Tuesday, April 19, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9

මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....

ගෝලාකාරව හාත්පසට විහිදි මහා අහස් ගැබ පලින් පල සුදු පුළුන් කැටිති විසුළ නිල් වියනක් මෙනි. අතොරක් නැතිව පතිත වන සැඩ හිරු රැස් මහපොළොව සිප ගනිමින්, පරිසරය ගිනියම් කරමින් ඇත. දැඩි අව්රශ්මිය උහුළනු බැරිව ගතේ සෙවනැල්ල පවා දෙපා යට සැඟව ඇති මොහොතකි මේ. වරින් වර හමන සුළං පහර, දහඩියෙන් තෙතබරිත ඇඟේ දැවටී හමන විට දැනෙන්නේ පුදුමාකාර සනීපයකි.  

අක්කර හතරහමාරකින් යුත් මේ කුඹුරු යායෙහි ගොයම් කපන්නට ආරම්භ කර, දැන් පැය පහකට ආසන්නය. මෙලෙස කැපෙන්නේ තෙමසකට අධික කාලයක් පුරා අව්-වැසි-දිවා-රෑ නොතකා, ඇට-ලේ-මස්-මිදුලු පුපුරු ගහනා තෙක් හෙළන ලද දහඩිය කඳුළුවල ඵලයයි. 

උසැති කට්ට සහිත රෝදවලින් සහ අඩි 14ක් පමණ දිගැති දැති ඇන්දකින් යුත් මේ ගොයම් කපන මැෂිම, ගොයම් ගස් එක පෙළට ගිලගනිමින්, කෙමෙන් කුඹුර පුරා ගමන් කරමින් ඇත. දියසීරාව රැඳි එරෙනසුළු තැන්වලින් සහ නියරවල් මතින් ගමන් කරන විට, යන්ත්‍රයේ හඬ තීව්‍ර වෙමින්, කළු දුම්රොටු ඉහළට නගියි. ඒවා සැණෙකින් තුනී වෙමින්, හිස් අහසේ අතුරුදහන් වී යයි. 

මීට සතියකට පමණ පෙර, අතරින් පතර ශේෂ වී තිබූ කොළපැහැ ගොයම් පත් දැන් මුළුමණින්ම පාහේ වියළී ගොස්, බොරපැහැ ගැහී ඇත. ඈත කුඹුරු යායක ගොයම් කපන මැෂිමක හඬ ද විටින් විට සුළං පහරට හසුව උස්පහත්ව ඇසේ. 

මේ කුඹුරු බිමෙහි කැපීමට තවත් ඉතිරිව ඇත්තේ කුඩා ගොයම් කුට්ටියක්ය. එයට තවත් විනාඩි පහළොවක් පමණ ගත වෙනු ඇත. උදෑසන වන තෙක්ම සුළඟට ළෙළදෙමින් ඒ මේ අත පැද්දෙමින් තිබූ කෙත දැන් දිස්වන්නේ මහා නියංසායකට හසුව වියළී ගිය තණ පිටියක් සේය. 


   


ගොයම කැපී, පෑගී, වී ටික පමණක් ඉතුරු වන නවීන යන්ත්‍ර සූත්‍ර නොතිබූ යුගයේ හැමතැනම පාහේ ගොයම් කැපුනේ මිනිසුන් යොදවා දෑකැත්තෙනි. නමුත්, දැන් එලෙස කැපෙන්නේ මැෂින් දැමීමට නොහැකි තරමට දැඩි සේ එරෙනසුළු කුඹුරු බිමක සහ මැෂින් යොදා කැප්පවීමට තරම් ලොකු වපසරියක් නැති කුඹුරු බිමක පමණි. 

මැෂිමෙන් ගොයම් කපන විට, මිනිසුන් යොදා කුලියට කපනවාට වඩා කාර්යක්ෂම මෙන්ම පිරිවැය ද අඩුය.   

