාලයේ අසහාය මිනිසා


නම - දශ්රත් මාංජී
රට - ඉන්දියාව
ප්‍රාන්තය - බිහාර්
දිස්ත්‍රීක්කය - ගයා
ගම - ගෙහ්ලෝර්


ඒ 1960 දශකය. ඒ වෙනකොට ඉන්දියාවේ ඉතා අඩුවෙන්ම සංවර්ධනය වූ ප්‍රදේශයක් තමයි ගෙහ්ලෝර්. ගෙහ්ලෝර්වල පාසල් තිබුනෙ නෑ. ඉස්පිරිතාල තිබුනෙ නෑ. ජලය-විදුලිය-ක්‍රමවත් මංමාවත් ආදී මූලික යටිතල පහසුකම් කිසිවක් තිබුණෙ නැහැ. 

ගෙහ්ලෝර් ගම්මානය අඩි 330ක් උස කන්දකින් බාහිර ලෝකයෙන් වෙන්වෙලා තිබුණා. සැබවින්ම කියනව නම් කොන්වෙලා තිබුණා. ඒ නිසා, සියවස් ගණනාවක් මුළුල්ලෙ පැවත ආ ලෙසටම හැම දෙයක්ම පැවත එමින් තිබුණා. බලවතුන් විසින් කරන ලද සූරාකෑම ඒ ලෙසම සිදු වෙමින් තිබුණා. කුලභේදය දැඩි ලෙස ක්‍රියාත්මක වූ මේ ගමේ පාලනය පැවතුනේ බලවත් කුලීනයන්ගේ අතේ. නඩු විසඳීම පවා ක්‍රියාත්මක වුනේ ඔවුන්ගෙ උවමනා එපාකම් මත. ඔවුන්ගෙ අසාධාරණකම්වලින් සහ දුෂ්ටකම්වලින් නොසෑහෙන්න පීඩා විඳින්න ගම්මුන්ට සිද්ධ වුනා. මෙහෙව් ගමේ තමයි දශ්රත් මාංජී තම ආදරණීය බිරිඳ පාගුනියා එක්ක ජීවත් වුනේ. 


දශ්රත් මාංජී ඉපදුණේ 1934 අවුරුද්දෙ මේ ගෙහ්ලෝර් ගම්මානයේමයි. ඔහු කුඩා කාලෙදි ගෙදරින් පැනලා ගිහින් වසර ගණනාවක් ධනාබාද්වල ගල් අඟුරු පතල්වල වැඩ කළා. නැවත ඔහු ගමට ආවට පස්සෙ තමයි පාගුනියා විවාහ කරගත්තෙ. එය ආදර සම්බන්ධයක්. නමුත්, ඇගේ පියා හරිහමන් ආදායම් මාර්ගයක් නැති දශ්රත්ට තම දුව දෙන්න කැමති වුනේ නෑ. නමුත්, ඇයට මෙන්ම ඔහුටත් එකිනෙකාගෙන් වෙන් වෙන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. ඒ නිසාම, ඇයව ගෙදරින් පන්නා ගෙන ඔහුගෙ ගෙදරට කැන්දන් එන්න ඔහු කටයුතු කළා. 


ඔහු එදාවේල හම්බ කරගත්තෙ එදිනෙදා කුලී වැඩවලින්. කොතරම් අඟහිඟකම් මැද්දෙ වුනත් ඔවුන් ආදරණීය ජීවිතයක් ගත කළා. පළමු දරුවා විදිහට ඔවුන්ට පුතෙක් ලැබුණා. 


කාලය ගෙවිලා යද්දි, ඇය ආයිත් ගැබ්බර වුනා. ඇය දරුගැබත් දරාගෙනම හැමදාම දවල්ට කන්න වතුර ටික දශ්රත්ට අරගෙන ගියා. දශ්රත් වැඩ කළේ ගම වසාගෙන තිබුණු කන්දෙන් ටිකක් එපිට ගොවිබිමක. එතෙන්ට යන්න ඇයට කන්ද නැග යා යුතු වුනා. ඒත්, හදිසියෙම පය පැකිළිමෙන් ඇය කන්දෙන් ළිස්සලා වැටුනා. හිස මත තබුණු වතුර කලය බිඳිලා ගියා. බත්පත සීසීකඩ විසිරුණා. ඇයට විලිරුදාව ඇතිවුණා. 


