Monday, November 18, 2019

සැබෑ තරගය ජනවර්ග අතර නෙවෙයි , ලෝකෙත් එක්ක..

'ගෝඨාභය පත් උනේ පිරිසිදු සිංහල ඡන්ද වලින්‍ ය' කියන තැනට ලඝු විය යුතු නෑ කියන එකයි මගේ අදහස.

සැබැවින්ම උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා දෙමළ සහ මුස්ලිම් ජනයාත් යම් පමණකින් ඔහුගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වී තිබෙනවා. 


අපිට දැන් තියෙන්නෙ රටක් විදිහට ඉස්සරහට යා යුතු ගමනක්... සැබෑ තරගය තියෙන්නෙ ජනවර්ග අතර නෙවෙයි , ලෝකෙත් එක්ක.

සිංහල බෞද්ධයකුට අයිති CBL සමාගම නැත්නම් මංචි සමාගම අද මුස්ලිම් බහුතරයක් ඉන්න බංග්ලාදේශයේ අලුත් කර්මාන්තශාලා දාල එරට ව්‍යාපාරික කටයුතු කරනවා. HEMAS ගත්තත් MAS එක ගත්තත් ඒවයේ හිමිකරුවන් සුළු ජාතිකයන් උනාට ඔවුන් අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත් පංගුකාරයෝ... MAS එක විතරක් ගත්තොත් ඔවුන් අද ඇමෙරිකාව, වියට්නාමේ,හයිටි, ඉන්දුනීසියා, ජෝර්දාන් වගේ රටවල්  දාහතක පමණ කර්මාන්තශාලා දාලා ගෝලීයව තමන්ගේ පංගුව හිමිකරන් ඉන්නවා.. 

ජාතිවාදය හිස ඔසවන කාරණා ටිකකුත් රටේ නැතුව නෙමෙයි. විශේෂයෙන්ම රටේ අනෙකුත් ඕනෑම පළාතක ඕනෑම අයෙකුට නිදහසේ පදිංචි වෙන්න තියෙන අයිතිය උතුරෙ ජාතිවාදී දේශපාලනඥයන් සිංහල-මුස්ලිම් ජනයාගෙන් උදුරාගැනීමට තැත්කිරීම, කන්ද උඩරට- තේසවලමේ- මුස්ලිම් නීති අහෝසි කිරීම වගේ වගේ විසදාගත යුතු කරුණු ටිකක් තිබෙනවා. 

ඇතැම් මුස්ලිම් කාන්තාවන් පළදින සම්පූර්ණ මුහුණ ආවරණයට මං කවදත් විරුද්ධ යි.. ඒ මනුස්සයෙක් එක්ක හිනාවෙලා කතා කරන්නවත් අවස්තාවක් නොදෙන ප්‍රතික්ෂේප කළයුතු  අංගයක් නිසා. එහෙම නැතුව, මුස්ලිම් කාන්තාවො මුහුණ නොවසා පළදින හිස ආවරණයවත්, අනෙක් ඇදුම් පැළදුම් වත්, පිරිමින්ගේ හිස ආවරණයවත් කිසිකළෙකත් ප්‍රශ්න කරගත යුතු නෑ. සංස්කෘතික විවිධත්වය කියන්නෙත් රටකට ලස්සනක්. 

මම හදුනගත්ත ගෝඨාභය හේතුඵලවාදී ප්‍රවේශයකින් ප්‍රශ්න දිහා බලලා, පිළියම් යොදන නායකයෙක්. ඒ නිසා, රටක් විදිහට ඉස්සරහට යන්න, අන්තවාදය - ජාතිවාදය හිස ඔසවන්නෙ නැති වටපිටාවක් රටේ ගොඩනැගීම ඔහුට බාරයි.

#GR #Together_as_Sri_Lankans

Tuesday, October 29, 2019

අන්ත දුගී දකුණු කොරියාව සංවර්ධිත ලෝකයට ගෙන ගිය "පක් චුන් හි", අප උගතයුතු පාඩම් සහ ගෝඨාභය


1948දී ඇමරිකානු හමුදා සහ සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයෙන් පිටත්ව ගිය පසු, 1950 ජුනි 25 වෙනිදා එතෙක් සෝවියට් හමුදා පාලනය යටතේ පැවති උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවා. වසර තුනක් පුරා ඇවිළුනු බිහිසුණු කොරියානු යුද්ධය අවසන් වුනේ කොරියානුවන් මිලියන 3 කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින්. එක්සත් ජාතීන්ගේ ධජය යටතේ  දකුණු කොරියාවේ සහයට පැමිණි රටවල් 21කින් යුත් හමුදා සේනාංකයේ 36 000කට අධික පිරිසක් ද මිය ගියා. තුවාලකරුවන් ලක්ෂ ගණනක්. දේපළ හානිය ගිනිය නොහැකි තරම්. 

යුද්ධයෙන් පසු රජයේ අයවැයෙන් 90%ක් රඳා පැවතුනේ විදේශ ණය මත. රටේ මිනිසුන්ගේ කුසගින්න පවා නිවා ගන්න සිදු වුනේ විදේශවලින් ආධාර වශයෙන් ලැබුණු ආහාරවලින්. ඒ කාලේ අපේ රටින් පවා දකුණු කොරියාවට සහල් යවා තිබෙනවා ආධාර වශයෙන්. 

‍රටේ ගොඩනැගෙමින් තිබූ අස්ථාවර දේශපාලන හා ආර්ථික තත්වය යටතේ රට අන්ත දුගී බවින් මිරිකිලා ඉන්න කොට තමයි පක් චුන් හි රටේ නායකයා වෙන්නෙ 1961 දී.

1962 ජනවාරි 13 ඔහු ආර්ථික සැලසුම් මණ්ඩලය පිහිටවලා, පස් අවුරුදු සැලැස්මක් හදනවා. මේ සැලැස්ම තමයි දකුණු කොරියාව ඉතා කෙටි කලකින් නව කාර්මික රටක් ලෙස දියුණු වෙන්න පදනම වුනේ. ආනයන මත රැඳි ආර්ථිකය වෙනුවට ඔහු නිෂ්පාදන ආර්ථිකයක් කෙමෙන් ගොඩනැගුවා. එතෙක් ආනයනය කළ භාණ්ඩ රට තුළම නිෂ්පාදනය කරන්න අවශ්‍ය  කටයුතු කළා. සහල් ආනයනය තහනම් කළා. පවුලේ ව්‍යාපාර වශයෙන් තිබුණු, අද ලෝකප්‍රකට සන්නාම වන "Hyundai,Samsung, Daewoo" වැනි සමූහ ව්‍යාපාර සඳහා රජයෙන් අවශ්‍ය  සවිය දුන්නා. 

"හන් ගඟේ ආශ්චර්යය" (Miracle on the Han River) කියන විරුද නාමය දකුණු කොරියාවට එකතු වුණෙත් ඔහුගේ මේ උපාය මාර්ගික ආර්ථික සැලසුම් නිසා.   
‍පළමු පස් අවුරුදු  සැලැස්ම ක්‍රියාත්මක කරන්න තිබුණු ලොකුම බාධාව වුනේ මුදල් නැතිකම. නමුත්, රජය සිදු කළේ ජර්මනියේ පතල්වල රැකියාවට ගොස් සිටි දකුණු කොරියානුවන් මව් රටට එවන මුදල් මේ මුල් සැලැස්ම සඳහා යොදා ගැනීම. ඉන්පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන්, ඇමරිකාවෙන් සහ ජපානයෙන් ණය ලබාගෙන ඔහු ආර්ථික සැලසුම් ක්‍රියාවට නැංවුවා. 

දැනුමින්-කුශලතාවෙන් සන්නද්ධ ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ආයෝජනය කළා. නැව් කර්මාන්තය, වානේ, යන්ත්‍රසූත්‍ර, ගල් අඟුරු, ඇඟලුම් වැනි ප්‍රධාන කර්මාන්ත අංශ කිහිපයක් සඳහා විශාල ලෙස මුදල් ආයෝජනය කළා. 
එම කාලයේදී, ඇඟලුම්වලින් ලොව විශාලතම අපනයනකරු වෙන්න කොරියාවට පුලුවන් උනා. 

1970 අප්‍රේල් මාසේ පක් චුන් හි, පෝහාන් වානේ නිෂ්පාදන කම්හල (POSCO) පටන් ගත්තා. මෙය තාක්ෂණය සහ අනෙකුත් සම්පත් විශාල වශයෙන් යොදා ගත යුතු දැවැන්ත ව්‍යාපෘතියක්. ව්‍යාපෘතියෙ සාර්ථකත්වය පිළිබඳ අවිනිශ්චිතතාව නිසා IBRD ජාත්‍යන්තර බැංකුව කොරියාවට උපදෙස් දුන්නෙ මේ සඳහා මුදල් නොයොදවන ලෙස. අභියෝග ජයගනිමින්, 1973 දි මෙම කම්හල වානේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අද ලෝකයේ වානේ නිෂ්පාදනය කරන පළමු රටවල් 5 අතර කොරියාව. 

වානේ නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමග වානේ ආශ්‍රිතව නිෂ්පාදන සිදු කරන නැව්, රථවාහන, යන්ත්‍රසූත්‍ර, විදුලි උපකරණ වැනි කර්මාන්ත අංශවල විශාල දියුණුවක් ඇති වුනා. 

ජනපති පක් චුන් හි විසින් 1970 අප්‍රේල් 22 දියත් කරපු නව ප්‍රජා ව්‍යාපාරය මගින් කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමටත්, මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමට පටන් ගත්තා. 

1973 ඔක්තෝබර් මාසෙ ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් කිහිපයක් අතර ඇති වුනු යුද්ධයේදී තෙල් හිඟය නිසා නව කාර්මික රටක් ලෙස ගොඩනැගෙමින් තිබුණු කොරියාවට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනා. නමුත්, එය වාසියක් කරගත් දකුණු කොරියාව මැදපෙරදිග රටවල් වෙත තම ශ්‍රමිකයන් සහ ඉදිකිරීම් සමාගම් යවමින් ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයට අත ගැහුවා. වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 10ක ආදායමක් දකුණු කොරියාවට ලැබුණා.

1979 තෙක් වසර 20 කට ආසන්න කාලයක් රට පාලනය කරපු පක් චුන් හි තමයි කොරියානු සංවර්ධනයේ පියා. 

ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය අඩු, ටිකක් දරදඬු පාලනයක් වශයෙන් ඇතැමුන් විවේචනය කරාට, ඔහු තමයි කොරියාවේ වත්මන් දියුණුවේ පෙරගමන්කරු. රටේ දියුණුව වෙනුවෙන් අභියෝග බාරගත්, කෙලින් තීන්දු තීරණ ගත් නායකයෙක්.

