Showing posts with label පාරිසරික/environment. Show all posts
Showing posts with label පාරිසරික/environment. Show all posts

Tuesday, October 8, 2019

අනාගත ජනාධිපති ට ලියන ලිපි පෙල අංක 2. නිවාස, ඉඩම්, කෘෂි කර්මය සහ වනාන්තර

අනාගත ජනාධිපති ට ලියන ලිපි පෙල
අංක 2. 

නිවාස, ඉඩම්, කෘෂි කර්මය සහ වනාන්තර 
==================================

ගරු ජනාධිපති තුමනි, 

පසු ගිය දා ලියූ කුණු ප්‍රශ්නය සම්බන්ධ ලිපිය ලැබෙන්නට ඇතැයි සිතමි. මාගේ මීළඟ ලිපිය රටේ ඉඩම් ප්‍රතිපත්තියය, එහි කළමනාකරණය , දීර්ඝකාලීන සැළසුම් , නිවාස හා ස්වභාවධර්මය පිළිබඳවයි. 
මේ තව වසර 30 කින් ඔබ නිමවන රටේ මුල් සැලැස්මයි. 

ඔබ ජනාධිපතිවරයා වූ පසු ඔබේ කාර්‍යාලයට ඉඩම් අමාත්‍යාංශය අනුබද්ධ කර ගන්න. ඉඩම් සැළසුම් දේපාර්තමේන්තුවට බොහෝ උගත් දක්ෂ නිර්මාණශීලී ආයතන ප්‍රධානියෙකු හොයා ගන්න. ඔබගේ සෘජු අධීක්ෂණය යටතේ පහත ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාත්මක වන්න. 

රටේ සමස්ථ භූමි ප්‍රමාණය වන වර්ග කිලෝමීටර් 65610 ක පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරන්න. ලෝකයේ තිබෙන නූතන තාක්ෂණය , දැනුම මෙන්ම වීශේෂඥයන් යොදවා මෙය සිදුකරන්න. මේ සඳහා ලොකු කාලයක්, මුදලක් වැය වන බව නොඅනුමානය. ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට නොපසුබට වන්න. 

අප රට තුල වර්තමාන ජන ඝණත්වය වර්ග කීලෝමීටර එකකට මිනිස්සු 320 කි. මෙය ලෝකයේ ජන ඝණත්වය අතින් ඉහළ අගයක් ගන්නා බැවින් , අපගේ මුළු ජනගහනය ද එහි අනාගත වර්ධනයද ප්‍රක්ෂේපණය කර බැලීමේදී අප සතු සීමිතම සාධකය නම් වර්ධනය වන ජනගහනයට සාපේක්ෂව  ඉඩම් බව ඔබට පෙනී යනු ඇත. එබැවින් මේ රට තුල අප මූලිකවම කළමනාකරණය කර ගත යුතු සම්පත භූමියයි, අවකාශය යි. එබැවින් එය ඔබේ කර මත තිබිය යුතු ජාතික වැඩපිළිවෙළක් විය යුතුය. ඔබ සැළසුම් කරන , ඔබගේ දැක්ම අනුව රටට ගැලපෙනු ඇතැයි සිතිය හැකි ආර්ථික ක්‍රමවේදය අනුව ඊට අනුරූපි වන ලෙස රටේ ඉඩම් ප්‍රතිපත්තිය සකස් විය යුතුය. එය ඔබ සෘජුවම මෙම ආයතන හරහා සිදු කරන්න. 

රටේ ඉඩම් පහත ලෙස බෙදා වර්ග කර ගන්නා ලෙස මා ඔබට යෝජනා කරමි. 
1. වෙළෙඳ නගර හා කර්මාන්ත කලාප
2. ජනාවාස ප්‍රදේශ 
3. කෘෂිකාර්මික භූමි
4. වනාන්තර සහ ස්වභාවික භූමි

1. වෙළෙඳ නගර සහ කාර්මික කලාප හෙවත් Business and Industrial lands. 

රටේ ප්‍රධාන නගර වල ඔබ දකින ආර්ථිකයට ගැලපෙන නගර වඩා දියුණු කාර්මික නගර බවට පත් කිරීමට ඔබ මුල සිටම සැලසුම් සකස් කල යුතුය. එම කාර්මික නගර අවට කාර්මික නිශ්පාදන කෙරෙන කාර්මික කලාප සකස් කල යුතුය. මෙම කාර්මික නගර හා කලාප ගුවන් තොටුපොළ , වරාය හා මහාමාර්ග ජාලා වලින් සම්බන්ධ , රටේ දියුණු කල හැකි ඉඩ සහිත සම්පත් සහිතස්ථාන විය යුතුය. මා ඔබට යෝජනා කරන ප්‍රධාන කාර්මික නගර නම් කොළඹ , හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය යි. මේවාට අමතරව උප ප්‍රධාන ලෙස යාපනය ද මෙයට ඇතුලත් කර ගත යුතුය. මේ නගර වල දැනටමත් වරාය හා ගුවන් පහසුකම් සැකසී තිබෙන අතර කොළඹ හැරුණු කොට අනෙක් නගර වල අවශ්‍ය තරම් වෙන වැඩකට භාවිතා කල නොහැකි  මුඩු  ඉඩම් රාශියක් පවතී. මේ නගර යා කරමින් ඔබ හොඳින් නිමැවුණු අධිවේගී මාර්ග ජාලයක් සැලසුම් කරන්න. මෙම නගර අරමුණු කරගෙන ඒවාට අවශ්‍ය බලශක්තිය, සන්නිවේදනය  හා ජලය සැපයීමට යටි තල පහසුකම් සැලසුම් කරන්න. මේ සියල්ල සැලසුම් කර සිතියම් ගත කර පොදු Blueprint එකක් නිර්මාණය කරන්න. දැන් පොඩ්ඩක් එක තියෙන්න හරින්න. 

2. ජනාවාස ප්‍රදේශ හෙවත් Residential Areas

රටේ වර්තමාන ජනාවාස නගර මූලික කරගෙන් නිර්මාණය වී ඇති අතර ඒවා පාරවල් දෙපසට පොර කමින් සාන්ද්‍රණය වී ඇති අයුරක් පෙනෙන්නට තියෙයි. පරම්පරාවෙන් ආ ඉඩම් ඊළඟ පරම්පරාවට කැඩි කැඩී ගොස් බොහෝ පවුල් වලට සිය මීළඟ පරම්පරාවට නිවසක් සාදා ගැනීමට ලබා දීමට තරම් ඉඩක් සතුව නැත. ඒ නව පරම්පරාවන් ඉඩම් මිළදී ගත යුතුය. එහෙත් එතරම් ඉඩම් අප සතුව තිබේ ද? අද අපි මෙය ෂේප් කර ගත්තත් තව අවුරුදු 20 කින් 30 කින් එන ගැටලුවට අප විසඳුම් සොයන්නේ කෙසේ ද? එබැවින් අප අවකාශය ජය ගත යුතුව ඇත. ඔව් අප අහස ජය ගත යුතුව ඇත. 

