Wednesday, January 21, 2015

මහින්ද රාජපක්ෂ මහතා පැරදුන ද...


"පරිසර හිතකාමී තාක්‌ෂණික කෘෂි ප්‍රදේශයක මගේ පියා ගොවියෙකි. ඔහුගේ පියාත් ගොවියෙකි. මා තෝරාගත් කෙත ඔවුන් වගා කළ කුඹුරට වඩා මඩ ගොහොරින් පිරී තිබුණ ද මම එය අස්‌වැද්දුවෙමි.

අද ඔබ භුක්‌ති විඳින්නේ මා නෙලු එහි අස්‌වැන්නයි. එහෙත් කුඹුරේ, කෙතේ, නියරේ මඩ සුවඳ මම හොඳින් හඳුනමි. බණ්‌ඩි ගොයම කිරිවදිනා කෙත්යාය පිස හමනා සුළඟ තරම් මට කිසිත් මිහිරි නැත. එබැවින් ගොවිතැන එදාමෙන් අදත්, හෙටත් අපේ ආර්ථිකයේ ජීවනාලිය බව මම විශ්වාස කරමි."


කෙතට බට, කෙතක අසිරිය විඳි තැනැත්තකුට පූර්වෝක්ත ප්‍රකාශය කෙතරම් හදවතට සමීප ද යන්න අමුතුවෙන් නොකිවමනාය. මෙය සාහිත්‍ය පොතකින් උපුටා ගත් කොටසක් නොවේ. නොබෝදා අවසන් වූ ජනපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 'ලොව දිනන මග' නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 33 වන පිටුවේ 'පරිසර හිතකාමී තාක්ෂණික කෘෂි ප්‍රවේශයක්' මැයෙන් දක්වා තිබූ ප්‍රතිපත්ති සමූහයේ පූර්විකාවයි.

සැබවින්ම මහින්ද රාජපක්ෂ මහතාට කෘෂිකර්මාන්තය ගැන කතා කිරීමට ශුද්ධ වූ අයිතියක් ඇත. ඒ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයෙන් පසු රටේ දැවැන්තම වාරි විප්ලවයක් සිදු කෙරුණේ මෙතුමාගේ දසවසරක පාලන සමය තුළ බැවිනි. තණමල්විල ප්‍රදේශයේ ඉදි වූ වේලි ඔය ව්‍යාපෘතිය, වෙහෙරගල ජලාශ ව්‍යපෘතිය, කැකිරිම්බඩ ජලාශ ව්‍යාපෘතිය, වළව වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, රඹකැන් ඔය ව්‍යාපෘතිය, මන්නාරම යෝධ වැව සංවර්ධන යෝජනා ක්‍රමය ආදී ව්‍යාපෘති රැසක් දැනටමත් අවසන් කර ඇත. එමගින් සුවහසක් ජනතාවට පානීය සහ වගා ජල අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලබා දී ඇත. පසුගිය වසරේ නොවැම්බර් මසදී තවත් විශාලතම ව්‍යාපෘතියක් වන දැදුරු ඔය ව්‍යාපෘතිය ද ජනතා අයිතියට පත් කෙරුණු බව ඔබට මතක ඇති. ඉන් ලක්ෂ 1.5කට අධික ජනතාවට සෙත සැලසුන අතර වගා අක්කර 30,000කට පමණ වාරි ජලය සැපයීම ද සිදු කෙරිණ. දැනට ඉදි කෙරෙමින් පවතින මොරගහකන්ද, උමා ඔය වැනි දැවැන්ත වාරි ව්‍යාපෘති ද එහි ප්‍රතිලාභී ප්‍රදේශ සරුසාර කිරීමට අවශ්‍ය ජලසම්පත් දායකත්වය සපයනු ඇත. මෙලෙසින් කුඩා පරිමාණයේ, මධ්‍ය පරිමාණයේ සහ විශාල පරිමාණයේ ව්‍යාපෘති රටේ සිව්දෙසම ආවරණය වන පරිදි ඉදි කර ඇත. 

විශේෂයෙන්ම හම්බන්තොට යනු වසරේ එක් කාලයකදී දැඩි නියඟයෙන් බැට කන ප්‍රදේශයකි. මේ පළාතේ ජල ගැටලුවලට ප්‍රශංසනීය විසඳුම් ලැබුණේ මහින්ද රාජපක්ෂ යුගය තුළමය. විශේෂයෙන්ම වළව වම් ඉවුර සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ අලුතින් වැව් 59ක් ඉදි කරමින්, අලුතින් ඉඩම් අක්කර 15,000ක් පමණ අස්වැද්දීමට පියවර ගෙන තිබේ.

එම ව්‍යාපෘතියට සමගාමීව එහි ප්‍රතිලාභී ප්‍රදේශවල මංමාවත් ද කාපට් අතුරා හෝ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට ද පියවර ගැනුණි.




තම කෘෂි බිම්වලට පහසුවෙන් යාමේ ඒමේ අවස්ථාව එමගින් උදා වී ඇත. ප්‍රධාන මාර්ගයේ පෙනෙන තෙක් මානයේ නිලට දිලෙන කෙත්වතු සහ කෙසෙල් වැනි වගාබිම්වල අසිරියෙන් සිත පිරී යයි. 


මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද කොන්ක්‍රීට් ඇළමාර්ග හරහා වැව්වල සිට ගොවි බිම් වෙතටම ජලය සපයනු ලබයි. ගොවියනට තිබෙන්නේ තම තමාට අවශ්‍ය වෙලාවට ඉඩමට ජලය හරවා ගැනීම පමණි. එය කාලය, ශ්‍රමය සහ ධනය ඉතිරි කරන්නා වූ ක්‍රමයකි.


 


ඒ අනුව මෙවර මහ කන්නය සඳහා ද ජලය නිකුත් කළ පසු ගොවියන් යුහුසුළුව තම කුඹුරු බිම් සකස් කර වී වැපිරීම සිදු කළහ. 

