Saturday, March 5, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3

අලින්ට වැට...

රටේ සෙසු ප්‍රදේශයන්හි ගොවිතැන්බත් කෙරුවාව මෙන් නොව මෙම ප්‍රදේශයෙහි ගොවිතැන් කෙරුවාව ගොවියන්ට අතිරේක වැයක් දැරිය යුතු කාර්යයකි. එකී වැය හුදෙක් ශ්‍රමය වැගිරීමට පමණක් සීමා වූවක් නොව, මිල මුදල් වැය කිරීමට ද අදාළය. හරකුන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීම සඳහා කටුකම්බි ඇද, වගා බිම් වටා වැටවල් සකස් කිරීමට සිදු වන බව පසුගිය ලිපියෙන් මම සඳහන් කෙළෙමි. එපමණක් නොව හරකුන් ඉලක්ක කර සකසන එවැනි වැටවල්, වගාබිම් කරා කඩා වදින අලින්ට හුදු නූල්පොටවල් තරම් දෙයක් විනා අන් යමක් නොවන බව ද එහිලා තවදුරටත් සඳහන් කෙරුණි. 

රැය පහන් වන තුරු සවිමත් ගස්වල සැකසූ උඩුපැලවල් මතට වී, අලි වගාබිම් වෙත වදින විට කෑ කෝ ගසමින්, අධිබලැති විදුලි පහන් එළි එල්ල කරමින්, අලි වෙඩි දමමින් අලි එළවීම එතරම් පහසු කාරියක් නොවේ. ඇතැම් විට යටිගිරිය කැඩෙන තරම් කෑ ගැසුව ද, අලි වෙඩි දැම්ම ද, මිනිස් හඬට සහ ඒ අලි වෙඩිවලට බිය නැති අලින් ද සිටිති. එවැනි අලි වගාවෙන් පිටව යන්නේ තම සිතැඟි පරිදි ඇති තරම් බඩ කට පිරෙන්නට කා, විශාල හානියක් වගාවට සිදුකරමිනි. 

මේ නිසා, කුඹුරු වේවා වෙනත් ගොඩ වගාවක් වේවා කුමන වගාවක් කළ ද, තම වගාබිම් වටා විදුලිය දැමීමට මෙම ප්‍රදේශයෙහි ගොවියෝ බොහෝ විට කටයුතු කරති. රක්ෂිතය සහ වගාබිම් වෙන් කරමින්, රජයෙන් විදුලි වැටක් සකස් කර තිබුණ ද, හැමදාම පාහේ රක්ෂිතයේ සිට අලි වගාබිම් කරා ඇතුල් වන්නේ එම විදුලි වැට කඩාගෙනය. එම විදුලි වැට මතට කැලෑවෙන් සාමාන්‍ය ගසක් හෝ විශාල අත්තක් කඩාගෙන විත් දමා, ඒ හරහා මාරු වීමට තරම් අලි බුද්ධිමත්ය. 

එලෙස විදුලි වැට කඩාගෙන පැමිණෙන අලින්ගෙන් තම වගාබිම්වලට වන හානි වළක්වා ගැනීම සඳහා ගොවියන් ද, තම ශ්‍රමයෙන් සහ ධනයෙන් වගා බිම් වටා සවිමත් කණු සිටුවා කම්බි රැහැන් ඇද විදුලි වැටවල් සකස් කරති. ඒ සඳහා විදුලිය සපයා ගැනෙන්නේ සූර්යපැනල් ආධාරයෙනි. 

අද මුළු දවස පුරාම සිදු කෙරුණේ මෙලෙස විදුලි වැට සකස් කරන එකය. අක්කර 4.5කින් යුත් මේ කුඹුරු යායේ ගොයම දැන් දැන් පීදෙන්නට පටන් ගෙන ඇති නිසා, විදුලි වැට සකස් කිරීමේ කාර්යය දිනකින් වුව පස්සට දැමිය හැකි කාර්යයක් නොවේ. එවැනි දිනක පමාව බොහෝ සෙයින් පසුතැවිල්ලට හේතු විය හැකිය. දැනටමත් මේ කෙතට හතර වතාවක් පමණ අලි පැමිණ සුළු සුළු හානි සිදු කර තිබේ. ඒ ගොයම පීදෙන්නට පෙරාතුවය. 