දශ්රත් මේ කිසිවක් නොදැන, ඇය කෑම එක අරන් එනකම් මග බලන් හිටියා. ඒ අතරෙ තමයි ඔහුට පණිවුඩය ලැබුණෙ පාගුනියා කන්දෙන් පහළට වැටිලා- අමාරු විත්තිය. ඇයව ඉස්පිරිතාලෙට අරන් යන එක ලේසි වුනේ නෑ. මොකද, හරිහමන් පාරක් නැතිකම නිසා ලී මැස්සක තබා ගෙන කන්ද නගිමින් කන්ද හරහා ඇයව පයින්ම රැගෙන යන්න ඔහුට සිද්ද වුනා. ඇයව කන්දෙන් එපිට නගරෙ ඉස්පිරිතාලෙට රැගෙන ගියත්, පාගුනියා ජීවිතේ දාලා ගියා. නමුත්, ලැබෙන්න හිටිය දරුවා බේර ගන්න පුලුවන් වුනා. ඇය කෙලිපොඩිත්තක්. 


ඔහුට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. ඇගේ අවසන් කටයුතු කරලා ඇවිත් එදාම ඔහු කන්ද ළඟට ඇවිත් දිවුරුවා. අනාගතය වෙනුවෙන් මේ කන්ද කපලා පාරක් හදනවා කියලා. ඔහු තමන් සතු අවසන් එළුවත් විකුණලා, කටුවකුයි මිටියකුයි සල්ලිවලට අරගත්තා. 
                  
ඒ 1960 අවුරුද්ද. එදා ඉඳන් ඔහුගෙ එකම රාජකාරිය උනේ උදේ ඉඳන් ඉර බහිනකම් කන්ද කපන එක. දෑතේ තරගැට එනකම්- ගිනි අව්වෙ ඔහු මහා ගල්පරයට පහර දෙමින් වෙහෙසකර ව්‍යායාමයෙ යෙදුණා. දරුවන් දෙන්න ගැන බොහෝ විට බැලුවෙ ඔහුගෙ පියා. තමන්ට හැකි ලෙස ඔවුන්ට නොසැළකුවා නොවේ. ගමේ බාලමහළු කොයි කවුරුත් ඔහුට පිස්සෙක්-මෝන්ගල්කාරයෙක් කියලා සමච්චල් කරා. කුඩා කොල්ලො කුරුට්ටො ඔහුට පිස්සා - පිස්සා කියමින් ගල්කැටවලින් පහර දුන්නා. ඒත් ඔහු කිසිවකින් නොසැළී, කන්ද කැපීමේ කාර්යය දිගටම කරගෙන ගියා. 

කන්ද කැපීමේ කටයුත්ත පටන් අරන් වසර ගණනකට පස්සෙ විශාල නියඟයක් ගෙහ්ලෝර් ගමට ආවා. ගමේ හැමෝම ගම අතතහැරලා යන්න ගියා. දශ්රත්ගෙ පුංචිවුන් දෙන්නත් දශ්රත්ගෙ පියා එක්ක ගම අතහැරලා යන්න ගියා. තමන් සමග එන්න කියලා ඔවුන් දශ්රත්ට කතා කළා. ඒත් කන්ද කැපීමේ කාරිය අතෑරලා දාන්න ඔහු සූදානම් වුනේ නෑ. ඔහු නැවතුනා. දැඩි නියඟයත් එක්ක ළිං හිඳිලා. කන්න දෙයක් නෑ. දැඩි පිපාසය සන්සිඳුව ගන්න ඔහු වතුර කඳුලක් තිබුනෙ නැති ළිංපතුල්වලට බැස්සා. එහි තිබුණු දියසෙවෙල් හූරලා බිව්වා. පස්සෙ ගල් පරය බිඳිද්දිම ඔහුට භූගත ජල මාර්ගයක් හමුවුණා. ඒකෙන් ඔහුගෙ දිවි රැකුණා. ගමේ අය මාස කිහිපයකට පස්සෙ එනකොටත් දශ්රත් සුපුරුදු විදිහටම කන්ද කපමින් හිටියා. හැමෝම පුදුම වුනා. 

දවසක් පත්තරේට ලිපි ලියන මනුස්සයෙක් ඔහුව හමු වෙන්න ආවා. ඔවුන් දෙදෙනා අතර අපූරු සංවාදයක් ඇති වුනා.

පුවත්පත් කලාවේදියා - මට අවංකව රස්සාව කරන්න ඕනකම තියෙනවා. ඒත් අන්තිමට වුනේ දේශපාලනඥයන්ට ගොට්ට අල්ලන්න


දශ්රත් - ඇයි ඔබ ඔබේම කියලා පත්තරයක් පටන් ගන්නැත්තෙ


පුවත්පත් කලාවේදියා - ඔබ හිතන්නෙ ඒක ලේසි වැඩක් කියල ද


දශ්රත්- ඒක කන්දක් කපන තරම් අමාරු වැඩක් කියල ද ඔබ හිතන්නෙ


මේ සිදු වීම වෙලා වසර කීපයකට පස්සෙ අර පුවත්පත් කලාවේදියා ඔහුව හමුවෙන්න ආවා. ඔහුගෙ අතේ තමන්ගෙම කියලා පත්තරයක්. ඔහු තමන්ගෙම කියලා පත්තරයක් පටන් අරගෙන, දශ්රත්ගෙ දිරිමත් වචනවලට පින්සිද්ද වෙන්න. ඒ වෙන කොටත් දශ්රත් කන්ද කැපීමේ කටයුත්තෙ නියැළෙමින් හිටියෙ. 

