Wednesday, January 21, 2015

මහින්ද රාජපක්ෂ මහතා පැරදුන ද...


"පරිසර හිතකාමී තාක්‌ෂණික කෘෂි ප්‍රදේශයක මගේ පියා ගොවියෙකි. ඔහුගේ පියාත් ගොවියෙකි. මා තෝරාගත් කෙත ඔවුන් වගා කළ කුඹුරට වඩා මඩ ගොහොරින් පිරී තිබුණ ද මම එය අස්‌වැද්දුවෙමි.

අද ඔබ භුක්‌ති විඳින්නේ මා නෙලු එහි අස්‌වැන්නයි. එහෙත් කුඹුරේ, කෙතේ, නියරේ මඩ සුවඳ මම හොඳින් හඳුනමි. බණ්‌ඩි ගොයම කිරිවදිනා කෙත්යාය පිස හමනා සුළඟ තරම් මට කිසිත් මිහිරි නැත. එබැවින් ගොවිතැන එදාමෙන් අදත්, හෙටත් අපේ ආර්ථිකයේ ජීවනාලිය බව මම විශ්වාස කරමි."


කෙතට බට, කෙතක අසිරිය විඳි තැනැත්තකුට පූර්වෝක්ත ප්‍රකාශය කෙතරම් හදවතට සමීප ද යන්න අමුතුවෙන් නොකිවමනාය. මෙය සාහිත්‍ය පොතකින් උපුටා ගත් කොටසක් නොවේ. නොබෝදා අවසන් වූ ජනපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 'ලොව දිනන මග' නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 33 වන පිටුවේ 'පරිසර හිතකාමී තාක්ෂණික කෘෂි ප්‍රවේශයක්' මැයෙන් දක්වා තිබූ ප්‍රතිපත්ති සමූහයේ පූර්විකාවයි.

සැබවින්ම මහින්ද රාජපක්ෂ මහතාට කෘෂිකර්මාන්තය ගැන කතා කිරීමට ශුද්ධ වූ අයිතියක් ඇත. ඒ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයෙන් පසු රටේ දැවැන්තම වාරි විප්ලවයක් සිදු කෙරුණේ මෙතුමාගේ දසවසරක පාලන සමය තුළ බැවිනි. තණමල්විල ප්‍රදේශයේ ඉදි වූ වේලි ඔය ව්‍යාපෘතිය, වෙහෙරගල ජලාශ ව්‍යපෘතිය, කැකිරිම්බඩ ජලාශ ව්‍යාපෘතිය, වළව වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, රඹකැන් ඔය ව්‍යාපෘතිය, මන්නාරම යෝධ වැව සංවර්ධන යෝජනා ක්‍රමය ආදී ව්‍යාපෘති රැසක් දැනටමත් අවසන් කර ඇත. එමගින් සුවහසක් ජනතාවට පානීය සහ වගා ජල අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලබා දී ඇත. පසුගිය වසරේ නොවැම්බර් මසදී තවත් විශාලතම ව්‍යාපෘතියක් වන දැදුරු ඔය ව්‍යාපෘතිය ද ජනතා අයිතියට පත් කෙරුණු බව ඔබට මතක ඇති. ඉන් ලක්ෂ 1.5කට අධික ජනතාවට සෙත සැලසුන අතර වගා අක්කර 30,000කට පමණ වාරි ජලය සැපයීම ද සිදු කෙරිණ. දැනට ඉදි කෙරෙමින් පවතින මොරගහකන්ද, උමා ඔය වැනි දැවැන්ත වාරි ව්‍යාපෘති ද එහි ප්‍රතිලාභී ප්‍රදේශ සරුසාර කිරීමට අවශ්‍ය ජලසම්පත් දායකත්වය සපයනු ඇත. මෙලෙසින් කුඩා පරිමාණයේ, මධ්‍ය පරිමාණයේ සහ විශාල පරිමාණයේ ව්‍යාපෘති රටේ සිව්දෙසම ආවරණය වන පරිදි ඉදි කර ඇත. 