මේ වී වපුරා සති දෙක තුනකට පසුව ඒ කෙත් යාය දිස්වන ආකාරයයි. 

වළව වම් ඉවුර සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ අක්කර දහස් ගණනක් මෙලෙස අස් වැද්දුව ද, තම වගා බිම් වල් අලින්ගෙන් රැක ගැනීමට ද ගොවියන්ට මහත් වෙහෙසක් ගැනීමට සිදු වේ. අලි ආගමනය වැළැක්වීම සඳහා ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැට ගසා ඇති මුත්, කෙත්වතු-වගාබිම් පීදෙන කාලයට විදුලි වැටවල් පෙරළා ගෙන, වල් අලි වගා බිම් කරා ඇදෙති. එම නිසා ගොවියන්ට තම ඉඩම්වල ඇති වීර පලු වැනි ශක්තිමත් ගස්වල පැලවල් සකස් කරගෙන වගා බිම් පරිස්සම් කිරීමට සිදු වේ. 



මේ සියලු සංවර්ධනයේ නියමුවාණන් වූ මහින්ද රාජපක්ෂ මහතා අද බලයේ නැත. ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ කළ වැඩ බොහොමයක ද වැඩ තවමත් සිදු වෙමින් පවතියි. නමුත් ඒවායෙහි වැඩ අවසන් වන විට එහි පුරෝගාමියා බලයේ නොසිටිය ද, එම වැඩ කොටසේ නායකත්වයේ ගෞරවය ඔහුට හිමි විය යුතුමය.

ඒ අර්ථයෙන් මහින්ද රාජපක්ෂ මහතා රටේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබේ. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයෙහිලා මෙම දසවසර තුළ සිදු වූ කාර්යභාරය අන් කිසිකලකවත් සිදුව නැත. සංවර්ධනය යනු එක රැයකින් සිදු කළ හැකි කටයුත්තක් නොවේ. එමනිසා ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය පුරෝගාමී මෙහෙයක් ඉටු කරයි. එය මේ ලියන අපිදු ප්‍රායෝගිකව භුක්ති විඳිමින් සිටින්නෙමු.


මේ දිනවල මාධ්‍ය හරහා එතුමාගේ නම මකා දැමීමට උත්සාහ කළ ද, එය සඵල නොවන බව පමණක් දිවා රෑ නොබලා ඒ සඳහා ඇපකැප වන්නන් තේරුම් ගත යුතුය. මන්ද එතුමාගේ නායකත්වයෙන් ඇරඹි ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ භුක්ති විඳින ජනතාව තුළ එතුමා සදා ජීවමානව සිටින බැවිනි. 
 
මෙලොව කිසිවෙක් සර්ව සම්පූර්ණයෝ නොවෙති. එය මෙතෙක් ලොව පාලනය කළ, කරන සහ කිරීමට අපේක්ෂිත අයට ද එකසේ වලංගුය. එහෙත් සිටියා වූ සහ සිටින්නා වූ නායකයන්ගේ වටිනාකම සැළකිය යුත්තේ ඔවුන් සිය රටට ඉටු කළ සහ ඉටු කරන්නා වූ වැඩකොටස-මෙහෙවර මතය. 

චූදිතයකු වූ පමණින් කිසිවෙකු වැරදිකරුවෙකු නොවනා වග ද, විවේචනය යනු ඉතා සුකර වූ කටයුත්තක් වුව ද වැඩ කිරීම යනු ඉතා දුෂ්කර වූ කටයුත්තක් බව ද අවසාන වශයෙන් අප සිහිතබා ගත යුතුය.

Friday, January 16, 2015

ඉඩෝරයෙන් වසන්තයට හෙවත් ගමේ සුවඳ

එක කාලයකට ගතට උනන දාඩිය කඳුලත් උරා බොන තරමටම රටේ පෑවිල්ලය. තවත් කාලයකට නිවසින් එළියට බැහිය නොහැකි තරමට අතොරක් නැති වැස්සය.

පසුගිය සමයේ හම්බන්තොට ප්‍රදේශයට බලපෑ නියඟයේ තරම සහ ඊට පසුව ඇදහැළුණු වරුසාවන් කිහිපයත් සමග ගස් වැල්වල පමණක් නොව මිනිසුන්ගේ මුහුණුවල මතුවෙච්ච සිනාරැල්ල පිළිබඳවත් පසුගිය ලිපියකින් මම ඔබව දැනුවත් කළා. 

හාරමහකට ආසන්න කාලයක් තිස්සෙ තිබ්බ ඉඩෝරයෙන් පස්සෙ ඇද හැළුණු මසුරන් වගේ වරුසාවන් කිහිපයත් එක්ක, මිනිස්සු නැවුම් බලා පොරොත්තු පොදි බැඳන්, කැත්ත-උදැල්ල කරට අරන්, තල-මුං-කවුපි-බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ග වගා කරන්නට යුහුසුළුව කටයුතු කරපු ආකාරය මං ඒ ලිපියෙදි කිව්වා.

මේ එදා ඒ මිනිසුන් දහඩිය වගුරමින් කරන ලද කැපකිරීමේ ඵල නෙලන කාලයයි. මහා ගිනි අව්කාෂ්ටකේ පිච්චෙමින්,  කඨෝර මහ පොළොවත් එක්ක හැප්පෙමින් තල වැපිරීම සඳහා සකස් කරපු භූමිය අද එකම හරිතවර්ණ යායක් විදිහට උස මහත් වෙලා. ඒවා ආඩම්බරේට වගේ සුළඟට ඒ මේ අතට පැද්දෙනවා. පුදුම සිරියාවයි.


සරුසාර තල යායේ අසිරිය

මේ දවස්වල මේ ප්‍රදේශවල තුඹ නැත්නම් නගරබද බොහෝ දෙනා කියන විදිහට තුඹ කරවිලත් සුලභව දකින්න පුලුවන්. 

