Showing posts with label ගමේ අසිරිය/Village beauty. Show all posts
Showing posts with label ගමේ අසිරිය/Village beauty. Show all posts

Sunday, September 8, 2019

මාතර කියන්නෙ මට මතක ගොඩක්...


මාතර ..... කියනකොටම මතක් වෙන්නේ  අපේ  අම්මගේ තාත්තගේ මහගෙවල්. අපේ දෙමව්පියො හැදුනු - අපේ ආත්තම්මලා- සීයලා ජීවත් වුණු, අපි පුංචිකාලෙ අවුරුද්දකට කීපසැරයක්ම ආවගියපු මහගෙවල්. එහෙම ආවගියාම ඔවුන්ගෙ ආදරයත් එක්ක ගෙවුණු දවස් සුන්දර මතකයන් විදිහට තාමත් අපේ හිත්වල තියෙනවා. අම්මගෙයි තාත්තගෙයි මහගෙවල්වල ආවම පළතුරු කාලෙට වෙරළු අහුලන්න යන්න- ජම්බු, රඹුටන්, කජුපුහුලන් කඩන්න යන්න අපිට පුදුම ආශාවක් තිබුනෙ. 

ඉස්සර බෙලිඅත්තෙන් බැහැලා, ගැටමාන්න හරහා කිරින්ද පුහුල්වැල්ලට යන බස් එකට නැගලා, වංගු පහුකරන් පැයක විතර ගමනකින් පස්සෙ කරයල් කනත්ත පන්සල් හන්දියෙන් තමයි අපි බහින්නෙ. ඉස්සර එතන තිබුනෙ බාබර් සැලුන් එකයි සිල්ලර කඩේකුයි විතරයි. සීනි තේකොළ බිස්කට් එහෙම අරගෙන, ගෙදරින් අරන් ආපු බඩු මලුත් උස්සගෙන ඉස්සෙල්ලම යන්නෙ තාත්තගෙ මහගෙදර. පයින් විනාඩි දහයක විතර ගමනක්.  කඳුපාර දිගේ ඇවිත්, මහ ගෙදර කිට්ටුවට එනකොටම ඉස්සෙල්ලම අපිව පිළිගන්න එන්නෙ නැට්ට වනාගෙන, මුහුණෙ සතුටු-සිනහ පුරෝගත්ත බලු ගෙඩියා. උඩුබිරුම් තියලා- ඉස්සෙල්ලම ආත්තම්මටයි සීයටයි අපි එන පණිවිඩේ දෙන්නෙ ඌ. අපිව දැක්කම ආත්තම්මටයි සීයටයි පුදුම සතුටක්. අද වගේ කල් තියා දැනුම් දීලා එන්න, එනගමනුත් සැරින් සැරේ කතාකර කර එන්න ඒ කාලෙ දුරකතන තිබුනෙ නෑ.  ආදරණීයයන් කාලෙකට පස්සෙ අනපේක්ෂිතව හමුවුනාම සතුට කොහොමත් වැඩියි. 

  අපේ ආත්තම්මා ආදරයේ උල්පතක්. සත්තුන්ට පවා ආදරය කරුණාව දක්වපු කෙනෙක්.  කෑම උයලා ගෙදර අය කෑම ගන්න කලින් ගෙදර හිටපු බල්ලටයි පූසන්ටයි කෑම දෙන එක ආත්තම්මගෙ පුරුද්දක්. කුරුල්ලන්ට කෑම දාන්න වෙනම ලෑල්ලක් ගහක සවි කරලා තිබුණා.  ආත්තම්මා මියැදුණාට පස්සෙ, අපේ සීයා මානසිකව වැටුනා. හරියට කෑමක් ගත්තෙවත් නෑ. එහෙම තමයි ආදරෙන් එකට ජීවිතේ බෙදාගත්තු අය. සමහරු දරාගන්නවා- සමහරුන්ට අමාරුයි.  හරියටම ආත්තම්මගෙ තුන්මාසෙ දානෙ දවසෙම සීයත් නැතිවුනා. ආත්තම්ම අන්තිම කාලෙ වෙද්දි ටිකක් අසනීපව හිටියෙ. ඒ කාලෙම ආත්තම්මට මාව බලන්න ඕන වුනා. ආත්තම්ම මගේ අතින් අල්ලගෙන මොනවදෝ කිව්වා. ඇස්වල කඳුලු. ඒ වෙනකොට ආත්තම්මගෙ කටහඬ තේරුම් ගන්න තරම් පැහැදිළි මට්ටමක තිබුණෙ නෑ. ආත්තම්මයි සීයයි නැතිවුනාට පස්සෙ, අපි ඉස්සර තරම් මාතර මහගෙවල් පැත්තෙ යැවුනෙ නෑ. අපේ අම්මගෙ පැත්තෙන් ආත්තම්මයි සීයයි පවා අන්තිම කාලෙ හිටියෙ අපේ ගෙදර. අපේ අම්ම තමයි සැළකුවේ. අපේ අම්මගෙ මහගෙවල් තිබුණෙත් අපේ තාත්තගෙ මහගෙවල්වල ඉඳන් මහලොකු දුරක නෙමෙයි. පන්සල දෙපැත්තෙ කඳු දෙකේ තමයි මහගෙවල් දෙකම තිබුනෙ. අම්මගෙ මහගෙවල් නම් අද ගරාවැටිලා. කවුරුත් නෑ.


පවුලෙ වැඩිමලුන් වුණු අපේ තාත්තවයි අම්මවයි බලන්න- තාත්තගෙයි අම්මගෙයි නංගිලා මල්ලිලා අපේ ගෙදර එන එක තමයි දැන් වෙන්නෙ. 

 කාලය ගෙවිලා- අපිත් දැන් වැඩිහිටියො වෙලා ටිකක් මුහුකුරාගෙන එනකොට, මහපොළොවත් එක්ක හැප්පිලා- අපිව උස්මහත් කරපු, අනුන්ගෙ දේ කඩාවඩා ගන්නැතුව තමන්ගෙ මහන්සියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා කියලා අපිට ජීවිතේ කියලා දුන්නු,  අරක්කුවත් සිගරට්වත් කටේ නොතියපු- අදටත් කටේ නොතියන අපේ තාත්තා, අපිට විතරක් නෙමෙයි ගෙදර සතාසිව්පාවටත් ආදරේ සෙනෙහස දක්වන අපේ අම්මා අද ටිකින් ටික වයසට ගිහින්, අද දරුමුනුබුරන්ගෙ හුරතල් බලනවා . ජීවිතේ ස්වභාවය ඕක තමයි.  එක් පරපුරක් මියැදෙමින් ඉන්න කොට, අලුත් පරපුරක් ඉපිදෙන-වැඩෙන එක. එක් තුරු-ලතා පරපුරක් මියැදෙමින් තියෙන කොට, ඒ මතින් අලුත් තුරු ලතා පරපුරක් ඉපිදෙන - වැඩෙන එක. 

