Monday, January 5, 2015

කියවන්න වටින-දෙමළ ළමයින්ගෙ අපූරු සිංහල නිසඳැස්.....

පැවරුණු වැඩ රාජකාරි කටයුතු කිහිපයක් නිසාම පහුගිය සතියෙම කොළඹ ප්‍රදේශයේ ඉන්න ලැබුණෙ නෑ. සඳුදා හිඟුරක්ගොඩට ගියපු ගමන අවසන් වුනේ බ්‍රහස්පතින්දා දෙහිඅත්තකණ්ඩිය, හෙට්ටිපොල, මහියංගනය, නුවර හරහා අන්තිමට කොළඹ ඒමෙන්.

ඒ එන ගමනෙ මහියංගනය- නුවර පාරෙ පිහිටලා තියෙන සුප්‍රසිද්ධ 18 වංගුව වාහන යන්න බැරි තරමටම මීදුමෙන් වැහිලා. ඒත් එදා රෑම අපි කොළඹ ආයුතු නිසාම පාර මැද තීරුව දිගේ සවි කරලා තියෙන දිලිසෙන කට්ටවල (Cat Eyes) ආධාරයෙන් යන්තං 18 වංගුව පහුකර ගත්තා. කොහොම හරි කොළඹට එන කොට සිකුරාදා පාන්දර 2.30 විතර වෙලා. මේ දවස් දෙක තුනේ ගියපු සම්පූර්ණ දුර කි.මී 700කට ආසන්නයි.

මට මතකයි ඉස්සර මේ 18 වංගුව කොහොම ද තිබුනෙ කියලා. කිහිප විටක් රිවර්ස් කර කර තමයි දිග බස් එකක් වුනත් හරවන්න සිද්ධ වුනේ. ඒ දවස්වල පාරත් පටුයි. ඒත් අද ඔය ඒකාධිපතියාය, හොරාය, දූෂිතයාය කියන මහින්ද උන්නැහේම තමයි 18 වංගුවත් පිළිවෙළක් කළේ. මේ දවස්වල මැතිවරණ රස්නෙ වැදිලා, ඇතැම් අයට එතුමා කරපු හොඳ කිසිවක් පේන්නෙ නැති වුනත් අපිට නම් ඒ අතීතය අමතක නෑ. හොඳට හොඳ කියනවා වගේම නරකට දොස් කියන්නත් අපි පැකිළෙන්නෙ නැහැ. හැබැයි අරෑ වංචාකාරයාය-මූ වංචාකාරයාය කියන පක්ෂ-විපක්ෂ බොහෝ දෙනෙක්ගෙම සුදු වතේ ගෑවිලා තියෙන මකන්න බැරි කලු පැල්ලම් ගැනත් අපි හොඳහැටි දන්නවාය. ඒ අපේ රටේ ජරාජීර්ණ දේශපාලනේ හැටිය. කොහොම වුනත් තම තමන්ට අනුව සාපේක්ෂව හොඳයි කියලා හිතන කෙනාට ඡන්දය දීම තමයි අපිට කරන්න තියෙන්නෙ. (මෙය මුදල් නොගෙවා පළ කරන ලද දැන්වීමකි)

කොහොම හරි එහෙම වටවන්දනාවේ ගිහින් ඇවිත් සති අන්තෙ මම සුපුරුදු නවාතැනේ ගතකරන්නෙ නැතිව මගේ මිත්‍රයො කිහිපදෙනෙක්ගෙ නවාතැනට ගියා. ඉන් දෙදෙනෙක්ම රජයේ පාසල් ගුරුවරු. ඔවුන් බස්නාහිර පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල දෙවන බස උගන්වන්න මෑතකදී බඳව ගත්ත උපාධිධාරීන්ගෙන් දෙදෙනෙක්. පහුගිය මාසෙ රට පුරා පාසල්වල වාර අවසාන ඇගයීම් විභාග තියලා නිවාඩු දීලා-ඒ නිවාඩුවත් ගෙවෙන්න ඔන්න මෙන්නයි කියලා මතක් වුනේ එහෙට ගියාම තමයි.  ඉස්සර නම් ඉතින් අපිත් පාසල් නිවාඩුව කවදද එන්නෙ කියලා ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