ඔහු මෙහෙම වසර 22ක් තිස්සෙ තනිවම කන්ද කැපුවා. ඔහුගෙ අධිෂ්ඨානය ගැන පැහැදිච්ච ගමේ ඇතැම්මු පස්සෙ කාලෙ ඔහුට කන්න බොන්න ගෙනවිත් දීලා හැකි පමණින් උදව් කරන්නත් කටයුතු කළා. ඒ ගෙවුනු කාලය තුළ දේශපානඥයන්ගෙ විවිධ අසාධාරකම්වලට-තාඩනපීඩනවලට ලක් වෙන්න ඔහුට සිද්ද වුනා. වරක් ඔහුගෙ නමට මේ වැඩේ සිදු කරන්න අනුමත වෙච්ච මුදල් වංචනිකව ප්‍රාදේශීය දේශපානඥයො යටිමඩි ගහගත්තා. ඒ ගැන ප්‍රශ්න කරන්න ගියාම ඔහුට හිරේ විලංගුවෙ වැටෙන්නත් සිද්ද වුනා. 

මේ සියලු බාධක-කෙණහිලිකම් මැද්දෙ ස්වෝත්සාහයෙන් පාර කැපීමේ කාර්යය නිම කරන්න ඔහුට 1982 අවුරුද්ද වෙන කොට පුලුවන් වුණා. ගමේ හැමෝම ඔහුව වීරයෙක් විදිහට සැළකුවා. ගම ලෝකයත් එක්ක විවෘත වුනා.



එවැනි පාරක් තිබුන නම් පගුනියා අදටත් ජීවතුන් අතර බව ඔහුට හිතුනා. අනාගතය වෙනුවෙන් ඔහු ඒ කාර්යය ඉටු කරා. ගෙහ්ලෝර ගම්මානය කරා යාන වාහන ඇදෙන්න පටන් ගත්තා. සංවර්ධනයෙ අරුණළු ගෙහ්ලෝර්වලට වැටෙන්න ගත්තා. ඒ සමග ගෙහ්ලෝර් සහ වසිර්ගන්ජ් ප්‍රදේශ අතර දුර කි.මී. 80 සිට 10 දක්වා අඩු වුණ බව කියනවා. ඔහු කපපු පාර මීටර් 110 ක දිගිනුත්, මීටර් 7.6ක ගැඹුරිනුත්, මීටර් 9.1ක පළලිනුත් යුක්ත වුනා. 

තමන්ගෙ බලය සහ ධනය යොදවලා ෂාහ් ජහාන් රජ්ජුරුවො (ක්‍රි.ව. 1592-ක්‍රි.ව. 1666) තම බිරින්දෑවරු සමූහයෙන් එක් බිරියක් වෙච්ච මුම්ටාෂ් දේවිය වෙනුවෙන් ඉදිකළ ටජ් මහළටත් වැඩිය දශ්රත් විසින් සිය පළමු සහ අවසන් බිරිඳ පාගුනියාගෙ ආදරය වෙනුවෙන් හැමෝගෙම යහපත සඳහා කපපු මේ පාර වටිනවා කියලයි මගේ අදහස. 

මොක ද දශ්රත් ඒක කළේ ස්වෝත්සාහයෙන්. බලය යොදවනවා වෙනුවට බලවතුන්ගෙ විවිධ කෙණහිලිකම්-තාඩනපීඩනවලට පෑගෙන අතරෙ. ඒ විතරක් නෙමෙයි එදා වේල සරි කරගන්නවත් හරිහමන් ක්‍රමයක් නැතිව. 

ඔහුගෙ මේ සමාජ සත්කාරය අගයමින් ඉන්දියාවේ පිදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානය සඳහා ඔහුගෙ නම යෝජනා කෙරුණත්, ඉන්දියාවේ වන සංරක්ෂණ පනතට අනුව ඔහු සිදු කර ඇති කාර්යය නීතිවිරෝධී කටයුත්තක්ය කියලා එය ලබා දුන්නෙ නැහැ. ඒ ගැන ඔහු කියලා තිබුණෙ තමන් කිසිසේත්ම නම්බුනාම-මිලමුදල් අපේක්ෂා නොකරන බවත්, තමන්ට අවශ්‍ය වුනේ පගුනියා වෙනුවෙන් ගමට පාරක්, ඉස්පිරිතාලයක් සහ ඉස්කෝලයක් ලබා ගැනීමට බවත්ය. 