Tuesday, January 22, 2019

නැති වූ ගවයන් සොයා වන මැද (පුංච් කාලෙ කතාවක්)



 මා කුඩාකල අප නිවසේ  එළගවයන්  විස්සක් පමණ ඇතිකළ අතර හිමිදිරි පාන්දර කිරි දෙවීමේ කාර්‍යයේ සිට ඒ හා සම්බන්ධ සියලු කටයුතු සොයා බැලූවේ අපේ අම්මාය. අපිදු ඒ සඳහා උදව් නොකළා නොවේ. පාසල් ඇරී නැවත නිවසට පැමිණි පසු  හවස් කාලයේ ගවයන් ගැටගසා ඇති තැන්වලින් ලිහා, ඇළ වෙත දක්කාගෙන ගොස් වතුර දීමේ කාර්යය බොහෝවිට සිදුකළේ අපය. දොවනා කිරි සියල්ල කිරි මණ්ඩලයට රැගෙන නොයන අම්මා, ඉන් කොටසක් නිවැසියන්ගේ පානය සඳහා උණු කරන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස සැමදා උදෑසන උණු උණු එළකිරි කෝප්පයකින් සප්පායම් වීමට අපට අවස්ථාව ලැබුණි. 

අම්මා ගවයන්ට සැළකුවේ උන් හුදු තිරිසනුන්ය යන මානසිකත්වයෙන් නොවේ. ඇට ලේ මසින් හැදුණු අපේම පවුලේ කොටසක් ලෙසටය. කන්න වතුර ටික වෙලාවට දී රැකබලා ගන්නා බැවින් ගවයන් ද අම්මාට සැළකුවේ ආදරයෙනි. දුරතියා වුව අම්මාගේ සේයාව දුටු විටම ගවයන් සිය හිස උස්-පහත් කර, නිරතුරුව සිය පිළිගැනීම ඇයට ලබාදෙයි. 

ස්වාභාවික හේතූන් මත ගවයන් මිය ගිය අවස්ථාවලදී අම්මාගේ දෑසට කඳුළු උනනු අප දැක ඇත්තෙමු. එලෙස අප අතරින් සමුගත් රත්ති, කෑටි,  කලූවා වැනි ගවයන් අපේ රංචුවේ සිටි පැරණිම සාමාජිකයන් වූ අතර ඇතමෙක් මා ඉපදීමටත් පෙර සිටම සිටියවුන්‍ ය. ඔවුහු තවමත් අප මනසෙහි ජීවමානව සිටින්නාහුය. 

කුඩා වසුපැටවුන් සමග සෙල්ලම් කිරීම තරම් විනෝදජනක දෙයක් කුඩාකළ අපට නොවීය. ඒ යටගියාව නම් තවමත් මිහිරිය. සුන්දරය.

මිල මුදල් වස්තු සම්පත් හොරහතුරන්ගෙන් ආරක්‍ෂා කරගත යුතුවා සේම ගවයන් ද හොරුන්ගෙන් පරිස්සම් කරගැනීමට අපට සිදු විය. බොහෝ විට මාස පහ- හයකට වරක් අපේ ගවයෙකු- දෙන්නෙකු හොරුන්ගේ ග‍්‍රහණයට හසුව අපට අහිමි වෙයි. හොරකම සිදුවන්නේ රාත්‍රී කාලයේදී ඉතා පරිස්සම් සහගතව බැවින්  අපට එය පාලනය කිරීම ද  පහසු කාර්‍යයක් නොවීය. මා කුඩා කළ එලෙස සිදු වූ ගව හොරකමක් මට අද වාගේ මතකය.

එවර හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබුණේ අපේ වැස්සියන් දෙදෙනෙකු සහ අවට නිවසක ගොන් නාම්බෙකි. මෙම ගොන්නාම්බා විශාල මොල්ලියකින් හෙබි, කරත්තෙකට ඈඳිය හැකි තරමේ හැඩිදැඩි එකෙකි. ඒවන විට මට වයස අවුරුදු 8ක් පමණය. මොවුන්ගේ අහිමි වීම අප පවුල් දෙකටම විශාල පාඩුවක් වූ අතර කැළයෙහි ගවයන් රැගෙන ගිය පාරක් හෝ සොයා ගත නොහැකි විය. අවසන ගම්මුන්ගේ අදහසට අනුව සාස්තර කියන තැනකට ගොස් මේ පිළිබඳව විමසන්නට යෙදුනි. සාස්තර කියන්නාගෙන් පැවසුණේ ගවයන් තිදෙනා තවමත් ජීවතුන් අතර සිටින බවත් කැළෑවේ එකළඟ දිවුල් ගස් තුනක් පිහිටි තැනක ඔවුන් ගැටගසා තිබෙන බවත්ය.

මේ 'ගවේෂණ' මෙහෙයුම සඳහා අප පවුල් දෙකෙන් වැඩිහිටියන් දහදෙනකු පමණ කැළයට ඇතුළු විය. කුඩාවුන් වූ අපට ද ඔවුන් හා එකතු වීමට මහ
ත් ආශාවක් තිබූ නමුත් අපට දෙමව්පියන්ගෙන් ඊට අවසර නොවීය. නමුදු අපගේ නොතිත් ආශාව දෙමව්පිය අනවසරයට යටත් කළ නොහැකි විය. එබැවින් අප සැළකිය යුතු තරමේ පරතරයක් තබා ගනිමින් ඔවුන් පසුපස හොර රහසේම ගමන් කළෙමු. තණ කැවීම සඳහා කැලයට ගවයන් දක්කා ගෙන යාම නිසාත්, දඩයම, තුඹ කැඩීම, දර කැඩීම වැනි විවිධ හේතූන් නිසා කැළෑවට ගිය මිනිසුන්ගේ අඩිපාරවල් නිසාත් මෙකී කැළෑව මැදින් කුඩා අඩිපාරක් සකස් වී තිබුණි. හොඳින් වැඩී තිබූ ඇමටියා සහ අන්දර ගස් නිසා අපට මඳ දුරක් යන විට මව්පියන්ගේ සේයාව නොපෙනී ගියේය.

මෙම කැළෑව හරි මැදට වන්නට ආරක් පිහිටා තිබේ. එහි ජලය ගලායන්නේ වැහිදාට පමණි. අප ගිය අඩි පාර ද වැටී තිබුණේ මෙම ආරට සමාන්තර වන ලෙසය. මව්පියන්ගේ සේයාව නොපෙනී ගොස් විනාඩි විස්සකට තිහකට පමණ පසු, මිනිසුන් දෙතුන් දෙදෙනෙකුගේ සේයාව ආරෙන් එපිටෙහි පිහිටි සුවිසල් කළුවර ගස අසළින් අපට දිස් විය. මාගේ සහෝදර සහෝදරියන් ද මා සමග සිටියහ. අප විගස ආරෙන් එගොඩ වී කළුවර ගස දෙසට පියමණින්නට වීමු. අප එහි ආසන්නයට එනතෙක්ම යමකට තට්ටු කරන ශබ්දයක් ඇසුණු අතර ආර අසබඩ බැවින් එම  ශබ්දය දෝංකාර දුන්නේය. නමුත්, අප කළුවර ගසට මීටර් තිහක් පමණ ළං වන විට කිසිදු ශබ්දයක් තබා, මිනිස් පුළුටක සේයාවකදු පෙනෙන්නට නොවීය.