"මේ රටට අනාගතයක් නෑ. වසර සියයක් ගත වුවත්, මේ රට යළි ගොඩ නැගිය නොහැකි වේවි."  -ඩග්ලස් මැක් ආතර් ( කොරියානු යුද්ධයේදී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙය වූ ඇමරිකානු හමුදා ප්‍රධානියා )

("This country has no future. This country will not be restored even after 100 years" - Douglas Mac Arthur who led UN forces command in Korean war) 

‍මේ 2019 අවුරුද්ද. වසර 70කට පමණ පස්සෙ අද කොරියාව ලොව 12 වෙනි විශාලතම ආර්ථිකයේ හිමිකරු. කොරියානු ආශ්චර්යයට අත්තිවාරම සැපයූ ප්‍රධාන සාධක 04යි.

1. ජනතාව උද්යෝගිමත් කිරීම (1960දී බීමත්කම-කම්මැලිකම)
2. ස්ථාවර හා දුරදක්නා දේශපාලන නායකත්වය
3. අංශ කිහිපයක කර්මාන්ත සඳහා ඉලක්කගතව වැඩ කිරීම
4. යටිතල පහසුකම් සංවර්ධනය

අපේ රටත් භූගෝලීය පිහිටීමේ වාසිය ගනිමින් වරාය -ගුවන් සේවා-සංචාරක වැනි සේවා අංශවල දියුණුවක් වගේම, පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ලුණු -සීනි-ටින් මාලු වැනි අපේ රටේ නිපදවිය හැකි- එහෙත් දැනට ආනයනය කරන දේවල්වලින් පටන් ගෙන අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න අවශ්‍යයි. රජයෙන් අවශ්‍ය සහය දෙමින්, අපේ රටේ තිබෙන ප්‍රධාන සමූහ ව්‍යාපාර මෙවැනි ව්‍යාපෘති සඳහා සම්බන්ධ කරගත යුතුයි. ඒ වගේම, සාම්ප්‍රදායික ගොවිතැන වෙනුවට තාක්ෂණික කෘෂිකර්මාන්තය. දැනුමින් සන්නද්ධ ශ්‍රම බලකායක්. 

මේ සියල්ල වෙනුවෙන් අද අවශ්‍යතාව ජනතාව විසින් තෝරාගන්නා දුරදක්නා දේශපාලන නායකත්වයක්. ඉන්පසුව ඔහුට අවශ්‍යයි හොඳ කණ්ඩායමක්. එවැනි නායකත්වයක් සැපයිය හැකි පුද්ගලයන් අනෙකුත් දේශපාලන වේදිකා මත සිටින්නටත් පුලුවන්. එහෙත්, දැනට සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් එවැනි නායකත්වයක් පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.

-දමයන්ත-

රටට ජය!

Tuesday, October 8, 2019

අනාගත ජනාධිපතිට ලියන ලිපි පෙළ අංක 03 . අධ්‍යාපනය

අනාගත ජනාධිපතිට ලියන ලිපි පෙළ
අංක 03 . 

අධ්‍යාපනය 
=========

රටක් සතු හොඳම ආර්ථික ප්‍රතිපත්තිය අධ්‍යාපනය යි- කියමනක් 

ගරු ජනාධිපති තුමනි , 

ඔබ මා විසින් යොමු කල දෙවැනි ලිපියෙහි අන්තර්ගත ඉඩම් හා භූමි කළමනාකරණය ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන්නට ඇතැයි සිතමි. එයට අවශ්‍ය මූලික පදනම ඔබ සකස් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. ඔබගේ මේ අලුත් රටට මේ සැළසුම් සියල්ල ඉටු කර ගැනීමට ඔබට අවශ්‍ය ලොකුම සම්පත මානව සම්පත බව ද ඒ ගොඩනැගෙන රටේ ශ්‍රම බලකාය රට හදන යාන්ත්‍රණයේ මූලිකම පාදම බව ද ඔබට මතක කරනු කැමැත්තෙමි. 

එබැවින් ඔබ මේ ගමන යාමට රටේ මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කරමින් මෙහෙයවා ගත යුතුය. ඔවුන්ට නිසි අධ්‍යාපනය, පුහුණුව , නිපුණතා ලබා දී වෘත්තීයම වශයෙන් ඔවුන් සූදානම් කල යුතුය. මේ රට ගොඩ නැගිය යුත්තේ අප විසිනි. ඒ සඳහා අවශ්‍ය දැනුමසහ ශ්‍රමය වෙන රටකින් ගෙන ආ නොහැකිය. එබැවින් මේ රටේ උපදින හැදී වැඩෙන අපේ දරුවන් ඔබ මේ දකින අනාගතය වෙත ගෙන යෑමට සූදානම් කල යුතුය. ගොඩ නැගෙන රටට ඔවුන්ගෙන් ද එසේ රට ගොඩ නැගීමෙන් ලැබෙන පල ඔවුන්ට ද ලැබෙනුයේ ඔවුන් ඒ සඳහා සූදානම් නම් පමණි. වර්තමානයේ අප බිහි කරන ශ්‍රම බලකාය අක්‍රමවත් ය. එබැවින් මේ ක්‍රමයෙන් තව දුරටත් ඔබ තුමාට රට ඉදිරියට ගෙන යා හැකි නොවේ. එබැවින් ඔබ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කල යුතුය. හෙට ලොව දිනන වෘත්තිකයා හා ශ්‍රමිකයා නිර්මාණය වන්නේ ඒ වෙනස් කරන අධ්‍යාපන ක්‍රමයෙනි. අධ්‍යාපන වෙනස් විය යුතු යැයි මා සිතන ආකාරය ඔබට මෙසේ පැහැදිලි කිරීමට මට අවසර...

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස් කම් හා ප්‍රතිසංස්කරණ මා ප්‍රධාන කොට ආකාර හයකින් ඉදිරිපත් කරමි. 

1. අධ්‍යාපන ක්‍රමයෙහි අන්තර්ගතයෙහි වෙනස් කම්
2. අධ්‍යාපනයෙහි ව්‍යුහයේ වෙනස් කම්
3. අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක භෞතික වෙනස් කම්
4. අන්තර්ජාතික පාසල් සඳහා උසස් අධ්‍යාපන ක්‍රමයක් 
5. ජාතිය, ආගම, භාෂාව අනුව නොබෙදුන පාසල් ක්‍රමයක්
6. ඉංග්‍රීසි භාෂාව පාසල තුලට ගැනීම 

👉1. මා අන්තර්ගතයෙහි වෙනස් කම් පහත ලෙස විස්තර කරමි. 
රටක අධ්‍යාපනය යනු රටේ රටේ උපදින දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන මාධ්‍ය වූවත්, අප එයින් බලාපොරොත්තු වන ප්‍රධානතම ප්‍රතිඵලය නම් ඒ පුරවැසියා රටේ පවතින ආර්ථික ක්‍රියාවලිය තුලින් සිය ජීවනාලිය සරි කර ගැනීමට හැකියාවක් ඇති සුදුස්සෙකු බවට පත් කිරීම ය. එනම්, රටේ ආර්ථිකය තුල ව්‍යාපාරයක්, නිර්මාණයක් හෝ රැකියාවක් කර ඔහු හෝ ඇය සිය ජීවිතය හොඳින් පවත්වා ගෙන යාමට ආදායමක් සකස් කර ගත යුතුය. එනම්, ඔබ පවත්වා ගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන ශ්‍රමිකයා හෝ වෘත්තිකයා රටේ පවතින ආර්ථික ක්‍රමයට පලදායී කෙනෙකු විය යුතුය. එවිට ඔවුන් සෘජුවම ආර්ථිකයට ඔබ්බවා ගත හැකි පුරවැසියන් බවට පත් වන අතර එලෙස බිහි වූ දක්ෂයෝ ආර්ථිකයට අන්තර් ග්‍රහණය වීමෙන් ආර්ථික ක්‍රියාවලියට ද වාසි සහගතය. 

එබැවින්, අප අපගේ අධ්‍යාපන ක්‍රමය සකස් කර ගත යුත්තේ රටේ ආර්ථික ක්‍රියාවලිය , සංවර්ධන උපාය මාර්ගය අරමුණු කර ගෙනය. ආර්ථිකයට වෘත්තිකයන්, නිර්මාණ කරුවන්, ශ්‍රමිකයන් , තාක්ෂණික ශිල්පීන් , ව්‍යවසායකයන් ආදීන් ප්‍රමාණවත් අයුරින් සැපයෙන ක්‍රමයකට ඔබ අධ්‍යාපන ක්‍රමය සකස් කල යුතුය. ඔබ අනාගතයේදී ඉදි කිරීමට නියමිත කාර්මික නගර , කාර්මික කලාප, නැව් ගුවන් ප්‍රවහන සේවා , කැණීම් , උද්‍යාන, ස්වාභාවික වනාන්තර ඇති කිරීම ආදිය ඉලක්ක කරගෙන ඒම ආර්ථික උපාය මාර්ග පුරවැසියා ඉලක්ක කරවන අධ්‍යාපන ක්‍රමයක් ඔබ සැකසිය යුතුය. 

අපේ රටේ දැනට බහුතරයක් ලෙස බිහි වන ඉතිහාසය , ශිෂ්ඨාචාරය , සාහිත්‍යය , භූගෝලය , කෘෂි කර්මය ආදියෙන් දාර්ශනිකයන් බිහි කිරීමෙන් ආර්ථිකයට පණ පොවන ශක්තිමත් ශ්‍රම බලකායක ගොඩ නැගීමට අපට නොහැකිය. එම දාර්ශනික විෂයන් එසේ දාර්ශනිකයන් විය හැකි පිරිසකට පමණක් සීමා කොට අනෙක් පිරිස් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය , විද්‍යා හා තාක්ෂණ , ඉංජිනේරු , විවිධ ක්ෂේත්‍ර වල තාක්ෂණික ශිල්පීන් ආදිය නිර්මාණය කිරීමට යොදා ගත යුතුය. එවිට ඔවුන් විශ්වවිද්‍යාලය තුලින්ම වෘත්තීය නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියන් බවට පත් වන අතර එළියට එන විටම රැකියාවක් ලබා ගැනීම සෘජුවම කල හැකිය. ආර්ථිකයට අවශ්‍ය ශ්‍රමිකයා නිර්මාණය කර දීම තුලින් පුරවැසියා ට ජීවනාලියත් , ආර්ථිකයට දක්ෂ මානව සම්පතත් ලැබීමෙන් රට වේගයෙන් ඉදිරියට ගලා යනු ඇත. එවිට රැකියා විරහිත උපාධි දාරීන් යැයි කොටසක් මින් මතු වට බිහි නොවේ. 