විශේෂයෙන්ම හම්බන්තොට යනු වසරේ එක් කාලයකදී දැඩි නියඟයෙන් බැට කන ප්‍රදේශයකි. මේ පළාතේ ජල ගැටලුවලට ප්‍රශංසනීය විසඳුම් ලැබුණේ මහින්ද රාජපක්ෂ යුගය තුළමය. විශේෂයෙන්ම වළව වම් ඉවුර සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ අලුතින් වැව් 59ක් ඉදි කරමින්, අලුතින් ඉඩම් අක්කර 15,000ක් පමණ අස්වැද්දීමට පියවර ගෙන තිබේ.

එම ව්‍යාපෘතියට සමගාමීව එහි ප්‍රතිලාභී ප්‍රදේශවල මංමාවත් ද කාපට් අතුරා හෝ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට ද පියවර ගැනුණි.




තම කෘෂි බිම්වලට පහසුවෙන් යාමේ ඒමේ අවස්ථාව එමගින් උදා වී ඇත. ප්‍රධාන මාර්ගයේ පෙනෙන තෙක් මානයේ නිලට දිලෙන කෙත්වතු සහ කෙසෙල් වැනි වගාබිම්වල අසිරියෙන් සිත පිරී යයි. 


මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද කොන්ක්‍රීට් ඇළමාර්ග හරහා වැව්වල සිට ගොවි බිම් වෙතටම ජලය සපයනු ලබයි. ගොවියනට තිබෙන්නේ තම තමාට අවශ්‍ය වෙලාවට ඉඩමට ජලය හරවා ගැනීම පමණි. එය කාලය, ශ්‍රමය සහ ධනය ඉතිරි කරන්නා වූ ක්‍රමයකි.


 


ඒ අනුව මෙවර මහ කන්නය සඳහා ද ජලය නිකුත් කළ පසු ගොවියන් යුහුසුළුව තම කුඹුරු බිම් සකස් කර වී වැපිරීම සිදු කළහ. 

මේ වී වපුරා සති දෙක තුනකට පසුව ඒ කෙත් යාය දිස්වන ආකාරයයි. 

වළව වම් ඉවුර සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ අක්කර දහස් ගණනක් මෙලෙස අස් වැද්දුව ද, තම වගා බිම් වල් අලින්ගෙන් රැක ගැනීමට ද ගොවියන්ට මහත් වෙහෙසක් ගැනීමට සිදු වේ. අලි ආගමනය වැළැක්වීම සඳහා ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලි වැට ගසා ඇති මුත්, කෙත්වතු-වගාබිම් පීදෙන කාලයට විදුලි වැටවල් පෙරළා ගෙන, වල් අලි වගා බිම් කරා ඇදෙති. එම නිසා ගොවියන්ට තම ඉඩම්වල ඇති වීර පලු වැනි ශක්තිමත් ගස්වල පැලවල් සකස් කරගෙන වගා බිම් පරිස්සම් කිරීමට සිදු වේ. 



මේ සියලු සංවර්ධනයේ නියමුවාණන් වූ මහින්ද රාජපක්ෂ මහතා අද බලයේ නැත. ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ කළ වැඩ බොහොමයක ද වැඩ තවමත් සිදු වෙමින් පවතියි. නමුත් ඒවායෙහි වැඩ අවසන් වන විට එහි පුරෝගාමියා බලයේ නොසිටිය ද, එම වැඩ කොටසේ නායකත්වයේ ගෞරවය ඔහුට හිමි විය යුතුමය.

ඒ අර්ථයෙන් මහින්ද රාජපක්ෂ මහතා රටේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබේ. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයෙහිලා මෙම දසවසර තුළ සිදු වූ කාර්යභාරය අන් කිසිකලකවත් සිදුව නැත. සංවර්ධනය යනු එක රැයකින් සිදු කළ හැකි කටයුත්තක් නොවේ. එමනිසා ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය පුරෝගාමී මෙහෙයක් ඉටු කරයි. එය මේ ලියන අපිදු ප්‍රායෝගිකව භුක්ති විඳිමින් සිටින්නෙමු.


