Friday, December 18, 2015

ජාතිවාදයේ මූලබීජ නැති කළ යුත්තෙ රාජ්‍ය ව්‍යුහයෙන්ම නොවේ ද?

මනුෂ්‍යත්වය අගය කරන මිනිස්සු වශයෙන් අප අයිසිස් වේවා තලේබාන් වේවා බෝකෝ හරාම් වේවා එල්ටීටීඊ වේවා (මතවාදීමය වශයෙන් සක්‍රීය වුවත් සන්නද්ධමය වශයෙන් අක්‍රීයව ඇති) එසේත් නැතිනම් වෙන යම් ආගමික/වාර්ගික වේශයෙන් ක්‍රියාත්මක අන්තවාදී ව්‍යාපාරයක් වේවා ජනතාව තළන පෙළන- මනුෂ්‍යත්වයට එරෙහි ඒ සියලුම අන්තවාදී ව්‍යාපාර සපුරා හෙළා දකින්නෙමු. එහෙත්, අප එසේ කරන්නේ අප අප්‍රිය කරන කිසියම් අන්තවාදයක්/දෘෂ්ටිවාදයක් නරකය කියන අතරේ, අප ප්‍රිය කරන තවත් වාර්ගික හෝ ආගමික අන්තවාදයකට/දෘෂ්ටිවාදයකට හුරේ දමන අතරේ නොවේය.


නිදසුනක් ලෙස, ඉස්ලාම් අන්තවාදයට එරෙහි වන අතරේම සිංහල බෞද්ධ වෙසින් ක්‍රියාත්මක අන්තවාදයට ද, එසේම උතුරේ දෙමළ අන්තවාදයට ද අප එරෙහි වන්නෙමු. ඒ මක් නිසාද යත්, එක් අන්තවාදයක් පිටු දැකීමට වෙනත් අන්තවාදයක් යොදා ගැනීම මගින් එකිනෙකට එරෙහි කලකෝලාහල-එදිරිවාදීකම් නිර්මාණය වෙනවා පමණක් නොව කාලයාගේ ඇවෑමෙන් රට තුළ මහා පරිමාණ යුද ගැටුම් පවා ඇවිළිය හැකි බැවිනි.   

නමුත්, අපට ඇති ප්‍රශ්නය වන්නේ රටේ නීතිය තුළම- රාජ්‍ය ව්‍යුහය තුළම එවැනි අන්තවාදයන් පෝෂණය කිරීමට අවශ්‍ය සාධක තබා ගන්නා අතරේම ඒවා වළක්වා ගත හැක්කේ හෝ ඉන් ජනතාව ඈත් කළ හැක්කේ කෙසේ ද යන්නයි. 


නිදසුනක් ලෙස, කන්ද උඩරට, තේසවලමේ, මුස්ලිම්, මුක්කුවා ආදී විවිධ වාර්ගික ආගමික සහ ප්‍රාදේශීය විශේෂතාවෙන් යුත් නීති පද්ධතීන්ගෙන් අපේ රටේ නීතිය සැදුම්ලත්ය. (ව්‍යවස්ථාපිත නීතිය හැර) නමුත්, එලෙස අච්චාරු සහගතව පවතින අපේ රටේ නීතිය දැන්වත් කිසිදු ආගමික-වාර්ගික-ප්‍රාදේශීය විශේෂත්වයකින් තොරව පුරවැසියන් ලෙස සැමට පොදුවේ බලපාන පරිදි සකස්  කළ යුතු නොවේ ද? 


1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අනුව (මුස්ලිම් විවාහ නීතියට අනුව) මුස්ලිම් මිනිසෙකුට විවාහ හතරක් එකවර කරගත හැක. ඉස්ලාම් ආගමානුකූලව ඊට අවසර ඇති නිසා වෙනම පනතක් හරහා ඊට අවකාශ සළසා ඇත. නමුත්, සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥාපනතට අනුව විවාහ වීමේදී එක් විවාහයක් කර ගෙන සිටින අතරතුර එය දික්කසාද නොකර තවත් විවාහයක් කරගතහොත් ඔහු හෝ ඇය බහුවිවාහ වරදට හසුවෙයි. නමුත්, එක රටක එලෙස නීති පද්ධති දෙකක් තිබිය හැකි ද සහ එලෙස තබා ගත යුතු ද? සැබවින්ම නැත.


කන්ද උඩරට නීතිය ගත්ත ද තේසවලමේ නීතිය ගත්ත ද මුක්කුවා නීතිය ගත්ත ද ඒ ඒ නීති පද්ධති මගින් ද යම් යම් වාර්ගික-ආගමික සහ ප්‍රදේශ බද්ධ කණ්ඩායම්වලට විශේෂ සැළකිලි දක්වා ඇත. එය වෙනස් විය යුතු නොවේ ද? වෙනස් කළ යුතු නොවේ ද?


ඒ ඒ ආගමිකයන්ගේ පාරම්පරික ආගමික සංස්කෘතික චාරිත්‍රයන්ට-සම්ප්‍රදායන්ට ගරු කරමින් නීතිය තුළ එලෙස අවකාශ සළසා දිය යුතු යැයි කිසියම් අයෙකු කිව හැක. නමුත්, නීතිය තිබිය යුත්තේ ඒ කිසිදු පාරම්පරික හෝ නූතන කිසිදු හෝ ආගමකට/ආගමික චාරිත්‍රයකට/සම්ප්‍රදායකට යටත්ව නොව ඊට ඉහළින් නොවේ ද? 


එමෙන්ම, රටක නීතිය සේම රාජ්‍ය ව්‍යුහය ද සියලුම වාර්ගිකත්වයේ සහ ආගමිකත්වයේ වරපටිවලින් සපුරා වියුක්ත විය යුතු යැයි අප පවසන්නේ එමගින් නීතියට-රාජ්‍යයට සහ එහි ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම පොදු පුරවැසි සංස්කෘතියකට මග සළසන නිදහස් ලෞකික රාජ්‍යයකට දැඩි සේ බාධාකාරී වන නිසාය. එපමණක් නොව මිනිසුන් වෙන් කරන සුළු නිසාය. 


එහෙත්, අප රටේ ඉදිරිය ගැන නොව එකිනෙක ජාතීන් එකිනෙකාට එදිරිව ගහමරා ගත්ත ද, තම ඡන්දය ගැන පමණක් සිතා කටයුතු කරන, රට හැදීමට යැයි කියා ගොස් තමන් හැදෙන්නට වෙර දරන අධම දේශපාලනඥයන් මේ කිසිවක් නිවැරදි කිරීමට පියවර ගන්නා බවක් අපට පේන්නෙ නැත. 


ජාතිය ආගම ලේබල් කරගත් පක්ෂ තවමත් තිබෙන්නේ ඒ නිසාය. ජාතිය ආගම ලේබල් කරගත් පාසල් තවමත් තිබෙන්නේ ඒ නිසාය. රටේ සියලු පුරවැසියන් රාජකාරි සඳහා යන එන රාජ්‍යයට අයිති පොදු ස්ථාන කිසිදු ආගමකට සංකේතමය වශයෙන් හෝ විශේෂත්වයක් නොදෙන පොදු ස්ථාන ලෙස පවත්වා නොගන්නේ ඒ නිසාය. 


උතුරේ ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් සහ සංවිධාන උතුරේ පදිංචි විය හැක්කේ දෙමළ ජනයාට පමණකැයි කියන විට එය ඔවුන්ගේ නිජබිම යැයි කියන විට, ඇතැම් ජාතිවාදී සිංහල සංවිධාන මෙය සිංහල බෞද්ධයන්ගේ රට යැයි ද, අන් ජාතීන්ට වසන්නට මෙහි අයිතියක් නැතැයි ද කියන විට, ඇතැම් ජාතිවාදී මුස්ලිම් දේශපාලනඥයන්ස හ සංවිධාන නැගෙනහිර පාරම්පරික මුස්ලිම් භූමිය යැයි කියන විට, ඔවුන්ට එහි වෙනම පරිපාලන ඒකක අවශ්‍ය යැයි කියන විට මේ කිසිවකට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර, අවම වශයෙන් මේ සෑම ජාතිවාදයකටම එරෙහිව වචනයක් හෝ නොකියා ගල් ගිල්ලා සේ රාජ්‍ය පාලනය කරන්නේ ඒ නිසාය. 


ලෝකයේ අද මේ මොහොත වන විටත් යුද ගැටුම්වලින් දහසකුත් දෙනා මියැදෙති. අප රට ද තිස්වසරක සාපලත් යුද්ධයකින් නොසෑහෙන්න බැට කෑවෙමු. එම තත්වය නිර්මාණය කිරීම සඳහා ඇප කැපවූ-මතවාද හැදූ- වර්ගෝත්තමවාදී චින්තනයෙන් එකිනෙකට එදිරි දේශපාලන තීන්දු තීරණ ගත් සිංහල දෙමළ දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනෙක් තමන් විසින් පෝෂණය කරන ලද ඒ යුද්ධයේ අවසානය ද නොදැක මහපොළවට පස්වෙලා ගියහ. එහෙත්, ඒ කාලකණ්ණි යුද්ධයේ විපාක වින්දේ පොදු මහජනතාවය. ඇවිළවීම ලේසිය. නිවීම දුෂ්කර නොව කළ නොහැකි තරම් සංකීර්ණය. යුද්ධය හමාර වුව ද තවමත් අප විඳවන්නේ ඒ නිසාය.


අප ඉල්ලන්නේ ෂාරියා නීතිය ද නොවේ. බෞද්ධ නීතිය ද නොවේ. හින්දු නීතිය ද නොවේ. ආගමික, වාර්ගික හෝ ප්‍රාදේශීය නැඹුරුතාවෙන් යුත් වෙන යම් නීතියක් ද නොවේ. ඒ කිසිදු භේදයකින් තොර පුරවැසියන් වශයෙන් සැමට සාධාරණව බලපවත්වන එක නීතියකි. පොදු රාජ්‍ය ව්‍යුහයකි. 

Sunday, December 13, 2015

සිය ගැබ්බර බිරිය වෙනුවෙන් තනිවම කන්දක් කපා පාරක් හැදූ අපේ කාලයේ අසහාය මිනිසා


නම - දශ්රත් මාංජී
රට - ඉන්දියාව
ප්‍රාන්තය - බිහාර්
දිස්ත්‍රීක්කය - ගයා
ගම - ගෙහ්ලෝර්


ඒ 1960 දශකය. ඒ වෙනකොට ඉන්දියාවේ ඉතා අඩුවෙන්ම සංවර්ධනය වූ ප්‍රදේශයක් තමයි ගෙහ්ලෝර්. ගෙහ්ලෝර්වල පාසල් තිබුනෙ නෑ. ඉස්පිරිතාල තිබුනෙ නෑ. ජලය-විදුලිය-ක්‍රමවත් මංමාවත් ආදී මූලික යටිතල පහසුකම් කිසිවක් තිබුණෙ නැහැ. 