උදාහරණයක් ලෙස ගත් කල, ඔබ රටේ සැලසුම් කරන ගොඩ නැගීම අනුව අවශ්‍ය වන ඉංජිනෙරුවන් ප්‍රමාණය ගණනය කරන්න. අනතුරුව එම ඉංජිනෙරුවන් ප්‍රමාණය සමහ වැඩ කිරීමට අවශ්‍ය තාක්ෂණික ශිල්පීන් ( මේසන්, වඩු, විදුලි කාර්මික, වෙල්ඩින් , ආදිය) ප්‍රමාණය ගණනය කරන්න දැන් ඒවාට අවශ්‍ය පාඨමාලා ඇති කරවන්න. මෙලෙසම රටට දොස්තරලා කීයක් අවශ්‍ය ද, එම ප්‍රමාණයට හෙදියන් කීයක් අවශ්‍ය ද ආදිය ලෙස සෑම ක්ෂේත්‍රයකටම මෙම ගණනය කිරීම කල හැකිය. එවිට ඔවුන් අධ්‍යාපන අවසන් වූ වහාම රැකියාවට යොමු වීමේ අවකාශය සැලසෙයි. 

එබැවින් ඔබ අධ්‍යාපනයේ අන්තර්ගතය රටේ ආර්ථික සැලසුම් මත සිට මෙහෙයවා ගෙන වෙනස් කරන්න. ඔබට පුලුවන් .

👉2. අධ්‍යාපනයේ ව්‍යුහයේ වෙනස් කම් මම ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්. 

අප රටේ සිසුන්ගේ දැකිය හැකි ප්‍රධානතම ලක්ෂයක් නම් පාසල් හැර යෑමයි. එක වසරෙන් පාසලට ඇතුල් වන දරුවන් උසස් පෙළ වන විට සැහෙන ප්‍රමාණයක් පාසැල් හැර ගොසිනි. සාමාන්‍ය පෙළට පෙරම සෑහෙන්න ප්‍රමාණයක් හැලී යන අතර සාමාන්‍ය පෙළින් පසුව තව කොටසක් හැලී යයි. උසස් පෙලින් විභාගයට මූණ නොදීම කොටසක් ද විභාගයෙන් අනතුරුව තව කොටසක් ද රටේ අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ නොලබාම සැඟවී යයි. විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ප්‍රමාණයෙන් ආර්ථිකයට සෘජුව දායක විය නොහැකි පිරිසක් ද පිටව යති. 

සියළුම දරුවන්ගේ බුද්ධි මට්ටම් හා හැකියාවන් සමාන නොවන බැවින් ඔවුන්ගේ විවිධත්වය තේරුම් ගෙන එකිනෙකා සතු දක්ෂතාවයන් හඳුනා ගෙන එම දක්ෂතාවයන් ඔබ නංවා ගෙන ඔවුන් සාර්ථකත්වයට තල්ලු කරනා ක්‍රමයක් අප සැකසිය යුතුය. ඒ සඳහා මා මෙලෙස ඔබට යෝජන කරමි. 

සාමාන්‍ය පෙල දක්වා රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය අනිවාර්යය කරන්න. එය රජයේ වගකීමක් විය යුතු අතර ඒ සඳහා පූර්ණ මැදිහත්වීමක් රජය දැරිය යුතුය. මේ සවහා අවශ්‍ය නීතී සම්පාදන කර ගන්න. සාමාන්‍ය පෙළින් අනතුරුව උසස් පෙළ හැදෑරීමට අකමැති , නුසුදුසු හෝ නොහැකි දරුවන් සඳහා තාක්ෂණික විද්‍යාල ඇති කරන්න. මේසන් වරුව්, වඩුවන්, විදුලි ශිල්පීන්, මිකැනික් වරුන්, ආදී බොහෝ ක්ෂේත්‍ර වලට වෘත්තීය සුදුසුකම් ඇති කරනවන නිපුණතා වර්ධනය කරවන සිද්ධාන්තමය ඉගැන්වීමක් කර සහතිකයක් ලබා ගත හැකි මට්ටමේ ක්‍රමවේදයක් ඇති කරන්න. උසස් පෙලින් අසමත් හෝ මුහුණ නොදූන් අයටද සිය අධ්‍යාපන හැකියාව මත විවිධ වෘත්තීන්ට යොමු වීමට ශිල්පීය ඥාණය හා පුහුණුව ලබා දෙන තාක්ෂණික විශ්වවිද්‍යාල ඇති කරන්න. 
එම විද්‍යාල හා විශ්වවිද්‍යාල මෙලෙස පාසල් හැර යන හෝ ඉවත් වන දරුවන් ප්‍රමාණයට ප්‍රමාණවත් විය යුතු අතර ඔවුන් සියල්ලන්ටම යම් ශිල්පීය හැකියවක් ලබා දෙන්නක් විය යුතුය. ඒ ඒ ශිල්පීය ක්ෂේත්‍ර ඔබගේ ආර්ථික උපාය මාර්ග අනුව සකසා ගත යුතුබව මා නැවතත් මතක් කරමි. 

මෙම ක්‍රියාවලිය ඇති කල පසු රටේ සියළුම දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් පුරවැසියන් බවට පත් වෙන අතර, ඔවුන් පාසැල් හැර ගිය පසු යම් වෘත්තීය සුදුසුකම් සැපිරූ ශ්‍රමිකයන් ලෙස මෙම ආයතන වලින් පිටවේ... ඔබේ ශ්‍රම බලකාය දැන් ඒ ආර්ථිකයට පණ පොවන්න සූදානම් ජනාධිපති තුමනි... 

අධ්‍යාපනයේ ඇති විය යුතු ප්‍රමාණාත්මක භෞතික වෙනස් කම් පිළිබඳව දැන් මා පැහැදිලි කරන්නම්.

👉3. ප්‍රමාණත්මක වෙනස් කම් ලෙස මා හැදින්වූයේ පාසල් පද්ධතිය තුල සිදු විය යුතු භෞතික වෙනස් කම් පිළිබඳව ය. 

රට තුල පවතින පාසල් අතර සම්පත් බෙදි යෑමේ දැඩි විෂමතාවයක් පවතින අතර අන්ත දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් පමණක් යන අන්ත දුප්පත් පාසල් මෙන්ම රටේ බොහෝ පොහොසතුන්ගේ දරුවන් යන සුපිරි පාසල් දක්වා රට තුල පාසල් අතර සම්පත් බෙදීයාම අනුව දැඩි වෙනස් කමක් පවතී. මේ තත්ත්වය අධ්‍යනය කර සුපිරි පාසල් මට්ටමට නොවුනත් රටේ සියළුම පාසල් වලට අවම පහසුකම් නිර්මාණය කිරීමේ වගකීම ඔබ සතුය. 

මෙයද ගණනය කර කළ හැකි විද්‍යාත්මක කාර්‍ය්යක් බව මා ඔබට පෙන්වා ද්නු කැමැත්තෙමි. 

අප රටෙහි මේ වසරේ ඉපදෙන දරුවන් ප්‍රමාණය ගණනය කර ගැනීමට උපත් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේන් ඔබට පහසුවෙන් හැකියාව ලැබේ. එසේනම් තව අවුරුදු පහකින් ඒ ප්‍රමාණයට රටේ ප්‍රාථමික පාසල් වල එක වසරේ සීට් ප්‍රමාණයක් තිබිය යුතුය. දැනට පවතින එම සීට් ප්‍රමාණය ගණනය කර , ඒවා මදි නම් ඔබ එම පහසුකම් සෑදීමට දැන් මම සැලසුම් සකස් කරන්න. එවිට දරුවා ලොකු වී ඉස්කෝලේ යෑමට සැරසෙන විටම ඔවුන් වෙනුවෙන් පහසුකම නිර්මාණය වී තියේවී. පාසල් වල අනෙකුත් පහසු කම් ද, උසස් පෙළට දරුවන් කීය ද, තාක්ෂණික විද්‍යාල හා විශ්වවිද්‍යාල වලට දරුවන් කීය ද ආදී වශයෙන් ගණනය කිරීමේදී මේ වසරේ උපදින දරු පරම්පරාවට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ඔබට ප්‍රක්ෂේපණය කර ගත හැකි වෙනු ඇත. ඒ අනුව එය සැකිල්ල කර ගනිමින් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ භෞතික වෙනස් කම් සංවර්ධන කිරීමට ඔබට පිළිවෙන. 

අන්ත දුප්පත් දිරා ගිය ගොඩ නැගිලි සහිත පරණ පාසල් වසා දැමීමට ඔබ පසු බට නොවන්න. නිසි පරිදි ඔබ සතු සම්පත් කළමනාකරණය කර ගන්න. ඔබ නවීන පන්නයට හිතන්න. ලෝකය සමග ගමන් කල හැකි පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය නූතන දැනුම පාසල් තුලට ගෙන එන්න. 

ඔබට තව මා විශේෂ යෝජනාවක් කරන්නම්. කොළඹින් පිට වන ප්‍රධාන පාරවල් 5 සහ පිටත වට රවුම් අධිවේගය ඇසුරු කොට ප්‍රධාන පාසල් 5 ක් අලුතින්ම ගොඩ නගන්න. නෙළුම් කුළුණ , මත්තල ගුවන් තොට, සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ආදියට වියදම් කලා මෙන් ණය මුදලක් ගෙන විශාල ප්‍රමණයේ ප්‍රධාන පාසල් 5 ක් අලුතින්ම හදන්න. දරුවන් 20,000 ක් පමණ අලුතින් බඳවා ගත හැකි මට්ටමේන් මෙම පාසල් සමන්විත විය යුතුය. ඒම පාසල් වලට කොළඹ පොඩි පොඩි ඉස්කෝල වල දරුවන් බඳවා ගන්න. රටේ ඈත කොන් වල සිට මහ පාන්දර නැගිටගෙන ඉස්කෝලේ ඇවිත් කොළඹ ට්‍රැෆික් එකේ ඉස්කොල වෑන් වල ජීවිතය ගෙවා දමන දරුවන් මෙම නව පාසල් වලට බඳවා ගන්න. කොළඹ ට්‍රැෆික් එක අඩු කිරීමට ද කොළඹ අසු මුළු වල ඇති කුඩා පාසල් වල දරුවන් ට හොඳ පාසලක් ලබා දීමටද වෑන් වල කොළඹ රස්තියාදු වන දරුවන්ගේ ජීවිතය ප්‍රකෘතිමත් කිරීමට ද එම ඉඩම් වඩා හොඳ සංවර්ධනයකට යෙදවීමට ද එයින් හැකි වේවි. 

මේ සංවර්ධන උපාය මාර්ගය මා අංක 2 ලිපියේ සඳහන් කල අනාගත සුපිරි ජනාවාස සැලසුම් වන භූමි වල සැලසුම් විය යුතුය. රටේ අනෙකුත් ප්‍රදේශ වලට ද මවන් පාසල් අවශ්‍යතාවය පරිදි ඇති කරන්න. රටේ සියළුම දරුවන්ට පාසලක් තුල සීට් එකක් වෙන් කරන ක්‍රමයකට ගණන් බලා අපි සැලසුම් සකස් කල යුතුය. එම සීට් එකේ අවම ගුණාත්මකභාවය නිර්ණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටිය යුතු අතර ඔබ ඒ සඳහා නියාමන ක්‍රමවේද ඇති කල යුතුය. ක්‍රමයෙන් වර්ධනය වන ආර්ථිකයෙන් මේ සඳහා සහය ඔබට ලැබෙනු ඇත.