අපි හයියෙන් ''අම්මේ'' යැයි කිහිපවිටක්ම හඬගෑවෙමු. නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. මා ඒ වන විට සිටියේ ඇහැළ ගසක අඩි හත අටක උසින් තිබූ අත්තක් මතය. ඒ අප දෑස් මානයෙන් සැඟව ගිය මිනිස් රූ දෙක කොහිදැ යි බලනු පිණිසය. අප දුරදී දුටු මිනිස් රූ දෙක පෙනෙන තෙක් මානයකවත් නැත. නමුත් එකවරම කළුවර ගස අතරින් පෙර නොදුටු විරූ කාලවර්ණ මිනිස් රුවක් මතුවිය. මුව පුරා ඝනට වැවුණු රැවුළ බිය ගෙන දෙන සුළුය. ඔහු අත අඩි හතරක් පමණ දිගැති කඩුවකි.
 
''මං ආවොත් තොපි මරනවා... මැරුම් කන්නැතුව පලයව්''

ඒ තියුණු හී සැර බඳු මහා ගොරහැඬි හඬ, නිහඬ වනය දෙදුරුම් කැව්වේය. අපට හීන් දාඩිය දැම්මේය. ඇඟපත වෙව්ළා ගියේය. මා ගහෙන් බිමට බැස්සාද පැන්නා ද කියා මතක නැත. පණ එපා යැයි අපි ආපසු දිවීමු. නැවත ආපසු හැරී බැලුවේ ආරෙන් එපිටට ගොස්‍ ය. අපේ කකුල් අතපය සියල්ල කටු අතුවල වැදී හොඳටම සීරි තිබුණි. සීරුණු තැන් අතරින් සිහින් ලේ බිඳු මතුවී තිබුනි. නමුත් ඒ වග අපට දැනුණේ හති ඇරීමට නතර වූ විටය.

මේ බව දෙම්ව්පියන්ට සැළකිරීමට අප එක පිම්මේ නිවසට දිවගිය නමුත් ඔවුහු ඒ වන විටත් නිවසට පැමිණ නොසිටියහ. ඔවුන් එදින නිවසට පැමිණෙන විට සවස පහට ආසන්නව තිබුණි. අප සිදු වූ සියල්ල වහා ඔවුන්ට සැළකර සිටියෙමු. එසැණින් සියළු දෙනා සමග අප සිද්ධිය වූ කළුවර ගස වෙත ගියෙමු. නමුත් එහි කිසිවෙකුදු නොවීය. ඔවුන් අනතුර කල්තබා හැඳින සැණින් නික්ම යන්නට ඇත. එහි ඔවුන් ඉතිරි කර ගොස් තිබූ දෙයක් විය. ඒ අන් කිසිවක් නොව අලුත මස් කළ ගවයන්ගේ බඩවැල් ආදී කොටස්ය. 

(පින්තූරය ගත්තෙ මෙතනින්)

Saturday, April 16, 2016

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8

අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...

කිසිදු මිනිස් පුළුටක ස්ථිර පදිංචියක් නැති, රක්ෂිත කැලෑ මායිමේ පිහිටි මේ කෘෂි බිමේ ගොඩමඩ ගොවිතැන් කරන විට, අනෙක් පළාත්වල මෙන් නොව විශේෂයෙන් අලින්ගෙන් පවා පරිස්සම් කරගැනීමට සිදුවන බව මීට පෙර ලිපිවලදී සඳහන් කළෙමු. එසේ අලි වගාබිම් වෙත වැදුනහොත් සිදු වන අලාභහානි සුළුපටි නොවන බව ද එහිලා සඳහන් කළෙමු. 

උස් මිටි භේදයක් නැතිව පොල් ගස් පවා බිමට පෙරළන එක අලින්ට ඉතා පහසු කාර්යයකි. මේ ලිපිපෙළට මාතෘකාගත කුඹුරු බිමට යාබද අත්හැර දමන ලද ඉඩමේ වවා තිබූ පොල් ගස් වරින් වර පැමිණි අලින් විසින් බිමට පෙරළා දමා ඇති ආකාරයයි මේ.





මනුස්සකමට නොව මිලට හෝ බොන්නට වතුර බිඳක් ඉල්ලා ගතහැකි තැනක් නැති, ගිනි අව්ව රජයන මේ බිමේ අප පවා තිබහට වෑවර ගෙඩියක් දෙකක් කඩාගෙන බොන්නේ අලින්ගෙන් හානියක් නොවී තවමත් ඉතිරිව ඇති පොල් ගස් කිහිපයෙනි. ඒවා ද බිමට වට්ටවන දිනය දන්නේ මෙහි වදින අලින් පමණය.  




අලින්ගෙන් වගාවන්ට සිදු වන අලාභහානි සහ ඒ වෙනුවෙන් අතිරේකව වැය කළ යුතු කාලය-ශ්‍රමය සහ ධනය නිසා, මෙම ඉඩමේ පෙර ගොවිතැන් කළ ඉඩම් හිමි අය අද මෙහි ගොවිතැන් කෙරුවාව තාවකාලිකව අත්හැර දමා ඇත. ඔවුන් විසින් ඉදි කරන ලද ගස උඩ පැල පවා දිනෙන් දින දිරාපත් වෙමින් තිබෙනු පෙනේ.



පාලුවට ගොස් ඇති මෙම ඉඩම්වල යළි වගා කෙරෙනු ඇත්තේ අලි කරදරය යම් තරමකින් හෝ අඩු වූ කාලයකය. එතෙක් දිනෙන් දින වල්වදිමින් මෙම ඉඩම් මෙලෙස පවතිනු ඇත.

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Friday, March 25, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7


මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි......


මිහිමත මිනිසාගේ ආරම්භය ඇති වූයේ යම් දිනක ද, එදින පටන්ම ජලය තරම් මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම සහ හැඩගැස්ම තීරණය කළ අන් යමක් මේ මිහිමත නොමැති බව අවිවාදිතය. 

ඉන්දු නිම්න, මොසපොතේමියානු, ඊජිප්තු ආදී පැරැණි කුමන ශිෂ්ටාචාරයක් ගත්ත ද, ඒ සෑම ශිෂ්චාචාරයකම ආරම්භය සනිටුහන් වී ඇත්තේ ගංගා නිම්න ආශ්‍රිතවය. එනම් ජලය ආශ්‍රිතවය. 