ඇත්තටම තුඹ කරවිල කියන්නෙ මිනිස්සු වෙහෙස මහන්සි වෙලා වගා කරන භෝගයක් නෙමෙයි. වැස්සත් එක්ක ඉබේම හැදෙන භෝගයක්. අලයකින් තමයි මේ ශාඛය හැදෙන්නෙ. පායන කාලෙට තුඹ වැලක සේයාවක්වත් නැති වුනාට- වැස්සක් දෙකක් වැහැලා පොලොව තෙත් වුනාම, යස අගේට අර පොළොවට යටවෙලා තියෙන තුඹ අලය පැලවෙන්න පටන් ගන්නවා. 

එහෙම ක්‍රමයෙන් හෙවෙන තුඹවැලට හොඳහැටි  හෙවෙන්න නම් ආධාරකයක් ඕන. බොහෝ විට මිනිස්සු කරන්නෙ තමන්ගෙ හේන් බිම්වල වැවෙන තුඹ වැල්වලට අන්දර-කටුපිල වගේ ශාඛ කපලා ගෙනල්ලා- ඉදල් විදිහට හිටවන එක. ඒ විදිහට හිටවපු ඉදල් පුරාවට හරිත වියනක් වගේ හොඳට හෙවිච්ච තුඹ වැල් මිනිස්සුන්ගෙ බත්පතට රසවත් ආහාරයක් ගෙනදෙනවා විතරක් නෙමෙයි අතටත් ගානක් ගෙන දෙනවා. මේ ප්‍රදේශවල තුඹ ටිකක් අඩුකාලේ තුඹ කිලෝවක තොග මිල රු 200ට වගේ තිබුනත් සැපයුම වැඩිවීමත් එක්ක මේ දවස්වල තුඹ කිලෝවක තොග මිල රු.140ක් 130ක් වගේ වෙනවා. 

තුඹ වැලක්
තුඹ ගෙඩි
බඩ ඉරිඟු- කුරහන් වගේ භෝගත් අද සරුවට වැඩිලා තියෙනවා. තාමත් අස්වනු නෙලන්න තරම් මෝරලා නැතිවුනත්, මේ කිරිවැදුණු බඩ ඉරිඟු ගිරවුන්ට නම් අමෘතය වගේ අාහාරයක්. එ්ක නිසා මේවා පරිස්සම් කර ගන්න මිනිස්සුන්ට අපමණ වෙහෙසක් දරන්න වෙනවා.





හේනෙ පැලේ මිනිස්සුන්ට හැම තිස්සෙම ඉන්න බැරි වුනත් කිසිම හැලහොල්මනක් නැතිව ඉන්න කෙනකුත් මේ හේන් බිම්වල ඉන්නවා. ඒ අන් කිසිවෙකුත් නෙමෙයි පඹයා. කුරුල්ලන්ගෙන් භෝග වගාවන් රැකගන්න ඔහුගෙන් ද ඉටු වන්නේ අමිල මෙහෙයක්. 



හැබැයි පඹයොන්ගෙන් විතරක් මුං-කවුපි-කඩල-බඩඉරිඟු වගේ භෝග වගා ආරක්ෂා කරගන්න බෑ. ඒකට මිනිස්සුන්ගෙ සක්‍රීය දායකත්වය නිරන්තරව තියෙන්න ඕන. ඒ කාරිය පහසු කරගන්න මිනිස්සු කරන්නෙ ටකර එල්ලන එක. හිස් බෙලෙක් ටින්වලට තිරුවානා ගල් කැට කිහිපයක් දාලා, එය හොඳින් වහලා, ලණුවක් යොදා ගෙන හේන වටා ඒවා එල්ලනවා. හේන මැදට වන්න පොල් අතු සෙවිලි කරපු තාවකාලික පැල ළඟට තමයි ඒ හතර අතට ඇදලා තියෙන ටකරවල රැහැන් පොටවල් ටික එකතු වෙන්නෙ. කුරුල්ලො වහනවා දැක්කොත් එතෙන්ට ඇවිද නොයා පැල ළඟ ඉඳන්ම ටකරය හොල්ලලා කුරුල්ලො එළවන්න එතකොට පුලුවන්. 

මේ හේන් කෙරුවාව නම් කියන තරම් ලේසි කටයුත්තක් නෙමෙයි. කැළෑ එළිපෙහෙළි කරන එකේ ඉඳන් බිම සකස් කරලා, එක එක භෝගවලට හරියන විදිහට දුර පරතරය තියලා උදැල්ලෙන් පුංචි වළවල් කපලා, ඇට හිටවලා, ඇට පැළවෙලා ගස් ලොකු මහත් වෙනකොට වරින්වර තණ කොල ඇහැලා (උදලු ගාලා), පළිබෝධනාශක ගහලා, රටකජු වගේ දෙයක් නම් රෑට ඌරන්ගෙනුත් ඒවා පරිස්සම් කරලා-ඔය විදිහට අස්වනු නෙලනකම්ම ඒවා පරිස්සම් කරගන්න- නඩත්තු කරන්න සෑහෙන්න වැඩ කොටසක් කරන්න තියෙනවා. 

හැබැයි එහෙම මහන්සි වුනත් ඒ ගැමි ජීවිතේ ඇතුළෙ නාගරික ජීවිතේදී ලබන්න බැරි තරමේ අමුතුම වින්දනයක්-අමුතුම මිහිරක් නම් ගැබ්වෙලා තියෙනවා.

Wednesday, January 7, 2015

මහින්දගේ පරාජයේ කතාව (කෙටුම්පත)




ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට කම් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. එමගින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැකිය. නමුදු එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුවහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත. 