ගෙහ්ලෝර් ගම්මානය අඩි 330ක් උස කන්දකින් බාහිර ලෝකයෙන් වෙන්වෙලා තිබුණා. සැබවින්ම කියනව නම් කොන්වෙලා තිබුණා. ඒ නිසා, සියවස් ගණනාවක් මුළුල්ලෙ පැවත ආ ලෙසටම හැම දෙයක්ම පැවත එමින් තිබුණා. බලවතුන් විසින් කරන ලද සූරාකෑම ඒ ලෙසම සිදු වෙමින් තිබුණා. කුලභේදය දැඩි ලෙස ක්‍රියාත්මක වූ මේ ගමේ පාලනය පැවතුනේ බලවත් කුලීනයන්ගේ අතේ. නඩු විසඳීම පවා ක්‍රියාත්මක වුනේ ඔවුන්ගෙ උවමනා එපාකම් මත. ඔවුන්ගෙ අසාධාරණකම්වලින් සහ දුෂ්ටකම්වලින් නොසෑහෙන්න පීඩා විඳින්න ගම්මුන්ට සිද්ධ වුනා. මෙහෙව් ගමේ තමයි දශ්රත් මාංජී තම ආදරණීය බිරිඳ පාගුනියා එක්ක ජීවත් වුනේ. 


දශ්රත් මාංජී ඉපදුණේ 1934 අවුරුද්දෙ මේ ගෙහ්ලෝර් ගම්මානයේමයි. ඔහු කුඩා කාලෙදි ගෙදරින් පැනලා ගිහින් වසර ගණනාවක් ධනාබාද්වල ගල් අඟුරු පතල්වල වැඩ කළා. නැවත ඔහු ගමට ආවට පස්සෙ තමයි පාගුනියා විවාහ කරගත්තෙ. එය ආදර සම්බන්ධයක්. නමුත්, ඇගේ පියා හරිහමන් ආදායම් මාර්ගයක් නැති දශ්රත්ට තම දුව දෙන්න කැමති වුනේ නෑ. නමුත්, ඇයට මෙන්ම ඔහුටත් එකිනෙකාගෙන් වෙන් වෙන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. ඒ නිසාම, ඇයව ගෙදරින් පන්නා ගෙන ඔහුගෙ ගෙදරට කැන්දන් එන්න ඔහු කටයුතු කළා. 


ඔහු එදාවේල හම්බ කරගත්තෙ එදිනෙදා කුලී වැඩවලින්. කොතරම් අඟහිඟකම් මැද්දෙ වුනත් ඔවුන් ආදරණීය ජීවිතයක් ගත කළා. පළමු දරුවා විදිහට ඔවුන්ට පුතෙක් ලැබුණා. 


කාලය ගෙවිලා යද්දි, ඇය ආයිත් ගැබ්බර වුනා. ඇය දරුගැබත් දරාගෙනම හැමදාම දවල්ට කන්න වතුර ටික දශ්රත්ට අරගෙන ගියා. දශ්රත් වැඩ කළේ ගම වසාගෙන තිබුණු කන්දෙන් ටිකක් එපිට ගොවිබිමක. එතෙන්ට යන්න ඇයට කන්ද නැග යා යුතු වුනා. ඒත්, හදිසියෙම පය පැකිළිමෙන් ඇය කන්දෙන් ළිස්සලා වැටුනා. හිස මත තබුණු වතුර කලය බිඳිලා ගියා. බත්පත සීසීකඩ විසිරුණා. ඇයට විලිරුදාව ඇතිවුණා. 


දශ්රත් මේ කිසිවක් නොදැන, ඇය කෑම එක අරන් එනකම් මග බලන් හිටියා. ඒ අතරෙ තමයි ඔහුට පණිවුඩය ලැබුණෙ පාගුනියා කන්දෙන් පහළට වැටිලා- අමාරු විත්තිය. ඇයව ඉස්පිරිතාලෙට අරන් යන එක ලේසි වුනේ නෑ. මොකද, හරිහමන් පාරක් නැතිකම නිසා ලී මැස්සක තබා ගෙන කන්ද නගිමින් කන්ද හරහා ඇයව පයින්ම රැගෙන යන්න ඔහුට සිද්ද වුනා. ඇයව කන්දෙන් එපිට නගරෙ ඉස්පිරිතාලෙට රැගෙන ගියත්, පාගුනියා ජීවිතේ දාලා ගියා. නමුත්, ලැබෙන්න හිටිය දරුවා බේර ගන්න පුලුවන් වුනා. ඇය කෙලිපොඩිත්තක්. 


ඔහුට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. ඇගේ අවසන් කටයුතු කරලා ඇවිත් එදාම ඔහු කන්ද ළඟට ඇවිත් දිවුරුවා. අනාගතය වෙනුවෙන් මේ කන්ද කපලා පාරක් හදනවා කියලා. ඔහු තමන් සතු අවසන් එළුවත් විකුණලා, කටුවකුයි මිටියකුයි සල්ලිවලට අරගත්තා. 
                  
ඒ 1960 අවුරුද්ද. එදා ඉඳන් ඔහුගෙ එකම රාජකාරිය උනේ උදේ ඉඳන් ඉර බහිනකම් කන්ද කපන එක. දෑතේ තරගැට එනකම්- ගිනි අව්වෙ ඔහු මහා ගල්පරයට පහර දෙමින් වෙහෙසකර ව්‍යායාමයෙ යෙදුණා. දරුවන් දෙන්න ගැන බොහෝ විට බැලුවෙ ඔහුගෙ පියා. තමන්ට හැකි ලෙස ඔවුන්ට නොසැළකුවා නොවේ. ගමේ බාලමහළු කොයි කවුරුත් ඔහුට පිස්සෙක්-මෝන්ගල්කාරයෙක් කියලා සමච්චල් කරා. කුඩා කොල්ලො කුරුට්ටො ඔහුට පිස්සා - පිස්සා කියමින් ගල්කැටවලින් පහර දුන්නා. ඒත් ඔහු කිසිවකින් නොසැළී, කන්ද කැපීමේ කාර්යය දිගටම කරගෙන ගියා. 

කන්ද කැපීමේ කටයුත්ත පටන් අරන් වසර ගණනකට පස්සෙ විශාල නියඟයක් ගෙහ්ලෝර් ගමට ආවා. ගමේ හැමෝම ගම අතතහැරලා යන්න ගියා. දශ්රත්ගෙ පුංචිවුන් දෙන්නත් දශ්රත්ගෙ පියා එක්ක ගම අතහැරලා යන්න ගියා. තමන් සමග එන්න කියලා ඔවුන් දශ්රත්ට කතා කළා. ඒත් කන්ද කැපීමේ කාරිය අතෑරලා දාන්න ඔහු සූදානම් වුනේ නෑ. ඔහු නැවතුනා. දැඩි නියඟයත් එක්ක ළිං හිඳිලා. කන්න දෙයක් නෑ. දැඩි පිපාසය සන්සිඳුව ගන්න ඔහු වතුර කඳුලක් තිබුනෙ නැති ළිංපතුල්වලට බැස්සා. එහි තිබුණු දියසෙවෙල් හූරලා බිව්වා. පස්සෙ ගල් පරය බිඳිද්දිම ඔහුට භූගත ජල මාර්ගයක් හමුවුණා. ඒකෙන් ඔහුගෙ දිවි රැකුණා. ගමේ අය මාස කිහිපයකට පස්සෙ එනකොටත් දශ්රත් සුපුරුදු විදිහටම කන්ද කපමින් හිටියා. හැමෝම පුදුම වුනා. 

දවසක් පත්තරේට ලිපි ලියන මනුස්සයෙක් ඔහුව හමු වෙන්න ආවා. ඔවුන් දෙදෙනා අතර අපූරු සංවාදයක් ඇති වුනා.

පුවත්පත් කලාවේදියා - මට අවංකව රස්සාව කරන්න ඕනකම තියෙනවා. ඒත් අන්තිමට වුනේ දේශපාලනඥයන්ට ගොට්ට අල්ලන්න


දශ්රත් - ඇයි ඔබ ඔබේම කියලා පත්තරයක් පටන් ගන්නැත්තෙ


පුවත්පත් කලාවේදියා - ඔබ හිතන්නෙ ඒක ලේසි වැඩක් කියල ද


දශ්රත්- ඒක කන්දක් කපන තරම් අමාරු වැඩක් කියල ද ඔබ හිතන්නෙ


මේ සිදු වීම වෙලා වසර කීපයකට පස්සෙ අර පුවත්පත් කලාවේදියා ඔහුව හමුවෙන්න ආවා. ඔහුගෙ අතේ තමන්ගෙම කියලා පත්තරයක්. ඔහු තමන්ගෙම කියලා පත්තරයක් පටන් අරගෙන, දශ්රත්ගෙ දිරිමත් වචනවලට පින්සිද්ද වෙන්න. ඒ වෙන කොටත් දශ්රත් කන්ද කැපීමේ කටයුත්තෙ නියැළෙමින් හිටියෙ. 

ඔහු මෙහෙම වසර 22ක් තිස්සෙ තනිවම කන්ද කැපුවා. ඔහුගෙ අධිෂ්ඨානය ගැන පැහැදිච්ච ගමේ ඇතැම්මු පස්සෙ කාලෙ ඔහුට කන්න බොන්න ගෙනවිත් දීලා හැකි පමණින් උදව් කරන්නත් කටයුතු කළා. ඒ ගෙවුනු කාලය තුළ දේශපානඥයන්ගෙ විවිධ අසාධාරකම්වලට-තාඩනපීඩනවලට ලක් වෙන්න ඔහුට සිද්ද වුනා. වරක් ඔහුගෙ නමට මේ වැඩේ සිදු කරන්න අනුමත වෙච්ච මුදල් වංචනිකව ප්‍රාදේශීය දේශපානඥයො යටිමඩි ගහගත්තා. ඒ ගැන ප්‍රශ්න කරන්න ගියාම ඔහුට හිරේ විලංගුවෙ වැටෙන්නත් සිද්ද වුනා. 

