Sunday, April 5, 2020

මේ අත්දැකීම් තමයි අනාගතයේ අපේ ශක්තිය (Covid-19 සටන)

මේ ගෝලීය වසංගත ආපු පළමු අවස්ථාවත් නොවෙයි. අවසන් අවස්ථාවත් නොවෙයි.

1918-1920 අතර කාලෙ ගෝලීය වසංගතයක් විදිහට පැතුරුණු, මිලියන ගණන් ජනයා මියැදුනු, 'ස්පාඤ්ඤ උණ' රෝගය පළමුව වාර්තා වන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙන්. 1817 දි කොලරා වසංගතය පළමුව වාර්තා වෙන්නෙ ඉන්දියාවෙන්. ස්පාඤ්ඤ උණ වෛරසයේම තවත් ප්‍රභේදයක් ලෙස, ගෝලීය වසංගතයක් ලෙස 2009 දි පැතුරුණු 'සූකර උණ' පළමුව වාර්තා වෙන්නෙ මෙක්සිකෝවෙන්. ඒ වගේම පැපොල, සරම්ප, සාර්ස් , ඉබෝලා, සීකා ආදියත් විවිධ භුමි කලාපවලින් ආපු විවිධ රටවල පැතුරුණු වසංගත රෝග. කලින් කලට මානව ඉතිහාසය පුරාම එවැනි වසංගත රෝගවලට මුහුණ දෙන්නට මිනිසුන්ට සිදුවෙලා තිබෙනවා.

ඒ නිසා වසංගත රෝගයක් මතු වන්නෙ කවදා-කොතන ද කියන එක පමණයි අපට නිශ්චිතව කිව නොහැක්කෙ.

ගුවන් සහ නාවික ප්‍රවාහන මාධ්‍යවල දියුණුවත් එක්ක එහෙම ලෝකෙ කොහේ හෝ කෙළවරක මතු වෙන වසංගත රෝගයක් මහද්වීප-සමුද්‍ර-ගුවන් සීමා අභිබවා ගෝලීය වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ එදාට වඩා අද- අදට වඩා හෙට වැඩි වෙමින් තිබෙනවා. රටක ජාතික ආරක්ෂාව කියන්නෙ ගොඩබිම -නාවික -ගුවන් ආරක්ෂක පද්ධතිවල ශක්තිය පමණක් නොවන බව මේ වනවිටත් ප්‍රත්‍යක්ෂ දෙයක්.     

අතීතයේ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් හා කොලරාවෙන් අපේ රටටත් බලපෑම් එල්ල වී තිබුනත්, මේ වගේ ගෝලීය වසංගතයකට රජයක් විදිහටත්- රටේ පුරවැසියො විදිහටත් ශ්‍රී ලංකාවේ අපි මුහුණ දෙන පළමු අවස්ථාව මේ. 

මෑත කාලෙම මෙවැනි වසංගත රෝගවලට මුහුණ දී අත්දැකීම් ඇති , දියුණු භෞතික හා මානව සම්පත් තියෙන ඇතැම් රටවල් පවා මේ මොහොතෙ Covid-19 වෛරසයට මුහුණ දෙන ආකාරය බැලුවම, අපි රටක් විදිහට මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය ගැන සතුටු වියයුතුයි. 

මේ තමයි අනාගතයේ පැමිණිය හැකි වසංගත  අභියෝගවලට මුහුණ දෙන්න අපි ලබන හොඳම පෙරහුරුව. මෙවැනි අභියෝගවලට මුහුණ දීමට දියුණු කළයුතු අංශ ගැන හොඳ  අවබෝධයක් ලැබෙන අවස්ථාවක් මේක. 

එලෙස අතීත අත්දැකීම් ශක්තියක් කරගත් රාජ්‍යයක් ගැනත් මේ මොහොතෙ කිවයුතුයි.   ඒ තමයි දකුණු කොරියාව. චීනයත් නිදසුන් ලෙස ගත හැකියි.

සෞදි අරාබියෙන් පළමු වරට වාර්තා වූ කොරෝනා පවුලේ 'මර්ස්' වෛරසයෙන් සෞදි අරාබියට පසුව, 2015 දි වැඩිම බලපෑමක් එල්ල වුනේ දකුණු කොරියාවට. 