මා ඔබට යෝජනා කර සිටින  වග නම් ඔබ අලුතින්ම ජනාවාස ප්‍රදේශ අප ඉහතින් සැලසුම් කල Blueprint එකට ඇතුලත් කරන ලෙසය. භූමිය සීමා සහිත බැවින් අපි හැමෝම ඉඩම් වල ගෙවල් හදා පදිංචි වූවොතින් අප සතු අවකාශය ඉක්මනින් පිරී යනු ඇත. තව අවුරුදු 20-30 කින් අප හිර වීම වළක්වා ලීමට නම් මෙම ජනාවාස සැළසුම් කිරීම මෙන්ම නිර්මාණය කිරීම ද රජයේ පූර්ණ මැදිහත්වීම දරමින් අනාගත අවශ්‍යතා සපිරෙන අයුරින් නිම විය යුතුය. අප තට්ටු ගෙවල් නිවාස සංකීර්ණ වලින් යුතු කුඩා ගම්මාන මොඩලයේ සියළු පහසුකම් වලින් යුතු කලාප නිර්මාණය කල යුතුය. ඒවා නිපදවීමට රජයේ ආයතනයක් පිහිටුවා රජයේ වියදමින් නිමවා වසර 30 කින් පමණ ගෙවීමේ පදනම මත අලුතින් පවුල් වන රැකියා හිමි ශ්‍රි ලාංකිකයන් හට ලබා දිය යුතුය. සිය ජීවිත කාලයම මහන්සි වී කෑලි  කෑලි හදා ගන්න ගෙවල් වල ජීවිතයම ගෙවා දමන පේ මිනිස්සු හොඳ වාසස්ථාන වෙත යොමු කිරීමට හැකි මූල්‍ය ක්‍රම වේදයක් අප නිර්මාණය කර ගත යුතුය. මෙය එතරම් අපහසු නැත. අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණය හා මග පෙන්වීම පමණ ය. 

එම ජනාවාස ප්‍රදේශ වලම, පාසල්, උද්‍යාන , ක්‍රීඩා සංකීර්ණ, විනෝදාස්වාදය පිණිස අවශ්‍ය දෑ නිර්මාණය කර ගත යුතුය. මෙම ජනාවාස ප්‍රදේශ හොඳින් පෙර කී වෙළෙඳ නගර හා කාර්මික කලාප සමග සම්බන්ධ විය යුතුය.

 මෙම සැළසුම ද ඔබේ ඉහත කී Blueprint එකේම සළකුණු කර සිතියම් ගත කරන්න. අපි දැන් තුන් වන කාරණය සළකා බලමු. 

3. කෘෂි බිම් හෙවත් Agricultural lands

ශ්‍රි ලංකාව කෘෂි කාර්මික රටක් යැයි හැඳින්විය හැකි වුව ද ලෝකයට සාපේක්ෂව අප කෘෂි කර්මාන්තයෙන්, කර්මාන්තයක් ලෙස බොහෝ පසු ගාමීය. හොද්දයි බතයි කන රටේ අපිට අවශ්‍ය ආහාර සියල්ලම පාහේ මෙහි නිශ්පාදන කර ගැනීමට අපට තිබෙන මේ ඉඩම් ප්‍රමාණය සැහෙන්නේ ය. විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම පාදක කරගෙන ජනගහනය සෑහෙන අහාර නිශ්පාදන කර ගැනීමට අපට හැකි විය යුතුය. එබැවින් කෘෂි කාර්මික බිම් වෙන්කර ගැනීමේදී ආහාර සුරක්ෂිතභාවය යන සාධකය සැළකිල්ලට ගෙන එය විද්‍යාත්මකව සිදු කල යුත්තකි. 

අප සතු මූලිකම ගැටලුවක් නම් ඉඩම් කැඩී යාමය. පරම්පරාවෙන් පරම්පරාවට ගොඩමඩ කෘෂි  ඉඩම් කැඩී යාම නිසා ගොවි බිම් ක්‍රමයෙන් කුඩා වෙයි. එම කුඩා බිම් වලින් පවුලක් රැකීමට තරම් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ගොවි තැනින් ජීවනාලිය සරි කර ගැනීමට ගොවියනට නොහැකිය. එබැවින් ඔවුන්  ක්‍රමයෙන් ගොවි තැනින් ඈත් වෙයි, එසේත් නැත්නම් කැලෑ එළි පෙහෙලි කර වගා කරයි. 
එලෙසම කෘෂි වගාවන් ඉතා පහසුවෙන් වඩා කාර්‍යක්ෂමව යන්ත්‍රානුසාරයෙන් කල හැකි වූවත් කුඩා වගා ඉඩම් වලට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ. එබැවින් ගොවි කමට තාක්ෂණය ලෝකයේ අන් රටවල දී මෙන් කාර්‍යක්ෂමව යොදා ගැනීමක් අප රට තුල නොමැතිය. මේවාට විසඳුම් පහත ලෙස සරළව විස්තර කරමි. 

අනාගතයේදී ඔබගේ ආර්ථික උපාය මාර්ග වලට අනුව ශ්‍රි ලංකාව තුල කාර්මික නගර හා කලාප ඇතිවී ජනතාව නව නගර ආශ්‍රිතව ජීවත් වීමට යොමුවන නිසා ඔවුන් ගොවි බිම් වල දිගින් දිගටම සිටිමින් ගොවි තැනේ නිරත නොවනු ඇත. ගොවි තැනින් පවුලක් නඩත්තු කර ගැනීමට අපහසු වීමත්, ඉඩම් කුඩා වීමත්, නව ජනාවාස තුල හොඳ ජීවිතයක් ලැබීමත්, අලුත් කාර්මික ප්‍රදේශ තුල හොඳ වැටුපක් ලැබෙන රැකියා තිබීමත් නිසා ඔවුන් ක්‍රමයෙන් අලුත් ජනාවාස වෙත රොක් වනු ඇත. එබැවින් එම කැඩී ගිය කෘෂි ඉඩම් නැවත එකතු කර විශාල ප්‍රමාණයේ ගොවි  බිම් සෑදීමට අප ක්‍රම සම්පාදනය කල යුතුය. නිතී, ආකල්ප මෙන්ම රාජ්‍ය පරිපාලනය ද ඒ වෙනුවෙන් හැසිරිය යුතුය. විශාල ගොවි බිම් ද ඒවායේ නූතන තාක්ෂණය භාවිතයද වෘත්තීය ගොවීන් බිහි කරනු ඇත. ඒ සමගම රටට අවශ්‍ය අහාර වඩා ක්‍රමවේදීව සෞභාග්‍යමත් ලෙස සාදවා ගැනීමට අපට හැකි වනු ඇත. 

4. වනාන්තර සහ ස්වභාවික භූමි

ඉහතින් කී සියළු කලාප නිර්මාණය විය යුත්තේ රටේ දැනට පවතින වනාන්තර සහ ස්වභාවික භූමි ආරක්ෂා වන අයුරින් ය. එලෙසම දැනට වන ගහණය වන ලංකාවේ භූමියෙන් 29% ක් වෙනුවට එය 45% ක් වත් පමණ වනතුරු අප වැඩි කර ගත යුත්තේ අනාගතයේ දී අපටම හොඳ ගුණාත්මක ජීවිතයක් උරුම කර ගැනීමට ය. පිරිසිදු වාතය, ජල සුරක්ෂිත භාවය, හා ගෝලීය උණුසුම ඉහළයාම ආදියට අනුරූපව අප රට තුල කෙතරම් වනාන්තර ප්‍රමාණයක් පැවතිය යුතු දැයි අපහට විද්‍යාත්මකව ගණනය කර ගත හැකිය. එම අගය 40-50% ක් පමණ වන අගයක් වීමට බොහෝ දුරට නියමිතය. එබැවින් රටේ දිගුකාලීන තිරසාර පැවැත්ම තහවුරු කිරීමට අප මෙම ස්වභාවික භූමීන් වෙන්කර ආරක්ෂා කර ගත යුතුය. එය කෙසේ කල යුතු දැයි මම ඔබට කියන්නම්. 