උපන්නා වූ අප සියලූ දෙනා, කෙමෙන් දිරාපත් වෙමින් සිට මියැදෙන්නෙමු. අප කිසිවෙකුත් අමරණීය නැත. වරෙක අපි නැගී සිටින්නෙමු. වරෙක අපි ඇද වැටෙන්නෙමු. මා පරාජය අත් විඳි පළමු අවස්ථාව ද මෙය නොවේ. සැබවින්ම මෙය මා බලාපොරොත්තු වූ අවසානයක් ද නොවේ. එසේම එය මට පිළිගත නොහැකි ප‍්‍රතිඵලයක් ද නොවේ. කෙසේ වුව මම පරාජයට පත් වුණෙමි. මා කළ වැඩකොටස තක්සේරු කර, ඒ අනුව රටත් ජනතාවත් ඉදිරියට ගෙනයාම සඳහා මට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය පළ කිරීමට රටේ ජනතාවට මම අවස්ථාව ලබා දුනිමි. ඔවුන් තීරණයක් ගෙන ඇත. එම නිසා ඔවුන්ගේ තීන්දුව මම නිහතමානීව පිළිගනිමි.  

මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරම් අපේ සදාදරණීය මව්බිමට නායකත්වය දීමට තරම් වඩා සුදුසු වෙනත් නායකයකු පිළිබඳව මට සිතා ගත නොහැකි බව මම මෙහිදී ප‍්‍රකාශ කළ යුතුමය. මා මෙන්ම, ඔහු ද ජනතාවගේ හදගැස්ම මැනවින් හඳුනන අයෙකි. ඔහු කෘතහස්ත දේශපාලනඥයෙකි.  ඔහු හොඳ මිනිසෙකි. මා විසින් ත‍්‍රස්තවාදී ඝෝර හස්තයෙන් මුදවා ගත් මව්බිම ඔහු යටතේ ද සුරක්ෂිතය යන සහතිකය සමගින් මට නික්ම යා හැක. ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් මම සුභ පතමි.   

බලය සමග ලැබෙන බොහෝ දේ ඇත. ඒ සියල්ල මා අතැර යන්නෙමි. ගමේ හැදුනු මම නගරයට පැමිණියෙමි. නගරයේ ජීවත් වුනෙමි. ගම විසින් මා අත්හැර දමා නැත. එබැවින් යළි නිවස වෙත යාමට මට අපහසු නැත. ආදරය කළ මව්බිමටත් රටේ ජනතාවටත් කළ හැකි වැඩකොටස ඉටු කළා වූ, ඔවුන්ගේ ආදරය සහ විශ්වාසය නොමඳව අත්විඳි සහ මේ කිසිවක් සදාකල් නොපවතින බව පසක් කරගත් තෘප්තිමත් මිනිසෙකු ලෙස මම යළි නිවස බලා පියමණින්නෙමි.  

වැඩ කිරීමට කාලයක් ද විශ‍්‍රාම යාමට කාලයක් ද ඇත. ක‍්‍රියා කිරීමට කාලයක් ද ඒ පිළිබඳ ආපසු හැරී බැලීමට කාලයක් ද ඇත. මේ උදා වී ඇත්තේ එසේ ආමග දෙස ආපසු හැරී බැලීමේ කාලයයි. 


ඔබට සුභ පතමි.

...............................................................................................................




මෙය ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ස්වකීය http://malindawords.blogspot.com
හි ලියා පළ කරන ලද ලිපියක මා විසින් කළ සිංහල පරිවර්තනයයි. ලිපියේ ගෞරවය ඔහුට පුදකරන අතර එම මුල් ලිපිය කියවීම සඳහා පහත ලින්කුව භාවිතා කරන්න.

මෛත‍්‍රීපාලගේ පරාජයේ කතාව (කෙටුම්පත)


ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට ද ගැටලූවක් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. එමගින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැකිය. නමුත් එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැරදුනහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත.

යමෙකු සටන් කිරීමට තීරණය කරනා විට සහ එකී සටන සමග බොහෝ මිනිසුන් ද අත්වැල් බැඳගන්නා විට, ඉන් ජයග‍්‍රහණය අපේක්ෂා කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. බොහෝ දෙනෙකුට වෙනසක් අවශ්‍ය විය. අප දිනනු ඇතැයි බොහෝ අය විශ්වාස ද කළහ. නමුත් ජයග‍්‍රහණය යනු එතරම් පහසුවෙන් ලද හැක්කක් නොවේ. අරගල අපට අවශ්‍ය විට සහ අප අපේක්ෂා කරන ආකාරයට ප‍්‍රතිඵල ගෙන දෙන්නේ කලාතුරකිනි. අපි සටන් කළෙමු. අපි විශ්වාස කළෙමු. නමුත් අපේ බලාපොරොත්තුව කඩ වුණි.  

දේශපාලනය යනු දීර්ඝ වූ ක‍්‍රියාවලියකි. මේ පිළිබඳ සවිඥානක අය, එය ඇරඹෙන්නේ මැතිවරණය දැනුම් දුන් විට නොවනා වග ද, එය අවසන් වන්නේ එහි ප‍්‍රතිඵල නිකුත් කළ පසුව නොවනා වග ද මැනවින් අවබෝධ කර ගනිති. බලාපොරොත්තු කඩ වීම, අපේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වූ දීර්ඝ ගමනක මං සළකුණුය. මේ එවන් වූ මොහොතකි. මේ ගෙවෙන්නේ අරගලය දියත් කිරීමට සහ කලකිරීම් ඇතිකරවන සුළු වූ දිනයන්හි පවා නොසැළී සිටීමට අපට සවිය දුන් මහා වටිනාකම් මතින් අන් කවරදාටත් වඩා ශක්තිය උපදවා ගත යුතු මොහොතකි. මේ සටන අත්නොහරින බවට මම මේ මොහොතේ ප‍්‍රකාශ කරමි. මගේ උපරිම හැකියාව සමගින් මම මේ අරගලය ඉදිරියට ගෙනයන්නෙමි. 

