Friday, January 16, 2015

ඉඩෝරයෙන් වසන්තයට හෙවත් ගමේ සුවඳ

එක කාලයකට ගතට උනන දාඩිය කඳුලත් උරා බොන තරමටම රටේ පෑවිල්ලය. තවත් කාලයකට නිවසින් එළියට බැහිය නොහැකි තරමට අතොරක් නැති වැස්සය.

පසුගිය සමයේ හම්බන්තොට ප්‍රදේශයට බලපෑ නියඟයේ තරම සහ ඊට පසුව ඇදහැළුණු වරුසාවන් කිහිපයත් සමග ගස් වැල්වල පමණක් නොව මිනිසුන්ගේ මුහුණුවල මතුවෙච්ච සිනාරැල්ල පිළිබඳවත් පසුගිය ලිපියකින් මම ඔබව දැනුවත් කළා. 

හාරමහකට ආසන්න කාලයක් තිස්සෙ තිබ්බ ඉඩෝරයෙන් පස්සෙ ඇද හැළුණු මසුරන් වගේ වරුසාවන් කිහිපයත් එක්ක, මිනිස්සු නැවුම් බලා පොරොත්තු පොදි බැඳන්, කැත්ත-උදැල්ල කරට අරන්, තල-මුං-කවුපි-බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ග වගා කරන්නට යුහුසුළුව කටයුතු කරපු ආකාරය මං ඒ ලිපියෙදි කිව්වා.

මේ එදා ඒ මිනිසුන් දහඩිය වගුරමින් කරන ලද කැපකිරීමේ ඵල නෙලන කාලයයි. මහා ගිනි අව්කාෂ්ටකේ පිච්චෙමින්,  කඨෝර මහ පොළොවත් එක්ක හැප්පෙමින් තල වැපිරීම සඳහා සකස් කරපු භූමිය අද එකම හරිතවර්ණ යායක් විදිහට උස මහත් වෙලා. ඒවා ආඩම්බරේට වගේ සුළඟට ඒ මේ අතට පැද්දෙනවා. පුදුම සිරියාවයි.


සරුසාර තල යායේ අසිරිය

මේ දවස්වල මේ ප්‍රදේශවල තුඹ නැත්නම් නගරබද බොහෝ දෙනා කියන විදිහට තුඹ කරවිලත් සුලභව දකින්න පුලුවන්. 

ඇත්තටම තුඹ කරවිල කියන්නෙ මිනිස්සු වෙහෙස මහන්සි වෙලා වගා කරන භෝගයක් නෙමෙයි. වැස්සත් එක්ක ඉබේම හැදෙන භෝගයක්. අලයකින් තමයි මේ ශාඛය හැදෙන්නෙ. පායන කාලෙට තුඹ වැලක සේයාවක්වත් නැති වුනාට- වැස්සක් දෙකක් වැහැලා පොලොව තෙත් වුනාම, යස අගේට අර පොළොවට යටවෙලා තියෙන තුඹ අලය පැලවෙන්න පටන් ගන්නවා. 

එහෙම ක්‍රමයෙන් හෙවෙන තුඹවැලට හොඳහැටි  හෙවෙන්න නම් ආධාරකයක් ඕන. බොහෝ විට මිනිස්සු කරන්නෙ තමන්ගෙ හේන් බිම්වල වැවෙන තුඹ වැල්වලට අන්දර-කටුපිල වගේ ශාඛ කපලා ගෙනල්ලා- ඉදල් විදිහට හිටවන එක. ඒ විදිහට හිටවපු ඉදල් පුරාවට හරිත වියනක් වගේ හොඳට හෙවිච්ච තුඹ වැල් මිනිස්සුන්ගෙ බත්පතට රසවත් ආහාරයක් ගෙනදෙනවා විතරක් නෙමෙයි අතටත් ගානක් ගෙන දෙනවා. මේ ප්‍රදේශවල තුඹ ටිකක් අඩුකාලේ තුඹ කිලෝවක තොග මිල රු 200ට වගේ තිබුනත් සැපයුම වැඩිවීමත් එක්ක මේ දවස්වල තුඹ කිලෝවක තොග මිල රු.140ක් 130ක් වගේ වෙනවා. 