ආදිකාලීන මිනිසා දඩයමින් කෘෂිකර්මාන්තයට මාරු වීමත් සමගම මිනිසා සහ ජලය අතර සම්බන්ධය තවත් වැඩි විය. 

ස්වාභාවික ඇළදොළ ගංගා කරා සේන්දු වී, ඒ සමීපස්ථ ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්තයේ සහ පශුපාලනය ආදී වෙනත් ජීවනෝපායන්හි යෙදෙනවාට අමතරව, තමන්ට රිසි ස්ථාන කරා භුමියේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් වාරි මාර්ග ඔස්සේ ජලය ප්‍රවාහනය කිරීමට සහ වැව් අමුණු ඉදිකර ජලය රැස් කර තබා ගැනීමට මිනිසා පසුකාලීනව කටයුතු කළහ. 

අපේ රට ද ඉපැරණි වාරි සංස්කෘතියකට උරුමකම් කියන රටකි. පැරැණි සහ නූතන වාර්මාර්ග යෝජනා ක්‍රමවලින් ප්‍රතිලාභ අදදු අප රටේ ජනතාව භුක්ති විඳිති. 

වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය ද ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති සහ ජනාවාසකරණය නොවූ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තෝරාගත් ප්‍රදේශ කරා උඩවළව ජලාශයේ සිට ඇළ මාර්ග ඔස්සේ ජලය ප්‍රවාහනය කරමින්, අලුතින් ඉදි කෙරුණු වැව්වල ජලය එක්රැස් කරමින් එම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සහ මිනිස් වාසයට උචිත තත්වයට පත් කිරීම සඳහා දියත් කෙරුණු ව්‍යාපෘතියකි. 







මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර තවමත් ගතවී ඇත්තේ වසර 10කට නොඅඩු කාලයකි. එමනිසා, තවමත් මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාස වී නොමැති වුව ද, ජනගහණ වර්ධනය සහ භූමියේ ඉඩකඩ ක්‍රමිකව සීමිත වීමත් සමගම තව අවුරුදු 10ක් පමණ යන විට සැළකිය යුතු මට්ටමින් ජනාවාස වෙනු ඇති බවට කිසිදු සැකයක් නැත. 

ඒ අනුව, කාලයාගේ ඇවෑමෙන් ක්‍රමිකව මංමාවත්, කඩපොළවල්, පාසැල්, ඉස්පිරිතාල ආදී යටිතල පහසුකම් සංවර්ධනය වී, මේ ප්‍රදේශ ද නාගරීකරණය වනු ඇත. 

ඒ සඳහා මූලෝපකාරී ප්‍රධාන සාධකය වන ජලය දැනටමත් මේ ප්‍රදේශයෙහි සුලභ නිසා එය කඩිනම් වනු ඇත. එය මන්දගාමී කරවන යම් දෙයක් වේ නම්, ඒ මේ ප්‍රදේශයෙහි පවතින අලි ප්‍රශ්නය පමණි. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Wednesday, March 16, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6

මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?

වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ සංවර්ධිත හම්බන්තොට තිස්සපුර ප්‍රදේශය මීට වසර දෙකකට එපිට වනතෙක්ම එකදු පාලු ඉඩමක් හෝ දැකිය නොහැකි තරමට සරුසාර කෘෂියායක්ව පැවතුණි. 

නමුත්, අද මේ ප්‍රදේශයෙහි ඇතැම් යායවල්වල වගා කෙරෙන ඉඩම් ප්‍රමාණයට වඩා නොකෙරෙන ප්‍රමාණය වැඩිදෝ කියා සිතෙන තරමට පාලු ඉඩම් ඇත. එසේ නොවන සරුසාර යායවල් ද මේ ප්‍රදේශයෙහි නැතුවා නොවේ. ඒ එම යායවල්වල ගොවිතැන් කරන ගොවීන්ගේ අප්‍රහතිහත ධෛර්යය සහ කැපවීමට පින්සිදු වෙන්නටය.

අලින්ගෙන් වගාබිම් ආරක්ෂා කර ගැනීමට යොදන ධෛර්යය හීන කරගත් ඇතැම් ගොවීන්, තම වගාබිම් වල් වැදෙන්නට ඉඩහැර තම නිවාස ආසන්නයේ අලි කරදරය නැති ඉඩමක් කඩමක් බද්දට ගෙන හෝ වගා කරන්නට පෙළඹ තිබේ. 

අලින්ගෙන් මහත් සේ කරදර සිදු වන මේ ප්‍රදේශයෙහි කෘෂි යායක දෙතුන් දෙනෙකු පමණක් කුඹුරු සහ වෙනත් ගොඩ වගා කරන විට මුහුණ පාන්නට සිදුවන ගැහැට ඉමහත්ය. 

කුරුල්ලන්ගෙන් වන හානිය ගැන වුව ද එසේමය. වී වැපුරූ පසු පැල වී අහුලා කන්නටත්, ගොයම කිරි වැදුණු පසු ඒවා කන්නටත් කුඹුරට පාත් වෙන කරුලු රෑනක සාමාන්‍යයෙන් කුරුල්ලන් 1000ත් 2000ත් අතර සිටිති. කිහිප දෙනෙකු පමණක් කුඹුරු කරන විට, එවැනි කුරුළු රංචු වලින් වන හානිය ඉතා වැඩිය. 

කෙසේ වුව ද, මිනිසුන්ගේ ධෛර්යය එක වගේ නැත. වරක් අලි නිසා විශාල පාඩුවක් විඳින්නට සිදු වූ විට, යළිත් එහි වගා කරන්නට ශ්‍රමය සහ ධනය යොදවන්නට ඇතැම් මිනිසුන් පසුබට වෙති. එය ඔවුන්ගේ පැත්තෙන් අසාධාරණ තීරණයක් ද නොවේ. 

අක්කර හතාර හමාරකින්  යුත් මේ කුඹුරු යාය ද අද මුහුණ පා සිටින්නේ එකී නීරස සත්‍යයටය. දිවා කාලයට කුරුල්ලන්ගෙන් ද, රාත්‍රියට අලින්ගෙන් ද බේරා ගැනීමට විශාල සටනක් කිරීමට සිදුව ඇත. 

දැනට හොඳින් පීදී ඇති මේ කුඹුරු යාය අස්වනු කපා ගෙට ගන්නා තෙක් සුළඟට ළෙළදෙමින් අසිරි මවමින් තිබෙන නමුත්, මේ යාය වටා ඇති කෘෂි ඉඩම් සියල්ලම පාහේ මෙවර පාලුවට ගොස් ඇත.  