👉4. වර්තමානය වන විට රට තුල අන්තර්ජාතික පාසල් විශාල ප්‍රමාණයක් පවතින අතර ඇති හැකි පවුල් වල දරුවන් විශාල ප්‍රමාණයක් එම පාසල් වල අධ්‍යාපනය ලබයි. ඔබේ අධ්‍යාපන සැලසුම් වලට එම පාසල් පද්ධතිය ද ඇතුලත් විය යුතුය. 

රජයේ පාසල් වලින් ප්‍රමාණවත් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කල නොහැකි නිසා, හොඳ පාසලකට දරුවන් ඇතුලත් කර ගත නොහැකි වූ දෙමාපියන් මෙලෙස සිය දරුවන් අන්තර්ජාතික පාසල් වෙත යවා අධ්‍යාපනය ලබා දෙයි. එහි වරදක් මා නොදකිමි. ඔවුනට තෘප්තිමත් අයුරින් රජයේ පාසලේ අධ්‍යාපනය නොලැබේ නම්, මුදල් ගෙවා එය ලබා ගැනීමේ වරදක් නොමැතිය. 

නමුත්, ඒවා අන්තර්ජාතික පාසල් යැයි කියා එම දරුවන් රජයේ වගකීමෙන් නිදහස් නොවේ. ඒ දරුවන් ද මේ රටේ අනෙකුත් දරුවන් සේම සම අයිතියක් දරණ දරුවෝ ය. එබැවින් අප ඔවුන් වෙනුවෙන් ද අපගේ ප්‍රතිපත්තිය සකා කර ගත යුතුය. 

අන්තර්ජාතික පාසල් වල විෂය නිර්දේශය අන්තර්ජාතිකව පිළිගත් සියල්ලන්ටම පොදු එකක් කරන්න. එම දරුවන්ට පාආල් අධ්‍යාපනයෙන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුලත් වීමට අවකාශ හෝ එම දරුවන්ට මෙරට් තුල සිටම උසස් අධ්‍යාපනය ලබා ගත හැකි විශ්වවිද්‍යාල පහසුකම් පිළිබඳව කලෙක පටන් හිඩැසක් පවතී. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ එම දරුවන් විශාල ලෙස මුදල් ගෙවා විදේශ රට වල අධ්‍යාපනය සොයා ඉගිල යාමත් , ඔවුන් බහුතරයක් ආපසු නොඒම නිසා බුද්ධි ගලනය ලෙස අපේ දක්ෂ දරුවන් අපට අහිමි වීමත් ය. දරුවා රටට මෙන්න දෙමාපියන් ගෙන් ඈත් වීම දඑසේ නැතිනම් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය නොලබා රට තුල අතරමං වීම ද සිදු වෙයි. එබැවින් අප මේ සඳහා විශේෂ උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතුය. ගුණාත්මක පුද්ගලික විශ්වවිද්‍යාලය ක්‍රමයක් ඇති කිරීම හෝ එම දරුවන්ට රජයේ විශ්වවිද්‍යාල වල දොරටු විවර කිරීම කල යුතුය.

👉5. පස් වන කරුණ නම් ආගම , ජාතිය අනුව වෙන්වූ පාසල් හෝ විශ්ව විද්‍යාල වල පැවැත්ම අත් හිටුවීමයි.

අප රට තුල පොදු අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතු අතර ඒ අධ්‍යාපන ක්‍රමය ජාතිය, ආගම හෝ ජන වර්ගය මත වෙනස් වීම සිදු නොවිය යුතුය. සාමාන්‍ය පෙල දක්වා දරුවන් පාසල් අධ්‍යාපනය ලැබිය යුත්තේ රටේ පොදු විෂය පථයට සමගාමීව ය. විවිධ ජාතීන්, ආගම් හා ජන වර්ග අනුව පාසල් හෝ විශ්වවිද්‍යාල ඇති වීම වැළැක්වීය යුතු අතර ඇති වී තිබෙන පාසල් ඉක්මනින් වෙනස් කොට පොදු දහරාවට අනුයුක්ත කර ගත යුතුය. සියළුම පාසල් ඇතුලත ඒ ඒ ජන වර්ග වලට අදාලව ඔවුන්ගේ මව් භාෂාව හා ආගම ඉගෙන ගැනීමට අවකාශය සළසා දිය යුතු අතර එම උගන්වන දෑ පොදු එකඟතාවක් මත නියාමනය කිරීම රජයේ වගකීමකි. 

👉6.පාසල් ඇතුලත උගන්වන භාෂාව ක්‍රමයෙන් අප ඉංග්‍රීසියට යොමු කර විය යුතුය. 

ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ද කණිෂ්ඨ අධ්‍යාපනය වැඩි වන සේ ක්‍රමයෙන් ඉංග්‍රීසියෙන් ද උසස් අධ්‍යාපන ඉංග්‍රිසියෙන් ද ලැබෙන ක්‍රමයක් අප අනුගමනය කල යුතුය. 

ලෝකයේ දැනුම ජනිත වී ඇත්තේ බොහෝමයක් ඉංග්‍රීසියෙන් බවද ඒවා පහසුවෙන් අධ්‍යනය කිරීම ද , එතනින් එහාට වැඩි දුර දියුණු කිරීමද කල හැක්කේ ඉංග්‍රීසියෙනි. 

අප කුඩා ජාතියක් බැවින් වීනයේ , ජපානයේ , කොරියාවේ මෙන් ඔවුන්ගේ භාෂාවෙන්ම රට දියුණු කිරීමට සිතීම ප්‍රායෝගික නොවේ. එබැවින් අප යම් දිනෙක, යම් යම් ප්‍රමාණවලින් ඉංග්‍රිසිය අපේ වැඩ කරන භාෂාව බවට පත් කර ගත යුතුය. 

අපේ මව් භාෂාවන් සුරැකිව රකින ගමන්, එම භාෂාවන් පාසල් තුල උගන්වන ගමන් අප සාමාන්‍ය පෙලින් අනතුරුව, උසස් අධ්‍යාපනය හා රට තුල වැඩ කරන භාෂාව ලෙස ඉංග්‍රීසි පිළි ගැනීම කල යුතුය. 

අප මෙය නිල වශයෙන් නොකලත් මේ වෙනස සෙමින් සිදු වෙයි. රට තුල අන්තර්ජාතික පාසල් වැඩි වීමත්, පුද්ගලික අධ්‍යාපන ආයතන බහුල වීමත්, පුද්ගලික අංශය සම්පූර්ණයෙන්ම වාගේ ඉංග්‍රීසියෙන් වැඩ කිරීමත් මේවාට උදාහරණ ය. ඉංග්‍රීසි නොදැනීම රැකියාවකට යාමට අප තරුණ පරම්පරාවට ඇති ප්‍රධාන බාදකයක් වී ඇත්තේ ය. එසේ නම්, අප එය පිළිගත යුතුව ඇත. අප ඉංග්‍රීසි භාෂාව ක්‍රමයෙන් රට තුල ස්ථාපිත කල යුතුව ඇත. එය එක වර සිදු වන්නක් නොවිය යුතුය. එය වසර් 5-10 ක් පමණ කාලයක් ඇතුලත ඊට අවශ්‍ය සම්පත් හා පරිසරය සකසමින් දරු පරම්පරාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් සිදු විය යුත්තකි. එය අද හෝ හෙට සිදු විය යුතුමය.

 එහි ප්‍රමාදය රටේ ප්‍රමාදයට අනුලෝමව සමානුපාතික යැයි කිව හැකිය.

එබැවින්, ඔබ සිතන්න. ඔබට තනිවම මෙය කල හැක්කක් නොවේ. මෙය සිදු කිරීමට ඔබට අත්‍යාවශ්‍යම සාධකය නම් මෙය කළ හැකි දක්ෂයෙකු මෙහි නියමුවා කර වීමය. Meritocracy හෙවත් දක්ෂයාට තැන දීම යන ප්‍රතිපත්තිය ඔබට මෙහිදී වැදගත් වේවි. නෑයන්ට ආයතන වල ප්‍රධාන තැන් දෙන ක්‍රමයක් ඔබට මෙවන් දේ කල නොහැකිය. මා මේ ඔබට දෙන වැදගත්ම පණිවිඩයයි. දක්ෂයෙකු පත් කර ගෙන මෙය භාර දෙන්න. 

ඔබට පුලුවන් 
අපිට පුලුවන් 

පැතුම් .
(පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )

https://m.facebook.com/story.php?story_fbid=10215772503682034&id=1127212983

අනාගත ජනාධිපති ට ලියන ලිපි පෙල අංක 2. නිවාස, ඉඩම්, කෘෂි කර්මය සහ වනාන්තර

අනාගත ජනාධිපති ට ලියන ලිපි පෙල
අංක 2. 

නිවාස, ඉඩම්, කෘෂි කර්මය සහ වනාන්තර 
==================================

ගරු ජනාධිපති තුමනි, 

පසු ගිය දා ලියූ කුණු ප්‍රශ්නය සම්බන්ධ ලිපිය ලැබෙන්නට ඇතැයි සිතමි. මාගේ මීළඟ ලිපිය රටේ ඉඩම් ප්‍රතිපත්තියය, එහි කළමනාකරණය , දීර්ඝකාලීන සැළසුම් , නිවාස හා ස්වභාවධර්මය පිළිබඳවයි. 
මේ තව වසර 30 කින් ඔබ නිමවන රටේ මුල් සැලැස්මයි. 

ඔබ ජනාධිපතිවරයා වූ පසු ඔබේ කාර්‍යාලයට ඉඩම් අමාත්‍යාංශය අනුබද්ධ කර ගන්න. ඉඩම් සැළසුම් දේපාර්තමේන්තුවට බොහෝ උගත් දක්ෂ නිර්මාණශීලී ආයතන ප්‍රධානියෙකු හොයා ගන්න. ඔබගේ සෘජු අධීක්ෂණය යටතේ පහත ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාත්මක වන්න. 

රටේ සමස්ථ භූමි ප්‍රමාණය වන වර්ග කිලෝමීටර් 65610 ක පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරන්න. ලෝකයේ තිබෙන නූතන තාක්ෂණය , දැනුම මෙන්ම වීශේෂඥයන් යොදවා මෙය සිදුකරන්න. මේ සඳහා ලොකු කාලයක්, මුදලක් වැය වන බව නොඅනුමානය. ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට නොපසුබට වන්න. 