මේ සියලු බාධක-කෙණහිලිකම් මැද්දෙ ස්වෝත්සාහයෙන් පාර කැපීමේ කාර්යය නිම කරන්න ඔහුට 1982 අවුරුද්ද වෙන කොට පුලුවන් වුණා. ගමේ හැමෝම ඔහුව වීරයෙක් විදිහට සැළකුවා. ගම ලෝකයත් එක්ක විවෘත වුනා.



එවැනි පාරක් තිබුන නම් පගුනියා අදටත් ජීවතුන් අතර බව ඔහුට හිතුනා. අනාගතය වෙනුවෙන් ඔහු ඒ කාර්යය ඉටු කරා. ගෙහ්ලෝර ගම්මානය කරා යාන වාහන ඇදෙන්න පටන් ගත්තා. සංවර්ධනයෙ අරුණළු ගෙහ්ලෝර්වලට වැටෙන්න ගත්තා. ඒ සමග ගෙහ්ලෝර් සහ වසිර්ගන්ජ් ප්‍රදේශ අතර දුර කි.මී. 80 සිට 10 දක්වා අඩු වුණ බව කියනවා. ඔහු කපපු පාර මීටර් 110 ක දිගිනුත්, මීටර් 7.6ක ගැඹුරිනුත්, මීටර් 9.1ක පළලිනුත් යුක්ත වුනා. 

තමන්ගෙ බලය සහ ධනය යොදවලා ෂාහ් ජහාන් රජ්ජුරුවො (ක්‍රි.ව. 1592-ක්‍රි.ව. 1666) තම බිරින්දෑවරු සමූහයෙන් එක් බිරියක් වෙච්ච මුම්ටාෂ් දේවිය වෙනුවෙන් ඉදිකළ ටජ් මහළටත් වැඩිය දශ්රත් විසින් සිය පළමු සහ අවසන් බිරිඳ පාගුනියාගෙ ආදරය වෙනුවෙන් හැමෝගෙම යහපත සඳහා කපපු මේ පාර වටිනවා කියලයි මගේ අදහස. 

මොක ද දශ්රත් ඒක කළේ ස්වෝත්සාහයෙන්. බලය යොදවනවා වෙනුවට බලවතුන්ගෙ විවිධ කෙණහිලිකම්-තාඩනපීඩනවලට පෑගෙන අතරෙ. ඒ විතරක් නෙමෙයි එදා වේල සරි කරගන්නවත් හරිහමන් ක්‍රමයක් නැතිව. 

ඔහුගෙ මේ සමාජ සත්කාරය අගයමින් ඉන්දියාවේ පිදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානය සඳහා ඔහුගෙ නම යෝජනා කෙරුණත්, ඉන්දියාවේ වන සංරක්ෂණ පනතට අනුව ඔහු සිදු කර ඇති කාර්යය නීතිවිරෝධී කටයුත්තක්ය කියලා එය ලබා දුන්නෙ නැහැ. ඒ ගැන ඔහු කියලා තිබුණෙ තමන් කිසිසේත්ම නම්බුනාම-මිලමුදල් අපේක්ෂා නොකරන බවත්, තමන්ට අවශ්‍ය වුනේ පගුනියා වෙනුවෙන් ගමට පාරක්, ඉස්පිරිතාලයක් සහ ඉස්කෝලයක් ලබා ගැනීමට බවත්ය. 

දශ්රත් පිළිකාවක් නිසා 2007 අගෝස්තු 17 වැනිදා ජීවිතෙන් සමුගත්තා. එතකොට ඔහුට වයස 73යි. බිහාර් ප්‍රාන්ත රජය ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන්න කටයුතු කළා. දශ්රත් තනපු පාර ඔහුගෙ නමින් නම් කරන්න පසු කාලෙ කටයුතු කළා. 

ආදරය, අභිප්‍රේරණය සහ අධිෂ්ඨානය ගැන අලුත් ආදර්ශයන් එක්ක "කඳු මිනිසා" ("The Mountain Man" ) යන විරුද නාමයෙන් දශ්රත් සදා ජීවමාන චරිතයක් බවට පත් වුනා. 


ඔහු ගැන චිත්‍රපටයක් "Manjhi -The Mountain Man" නමින් මේ අවුරුද්දෙදි නිර්මාණය කරන්නත් කටයුතු කළා.


"ඔයාගේ මතකයන් එක්ක අවුරුදු ගාණක් ගෙවිලා ගිහින්....මං ඔයාට කොච්චර ආදරෙයි ද....ඒ ආදරය කිසිම කන්දකට නතර කළ නොහැකි තරම්...මුළු අහස් ගැබට දරා ගන්න බැරි තරම්...කාටවත් හිතාගන්න බැරි තරම්... "


(Manjhi- The Mounatin Man (2015) චිත්‍රපටයේ එන දෙබසක කොටසකි)

මූලාශ්‍රය- https://en.wikipedia.org/wiki/Dashrath_Manjhi

Monday, November 16, 2015

මිනිසුනේ, නිදහස් පොදු සංස්කෘතියකට එකතු වෙයව්...

මිහිතලය මත මිනිසාගේ පැවැත්ම ඇරඹියේ යම් දවසක ද, එදා පටන්ම මිනිසා හා සබැඳි සෑම දෙයක්ම පාහේ වෙනසට භාජනය වෙමින් පැවතවිත් තිබේ. එම වෙනස් වීම් පොදුවේ මානව සමාජයට-මේ මිහිතලයට සාධනීය මෙන්ම නිෂේධනීය ඵල ද ඇති කර තිබේ. එසේ වුව ද, ඒ අවිච්ඡින්න වූ පරිණාමීය ක්‍රියාවලිය මිනිසා හා බැඳී පවත්නා විවිධ වූ අංශ පුරා අදදු සිදු වෙමින් පවතින අතර, මිනිසාගේ වගකීම වන්නේ එම වෙනස සමස්ත සමාජයට සෙත සැළසෙන පරිදි සාධනීය අයුරින් සිදු කර ගැනීමය.  

වසර දහස් ගණනක් පුරා තම ජනසමාජය තුළ පරම්පරාගතව පැවත එමින් තිබුණේ යැයි කියා හෝ තම ආගමික ශාස්තෘෘවරුන් විසින් මෙසේ කළ යුතු යැයි පවසා ඇති නිසා හෝ කිසියම් ජන සමාජයක පවත්නා සංස්කෘතිය කිසිවිටෙකත් ආධානග්‍රාහීව පවත්වා ගත යුත්තේ නොවේ. වසර දහස් ගණනක් පැරැණි වුව ද, ආගමින් නියමිත වුව ද යම් සංස්කෘතිකාංගයක් සමාජයේ පොදු යහපැවැත්මට හානිකර නම් සහ ප්‍රතිගාමී නම්, ඒවා ඉවත් කර, ඒ වෙනුවට සමාජයේ පොදු යහපැවැත්මට හිතකර වූ ප්‍රගතිශීලි අංගයන් මිනිසා වැළඳ ගතයුත්තේමය. එසේ නොවන ජනසමාජ තුළ ආගමික හා වාර්ගික අන්තවාදයන් බලපවත්වනු ඇත්තේය. එය වාර්ගික හා ආගමික ගැටුම් කරා පියනගනු ඇත්තේය.  

එබැවින්, තමා අදහන ආගමින් නියමිත ඇඳුමට හෝ තමා අයත් යැයි කියනු ලබන ජනවර්ගයට අනන්‍ය යැයි කියන ඇඳුමට පැළඳුමට මිනිසා කිසිසේත්ම කොටු විය යුතු නැත. බාහිර පෙනුමෙන් මිනිසෙකු කුමන ආගමකට-කුමන ජාතියකට අයත් දැයි හඳුනාගත නොහැකි තරමට කිසිදු වාර්ගික හෝ ආගමික වශයෙන් ලේබල්කරණය නොවූ නිදහස් ඇඳුම් පැළඳුම් රටාවකට සමස්ත සමාජය පැමිණිය යුතුය. එහෙත්, එලෙස වෙනස් වීමට ඇති අවකාශය සහ නිදහස බොහෝ විට ආගම මගින් අහුරා ඇති බව පෙනේ. මෙකල සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ මෙන්ම වෙනත් බොහෝ රටවල ජනසමාජයන්හි ද පවතින්නේ මිනිසෙකු දකින පළමු බැල්මෙන්ම " මොහු අසවල් ආගමේ - අසවල් ජාතියේ " යැයි එකිනෙකා බෙදා වෙන් කරන්නා වූ, වාර්ගික හෝ ආගමික වශයෙන් එකතු වී ඇති අංගයන් නොවේ ද? 

සැබවින්ම, එකිනෙකා වෙන් කරන්නා වූ එවැනි සංස්කෘතිකාංගයන්ගෙන් මානව සමාජයට ඇති ඵලය කුමක් ද? 

ආගමේ හෝ ජාතියේ නමින් තවත් පිරිසකගේ දිවි නසන්නට පෙළඹෙන මිනිසුන්ගේ ඔළුගෙඩි තුළ කිඳා බැස ඇති ආගමික හෝ වාර්ගික අන්තවාදයන්හි ඇති තරම කොතරම් ද යන්න අප රට දෙස පමණක් නොව ලොව අන් බොහෝ රටවල් දෙස ද බැලීමෙන් පෙනී යයි. එහෙත්, ප්‍රශ්නය ඇත්තේ ආගමික හා වාර්ගික වරපටිවලින් දැඩිව බැඳුණු මිනිසුන් ඉන් නිදහස් වෙන්නට සූදානම් ද යන්නය. 

අධ්‍යයන විෂයයක් ලෙස තුලනාත්මකව සෑම ආගමික ඉගැන්වීමක්ම ඉගෙන ගත්තාට සහ ඉන් කිසිවෙකුටත් හානියක් නැති යහපත් ඉගැන්වීම් ජීවිතයට එකතු කර ගත්තාට කිසිදු ගැටලුවක් නැත. එසේම, මිනිසා කිසියම් ආගමකට බැඳී නොසිටියා කියා සුරක්ෂිත මානව සමාජයක් නිර්මාණය කිරීමට එය බාධාවක් නොවන බව ද මෙහිලා සඳහන් කළ යුතුය. ආගමික ලේබල්කරණයෙන් තොරව පොදු මානව ආචාර ධර්ම මිනිසාට ප්‍රාථමික අවදියේ සිටම අධ්‍යාපනික ක්‍රියාවලිය හරහා ලබා දෙන්නේ නම්, ආගමින් ඇති කරනු ලබනවා යැයි කියනු ලබන සමාජ සදාචාරය පහසුවෙන් ඇති කළ හැක. නීතිය ද ඒ සඳහා උපකාරී වනු ඇත්තේය.    