පාලුවට ගිය අසල්වැසි ඉඩමක්

එහෙත්, මේ ලිපි පෙළට මාතෘකාගත කුඹුරු යායට කි.මී.1ක් පමණ ඉහත්තාවට වන්නට පිහිටි ප්‍රදේශයෙහි නම් පාලු ඉඩම් නැති තරමට කුඹුරු සහ කෙසෙල් වගාව සරුවට කෙරේ. එහි ඉඩම් හිමි ගොවීන් සැවොම පාහේ තම වගාවන් වටා විදුලිය දමා ගෙන, ඉතා ධෛර්යයෙන් වගාකෙරුවාව සිදු කරති. 







මේ ප්‍ර දේශයෙහි පොළොවෙහි ඇති සරුසාරත්වය මේ පොල්ගස් මෙතරම් කෙටිකලකින් පීදීමෙන් පෙනේ.




මෙලෙස කෙසෙල් සහ පොල් ගස් උස් මහත් කර පරිස්සම් කරගැනීම සඳහා සෑම ඉඩමක් වටාම කම්බි ඇද විදුලිය දැමීමට ගොවියන් කටයුතු කරති. එසේ කළ ද, ගස් උඩ සකස් කළ පැලවල් මතට වී සුපරීක්ෂාවෙන් රැය පහන් කරන්නට ද ඔවුන්ට සිදු වේ. 



මේ සියල්ලට දියවර සැපයෙන්නේ වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරුණු මෙවැනි වැව් වලිනි.



වැවේ සිට ජලය ඉඩම් වෙතම රැගෙන යාම සඳහා මෙවැනි කොන්ක්‍රීට් ඇලවල් සකස් කර ඇත.


එසේ වුව ද, අක්කර හතර හමාරකින් යුත් මාතෘකාගත මේ කුඹුරු යාය අවට පාලුවට ගොස් ඇති ආකාරය රක්ෂිතය මායිමේ ඇති වැව් බැම්මේ සිට බැලූ විට දිස්වන්නේ මෙසේය. මැද රවුම් කර ඇත්තේ එකී කුඹුරය.


නමුත්, මෙවර වගා නොකෙරුව ද, මේ කුඹුරු යාය ආසන්න ඉඩම් හිමි ඇතැම් ගොවීන් මෙහි ගොවිතැන් බත් කෙරුවාව සපුරා අත් හැර නොමැති බව දැනට ඉදිකරමින් පවතින මෙවැනි ස්ථිර ඉදිකිරීම්වලින් පෙනේ. 



ගස් උඩ පැල වෙනුවට කෝන්ක්‍රීට්වලින් ඉදි කෙරෙන මෙවැනි ඉදිකිරීම් පවා අලින්ට විනාශ කළ නොහැකි දේවල් නොවේ. මෙහි බිම් කණු වටා උල්ව සිටින සේ කම්බි කූරු ඔබ්බවා ඇත්තේ අලියාට ඇඟෙන් තල්ලු කිරීමට හෝ හොඬවැල දමා ඇදීමට නොහැකි වන ලෙසය.

කොතරම් සශ්‍රීක පසක් හිමි වුව ද, අලි කරදරය බහුල මේ ප්‍රදේශයෙහි වගා කෙරුවාවේ අනාගතය කාලය විසින්ම විසඳනු ඇත.


පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Saturday, March 5, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3

අලින්ට වැට...

රටේ සෙසු ප්‍රදේශයන්හි ගොවිතැන්බත් කෙරුවාව මෙන් නොව මෙම ප්‍රදේශයෙහි ගොවිතැන් කෙරුවාව ගොවියන්ට අතිරේක වැයක් දැරිය යුතු කාර්යයකි. එකී වැය හුදෙක් ශ්‍රමය වැගිරීමට පමණක් සීමා වූවක් නොව, මිල මුදල් වැය කිරීමට ද අදාළය. හරකුන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීම සඳහා කටුකම්බි ඇද, වගා බිම් වටා වැටවල් සකස් කිරීමට සිදු වන බව පසුගිය ලිපියෙන් මම සඳහන් කෙළෙමි. එපමණක් නොව හරකුන් ඉලක්ක කර සකසන එවැනි වැටවල්, වගාබිම් කරා කඩා වදින අලින්ට හුදු නූල්පොටවල් තරම් දෙයක් විනා අන් යමක් නොවන බව ද එහිලා තවදුරටත් සඳහන් කෙරුණි. 

රැය පහන් වන තුරු සවිමත් ගස්වල සැකසූ උඩුපැලවල් මතට වී, අලි වගාබිම් වෙත වදින විට කෑ කෝ ගසමින්, අධිබලැති විදුලි පහන් එළි එල්ල කරමින්, අලි වෙඩි දමමින් අලි එළවීම එතරම් පහසු කාරියක් නොවේ. ඇතැම් විට යටිගිරිය කැඩෙන තරම් කෑ ගැසුව ද, අලි වෙඩි දැම්ම ද, මිනිස් හඬට සහ ඒ අලි වෙඩිවලට බිය නැති අලින් ද සිටිති. එවැනි අලි වගාවෙන් පිටව යන්නේ තම සිතැඟි පරිදි ඇති තරම් බඩ කට පිරෙන්නට කා, විශාල හානියක් වගාවට සිදුකරමිනි. 

මේ නිසා, කුඹුරු වේවා වෙනත් ගොඩ වගාවක් වේවා කුමන වගාවක් කළ ද, තම වගාබිම් වටා විදුලිය දැමීමට මෙම ප්‍රදේශයෙහි ගොවියෝ බොහෝ විට කටයුතු කරති. රක්ෂිතය සහ වගාබිම් වෙන් කරමින්, රජයෙන් විදුලි වැටක් සකස් කර තිබුණ ද, හැමදාම පාහේ රක්ෂිතයේ සිට අලි වගාබිම් කරා ඇතුල් වන්නේ එම විදුලි වැට කඩාගෙනය. එම විදුලි වැට මතට කැලෑවෙන් සාමාන්‍ය ගසක් හෝ විශාල අත්තක් කඩාගෙන විත් දමා, ඒ හරහා මාරු වීමට තරම් අලි බුද්ධිමත්ය. 

එලෙස විදුලි වැට කඩාගෙන පැමිණෙන අලින්ගෙන් තම වගාබිම්වලට වන හානි වළක්වා ගැනීම සඳහා ගොවියන් ද, තම ශ්‍රමයෙන් සහ ධනයෙන් වගා බිම් වටා සවිමත් කණු සිටුවා කම්බි රැහැන් ඇද විදුලි වැටවල් සකස් කරති. ඒ සඳහා විදුලිය සපයා ගැනෙන්නේ සූර්යපැනල් ආධාරයෙනි. 

අද මුළු දවස පුරාම සිදු කෙරුණේ මෙලෙස විදුලි වැට සකස් කරන එකය. අක්කර 4.5කින් යුත් මේ කුඹුරු යායේ ගොයම දැන් දැන් පීදෙන්නට පටන් ගෙන ඇති නිසා, විදුලි වැට සකස් කිරීමේ කාර්යය දිනකින් වුව පස්සට දැමිය හැකි කාර්යයක් නොවේ. එවැනි දිනක පමාව බොහෝ සෙයින් පසුතැවිල්ලට හේතු විය හැකිය. දැනටමත් මේ කෙතට හතර වතාවක් පමණ අලි පැමිණ සුළු සුළු හානි සිදු කර තිබේ. ඒ ගොයම පීදෙන්නට පෙරාතුවය. 