වන්නි හත්පත්තුවේ , විල්පත්තුවේ සිට යාල , පානම්පත්තුවට කරදයක් නැතුව සතුන්ට ගමන් කිරීමට හැකි වන පරිදි අපි වනාන්තර ජාල කොරිඩෝවක් ඇති කල යුතුය. මෙය මා Pan Island Wildlife Corridor Network එක් යැයි හදුන්වන්නම්. රටේ සියළුම ස්වභාවික වනාන්තර ජාලයක් සේ එකින් එක සම්බන්ධ වන පුළුල් කොරිඩෝ සහිතව මෙම  PIWCN එක අපට පහසුවෙන් නිර්මාණය කර ගත හැකිය. මිනිසා විසින් මෑතකදී එලිපෙහෙළි කර වනාන්තර හා අලුත් Blueprint එකෙන් අත හැරෙන භූමීන් එක් කල විට මෙම වනාන්තර ජාලය ඔබට නිර්මාණය කිරීම පහසුවෙන් කල හැකිය. අලි මිනිස් ගැටුම එතනින්ම අහවර වන අතර අලින් අතර පවා හොඳින් ජාන මිශ්‍ර වීමට අවස්ථාව සැලසීම ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පැවැත්මට පවා වාසි දායකය.  රටේ ජල සුරක්ෂිතභාවය , පිරිසිදු වාතය , කාලගුණික විපර්යාස වලට ඔරොත්තු දීම ආදිය මින් පහසු වන අතර එය ශ්‍රි ලාංකීය ජාතියේ පැවැත්ම දිගු කාලයකට තහවුරු කරනු ඇත. සෞභාග්‍යයෙන් පිරි කාර්මික නගර වෙත මිනිසුන් රැස් වන නිසා ඔවුන් වනාන්තර වලින් ලාභ ප්‍රයෝජන සොයා කැලෑ කපමින්, ඉඩම් අල්ලමින්, සතුන් දඩයම් කරමින් කැලෑ නොවදිනු ඇත. 

මෙලෙස සමස්ථ රටෙහිම ඉඩම් වර්ග කර Blueprint එකක් සාදා ගත් විට ඉතුරු සියල්ල ඔබට පහසුවෙන් පෙනෙන්නට ගනීවී. මේ කාර්‍යයට ඔබ වසරක් හෝ දෙකක් ගත කරන්න. එය නිවැරැදිව සැලසුම් කර ගැනීමට උපරිම උත්සහ ගන්න. මෙම සැලසුම අනුව ගමන් කිරීමට අපට සෑහෙන කාලයක් යාවි. මෙම සම්පූර්ණ වීමට අපට වසර 30 ක් වත් මහන්සි වෙන්න වෙයි. 

ඔබ මූලික අඩිතාලම දමන්න. මේ සැලැස්ම හදන්න. එය ජනගත කරන්න. වසර 5 න් 5 ට වත් මේ සැලැස්ම අලුත් තොරතුරු , ආර්ථික උපාය මාර්ග , තාක්ෂණික දැනුම ආදියෙන් යාවත්කාලීන කරන්න අවකාශය තියා ගන්න. මේ ඔබ රට හදන සැකිල්ලය. ඔබ වසර  5 න් හෝ 10 න් ඉවත් උව ද , අනතුරුව ඔබ මිය ගිය ද අපිට හඹා යෑමට සැලැස්මක් තිබෙයි. එය පුද්ගලයෙකු මත නොව ප්‍රතිපත්ති මත ගොඩනැගුණු රටේ පොදු අනාගතය තීරණය කරන ලියවිල්ල කර ගන්න. 

එය සකසා අවසන් නම්, දැන් ඔබ වැඩ පටන් ගන්න. ඔබ ආර්ථිකය හදන්න පටන් ගන්න. ඒ වෙනුවෙන් සිදුකරන සියළුම ගොඩ නැගීම් මේ දිගුකාලීන සැලැස්ම අනුව ඉදි කරන්න. මිනිස්සු ඔබේ පස්සෙන් එයි. ඔවුන් ඔබව අනුගමනය කරාවි. ඔබව විශ්වාස කරාවි. ඔබට පුලුවන්... 

මේ සියල්ල කිරීමට ඔබට මා කලින් ලිපියේ කී ලිප් ගල් තුන වැදගත් වේවී. ආයෙත් මතක් කලොත් සුපිරි නායකත්වය, කාර්‍යක්ෂම රාජ්‍ය පරිපාලනය හා කාර්‍යයශූර අධිකරණ පද්ධතිය. මේ තුන් කොට්ඨාසය උපරිම තලයකට ගෙන ඒමට ඔබ මුල් කාලයම යොද වන්න. උපරිම බර මේ වෙනුවෙන් යොද වන්න. ඔබ දක්ෂයෙකු නම්, මෙය ඔබට පුලුවන්... 

මා ඔබට සහය වන්නම්... 
ඉතිරිය ඔබට භාරයි... 

පැතුම්.

(පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )
https://m.facebook.com/story.php?story_fbid=10215757790754220&id=1127212983

Sunday, November 25, 2018

සරත් කාලයේදී ශාඛපත්‍ර විවිධ පැහැ ගන්නේ ඇයි?


පත්‍ර යනු ශාඛවල ආහාර නිෂ්පාදනාගාරයන්ය. ගසේ මුල් මගින් ලබා ගන්නා ජලය සහ වාතයෙන් ලබා ගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව, හිරු එළිය උපයෝගී කරගනිමින් ඔක්සිජන් සහ ග්ලූකෝස් බවට පරිවර්තනය කෙරෙන අතර, ඒ අතරින් ගසේ වර්ධනයට සහ පැවැත්මට යොදා ගන්නේ ග්ලූකෝස්ය. ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින් හඳුන්වන මෙම ක්‍රියාවලිය සිදු වීම සඳහා පත්‍රවල ඇති හරිතප්‍රද (chlorophyll) නමැති රසායනිකය උපකාරී වේ. (ශාඛ පත්‍ර කොළ පැහැ ගැන්වී තිබෙන්නේ මෙම හරිතප්‍රද නිසාය)

ග්‍රීෂ්ම කාලය නිමාවී සරත් කාලය ඇරඹීමත් සමග, හිරු පායා තිබෙන කාලය හෙවත් දිවා කාලය කෙමෙන් අඩු වී ගෙන යයි. (දකුණු කොරියාවේ ග්‍රීෂ්ම කාලයේදී රාත්‍රී අට පමණ වන තෙක් දිවා එළිය තිබුණත්, මේ දිනවල ගෙවෙන සරත් කාලයේදී හවස හතර-පහ වන විටම අඳුර වැටේ) ශීත ඍතුව සඳහා සූදානම් විය යුතු බව ශාඛ දැනගන්නේ එමගිනි. 