පොදුවේ අප සමාජයේ බටහිර ජාතීන් පිළිබඳව පවතින්නේ සුභවාදී ආකල්පයක් නොවේ. එය උදේ රෑ දිවා පාලකයන් විසින් අප මත ඇති කරන ලද මතයන් හා ඉතිහාසය තුළ ඇතැම් බටහිර ජාතිකයන් සිදු කර ඇති ක්‍රියාකාරකම්හි ප්‍රතිඵල ලෙස ඇති වුණකි. ඒ කෙසේ වුව ද, අප සමාජයට ඔවුන්ගෙන් උකහා ගත යුතු බොහෝ දේ ඇති බව අපගේ හැඟීමයි. පළමු කොටම අප වැළඳගත යුත්තේ ඔවුන් අතර ඇති සංස්කෘතික නිදහස්බවය.

ප්‍රංශය පසුගිය කාලයේ පාසල් තුළ ආගමික සංකේත හැඳීම තහනම් කළේය. ඒ ආගම් කෙරෙහි ඇති වෛරයක් නිසා නොව, ලෞකික රාජ්‍යයක් ලෙස තමන් ප්‍රවර්ධනය කරන්නා වූ පොදු නිදහස් සංස්කෘතියට එය බාධාවක් ලෙස ඔවුන් සළකන නිසාය. මුස්ලිම් නොව බෞද්ධ වුව ද හින්දු වුව ද අන් කිසි ආගමක වුව ද පොදු සංස්කෘතියකට බාධාකාරී වන එවැනි ගතානුගතික අංග තිබේ නම්, සමාජය ඉන් නිදහස් විය යුතුය. මෙය නීති මගින් පාලනය කරනවාට වඩා මිනිසුන් විසින් සිතා බලා වෙනස් වන්නේ නම් වඩා හොඳය. නමුත්, එවැනි වෙනසකට මගපෑදීමට පාලන තන්ත්‍රයට කළ හැකි කාර්යභාරය බොහෝය.  

පසුගිය ආණ්ඩු සමයේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයක් පැවතුණි. වත්මන් ආණ්ඩුව යටතේ ජාතික සංවාද ඇමතිධූරයක් ඇති කර තිබේ. එකිනෙකා බෙදා වෙන්කරන වගන්ති- නීති- අංගයන් පිරිවරා ගන්නා අතරම, වාර්ගික සංහිඳියාව සඳහා අමාත්‍යංශ හැදුවාට පලක් නැති බව අපගේ හැඟීමයි. අධ්‍යාපනික ක්‍රියාවලිය තුළින් පොදු සංස්කෘතියකට මග සළසන නිදහස් මනස් නිර්මාණය නොකරන තාක් සහ කිසිදු ජාතියකට ආගමකට විශේෂයක් නොකරන ආකෘතියක් නිර්මාණය නොකරන තාක් සමාජය දිනෙන් දින බෙදී වෙන්වනු ඇත්තේමය. 

එබැවින්, අපට පොදුවේ මිනිසුන්ට කීමට ඇත්තේ මෙපමණය.

මිනිසුනේ, ආගම්-ජාති-කුල-ගෝත්‍ර පැත්තකින් තබව්.. නිදහස් පොදු සංස්කෘතියකට එකතු වෙයව් කියාය... 

Wednesday, October 7, 2015

පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හමුවේ ඔඩුදුවන ජාතිවාදය..

අප රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙති. නිදහසින් පසු ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජාතිකත්වයක් (Nationality) ගොඩ නගනු විනා, එක එක ජනවර්ගයට විවිධ ප්‍රමාණයේ හැඳිවලින් බෙදීමේ සහ විවිධ ප්‍රමාණයෙන් බෙදා ගැනීමට තැත් කිරීමේ පටු ජාතිවාදී දේශපාලනයේ ප්‍රතිඵල ලෙස 1948 ලත් නිදහසින් පසු හරි අඩක්ම අප රට ජන ඝාතක සහ ආර්ථිකඝාතක දැවැන්ත යුද්ධයක පැටළුණි.


 ශ්‍රී ලාංකීය දේශපාලන න්‍යාය පත්‍රවල ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රවල ද තවමත් යුද්ධයේ ශේෂමාත්‍ර කතා බහට ලක් වන බැවින් තවමත් අප ඒ යුද්ධයෙන් මිදී නැති බව පැහැදිළිය. 


නමුත්, යුද්ධයක අමිහිරිබව විඳි රටක පුරවැසියන් වශයෙන් අප තවමත් අතීතයෙන් පාඩම් උගනින්නට සූදානම් නැති බව පෙනේ. සමාජ ජාල වෙබ් අඩවිවල වෛරසයක් සේ විවිධ නිර්නාමික පිටු සකස් කරගෙන සිංහල මුස්ලිම් කෝලාහලයක්ට අර ඇඳීමට දිවා රෑ නොබලා ඇතැමුන් අර අඳිනු පෙනීමෙන් ඒ බව පසක් වේ. මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයන් පමා වන්නට- පමා වන්නට සිදු වෙන හානිය ඉතා දැඩි බව පාලකයන් තේරුම් ගත යුතුය. 

කිසිදු ආගමික කොට්ඨාසයකට නීතිය අතට ගැනීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය. එය  ඉස්ලාම් ද බෞද්ධ ද ක්‍රිස්තියානි ද හින්දු ද වෙන කුමක් හෝ කියා භේදයක් නැත. නබි තුමා ආව ද බුදුරදුන් ආව ද ජේසු තුමා ආව ද නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක විය යුතුය. (බුදුරදුන් පවා භික්ෂූන්ට කීවේ "අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තිතුං" එනම් රාජ නීතියට අනුව (එනම් රටේ නීතියට අනුව) කටයුතු කරන්නට කියාය) 

විග්නේශ්වරන් මහ ඇමතිවරයා උතුරේ අනෙකුත් ජාතීන්ට පදිංචි විය නොහැකි යැයි තවමත් ප්‍රකාශ කරති. ඒ අනුව, උතුරේ වෙනම ජාතිවාදයකි. රටේ ව්‍යවස්ථාවට අනුව ඕනෑම පුරවැසියෙක්ට රටේ ඕනෑම තැනක පදිංචි වීමට නිදහසේ ජීවත් වීමට අයිතිය ඇත. එහෙත්, මේවාට විරුද්ධ නොවී රට බල්ලට ගියත් ඡන්දය බලා ගෙන වැඩ කරනා අපේ රටේ පාලකයන් ගල් ගිල්ල බමුණන් සේ කට පියා ගෙන සිටිති.

ඒ අතර, ප්‍රතිපත්තිවලින් බෞද්ධ නොවන එහෙත් සිංහල බෞද්ධ යැයි උජාරුවෙන් කියා ගන්නා ඇතැමෙක් (සැබැවින්ම බෞද්ධ ප්‍රතිපත්ති මත කටයුතු කරනා සිංහලයන් ගැන නොවේ. ඔවුන්ගෙන් සතා සිව්පාවෙකුටවත් කරදරයක් නැත) මෙය බුදුන්ගේ දේශය යැයි ද, මෙය අන් ජාතීන්ට තහනම් යැයි ද අන් ජාතීන් ආ තැනකට යා යුතු යැයි ද තවත් ජාතිවාදයක නිරත වෙයි. ඒ ගැන ගී සින්දු සකස් කර රින්ගින් ටෝන් ලෙස ද යොදාගනිති. මුස්ලිම් කවඩල් වර්ජනය කරන්නැයි ඔවුන් කියනා විට ඔවුන් වැනිම අන්තගාමී ඇතැම්  මුස්ලිම් අය ද සිංහල ව්‍යාපාර සහ ඔවුන් නිපදවන භාණ්ඩ වර්ජනය කරන්නැයි සමාජ ජාලවල පෝස්ට් ෂෙයා කරති. 


එවැනි ජාතිවාදී ඇතැම් මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී පාකිස්තානය ජයගත් පසු විසිල් ගසා හුරේ දමා රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වෙති. 

ඒ අනුව බලන විට ජාතිය ගොඩ නැගීම (Nation Building) කියන කාරණයෙන් අප ගව් ගාණක් එපිට බව පෙනේ. සිංගප්පූරුව ජාතිය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ඇණගත් ඇනගැනිල්ල දෙස බලා ගුරුහරුකම් ගත්තේය. නමුත් අප රට වාර්ගික වශයෙන් බෙදී වෙන් වෙලාය. එකාට එකා නැත. තවමත් එකිනෙකා ගැන වෛරයෙන් සැකයෙන් බලන තැනය. සියලු ජනවර්ගයන්ට ශ්‍රී ලංකාව අපේ රට යැයි හදවතින් සහ ආඩම්බරෙන් කිව හැකි  තැනක නැත. 

විල්පත්තු කැලේ කපනවා නම් එය ආරක්ෂා කිරීමේ නෛතික වගකීම තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මිස ආගමික කණ්ඩායම්වලට නොවේ. තලේබාන් ගණයේ විසඳුම් ආරෝපනය කරන්නට යෑම බුද්ධිමත් පිළිවෙත නොවේ. බංගලාදේශයේ බෞද්ධ භික්ෂූන් අමු අමුවේ ඝාතනය කෙරෙන්නේ එලෙස ආගමික අන්තවාදයන්ට යට වී නීතිය බල්ලට ගොස් ඇති නිසාය.   

කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් නම්, එය ආරක්ෂා කිරීමේ වගකීම අදාළ ආයතන සතුය. ආයතනවල අකාර්යක්ෂමතාව මැඩලීම සඳහා විසඳුම් දෙනු වෙනුවට ජාතිවාදයෙන් පිළතුරු සෙවීමට යාම විසඳුම් නොවේ.

මෙලෙසින් රටේ පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හේතුවෙන් දිනෙන් දින ඔඩුදුවන ජාතිවාදය, දිනක අපේ රට මහා විනාශයකට ඇද දමනු ඇත.

ශ්‍රී ලංකාවේ සාක්ෂාරතාව 98% යි... ඒත් අපි කොතන ද?