අප රට තුල වර්තමාන ජන ඝණත්වය වර්ග කීලෝමීටර එකකට මිනිස්සු 320 කි. මෙය ලෝකයේ ජන ඝණත්වය අතින් ඉහළ අගයක් ගන්නා බැවින් , අපගේ මුළු ජනගහනය ද එහි අනාගත වර්ධනයද ප්‍රක්ෂේපණය කර බැලීමේදී අප සතු සීමිතම සාධකය නම් වර්ධනය වන ජනගහනයට සාපේක්ෂව  ඉඩම් බව ඔබට පෙනී යනු ඇත. එබැවින් මේ රට තුල අප මූලිකවම කළමනාකරණය කර ගත යුතු සම්පත භූමියයි, අවකාශය යි. එබැවින් එය ඔබේ කර මත තිබිය යුතු ජාතික වැඩපිළිවෙළක් විය යුතුය. ඔබ සැළසුම් කරන , ඔබගේ දැක්ම අනුව රටට ගැලපෙනු ඇතැයි සිතිය හැකි ආර්ථික ක්‍රමවේදය අනුව ඊට අනුරූපි වන ලෙස රටේ ඉඩම් ප්‍රතිපත්තිය සකස් විය යුතුය. එය ඔබ සෘජුවම මෙම ආයතන හරහා සිදු කරන්න. 

රටේ ඉඩම් පහත ලෙස බෙදා වර්ග කර ගන්නා ලෙස මා ඔබට යෝජනා කරමි. 
1. වෙළෙඳ නගර හා කර්මාන්ත කලාප
2. ජනාවාස ප්‍රදේශ 
3. කෘෂිකාර්මික භූමි
4. වනාන්තර සහ ස්වභාවික භූමි

1. වෙළෙඳ නගර සහ කාර්මික කලාප හෙවත් Business and Industrial lands. 

රටේ ප්‍රධාන නගර වල ඔබ දකින ආර්ථිකයට ගැලපෙන නගර වඩා දියුණු කාර්මික නගර බවට පත් කිරීමට ඔබ මුල සිටම සැලසුම් සකස් කල යුතුය. එම කාර්මික නගර අවට කාර්මික නිශ්පාදන කෙරෙන කාර්මික කලාප සකස් කල යුතුය. මෙම කාර්මික නගර හා කලාප ගුවන් තොටුපොළ , වරාය හා මහාමාර්ග ජාලා වලින් සම්බන්ධ , රටේ දියුණු කල හැකි ඉඩ සහිත සම්පත් සහිතස්ථාන විය යුතුය. මා ඔබට යෝජනා කරන ප්‍රධාන කාර්මික නගර නම් කොළඹ , හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය යි. මේවාට අමතරව උප ප්‍රධාන ලෙස යාපනය ද මෙයට ඇතුලත් කර ගත යුතුය. මේ නගර වල දැනටමත් වරාය හා ගුවන් පහසුකම් සැකසී තිබෙන අතර කොළඹ හැරුණු කොට අනෙක් නගර වල අවශ්‍ය තරම් වෙන වැඩකට භාවිතා කල නොහැකි  මුඩු  ඉඩම් රාශියක් පවතී. මේ නගර යා කරමින් ඔබ හොඳින් නිමැවුණු අධිවේගී මාර්ග ජාලයක් සැලසුම් කරන්න. මෙම නගර අරමුණු කරගෙන ඒවාට අවශ්‍ය බලශක්තිය, සන්නිවේදනය  හා ජලය සැපයීමට යටි තල පහසුකම් සැලසුම් කරන්න. මේ සියල්ල සැලසුම් කර සිතියම් ගත කර පොදු Blueprint එකක් නිර්මාණය කරන්න. දැන් පොඩ්ඩක් එක තියෙන්න හරින්න. 

2. ජනාවාස ප්‍රදේශ හෙවත් Residential Areas

රටේ වර්තමාන ජනාවාස නගර මූලික කරගෙන් නිර්මාණය වී ඇති අතර ඒවා පාරවල් දෙපසට පොර කමින් සාන්ද්‍රණය වී ඇති අයුරක් පෙනෙන්නට තියෙයි. පරම්පරාවෙන් ආ ඉඩම් ඊළඟ පරම්පරාවට කැඩි කැඩී ගොස් බොහෝ පවුල් වලට සිය මීළඟ පරම්පරාවට නිවසක් සාදා ගැනීමට ලබා දීමට තරම් ඉඩක් සතුව නැත. ඒ නව පරම්පරාවන් ඉඩම් මිළදී ගත යුතුය. එහෙත් එතරම් ඉඩම් අප සතුව තිබේ ද? අද අපි මෙය ෂේප් කර ගත්තත් තව අවුරුදු 20 කින් 30 කින් එන ගැටලුවට අප විසඳුම් සොයන්නේ කෙසේ ද? එබැවින් අප අවකාශය ජය ගත යුතුව ඇත. ඔව් අප අහස ජය ගත යුතුව ඇත. 

මා ඔබට යෝජනා කර සිටින  වග නම් ඔබ අලුතින්ම ජනාවාස ප්‍රදේශ අප ඉහතින් සැලසුම් කල Blueprint එකට ඇතුලත් කරන ලෙසය. භූමිය සීමා සහිත බැවින් අපි හැමෝම ඉඩම් වල ගෙවල් හදා පදිංචි වූවොතින් අප සතු අවකාශය ඉක්මනින් පිරී යනු ඇත. තව අවුරුදු 20-30 කින් අප හිර වීම වළක්වා ලීමට නම් මෙම ජනාවාස සැළසුම් කිරීම මෙන්ම නිර්මාණය කිරීම ද රජයේ පූර්ණ මැදිහත්වීම දරමින් අනාගත අවශ්‍යතා සපිරෙන අයුරින් නිම විය යුතුය. අප තට්ටු ගෙවල් නිවාස සංකීර්ණ වලින් යුතු කුඩා ගම්මාන මොඩලයේ සියළු පහසුකම් වලින් යුතු කලාප නිර්මාණය කල යුතුය. ඒවා නිපදවීමට රජයේ ආයතනයක් පිහිටුවා රජයේ වියදමින් නිමවා වසර 30 කින් පමණ ගෙවීමේ පදනම මත අලුතින් පවුල් වන රැකියා හිමි ශ්‍රි ලාංකිකයන් හට ලබා දිය යුතුය. සිය ජීවිත කාලයම මහන්සි වී කෑලි  කෑලි හදා ගන්න ගෙවල් වල ජීවිතයම ගෙවා දමන පේ මිනිස්සු හොඳ වාසස්ථාන වෙත යොමු කිරීමට හැකි මූල්‍ය ක්‍රම වේදයක් අප නිර්මාණය කර ගත යුතුය. මෙය එතරම් අපහසු නැත. අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණය හා මග පෙන්වීම පමණ ය. 

එම ජනාවාස ප්‍රදේශ වලම, පාසල්, උද්‍යාන , ක්‍රීඩා සංකීර්ණ, විනෝදාස්වාදය පිණිස අවශ්‍ය දෑ නිර්මාණය කර ගත යුතුය. මෙම ජනාවාස ප්‍රදේශ හොඳින් පෙර කී වෙළෙඳ නගර හා කාර්මික කලාප සමග සම්බන්ධ විය යුතුය.

 මෙම සැළසුම ද ඔබේ ඉහත කී Blueprint එකේම සළකුණු කර සිතියම් ගත කරන්න. අපි දැන් තුන් වන කාරණය සළකා බලමු. 

3. කෘෂි බිම් හෙවත් Agricultural lands

ශ්‍රි ලංකාව කෘෂි කාර්මික රටක් යැයි හැඳින්විය හැකි වුව ද ලෝකයට සාපේක්ෂව අප කෘෂි කර්මාන්තයෙන්, කර්මාන්තයක් ලෙස බොහෝ පසු ගාමීය. හොද්දයි බතයි කන රටේ අපිට අවශ්‍ය ආහාර සියල්ලම පාහේ මෙහි නිශ්පාදන කර ගැනීමට අපට තිබෙන මේ ඉඩම් ප්‍රමාණය සැහෙන්නේ ය. විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම පාදක කරගෙන ජනගහනය සෑහෙන අහාර නිශ්පාදන කර ගැනීමට අපට හැකි විය යුතුය. එබැවින් කෘෂි කාර්මික බිම් වෙන්කර ගැනීමේදී ආහාර සුරක්ෂිතභාවය යන සාධකය සැළකිල්ලට ගෙන එය විද්‍යාත්මකව සිදු කල යුත්තකි. 

අප සතු මූලිකම ගැටලුවක් නම් ඉඩම් කැඩී යාමය. පරම්පරාවෙන් පරම්පරාවට ගොඩමඩ කෘෂි  ඉඩම් කැඩී යාම නිසා ගොවි බිම් ක්‍රමයෙන් කුඩා වෙයි. එම කුඩා බිම් වලින් පවුලක් රැකීමට තරම් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ගොවි තැනින් ජීවනාලිය සරි කර ගැනීමට ගොවියනට නොහැකිය. එබැවින් ඔවුන්  ක්‍රමයෙන් ගොවි තැනින් ඈත් වෙයි, එසේත් නැත්නම් කැලෑ එළි පෙහෙලි කර වගා කරයි. 
එලෙසම කෘෂි වගාවන් ඉතා පහසුවෙන් වඩා කාර්‍යක්ෂමව යන්ත්‍රානුසාරයෙන් කල හැකි වූවත් කුඩා වගා ඉඩම් වලට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ. එබැවින් ගොවි කමට තාක්ෂණය ලෝකයේ අන් රටවල දී මෙන් කාර්‍යක්ෂමව යොදා ගැනීමක් අප රට තුල නොමැතිය. මේවාට විසඳුම් පහත ලෙස සරළව විස්තර කරමි. 

අනාගතයේදී ඔබගේ ආර්ථික උපාය මාර්ග වලට අනුව ශ්‍රි ලංකාව තුල කාර්මික නගර හා කලාප ඇතිවී ජනතාව නව නගර ආශ්‍රිතව ජීවත් වීමට යොමුවන නිසා ඔවුන් ගොවි බිම් වල දිගින් දිගටම සිටිමින් ගොවි තැනේ නිරත නොවනු ඇත. ගොවි තැනින් පවුලක් නඩත්තු කර ගැනීමට අපහසු වීමත්, ඉඩම් කුඩා වීමත්, නව ජනාවාස තුල හොඳ ජීවිතයක් ලැබීමත්, අලුත් කාර්මික ප්‍රදේශ තුල හොඳ වැටුපක් ලැබෙන රැකියා තිබීමත් නිසා ඔවුන් ක්‍රමයෙන් අලුත් ජනාවාස වෙත රොක් වනු ඇත. එබැවින් එම කැඩී ගිය කෘෂි ඉඩම් නැවත එකතු කර විශාල ප්‍රමාණයේ ගොවි  බිම් සෑදීමට අප ක්‍රම සම්පාදනය කල යුතුය. නිතී, ආකල්ප මෙන්ම රාජ්‍ය පරිපාලනය ද ඒ වෙනුවෙන් හැසිරිය යුතුය. විශාල ගොවි බිම් ද ඒවායේ නූතන තාක්ෂණය භාවිතයද වෘත්තීය ගොවීන් බිහි කරනු ඇත. ඒ සමගම රටට අවශ්‍ය අහාර වඩා ක්‍රමවේදීව සෞභාග්‍යමත් ලෙස සාදවා ගැනීමට අපට හැකි වනු ඇත. 