මේ එලෙස කුරු අලියෙකු පැමිණි අවස්ථාවකි.
බොහෝ සෙයින් අලි සෙල්ලම පටන් ගන්නේ ගොයම පීදුණු පසුවය. ඒ සුළඟට මුසුව හමා යන කිරිවදින ගොයමේ පුසුඹ උන්ට දැනෙන නිසා විය යුතුය. කොහොමටත්, කිරි රහට හැපෙන පීදෙන ගොයම උන්ට අමෘතය වන් අහරක් බව අමුතුවෙන් නොකිව මනාය. 



අක්කර පහකට ආසන්න මේ කෙත් බිම වටා යකඩ ඉන්නෙන් වළවල් හාරා, ඇලව හිටින සේ කණු සිටුවීමට කටයුතු කෙරුණි. කම්බි ඇදීමේ කාර්යය පොළොවට විදුලිය කාන්දු නොවන සේ පරිස්සමින් සිදු කළ යුතු කාර්යයකි. ඒ අනුව, කණුවෙහි ප්ලාස්ටික් බොතල් හෝ ප්ලාස්ටික් බට කෑලි ගසා, ඒ හරහා කම්බිය ඇදීම සිදු කෙරුණි. 



මෙලෙස කම්බි ඇද විදුලි වැට සකස් කර, විදුලිය දැමීමෙන් පමණක් අලි ඇතුල් වීමේ අවදානම පහවන්නේ නැත. ඒ අනුව, අවට වටපිටාවේ අලින්ට කඩාගෙනවිත් විදුලි වැට මතට දැමිය හැකි තරමේ ගස් කප්පාදු කර, කප්පාදු කළ අතු ඉවත් කිරීම ද අනිවාර්යයෙන් කළ යුතුය. 

මේ කෙත්යාය වටා සවිකර ඇති විදුලි වැටට අවශ්‍ය විදුලිය සැපයෙන්නේ ගස මත සවිකර ඇති මේ සූර්ය පැනලයෙනි. 



ඉන් ජනිත වන විදුලිය ප්‍රමාණවත් ඇම්පියර් ගණනින් යුත් විදුලිකෝෂයකට ආරෝපණය කළ යුතුය. දවල් දවසේ එලෙස ආරෝපිත බැටරිය මගින් රැය පහන් වන තුරු කම්බි වැටට විදුලිය සැපයේ. ඒ සඳහා පරිපථයක් සවි කර ඇත. 

පරිපථයෙන් ආවරණය කළ හැකි භූමි ප්‍රමාණය සහ ධාරිතාව මත සාමාන්‍යයෙන් මෙවැනි වගා ආරක්ෂක පරිපථවල දැන් පවත්නා වෙළඳපොළ මිල  රුපියල් 6,000 සිට 11,000 දක්වා අතර පවතී. මේ සියල්ල මේ ප්‍රදේශයෙහි ගොවියන්ට තම අතින් දැරීමට සිදු වන වියදම්ය. ඇඟපත වෙහෙසා මහපොළොවත් එක්ක හැප්පෙමින් හෙළන දහඩිය කඳුළුවලට අමතරව වැය කළ යුතු මිලමුදල්ය.


මෙලෙස විදුලිය දැමූ විට අලි වගාවන් වෙත පැමිණීමේ යම් පාලනයක් සිදු වුණ ද, අලි උවදුර ඉන් සම්පූර්ණයෙන්ම පහ නොවේ. මෙහි මුලින් කී පරිදි, විදුලියට මට්ටු නොවී, විදුලි වැට ද කඩා ගෙන වගාබිම්වලට ඇතුල් වන අලින් ද සිටින නිසා, අස්වැන්න කපා ගෙට ගන්නා තෙක් මෙහි ගොවිතැන් බත් කරන ගොවියන්ට හිතට නිවනක් නැත්තේ ඒ නිසාය. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Wednesday, February 3, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2

අලි මදිවට හරක්...

බටහිර අහසින් හිරු බැස ගොස් දැන් පැයකටත් වැඩිය. හවස් වරුවේ ඉර පායා තිබූ පැය කිහිපය හැරුණු කොට, මුළු දවස පුරාම පැවතියේ මහ වැස්සකට සැරසුණු බීරම් අහසකි. නමුත්, ඉදහිට සුළඟට ගසාගෙන විත් මහපොළොව සිපගන්නා ඉතා තුනී හිරි පොදයක් හැරෙන්නට මහා වරුසාවක් නම් අද වැස්සේ නැත. 

අතරින් පතර ශේෂ වී ඇති කොහොඹ ගස්, පලුගස් හා ආර අද්දර එක යායට වැවී ඇති හම්බු ගස් මණ්ඩිය අපිළිවෙළට පද්දමින් දවස පුරා හමා ආ සැඩ සුළං පහර තවමත් නොකඩවා ගමනේය. උදෑසන සිටම වහින්නට පෙරමං හැදූ මහා කළුවළා කැටි  තුනී කරමින් වැස්ස වළකාලූයේ දවස පුරා හැමූ මේ සුළං පහරය.  


ඉර මුදුන් මද්දහන් යාමයේ හිරු වළා අතර සැඟව තිබුනෙන්, ඊයේ පැවතියාක් වැනි කම්මුල් පුපුරු ගහනා ගිනිපූටක අව්වක් අද තිබුණේ නැත. අත්හැර දමන ලද අසල්වැසි ඉඩමක පොල් ගසකට ඊයේ දිනයේ මද්දහන් යාමයේ නැග කඩා ගත් වෑවර ගෙඩි කිහිපය නොවෙන්නට ඊයේ දිනය බොහෝ දුෂ්කර වන්නට ඉඩ තිබුණි. ගිනි අව්වට පිච්චෙමින් නොසෑහෙන්න ගත වෙහෙසන විට දැනෙන තෙහෙට්ටුව සහ තිබහ වචනයෙන් කිව නොහැකි තරම්ය. කුසට අහරක් සේම රසවත් පානයක් ද වන වෑවර ගෙඩියක් යනු එවැනි වෙලාවට අමෘතය වන් දෙයකි. 




ආර අද්දර හම්බු යාය පිස හමාගෙන එන සිහිල් සුළං පහර ඇඟේ රෝම කූප උලුප්පන සුළුය. අද දවසට වැඩ කටයුතු හමාර කර, දිය නාගෙන දැන් පැයකට ආසන්න නමුත්, හිසකේ තවමත් තෙතබරය. සිහිල් සුළං පහර හිසකේ අතර දැවටී හමා ගෙන යන විට දැනෙන්නේ පුදුමුකාර සනීපයකි. 