ඔවුන්ගෙ නවාතැනට යනකොට ඔවුන් ළමයින්ගෙ උත්තර පත්‍රවල හරි වැරැදි ලකුණු කරනවා. දෙමළ ළමයින්ට වුනත් ලස්සනට කවි ලියන්න පුලුවන් කියලා මං එවෙලේ තමයි දැන ගත්තේ. සාමාන්‍යයෙන්  කවි නිසඳැස් ලියන කොට සිංහල භාෂාවේ කර්තෘ-කර්ම-ක්‍රියා පිළිවෙළ (SOV රටාව) එහෙට මෙහෙට වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දෙමළ භාෂාවේ තියෙන්නෙත් මේ SOV රටාවම තමයි. ඉංග්‍රීසි භාෂාවේ නම් යෙදෙන්නෙ කර්තෘ-ක්‍රියා-කර්ම කියන 'SVO' රටාව. 





'කීකරුය හොඳ ළමයා' 
පැණි බොයි මල් බඹරා' 
'බැලීමට ගියෙමු අපි ප්‍රදර්ශනය'
'කඩයි මල් නංගී'
...................................
...................................

මේ විදිහට දෙවන බස විදිහට සිංහල ඉගෙන ගන්න මේ ළමයින් හරි අමාරුවෙන් ගැටගහපු මේ වාක්‍ය ටික ඇතුළෙ අමුතුම ලස්සනක් මට පේනවා. 

සාමාන්‍යයෙන් දෙමළ හෝඩියෙ ක/ග/හ යන අකුරු දෙකටම පාවිච්චි කරන්නෙ 'ක' අකුර. ඒක නිසාම ද කොහෙ ද සිංහලෙන් මගේ/ අම්මාගේ/සිංහල ආදී වචන මෙයාලා ලියල තියෙන්නෙ මකේ/අම්මාකේ/සිංකල යනාදී වශයෙන්.

කොහොම වුනත් මෙහෙම හරි දෙමළ ළමයි සිංහල ඉගෙන ගන්න එකයි සිංහල ළමයි දෙමළ ඉගෙන ගන්න එකයි සෑහෙන්න වටිනවා. දැනට ක්‍රියාත්මක රජයේ ත්‍රිභාෂා වැඩපිළිවෙළත් අගය කළ යුතුමයි. 

මගේ නම් එදා ඉඳන් මතය මිනිසුන්ට ඕන රටවල් කෑලිවලට බෙදා ගන්න නෙමෙයි. ඒවා ඕන කරලා තියෙන්නෙ බල තණ්හාවෙන් පෙළෙන දේශපාලනඥයන්ට. තමන්ගෙ බලය තර කරගන්න. 

බලය විමධ්‍යගත කරනවට වැඩිය පරිපාලනයයි විමධ්‍යගත වෙන්න ඕන. තමන්ගෙ භාෂාවෙන් වැඩකරගන්න හැකියාව මිනිසුන්ට තියෙන්න ඕන. යටිතල පහසුකම් ටික සංවර්ධනය වෙන්න ඕන. එහෙම වුනාම තමයි හැම දේටම කොළඹ එන්නැතුව තම තමන්ගෙ පළාතෙ ඉඳන්ම පහසුවෙන් ඒ වැඩ ටික කරගන්න පුලුවන් වෙන්නෙ. 

දෙමළ මිනිසුන්ටය කියලා රටක් බෙදා ගන්න තරම් ප්‍රශ්නයක් මේ රටේ නැහැ. බෙදුම්වාදය ඕන කරලා තියෙන්නෙ විවිධ කල්ලි/කණ්ඩායම්වලට. නිජබිම් සංකල්පෙයි-අර සංකල්පෙයි-මේ සංකල්පෙයි කියලා එක එක ජාතියට ඕන හැටියට රටේ කෑලි/පාලන ඒකක දෙන්න උනොත් හොඳට හිටීවි. වැදි ජනතාවට තමයි එහෙනම් පළමුවෙන්ම කෑල්ලක් කඩලා දෙන්න ඕන. 