මම මේ පරාජය නිහතමානීව පිළිගනිිමි. ජයගත් මහින්ද රාජපක්ෂ මහතාට මම සුභ පතමි. අපට වෙන්ව යාම සඳහා සාධාරණ හේතුසාධක නිර්මාණය වී පැවති බව පිළිගැනීමට තරම් දේශපාලන පරිණතභාවයකින් ඔහු යුක්ත බව මට විශ්වාසය. තමාට නිවැරදි කර ගැනීමට නොහැකි වූ වැරදි ඔහු දකිනු ඇත යන්න මාගේ විශ්වාසයයි. අප වෙත ඡන්දය දෙන්නැයි අප ජනතාවට පැවසූ යෝජනාවල යුක්තියුක්තභාවය ඉදිරි කාලයේදී ඔහු දකිනු ඇත යන්න මාගේ විශ්වාසයයි. ඔහු ජයග‍්‍රහණය කර ඇත. එහෙත් අපේ ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීමට සහ වඩා අවශ්‍ය කරන්නා වූ ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ සඳහා වූ අවස්ථාව තවම ඉතිරිව ඇත. ඔහු එම කාර්යය නිහතමානීව සිදු නොකරනු ලබන්නේ නම්, ඔහු මා බරපතල ද්‍රෝහියෙකු ලෙස සළකනු ඇත. අනෙක් අතට, ඔහු විසින් අපගේ ආයතන පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ සහ පුරවැසිභාවය වඩා අර්ථසම්පන්න කිරීම පිණිස අපගේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ මුළුමණින්ම යළි කෙටුම්පත් කිරීම සඳහා වූ ක‍්‍රියාවලියක් දියත් කරනු ලබන්නේ නම් ඔහුට මා තුළ ප‍්‍රබල මිතුරෙකු පෙනෙනු ඇත.

මම ඔහුට සුභ පතමි.


...............................................................................................................


මෙය ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ස්වකීය http://malindawords.blogspot.com  හි ලියා පළ කරන ලද ලිපියකට මා විසින් කළ සිංහල පරිවර්තනයයි. ලිපියේ ගෞරවය ඔහුට පුදකරන අතර එම මුල් ලිපිය කියවීම සඳහා පහත ලින්කුව භාවිතා කරන්න. 

Tuesday, January 6, 2015

මහින්දගේ ජයග‍්‍රහණයේ කතාව (කෙටුම්පත)




ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට කම් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. එමගින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැක. නමුත් එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත. 

මම පරිපූර්ණ ජනාධිපතිවරයෙකු නොවෙමි. ජනාධිපතිවරයා වශයෙන් මාගේ ධුර කාලය තුළ බොහෝ දේ කෙරෙහි මාගේ අවධානය යොමු නොවුුණු බව මම නිහතමානීව සහ අවංකව පිළිගනිමි. දීර්ඝ කාලයක් මුළුල්ලේ විශේෂයෙන්ම 1977 න් පසුව, අපේ ජාතිය පීඩා විඳි අවනීතිය පිළිබඳ කාරණය මා වෙතින් නොසළකා හැරුණකි. මම සියල්ල දුටිමි. නමුදු ඒ කිසිවක් මා අනුමත කළා නොවේ. සත්‍යය නම් මාගේ අවධානය යොමුව තිබූයේ වෙනත් දේ කෙරෙහි බවය. පැහැදිළිවම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා මා විසින් ඍජු සහ ශක්තිමත් පියවර ගත යුතුව තිබුණි. නමුත් මට එසේ කළ නොහැකි විය.  

පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳින සහ බොහෝ විට දේශපාලනඥයන් කෙරෙන් සිදුව ඇති දුරාචාරයන්ගෙන් ඔවුන්ව වියුක්ත කෙරෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම කෙරෙහි මම ජනතාවට ණයගැති වෙමි. නීතියේ ආධිපත්‍යය වැජඹෙන රටක ජීවත් වීමේ අභිමානය ලබා දීම කෙරෙහි මම ඔවුන්ට ණයගැති වෙමි. 

අප රටේ ජාතික සංස්කෘතික ආචාර ධර්මයන් ඉමහත් සේ පිළිබිඹු වන පරිදි සහ ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ රාජ්‍යයේ ඒකීයභාවය සුරැකෙන පරිදි අපේ පුරවැසියන්ගේ ආර්ථික අවශ්‍යතා සහ සමස්ත ශුභසිද්ධිය පිණිස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද මම මාගේ තෙවන වාරය තුළ කැප වී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි. 


මා පරිපූර්ණ නොවන්නා සේම මා සමග සිටින අය ද මට එරෙහි අය ද පරිපූණයෝ නොවෙති. අප සැමදෙන ළඟ දෝෂ ඇත. අප හැම දෙනා සතුව ශක්තිය ද ඇත. මගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ, මෛත‍්‍රීපාල සිරිසේන මහතා මගේ පැරණි මිතුරෙකි. අප දෙදෙනා එක්ව අතීතයේ බොහෝ අරගල සිදු කර ඇත්තෙමු. හැකියාව ඇති නායකයකු ලෙස මම ඔහුව පිළිගන්නා අතර මේ තීරණාත්මක සන්ධිස්ථානයේදී ඔහුගේ සහයෝගය ද මම අපේක්ෂා කරමි. අවාසනාවට ඡන්ද ව්‍යාපාරය හා බැඳුණු අංගයන් බවට පත් වූ සියලූ නිශේධයන් පසෙක ළෑමට මම සූදානම්ය. ඔහුට ද මෙය කළ හැකි බව මම දනිමි.  


විපක්ෂය පැහැදිළිවම මාගේ සියලූ වැරදීම් පෙන්වා දී ඇත. ඒවා නිවැරදි කර ගැනීමට මම කටයුතු කරමි. හොඳ මිනිසුන් අපට අවශ්‍යය. එක් පසෙකින් හොඳම බුද්ධිමය සම්පත් ටික ද අප සතු වීම අවශ්‍යය. මේ මොහොතේ මට ඔබ සැමගේ සහයෝගය අවශ්‍යය. විශේෂයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමේ සහයෝගය ද මට කොතරම් අවශ්‍ය ද යන්න අමුතුවෙන් අවධාරණය කළ යුතු නැත.


