Sunday, November 25, 2018

සරත් කාලයේදී ශාඛපත්‍ර විවිධ පැහැ ගන්නේ ඇයි?


පත්‍ර යනු ශාඛවල ආහාර නිෂ්පාදනාගාරයන්ය. ගසේ මුල් මගින් ලබා ගන්නා ජලය සහ වාතයෙන් ලබා ගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව, හිරු එළිය උපයෝගී කරගනිමින් ඔක්සිජන් සහ ග්ලූකෝස් බවට පරිවර්තනය කෙරෙන අතර, ඒ අතරින් ගසේ වර්ධනයට සහ පැවැත්මට යොදා ගන්නේ ග්ලූකෝස්ය. ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින් හඳුන්වන මෙම ක්‍රියාවලිය සිදු වීම සඳහා පත්‍රවල ඇති හරිතප්‍රද (chlorophyll) නමැති රසායනිකය උපකාරී වේ. (ශාඛ පත්‍ර කොළ පැහැ ගැන්වී තිබෙන්නේ මෙම හරිතප්‍රද නිසාය)

ග්‍රීෂ්ම කාලය නිමාවී සරත් කාලය ඇරඹීමත් සමග, හිරු පායා තිබෙන කාලය හෙවත් දිවා කාලය කෙමෙන් අඩු වී ගෙන යයි. (දකුණු කොරියාවේ ග්‍රීෂ්ම කාලයේදී රාත්‍රී අට පමණ වන තෙක් දිවා එළිය තිබුණත්, මේ දිනවල ගෙවෙන සරත් කාලයේදී හවස හතර-පහ වන විටම අඳුර වැටේ) ශීත ඍතුව සඳහා සූදානම් විය යුතු බව ශාඛ දැනගන්නේ එමගිනි. 

ශීත කාලයේදී ප්‍රභාසංස්ලේෂණය සඳහා ප්‍රමාණවත් තරම් හිරු එළිය සහ ජලය නොලැබේ. එමනිසා, ග්‍රීෂ්ම කාලයේදී ගබඩා කරගත් ආහාර මගින් තම පැවැත්ම තහවුරු කරගනිමින්, ශීත කාලයේදී ශාඛ විවේක ගනී.  එම නිසා, ශාඛ තම ආහාර නිෂ්පාදනාගාර වසා දැමීම සරත් කාලයේදී අරඹයි. ඒ සමග, පත්‍ර කොළ පැහැ ගන්වන හරිතප්‍රද පත්‍රවලින් ඉවත් වෙයි.

එලෙස හරිතප්‍රද ඉවත් වීමත් සමග, පත්‍රවල කහ සහ ඔරේන්ජ් පැහැය අපට දිස්වන්නට පටන් ගනී. (පත්‍රවල එම පැහැයන් කුඩා  ප්‍රමාණ වශයෙන් හැමවිටම පැවතුනත්, ඒවා වසා ගනිමින් පත්‍රය පුරා පැතිර පවතින කොළ පැහැති හරිතප්‍රද නිසා ග්‍රීෂ්ම කාලයේදී අපට එම පැහැයන් දැක ගත නොහැක.)

සරත් කාලයේදී ගස්වල දැක ගත හැකි දම් සහ රතු පැහැයන් බොහෝ විට ඇති වන්නේ සරත් කාලයේදීමය. ඒ මේපල් වැනි ඇතැම් ශාඛවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නතර වූ පසු, පත්‍රවල ඉතිරිවන ග්ලූකෝස් නිසාය. සරත් කාලයේ පවතින දිවා හිරු එළිය සහ රාත්‍රී සීතල නිසා පත්‍රවල රැඳී ඇති එම ග්ලූකෝස් රත් පැහැයක් ගනී.

ඕක් වැනි ඇතැම් ගස්වල පත්‍ර දුඹුරු පැහැ ගන්නා අතර, ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නතර වීමත් සමග ඉතිරි වන අපද්‍රව්‍ය නිසාය.

මේ සියල්ලේ එකතුවක් ලෙස සොබාදහම අපට සරත් කාලයේ විචිත්‍රත්වය කැන්දන් එයි. #autumn #southkorea #Korea

Sunday, November 18, 2018

පැවති දේශපාලන අර්බුදය නිසා තවමත් හමුදා පාලනයක් ඇති තායිලන්තය..

1932 පටන් මේ දක්වා හමුදා කුමන්ත්‍රණ 12කට මුහුණ දී  ඇති තායිලන්තය, අවසන් වතාවට හමුදා කුමන්ත්‍රණයකට මුහුණ දුන්නෙ 2014 වසරෙදි. හරියටම 2014 මැයි 22 වෙනිදා. ඒ, ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර මාස 6ක දේශපාලන අර්බුදය නිමාකරමින්, එතෙක් පැවති භාරකාර ආණ්ඩුව හා සෙනෙට් සභාව විසුරුවා හැර, හමුදාපති ජෙනරල් ප්‍රයුත් චන් ඕ චා ගේ නායකත්වයෙන් යුත් "නීතිය හා සාමය සඳහා වූ ජාතික කවුන්සිලය (NCPO)" නමින් හමුදා රජයක් පිහිටුවීමත් සමග.