දශ්රත් පිළිකාවක් නිසා 2007 අගෝස්තු 17 වැනිදා ජීවිතෙන් සමුගත්තා. එතකොට ඔහුට වයස 73යි. බිහාර් ප්‍රාන්ත රජය ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන්න කටයුතු කළා. දශ්රත් තනපු පාර ඔහුගෙ නමින් නම් කරන්න පසු කාලෙ කටයුතු කළා. 

ආදරය, අභිප්‍රේරණය සහ අධිෂ්ඨානය ගැන අලුත් ආදර්ශයන් එක්ක "කඳු මිනිසා" ("The Mountain Man" ) යන විරුද නාමයෙන් දශ්රත් සදා ජීවමාන චරිතයක් බවට පත් වුනා. 


ඔහු ගැන චිත්‍රපටයක් "Manjhi -The Mountain Man" නමින් මේ අවුරුද්දෙදි නිර්මාණය කරන්නත් කටයුතු කළා.


"ඔයාගේ මතකයන් එක්ක අවුරුදු ගාණක් ගෙවිලා ගිහින්....මං ඔයාට කොච්චර ආදරෙයි ද....ඒ ආදරය කිසිම කන්දකට නතර කළ නොහැකි තරම්...මුළු අහස් ගැබට දරා ගන්න බැරි තරම්...කාටවත් හිතාගන්න බැරි තරම්... "


(Manjhi- The Mounatin Man (2015) චිත්‍රපටයේ එන දෙබසක කොටසකි)

මූලාශ්‍රය- https://en.wikipedia.org/wiki/Dashrath_Manjhi

Wednesday, October 7, 2015

පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හමුවේ ඔඩුදුවන ජාතිවාදය..

අප රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙති. නිදහසින් පසු ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජාතිකත්වයක් (Nationality) ගොඩ නගනු විනා, එක එක ජනවර්ගයට විවිධ ප්‍රමාණයේ හැඳිවලින් බෙදීමේ සහ විවිධ ප්‍රමාණයෙන් බෙදා ගැනීමට තැත් කිරීමේ පටු ජාතිවාදී දේශපාලනයේ ප්‍රතිඵල ලෙස 1948 ලත් නිදහසින් පසු හරි අඩක්ම අප රට ජන ඝාතක සහ ආර්ථිකඝාතක දැවැන්ත යුද්ධයක පැටළුණි.


 ශ්‍රී ලාංකීය දේශපාලන න්‍යාය පත්‍රවල ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රවල ද තවමත් යුද්ධයේ ශේෂමාත්‍ර කතා බහට ලක් වන බැවින් තවමත් අප ඒ යුද්ධයෙන් මිදී නැති බව පැහැදිළිය. 


නමුත්, යුද්ධයක අමිහිරිබව විඳි රටක පුරවැසියන් වශයෙන් අප තවමත් අතීතයෙන් පාඩම් උගනින්නට සූදානම් නැති බව පෙනේ. සමාජ ජාල වෙබ් අඩවිවල වෛරසයක් සේ විවිධ නිර්නාමික පිටු සකස් කරගෙන සිංහල මුස්ලිම් කෝලාහලයක්ට අර ඇඳීමට දිවා රෑ නොබලා ඇතැමුන් අර අඳිනු පෙනීමෙන් ඒ බව පසක් වේ. මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයන් පමා වන්නට- පමා වන්නට සිදු වෙන හානිය ඉතා දැඩි බව පාලකයන් තේරුම් ගත යුතුය. 

කිසිදු ආගමික කොට්ඨාසයකට නීතිය අතට ගැනීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය. එය  ඉස්ලාම් ද බෞද්ධ ද ක්‍රිස්තියානි ද හින්දු ද වෙන කුමක් හෝ කියා භේදයක් නැත. නබි තුමා ආව ද බුදුරදුන් ආව ද ජේසු තුමා ආව ද නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක විය යුතුය. (බුදුරදුන් පවා භික්ෂූන්ට කීවේ "අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තිතුං" එනම් රාජ නීතියට අනුව (එනම් රටේ නීතියට අනුව) කටයුතු කරන්නට කියාය) 

විග්නේශ්වරන් මහ ඇමතිවරයා උතුරේ අනෙකුත් ජාතීන්ට පදිංචි විය නොහැකි යැයි තවමත් ප්‍රකාශ කරති. ඒ අනුව, උතුරේ වෙනම ජාතිවාදයකි. රටේ ව්‍යවස්ථාවට අනුව ඕනෑම පුරවැසියෙක්ට රටේ ඕනෑම තැනක පදිංචි වීමට නිදහසේ ජීවත් වීමට අයිතිය ඇත. එහෙත්, මේවාට විරුද්ධ නොවී රට බල්ලට ගියත් ඡන්දය බලා ගෙන වැඩ කරනා අපේ රටේ පාලකයන් ගල් ගිල්ල බමුණන් සේ කට පියා ගෙන සිටිති.