මාගේ උපරිම දැනීමේ හැටියට කළ හැකි දේ කළ මම, සරළ සහ ප‍්‍රායෝගිකවාදී මිනිසෙකි. මම වියපත් වෙමින් සිටින්නෙමි. මින් පසුව යළි සුපුරුදු මැදමුලන වෙත මම පියනගන්නෙමි. මම තබා යා යුතු එකම උරුමය වන්නේ නීතියේ ආධිපත්‍යයෙන් හෙබි, සාමකාමී රටකි. එවන් උත්කෘෂ්ඨ ජාතියක් ගොඩනැගීම සඳහා මට ඔබ සැමගේ සහයෝගය ලබා දෙන්න.  




.....................................................................................................


මෙය ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ස්වකීය http://malindawords.blogspot.com හි ලියා පළ කරන ලද ලිපියක මා විසින් කළ සිංහල පරිවර්තනයයි. මුල් ලිපිය සඳහා ලින්කුව පහත දක්වා ඇත.


මෛත‍්‍රීපාලගේ ජයග‍්‍රහණයේ කතාව (කෙටුම්පත)



ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට කම් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. ඒ තුළින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැක. නමුත් එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත. 

මම මෛත‍්‍රීපාල සිරිසේන. අපේ ඡන්ද ව්‍යාපාරයේ තේමා පාඨය වූයේ 'මෛත‍්‍ර‍්‍රිය' යන්නය. එබැවින් අද පටන් අප පෙන්නුම් කරනා මෛත‍්‍රියෙහි අඩුපාඩුකම් නිසා යම් සිදු වීමක් සිදු වුවහොත්, එය අපේ ජනතාව අත් විඳින්නා වූ බරපතලම අසාධාරණය වන්නේය. 

වෛරයට දැන් ඉඩක් තිබිය යුතු නැත. පලිගැනීම්වලට ද දැන් ඉඩක් තිබිය යුතු නැත. ගෙවුණු කාලයෙන් අප උගත යුතු යමක් වේ නම්, ඒ අප ආදරය කළ නායකයන් ඇතුළු අප හැම දෙනාටම වැරදීම් සිදු විය හැක යන්නයි. අපි හුදු පාරිශුද්ධවන්තයෝ නොවෙමු. අප හැම සතුව ද වැරදි තිබේ. අප පුද්ගලයන්ට වඩා ආයතන සහ නීතිරීතිවලට වැඩි අවධානය යොමු කළ යුත්තේ එම නිසාය. අප සතුව නිවැරදි ආයතනික සැකැස්මක් සහ නිවැරදි නීති රෙගුලාසි පද්ධතියක් තිබේ නම්, මිනිසුන් වැරදි කිරීමේ හෝ මිනිසුන්ට වැරදි සිදු වීමේ අවස්ථාවන් විරල වේ. එලෙස පවතින විට ද වැරදි සිදු වන්නේ නම්, ඒ සඳහා ගත යුතු පිළියම් ද කඩිනමින් අප ගත යුතුය. එමනිසා ඉදිරි කාලය තුළ නීතිරීති සහ ආයතනික ව්‍යුහයන් නිවැරැදි තත්වයට පත් කරලීම සඳහා මම ඇපකැප වන්නෙමි. 

මෙම ජයග‍්‍රාහී මොහොතේ මට පෙර බලය හෙබවූ ජනාධිපතිවරයා පිළිබඳව ද වචනයක් කිව යුතුය. මහින්ද රාජපක්ෂ මහතා තරම් ජනතාවගේ ආදරය දිනාගත් වෙනත් නායකයකු නැති තරම්ය. ගුවන් යානයෙන් බැස, දෙදණ බිම තබා, අප මාතෘ භූමිය සිප ගත් මොහොත මට අද මෙන් සිහියට නැගේ. මහින්ද රාජපක්ෂ වැනි නායකයකු ලැබීමට තරම් අපි වාසනාවන්ත වීය යන්න මාගේ අවංක හැඟීමයි. 
 
ඔහු වීරයෙකි. එසේම ඔහු වීරයෙක් ලෙස සදා හිඳිනු ඇත. ඔහුගේ නම ඉතිහාස පොතෙන් කිසිදා නොමැකෙනු ඇත. කළ හැකි උපරිමය එතුමා ඉටු කළ අතර කඨෝර සහ නිති වෙනස්වන සුළු දේශපාලනයට සමු දී සතුටින් විශ‍්‍රාම සුවය ගත කිරීමේ හැම අයිතියක්ම එතුමාට ඇත. එතුමා කලක් මගේ නායකයා මෙන්ම මගේ මිතුරා ද විය. අප සැම වෙනුවෙන් එතුමා උදාකර දුන් ජයග‍්‍රහණය, වඩා අර්ථවත් කිරීම සඳහා සිදු කළ යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා වූ මාගේ ව්‍යායාමයට එතුමාගේ ද සහයෝගය ලැබෙනු ඇත යන්න මාගේ පරම විශ්වාසයයි. 


තරඟ කිරීමට කාලයක් ඇත. වාද කිරීමට ද කාලයක් ඇත. ප‍්‍රීතිඝෝෂා කිරීමට ද කාලයක් ඇත. වැඩ කිරීමට ද කාලයක් ඇත. මේ උදා වී ඇත්තේ එලෙස වැඩ කිරීමේ කාලයයි. 
 
හැකියාවන්ගෙන් සපිරි සහ හදවතින් උසස් මිනිසුන්
මා සමග ඇත. මා සමග තරඟ කළ අනෙක් පාර්ශවය තුළ ද ඒ හා සමානම අය ඇත. ඔවුන් හැමටම මේ රට අයිතිය. රටේ අනාගතය ද ඒ හැමගේ එකමුතුව වැඩකිරීමේ ගුණය මත රඳා පවතිනු ඇත. මට එරෙහි වූ සැමට මා මේ මොහොතේ මිත‍්‍රත්වයේ උණුසුම් දෑත් දිගු කරන්නෙමි. එය පිළිගන්න. අපි ඉදිරියට පියනගමු. එකමුතුව සහ එකාවන්ව. 

......................................................................................................