තුඹ වැලක්
තුඹ ගෙඩි
බඩ ඉරිඟු- කුරහන් වගේ භෝගත් අද සරුවට වැඩිලා තියෙනවා. තාමත් අස්වනු නෙලන්න තරම් මෝරලා නැතිවුනත්, මේ කිරිවැදුණු බඩ ඉරිඟු ගිරවුන්ට නම් අමෘතය වගේ අාහාරයක්. එ්ක නිසා මේවා පරිස්සම් කර ගන්න මිනිස්සුන්ට අපමණ වෙහෙසක් දරන්න වෙනවා.





හේනෙ පැලේ මිනිස්සුන්ට හැම තිස්සෙම ඉන්න බැරි වුනත් කිසිම හැලහොල්මනක් නැතිව ඉන්න කෙනකුත් මේ හේන් බිම්වල ඉන්නවා. ඒ අන් කිසිවෙකුත් නෙමෙයි පඹයා. කුරුල්ලන්ගෙන් භෝග වගාවන් රැකගන්න ඔහුගෙන් ද ඉටු වන්නේ අමිල මෙහෙයක්. 



හැබැයි පඹයොන්ගෙන් විතරක් මුං-කවුපි-කඩල-බඩඉරිඟු වගේ භෝග වගා ආරක්ෂා කරගන්න බෑ. ඒකට මිනිස්සුන්ගෙ සක්‍රීය දායකත්වය නිරන්තරව තියෙන්න ඕන. ඒ කාරිය පහසු කරගන්න මිනිස්සු කරන්නෙ ටකර එල්ලන එක. හිස් බෙලෙක් ටින්වලට තිරුවානා ගල් කැට කිහිපයක් දාලා, එය හොඳින් වහලා, ලණුවක් යොදා ගෙන හේන වටා ඒවා එල්ලනවා. හේන මැදට වන්න පොල් අතු සෙවිලි කරපු තාවකාලික පැල ළඟට තමයි ඒ හතර අතට ඇදලා තියෙන ටකරවල රැහැන් පොටවල් ටික එකතු වෙන්නෙ. කුරුල්ලො වහනවා දැක්කොත් එතෙන්ට ඇවිද නොයා පැල ළඟ ඉඳන්ම ටකරය හොල්ලලා කුරුල්ලො එළවන්න එතකොට පුලුවන්. 

මේ හේන් කෙරුවාව නම් කියන තරම් ලේසි කටයුත්තක් නෙමෙයි. කැළෑ එළිපෙහෙළි කරන එකේ ඉඳන් බිම සකස් කරලා, එක එක භෝගවලට හරියන විදිහට දුර පරතරය තියලා උදැල්ලෙන් පුංචි වළවල් කපලා, ඇට හිටවලා, ඇට පැළවෙලා ගස් ලොකු මහත් වෙනකොට වරින්වර තණ කොල ඇහැලා (උදලු ගාලා), පළිබෝධනාශක ගහලා, රටකජු වගේ දෙයක් නම් රෑට ඌරන්ගෙනුත් ඒවා පරිස්සම් කරලා-ඔය විදිහට අස්වනු නෙලනකම්ම ඒවා පරිස්සම් කරගන්න- නඩත්තු කරන්න සෑහෙන්න වැඩ කොටසක් කරන්න තියෙනවා. 

හැබැයි එහෙම මහන්සි වුනත් ඒ ගැමි ජීවිතේ ඇතුළෙ නාගරික ජීවිතේදී ලබන්න බැරි තරමේ අමුතුම වින්දනයක්-අමුතුම මිහිරක් නම් ගැබ්වෙලා තියෙනවා.

2 comments:

  1. මෙම සිතුවිලි ටික මගේ අතීතය සිහිපත් කලා.. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබේ හැඟීම් බෙදා ගත්තාට ස්තුතියි.. ඇත්තටම, නාගරික පරිසරයෙ හිරවෙන්න හිරවෙන්න- අපිට ඒ ගැමි ජීවිතයෙ තියෙන කටුකබව මුසු සුන්දරත්වය අමුතුම මිහිරක් ගෙන දෙනවා.

      Delete