සාක්ෂරතාව අතින් අප ආසියානු කලාපයේ ඉහළම රටවල් අතර සිටී.  (අප රටේ සාක්ෂරතා මට්ටම 98%ක් යැයි කියති) 

සමාජ සංවේදීතාවක් රහිත එහෙත් විවිධ උපාධි ගසාගත් ඇතැමුන්ම දෙමළා -හම්බයා පරයින් යැයි ද එවුන්ට මෙහි ඉන්නට වරම් නැත යැයි ද කියන විට, ඊට ප්‍රතිපක්ෂ ලෙස දෙමළා ද මුසල්මානුවා ද රටේ වෙනම කෑලි කඩා ගැනීමේ මානසිකත්වයෙන් පටු ජාතිවාදයෙහි යෙදෙන විට, නීතිය බල්ලට යන විට, හොරකම-වංචාව-දූෂණය ආයතන වසාගෙන ඇති විට, ළමා අපචාර-ස්ත්‍රී දූෂණ එකක් පස එකක් අසන්නට ලැබෙන විට, ඇඟේ හැපුනත් සොරි කියා යන අතක නොයා අතින් පයින් ගේම ඉල්ලනා මිනිසුන් සමාජයේ නොසෑහෙන්න සිටින විට, තමන්ගෙ කුණු තැනක් නොතැනක් නොබලා රිසිසේ දමා රට අවලස්සන කරන මිනිසුන් නොසෑහෙන්න සිටින විට, අප රට සාක්ෂරතාව අතින් ඉහළ යැයි සැබවින්ම කිව හැකි ද යන්න මට නම් ගැටලුවකි.


මේ සමාජ ප්‍රශ්නවලට හේතුව අපගේ අධ්‍යාපනයෙහි ඇති අසංවිධිතබව නොවේ ද? විෂය නිර්දේශවල අන්තර්ගතයන්හි අඩුපාඩු නොවේ ද? 


සමස්තයක් වශයෙන් ලංකාවේ අධ්‍යාපනයේ ඵලදායීබව සහ ගුණාත්මකබව පිළිබඳ දැඩි ප්‍රශ්න තිබේ. 

2015 පළමු කාර්තුවට අදාළ සංඛ්‍යාෙල්ඛනවලට අනුව ශ්‍රී ලංකාවේ රැකියාවිරහිතබව 4.7%ක් වන අතර, ඉන් ඉහළම ප්‍රතිශතය උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන සුදුකම් ඇති අයවළුන් අතරය. (පහත වගුව බලන්න) මෙය අපේ රටේ අධ්‍යාපනයේ ඇති අර්බුදය මැනවින් පිළිබිඹු කරන්නක් නොවේ ද? 

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශ්‍රම අවශ්‍යතාවන්ට නොගැළෙපෙන උපාධි පාඨමාලා හදාරන පිරිස ඉතා ඉහළය. ඒ හැරත්, බාහිර උපාධි වශයෙන් රැකියා ඉල්ලුමක් නැති එවැනි විෂයන් හදාරන පිරිස දහස් ගණනකි. වසර තුන හතරක් කැප කර, උපාධියකුත් ලබා රැකියාවකට යනු නොහැකිව නිවසට වී, රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් එනතෙක් බලා සිටින්නට වීම යනු දැඩි අර්බුදයකි. 

විෂය ධාරා තෝරා ගැනීමේදී පාසල් මට්ටමින්ම ඉහළ ප්‍රතිශතයක් විද්‍යා, ගණිත,වාණිජ සහ තාක්ෂණික විෂය ධාරාවන්ට යොමු කරවීමත්, ඉතා සීමිත ප්‍රතිශතයක් කලා විෂය ධාරාව සඳහා යොමු කරවීමත් කළ නොහැක්කේ මන්ද? (එවැනි යෝජනාවක් පසුගිය රජය සමයේ පැමිණිය ද ඒවායෙහි වත්මන් තත්වය නොදන්නෙමු) 

එසේම, උසස් පෙළ හදාරන සැවොම සරසවි යා යුතු යැයි නියමයක් නැත. සාමාන්‍ය පෙළින් හෝ උසස් පෙළින් හැළෙන ළමයාගේ ඉදිරි අනාගතය සඳහා නිසි වෘත්තීය වැඩ පිළිවෙළක් ඇති කිරීම පාලකයන්ගේ වගකීමය. ඒ සඳහා දැනට පිහිටුවා ඇති වෘත්තීය පුහුණු ආයතන වඩා ශක්තිමත් කරමින්, ජීවිකාව සඳහා වෙළඳපොළ ඉල්ලුම ඇති කිසියම් වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැළසිය යුතුය. අප රටේ ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනයෙන් පවා නිසි ඵල ලැබෙන්නේ එවිටය. 

එවැනි අධ්‍යාපනයක් ලබා දීමට නම් ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බව ඉතා පැහැදිළිය. ඉගැන්වීම් ක්‍රමශිල්ප සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සහ විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් අදට ඔබින ලෙස සමාජහිතකාමී මිනිසෙකු නිර්මාණය කරන ලෙස සකස් කිරීම ඒ අතර ප්‍රධානය.

වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා, විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් සම්බන්ධයෙන් මා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙසේය.

යෝජනා

1.
පොදු සමාජ ආචාර ධර්ම පාසල් අධ්‍යාපනයේ ප්‍රාථමික අවදියේ සිටම විෂය ඒකකයක් ලෙස ඉගැන්වීම 

(මිනිහෙක්ට මිනිහෙක් කෙරෙහි තිබිය යුතු මානව ගෞරවය, ආචාරශීලිත්වය සහ කිසිවෙකුටත් හානිකර නොවන සමාජ චර්යාවන්හි වැදගත්කම ඉන් අවධාරණය විය යුතුය)

2. සැමට එකඟ විය හැකි සහ ආචාර විද්‍යාත්මක වශයෙන් වැදගත් සියලු ආගම්වල එන මූලික ඉගැන්වීම් ඇතුළත් පොදු විෂය ඒකක පාසල් විෂය නිර්දේශය තුළට ඇතුළත් කිරීම  -සමයාන්තර අධ්‍යයනයක් වශයෙන්

ඒ අනුව ආගමෙන් හින්දු වන ශිෂ්‍යයාට බුදුදහම, ඉස්ලාම් දහම සහ ක්‍රිස්තු ධර්මය ගැන අවබෝධයක් ලැබිය හැක. මුස්ලිම් ශිෂ්‍යයාට බුදුදහම, ක්‍රිස්තු ධර්මය සහ හින්දු දහම ගැන වැටහීමක් ලැබිය හැක. බෞද්ධ ශිෂ්‍යයාට ඉස්ලාම් දහම, ක්‍රිස්තු ධර්මය සහ හින්දු ධර්මය ගැන වැටහීමක් ලැබිය හැක. එය ජාතික ඒකාග්‍රතාවට මග සළසනු ඇත. අන්තර් ආගමික අවබෝධයට ද ඉවහල් වනු ඇත.

3. මූලික නීතිය, මූලික මිනිස් අයිතිවාසිකම්, නීතිගරුකත්වයෙහි ඇති වැදගත්කම සහ සමාජය යහපැවැත්මට එය ඉවහල් වන ආකාරය පිළිබඳව අවධාරණය කරමින් නීතිය පිළිබඳ සරළ පොදු විෂය ඒකකයක් අධ්‍යාපන විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 


( දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳවත්, වැරදි කළහොත් ලැබෙන දඬුවම් පිළිබඳවත් 9 වසරේ සිට උසස් පෙළ දක්වාම එය ක්‍රමිකව ඉගැන්විය යුතුය)

4. කලා විෂයධාරාව හදාරන ප්‍රමාණය අතිශය සීමා කිරීම හා මානවශාස්ත්‍ර විෂයන් ඇසුරින් සකසන ලද පොදු විෂය ඒකක ගණිත, විද්‍යා සහ තාක්ෂණික විෂය ධාරා හදාරන අයට අනිවාර්ය කිරීම 


(ඒ අනුව, කුමන භාෂා මාධ්‍යයකින් කුමන විෂය ධාරවක් හැදෑරුව ද ඔවුන්ට විෂය ඒකකයක් ලෙස මව්බස ඉගෙන ගැනීමට සිදු වනු ඇත. පොදු ආචාර ධර්ම විෂය ඒකකයක් ලෙස හැදෑරීමට සිදු වනු ඇත. ඕනෑ නම් සමයාන්තර අධ්‍යයනය ද ඊට ඇතුළත් කළ හැක. වඩා සාධාරණ සමාජ දැක්මකට මග පාදන තෝරා ගත් සාහිත්‍ය කෘති අනිවාර්යයෙන් ඊට ඇතුළත් විය යුතුය. (විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකීය සහ විශ්ව සාහිත්‍ය කෘති)

මා දන්නා තරමින් ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල විද්‍යා තාක්ෂණික ආදී කුමන විෂය ධාරවක් හැදෑරුව ද නිදහස් කලා විෂයධාරාව (liberal arts) යටතේ හැදෑරිය යුතු පොදු විෂය ඒකක ඇත. ඒ අනුව, සාහිත්‍යය, ආචාර ධර්ම,තර්ක ශාස්ත්‍රය,දර්ශනය,සමාජ විද්‍යාව ආදී මානව ශාස්ත්‍ර විෂය ඒකක ප්‍රධාන උපාධි පාඨමාලා හා ඒකාබද්ධ කර ඇත. 

මානව අයිතිවාසිකම් සුරකින- වඩා ප්‍රජාතාන්ත්‍රික වූ සමාජයකට පිය මැනීමේදී යාන්ත්‍රික මිනිසුන් වෙනුවට සමාජ සංවේදීතාවෙන් යුතු, ප්‍රශ්න නිවැරදි ලෙස කළමනාකරණය කළ හැකි මිනිසුන් බිහි කිරීමට එය ප්‍රබල පිටුබලයක් සපයයි. (සමාජ සංවේදී මිනිසුන් බිහිකිරීමට මානව ශාස්ත්‍ර විෂයන්ට අපූරු හැකියාවක් ඇත)

මේ සම්බන්ධයෙන් කියවන්න.

කලාව කුමට ද? පරිවර්තනය ලියනගේ අමරකීර්ති. පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මානව ශාස්ත්‍රීය අධ්‍යාපනය තාක්ෂණික විෂයන් එක්ක බද්ධ කරන අධ්‍යාපන ආකෘතියකට හොඳ ආලෝකයක් මේ පොත අපට ලබා දේ.

5. පරිසර අධ්‍යයනය සහ පාරිසරික සම්පත් සුරැකීමේ වැදගත්කම අවධාරණය කෙරෙන පොදු විෂය ඒකකයක් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 


6. ලිංගික අධ්‍යාපනය පාසලේදී විෂය ඒකකයක් ලෙස නව යොවුන් වියේ දී ලබා දීම

"උදා වූ යෞවනය" නමින් එජාප රජය සමයේ පාසල්වල බෙදාහැරි පොත ද අවාසනාවට එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය වූ තාරාද මැල් මහත්මිය විසින් අපේ සංස්කෘතිය විනාශ වේ යැයි තහනම් කෙරුණි. පොත මුල සිට අගට කියවූවෙකු වශයෙන් ද මගේ අදහස නම් එහි නොවැදගත් යැයි බැහැර කළ හැකි කිසිවක් නැති බවත්, නව යොවුන් වියට පත්වන ළමයෙකුගේ කායික මානසික වෙනස්වීම්-ලිංගිකත්වය පිළිබඳවත් වැදගත් තොරතුරු එහි සඳහන් වන බවත්ය. 