මේ එලෙස කුරු අලියෙකු පැමිණි අවස්ථාවකි.
බොහෝ සෙයින් අලි සෙල්ලම පටන් ගන්නේ ගොයම පීදුණු පසුවය. ඒ සුළඟට මුසුව හමා යන කිරිවදින ගොයමේ පුසුඹ උන්ට දැනෙන නිසා විය යුතුය. කොහොමටත්, කිරි රහට හැපෙන පීදෙන ගොයම උන්ට අමෘතය වන් අහරක් බව අමුතුවෙන් නොකිව මනාය. 



අක්කර පහකට ආසන්න මේ කෙත් බිම වටා යකඩ ඉන්නෙන් වළවල් හාරා, ඇලව හිටින සේ කණු සිටුවීමට කටයුතු කෙරුණි. කම්බි ඇදීමේ කාර්යය පොළොවට විදුලිය කාන්දු නොවන සේ පරිස්සමින් සිදු කළ යුතු කාර්යයකි. ඒ අනුව, කණුවෙහි ප්ලාස්ටික් බොතල් හෝ ප්ලාස්ටික් බට කෑලි ගසා, ඒ හරහා කම්බිය ඇදීම සිදු කෙරුණි. 



මෙලෙස කම්බි ඇද විදුලි වැට සකස් කර, විදුලිය දැමීමෙන් පමණක් අලි ඇතුල් වීමේ අවදානම පහවන්නේ නැත. ඒ අනුව, අවට වටපිටාවේ අලින්ට කඩාගෙනවිත් විදුලි වැට මතට දැමිය හැකි තරමේ ගස් කප්පාදු කර, කප්පාදු කළ අතු ඉවත් කිරීම ද අනිවාර්යයෙන් කළ යුතුය. 

මේ කෙත්යාය වටා සවිකර ඇති විදුලි වැටට අවශ්‍ය විදුලිය සැපයෙන්නේ ගස මත සවිකර ඇති මේ සූර්ය පැනලයෙනි. 



ඉන් ජනිත වන විදුලිය ප්‍රමාණවත් ඇම්පියර් ගණනින් යුත් විදුලිකෝෂයකට ආරෝපණය කළ යුතුය. දවල් දවසේ එලෙස ආරෝපිත බැටරිය මගින් රැය පහන් වන තුරු කම්බි වැටට විදුලිය සැපයේ. ඒ සඳහා පරිපථයක් සවි කර ඇත. 

පරිපථයෙන් ආවරණය කළ හැකි භූමි ප්‍රමාණය සහ ධාරිතාව මත සාමාන්‍යයෙන් මෙවැනි වගා ආරක්ෂක පරිපථවල දැන් පවත්නා වෙළඳපොළ මිල  රුපියල් 6,000 සිට 11,000 දක්වා අතර පවතී. මේ සියල්ල මේ ප්‍රදේශයෙහි ගොවියන්ට තම අතින් දැරීමට සිදු වන වියදම්ය. ඇඟපත වෙහෙසා මහපොළොවත් එක්ක හැප්පෙමින් හෙළන දහඩිය කඳුළුවලට අමතරව වැය කළ යුතු මිලමුදල්ය.


මෙලෙස විදුලිය දැමූ විට අලි වගාවන් වෙත පැමිණීමේ යම් පාලනයක් සිදු වුණ ද, අලි උවදුර ඉන් සම්පූර්ණයෙන්ම පහ නොවේ. මෙහි මුලින් කී පරිදි, විදුලියට මට්ටු නොවී, විදුලි වැට ද කඩා ගෙන වගාබිම්වලට ඇතුල් වන අලින් ද සිටින නිසා, අස්වැන්න කපා ගෙට ගන්නා තෙක් මෙහි ගොවිතැන් බත් කරන ගොවියන්ට හිතට නිවනක් නැත්තේ ඒ නිසාය. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

No comments:

Post a Comment