මෙය ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ස්වකීය http://malindawords.blogspot.com
හි ලියා පළ කරන ලද ලිපියක මා විසින් කළ සිංහල පරිවර්තනයයි. මුල් ලිපිය සඳහා ලින්කුව පහත දක්වා ඇත. 


Monday, January 5, 2015

කියවන්න වටින-දෙමළ ළමයින්ගෙ අපූරු සිංහල නිසඳැස්.....

පැවරුණු වැඩ රාජකාරි කටයුතු කිහිපයක් නිසාම පහුගිය සතියෙම කොළඹ ප්‍රදේශයේ ඉන්න ලැබුණෙ නෑ. සඳුදා හිඟුරක්ගොඩට ගියපු ගමන අවසන් වුනේ බ්‍රහස්පතින්දා දෙහිඅත්තකණ්ඩිය, හෙට්ටිපොල, මහියංගනය, නුවර හරහා අන්තිමට කොළඹ ඒමෙන්.

ඒ එන ගමනෙ මහියංගනය- නුවර පාරෙ පිහිටලා තියෙන සුප්‍රසිද්ධ 18 වංගුව වාහන යන්න බැරි තරමටම මීදුමෙන් වැහිලා. ඒත් එදා රෑම අපි කොළඹ ආයුතු නිසාම පාර මැද තීරුව දිගේ සවි කරලා තියෙන දිලිසෙන කට්ටවල (Cat Eyes) ආධාරයෙන් යන්තං 18 වංගුව පහුකර ගත්තා. කොහොම හරි කොළඹට එන කොට සිකුරාදා පාන්දර 2.30 විතර වෙලා. මේ දවස් දෙක තුනේ ගියපු සම්පූර්ණ දුර කි.මී 700කට ආසන්නයි.

මට මතකයි ඉස්සර මේ 18 වංගුව කොහොම ද තිබුනෙ කියලා. කිහිප විටක් රිවර්ස් කර කර තමයි දිග බස් එකක් වුනත් හරවන්න සිද්ධ වුනේ. ඒ දවස්වල පාරත් පටුයි. ඒත් අද ඔය ඒකාධිපතියාය, හොරාය, දූෂිතයාය කියන මහින්ද උන්නැහේම තමයි 18 වංගුවත් පිළිවෙළක් කළේ. මේ දවස්වල මැතිවරණ රස්නෙ වැදිලා, ඇතැම් අයට එතුමා කරපු හොඳ කිසිවක් පේන්නෙ නැති වුනත් අපිට නම් ඒ අතීතය අමතක නෑ. හොඳට හොඳ කියනවා වගේම නරකට දොස් කියන්නත් අපි පැකිළෙන්නෙ නැහැ. හැබැයි අරෑ වංචාකාරයාය-මූ වංචාකාරයාය කියන පක්ෂ-විපක්ෂ බොහෝ දෙනෙක්ගෙම සුදු වතේ ගෑවිලා තියෙන මකන්න බැරි කලු පැල්ලම් ගැනත් අපි හොඳහැටි දන්නවාය. ඒ අපේ රටේ ජරාජීර්ණ දේශපාලනේ හැටිය. කොහොම වුනත් තම තමන්ට අනුව සාපේක්ෂව හොඳයි කියලා හිතන කෙනාට ඡන්දය දීම තමයි අපිට කරන්න තියෙන්නෙ. (මෙය මුදල් නොගෙවා පළ කරන ලද දැන්වීමකි)

කොහොම හරි එහෙම වටවන්දනාවේ ගිහින් ඇවිත් සති අන්තෙ මම සුපුරුදු නවාතැනේ ගතකරන්නෙ නැතිව මගේ මිත්‍රයො කිහිපදෙනෙක්ගෙ නවාතැනට ගියා. ඉන් දෙදෙනෙක්ම රජයේ පාසල් ගුරුවරු. ඔවුන් බස්නාහිර පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල දෙවන බස උගන්වන්න මෑතකදී බඳව ගත්ත උපාධිධාරීන්ගෙන් දෙදෙනෙක්. පහුගිය මාසෙ රට පුරා පාසල්වල වාර අවසාන ඇගයීම් විභාග තියලා නිවාඩු දීලා-ඒ නිවාඩුවත් ගෙවෙන්න ඔන්න මෙන්නයි කියලා මතක් වුනේ එහෙට ගියාම තමයි.  ඉස්සර නම් ඉතින් අපිත් පාසල් නිවාඩුව කවදද එන්නෙ කියලා ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

ඔවුන්ගෙ නවාතැනට යනකොට ඔවුන් ළමයින්ගෙ උත්තර පත්‍රවල හරි වැරැදි ලකුණු කරනවා. දෙමළ ළමයින්ට වුනත් ලස්සනට කවි ලියන්න පුලුවන් කියලා මං එවෙලේ තමයි දැන ගත්තේ. සාමාන්‍යයෙන්  කවි නිසඳැස් ලියන කොට සිංහල භාෂාවේ කර්තෘ-කර්ම-ක්‍රියා පිළිවෙළ (SOV රටාව) එහෙට මෙහෙට වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දෙමළ භාෂාවේ තියෙන්නෙත් මේ SOV රටාවම තමයි. ඉංග්‍රීසි භාෂාවේ නම් යෙදෙන්නෙ කර්තෘ-ක්‍රියා-කර්ම කියන 'SVO' රටාව. 





'කීකරුය හොඳ ළමයා' 
පැණි බොයි මල් බඹරා' 
'බැලීමට ගියෙමු අපි ප්‍රදර්ශනය'
'කඩයි මල් නංගී'
...................................
...................................

මේ විදිහට දෙවන බස විදිහට සිංහල ඉගෙන ගන්න මේ ළමයින් හරි අමාරුවෙන් ගැටගහපු මේ වාක්‍ය ටික ඇතුළෙ අමුතුම ලස්සනක් මට පේනවා. 

සාමාන්‍යයෙන් දෙමළ හෝඩියෙ ක/ග/හ යන අකුරු දෙකටම පාවිච්චි කරන්නෙ 'ක' අකුර. ඒක නිසාම ද කොහෙ ද සිංහලෙන් මගේ/ අම්මාගේ/සිංහල ආදී වචන මෙයාලා ලියල තියෙන්නෙ මකේ/අම්මාකේ/සිංකල යනාදී වශයෙන්.