ඒ අතර, ප්‍රතිපත්තිවලින් බෞද්ධ නොවන එහෙත් සිංහල බෞද්ධ යැයි උජාරුවෙන් කියා ගන්නා ඇතැමෙක් (සැබැවින්ම බෞද්ධ ප්‍රතිපත්ති මත කටයුතු කරනා සිංහලයන් ගැන නොවේ. ඔවුන්ගෙන් සතා සිව්පාවෙකුටවත් කරදරයක් නැත) මෙය බුදුන්ගේ දේශය යැයි ද, මෙය අන් ජාතීන්ට තහනම් යැයි ද අන් ජාතීන් ආ තැනකට යා යුතු යැයි ද තවත් ජාතිවාදයක නිරත වෙයි. ඒ ගැන ගී සින්දු සකස් කර රින්ගින් ටෝන් ලෙස ද යොදාගනිති. මුස්ලිම් කවඩල් වර්ජනය කරන්නැයි ඔවුන් කියනා විට ඔවුන් වැනිම අන්තගාමී ඇතැම්  මුස්ලිම් අය ද සිංහල ව්‍යාපාර සහ ඔවුන් නිපදවන භාණ්ඩ වර්ජනය කරන්නැයි සමාජ ජාලවල පෝස්ට් ෂෙයා කරති. 


එවැනි ජාතිවාදී ඇතැම් මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී පාකිස්තානය ජයගත් පසු විසිල් ගසා හුරේ දමා රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වෙති. 

ඒ අනුව බලන විට ජාතිය ගොඩ නැගීම (Nation Building) කියන කාරණයෙන් අප ගව් ගාණක් එපිට බව පෙනේ. සිංගප්පූරුව ජාතිය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ඇණගත් ඇනගැනිල්ල දෙස බලා ගුරුහරුකම් ගත්තේය. නමුත් අප රට වාර්ගික වශයෙන් බෙදී වෙන් වෙලාය. එකාට එකා නැත. තවමත් එකිනෙකා ගැන වෛරයෙන් සැකයෙන් බලන තැනය. සියලු ජනවර්ගයන්ට ශ්‍රී ලංකාව අපේ රට යැයි හදවතින් සහ ආඩම්බරෙන් කිව හැකි  තැනක නැත. 

විල්පත්තු කැලේ කපනවා නම් එය ආරක්ෂා කිරීමේ නෛතික වගකීම තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මිස ආගමික කණ්ඩායම්වලට නොවේ. තලේබාන් ගණයේ විසඳුම් ආරෝපනය කරන්නට යෑම බුද්ධිමත් පිළිවෙත නොවේ. බංගලාදේශයේ බෞද්ධ භික්ෂූන් අමු අමුවේ ඝාතනය කෙරෙන්නේ එලෙස ආගමික අන්තවාදයන්ට යට වී නීතිය බල්ලට ගොස් ඇති නිසාය.   

කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් නම්, එය ආරක්ෂා කිරීමේ වගකීම අදාළ ආයතන සතුය. ආයතනවල අකාර්යක්ෂමතාව මැඩලීම සඳහා විසඳුම් දෙනු වෙනුවට ජාතිවාදයෙන් පිළතුරු සෙවීමට යාම විසඳුම් නොවේ.

මෙලෙසින් රටේ පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හේතුවෙන් දිනෙන් දින ඔඩුදුවන ජාතිවාදය, දිනක අපේ රට මහා විනාශයකට ඇද දමනු ඇත.

ශ්‍රී ලංකාවේ සාක්ෂාරතාව 98% යි... ඒත් අපි කොතන ද?