ඔවුන් ලබපු අත්දැකීම්, මෙවර රට ලොක්ඩවුන් නොකර- ආර්ථික ක්‍රියාකාරිත්වයට අවම හානියක් සිදුවන අයුරින්- ආසාදිතයින් සොයා ගැනීමේ සහ වෛද්‍ය පරීක්ෂණ කිරීමේ වේගවත් යාන්ත්‍රණයක් එක්ක Covid-19 වෛරසයට එරෙහි සටනට ශක්තියක් කරගත්තා. හයදහසකට අධික  සුවවූවන් එක්ක කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දසදහස ඉක්මවූවත්, දකුණු කොරියාව රට දුවන ගමන් ලොවට හොඳම ක්‍රමවේද පිළිබඳ නව ආදර්ශ සපයමින් සාර්ථකව සටන් කරමින් සිටිනවා. 

ඒ නිසා, ශල්‍ය මුඛ ආවරණවල ඉඳන් අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපකරණවල ගෝලීය හිඟයක් තියෙන වෙලාවෙ, රටේ නායකත්වයේ ඉඳන් සියලු අංශවල ඉමහත්  කැපවීමෙන් අප සතු උපරිම ශක්තිය යොදා , මේ මොහොතෙ කරන සටන ශ්‍රී ලංකාවේ අපි නිසැකවම ජයගත යුතුයි.  නුදු‍රේදීම එය ඉටුකරගන්න පුලුවන් කියන දැඩි  විශ්වාසය අපට තිබෙනවා.   

#අපිටපුලුවන් #TogetherWeCan ❤️ ✊🇱🇰

Saturday, February 22, 2020

පෙරළුණු 'සේවොල්' නැව සහ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය -දඩුවම් දෙන හැටි ඉගෙන ගමු

2014 අප්‍රේල් 16 වැනිදා, මගීන් 476 ක් රැගෙන, දකුණු කොරියාවේ ඉන්චොන් වරායෙන් ජේජු දූපත බලා ගමන් අරඹපු 'සේවොල්' නැව, කොරියාවේ පහළ ජින්දෝ ප්‍රදේශය ආසන්න මුහුදෙදි පෙරළී යාමෙන්, 304 දෙනෙක් මරණයට පත්වෙනවා. ඒ 304 දෙනා අතරින් 250 ක් ම අන්සාන් ප්‍රදේශයේ පාසලක ළමයි. ඒ කම්පනය නිසා, ඒ පාසලේ උප විදුහල්පතිවරයා පසුව සිය දිවි නසා ගන්නවා. 


අනතුර සිදුවූ මොහොතේ විශේෂයෙන්ම වෙරළ ආරක්ෂක සේවා කාර්‍යක්ෂමව ක්‍රියාත්මක නොවීම සහ රජය වගකීමෙන් පලායාමට උත්සාහ දැරීම නිසා මෙය එවකට සිටි පක්-ගන්- හි ජනපතිවරියගෙ ආණ්ඩුව පවා දෙදරීමකට ලක් කරපු සිද්දියක් උනා. 

මේ ඛේදවාචකයෙන් හරියටම මාසෙකට පමණ පස්සෙ, එනම් 2014 මැයි 15 වෙනිදා ඒ නැවේ කපිතාන් ඇතුළු සිව් දෙනකුට නොසැලකිලිමත්කම, වගකීම් පැහැර හැරීම සහ නැව අත් හැර පලා යාම මත මිනීමැරුම් චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවෙනවා. 

ප්‍රධාන ඉංජිනේරුවරයාට වසර 10කුත්, කාර්‍යමණ්ඩලයේ සෙසු අයට වසර 1 1/2 සිට වසර 12 දක්වාත් දඩුවම් හිමි වෙනවා. වරෙන්තු පිට සිටි නැවේ හිමිකරුවා පොලිසියට හසු නොවී පලා ගොස් සිටියත්, ඔහුගේ සිරුර ඊට මාස කිහිපයකට පසුව පිටිසර වෙළක තිබී හමු වෙනවා. 

මේ කතාවත් එක්ක මට අහන්න තියෙන ප්‍රශ්නය තමයි, අපේ රාජ්‍ය බුද්ධි අංශයෙන් 97 පාරක් අනතුරු අගවලා තියෙද්දි , ප්‍රහාරය එල්ලවෙන්න ආසන්න දින කීපය තුළ විදෙස් බුද්ධි අංශ පවා අපේ රජය දැනුවත් කර තියෙද්දි, එල්ල කෙරුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට හෝ හානි අවම කර ගැනීමට අපොහොසත් වීම නිසා පැහැදිලිවම වගකිවයුතු යැයි පෙනෙන හිටපු ජනපති , අගමැති ඇතුළු ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් ට සහ සෙසු අදාළ අයට එරෙහිව මාස 10 ක් ගත වෙලත් තවම නීතිය ක්‍රියාත්මක වීමට පරක්කු ඇයි කියන එක..