කොහොම වුනත් මෙහෙම හරි දෙමළ ළමයි සිංහල ඉගෙන ගන්න එකයි සිංහල ළමයි දෙමළ ඉගෙන ගන්න එකයි සෑහෙන්න වටිනවා. දැනට ක්‍රියාත්මක රජයේ ත්‍රිභාෂා වැඩපිළිවෙළත් අගය කළ යුතුමයි. 

මගේ නම් එදා ඉඳන් මතය මිනිසුන්ට ඕන රටවල් කෑලිවලට බෙදා ගන්න නෙමෙයි. ඒවා ඕන කරලා තියෙන්නෙ බල තණ්හාවෙන් පෙළෙන දේශපාලනඥයන්ට. තමන්ගෙ බලය තර කරගන්න. 

බලය විමධ්‍යගත කරනවට වැඩිය පරිපාලනයයි විමධ්‍යගත වෙන්න ඕන. තමන්ගෙ භාෂාවෙන් වැඩකරගන්න හැකියාව මිනිසුන්ට තියෙන්න ඕන. යටිතල පහසුකම් ටික සංවර්ධනය වෙන්න ඕන. එහෙම වුනාම තමයි හැම දේටම කොළඹ එන්නැතුව තම තමන්ගෙ පළාතෙ ඉඳන්ම පහසුවෙන් ඒ වැඩ ටික කරගන්න පුලුවන් වෙන්නෙ. 

දෙමළ මිනිසුන්ටය කියලා රටක් බෙදා ගන්න තරම් ප්‍රශ්නයක් මේ රටේ නැහැ. බෙදුම්වාදය ඕන කරලා තියෙන්නෙ විවිධ කල්ලි/කණ්ඩායම්වලට. නිජබිම් සංකල්පෙයි-අර සංකල්පෙයි-මේ සංකල්පෙයි කියලා එක එක ජාතියට ඕන හැටියට රටේ කෑලි/පාලන ඒකක දෙන්න උනොත් හොඳට හිටීවි. වැදි ජනතාවට තමයි එහෙනම් පළමුවෙන්ම කෑල්ලක් කඩලා දෙන්න ඕන. 

දෙමළ වේවා මුස්ලිම් වේවා සිංහල වේවා පොදුවේ හැමෝටම තියෙන්නෙ එකම වූ අරගලයක්. ඒ වෙන මොනවත් නෙමෙයි ජීවත් වීමේ අරගලය. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අරගලය. හැබැයි ඒව පැත්තකින් තියලා බෙදුම්වාදයයි/ජාතිවාදයයි කරපින්නා ගත්තු විවිධ කල්ලි කණ්ඩායම්වල උසිගැන්වීම්වලට අහුවෙච්ච මිනිස්සු අතීතයේ සමහර අවස්ථාවලදි හොඳටම වරද්ද ගත්තා. ඒවයේ වන්දි ගෙවන්න වුනේ ශ්‍රී ලාංකික අපි හැමෝටම. හැබැයි අතීතයක් තියෙන්නෙ අතීතය මගින් පාඩම් ඉගෙන ගන්න. ඒ වර්තමානය තුළින් ඉදිරියට රට සමාජය ගෙනියන්න. 

කොළඹ කැම්පස් එකේ සමාජ විද්‍යා අංශෙ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහත්තයගෙ මට මතක හැටියට ''ජාතිය හා ජාතිකත්වය'' කියන පොතේ තිබුණා ''කිසිදාක ජාතිවාද දෙකක් එකිනෙකට සම්මුඛ කරන්න බෑ'' කියලා. ඒකෙන් ඇවිලෙනවා මිසක් නිවීමක් වෙන්නෑ කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. සිංහල-මුස්ලිම්-දෙමළ තුන්ගොල්ල ළඟම ජාතිවාදය තියෙනකම් එක පැත්තකින්වත් ඒක අහෝසි වෙන්නෙ නැහැ. සියලුම ජාතිවාදී-ආගම්වාදී පක්ෂ කරන්නෙත් ඒවා පෝෂණය කරන එක. 

හැබැයි ලංකාවේ මෑතකාලීනව සිදු වෙච්ච හැම ජාතිවාදී කලහෝලාහලයකට ඒකට හවුල් වෙච්ච දෙපාර්ශවයම වගකිව යුතුයි. මෑත කාලීනම බේරුවල සිදු වීම වුනත් එහෙමයි. ඒ අත්දැකීම මං පෞද්ගලිකව දන්නවා. මුළු ලෝකෙටම ගියේ සිංහල මිනිස්සුන්ට විතරක් චෝදනාව දාලා. මානව දයාව වැක්කෙරෙන අපේ රටේ සිවිල් සංවිධානත් ඒකපාර්ශවිකව තමයි කටයුතු කළේ. ඒකත් හරියට අපේ ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන දෙමළ ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පම්පෝරි ගහන ගමන්, උතුරෙ අපේම සහෝදර ධීවර ජනතාවගෙ බඩ වියත රැකගන්න තියෙන මාළු සම්පත තමිල්නාඩු ධීවරයෝ වැට පැනලා ඇවිත් ඩැහැ ගන්න එක ගැන මුනිවත රකිනවා වගේ. දෙමළ ජනතාවට රටේ ඕනම තැනක පදිංචි වෙන්න, ව්‍යාපාර කරන්න නිදහස හිමි වෙලා තියෙද්දි, සිංහල-මුස්ලිම් ජනතාවට උතුරෙ පදිංචි වෙන්න-ව්‍යාපාර කරන්න යනකොට  සිංහලීකරණයයි-අරකරණයයි මේ කරණයයි කියලා මානව දයාව-සාධාරණත්වය එළිපිට පෙන්නනවා වගේ. ඒ දෙබිඩි ගතිය නම් අපි හෙළා දැකිය යුතුමයි.