ශීත කාලයේදී ප්‍රභාසංස්ලේෂණය සඳහා ප්‍රමාණවත් තරම් හිරු එළිය සහ ජලය නොලැබේ. එමනිසා, ග්‍රීෂ්ම කාලයේදී ගබඩා කරගත් ආහාර මගින් තම පැවැත්ම තහවුරු කරගනිමින්, ශීත කාලයේදී ශාඛ විවේක ගනී.  එම නිසා, ශාඛ තම ආහාර නිෂ්පාදනාගාර වසා දැමීම සරත් කාලයේදී අරඹයි. ඒ සමග, පත්‍ර කොළ පැහැ ගන්වන හරිතප්‍රද පත්‍රවලින් ඉවත් වෙයි.

එලෙස හරිතප්‍රද ඉවත් වීමත් සමග, පත්‍රවල කහ සහ ඔරේන්ජ් පැහැය අපට දිස්වන්නට පටන් ගනී. (පත්‍රවල එම පැහැයන් කුඩා  ප්‍රමාණ වශයෙන් හැමවිටම පැවතුනත්, ඒවා වසා ගනිමින් පත්‍රය පුරා පැතිර පවතින කොළ පැහැති හරිතප්‍රද නිසා ග්‍රීෂ්ම කාලයේදී අපට එම පැහැයන් දැක ගත නොහැක.)

සරත් කාලයේදී ගස්වල දැක ගත හැකි දම් සහ රතු පැහැයන් බොහෝ විට ඇති වන්නේ සරත් කාලයේදීමය. ඒ මේපල් වැනි ඇතැම් ශාඛවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නතර වූ පසු, පත්‍රවල ඉතිරිවන ග්ලූකෝස් නිසාය. සරත් කාලයේ පවතින දිවා හිරු එළිය සහ රාත්‍රී සීතල නිසා පත්‍රවල රැඳී ඇති එම ග්ලූකෝස් රත් පැහැයක් ගනී.

ඕක් වැනි ඇතැම් ගස්වල පත්‍ර දුඹුරු පැහැ ගන්නා අතර, ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නතර වීමත් සමග ඉතිරි වන අපද්‍රව්‍ය නිසාය.

මේ සියල්ලේ එකතුවක් ලෙස සොබාදහම අපට සරත් කාලයේ විචිත්‍රත්වය කැන්දන් එයි. #autumn #southkorea #Korea

Sunday, May 1, 2016

විදේශිකයොත් හරියට කරන-අපේ අය නොකරන කුණු විසිකිරිල්ල....

Image result for don't litter png

පසුගිය දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිවෙන බස් රථයක මට යාබදව අසුන්ගෙන සිටි විදේශිකයාට තමා හපමින් සිටි චුයින්ගමය විසිකිරීමට අවශ්‍ය විය. ඔහු විසි හය වියැති ඊශ්‍රායල් ජාතිකයෙකි. වටපිට විපරමින් බලා, බස් රථය තුළ කසළ බහාලීම සඳහා බඳුන් (Thrash Bin) සවි කර නැද්දැයි ඔහු මගෙන් විමසුවේය. 

එවැනි කසළ බඳුන් නොතිබුණෙන්, ඔහු මගෙන් අනවශ්‍ය කොළ කෑල්ලක් තිබේදැයි විමසුවේය. මගේ ගමන් මල්ලේ තිබූ පරණ බස් ටිකට් පතක් මම ඔහුට දුනිමි. ඔහු එම කොළ කැබැල්ලෙහි චුයින්ගම් එක ඔතා, තම ගමන් බෑගයේ පුංචි සාක්කුවක දමා ගත්තේය. 

චුයින්ගම් එකක් විසි කිරීමට අවශ්‍ය වූ විට, හැමෝම නොවුනත් අපේ රටේ බොහෝ දෙනෙක් නම් කරනු ඇත්තේ කුමක් ද? 

නිසැකවම වටපිට බලා, කාටවත් නොපෙනෙන ලෙස හිමින් සීරුවේ බස් එකේ අසුනක කොණකින් අලවන එකය. නැතිනම් බිමට දමන එකය. 

චුයින්ගම් නොව අනෙකුත් කැළිකසළ ගත්ත ද, අපේ රටේ බොහෝ දෙනෙකුගේ පුරුද්ද ඔයාකාරය. 

දිනක් එක්තරා පුද්ගලයකු තමන් පානය කළ මයිලෝ පැකැට්ටුව වැහිවතුර සහ අපජලය බැහැර කිරීම සඳහා ඇති කොන්ක්‍රීට් කාණුවේ කොන්ක්‍රීට් පියන් දෙක අතර සිදුරකින් ආයාසයෙන් කාණුව තුළට ඔබනු දුටුවෙමි. එලෙස පුද්ගලයන් 10 දෙනෙකු එම කාර්යය කළහොත්, කාණුව අවහිර වී, පුංචි වැස්සටත් මාර්ගය යටවන තත්වයට පත් වන බව ඒ පුද්ගලයාට නොවැටහීම පුදුමය.  

කසළ බැහැරලීම සම්බන්ධයෙන් සමස්තයක් ලෙස අපේ රටේ මිනිසුන්ගේ චර්යාවේ ප්‍රශ්නයක් ඇති බව මිනිසුන් ගැවසෙන අවට වටපිටාව දෙස මඳක් බැලීමෙන් පෙනේ. එම යහපත් චර්යාවන් පාසල් වයසේම පුරුදු කළයුතු දේ වුවත්, එම යුගය පහුකර ඇති වැඩිහිටියන්ට ද ඒවා පුරුදු කිරීම එතරම් අපහසු නොවන බව අපගේ විශ්වාසයයි.  

ඒ අන් කිසිවකින් නොව, මිනිසුන් නිවෙස්වල රැඳී සිටින උදෑසන කාලයේ වාලම්පුරිකාරයන්ගෙ, ග්‍රහතාරකාකාරයන්ගෙ සහ සෙත් ශාන්තිකාරයන්ගෙ ග්‍රහණයෙන් විද්‍යුත් නාලිකා ටික මුදාගෙන, මිනිසුන්ගෙ ආකල්ප සංවර්ධනය කෙරෙන, රටට-සමාජයට වැදගත් වන දැනුම බෙදන වැඩසටහන් ටිකක් ඉදිරිපත් කිරීමෙනි. උදෑසනම යැයි විශේෂයෙන් කීවේ එවැනි ආකල්ප සංවර්ධන වැඩසටහන් සඳහා උචිතම වෙලාව නැවුම්බර උදෑසන කාලය නිසාය. 

Thursday, April 28, 2016

පම්පෝරි එපා...ප්‍රතිචක්‍රීයකරණය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකසන්න.


විවිධ අවශ්‍යතා සඳහා වරින් වර වෙළඳපොලේ සිට අප කොපමණ දෑ නිවෙස් කරා රැගෙන එන්නෙමු ද? විවිධ ආහාරපාන වර්ගවල පටන් ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ප්ලාස්ටික් භාණ්ඩ, ලෝහමය භාණ්ඩ ආදී ලැයිස්තු ගත කළ නොහැකි තරමේ අයිතමයන් රැසක් එලෙස අප රැගෙන එන්නෙමු. 

මේ අතරින් ආහාරපාන වර්ග හැරුණු විට අනෙක්වා බොහොමයක් නොදිරන සුළු ද්‍රව්‍යයන්ය. බොහෝ විට ඇසුරුම්කරන ලද ආහාරපාන වර්ගයන්හි ද අසුරනයන් සහ බහාලුම් පහසුවෙන් දිරන සුළු ද්‍රව්‍යයන් නොවේ. 