සාක්ෂරතාව අතින් අප ආසියානු කලාපයේ ඉහළම රටවල් අතර සිටී.  (අප රටේ සාක්ෂරතා මට්ටම 98%ක් යැයි කියති) 

සමාජ සංවේදීතාවක් රහිත එහෙත් විවිධ උපාධි ගසාගත් ඇතැමුන්ම දෙමළා -හම්බයා පරයින් යැයි ද එවුන්ට මෙහි ඉන්නට වරම් නැත යැයි ද කියන විට, ඊට ප්‍රතිපක්ෂ ලෙස දෙමළා ද මුසල්මානුවා ද රටේ වෙනම කෑලි කඩා ගැනීමේ මානසිකත්වයෙන් පටු ජාතිවාදයෙහි යෙදෙන විට, නීතිය බල්ලට යන විට, හොරකම-වංචාව-දූෂණය ආයතන වසාගෙන ඇති විට, ළමා අපචාර-ස්ත්‍රී දූෂණ එකක් පස එකක් අසන්නට ලැබෙන විට, ඇඟේ හැපුනත් සොරි කියා යන අතක නොයා අතින් පයින් ගේම ඉල්ලනා මිනිසුන් සමාජයේ නොසෑහෙන්න සිටින විට, තමන්ගෙ කුණු තැනක් නොතැනක් නොබලා රිසිසේ දමා රට අවලස්සන කරන මිනිසුන් නොසෑහෙන්න සිටින විට, අප රට සාක්ෂරතාව අතින් ඉහළ යැයි සැබවින්ම කිව හැකි ද යන්න මට නම් ගැටලුවකි.


මේ සමාජ ප්‍රශ්නවලට හේතුව අපගේ අධ්‍යාපනයෙහි ඇති අසංවිධිතබව නොවේ ද? විෂය නිර්දේශවල අන්තර්ගතයන්හි අඩුපාඩු නොවේ ද? 


සමස්තයක් වශයෙන් ලංකාවේ අධ්‍යාපනයේ ඵලදායීබව සහ ගුණාත්මකබව පිළිබඳ දැඩි ප්‍රශ්න තිබේ. 

2015 පළමු කාර්තුවට අදාළ සංඛ්‍යාෙල්ඛනවලට අනුව ශ්‍රී ලංකාවේ රැකියාවිරහිතබව 4.7%ක් වන අතර, ඉන් ඉහළම ප්‍රතිශතය උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන සුදුකම් ඇති අයවළුන් අතරය. (පහත වගුව බලන්න) මෙය අපේ රටේ අධ්‍යාපනයේ ඇති අර්බුදය මැනවින් පිළිබිඹු කරන්නක් නොවේ ද? 

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශ්‍රම අවශ්‍යතාවන්ට නොගැළෙපෙන උපාධි පාඨමාලා හදාරන පිරිස ඉතා ඉහළය. ඒ හැරත්, බාහිර උපාධි වශයෙන් රැකියා ඉල්ලුමක් නැති එවැනි විෂයන් හදාරන පිරිස දහස් ගණනකි. වසර තුන හතරක් කැප කර, උපාධියකුත් ලබා රැකියාවකට යනු නොහැකිව නිවසට වී, රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් එනතෙක් බලා සිටින්නට වීම යනු දැඩි අර්බුදයකි. 

විෂය ධාරා තෝරා ගැනීමේදී පාසල් මට්ටමින්ම ඉහළ ප්‍රතිශතයක් විද්‍යා, ගණිත,වාණිජ සහ තාක්ෂණික විෂය ධාරාවන්ට යොමු කරවීමත්, ඉතා සීමිත ප්‍රතිශතයක් කලා විෂය ධාරාව සඳහා යොමු කරවීමත් කළ නොහැක්කේ මන්ද? (එවැනි යෝජනාවක් පසුගිය රජය සමයේ පැමිණිය ද ඒවායෙහි වත්මන් තත්වය නොදන්නෙමු) 

එසේම, උසස් පෙළ හදාරන සැවොම සරසවි යා යුතු යැයි නියමයක් නැත. සාමාන්‍ය පෙළින් හෝ උසස් පෙළින් හැළෙන ළමයාගේ ඉදිරි අනාගතය සඳහා නිසි වෘත්තීය වැඩ පිළිවෙළක් ඇති කිරීම පාලකයන්ගේ වගකීමය. ඒ සඳහා දැනට පිහිටුවා ඇති වෘත්තීය පුහුණු ආයතන වඩා ශක්තිමත් කරමින්, ජීවිකාව සඳහා වෙළඳපොළ ඉල්ලුම ඇති කිසියම් වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැළසිය යුතුය. අප රටේ ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනයෙන් පවා නිසි ඵල ලැබෙන්නේ එවිටය. 

එවැනි අධ්‍යාපනයක් ලබා දීමට නම් ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව ඉතා පැහැදිළිය. ඉගැන්වීම් ක්‍රමශිල්ප සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සහ විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් අදට ඔබින ලෙස සමාජහිතකාමී මිනිසෙකු නිර්මාණය කරන ලෙස සකස් කිරීම ඒ අතර ප්‍රධානය.

වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා, විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් සම්බන්ධයෙන් මා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙසේය.

යෝජනා

1.
පොදු සමාජ ආචාර ධර්ම පාසල් අධ්‍යාපනයේ ප්‍රාථමික අවදියේ සිටම විෂය ඒකකයක් ලෙස ඉගැන්වීම 

(මිනිහෙක්ට මිනිහෙක් කෙරෙහි තිබිය යුතු මානව ගෞරවය, ආචාරශීලිත්වය සහ කිසිවෙකුටත් හානිකර නොවන සමාජ චර්යාවන්හි වැදගත්කම ඉන් අවධාරණය විය යුතුය)

2. සැමට එකඟ විය හැකි සහ ආචාර විද්‍යාත්මක වශයෙන් වැදගත් සියලු ආගම්වල එන මූලික ඉගැන්වීම් ඇතුළත් පොදු විෂය ඒකක පාසල් විෂය නිර්දේශය තුළට ඇතුළත් කිරීම  -සමයාන්තර අධ්‍යයනයක් වශයෙන්

ඒ අනුව ආගමෙන් හින්දු වන ශිෂ්‍යයාට බුදුදහම, ඉස්ලාම් දහම සහ ක්‍රිස්තු ධර්මය ගැන අවබෝධයක් ලැබිය හැක. මුස්ලිම් ශිෂ්‍යයාට බුදුදහම, ක්‍රිස්තු ධර්මය සහ හින්දු දහම ගැන වැටහීමක් ලැබිය හැක. බෞද්ධ ශිෂ්‍යයාට ඉස්ලාම් දහම, ක්‍රිස්තු ධර්මය සහ හින්දු ධර්මය ගැන වැටහීමක් ලැබිය හැක. එය ජාතික ඒකාග්‍රතාවට මග සළසනු ඇත. අන්තර් ආගමික අවබෝධයට ද ඉවහල් වනු ඇත.

3. මූලික නීතිය, මූලික මිනිස් අයිතිවාසිකම්, නීතිගරුකත්වයෙහි ඇති වැදගත්කම සහ සමාජය යහපැවැත්මට එය ඉවහල් වන ආකාරය පිළිබඳව අවධාරණය කරමින් නීතිය පිළිබඳ සරළ පොදු විෂය ඒකකයක් අධ්‍යාපන විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 


( දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳවත්, වැරදි කළහොත් ලැබෙන දඬුවම් පිළිබඳවත් 9 වසරේ සිට උසස් පෙළ දක්වාම එය ක්‍රමිකව ඉගැන්විය යුතුය)

4. කලා විෂයධාරාව හදාරන ප්‍රමාණය අතිශය සීමා කිරීම හා මානවශාස්ත්‍ර විෂයන් ඇසුරින් සකසන ලද පොදු විෂය ඒකක ගණිත, විද්‍යා සහ තාක්ෂණික විෂය ධාරා හදාරන අයට අනිවාර්ය කිරීම 


(ඒ අනුව, කුමන භාෂා මාධ්‍යයකින් කුමන විෂය ධාරවක් හැදෑරුව ද ඔවුන්ට විෂය ඒකකයක් ලෙස මව්බස ඉගෙන ගැනීමට සිදු වනු ඇත. පොදු ආචාර ධර්ම විෂය ඒකකයක් ලෙස හැදෑරීමට සිදු වනු ඇත. ඕනෑ නම් සමයාන්තර අධ්‍යයනය ද ඊට ඇතුළත් කළ හැක. වඩා සාධාරණ සමාජ දැක්මකට මග පාදන තෝරා ගත් සාහිත්‍ය කෘති අනිවාර්යයෙන් ඊට ඇතුළත් විය යුතුය. (විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකීය සහ විශ්ව සාහිත්‍ය කෘති)

මා දන්නා තරමින් ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල විද්‍යා තාක්ෂණික ආදී කුමන විෂය ධාරවක් හැදෑරුව ද නිදහස් කලා විෂයධාරාව (liberal arts) යටතේ හැදෑරිය යුතු පොදු විෂය ඒකක ඇත. ඒ අනුව, සාහිත්‍යය, ආචාර ධර්ම,තර්ක ශාස්ත්‍රය,දර්ශනය,සමාජ විද්‍යාව ආදී මානව ශාස්ත්‍ර විෂය ඒකක ප්‍රධාන උපාධි පාඨමාලා හා ඒකාබද්ධ කර ඇත. 