මේ දිනවල මාධ්‍ය හරහා එතුමාගේ නම මකා දැමීමට උත්සාහ කළ ද, එය සඵල නොවන බව පමණක් දිවා රෑ නොබලා ඒ සඳහා ඇපකැප වන්නන් තේරුම් ගත යුතුය. මන්ද එතුමාගේ නායකත්වයෙන් ඇරඹි ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ භුක්ති විඳින ජනතාව තුළ එතුමා සදා ජීවමානව සිටින බැවිනි. 
 
මෙලොව කිසිවෙක් සර්ව සම්පූර්ණයෝ නොවෙති. එය මෙතෙක් ලොව පාලනය කළ, කරන සහ කිරීමට අපේක්ෂිත අයට ද එකසේ වලංගුය. එහෙත් සිටියා වූ සහ සිටින්නා වූ නායකයන්ගේ වටිනාකම සැළකිය යුත්තේ ඔවුන් සිය රටට ඉටු කළ සහ ඉටු කරන්නා වූ වැඩකොටස-මෙහෙවර මතය. 

චූදිතයකු වූ පමණින් කිසිවෙකු වැරදිකරුවෙකු නොවනා වග ද, විවේචනය යනු ඉතා සුකර වූ කටයුත්තක් වුව ද වැඩ කිරීම යනු ඉතා දුෂ්කර වූ කටයුත්තක් බව ද අවසාන වශයෙන් අප සිහිතබා ගත යුතුය.

6 comments:

  1. මහින්ද මහතාට මේ රටෙහි මිනිසුන් තුළ ඇති සෙනෙහස, භක්තිය අප්‍රමාණයි.අන්තර්ජාලයේ බොරු වැපිරූ අයට එහි ඵල කෙදිනක හෝ ලැබෙනු ඇත.රටට සහ අපට මිස මහින්දට නැති වූ දෙයක් නැත. ඔහු හැමදාමත් ජනයාගේ හදවතේ නායකයාය.ඒ තැන ගන්නට මෙතෙක් කිසිම නායකයෙක් බිහිවී නොමැත. ඉදිරියේදී බිහිවන්නේද නොමැත.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. අපි ඉදිරි කාලය දෙස විමසුම් ඇසින් බලමු.

      Delete
  2. වෙන්ඩ පොශ් සින්හල බොග් කරුවන් අතරේ එ ජා ප මාද්ය කන්ඩායමේ ආදිපත්යයට නතු නොවී බොගක් පල කිරීමට ඔබට ඇති දහිරිය ගැන මා ආඩම්බර වෙමි!

    මහින්ද මහත්තයා නැති වුනේ නැත....ඔහුට නැව්ත පැමිනෙන්නට උදවු කරමු!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. මාධ්‍යයෙන් ගහන්නෙ නම් ආයිත් නැගිටින්න බැරි ගාණට. ඒක රටේ ජනතාවට බාරයි.

      Delete
  3. මහින්ද කරපුවා මොනවත් නැහැ කියලා නේ කට්ටිය කියන්නේ. දැන් කියාවි ඕවා කලේ හොරකම් කරන්න කියලා. දැන් බලමු ඒ හොරකම් දුෂණ අල්ලන හැටි.

    ReplyDelete
  4. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ පාලනේ වැරදි අඩුපාඩු නැතුව නෙමෙයි. ඒත් ඒ වැරදි අඩුපාඩු මෙතෙක් රට පාලනය කළ සියලු පාලනයන් තුළම අඩු වැඩි වශයෙන් තිබුණු ඒවා. වඩා වැදගත් වෙන්නෙ ඒ මිනිස්සු රට වෙනුවෙන් මොනව ද කළේ කියන එකයි. ඒ අතින් මහින්ද රාජපක්ෂ මහත්තයට අපේ ගෞරවය හිමි විය යුතුමයි. දැන් යන තාලෙ හැටියට හිටපු අවුරුදු 10ට මහින්ද කෑවේ මොනව ද හොයන්න අරලියගහ මන්දිරේ වැසිකිළි වළත් නොහෑරුවොත් පුදුමයි.

    ReplyDelete