Thursday, October 2, 2014

ආසනයේ කතාව

මේ දිනවල හතර අතින් ඇසෙන්නේ මීට නොබෝ දිනකට පෙර අවසන්වූ ඌවේ මැතිවරණය පිළිබඳ පශ්චාත් මැතිවරණ විග්‍රහයන් සහ විවිධ දේශපාලනික කතාවන්ය. එමනිසා මෙය ද තවත් එක් දෙශපාලන කතාවක් ලෙස ඔබ සිතනු නොඅනුමානය. නමුත් මේ කියන්නට යන්නේ එවැනි ආකාරයේ දේශපාලන කතාවක් ගැන නම් නොවේ. අප එදිනෙදා යන එන බස්රථවල ඇති මගී ආසනයේ අර්බුදය ගැනයි. 

බස්රථයෙන් ගමන් කිරීමේදී, මගී අසුනක වාඩිවී පහසුවෙන් යාමට අප සැවොම කැමතිය. බස්රථයට ගොඩවූ විගස කොහේ හෝ හිස් අසුනක් තිබේදැයි අප විපරම් කර බලන්නේ ඒ නිසාය. 

බස්රථයෙන් ගමන් කිරීමේදී , හිඳගෙන යාමට මෙතරම් මිනිසුන් කැමැත්තක් දක්වන්නේ බස්රථයේ සිටගෙන සිටිනා විට ලැබෙන්නා වූ ශරීර සම්බාහනය දැරිය නොහැකි තරම් නිසා විය යුතු යැයි සිතමි.


බස් රථය තුළදී  ලැබෙන්නා වූ මෙම සම්බාහන පැකේජය සඳහා සම්පූර්ණ ශරීරය විශේෂයෙන් ඇඟිලිතුඩුවේ සිට උරහිස දක්වා කොටස දිග ඇදීම (Stretching), මගීන් එහාමෙහා යනවිට ලැබෙන්නා වූ පාද සම්බාහනය (Foot Massage), පැටවිය නොහැකි තරමේ සෙනගක් පටවා ගැනීමෙන් ඇතුළත උෂ්ණත්වය වැඩිවීම නිසා ලැබෙන ස්ටීම් බාත් (Steam Bath), අධික තෙරපුම නිසා මස්පිඬුවලට ලැබෙන අමාසුවය ආදිය මේ සම්බාහන පැකේජයට ඇතුළත්ය.

ඊට අමතරව බස්රථය තුළදී, කාන්තාවන් සඳහා විශේෂයෙන් ලැබෙන සම්බාහන ද නැතුවා නොවේ.  

කෙසේ වුව ද, මේ එකදු සම්බාහනයක් හෝ ලැබීමට අප කැමති නැත. එබැවින් සිටගෙන සිටිය ද, නිරායාසයෙන්ම අපේ දෑස් සොයන්නේ කුමන හෝ අසුනක් හිස්ව තිබේද කියාය. එලෙස අසුනක් හිස්ව ඇත් නම් වහා එහි වාඩි වීම අපගේ සිරිතයි. මගී අසුනේ සුන්දර කතාව ඇරඹෙන්නේ මෙලෙස වාඩි වූ මොහොතේ පටන් ය.

ආසනයේ සිටින්නේ තමන් පමණක් නම් මෙහිදී කිසිදු ප‍්‍රශ්නයක් උද්ගත වන්නේ නැත. එසේම, ආසනයේ වාඩිවන අනෙක් තැනැත්තා ආසනයේ ඉඩට සරිළන ප‍්‍රමාණයේ සාමාන්‍ය සිරුරක් හිමි අයෙකු නම්, එවිට ද ප‍්‍රශ්නයක් නැත. නමුත් ප‍්‍රශ්නය උද්ගත වන්නේ අනෙකාගේ ශරීර ප‍්‍රමාණය මගී අසුනට නොසරිළන විටය. එවැනි පුද්ගලයන්ට ද එහි වරදක් පැටවිය නොහැකි නමුත් තමන් අධික ලෙස තරබාරු නම්  ව්‍යායාම ටිකක් හෝ කර ඇඟ අඩුකරගන්නා එක කොයි එකටත් හොඳය.

එකවරම මෙවැනි ලිපියක් ලිවීමට මට සිත් වූයේ මන්දැයි ඔබ සිතනු ඇත. මෙහි පසුබිම් කතාව වැඩි ඈතක නොව අද දිනයේම බස් රථයක් තුළදී මාහට අත්විඳීමට සිදු වූ සිද්ධියකි.

රැකියා ස්ථානය වෙත යාම සඳහා සාතිශය බහුතරයක් සේම මා ද යොදා ගන්නේ පොදු ප‍්‍රවාහන බස් රථය යි. එමනිසා අද දිනයේ ද  සුපුරුදු පරිදි උදෑසන වැඩට යාම සඳහා මම බස් රථයට ගොඩ වුනෙමි. හිඳ ගැනීම සඳහා හිස් අසුනක් නොවූයෙන්, මඳ දුරක් යනතෙක්ම හිටගෙන යාමට මට සිදු විය. උදෑසන කාර්යාල වේලාවෙහි බස්රථවල තිබෙන්නා වූ තදබදය ගැන කිසිවෙකුටත්  අමුතුවෙන් කිවයුතු නැත. 

