Tuesday, January 6, 2015

මහින්දගේ ජයග‍්‍රහණයේ කතාව (කෙටුම්පත)




ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට කම් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. එමගින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැක. නමුත් එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත. 

මම පරිපූර්ණ ජනාධිපතිවරයෙකු නොවෙමි. ජනාධිපතිවරයා වශයෙන් මාගේ ධුර කාලය තුළ බොහෝ දේ කෙරෙහි මාගේ අවධානය යොමු නොවුුණු බව මම නිහතමානීව සහ අවංකව පිළිගනිමි. දීර්ඝ කාලයක් මුළුල්ලේ විශේෂයෙන්ම 1977 න් පසුව, අපේ ජාතිය පීඩා විඳි අවනීතිය පිළිබඳ කාරණය මා වෙතින් නොසළකා හැරුණකි. මම සියල්ල දුටිමි. නමුදු ඒ කිසිවක් මා අනුමත කළා නොවේ. සත්‍යය නම් මාගේ අවධානය යොමුව තිබූයේ වෙනත් දේ කෙරෙහි බවය. පැහැදිළිවම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා මා විසින් ඍජු සහ ශක්තිමත් පියවර ගත යුතුව තිබුණි. නමුත් මට එසේ කළ නොහැකි විය.  

පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳින සහ බොහෝ විට දේශපාලනඥයන් කෙරෙන් සිදුව ඇති දුරාචාරයන්ගෙන් ඔවුන්ව වියුක්ත කෙරෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම කෙරෙහි මම ජනතාවට ණයගැති වෙමි. නීතියේ ආධිපත්‍යය වැජඹෙන රටක ජීවත් වීමේ අභිමානය ලබා දීම කෙරෙහි මම ඔවුන්ට ණයගැති වෙමි. 

අප රටේ ජාතික සංස්කෘතික ආචාර ධර්මයන් ඉමහත් සේ පිළිබිඹු වන පරිදි සහ ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ රාජ්‍යයේ ඒකීයභාවය සුරැකෙන පරිදි අපේ පුරවැසියන්ගේ ආර්ථික අවශ්‍යතා සහ සමස්ත ශුභසිද්ධිය පිණිස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද මම මාගේ තෙවන වාරය තුළ කැප වී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි. 


මා පරිපූර්ණ නොවන්නා සේම මා සමග සිටින අය ද මට එරෙහි අය ද පරිපූණයෝ නොවෙති. අප සැමදෙන ළඟ දෝෂ ඇත. අප හැම දෙනා සතුව ශක්තිය ද ඇත. මගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ, මෛත‍්‍රීපාල සිරිසේන මහතා මගේ පැරණි මිතුරෙකි. අප දෙදෙනා එක්ව අතීතයේ බොහෝ අරගල සිදු කර ඇත්තෙමු. හැකියාව ඇති නායකයකු ලෙස මම ඔහුව පිළිගන්නා අතර මේ තීරණාත්මක සන්ධිස්ථානයේදී ඔහුගේ සහයෝගය ද මම අපේක්ෂා කරමි. අවාසනාවට ඡන්ද ව්‍යාපාරය හා බැඳුණු අංගයන් බවට පත් වූ සියලූ නිශේධයන් පසෙක ළෑමට මම සූදානම්ය. ඔහුට ද මෙය කළ හැකි බව මම දනිමි.  


විපක්ෂය පැහැදිළිවම මාගේ සියලූ වැරදීම් පෙන්වා දී ඇත. ඒවා නිවැරදි කර ගැනීමට මම කටයුතු කරමි. හොඳ මිනිසුන් අපට අවශ්‍යය. එක් පසෙකින් හොඳම බුද්ධිමය සම්පත් ටික ද අප සතු වීම අවශ්‍යය. මේ මොහොතේ මට ඔබ සැමගේ සහයෝගය අවශ්‍යය. විශේෂයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමේ සහයෝගය ද මට කොතරම් අවශ්‍ය ද යන්න අමුතුවෙන් අවධාරණය කළ යුතු නැත.


මාගේ උපරිම දැනීමේ හැටියට කළ හැකි දේ කළ මම, සරළ සහ ප‍්‍රායෝගිකවාදී මිනිසෙකි. මම වියපත් වෙමින් සිටින්නෙමි. මින් පසුව යළි සුපුරුදු මැදමුලන වෙත මම පියනගන්නෙමි. මම තබා යා යුතු එකම උරුමය වන්නේ නීතියේ ආධිපත්‍යයෙන් හෙබි, සාමකාමී රටකි. එවන් උත්කෘෂ්ඨ ජාතියක් ගොඩනැගීම සඳහා මට ඔබ සැමගේ සහයෝගය ලබා දෙන්න.  




.....................................................................................................


මෙය ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ස්වකීය http://malindawords.blogspot.com හි ලියා පළ කරන ලද ලිපියක මා විසින් කළ සිංහල පරිවර්තනයයි. මුල් ලිපිය සඳහා ලින්කුව පහත දක්වා ඇත.


No comments:

Post a Comment