ගොම්මන් වැටෙන්නට මත්තෙන් කල් වේලා ඇතිව ඇලට ගොස්, දිය නා ගෙන පැල වෙත සේන්දු වීම ගොවියන්ගේ සිරිතය. එසේ නොකර, අලි-විසකුරු සර්පයන් එළි බහින ගොම්මන් යාමයේ දිය නෑමට ඇළ වෙත යාම එතරම් නුවණට හුරු කාරියක් නොවේ.  

මෙහි සිට මීටර් 300ක් පමණ එපිටින් ඇති උස් වැවේ සිට ජලය පහසුවෙන් වගා බිම් වෙත හැරවීම සඳහා කොන්ක්‍රීට් ඇළ මාර්ග සකස් කර ඇත. පළලින් අඩි දෙකහමාරකට නොවැඩි වුව ද, රැළි නංවමින් ගලා යන වේගවත් දියපහර නිසා මෙහි දිය නා ගැනීම කෙනෙකුට අපහසු කාර්යයක් නොවේ. මේ සියල්ල වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුණු ඒවාය.   



බිම් පැලේ කණුවක එල්ලා ඇති භූමිතෙල් ලාම්පුව, භූමි තෙල් උරා බොමින් කහවන් දැල්ල සුළඟේ තාලෙට නටවමින් ඔහේ දැල්වෙයි.



තවමත් බත ලිපේය. දහවල දෙසා බෑ ටින් මාලු බැදුම හා කැරන් කොපු ව්‍යංජනය  සහිත බත් පංගු දෙක මුළුමණින්ම පාහේ ඇඟට උරාගෙන ඇති සේය. 

ඇඟපත නොවෙහෙසා සිටිනා විට මෙන් නොව, නොසෑහෙන්න ඇඟපත වෙහෙසන විට කොතරම් කුසට අහර දැම්ම ද, ඒවා මද වේලාවකින් කිසිත් නොකෑ ගාණට සිඳී යයි. එය හොඳින් රත් වූ ඇලුමීනියම් තැටියක් මතට ජල බින්දු කිහිපයක් දැමූ විට වහා සිඳී යන්නාක් මෙනි.

අද දවස පුරා කළේ කම්බි වැට සකස් කරන එකය. වැව් තාවුල්ලේ සහ අත් හැර ඇති කෘෂි ඉඩම්වල යහමින් තණකොළ වැවී ඇති නිසා මී හරකුන් සහ එළ හරකුන් සිය ගණනක් මේ යායට ඇතුල් කර ඇති පදමින් තණ කැවීමට එඬේරෝ කටයුතු කරති. මෙවැනි හරක් රංචුවක් තවමත් ළපටි ගොයම ඇති මේ කෙත් යායට වැදුනොත් වෙන්නේ මහා පාඩුවකි. උන්ගෙන් මේ කෙත පරිස්සම් කර ගැනීම කළ යුතුම කාරියකි. අලින්ට නම් මේ වැටවල්වලින් පලක් නැත. උන්ට මේවා නූල් පොටවල් වැනිය. 



රාත්‍රී ආහාරයට පිසෙන හාල්මැස්සන් බැදුමෙන් හා කරවල දමා හැදූ ළපටි වම්බටු හොද්දෙන් එන සුවඳ නාස් පුඩු අතරින් ඇතුළුව රසනහර පුබුදමින් ගත පුරා දිව යයි. උදේට රජෙකු මෙන් ද, දවල්ට රාජකුමාරයෙකු මෙන් ද, රාත්‍රියට හිඟන්නෙකු මෙන් ද ආහාර ගත යුතු යැයි කියන උපදෙස් දවස පුරා හෙණ්ඩත් වෙන ශරීරවලට කොහෙත්ම වලංගු නැත. 

හිත සේම කුස පිරෙන්නට රාත්‍රී අහර ගෙන, පලුගස උඩ සකසා ඇති උඩු පැලට ගිය විට වේලාව ගත වෙන්නේ තප්පරය පවා විනාඩියක් පමණ ගිමන් හරින ගාණටය. ඒ කාලය මිඩංගු කරන්නට කියාපු රූපවාහිනි වැනි තාක්ෂණික උපකරණ මෙහි නැති නිසා විය යුතුය.


 

ඉඳහිට උඩුබුරුලන හිවලුන්ගේ හූ හඬ හා එක ගොන්නට ඇසෙන ඇටිකිත්තන්-බිම් ඌරන් වැනි කෘමීන්ගේ හඬ හැරුණු විට, හරිම නිසොල්මන් වූ මේ රාත්‍රිය මෙසේ නින්දත් නොනිත්දත් අතර ගෙවෙනු ඇත. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Sunday, January 24, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1

පලු ගසේ පැල මත රැයක්....

හාත්පස ගනඳුර වෙළා ගෙන ඇත. කලු විසල් ඇතිලියක් හිසට ඉහළින් නැවූවාක් සේ දිස්වන මහා අහස්ගැබ, ලොකු කුඩා නෙක විසිතුරු විදුලි බුබුළුන් අලංකෘත වියනක් මෙනි. දිවා කල කිසිදු හාන්කවිසියක් නැතිව සීරුවට මුනිවත රැකි පළඟැටියන්, බිම් ඌරන් හා ඇටිකිත්තන් ඊට හිලව් වන්නට මෙන් මේ ගොම්මන් රැයේ අතොරක් නැති හඬලෑමේය. එය එකිනෙකා කල් ඇතුව කතා කරගෙන තරඟයට කරනා සංගීතමය වාදනයක් බඳුය. 

වෙනදා රෑ නවය-දහය වන තෙක්ම ඩක ඩකස් - ඩක ඩකස් හඬින් ගල් කුළුවලට වැරෙන් තඩි බානා ගල්කොරියේ ගල් කඩන යන්ත්‍රය අද වේලපහම නිහඬ කර ඇති සේය. මෙහි සිට කි.මී. 6ක් පමණ එපිටින් පිහිටි මේ ගල් කොරියේ ගල් කඩන හඬ දිවා කාලයට එතරම් නොඇසුන ද, රාත්‍රියට නම් ඉතා පැහැදිළිව ඇසේ.  

මාස පෝය දිනයක් වූ අද වැනි දිනක, අහස පුරා සියදහස් ගණනක් තරු පායා නොතිබෙන්නට මුළු අහසම එකම කලු කුහරයක් සේ දිස්වන්නට ඉඩ තිබුණි. 

නිහඬවම ඉතා ඉහළ අහසේ චන්ද්‍රිකාවක් ගමන් කරයි. පොල් අතු පැලේ වහළෙට වැසී නොපෙනී යන තෙක්ම මම ඒ දෙස බලා හුන්නෙමි. අහසේ එක මොහොතකට එය නිසල කර තැබිය හැකි නම්, කිසිදු ලෙසකින් හෝ අන් තරුවලින් එය වෙන් කර හඳුනා ගැනීමට කිසිවෙකුත් සමත් නොවන බව නිසැකය.