බස් නැවතුම් කිහිපයකදීම මගීන් දෙතුන් දෙනා බැගින් සිය අසුන්වලින් බැස ගිය ද, ඒ සමීපයෙහි සිටියවුන් එම අසුන්වල වාඩි වූයෙන් මට තවදුරටත් සිටගෙන යාමට සිදු විය. මා ගමන් කළ යුතු සම්පූර්ණ දුරින් හරි අඩක් පමණ යන තෙක්ම, මට මෙලෙස සිටගෙන ගමන් කිරීමට සිදු වූ නමුත් මාගේ වාසනාවට මා අසළ අසුනෙහි හිඳගෙන සිටි කාන්තාව බස් රථයෙන් බැසගිය බැවින්, එම අසුනේ වාඩි වීමේ අවස්ථාව මට උදාවිය.

මෙම අසුනේ ජනේලය පැත්තට වන්නට සිටියේ විසිවයස් පෙනුමැති සාමාන්‍ය සිරුරකින් හෙබි යුවතියකි. අප දෙදෙනා කිසිදු ගැටලුවකින් තොරව පහසුවෙන් ගමන් කළෙමු. බැසිය යුතු ස්ථානයට ළං වූ පසු, ඇය බස් රථයෙන් බැසගියෙන් මා එම අසුනේ ජනේලය පැත්තට වන්නට හිඳගතිමි.

ඉන්පසුව මා සමග අසුන් ගත්තේ තරමක් තරබාරු සිරුරකින් හෙබි අයෙකි. ඔහුට ආසනයේ ඉඩ ප‍්‍රමාණවත් නොවන වග මට සැණෙකින් පසක් විය. ඔහුට අවශ්‍ය ඉඩ සකසා ගැනීම සඳහා ක‍්‍රමයෙන් මා ජනේලය දෙසට තෙරපන්නට ඔහු වෙර දැරීය. අසුනේ කෙළවරටම වන්නට වාඩි වී, මා ඔහුට හැකි උපරිම ඉඩ ලබා දුන් නමුත් ඔහුට එය ද ප‍්‍රමාණවත් නොවීය. ඔහු මා දෙස මඳක් නුරුස්නා අයුරින් බලනු මට පෙනුණි. නමුදු මට කළ හැකි කිසිවක් නැත. 

එලෙස දෙතුන් වරක් මා දෙස බලා ඔහු සිය හඬ අවදි කළේය. 

''එහාට යන්නකො පොඩ්ඩක්........'' 

''ඉන්න පුළුවන් උපරිම කෙළවර තමයි ඉන්නෙ... ඔයාටම පේනවනෙ...'' මම පැවසුවෙමි. 

ඊට පෙරළා ඔහු කුමක් හෝ කියනු ඇතැයි මා සිතුව ද, ඔහු කිසිවක් නොකියා කරබාගෙන සිටියේය. 

මා කල්පනා කළේ ජනේලය අයිනට වන්නට ඔහු සිටියදී , මා අනෙක් පස සිටියේ නම් සිදු වනු ඇත්තේ කුමක් ද කියාය. ඔහු හොඳහැටි ඉඩ රැගෙන වාඩි වනු ඇත. මාහට ඉතුරු වනු ඇත්තේ ශරීරය නියෝජනය කිරීමට පමණක් සෑහෙන කුඩා ඉඩකි. 



බස්රථවල ගමන් කරනා විට මාගේ එක්තරා පුරුද්දක් ඇත. එනම් පිරිමියෙකු වාඩි වී සිටින ආසනයකට වඩා, කාන්තාවක වාඩි වී සිටින අසුනක වාඩි වීමට වැඩි ප්‍රියතාවක් දැක්වීමයි. ඊට හේතුව අන් කිසිවක් නොව කාන්තාවන් සමග මගී අසුනේ හිඳගෙන යාමට ඇති පහසුවයි. එනම් කාන්තාවන්- විශේෂයෙන් තරුණ යුවතියන් අසුන්ගන්නේ ''V'' අකුර සේ කකුල් පළල් කරගෙන නොව ''I'' අකුර සේ කකුල් ළං කරගෙනය. අනෙක් කරුණ නම් ඔවුන්ගේ උරහිස් ද පිරිමින්ගේ මෙන් එතරම් පළල් නොවීමයි. එය ද කාන්තාවන් සමග හිඳගෙන යාමට තවත් හේතුවකි. 