මීට අමතරව අප වෙළඳසැලට ගොඩවෙන වාරයක් පාසා කොපමණ නම් පොලිතින් මලු ප්‍රමාණයක් නිවෙසට රැගෙන එන්නෙමු ද? නිවසට අවශ්‍ය අඩුමකුඩුම ටික වෙළඳපොලෙන් රැගෙන ඒම සඳහා අපේ නිවෙස්වල පවා බොහෝ කලකට පෙර තිබුණේ එක මල්ලකි. ඒ ඉඩකඩ සහිත පන් මල්ලකි. අද ඒවා බැද්දට ගොස්, වෙළඳපොලෙන් නිකම් ලබා දෙන පොලිතින් මල්ලට අපිදු හුරු වී සිටිමු. 

මෙලෙස දිනපතා එකතු වන පොලිතින් මලු සහ කාලෙන් කාලෙට භාවිතයෙන් ඉවත් කරනු ලබන සෙරෙප්පු, සපත්තු, විදුලි උපකරණ, ප්ලාස්ටික් උපකරණ ආදී භාණ්ඩ වර්ග කොපමණ නම් අප පරිසරයට මුදා හරින්නෙමු ද?

මේ සඳහා ගතයුතු විසඳුම කුමක් ද? පරිසරයට හානිකර යැයි එම නොදිරන සුළු ද්‍රව්‍ය තහනම් කිරීම ද? 

මහපොළොවේ පවතින යථාර්ථය ට අනුව නම් නිසි ආදේශකයන් නැතිව එවැනි දේ තහනම් කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. 

එසේ නම් වඩා ප්‍රායෝගික සහ තිරසර විසඳුම කුමක් ද?
Image result for recycling

භාවිතයෙන් පසු ඉවතලන පොලිතින් උර, සෙරෙප්පු කුට්ටම්, සපත්තු කුට්ටම්, ප්ලාස්ටික් භාණ්ඩ, විද්‍යුත් උපකරණ ආදී පහසුවෙන් නොදිරන සුළු දෑ ප්‍රතිචක්‍රීයකරණය සඳහා යළි එම ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන සමාගම් වෙත යැවෙන වැඩපිළිවෙළකට යාමය. එවිට පරිසරයත් රැකෙන්නේය. සම්පත් අනවශ්‍ය ලෙස වැය වීමත් නතර වන්නේය. මිනිස් අවශ්‍යතාත් පහසුවෙන් ඉටුවන්නේය. 

අපේ රටේ නිෂ්පාදනය නොකෙරෙන එනම් ආනයනය කෙරෙන භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් කළ යුතු වන්නේ භාවිතයෙන් පසු ඉවත් කරනු ලබන විදුලි උපකරණ, ජංගම දුරකතන වැනි දෑ සන්නම් අනුව ප්‍රකෘති තත්වයෙන්ම හෝ අමුද්‍රව්‍ය ලෙසින් ඔවුන් වෙතම යළි යවන වැඩපිළිවෙලකට යාමය.       

ජනඝනත්වය වැඩි නාගරික ප්‍රදේශවල මතු වී ඇති කසළ ප්‍රශ්නයට ඇති එක් තිරසර විසඳුමක් ලෙස ද ප්‍රතිචක්‍රීයකරණය හැඳින්විය හැක. දිරන සුළු ආහාර ද්‍රව්‍ය වැනි දෑ පොහොර සකස් කිරීමට හෝ මහපොළොවට යට කිරීමට යොදාගත් විට කසළ දැන් පවත්නා තරමේ ප්‍රශ්නයක් වන්නේ නැත.    

මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුම ක්‍රියාමාර්ගය වනුයේ පවතින ප්‍රාදේශීය සභා සහ නගර සභා හරහා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සහ කළ නොහැකි ද්‍රව්‍ය යම් දින සැලැස්මකට අනුව වෙන වෙනම එකතු කිරීමයි. 

කසළ වර්ගීකරණ කාර්යය නිවැසියන්ගේ වගකීමක් කළ යුතුය. එක් එක් කසළ කාණ්ඩය රැගෙන යනු ලබන විශේෂිත දින පිළිබඳව නිවැසියන් කල්තබා දැනුවත් කර, ඒ අනුව නියමිත දින සැලැස්මට අනුව අදාළ කසළ කාණ්ඩය පමණක් අදාළ දිනයට රැගෙන යා යුතුය. එම කසළ කෙළින්ම විවෘත පරිසරයට මුදා නොහැර, ප්‍රතිචක්‍රීයකරණය සඳහා අදාළ ආයතන වෙත යොමු කළ යුතුය. එතෙක් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි එම ද්‍රව්‍ය රැස් කර තබා ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රීක්ක මට්ටමින් ඇති කළ යුතුය.    

දැනට බෝතල්, පත්තර, පරණ යකඩ, පරණ ප්ලාස්ටික් බේසම් වැනි දෑ විවිධ පුද්ගලයන් නිවාස වෙතම පැමිණ සුළු මුදලකට හෝ පැරැණි භාණ්ඩ කිහිපයකට අලුත් භාණ්ඩයක් ලබා දීමේ පදනම මත එකතු කරගෙන යති. එය සැබවින්ම ප්‍රශංසනීයය. නමුත්, රටක් ලෙස එය ප්‍රමාණවත් නැත. පවත්නා පළාත් පාලන ආයතන ව්‍යුහය හරහා විධිමත්ව ක්‍රියාත්මක කෙරෙන තිරසාර වැඩපිළිවෙළක් ලෙස එය ක්‍රියාත්මක විය යුතුය. 

මෙය පළමුව බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශයන්ගෙන් ආරම්භ කළ හැක. 

රටේ සිව් දෙසින් ඇල දොළ ගංගා ගලා බසින, සොබා අසිරියෙන් පිරි රටක් දිනෙන් දින කසළින් පිරි අසුන්දර වටපිටාවකින් යුක්ත වනු දකින විට අපට නම් ඇතිවන්නේ කලකිරීමකි. අපේ රටේ සොබා සුන්දරත්වයේ වටිනාකම අපේ රටේ මිනිසුන්ට වඩා සතියකට දෙකකට සංචාරයට පැමිණෙන විදේශිකයන්ට වැටහේ යැයි විටෙක අපට සිතේ. විදේශිකයෙකු අඩුම තරමේ ටොපි කොළයක් නොව කෙළ පිඬක්වත් පාරේ අශෝභන ලෙස අතන මෙතන දමනු අප නම් දැක නැත. 

එම නිසා, සුන්දර රටක්-සුන්දර වටපිටාවක් නිර්මාණය කළ හැක්කේ එවැනි විධිමත් වැඩපිළිවෙලකට අප යන්නේ නම් පමණි. එය කිසිසේත්ම කිරීමට අපහසු කාර්යයක් නොවේ. අවශ්‍ය වන්නේ ඕනකම සහ කැපවීම පමණක්ය. 

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව උද්ඝෝෂණය කළ අයට පහරදීම සම්බන්ධයෙන් මා මීට පෙර ලියූ සටහනින් ද මේ පිළිබඳව කරුණු දක්වා ඇත. විශේෂයෙන්ම එම ලිපිය මගින් ජපානයේ එක්තරා ප්‍රදේශයක ක්‍රියාත්මක කෙරෙන එවැනි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් පිළිබඳව තොරතුරු දක්වා ඇත. ඔවුන්ගේ ඉලක්කය 2020 වන විට 100%ක් කසළින් තොර නගරයක් බවට පත් වීමය.