හම්බන්තොට තිස්සපුර ප්‍රදේශයෙහි අක්කර සිය ගණනක් පුරා විහිදි මේ කෘෂි බිමෙහි පලින් පල ඉතිරිව ඇති මහා පලුගස් හා කොහොඹ ගස් පිස වරින් වර හමා එන සුළඟින් උඩු පැල ලතාවට පැද්දෙයි. එය කිසිවෙකු විසින් මුළු පැළම තම දෝතට ගෙන, ලතාවට පද්දන්නාක් වැනිය. 

අක්කර හතර හමාරකින් යුත් මේ කුඹුරු යාය දිවා කල දකින්නෙකුට නම්, ඒසා විසාල එකකැයි කිසිවිටෙකත් නොසිතෙනු ඇත. මදක් ත්‍රිකෝණාකාර හැඩයක් ගත් මේ කුඹුරු බිම මධ්‍යයෙහි සාමාන්‍ය ප්‍රමාණයේ පලුගස් තුනකි. ඉන් එකක හොඳින් තෝරා ගත් අතු දෙබලක් මත සවිමත් ලෑලි අතුරා සකස් කළ පොල් අතු පැළකි. එම ගස පාමුලම ඉවුම් පිහුම් කිරීම සඳහා පොල් අතු සෙවිලි කර සැකසූ බිම් පැලකි. 

පලුගස උඩ සකසා ඇති උඩුපැල කෙනෙකුගේ සිත බැඳ ගන්නාසුළු හරි අපූරු නිමැවුමකි. කිසිදු අපහසුවකින් තොරව පස් දෙනෙකුට වැතිරිය හැකි ඉඩකින් යුත් මෙහි මදුරු දැල් දෙකක් සහ කොට්ට දෙකක් ද, මදක් දිරා ගිය පැදුරු කඩමාලු දෙකක් ද නිරතුරුව තබා ඇත. උඩුපැලට නැගීම සඳහා ගසටම ආඳා සැකසූ සවිමත් ලී ඉණිමගකි. 



මෙම බිමේ සිට හම්බන්තොට වරායට ඇත්තේ කි.මී 7කට නොවැඩි දුරකි. වරායේ ඇති දැවැන්ත විදුලි පහන්වල ආලෝකය අහස් කුසට වැදීමෙන් ඒ අහස් කුට්ටිය පමණක් වඩා ආලෝකමත්ව දිස්වෙයි. 

අලි ගහණ කැලයට මායිම්ව පිහිටි මේ ගොවිබිම් කරා දිනපතාම පාහේ රාත්‍රී කාලයට අලි කඩා වදිති. දෑතේ විරියෙන් දහදිය හෙළා කරන වගාවන් රැක ගන්නට රෑ පුරා මෙසේ පැල් රකින්නට ගොවියන්ට සිදු වේ. 

එපිට යායක් දෙසින් නොකඩවා කෙරෙන බල්ලන්ගේ බිරුම් හඬක් ඇසේ. නිසැකවම අලි එහි ඇති වගාවන්ට වැදීලා විය යුතුය. එය සැබෑය. බිමට වැටෙන පුළුන් රොදක හඬ පවා ඇසෙන සුළු මේ නිසොල්මන් රැය දෙවනත් කරමින් අලි වෙඩි හඩක් දෝංකාර දුන්නේය.

ඒ සමග, කි.මී දෙක තුනකට එපිට යායක පැල් රකින්නකු විසින් වරින් වර තම වගා බිම වෙත එල්ල කරනු ලබන අධිබලැති විදුලි ආලෝකය මේ පැල වෙත ද වරින් වර වදියි.  

මේ මැදියම් රැයේ මහා පාලුව අතරින් මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරින් සකස් කළ ගම්පෙරළිය චිත්‍රපටයේ එන කොටසක් මට සිහිවෙයි. 

එය ජිනදාස විසින් බිබිලේ තමන් ගත කරන දුෂ්කර ජීවිතය ගැන නන්දාට එවූ ලිපියේ සඳහනකි.    

අපේ වාඩිය තියෙන්නෙ පාලුවට ගිය වැවක් අද්දර..හතර වටේම මහා මූකලන් කැලේ..
මෙහෙ හරිම පාලුයි..
දවල්ට හරියට පායනවා...පොළොවෙ අඩිය ගහන්න බෑ..
හැන්දෑවේ හය වුනාට පස්සෙ මිනිස් පුලුටක් දකින්න නෑ... දන්න හඳුනන කෙනෙක් මේ හතර මායිමකවත් නෑ..

මැදියම් රැයට තවත් ඇත්තේ අඩහෝරාවක් පමණය. මේ කෘෂිබිම් යාය අද කිසිදු මිනිස් පුලුටක් නැති පාලුවට ගිය බිමක් වුව ද, මීට වසරකට දෙකකට උඩදී බලන්නට ආස හිතෙන තරමේ එකම සරුසාර කෘෂි යායක්ව පැවතුණි. සෝවියට් රුසියානු කෙටිකතාවන්හි  අපූරුවට වණන සරුසාර සමූහ ගොවිපලක අසිරිය එකල මේ කෘෂිබිම් දුටු විට කෙනෙකුට සිහි වේ.  

මෙහි ගොවිතැන් කිරීමට එකල මිනිසුන්ට තිබූ උනන්දුව කෙමෙන් වියැකී ගියේ අන් කිසිවක් නිසා නොව දිනපතාම පාහේ විදුලි වැට පෙරළා ගෙන සරුසාර කෙසෙල් වතුවල-කුඹුරුවල සහ වෙනත් ගොඩ වගාවල රස විඳින්නට පැමිණෙන අලින් නිසාය. මේ පෙරේදා දිනයෙහි මේ කෙතට ද අලියෙකු වැදුණි.
ගොවිතැනයි ජීවිතයයි යනු දෙකක් නොව එකක් ලෙසට ඇට ලේ මස්වලට කැවුණු නිසාවෙන්දෝ මෙවර මේ යායටම කෙරෙන්නේ මේ කුඹුරු යාය පමණක්ය. 


බීජ, තෙල්, පෝර වැනි දේට වැය කරන්නා වූ මහා මුදල් කන්දරාව පරයන සුළු, තමන් විසින් ගිනි මද්දහනේ මහ පොළොවට මුසුකරන දහඩිය කඳුළුවලට නිසි ප්‍රතිඵල යථාකාලයේදී ලැබෙනු ඇත යන විසල් බලාපොරොත්තු හිත දරන් - ඒ මතින් ඉපිළෙන අවිනිශ්චිත බවේ සුසුම් පොද හිස් වාතලයට මුසු කරමින් ගොවියන් අලි වදින මේ බිමේ කෘෂිකර්මාන්තයේ නියැළෙති. 


පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)



කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)