4. වනාන්තර සහ ස්වභාවික භූමි

ඉහතින් කී සියළු කලාප නිර්මාණය විය යුත්තේ රටේ දැනට පවතින වනාන්තර සහ ස්වභාවික භූමි ආරක්ෂා වන අයුරින් ය. එලෙසම දැනට වන ගහණය වන ලංකාවේ භූමියෙන් 29% ක් වෙනුවට එය 45% ක් වත් පමණ වනතුරු අප වැඩි කර ගත යුත්තේ අනාගතයේ දී අපටම හොඳ ගුණාත්මක ජීවිතයක් උරුම කර ගැනීමට ය. පිරිසිදු වාතය, ජල සුරක්ෂිත භාවය, හා ගෝලීය උණුසුම ඉහළයාම ආදියට අනුරූපව අප රට තුල කෙතරම් වනාන්තර ප්‍රමාණයක් පැවතිය යුතු දැයි අපහට විද්‍යාත්මකව ගණනය කර ගත හැකිය. එම අගය 40-50% ක් පමණ වන අගයක් වීමට බොහෝ දුරට නියමිතය. එබැවින් රටේ දිගුකාලීන තිරසාර පැවැත්ම තහවුරු කිරීමට අප මෙම ස්වභාවික භූමීන් වෙන්කර ආරක්ෂා කර ගත යුතුය. එය කෙසේ කල යුතු දැයි මම ඔබට කියන්නම්. 

වන්නි හත්පත්තුවේ , විල්පත්තුවේ සිට යාල , පානම්පත්තුවට කරදයක් නැතුව සතුන්ට ගමන් කිරීමට හැකි වන පරිදි අපි වනාන්තර ජාල කොරිඩෝවක් ඇති කල යුතුය. මෙය මා Pan Island Wildlife Corridor Network එක් යැයි හදුන්වන්නම්. රටේ සියළුම ස්වභාවික වනාන්තර ජාලයක් සේ එකින් එක සම්බන්ධ වන පුළුල් කොරිඩෝ සහිතව මෙම  PIWCN එක අපට පහසුවෙන් නිර්මාණය කර ගත හැකිය. මිනිසා විසින් මෑතකදී එලිපෙහෙළි කර වනාන්තර හා අලුත් Blueprint එකෙන් අත හැරෙන භූමීන් එක් කල විට මෙම වනාන්තර ජාලය ඔබට නිර්මාණය කිරීම පහසුවෙන් කල හැකිය. අලි මිනිස් ගැටුම එතනින්ම අහවර වන අතර අලින් අතර පවා හොඳින් ජාන මිශ්‍ර වීමට අවස්ථාව සැලසීම ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පැවැත්මට පවා වාසි දායකය.  රටේ ජල සුරක්ෂිතභාවය , පිරිසිදු වාතය , කාලගුණික විපර්යාස වලට ඔරොත්තු දීම ආදිය මින් පහසු වන අතර එය ශ්‍රි ලාංකීය ජාතියේ පැවැත්ම දිගු කාලයකට තහවුරු කරනු ඇත. සෞභාග්‍යයෙන් පිරි කාර්මික නගර වෙත මිනිසුන් රැස් වන නිසා ඔවුන් වනාන්තර වලින් ලාභ ප්‍රයෝජන සොයා කැලෑ කපමින්, ඉඩම් අල්ලමින්, සතුන් දඩයම් කරමින් කැලෑ නොවදිනු ඇත. 

මෙලෙස සමස්ථ රටෙහිම ඉඩම් වර්ග කර Blueprint එකක් සාදා ගත් විට ඉතුරු සියල්ල ඔබට පහසුවෙන් පෙනෙන්නට ගනීවී. මේ කාර්‍යයට ඔබ වසරක් හෝ දෙකක් ගත කරන්න. එය නිවැරැදිව සැලසුම් කර ගැනීමට උපරිම උත්සහ ගන්න. මෙම සැලසුම අනුව ගමන් කිරීමට අපට සෑහෙන කාලයක් යාවි. මෙම සම්පූර්ණ වීමට අපට වසර 30 ක් වත් මහන්සි වෙන්න වෙයි. 

ඔබ මූලික අඩිතාලම දමන්න. මේ සැලැස්ම හදන්න. එය ජනගත කරන්න. වසර 5 න් 5 ට වත් මේ සැලැස්ම අලුත් තොරතුරු , ආර්ථික උපාය මාර්ග , තාක්ෂණික දැනුම ආදියෙන් යාවත්කාලීන කරන්න අවකාශය තියා ගන්න. මේ ඔබ රට හදන සැකිල්ලය. ඔබ වසර  5 න් හෝ 10 න් ඉවත් උව ද , අනතුරුව ඔබ මිය ගිය ද අපිට හඹා යෑමට සැලැස්මක් තිබෙයි. එය පුද්ගලයෙකු මත නොව ප්‍රතිපත්ති මත ගොඩනැගුණු රටේ පොදු අනාගතය තීරණය කරන ලියවිල්ල කර ගන්න. 

එය සකසා අවසන් නම්, දැන් ඔබ වැඩ පටන් ගන්න. ඔබ ආර්ථිකය හදන්න පටන් ගන්න. ඒ වෙනුවෙන් සිදුකරන සියළුම ගොඩ නැගීම් මේ දිගුකාලීන සැලැස්ම අනුව ඉදි කරන්න. මිනිස්සු ඔබේ පස්සෙන් එයි. ඔවුන් ඔබව අනුගමනය කරාවි. ඔබව විශ්වාස කරාවි. ඔබට පුලුවන්... 

මේ සියල්ල කිරීමට ඔබට මා කලින් ලිපියේ කී ලිප් ගල් තුන වැදගත් වේවී. ආයෙත් මතක් කලොත් සුපිරි නායකත්වය, කාර්‍යක්ෂම රාජ්‍ය පරිපාලනය හා කාර්‍යයශූර අධිකරණ පද්ධතිය. මේ තුන් කොට්ඨාසය උපරිම තලයකට ගෙන ඒමට ඔබ මුල් කාලයම යොද වන්න. උපරිම බර මේ වෙනුවෙන් යොද වන්න. ඔබ දක්ෂයෙකු නම්, මෙය ඔබට පුලුවන්... 

මා ඔබට සහය වන්නම්... 
ඉතිරිය ඔබට භාරයි... 

පැතුම්.

(පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )
https://m.facebook.com/story.php?story_fbid=10215757790754220&id=1127212983

අනාගත ජනපතිට ලියන ලිපිපෙල අංක 1. (කුණු ප්‍රශ්නය විසඳීම )

අනාගත ජනපතිට ලියන ලිපි පෙල 
අංක 1.

කුණු ප්‍රශ්නය විසඳීමට සැළසුම
=========================

ගරු ජනාධිපති තුමනි, 

ශ්‍රි ලංකාවේ කුණු ප්‍රශ්නය ජාතික මට්ට්මේ ව්‍යසනයක් බවට පත්ව ඇති බැවින් හා ඒ පිළිබඳව මෙතෙක් ඉදිරිපත් කර ඇති , මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයන් අසාර්ථක වී ඇති බැවින් වඩා පලදායී හා තිරසාර විසඳුම් පහත පරිදි ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මෙම විසඳුම් වර්තමාන තත්ත්වය අනුව භාවිතාවේ යෙදවිය හැකි පරිදි සීරු මාරු කර ගෙන ප්‍රායෝගික ලෙස යොදා ගැනීමට මූලික දළ අදහසක් සේ යොදා ගත හැකි දැයි සළකා බලනු මැනවි. 

1. කුණු ප්‍රශ්නය ජාතික මට්ටමේ ගැටලුවක් ලෙස සළකා බලා ඒ වෙනුවෙන් ජාතික මට්ටමේ සැලැසුම් නිර්මාණය කළ යුතුය. වර්තමානය වන විට පවතින ප්‍රාදේශීයව බෙදි ගිය ප්‍රාදේශීය නායකයන් අතින් පාලනය වන එකිනෙකින් වෙනස් වූ මේ ක්‍රමය තව දුරටත් මෙම ගැටලුව විසඳීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙම සමස්ථ ක්‍රියාවලිය පොදු ජාතික සැලැස්මක් යටතේ  ක්‍රියාත්මක වන රටටම එක යාන්ත්‍රණයක් සේ බලපවත්වන එකක් විය යුතුය. 

එබැවින් කසළ කළමනාකරණය ජාතික වැඩසටහනක් බවට පත් කර "පරිසර අමාත්‍යාංශය" යටතට පමුණුවන්න. එමගින්, රටටම පොදු කසළ කළමනාකරණ වැඩසටහන නියාමනය කර පාලනය කරන්න. 

2. කසළ කළමනාකරණය කිරීම පිණිස රට වෙනම ප්‍රධාන  කලාප කීපයකට වෙන් කරන්න. ඒ කලාපයට වෙන වෙනම කසළ අංගන නිර්මාණය කරන්න. පුද්ගලික අංශයේ වෙනමම ආයතන පිහිටුවා එම අංගන වෙත කුණු රැගෙන ඒම සඳහා ක්‍රමවේදයන් හදන්න. 

3. දැනට පවතින ප්‍රාදේශීය සභා ඔස්සේ කෙරෙන කුණු කළමනාකරණ ක්‍රමවේදයන් අසාර්ථකයි. වාහන, සේවකයන් , ඒවා නඩත්තුව ,පරිපාලනය ආදී ගැටලු රැසක් ඒවායේ වෙයි. එබැවින් මෙම ක්‍රියාවලිය පුද්ගලික අංශයට පවරන්න. ඔවුනට ගෙවීම, ඒවා නියාමනය කිරීම ආදියට පමණක් රජයේ සේවකයන් යොද වන්න. 

4. කුණු වෙනුවෙන් කුණු නිශ්පාදනය කරන්නන්ගෙන් මිලක් අය කරන්න. එය ක්‍රම දෙකකට කල හැකිය. 

a) සෘජුව බිලක් ගෙවීම. 
විදුලි බලය, වතුර බිල ආදිය වගේම කුණු වෙනුවෙන් ද ගෙවීමක් මාස් පතා මිනිස්සුන්ගෙන් අය කර ගත හැකිය. එය මසකට රුපියල් 200-300/= ක් පමණ වෙන කුඩා මිලක් නිසා එය ගෙවා ගැනීමට මිනිස්සුන්ට බැරි වෙන එකක් නැත. 

b) වක්‍ර බදු අය කිරීම
අනෙක් ක්‍රමය නම් කුණු නිශ්පාදනය වන තැනින්ම ඒ මිල අය කර ගැනීමයි. උදාහරණයක් ලෙස බිස්කට් පැකට් එකක් මිලදී ගැනීමේදී එහි කවරය අනිවාර්යයෙන්ම කුණුලෙස පරිසරයට එකතු කරන බැවින් එම කුණු පැකට් එක කළමනාකරණය කිරීම සඳහා අදාල මුදලක් බදු ලෙස එම මිළදී ගැනීම කරන විටදීම අය කර ගත හැකිය. සියළුම පාරිභෝගික භාණ්ඩ වෙත මෙම සුළු මුදල එක් කිරීමෙන්, කුණු නිශ්පාදනය කිරීමට අදාල පුද්ගලයාගෙන්ම එම මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙයි. 