එවැනි අවබෝධයක් ලබා දීම වැරැද්දක් වන්නේ කෙසේ ද? 


............................................................................................................

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සැප්තැම්බර් මාසයේ දී නිව්යෝක් නුවරදි රැස්විය. 

එහිදී 2000 වසරේ සිට 2015 වසර තෙක් ක්‍රියාත්මක කරනු ලැබූ සහශ්‍ර සංවර්ධන ඉලක්ක (MDGs)  2015 වසරින් ඇතැම් සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් සමග අවසන් වීමත් සමග, 2015 වසරේ සිට 2030 දක්වා ඊට වඩා පුළුල් ඉලක්ක සමුදායක් "තිරසර සංවර්ධන ඉලක්ක" (SDGs) නමින් ඉලක්ක 17ක් යටතේ ප්‍රකාශයට පත් කෙරුණි. 

එ් යටතේ ප්‍රධාන වශයෙන්ම සමාජ සාධාරණත්වය රජයන, සියලු පාර්ශව ඇතුළත් වන (Inclusive), පරිසර හිතකාමී, ස්ත්‍රී පුරුෂසමානාත්මතාව සපිරි, ජාතිභේද රහිත, දරිද්‍රතාව රහිත මානව සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක සමුදායක් ඉදිරිපත් කෙරුණි. 

මා විසින් ඉහතින් යෝජනා කර ඇති විෂය නිර්දේශ අන්තර්ගතයන් සම්බන්ධ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකින් එහි එන බොහෝ ඉලක්ක සාධනය කර ගැනීමට ප්‍රබල පිටුවහළක් බව මගේ අදහසයි. 


ජාතිවාදී කෝළාහල නොඇවිළවෙන තැනට- පුද්ගලාන්තර ගැටුම් නිර්මාණය නොවන තැනට- සමාජ සාධාරණත්වය සහ නීතිගරුකත්වය මත සමාජය දුවන තැනට- අධ්‍යාපනය ජීවිකාව සඳහා මෙන්ම සමාජයේ යහපැවැත්මට ද උපකාරී වන තැනට සහ ආගමික හෝ ගතානුගතික සංස්කෘතික වරපටිවලින් මිදුණු නිදහස් පොදු සංස්කෘතියක් ඔස්සේ ගමන් කරන තැනට අධ්‍යාපනය තුළින් මිනිසුන්ගේ ඔළු ගෙඩි ටික හැදිය හැකි නම් එවන රටක ජීවත් වීමේ භාග්‍යය තරම් භාග්‍යයක් මට නම් තවත් නැත. 


Friday, September 25, 2015

ඉන්දු ලංකා ධීවර ගැටලුව වටේ යාමක් ද?

ඉන්දු – ලංකා ධීවර ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ධීවර සංගම් සිදුකළ ඉල්ලීම මෙරට ධීවර සංගම් විසින් ප්‍රතික්ෂේප කළ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට හේතු වශයෙන් උතුරේ ධීවර සංගම් නියෝජිතයන් ප්‍රකාශ කර තිබුණේ පසුගියදා දෙරටේ අගමැතිවරුන් හමු වී කළ සාකච්ඡාවේදී නිසි විසඳුමකට ඒමට නොහැකි වූ කාරණයක් පිළිබඳව ධීවර සංගම් පමණක් සාකච්ඡා කිරීමෙන් පලක් නොවන බවය. 

සැබවින්ම, ඉන්දු ලංකා ධීවර ගැටලුව පහසුවෙන් විසඳිය නොහැකි-නූල් බෝලයක් තරමට අවුල්සහගත - දැවැන්ත ගැටලුවක් ද? 

ඉන්දු -ශ්‍රී ලංකා මුහුදු සීමාව සහ එය 
උල්ලංඝනය කෙරෙන ආකාරය
යුද්ධය පැවති සමයේ නාවික හමුදාව විසින් පනවන ලද විවිධ තහංචි නිසා සහ අවිනිශ්චිත ආරක්ෂක වාතාවරණය නිසා ඉන්දු ලංකා ධීවර ප්‍රශ්නය එතරම් කරළියට පැමිණි බවක් අපට දක්නට නොලැබුණි. නමුත්, යුද්ධය හමාර වීමත් සමගම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙන තරමට එම ප්‍රශ්නය වර්ධනය විය. මේ පිළිබඳව පසුගිය රජය සමයේ ද රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහ දෙරටේ ධීවර සංගම් මට්ටමින් සාකච්ඡා පැවැත්වුණු අතර, ඉන් ද විසඳුමක් නොලැබුණි. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ඉන්දීය සංචාරයේදී ද මේ පිළිබඳව ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡා කළ බව ද, ඉන් විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි. 

නමුත්, අපට ඇති ප්‍රශ්නය නම් වසර ගණනාවක් තිස්සේ මේ තරම් සාකච්ඡා කිරීමට සහ සාකච්ඡා කරමින් ඇදගෙන යාමට ඇති ප්‍රශ්නය කුමක් ද කියාය. දැනට පැන නැගි ඇති ඉන්දු ලංකා ධීවර ගැටලුව ජාත්‍යන්තර සාගර ප්‍රඥප්තීන්ට හා ද්විපාර්ශවික එකඟතාවන්ට අනුකූල නොවීම නිසා හටගෙන ඇති තත්වයක් මිස අන් කිසිවක් නොවේ. 

එක්සත් ජාතීන්ගේ සාගර නීති ප්‍රඥප්තිය යටතේ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අදාළව ජාත්‍යන්තර මුහුදු සීමා මොනවා ද යන්න වෙන වෙනම නිර්ණය කර තිබේ. ඊට අමතරව දෙරට අතර 1974 සහ 1976 අත්සන් කරන ලද මුහුදු සීමා සම්බන්ධයෙන් වූ එකඟතාවන් මගින් පෝක් සමුද්‍ර සන්ධිය සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු සීමා පිළිබඳ පොදු එකඟතාවන්ට එළඹ තිබේ. (දෙරටේම පාරම්පරික ධීවර ප්‍රදේශවල සීමා මායිම් පිළිබඳ එකඟ වෙමින්, එම ප්‍රදේශය තුළ දෙරටේ නාවුක යාත්‍රාවන්ට නිදහසේ ගමන් කිරීමේ අවස්ථාව සැළසුණි. කච්චතිව් දූපත ශ්‍රී ලංකාව සතු බවටත්, ඉන්දියානුවන්ට ආගමන ලියකියවිලි රහිතව එහි පැමිණිය හැකි ලෙසත් එකඟතාවන්ට එළඹුනේ ද ඒ අනුවය) මූලාශ්‍රය පිටුව 11, Hettiarachchi. A, Fisheries in the Palk Bay Region: The IndianFactor, Ministry of Fisheries and Aquatic Resources

ඒ සියලු ජාත්‍යන්තර නීතින්ට හා ද්විපාර්ශවික එකඟතාවන්ට අනුව, ශ්‍රී ලංකාවේ මුහුදුසීමාව සහ ඊට අයත් සම්පත් ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම සහ නෛතික අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇත. එලෙසින්ම, තම රටේ මුහුදු සීමාව සහ ඊට අයත් සම්පත් ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම සහ නෛතික අයිතිය ඉන්දියානු ආරක්ෂක අංශවලට ඇත. බොහෝ විට ඉන්දියානු ධීවරයන් බුරුතු පිටින් ලංකා මහුදු සීමාව ඉක්මවාවිත් මසුන් ඇල්ලීමේ නිරත වෙති. එවැනි අය ධීවර යාත්‍රා ද සමග ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට පත් වෙති. ලංකා ධීවරයන් ද ඉන්දියානු මුහුදු සීමාව ඉක්මවන විට, ඔවුන් ඉන්දීය වෙරළාරක්ෂක හමුදා අත්අඩංගුවට පත් වෙති. වෙනත් රටක මුහුදු සීමාව උල්ලංඝනය කර- ධීවර කටයුතුවල නියැළෙන විට එවැනි තැනැත්තන් එම රටේ මුහුදු සීමා නීති අනුව අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක් වන්නේ කෙසේ ද?  

යමෙක් එය ප්‍රශ්නයක් ලෙස දකින්නේ නම්, එම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ඇති විසඳුම සාකච්ඡා තබමින් මන්මුළා වූවන් සේ වටේ යමින්- කාලය කා දැමීම නොව, දෙරටේම ධීවරයන් අනෙකුත් රටවල මුහුදු සීමා උල්ලංඝනය කර මසුන් ඇල්ලීමට කටයුතු නොකිරීමය. එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන-අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ඒ රටේ ආරක්ෂක අංශ වල වගකීමය. 
  
ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට සතියට දින දෙකක්වත් දෙන්නැයි ඉන්දීය ධීවර සංගම් වරෙක යෝජනාවක් ඉදිපත් කර තිබුණි. මීට මාස කිහිපයකට පෙර දෙරටේ ධීවර සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ද වසරකට දින 83 බැගින් ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉඩ ලබා දෙන්නැයි ඉන්දීය පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී තිබුණි. නමුත්, ප්‍රශ්නය වන්නේ එසේ කිරීමට ශ්‍රී ලංකාවට තිබෙන අවශ්‍යතාව කුමක් ද කියාය. යම් ලෙසකින් හෝ අප රටේ පාලකයන් එසේ කිරීමට ඉන්දියානු ධීරයන්ට අවස්ථාව ලබා දෙන්නේ නම්, ඉන්දියානු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ද ඒ හා සමාන අවස්ථා ශ්‍රී ලංකා ධීවරයන්ට ලබා දීමට වගබලා ගත යුතුය. නමුත්, එවැනි ඔලමොට්ටල-අදූරදර්ශී තීරණ ගතහොත්, ඉන් දීර්ඝකාලීන අවාසිය ශ්‍රී ලංකාවට බව පාලකයන් සිහිතබා ගත යුතුය. ඊට එක් සරළ හේතුවක් ලෙස, උතුරු මුහුදු තීරයෙහි මසුන් අල්ලන ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාව හා එම තීරයෙහි මසුන් අල්ලන ශ්‍රී ලංකා ධීවර යාත්‍රා සංඛ්‍යාව අතර තුලනයක් නැති වීම පෙන්වා දිය හැක. එමනිසා, එවැනි තීරණයක අනිවාර්ය අවාසිය ශ්‍රී ලංකාවටය.     