රටේ පාලනය හමුදාව යටතට පත්වීමත් සමගම, රට තුළ අනවශ්‍ය කලබල ඇතිවීම වැළැක්වීම සඳහා දේශපාලන රැස්වීම් තහනම් කිරීමටත්, රට පුරා හමුදා නීතිය හා ඇඳිරි නීතිය පැනවීමටත් කටයුතු කෙරුණා. ඊට අවනත නොවූ දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් හමුදා අත් අඩoගුවට පත් වුනා.

මෙලෙස හමුදා කුමන්ත්‍රණයකට ඉඩකඩ සැලසුනේ, 2011 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ යින්ලක් ෂිනවාත්‍රා අගමැතිණියගේ ආණ්ඩුව හා එරට විපක්ෂය අතර හටගත් දේශපාලන අර්බුදකාරී තත්වය.

අර්බුදය උග්‍ර වීමත් සමග, 2013 දෙසැම්බර් මසදී යින්ලක් අගමැතිණිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර, 2014 පෙබරවාරි 02 වෙනි දිනට මහ මැතිවරණයක් කැඳවනු ලැබුවා. නමුත්, ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් එදිනට එය පවත්වන්නට නොහැකි වුනා. තත්වය එසේ තිබියදී, අර්බුදය තවත් උග්‍ර කරමින්, 2014 මාර්තු 21 වැනිද එරට ව්යවස්ථා අධිකරණය මගින් 2011 යින්ලක් රජය විසින් සිදුකළ ඉහළ ආරක්ෂක නිලධාරියෙකුගේ ආන්දෝලනාත්මක ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් යින්ලක් අගමැතිණිය සහ ජ්යෙෂ්ඨ ඇමැතිවරු 09 දෙනෙකු වැරදිකරුවන් කොට, සිය ධුරවලින් පහ කිරීමට කටයුතු කෙරුණා.  ඉන් පසු , රජයේ ඉතිරි ඇමතිවරුන් විසින් නිවත්ගම්‍රොන් බුන්සොන්පයිසාන් භාරකාර අගමැති තනතුරට පත්කෙරුණා. නමුත්, ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල අඩුවක් වුනේ නෑ.  

රටේ අස්ථාවර දේශපාලන පසුබිම තුළ,  2014 මැයි 22 වෙනිදා තායි හමුදා ප්‍රධානී ජෙනරල් ප්‍රයුත්  රූපවාහිනිය හරහා රටේ පාලනය හමුදා භාරයට ගත් බවත්, භාරකාර අගමැතිවරයාගේ රජයත් සෙනෙට් සභාවත් විසුරුවා හැර, තම නායකත්වයෙන් යුතුව ගුවන් නාවික පොලිස් ප්‍රධානීන්ගෙන් සමන්විත NCPO සභාව පිහිටුවීමට කටයුතු කළ බවත් ප්‍රකාශ කළා. අලුත් අගමැතිවරයෙකු පත්කර ගන්නා තෙක්, අගමැතිටත් සෙනෙට් සභාවටත් පැවරී තිබූ සියලු බලතල හමුදා ප්‍රධානී ජෙනරල් ප්‍රයුත්  යටතට ගැනුණා. රජයේ අමාත්යoශ NCPO සාමාජිකයන් යටතට පත්කෙරුණා. 

රටේ පාලනය හමුදාව යටතට ගැනීම සම්බන්ධයෙන් විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට ජෙනරල් ප්‍රයුත් රැස්වීමක් කැඳවනු ලැබුවත්, බොහෝ රටවල් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කළා.  

කෙසේ නමුත්, 2014 මැයි 24 වෙනිදා එවකට තායිලන්ත රජු වූ අතුල්යතේජ් භූමිපෝල් රජු  NCPO සභාව පිළිගෙන, එහි ප්‍රධානියා වූ ජෙනරල් ප්‍රයුත් රට පාලනය කිරීමට නිල වශයෙන් පත් කළා.  

2014 වසරේ හමුදා පාලනයට රට නතු වීමෙන් පසු මේ දක්වා මහ මැතිවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට අපොහොසත් වීමත්, විරුද්ධවාදීන් මර්දනය කිරීමත්,  සම්බන්ධයෙන් බොහෝ රටවල් හා ජාත්‍යන්තර මානව හිමිකම් සoවිධාන සිය අප්‍රසාදය අගමැති ජෙනරල් ප්‍රයුත්ගේ නායකත්වයෙන් යුත් වත්මන් පාලනයට පළකර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රජාවෙන් හා රටේ පුරවැසියන්ගෙන් එල්ලවන පීඩනය හමුවේ, දැනටමත් අගමැති ජෙනරල් ප්‍රයුත් ප්‍රකාශ කර ඇති පරිදි බොහෝ දුරට ලබන 2019 වසරේ තායිලන්තයෙ මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති. 

~Damayantha~