මේ ක්‍රම දෙකෙන් අප රටට මුලින්ම වක්‍ර බදු ක්‍රමය ගැලපෙන බව මාගේ විශ්වාසයයි. කුණු ඉවත් කිරීමට කළමනාකරණය කිරීමට  වැය වන මුදල මින් උපයා ගත හැකි විය යුතුය. මින් එම සේවකයන්ට හොඳ වැටුවක් ලබා දීමට ද හැකි වීමට ඔබ වග බලා ගන්න. 

5. කුණු කළමනාකරණය කර ගැනීමට හොඳම ක්‍රමය ඒවා වෙන් කර ගැනීම බව ඔබේ ජනතාවට ඒත්තු ගන් වන්න, කියා දෙන්න, ඔවුන් හුරු කරවන්න. කුණු වෙන් කිරීම පිණිස ඔවුන් යොමු කරවන නීතී රෙගුලාසි සම්පාදනය කර ගන්න. ප්ලාස්ටික් , බෝතල්, ලෝහ, දිරායන කුණු ආදී ලෙස වැඩසටහනට ගැලපෙන විද්‍යාත්මක ආකාරයකට ඒවා වෙන් කර ගන්න. ඒ අනුව ඒවා කළමනාකරණය කර ගැනීම පහසු වෙනු ඇත. 

ප්ලාස්ටික් දිරා නොයන එක පාරිසරික ගැටලුවක් වී ඇත්තේ අපි දිරන දේ නොදිරන වැඩේටත් , නොදිරන දේ දිරන වැඩේටත් යොදා ගැනීම නිසාය. ප්ලාස්ටික් දිරා නොයෑමේ ගුණය භාවිතා කොට එසේ ඉවත ලන ප්ලාස්ටික් භාවිතා කොට විවිධ නිශ්පාදන සඳහා යොමු වන, විය හැකි වටාපිටාවක් හදන්න. ඒ සඳහා පර්යේෂණ, අත් හදබැලීම් කරන පුද්ගලයන් දිරි මත් කර දිරා නොයන ප්ලාස්ටික් වලින් දිරා නොයන වැඩක් ගන්න යොදවා ගන්න. 

දිරා යා යුතු දේ දිරායායුතු වැඩ වෙනුවෙන් භාවිතා කරන්න වෙළෙඳපොළ යොමු කරවන්න. එය කළ හැක්කේ රජයකට පමණකි. ප්ලාස්ටික් වෙළෙඳපොළට එක් වන ක්‍රම සොයා බලා ඒවා සීමා කරන්න ක්‍රම සම්පාදනය කරන්න. ෂොපින් බෑග් එකේ සිට බේසම බාල්දිය දක්වා මේ ක්‍රියාවලිය දික් කර ගත හැකිය. 

6. දිරා යන කුණු කසල අංගන වල කළක් තියෙන්නට හරින්න. ඒවා සතුන් කෑමට ගන්නා බැරි මහජන   සෞඛ්‍යයට හානි නොවන , මැස්සන් බෝ නොවන  මට්ටම පනින විටම  කෝම්පොස්ට් ආදිය නිපැයීමට යෙදිය හැකිය. එසේත් නැතිනම් ලොරි පිටින් රැගෙන ගොස් පුරන් වූ කුඹුරු, නිස්සාර වූ හේන්, වගා බිම්, පොල් වතු, රබර්, තේ වතු වලට හලන්න. තවද එළිකල කැලෑ, මුඩු බිම්, ගස් වැවිය යුතු බිම් , ඇති කල යුතු කැලෑ ආදියට ඒවා රැගෙන ගොස් හලන්න. කෘෂි බිම් වලට පෝර ද, වන වගාවද ඇඟට පතට නොදැනීම ඉබේම සිදු වනු ඇත. 

7. කුණු නිශ්පාදන කරන ස්ථානය අනුව ද  වර්ග කර ගන්න... 
පොදු ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හා නිවාස  ලෙස කොටස් තුනකට ඒවා වෙන් කර ගන්න. ව්‍යාපාරික ස්ථාන වලට ඔබට වෙනමම අය කිරීමක් සිදු කළ හැකි ය. 
පොදු ස්ථාන පිරිසිදු කිරීම ද කොන්ත්‍රාත් ක්‍රමයට පුද්ගලික අංශයට පවරන්න. ඒවා නියාමනය කිරීමට පමණක් රජයේ සේවකයන් යොමු කරවන්න. 

ඉතුරු කාරණා දෙක කුණු වලට පමණක් සීමා නොවේ. රටේ පොදු වැඩ පිළිවෙලට මේවා අත්‍යවශ්‍ය වේ. 

8. මෙම ක්‍රියාවලිය පාලනය කිරීමට ඉතා ක්‍රමත් රාජ්‍ය පරිපාලන සේවයක් තිබිය යුතුය. වගකීමෙන්  සේවය කරන, ප්‍රතිඵලයට වග කියන, හොරා නොකන රාජ්‍ය පරිපාලනයක් ඇති කරන්න. එම කාර්‍යක්ෂම පරිපාලන ක්‍රමය මගීන් මෙම ක්‍රියාවලිය නීත්‍යානුකූලව පරිපාලන කිරීමට නීතී රෙගුලාසි සම්පාදනය කරන්න. 
a) දක්ෂයන් රජයේ සේවයට බඳවා ගන්නා
b) හොරා නොකා අවංකව රාජකාරි කරන
c) ගැලපෙන, නිවැරැදි තීන්දු තීරණ ගන්න හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න. 

9. කෙතරම් ඉල්ලා සිටිය ද මිනිසුන් සමාජ සාධාරණත්වයෙන් කටයුතු නොකරයි. එබැවින් මෙම කුණු සම්බන්ධ ද විනය මහජනයා තුල ඇති කිරීමට නීතී පද්ධතියක් තිබිය යුතුය. එම නව නීතී සම්පාදනය කල යුතු වගේම ඒවා ක්‍රියාත්මක වන වටාපිටාවක් රට තුල නිර්මාණය විය යුතුය. එය මූලික රාජ්‍ය පාලනයේ වටිනා අංගයක් ලෙස රට හදනවා නම් ඕන වෙයි. එබැවින්, එම කාර්‍යක්ෂම අධිකරණ පොලිස් සේවා ඔබට ඇති කර ගත යුතු වෙයි. සොරා කෑම්, කොමිස් ගැසීම්, දේශපාලන බලපෑම් ආදී විවිධ අක්‍රමිකතා මුලිනුපුටා දමන ක්‍රමයක් ඔබ අනුගමනය කරයි නම්, ඔබට මෙම අධිකරණයේ කාර්‍යක්ෂමතාවය හොඳින් භාවිතා කල හැකිය. 

එබැවින්, සාරාංශයක් ලෙස ගත් කල හොඳ නායකත්වය , හොඳ රාජ්‍ය පරිපාලනය හා කාර්‍යක්ෂම , ස්වාධීන නීතීඅධිකරණ ක්‍රියාවලිය රට හදන මුල් ගල් තුන වැනිය... ඒ ලිප්ගල් තුන උඩ කුණු ප්‍රශ්නය නැමති හොද්ද තියා උයා ගැනීමට ඔබ දක්ෂයෙකු වන්න. ඒ හොද්ද වගේම අනෙක් හොදි ද මෙලෙසම උයා ගත හැකි බව අවබෝධ කර ගන්න. 

මෙම සමස්ථ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබට කාලයක් මුදලක් අවශ්‍ය වනු ඇත. ඔබ ණයක් ගන්න, මෙහි ආයෝජනය කරන්න. ප්‍රතිලාභ අවුරුදු 2-3 ක් යනකොට ලැබෙන්නට පටන් ගනීවී... මෙම ක්‍රමය හොඳින් සමාජ ගත වූ විට එය හොඳින් සාර්ථකව ක්‍රියාත්මක වූ විට ලංකාව ලස්සන, තිරසාර රටක් වේවි. ඊළඟ ඡන්දයෙන් ඔබට දිනන්නට එය හොඳ සාධකයක් වේවි. ඔබට ජය!!! රටට  ජය!!! 

පැතුම්     

( පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )
https://www.facebook.com/pathumkerner

Sunday, September 8, 2019

මාතර කියන්නෙ මට මතක ගොඩක්...


මාතර ..... කියනකොටම මතක් වෙන්නේ  අපේ  අම්මගේ තාත්තගේ මහගෙවල්. අපේ දෙමව්පියො හැදුනු - අපේ ආත්තම්මලා- සීයලා ජීවත් වුණු, අපි පුංචිකාලෙ අවුරුද්දකට කීපසැරයක්ම ආවගියපු මහගෙවල්. එහෙම ආවගියාම ඔවුන්ගෙ ආදරයත් එක්ක ගෙවුණු දවස් සුන්දර මතකයන් විදිහට තාමත් අපේ හිත්වල තියෙනවා. අම්මගෙයි තාත්තගෙයි මහගෙවල්වල ආවම පළතුරු කාලෙට වෙරළු අහුලන්න යන්න- ජම්බු, රඹුටන්, කජුපුහුලන් කඩන්න යන්න අපිට පුදුම ආශාවක් තිබුනෙ. 

ඉස්සර බෙලිඅත්තෙන් බැහැලා, ගැටමාන්න හරහා කිරින්ද පුහුල්වැල්ලට යන බස් එකට නැගලා, වංගු පහුකරන් පැයක විතර ගමනකින් පස්සෙ කරයල් කනත්ත පන්සල් හන්දියෙන් තමයි අපි බහින්නෙ. ඉස්සර එතන තිබුනෙ බාබර් සැලුන් එකයි සිල්ලර කඩේකුයි විතරයි. සීනි තේකොළ බිස්කට් එහෙම අරගෙන, ගෙදරින් අරන් ආපු බඩු මලුත් උස්සගෙන ඉස්සෙල්ලම යන්නෙ තාත්තගෙ මහගෙදර. පයින් විනාඩි දහයක විතර ගමනක්.  කඳුපාර දිගේ ඇවිත්, මහ ගෙදර කිට්ටුවට එනකොටම ඉස්සෙල්ලම අපිව පිළිගන්න එන්නෙ නැට්ට වනාගෙන, මුහුණෙ සතුටු-සිනහ පුරෝගත්ත බලු ගෙඩියා. උඩුබිරුම් තියලා- ඉස්සෙල්ලම ආත්තම්මටයි සීයටයි අපි එන පණිවිඩේ දෙන්නෙ ඌ. අපිව දැක්කම ආත්තම්මටයි සීයටයි පුදුම සතුටක්. අද වගේ කල් තියා දැනුම් දීලා එන්න, එනගමනුත් සැරින් සැරේ කතාකර කර එන්න ඒ කාලෙ දුරකතන තිබුනෙ නෑ.  ආදරණීයයන් කාලෙකට පස්සෙ අනපේක්ෂිතව හමුවුනාම සතුට කොහොමත් වැඩියි. 