දැනට අත්අඩංගුවට ගෙන සිටින සියලුම ධීවරයන් නිදහස් කිරීමත්, යම් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කර එදිනෙන් පසුව මුහුදුසීමා නීති අකුරටම ක්‍රියාත්මක කරනු ලබන බවට ප්‍රකාශයට පත් කිරීමත්, පූර්ව දැනුවත් කිරීම් වශයෙන් ප්‍රකාශිත දිනයෙන් පසුව මුහුදුසීමා උල්ලංඝනය නොකරන ලෙසත්, උල්ලංඝනය කළහොත් අත්අඩංගුවට ගනු ලබන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් දෙරටේම බලධාරීන් එකහඬින් ප්‍රකාශ කිරීම මෙම ප්‍රශ්නය විසඳීම සඳහා කළ යුතු කාර්යය නොවේ ද? 

මේ රටේ පාලකයන් තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම්, වසර තිහක් තිස්සේ උතුරේ ධීවරයන් යුද්ධය නිසා තම ජීවිකාව නිදහසේ කරගන්නට නොහැකිව බැටකමින් සිටි බව ද, එකල පනවා තිබූ තහංචි දැන් ඉවත් කර ඇති නිසා දැන්වත් වැට පනින්නන්ගේ බාධාවකින් තොරව ඒ කාර්යය නිදහසේ කර ගැනීමට වාතාවරණය සළසා දිය යුතු බවත්ය. 

ගවයන් වුව වැට ශක්තිමත් නොවූ විට වැට පැනීමට උත්සාහ කරති. එහෙත් වැට ශක්තිමත් නම් සහ වැට පැන්නොත් ගැලවීමකුත් නැති බව දන්නේ නම් වැට පනින්නට උත්සාහ කරන්නේ නැත. එසේ නැතිව, සුළඟට වැනෙන පඹයන් සේ කළ යුතු දේ නොකර-කිවයුතු දේ නොකිය කල් ඇරීමෙන් ප්‍රශ්න දිග්ගැස්සෙනු විනා ඇති වන ඵලයක් නැත.    

වැට පනිනවුන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේදී, අවශ්‍ය නම් එලෙස හසුවන්නන් ඔවුන් අයිති රටට බාර දුන්නාට ගැටලුවක් නැත. එවිට, ඔවුන්ගෙ අඹුදරුවන්ට වුව ඔවුන්ගෙ දුක සැප පහසුවෙන් බලා කියා ගන්නට හැකියාව ලැබෙනු ඇත. 

ඉන්දු ලංකා මුහුදු සීමාව, එ් හා බැඳි දේශපාලන තොරතුරු සහ පැනනැගි අර්බුද පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ඇමරිකා ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලදුව, 2008 ඔක්තෝබර් මසදී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති වැඩමුළුවකදී සනත් ද සිල්වා නමැති විද්වතෙකු විසින් ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක පත්‍රිකාව මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර කියවන්න. එහි 10-12 පිටුවල ඉන්දු-ලංකා මුහුදු සීමා උල්ලංඝනය කර ධීවර කටයුතු කිරීම පිළිබඳව තොරතුරු සඳහන් වේ.    

Thursday, September 10, 2015

අලි-මිනිස් ගැටුම වහා විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක් නොවේ ද?

පසුගියදා මින්නේරිය ප්‍රදේශයේ ගමකට වැදුණු වල් අලියෙකු පිළිබඳව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු එම වල් අලියාගේම පහරකෑමට ලක්ව මිය යාමත් එක්කම, රටේ හැම ජනමාධ්‍යයක්ම වගේ ඒ සිද්ධියට වැඩි වටිනාකමක් සහ ඉඩක් ලබා දීමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදිහට, සමාජයේ වගකිවයුතු අංශවලටත් කාලෙන් කාලෙට අමතක වෙලා යන - මාස කිහිපයකට සැරයක් අලියෙක්ගෙ එහෙම නැත්නම් ඈත ගමක මනුස්සයෙක්ගෙ මරණයක් වුනාම කතාබහට ලක්වන- අනෙක් හැම වෙලාවකම වගේ නොවැදගත් ලෙස යට ගැහෙන අලි මිනිස් ගැටුම ගැන කතාබහ ආයිත් සුපුරුදු ලෙස සමාජය ඉස්සරහට ඇවිත් තිබෙනවා. අලි ප්‍රශ්නයෙන් හැමදාම බැටකන මිනිස්සුන්ට නම් අමුතුවෙන් මේ ගැන කතාකරන්න දෙයක් නෑ. අලි ප්‍රශ්නය ඔවුන්ගෙ ජීවන අරගලේම දැවැන්ත සහ නීරස කොටසක් වෙලා. 

මිනිස් සම්පත වගේම අලි සම්පතත් අපේ රටට-මේ මිහිතලයට මහඟු සම්පතක් විත්තිය අමුතුවෙන් කියන්න ඕන නෑ. 

ඒත්, මිනිස් ක්‍රියාකාරකම් නිසා අවුරුද්දක් පාසා මියයන අලිඇතුන්ගේ සංඛ්‍යාව බැලුවහම තව අවුරුදු 50ක් 100ක් යනකොට අලිඇතුන් සෑහෙන්න වඳ වෙලා- ආශාවකටවත් අලියෙක් බලා ගන්න බැරි තත්වයකට එයි ද කියලා දැඩි කණගාටුවක් අපට දැනෙනවා. 2011 දි කරපු දීපව්‍යාප්ත අලි සංගණනයට අනුව අලි 5879ක් සිටින බව පැවසෙනවා. (මූලාශ්‍රය-page 94, Current Status of Asian Elephants in Sri Lanka)


අලි මිනිස් ගැටුම නිසා දළ වශයෙන් මිනිස් ජීවිත 60ක් විතර සහ අලින්ගෙ ජීවිත 150 ක් විතර වාර්ෂිකව අපට අහිමි වෙනවා. 

2008-2012 කාලය තුළ පමණක් මිනිස් ක්‍රියාකාරකම් නිසා අලින් 1184ක් මිය ගිහින් තියෙනවා. මේ පහතින් දැක්වෙන්නෙ පළාත් මට්ටමින් ඒ කාලය ඇතුළත අලින් මියයෑම් පිළිබඳ විස්තර.


2008-2012 කාලය තුළ අලි ප්‍රහාරවලින් මියැදුණු මිනිස් ජීවිත ගණන 341ක්. පහත වගුව බලන්න.

මූලාශ්‍රය- Performance Report 2012

කැලේ ඉන්න අලි ගම් වැදිලා දුක් මහන්සියෙන් හදාගත්තු ගෙවල් දොරවල් කඩා බිඳ දාන කොට, කුඹුරුවලට-වගාබිම්වලට කඩා වැදිලා වගා පාලු කරන කොට, ඒක වළක්වන්න මිනිස්සු විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අතර, 

  • වෙඩි තැබීම
  • විදුලි සැර යෙදීම
  • වසවිස කැවීමට සැළැස්වීම
  • හක්ක පටස් තැබීම
  • රීප්ප පටිවල කොන්ක්‍රීට් ඇණ බස්සවා ඉඩමට ඇතුල් වෙතැයි සැළකෙන තැන්වල තැබීම
මෙවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල විදිහට තමයි අලි ඇතුන් බොහොමයක් මිය යන්නෙ. වාර්ෂිකව සිදු වන අලි මරණ සංඛ්‍යාව දිහා බැලුවහම ස්වාභාවිකව මිය යන ප්‍රමාණය අවම මට්ටමක බව පහත වගුවෙන් තේරුම් ගන්න පුලුවන්. අති බහුතරයක් මරණවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම්.


කලාපය
වෙඩි තැබීම
විදුලි සැර යෙදීම
වස ශරීර ගත වීම
හක්ක පටස්
දුම්රිය අනතුරු
නොදනී
වෙනත් අනතුරු
ස්වාභාවික
වෙනත් හේතු
මුළු එකතුව
අනුරාධපුර
2
2
0
5
2
2
5
0
1
19
මධ්‍යම
2
0
0
0
0
2
0
0
1
5
නැගෙනහිර
14
4
2
6
0
12
2
6
1
47
වයඹ
17
5
3
12
3
15
4
2
5
66
පොලොන්නරුව
13
7
0
16
5
23
3
4
1
72
දකුණ
1
2
1
0
0
15
2
1
22
ඌව
1
1
0
0
0
11
2
3
1
19
මුළු එකතුව
50
21
6
39
10
80
18
15
11
250


ඊට අමතරව, අලි මිනිස් ගැටුම නිසා විනාශ වන දේපළවල වටිනාකම අතිමහත්. වන්දි ගෙවීම් වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේතුව වසරකට මිලියන ගාණක් වැය කරනවා. 2012 වසරේ පමණක් රුපියල් මිලියන 30ක් ජනතාවට වන්දි වශයෙන් ගෙවලා තියෙනවා. (මූලාශ්‍රය-  පිටුව 23, කාර්යසාධන වාර්තාව 2012)

අලින්ගේ තර්ජනයට ලක් වෙලා තියෙන ගම්මානවල මිනිස්සු ගත කරන්නෙ සාමාන්‍ය නිදහස් මනසකින් යුත් ජීවිතයක් නෙමෙයි. ඔවුන් දැඩි ආතතියකින් දෛනික ජීවිතය ගත කරන්නෙ. තමන්ගෙ ස්වාමිපුරුෂයා-තමන්ගෙ පියා වගාව රකින්න රෑට ගියාම උදේ දෑහට දකිනකම් අඹුදරුවන් ඉන්නෙ පුදුමාකාර බියකින්. සාමාන්‍යයෙන් අලි මිනිස් ගැටුමින් මිය යන මිනිසුන් බහුතරය (78%ක්) පිරිමි අය සහ අලින්ගෙන් බහුතරය වැඩුණු පිරිමි සතුන් (67%ක්). (මූලාශ්‍රය- page 31, 32, Journal of the Department of Wildlife Conservation 2014-2:29-40)

සරුවට ගොයම පූදින කොට- කෙසෙල් වතු එකයායට කොළ පාටට ළෙල දෙන කොට අලින්ගේ කටට කෙළ උනන එක අහන්න දෙයක් නෑ. කැලෑවේ කිලෝ මීටර් ගණන් පයින් ඇවිදලවත් එවැනි රසවත් අහරක් හොයා ගන්න උන්ට නොහැකි තරම්. එ් නිසා, විදුලි වැට පෙරළා ගෙන හරි වගාවලට අලි කඩා වදිනවා. 