මෙලෙස අද අස්වනු නෙළන මේ කුඹුරු බිමෙහි මඩවැඩ කර, වී වැපුරුණේ මීට තෙමසකට පමණ පෙරය. ගිනි ගහන අව්වට මැදිව මඩවැඩ කෙරෙන විට, ඇතැම් තැන්වල අත්ට්‍රැක්ටරයේ එන්ජිම යටවෙන මට්ටමට එරෙන විට, අත්ට්‍රැක්ටරය හැසිරවීම යනු උරපත්තේ පටන් මුළු ඇඟම වෙව්ලුම් කවන- ගතේ හයියත් මදි වන කාර්යයකි. 

කලවා තෙක් එරී, ඇඟපුරා මඩ නාගනිමින්, දැති රෝදවල තදින් බැඳී ඇති මඩ තට්ටු අස්කිරීම, අතැඟිලි තුවාල වනසුළු හා අතේ නිය පවා ගැලවී යන සුළු ඉතා දුෂ්කර කාර්යයකි. එය ගතේ ශක්තියත්, හිතේ වීර්යයත් අන්තිම අංශුවට හිඳෙනසුළු මොහොතකි.

වී වැපිරීමට පෙර ඇළවල් කපා, පෝරු ලෑලි ඇද- වළගොඩැලි නැති කිරීම ද ඉතා වෙහෙසකර කාර්යයකි. ඉහළ අහසේ සිට ගිනියම බෙදන හිරුගේ අව්රශ්මියෙන් දැඩිව රත් වූ වාතයට මැදිව වැඩ කරනු මදිවට. හිරුගේ ප්‍රතිබිම්බය කුඩා දිය කඩිති පිරි මඩට වැටී, එහි කිරණ ද පෙරළා ඇසට පරාවර්තනය වන විට ඇඟ පිච්චෙන්නේ උඩින් සහ යටින් ගින්දර දමා මැද කරවන ආප්පයක් ගාණටය.  

                             

එතැන් පටන්, උගුර බැරැණ්ඩි වනතෙක් කෑකෝ ගසමින්, පැල වී කන්නට දිවා කාලයට එන කුරුළු රංචු සහ මොනරුන් එළවීම ද සුකර කටයුත්තක් නොවේ. සාමාන්‍යයෙන් වි ඇට අහුළා කන්නට කුඹුරට පාත්වන කුරුළු රංචුවක සාමාජිකයන් දහසක් පමණ සිටී. එකා වී ඇටය ගණනේ කෑව ද, එය ප්‍රමාණාත්මකව කොතරම් ද? 

ලීටර් 16 ටැංකියක් කරේ එල්ලා ගෙන, තනි අතින් හැඬලය උස් පහත් කරමින්, අක්කර හතර හමාරක් පුරා වල්නාශක තෙල් ගැසීම ද නුපුරුදු අයෙකුට නම්, හත්මාසයක් එක තැන සිටිමින් අතේ-තුනටියේ සහ කොන්දේ අමාරුවට බෙහෙත් කිරීමට සිදු වන කාර්යයකි. 




රෑ පුරා නොකඩවා නිදිවරමින්, අලින්ගෙන් කෙත පරිස්සම් කරගැනීම සඳහා කරන ලද අරගලය ද සුළුපටු නැත.

එලෙස අව්-වැසි-දිවා-රෑ නොතකා, විවිධ දුක්කම්කටොලු විඳිමින්, තම ඇට මස් මිදුලු පුපුරු ගහනා තෙක් වැඩකරමින්, අලි එක්ක හැප්පෙමින් පරිස්සම් කළ කුඹුරු යාය කෙමෙන් කහපැහැ ගනිමින්, සුළඟට ළෙළදෙමින් විසිතුරු මවන විට ගොවියන්ට දැනෙන සතුට අපමණය. 
   


නමුත් මෙලෙස හෙළන සියලු ශ්‍රමය සහ නිෂ්පාදන වියදම සළකා බලන විට, වී සඳහා සාධාරණ ගැනුම් මිලක් නොලැබුණහොත්, එය ගොවියා මුහුණ දෙන දැවැන්තම ගැටලුවක්ය. දැන් පවත්නා ගැනුම් මිල සම්බන්ධයෙන් ද ගොවියන් මැසිවිලි නගන්නේ ඒ නිසාය. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.





No comments:

Post a Comment