එම ලිපිය පහතින් කියවන්න.

Saturday, April 16, 2016

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8

අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...

කිසිදු මිනිස් පුළුටක ස්ථිර පදිංචියක් නැති, රක්ෂිත කැලෑ මායිමේ පිහිටි මේ කෘෂි බිමේ ගොඩමඩ ගොවිතැන් කරන විට, අනෙක් පළාත්වල මෙන් නොව විශේෂයෙන් අලින්ගෙන් පවා පරිස්සම් කරගැනීමට සිදුවන බව මීට පෙර ලිපිවලදී සඳහන් කළෙමු. එසේ අලි වගාබිම් වෙත වැදුනහොත් සිදු වන අලාභහානි සුළුපටි නොවන බව ද එහිලා සඳහන් කළෙමු. 

උස් මිටි භේදයක් නැතිව පොල් ගස් පවා බිමට පෙරළන එක අලින්ට ඉතා පහසු කාර්යයකි. මේ ලිපිපෙළට මාතෘකාගත කුඹුරු බිමට යාබද අත්හැර දමන ලද ඉඩමේ වවා තිබූ පොල් ගස් වරින් වර පැමිණි අලින් විසින් බිමට පෙරළා දමා ඇති ආකාරයයි මේ.





මනුස්සකමට නොව මිලට හෝ බොන්නට වතුර බිඳක් ඉල්ලා ගතහැකි තැනක් නැති, ගිනි අව්ව රජයන මේ බිමේ අප පවා තිබහට වෑවර ගෙඩියක් දෙකක් කඩාගෙන බොන්නේ අලින්ගෙන් හානියක් නොවී තවමත් ඉතිරිව ඇති පොල් ගස් කිහිපයෙනි. ඒවා ද බිමට වට්ටවන දිනය දන්නේ මෙහි වදින අලින් පමණය.  




අලින්ගෙන් වගාවන්ට සිදු වන අලාභහානි සහ ඒ වෙනුවෙන් අතිරේකව වැය කළ යුතු කාලය-ශ්‍රමය සහ ධනය නිසා, මෙම ඉඩමේ පෙර ගොවිතැන් කළ ඉඩම් හිමි අය අද මෙහි ගොවිතැන් කෙරුවාව තාවකාලිකව අත්හැර දමා ඇත. ඔවුන් විසින් ඉදි කරන ලද ගස උඩ පැල පවා දිනෙන් දින දිරාපත් වෙමින් තිබෙනු පෙනේ.



පාලුවට ගොස් ඇති මෙම ඉඩම්වල යළි වගා කෙරෙනු ඇත්තේ අලි කරදරය යම් තරමකින් හෝ අඩු වූ කාලයකය. එතෙක් දිනෙන් දින වල්වදිමින් මෙම ඉඩම් මෙලෙස පවතිනු ඇත.

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Friday, March 25, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7


මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි......


මිහිමත මිනිසාගේ ආරම්භය ඇති වූයේ යම් දිනක ද, එදින පටන්ම ජලය තරම් මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම සහ හැඩගැස්ම තීරණය කළ අන් යමක් මේ මිහිමත නොමැති බව අවිවාදිතය. 

ඉන්දු නිම්න, මොසපොතේමියානු, ඊජිප්තු ආදී පැරැණි කුමන ශිෂ්ටාචාරයක් ගත්ත ද, ඒ සෑම ශිෂ්චාචාරයකම ආරම්භය සනිටුහන් වී ඇත්තේ ගංගා නිම්න ආශ්‍රිතවය. එනම් ජලය ආශ්‍රිතවය. 

ආදිකාලීන මිනිසා දඩයමින් කෘෂිකර්මාන්තයට මාරු වීමත් සමගම මිනිසා සහ ජලය අතර සම්බන්ධය තවත් වැඩි විය. 

ස්වාභාවික ඇළදොළ ගංගා කරා සේන්දු වී, ඒ සමීපස්ථ ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්තයේ සහ පශුපාලනය ආදී වෙනත් ජීවනෝපායන්හි යෙදෙනවාට අමතරව, තමන්ට රිසි ස්ථාන කරා භුමියේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් වාරි මාර්ග ඔස්සේ ජලය ප්‍රවාහනය කිරීමට සහ වැව් අමුණු ඉදිකර ජලය රැස් කර තබා ගැනීමට මිනිසා පසුකාලීනව කටයුතු කළහ. 

අපේ රට ද ඉපැරණි වාරි සංස්කෘතියකට උරුමකම් කියන රටකි. පැරැණි සහ නූතන වාර්මාර්ග යෝජනා ක්‍රමවලින් ප්‍රතිලාභ අදදු අප රටේ ජනතාව භුක්ති විඳිති. 

වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය ද ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති සහ ජනාවාසකරණය නොවූ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තෝරාගත් ප්‍රදේශ කරා උඩවළව ජලාශයේ සිට ඇළ මාර්ග ඔස්සේ ජලය ප්‍රවාහනය කරමින්, අලුතින් ඉදි කෙරුණු වැව්වල ජලය එක්රැස් කරමින් එම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සහ මිනිස් වාසයට උචිත තත්වයට පත් කිරීම සඳහා දියත් කෙරුණු ව්‍යාපෘතියකි. 







මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර තවමත් ගතවී ඇත්තේ වසර 10කට නොඅඩු කාලයකි. එමනිසා, තවමත් මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාස වී නොමැති වුව ද, ජනගහණ වර්ධනය සහ භූමියේ ඉඩකඩ ක්‍රමිකව සීමිත වීමත් සමගම තව අවුරුදු 10ක් පමණ යන විට සැළකිය යුතු මට්ටමින් ජනාවාස වෙනු ඇති බවට කිසිදු සැකයක් නැත. 

ඒ අනුව, කාලයාගේ ඇවෑමෙන් ක්‍රමිකව මංමාවත්, කඩපොළවල්, පාසැල්, ඉස්පිරිතාල ආදී යටිතල පහසුකම් සංවර්ධනය වී, මේ ප්‍රදේශ ද නාගරීකරණය වනු ඇත. 

ඒ සඳහා මූලෝපකාරී ප්‍රධාන සාධකය වන ජලය දැනටමත් මේ ප්‍රදේශයෙහි සුලභ නිසා එය කඩිනම් වනු ඇත. එය මන්දගාමී කරවන යම් දෙයක් වේ නම්, ඒ මේ ප්‍රදේශයෙහි පවතින අලි ප්‍රශ්නය පමණි. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Sunday, March 13, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 5

යමින් ගමන් කැලෑ ගෙඩි කමු...

අහළ පහළ කඩයක් හෝ නිවසක් නොමැති අලි ගහන කැලෑ මායිමේ පිහිටි මේ ගොවිබිමට එන විට, කන්න බොන්නට අවශ්‍ය සියලුම දෑ නිවසින් රැගෙන ඒමට ගොවියෝ කටයුතු කරති. දින කිහිපයකට සෑහෙන්න ජලය, උයා පිහා ගන්නට අවශ්‍ය අඩුමකුඩුම ටික, අඳින්නට ඇඳුමක් දෙකක්, මුහුණකට-ඇඟපත හෝදගන්නට අවශ්‍ය සබන් සහ දත්බෙහෙත් ටික ආදී අවශ්‍යම කරන ද්‍රව්‍ය ටික තිබෙන විට ගොවිබිමේ ගතකරන ජීවිතය හරි සරළය. අල්පේච්ඡය.