මගී අසුන්වල හිඳගෙන යාමේදී, ඇතැම් අයගේ චර්යාව නම් එතරම් සතුටුදායක නැති බව ඔබ ද පිළිගනු ඇත. ඇතැමෙක් අසුනෙහි වාඩි වන්නේ, කකුල් දෙක ළං කර ගැනීමට අපහසු කුමන හෝ ආබාධයකින් පෙළෙනවුන් ලෙසය. ජනේලය අසළ අසුනේ වාඞී වී කකුල් දෙක පළල් කර ගත්විට, මෙපිට වාඩි වී සිටින්නාගේ පස්ස පමණක් අසුනෙහි තබා, කකුල් දෙක තබා ගැනීමට සිදු වන්නේ බස්රථය මැද මගී ගමන් තීරුවේය.  

මෙවැනි සිද්ධියක් වරක් මාගේ මිතුරෙකුට වූ විට ඔහු එම පුද්ගලයාට මතක හිටිනා පාඩමක් උගන්වා ඇත. 

මගේ මිතුරා දිනක් උදෑසන තම නිවසේ සිට කාර්‍යාලයට බස්රථයෙන් පැමිණෙමින් සිට ඇත. හිස්ව තිබූ අසුනක ඔහු හිඳ ගෙන ඇති අතර අසුනේ ජනේලය පැත්තට වන්නට අසුන්ගෙන සිට ඇත්තේ වයස විසිහතක පමණ  තරුණයෙකි. මොහු මා මුලින් කියූ කකුල් දෙක ළං කර ගැනීමට අපහසු ගණයේ තැනැත්තෙකි. 

මගේ මිතුරා ඉතාමත් සුහදව ''මඳක් කකුල එහාට ගන්නැයි'' ඔහුගෙන් ඉල්ලා ඇත. ඔහු එය නෑසුනා සේ තමා සිටි ඉරියව්වෙන්ම අසුනේ වාඩි වී සිට ඇත. මෙලෙස මඳ දුරක් යනවිට, ඉවසනු බැරිම තැන යහලුවා තම ශරීරවෙර යොදා අසුනේ ඉඩකඩ සකසා ගෙන තිබේ.

මීට අනෙක් පස සිටි තැනැත්තා බෙහෙවින් කිපී, ''ඇයි තමුසෙට මොකද...? '' යනුවෙන් පවසමින් මගේ මිතුරාගේ මුහුනට පහරක් එල්ලකර ඇත.

මොහු නොදන්නා මගේ මිතුරාගේ එක් චරිත ලක්‍ෂණයක් ඇත. වැරැද්දක් සම්බන්ධයෙන් ඔහු එකවරකට වඩා නොඉවසීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයාට උදේ පාන්දරම බඩකටපුරා ගුටි පූජාවකින් සංග‍්‍රහ කිරීමට මිතුරා කටයුතු කර ඇත. උදෑසන රාජකාරියට යාමට හොඳින් හැඳ පැලඳ සිටි මිතුරා, එලෙස පෙරළා පහර දෙනු ඇතැයි ඔහු සිහිනෙකින් හෝ නොසිතන්නට ඇත. 



මෙහි ඇති සිත්ගන්නාසුළු දෙය නම් ගුටි පූජාව පටන් ගන්නා මොහොතේ ගුටිපූජා අපේක්‍ෂකයා සිට ඇත්තේ ජනේලය අසළ අසුනේ වුවත්, ගුටි පූජාවෙන් පසු අපේ මිතුරු ගුටි දානපතියා ජනේලය පැත්තේය. 

සිදුව ඇත්තේ කිසිදු ප්‍රාතිහාර්යයක් නොව මගේ යහළුවා ගුටිපූජාව සිද්ද කර ඇත්තේ අනෙකාට කිසිදු අවස්ථාවක් නොදීය. එනම් ප්‍රතිවාදියාගෙන් පළමු පහර ලැබනවාත් සමගම, ක්‍ෂණිකව අසුනෙන් නැගිට ජනේලය පැත්තෙහි සිටි තැනැත්තාට නොනවත්වා පහරදීගෙන යාමය. ඔහු එයින් බේරීම සඳහා ක‍්‍රමයෙන් ජනේලය පැත්තේ සිට මෙහා පැත්තට සංක‍්‍රමණය වී ඇත. බඩකටපුරා මදි නොකියන්නට කදිම ගුටි පූජාවකින් සංග‍්‍රහ ලැබූ ඔහු, ශුද්ධ සිංහලෙන් අමතමින් බස් රථයෙන් බැස ගොස් ඇත.

මෙවැනි සිදු වීම් බස්රථයේ දෛනිකව ගමන් කරනා අයට එතරම් නුහුරු දේවල් නම් නොවේ. කෙසේ වුවද , බස් රථයේ ගමන් කරනා විට අනෙක් මිනිසුන් ගැන ද අප සිතන්නේ නම් මෙවැනි ආකාරයේ කිසිදු ගැටලුවක් අපට ඇති වන්නේ නැත. 


No comments:

Post a Comment