දෙමළ වේවා මුස්ලිම් වේවා සිංහල වේවා පොදුවේ හැමෝටම තියෙන්නෙ එකම වූ අරගලයක්. ඒ වෙන මොනවත් නෙමෙයි ජීවත් වීමේ අරගලය. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අරගලය. හැබැයි ඒව පැත්තකින් තියලා බෙදුම්වාදයයි/ජාතිවාදයයි කරපින්නා ගත්තු විවිධ කල්ලි කණ්ඩායම්වල උසිගැන්වීම්වලට අහුවෙච්ච මිනිස්සු අතීතයේ සමහර අවස්ථාවලදි හොඳටම වරද්ද ගත්තා. ඒවයේ වන්දි ගෙවන්න වුනේ ශ්‍රී ලාංකික අපි හැමෝටම. හැබැයි අතීතයක් තියෙන්නෙ අතීතය මගින් පාඩම් ඉගෙන ගන්න. ඒ වර්තමානය තුළින් ඉදිරියට රට සමාජය ගෙනියන්න. 

කොළඹ කැම්පස් එකේ සමාජ විද්‍යා අංශෙ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහත්තයගෙ මට මතක හැටියට ''ජාතිය හා ජාතිකත්වය'' කියන පොතේ තිබුණා ''කිසිදාක ජාතිවාද දෙකක් එකිනෙකට සම්මුඛ කරන්න බෑ'' කියලා. ඒකෙන් ඇවිලෙනවා මිසක් නිවීමක් වෙන්නෑ කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. සිංහල-මුස්ලිම්-දෙමළ තුන්ගොල්ල ළඟම ජාතිවාදය තියෙනකම් එක පැත්තකින්වත් ඒක අහෝසි වෙන්නෙ නැහැ. සියලුම ජාතිවාදී-ආගම්වාදී පක්ෂ කරන්නෙත් ඒවා පෝෂණය කරන එක. 

හැබැයි ලංකාවේ මෑතකාලීනව සිදු වෙච්ච හැම ජාතිවාදී කලහෝලාහලයකට ඒකට හවුල් වෙච්ච දෙපාර්ශවයම වගකිව යුතුයි. මෑත කාලීනම බේරුවල සිදු වීම වුනත් එහෙමයි. ඒ අත්දැකීම මං පෞද්ගලිකව දන්නවා. මුළු ලෝකෙටම ගියේ සිංහල මිනිස්සුන්ට විතරක් චෝදනාව දාලා. මානව දයාව වැක්කෙරෙන අපේ රටේ සිවිල් සංවිධානත් ඒකපාර්ශවිකව තමයි කටයුතු කළේ. ඒකත් හරියට අපේ ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන දෙමළ ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පම්පෝරි ගහන ගමන්, උතුරෙ අපේම සහෝදර ධීවර ජනතාවගෙ බඩ වියත රැකගන්න තියෙන මාළු සම්පත තමිල්නාඩු ධීවරයෝ වැට පැනලා ඇවිත් ඩැහැ ගන්න එක ගැන මුනිවත රකිනවා වගේ. දෙමළ ජනතාවට රටේ ඕනම තැනක පදිංචි වෙන්න, ව්‍යාපාර කරන්න නිදහස හිමි වෙලා තියෙද්දි, සිංහල-මුස්ලිම් ජනතාවට උතුරෙ පදිංචි වෙන්න-ව්‍යාපාර කරන්න යනකොට  සිංහලීකරණයයි-අරකරණයයි මේ කරණයයි කියලා මානව දයාව-සාධාරණත්වය එළිපිට පෙන්නනවා වගේ. ඒ දෙබිඩි ගතිය නම් අපි හෙළා දැකිය යුතුමයි.