අක්කර හතරහමාරකින් යුත් මේ කෙත්බිම අවට, ලඳු කැලෑවල මේ දිනවල නොසෑහෙන්න කැලෑගෙඩි වර්ග ඇත. ගස්ලබු-කෙසෙල් වැනි පලතුරක් වගාබිමක හැරුණුකොට, මේ කැලෑවල නැති බැවින් දර කෑල්ලක් දෙකක් ගෙනෙන්නට-කිසියම් අවශ්‍යතාවකට රිටක් දෙකක් කපා ගන්නට ගිය විට, මේ කැලෑගෙඩි වර්ග ඇති පදමින් කුසට දා ගැනීම අපේ සිරිතය.

එරමිණියා ගස් මෙහි ලඳු කැලෑවල සහ වගා ඉඩම් වෙත පිවිසෙන පස් පාරවල් දෙපස සුලභ දසුනකි. ඉදුණු එරමිණියා ගෙඩි දම්පාටය. ඇඹුල් රසත් පැණි රසත් මිශ්‍ර අමුතුම රසයක් එහි ඇත. වහා ඇඟේ ඇමිණෙන වක් ගැසුණු තියුණු කටු නිසා, මේවා කඩා ගත යුත්තේ හරි පරිස්සමිනි. 


එරමිණියා
එරමිණියා ශාඛයේ ලොකු අයියා ලෙස සැළකිය හැකි තවත් කැළ ගෙඩි වර්ගයකි දෙබර ශාඛය. එරමිණියා ගහ වැනිම නමුත්, මෙහි ගෙඩි මඳක් විශාලය. රසයෙහි නම් ඒ හැටි වෙනසක් නැත.


දෙබර ශාඛය සහ ඉදුණු දෙබර ගෙඩි

මේ තියෙන්නේ කරඹ ශාඛයකි. පිච්ච මලට සමාන මල් හැදෙන මෙහි ගෙඩි ඉතා රසවත්ය. ඉදුණු ගෙඩි දම් පාටය. මෙම ශාඛයෙහි ඉදුණු ගෙඩි පමණක් නොව අමු ගෙඩි හා මල් ද ආහාරයට ගත හැකිය.  
කරඹ ශාඛය


කරඹ මල්

ඉදුණු කරඹ ගෙඩි

රඹ යායේ ළවැලි පාරේ -මගේ හද දිනූ අරුන්දතී 
වැව පුරා රතු නෙළුම් පිපුණේ - නුඹ බලන්නයි අරුන්දතී...///

විජය කුමාරතුංගයන් ගැයූ මේ ගීතයේ කරඹ යායක් ගැන කියවේ. රතුපාට දළුවලින්, සුදු පාට මල්වලින් සහ කොළ පාට සහ දම්පාට ගෙඩිවලින් යුත් කරඹ ගස සැබවින්ම නෙතට පියකරුය. ඉතින් එවැනි යායක් ගැන කියනුම කවරේ ද? 

මීට අමතරව කෑලිය, කර වැනි ශාඛ වර්ග ද මෙහි නැතුවා නොවේ. මේවා ස්වාභාවිකවම කැලයේ හැදෙන ඒවාය. යමින් ගමන් විනෝදෙට කනවා මිස බඩ පිරෙන්නට කන දේවල් නොවේය. 


කෑලිය ශාඛය

මේ දිනවල කර ශාඛයේ නම් ගෙඩි නැත. ඉතා දිගු සහ තියුණු කටු ඇති නිසා කර කැඩීමේදී ඉතා පරිස්සමින් කළ යුතුය. 

කර ශාඛයේ අත්තක්
මේ ප්‍රදේශය පුරාවට තැන තැන ශේෂ වී ඇති පලු ගස් එමට ඇතත්, ඒවායෙහි කිසිම ගසක මේ දිනවල ගෙඩි නැත. සාමාන්‍යයෙන් පලුගස්වල ගෙඩි හටගන්නේ මැයි සහ ජුනි මාසවලය. පලු ගෙඩි කහපාටට හොඳින් පැසුණු රට ඉඳි වාගේය. පැණිරසය. අලින්ගෙන් බේරීම සඳහා ගොවීන් උඩු පැල සකස් කරන්නේ ද බොහෝ විට පලු ගසකය. 


සාමාන්‍ය ප්‍රමාණයේ පලු ගසක්

මේ කැලෑ ගෙඩි වර්ග හැරුණු විට, පිසගෙන කන පලා වර්ග සහ ගෙඩි වර්ග ද මෙහි ඇත. ඒ අතර, බටු කරවිල විශේෂය. වගා කරවිල තරම් ගෙඩි විශාල නොවූව ද, සාමාන්‍ය කරවිල මෙන්ම මඳක් තිත්ත රසයෙන් යුක්තය. කිසිදු රසායනික තෙල් පෝර කිසිවක් නැතිව කැලයේ ස්වාභාවිකව හැදෙන නිසා, වගා කරවිලවලට වඩා ශරීරයට ගුණදායකය.   

බටු කරවිල
කැරන් ශාඛය මෙහි සුලභව හමු වෙන, ආහාරයට ගත හැකි තවත් ශාඛයකි. එහි එන ළපටි ගොබ එසේත් නැතිනම් කැරන් කොපු ගලවා තෙලට හදාගත් විට කදිමය. 

කැරන් ශාඛය

කැරන් කොපු
මේ කිසිවක් තෙල් පෝර යොදා, මිනිස් ආයාසයෙන් වගා කරන දේවල් නොවේය. කැලයේ ස්වාභාවිකව හැදෙන දේය. 

මේ පිළිබඳව සටහන් තැබූයේ අන් කිසිවක් නිසා නොව, අලි ගහණ මේ ප්‍රදේශයෙහි ගොවිතැන් කෙරුවාව ගැන ලියැවෙන මේ ලිපි පෙළෙහි අත්හළ නොහැකි කොටසක් නිසාය.



පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Thursday, March 10, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව-4

මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....

වේලාව රාත්‍රී එකොළහ හමාරට ආසන්නය. බිම් පැලේ කණුවක එල්ලා ඇති ලන්තෑරුමේ දැල්ල සුළඟට ඒ මේ අත පැද්දෙමින් ඔහේ පත්තු වෙයි.


රැහැයියන්ගේ සහ කුඩා කෘමීන්ගේ අනවරත හඬලෑම ද යටපත් කරමින්, වරින් වර සැර අඩු වැඩි කරමින් හමා යන තද සුළං පහර නිසා කන්වල පවා අගුලු වැටී ඇති ගාණය. මේ තද සුළං පහර ඇඟේ වදිනා විට දැනෙන්නේ සීත වාතය පපුවේ පිටපොත්ත පසාරු කරගෙන පපු කුහරය තුළට ඇතුළුව, ඒ ක්ෂණයෙන් මුළු ඇඟම හිරිවට්ටමින් ලේ නහර දිගේ ගත පුරාම ගමන් කරන්නාක් මෙනි. 