මානව අයිතිවාසිකම් සුරකින- වඩා ප්‍රජාතාන්ත්‍රික වූ සමාජයකට පිය මැනීමේදී යාන්ත්‍රික මිනිසුන් වෙනුවට සමාජ සංවේදීතාවෙන් යුතු, ප්‍රශ්න නිවැරදි ලෙස කළමනාකරණය කළ හැකි මිනිසුන් බිහි කිරීමට එය ප්‍රබල පිටුබලයක් සපයයි. (සමාජ සංවේදී මිනිසුන් බිහිකිරීමට මානව ශාස්ත්‍ර විෂයන්ට අපූරු හැකියාවක් ඇත)

මේ සම්බන්ධයෙන් කියවන්න.

කලාව කුමට ද? පරිවර්තනය ලියනගේ අමරකීර්ති. පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මානව ශාස්ත්‍රීය අධ්‍යාපනය තාක්ෂණික විෂයන් එක්ක බද්ධ කරන අධ්‍යාපන ආකෘතියකට හොඳ ආලෝකයක් මේ පොත අපට ලබා දේ.

5. පරිසර අධ්‍යයනය සහ පාරිසරික සම්පත් සුරැකීමේ වැදගත්කම අවධාරණය කෙරෙන පොදු විෂය ඒකකයක් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 


6. ලිංගික අධ්‍යාපනය පාසලේදී විෂය ඒකකයක් ලෙස නව යොවුන් වියේ දී ලබා දීම

"උදා වූ යෞවනය" නමින් එජාප රජය සමයේ පාසල්වල බෙදාහැරි පොත ද අවාසනාවට එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය වූ තාරාද මැල් මහත්මිය විසින් අපේ සංස්කෘතිය විනාශ වේ යැයි තහනම් කෙරුණි. පොත මුල සිට අගට කියවූවෙකු වශයෙන් ද මගේ අදහස නම් එහි නොවැදගත් යැයි බැහැර කළ හැකි කිසිවක් නැති බවත්, නව යොවුන් වියට පත්වන ළමයෙකුගේ කායික මානසික වෙනස්වීම්-ලිංගිකත්වය පිළිබඳවත් වැදගත් තොරතුරු එහි සඳහන් වන බවත්ය. 

එවැනි අවබෝධයක් ලබා දීම වැරැද්දක් වන්නේ කෙසේ ද? 


............................................................................................................

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සැප්තැම්බර් මාසයේ දී නිව්යෝක් නුවරදි රැස්විය. 

එහිදී 2000 වසරේ සිට 2015 වසර තෙක් ක්‍රියාත්මක කරනු ලැබූ සහශ්‍ර සංවර්ධන ඉලක්ක (MDGs)  2015 වසරින් ඇතැම් සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් සමග අවසන් වීමත් සමග, 2015 වසරේ සිට 2030 දක්වා ඊට වඩා පුළුල් ඉලක්ක සමුදායක් "තිරසර සංවර්ධන ඉලක්ක" (SDGs) නමින් ඉලක්ක 17ක් යටතේ ප්‍රකාශයට පත් කෙරුණි. 

එ් යටතේ ප්‍රධාන වශයෙන්ම සමාජ සාධාරණත්වය රජයන, සියලු පාර්ශව ඇතුළත් වන (Inclusive), පරිසර හිතකාමී, ස්ත්‍රී පුරුෂසමානාත්මතාව සපිරි, ජාතිභේද රහිත, දරිද්‍රතාව රහිත මානව සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක සමුදායක් ඉදිරිපත් කෙරුණි. 

මා විසින් ඉහතින් යෝජනා කර ඇති විෂය නිර්දේශ අන්තර්ගතයන් සම්බන්ධ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකින් එහි එන බොහෝ ඉලක්ක සාධනය කර ගැනීමට ප්‍රබල පිටුවහළක් බව මගේ අදහසයි. 


ජාතිවාදී කෝළාහල නොඇවිළවෙන තැනට- පුද්ගලාන්තර ගැටුම් නිර්මාණය නොවන තැනට- සමාජ සාධාරණත්වය සහ නීතිගරුකත්වය මත සමාජය දුවන තැනට- අධ්‍යාපනය ජීවිකාව සඳහා මෙන්ම සමාජයේ යහපැවැත්මට ද උපකාරී වන තැනට සහ ආගමික හෝ ගතානුගතික සංස්කෘතික වරපටිවලින් මිදුණු නිදහස් පොදු සංස්කෘතියක් ඔස්සේ ගමන් කරන තැනට අධ්‍යාපනය තුළින් මිනිසුන්ගේ ඔළු ගෙඩි ටික හැදිය හැකි නම් එවන රටක ජීවත් වීමේ භාග්‍යය තරම් භාග්‍යයක් මට නම් තවත් නැත.