මීට වසර දෙකකට පමණ ඉස්සර, හම්බන්තොට තිස්සපුර ප්‍රදේශයේ කෙසෙල් වගාවකට වල් අලියෙකු කරල තිබූ හානිය මට අද වගේ මතකයි. දින කිහිපයකින් කපන්න ඔන්න මෙන්න කියා තිබුණු හොඳින් කැන් වැටුණු කෙසෙල් ගස් දෙකට තුනට බිඳ-පාගා චප්ප කර තිබෙනු දැක්කම මගේ හදවතත් කකියැව්වා. පැත්තක සිටි මට එහෙම නම්, ඒ වගාව කළ ගොවියන්ට දැනෙන හැඟීම කොහොම ද කියලා මඳක් සිතා බැලිය යුතුයි. මේ අලි ප්‍රශ්නය නිසා එහෙම පොඩිපට්ටම්  වෙන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි විතරක් නෙමෙයි ඒ මිනිස්සුන්ගෙ ධෛර්යය සහ බලාපෙරොත්තු. මිනිස්සු අමාරුවෙන් දහඩිය වගුරුවලා කරන වගාවන් මේ විදියට හානි කරන කොට, මිනස්සුන්ට අලින්ව පේන්නෙ ගජමිතුරො විදිහට නම් නෙමෙයි පසමිතුරො විදිහට. 

මිනිස්සු දහසකුත් ණය වෙලා- දෑතේ කරගැට එනකම්- ඒ කරගැට උඩ තවත් කරගැට නොඑන තරමට කරගැට ගල් වෙනකම් ඇඟපත වෙහෙසලා මහපොලොවත් එක්ක හැප්පිලා වගා කරනවා මදිවට-ගස් උඩ නැගලා රෑ එළි වෙනතෙක් නිදි වරාගෙන -ගිනි මැළ ගහගෙන වගා මුර කිරීමටත් සිදු වෙනවා කියන්නෙ ඇත්තටම සංවේදී ප්‍රශ්නයක්. 

වනජීවි එකෙන් ඇවිල්ලා සැරින් සැරේ වල් අලි අල්ලලා, ඈත රක්ෂිතවලට ගෙනිහින් දමන එකවත්, අලිවෙඩි දමන එකවත් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් නෙමෙයි. 

මේ අලි මිනිස් ගැටුම ජාතික ප්‍රශ්නයක් ලෙස සළකා ප්‍රමුඛතාව දිය යුතු ප්‍රශ්නයක් කියලයි මගේ අදහස. පාරක් තොටක් හදන්නට බිලියන ගණන් වැය කරන එකේ මේ ප්‍රශ්නය විසඳන්නට මුදල් වැය කළාට කිසිදු ගැටලුවක් නෑ. මේ බැටකන මිනිස්සුත්-අලිත් අපේම රටේ උන් මිස පිටස්තරයො නෙමෙයි.

ඇත්තටම විදුලි වැට කියන්නෙ අලින්ගේ පැමිණීම වළක්වන මානසික බාධකයක්. නමුත් ඒ බාධකයත් කඩා ගෙන එන්න ඌ කටයුතු කරනවා. ඒත් එහෙම අලිවැටවල්වල් ස්ථාපනය කරන්න විතරක් නෙමෙයි නඩත්තු කරන්න වාර්ෂිකව විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. අලින් විදුලිවැටවල් කඩා ගෙන එන නිසා එයත් 100%ක් විශ්වාසය තැබිය හැකි ස්ථිර විසඳුමක් නොවෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ ගසක් කඩා ගෙන විත් අලි වැට මතට දමා- ඒ ඔස්සේ අලි වගාවන්ට වදිනවා. උදේට බොහෝ විට වනජීවි එකේ හෝ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් පැමිණ කැඩුණු තැන් යළි පිළිසකර කරනු දකින්න පුලුවන්.  

මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන කොට ඒ විසඳුම අලින්ට වගේම මිනිස්සුන්ටත් හානි කර දෙයක් නොවිය යුතුයි. 

ස්ථිරසාර විසඳුම ස්වාභාවික තල් වැටක් ඉදි කිරීම ද? 


ප්‍රැක්ටිකල් ඇක්ෂන් කියන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය මීට වසර කිහිපයකට උඩදි විදුලිවැට වෙනුවට ස්වාභාවික තල්වැටක් ඉදිකිරීම දිගුකල් පවතින-සත්ව හිතකාමී සහ ලාභදායී ස්ථිරසාර විසඳුමක් විදිහට ඉදිරිපත් කළා. ඒ යටතේ දැනට පවතින විදුලි වැටටම සමාන්තරව පේළි 4කින් යුක්ත වන පරිදි, තල් පැළ අතර අඩි 5ක පරතරයකුත්-පේළි අතර අඩි 8ක පරතරයකුත් වන විදිහට සිග් සැග් ක්‍රමයට තල් පැළ සිටුවමින්  නියමු ව්‍යාපෘති කිහිපයක් මොණරාගල, මඩකලුව සහ අම්පාර දිස්ත්‍රීක්කවල දියත් කළා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ හා පුහුණු ආයතනය හා තල් සංවර්ධන මණ්ඩලය කියන රාජ්‍ය ආයතන තුනේ පූර්ණ සහයෝගයෙන් තමයි එම ව්‍යාපෘතිය දියත් කෙරුණේ. මේක කෙටිකාලීන විදුලි වැටට වඩා හොඳ විසඳුමක්. 

මේ පිළිබඳව International Elephant Foundation කියන ජාත්‍යන්තර අලි සංරක්ෂණ පදනමේ වෙබ් අඩවියෙත් තොරතුරු සඳහන් වෙනවා. 


සාමාන්‍යයෙන් ලංකාවේ ස්වභාවය තමයි කොච්චර හොඳ දෙයක් වුනත් පටන් ගත්තට ඒ පිළිබඳ නිසි පසු ඇගයීමක් කෙරෙන්නෙ නැති එක. ඒ නිසා මේ ව්‍යාපෘතියේ වත්මන් තත්වය කොහොම ද කියන එක නම් අපි දන්නෙ නෑ. හැබැයි ඔවුන් කියන විදිහට අලි මිනිස් ගැටුම වළක්වන්න පුලුවන් හොඳම සහ දිගුකල් පවත්නා විසඳුම තමයි ඒ. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්. විදුලි වැටට සාපේක්ෂව තල්වැටේ වාසිසහගතබව ඔවුන් එහි මෙහෙම පැහැදිළි කරනවා. 

වඩා තිරසර විසඳුම තල්වැට ද විදුලි වැට ද?
තල් වැට
විදුලි වැට
තල්වැට වසර 100 ක පමණ කාලයක් වුව පවතී
විදුලි වැටක ආයුකාලය වසර 10කි
පැළ සිටුවීමේ වියදම ඉතා අවමය
 ඉදි කිරීමේ වියදම අධිකය (කි.මී 1කට ලක්ෂ 5ක් )
නඩත්තු වියදම මුල් වසර 2-3 පමණි. එය ද ඉතා අල්පය
සැළකිය යුතු වියදමක් නඩත්තු කටයුතු සඳහා වාර්ෂිකව වැය වේ (බැටරි-සූර්යකෝෂ-එළිපෙහෙළි කිරීම්)
අලින්ට විනාශ කළ නොහැක (ශක්තිමත් දැවයකි)
අලින්ට පහසුවෙන් විනාශ කළ හැක
තෙත් හෝ වියළි ආදී ඕනෑම දේශගුණික කලාපයකටම ඉතා හොඳින් ඔරොත්තු දේ
අලිවැට නඩත්තුවට දෛනිකව වෙනම පිරිසක් යෙදවිය යුතුය
ගංවතුරට වුවත් ඔරොත්තු දේ (දින 45කට වඩා වතුරට යටව තිබුණ ද හානියක් නොවේ)

ලවණතාවට ඔරොත්තු දේ 

ගින්නට ඔරොත්තු දේ

නඩත්තුව සඳහා දෛනිකව වෙනම පිරිසක් යෙදවිය යුතු නැත


තල් ගස් උස මහත් වෙන්න අවුරුදු 10-12ක් යන නිසා එතෙක් ඉතිරි ප්‍රදේශවලත් අලි වැටවල් ගහලා-ඒ අතරෙ මේ තල් වැට ඉදිකිරීමේ ව්‍යාපෘතියත් දියත් කළ යුතුයි. ඊට පස්සෙ, රක්ෂිත ඇතුළෙ තව වැව් ටිකකුත් හදලා-කැලෑ ඇතුළෙන්ම අලි ඇතුන්ට කෑම සුලභ කිරීමේ වැඩසටහනක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම, අලිමංකඩවල් පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කරලා අදාළ ප්‍රදේශවල බිමින් දුවන දුම්රිය මාර්ග වෙනුවට ගුවන් පාලම් මතින් දුම්රිය දුවන වැඩ පිළිවෙලකටවත් යන්න වේවි.  



මේ කියපු කිසිම දෙයක් කරන්න බැරි දේවල් නෙමෙයි. අවශ්‍ය වෙන්නෙ ඕනකම සහ කැපවීම විතරයි. මේ සම්බන්ධයෙන් දැනුම තියෙන උනන්දුව තියෙන - පරිසරයට ආදරය කරන මිනිස්සු-ආයතන එකතු කරගෙන මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට රජය කටයුතු කළ යුතුයි. නැත්නම් හැමදාම අලි මැරේවි-මිනිස්සු මැරේවි-අහිංසක දරු පවුල් අනාථ වේවි-වගා බිමි වැනසේවි. හැම අවුරුද්දෙම මිලියන ගණන් වන්දි දෙන එකේ කෙළවරකුත් තියෙන්න එපැයි.   

ඒ නිසා, අලින්ගෙන් තර්ජිත ගම්වල ඉන්න මිනිස්සු සහ කැලෑවල ඉන්න අලිඇතුන් මුහුණදීලා තියෙන මේ දැවැන්ත "මානුෂික" ගැටලුව වහා විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක් ලෙස රට කරවන උදවිය සැළකිල්ලට ගත යුතුයි. 

වල් අලියි කිව්වම උන්ට අගෞරවයක්ය කියලා වල් අලි-වන අලි කියලා නම් වෙනස් කිරීම වගේ කාටවත් වැඩක් නැති ක්‍රියාමාර්ග ගන්නා ඇමතිවරුන්ගෙන් නම් කොහොමටත් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්න බැරි වේවි.