තද සුළං පහර ඒ මේ අතට අඹරවමින් හමනා විට, පොල් අතු වහළ ගැලවී යාදෝ කියා ද විටෙක සිතේ. සුළං පහර පොල් අතු වහළේ වැදී හමනා විට එන අඛණ්ඩ "හෝ හෝ" හඬත්, තද සුළං පහර පැළ තුලට නොඑනු පිණිස උඩු පැලේ දෙපස විවෘත අවකාශය ආවරණය වන සේ එල්ලා ඇති පරණ සරම් කඩමාලු සහ ඉටි කවර සුළඟට පැද්දෙන විට එන "සර සර" හඬත් නිසා මේ රැයේ කොහොමටත් නින්දක් නම් අහළ මායිමකටවත් එන්නේ නැත. 

මෙවැනි වේලාවට උඩු පැලේ අතුරා ඇති පැදුරු කඩමාල්ල මත වැතිර, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පෙරවනයෙන් හොඳහැටි ඇඟ වසා ගෙන, කුඹුරට අලි පැමිණ ඇද්දැයි උඩු පැලෙන් බැස පරීක්ෂා  කර බැලිය යුතු මීළඟ අඩහෝරාව එන තෙක් නිවී හැනහිල්ලේ සිටිනු විනා කළ හැකි අන් කාර්යයක් නැත. 

අක්කර හතර හමාරකින් යුත් මේ කුඹුරු යායේ ගොයම දැන් බොහෝ දුරට පීදිලා අවසන්ය. වැපිරූ දා පටන් පරිස්සම් කළ ගොයම ඉතිරි සති කිහිපය තුළ ද පරිස්සම් කර නොගතහොත් මහන්සිය සහ වැය කළ මිල මුදල් සියල්ල වතුරේය. 


හරියටම වේලාව එකොළහයි හතළිස් පහය. අධිබලැති විදුලි පන්දම ගෙන උඩු පැලෙන් අඩක් බිමට බැස, කුඹුරේ හතර මායිම දිගේ විදුලි පන්දම අල්ලමින් අලි වැදී ඇද්දැයි පරීක්ෂා කළ යුතු ඊළඟ අඩහෝරාව එන්නේ රාත්‍රී දොළහටය. ඒ සඳහා තවත් විනාඩි 15ක් ඇත. එහෙත්, පැලේ හාන්සි වී සිටි අනෙක් සගයා අඩහෝරාව සම්පූර්ණ වෙන්නටත් මත්තෙන් අලි ඇවිත්දැයි බලන්නට යමියි කල් වේලා ඇතුවම උඩු පැලෙන් බිමට බැස්සේය. 



බිමට බැස්සේ වෙලාවටය. අඩි 10කට වැඩි මිසක් අඩු යැයි කිව නොහැකි තරමේ උසකින් යුත් සද්දන්ත අලියෙකු විදුලි වැට පෙරළා ගෙන කුඹුරට ඇතුල් වෙලාය. කි.මී හතරක පහක තරම් දුරක් කරා වුව ආලෝකය එල්ල කළ හැකි අධිබලැති විදුලි පන්දම එම සද්දන්තයා වෙත එල්ල කරමින්, "ඔහෙ හිටු" අලියා කියමින් ගැඹුරු ගොරහැඬි හඬින් කෑ ගසන අතරතුර, සැණෙකින් අලි වෙඩිල්ලක් ද පත්තු කිරීමට අපි කටයුතු කළෙමු. 


අලි වෙඩි
එම හඬත් එක්කම බියට පත් අලියා, කන් පට හකුළුවා, කපොල් තලය උස් කර, ක්ෂණිකව අනිත් පැත්ත හැරී කුඹුරෙන් පිටමන් වුනේය. ඇතැම් අලි මෙලෙස විදුලි පන්දම් එල්ල කරමින් කෑ ගසන විට, ආපසු හැරෙනු වෙනුවට විදුලි පන්දම එල්ල කරන දෙසට එක පිම්මේ පැමිණෙයි. මේ නිසා, අලි එලවිල්ල ද එතරම් සුකර කටයුත්තක් නොවේ. 

තවමත් රැය පහන් වීමට පැය හයකට ආසන්න කාලයක් ඉතිරිව ඇති නිසා, නැවත අලි කුඹුරට ඒමට බොහෝ දුරට ඉඩ ඇත. එබැවින්, වරින් වර උඩු පැලෙන් බැස, විදුලි පන්දම එල්ල කර කුඹුරේ හතර කොන සුරක්ෂිත දැයි තහවුරු කරගනිමින් එලි වෙන තෙක්ම නිදිවරන්නට අපට සිදු විය.

මේ දිස්වන්නේ විදුලි වැටේ කණුවක් ද බිඳ දමා, හරක් ඇතුල් වීම වැළැක්වීමට සකස් කර තිබූ අන්දර කටු ඉති සහ කටු කම්බි ගසා අහුරා තිබූ වැට ද කඩාගෙන අලියා කුඹුරට ඇතුල් වූ ස්ථානයයි.



මේ දිස්වන්නේ අලියා විනාඩි කිහිපයට කා දැමූ පැසුණු ගොයම් කුට්ටියයි. 






කෑ ගැසිල්ලේ සහ අලි වෙඩිල්ලේ හඬට ආපසු හැරුණු අලියා කෙසේ හෝ ගොස් ඇත්තේ කකුලක් බිම අතුල්ලමිනි. එක්කෝ විදුලිය නිසා උගේ කකුලක් හිරි වැටුනා විය යුතුය. නැතිනම් අන්දර කට්ටක් හෝ කටු කම්බිය පෑගුනා විය යුතුය.




වගාව රැකගන්නට මිනිසුන් වෙහෙසෙන්නේ ද තම බඩවියත රැකගන්නටය. අලි වගාවන් වෙත කඩා වදින්නේ ද තම බඩ වියත රැකගන්නටය. 

අඳුර වැටුන පසු රජයේ විදුලි වැටත් කෙසේ හෝ පෙරළා ගෙන, මිනිසුන් විසින් පෞද්ගලික්ව තම වගා ඉඩම් වටා සකස් කර ඇති විදුලි වැටවල් ද පෙරළා ගෙන, ඇතැම් විට විදුලිය ද වද්දා ගෙන, කටුකම්බි කකුලේ ඇන ගෙන, ජීවිතය ද අවදානමට ලක් කරමින් වගාවන් වෙත කඩා වදින්නේ විකුණන් කන්නට නොව හුදෙක් කුස පුරව ගන්නට නොවේදැයි සිතෙන විට අලි ගැන ඇති වන්නේ අනුකම්පාවකි. එහෙත්, එසේය කියා බුරුලක් දෙන්නට කෙසේවත් ගොවියන්ට නොහැක. 

අලි තම වගාවන් වෙත වැදුනොත් වෙන විනාශය උන් භුක්ති විඳින ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල වන නිසාත්, උන් හා මුහුණට මුහුණ හමු වුවහොත් ජීවිතය තොර කර ගන්නට සිදු වන නිසාත් මිනිසුන් අලි පැමිනීම වැළැක්වීමට සෑහෙන්න උපක්‍රම සහ සටනක් කරයි. අලින් ද ඒවා නොතකා කෙසේ හෝ වගාවන් වෙත කඩා වැද කුස පුරවා ගන්නට උත්සාහ කරයි.

මේ නිසා විදුලි වැට වැනි මානසික බාධක වෙනුවට ශක්තිමත් භෞතික බාධකයක් ගොඩ නොනැගෙනතාක් අලි මිනිස් අරගලය තවත් බොහෝ කලක් මෙලෙස පවතිනු ඇත. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)