  අපේ ආත්තම්මා ආදරයේ උල්පතක්. සත්තුන්ට පවා ආදරය කරුණාව දක්වපු කෙනෙක්.  කෑම උයලා ගෙදර අය කෑම ගන්න කලින් ගෙදර හිටපු බල්ලටයි පූසන්ටයි කෑම දෙන එක ආත්තම්මගෙ පුරුද්දක්. කුරුල්ලන්ට කෑම දාන්න වෙනම ලෑල්ලක් ගහක සවි කරලා තිබුණා.  ආත්තම්මා මියැදුණාට පස්සෙ, අපේ සීයා මානසිකව වැටුනා. හරියට කෑමක් ගත්තෙවත් නෑ. එහෙම තමයි ආදරෙන් එකට ජීවිතේ බෙදාගත්තු අය. සමහරු දරාගන්නවා- සමහරුන්ට අමාරුයි.  හරියටම ආත්තම්මගෙ තුන්මාසෙ දානෙ දවසෙම සීයත් නැතිවුනා. ආත්තම්ම අන්තිම කාලෙ වෙද්දි ටිකක් අසනීපව හිටියෙ. ඒ කාලෙම ආත්තම්මට මාව බලන්න ඕන වුනා. ආත්තම්ම මගේ අතින් අල්ලගෙන මොනවදෝ කිව්වා. ඇස්වල කඳුලු. ඒ වෙනකොට ආත්තම්මගෙ කටහඬ තේරුම් ගන්න තරම් පැහැදිළි මට්ටමක තිබුණෙ නෑ. ආත්තම්මයි සීයයි නැතිවුනාට පස්සෙ, අපි ඉස්සර තරම් මාතර මහගෙවල් පැත්තෙ යැවුනෙ නෑ. අපේ අම්මගෙ පැත්තෙන් ආත්තම්මයි සීයයි පවා අන්තිම කාලෙ හිටියෙ අපේ ගෙදර. අපේ අම්ම තමයි සැළකුවේ. අපේ අම්මගෙ මහගෙවල් තිබුණෙත් අපේ තාත්තගෙ මහගෙවල්වල ඉඳන් මහලොකු දුරක නෙමෙයි. පන්සල දෙපැත්තෙ කඳු දෙකේ තමයි මහගෙවල් දෙකම තිබුනෙ. අම්මගෙ මහගෙවල් නම් අද ගරාවැටිලා. කවුරුත් නෑ.


පවුලෙ වැඩිමලුන් වුණු අපේ තාත්තවයි අම්මවයි බලන්න- තාත්තගෙයි අම්මගෙයි නංගිලා මල්ලිලා අපේ ගෙදර එන එක තමයි දැන් වෙන්නෙ. 

 කාලය ගෙවිලා- අපිත් දැන් වැඩිහිටියො වෙලා ටිකක් මුහුකුරාගෙන එනකොට, මහපොළොවත් එක්ක හැප්පිලා- අපිව උස්මහත් කරපු, අනුන්ගෙ දේ කඩාවඩා ගන්නැතුව තමන්ගෙ මහන්සියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා කියලා අපිට ජීවිතේ කියලා දුන්නු,  අරක්කුවත් සිගරට්වත් කටේ නොතියපු- අදටත් කටේ නොතියන අපේ තාත්තා, අපිට විතරක් නෙමෙයි ගෙදර සතාසිව්පාවටත් ආදරේ සෙනෙහස දක්වන අපේ අම්මා අද ටිකින් ටික වයසට ගිහින්, අද දරුමුනුබුරන්ගෙ හුරතල් බලනවා . ජීවිතේ ස්වභාවය ඕක තමයි.  එක් පරපුරක් මියැදෙමින් ඉන්න කොට, අලුත් පරපුරක් ඉපිදෙන-වැඩෙන එක. එක් තුරු-ලතා පරපුරක් මියැදෙමින් තියෙන කොට, ඒ මතින් අලුත් තුරු ලතා පරපුරක් ඉපිදෙන - වැඩෙන එක. 

Friday, September 6, 2019

~~ඇමරිකාවේ තනි අභිමතයට ඇති කළ තාවකාලික භූගෝලීය රේඛාවක් නිසා දෙකඩ වුනු කොරියාව~~

වර්ෂ 1939 ඇරඹි දෙවන ලෝක යුද්ධය 1945 අගෝස්තු වන විට යම් තීරණාත්මක අවසානයක් කරා ළඟා වෙමින් තිබුණා. ඒ ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය, බ්‍රිතාන්‍යය ඇතුළු මිත්‍ර රටවල් (Allied Forces) හමුවේ ජර්මනිය, ජපානය සහ ඉතාලිය යන අක්ෂයේ බලවතුන් (Powers of the Axis) ලෙසින් හැඳින්වූ රටවල් ත්‍රිත්වය පරාජයට පත්වෙන පසුබිමක් තුළ. ‍

ලෝක යුද්ධයේ අවසානය තවත් වේගවත් කරමින්, 1945 අගෝස්තු 06 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා නගරයට පරමාණු බෝම්බයක් හෙළනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් දින දෙකකට පසුව එනම්, අගෝස්තු 08වෙනිදා සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසට පිවිස, ජපන් හමුදාව සමග සටනට එළඹුනා. ක්‍රි.ව. 1910 සිටම මුළු කොරියානු අර්ධද්වීපයම පැවතුනේ ජපන් අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙසින්.

1945 අගෝස්තු 09 වෙනිදා ජපානයේ නාගසාකි නගරයට ඇමරිකාව හෙළන ලද පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු, මිත්‍ර රටවල් හමුවේ තම රට යටත් වන බව ජපානය නිවේදනය කළා.

ඒ වන විටත්, කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසට ඇතුළු වී සිටි සෝවියට් හමුදා මුළු කොරියානු අර්ධද්වීපයම තමන් යටතට නතු කර ගනු ඇතැයි සැක පහළ කළ ඇමරිකාව, හදිසියේම ඩීන් රස්ක් සහ චාල්ස් බෝන්ස්ටීල් යන ඇමරිකානු හමුදා කර්නල්වරුන් දෙදෙනා කැඳවා ඔවුන්ට විනාඩි 30ක කාලයක් ලබා දී, කොරියානු භූමිය තුළ ඇමරිකානු පාලනයට නතු කර ගත යුතු ප්‍රදේශය නිර්ණය කිරීමට බාර දුන්නා.

ඒ අනුව, ඔවුන් කොරියන් අර්ධද්වීපය මැදින් වැටී තිබූ 38 වන අක්ෂාංශ රේඛාවෙන් දකුණු කොටස ඇමරිකානු පාලනයට අයත් වන ලෙසත්, උතුරු කොටස සෝවියට් පාලනයට අයත් වන ලෙසත් කොරියාව දළ වශයෙන් දෙකට බෙදනු ලැබුවා. මෙහිදී, කොරියාවේ සොවුල් අගනුවර ඇමරිකානු කොටසට අයත් වන ලෙස බෙදීමට ඔවුන් වග බලා ගත්තා. මෙලෙස සීමා නිර්ණය කරන මොහොත වන විට, එකදු හෝ ඇමරිකානු හමුදා භටයෙකු කොරියානු භූමිය තුළ නොසිටියත්, වහා තම භට කණ්ඩායම් කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසට පිටත් කර යැවීමට ඇමරිකාව කටයුතු කළා.

ඒ අනුව, කොරියාවේ උතුරු කොටසේ සිටි ජපන් හමුදා කණ්ඩායම් සෝවියට් හමුදාවටත්, දකුණු කොටසේ සිටි ජපන් හමුදා කණ්ඩායම් ඇමරිකන් හමුදාවටත් යටත් වුනා. මෙලෙස කොරියාව තුළ 35 වසරක ජපන් පාලනය අවසන් කිරීමෙන් පසු, මුළු කොරියාවම ආවරණය වන පරිදි මහ මැතිවරණයක් පවත්වා යළි ඒකීය කොරියාවක් ගොඩනැගීම කොරියාවේ සිටි ඇමරිකානු පරිපාලකයන්ගේත්, සෝවියට් පරිපාලකයන්ගේත් මුල සිටම පැවති අදහස වුවත්, එය ඉටුවුනේ නැහැ. ඇමරිකාවට අවශ්‍ය වුනේ මුළු කොරියාව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී පාලනයක් ඇති කිරීම. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සෝවියට් රුසියාවට අවශ්‍ය වුනේ මුළු කොරියාව පුරා සමාජවාදී පාලනයක් ස්ථාපිත වනු දැකීම.

මෙසේ දීපව්‍යාප්ත මහ මැතිවරණයකට දෙපාර්ශවයම එකඟතාවයට නොඑන තත්වයක් තුළ, දකුණු කොරියාවේ ජනපතිවරයා වශයෙන් කොමියුනිස්ට් විරෝධියෙකු වූ සිංමන් රී තේරී පත් වුනා. මේ අතර, යුද සමය තුළ සෝවියට් රතු හමුදාවේ මේජර්වරයෙකු ලෙස ද සේවය කර තිබූ කොමියුනිස්ට්වාදියෙකු වූ කිම් ඉල් සන් උතුරු කොරියාවේ නායකයා ලෙස පත් කිරීමට සෝවියට් රුසියාව කටයුතු කළා. මෙම නව නායකයන් දෙදෙනාටම කොරියාව යළි එක්සේසත් කිරීමට අවශ්‍ය වුනත්, ඔවුන්ගේ එකිනෙකට එදිරි දේශපාලන දර්ශනය ඊට ඉඩ ලබා දුන්නෙ නැහැ.

ඉතිහාසය පුරාවට තනි රටක් ලෙස පැවති කොරියාව මෙසේ දෙකඩ කර, 1948දී ඇමරිකානු හමුදා සහ සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයෙන් පිටත්ව ගියා.

දෙපාර්ශවයේම හමුදා පිටත්ව යාමෙන් වසර දෙකකට පසුව, එනම් 1950 ජුනි 25 වෙනිදා දකුණු කොරියාව ආක්‍රමණය කර කොමියුනිස්ට් පාලනයක් යටතේ කොරියාව එක්සේසත් කිරීමට උතුරු කොරියානු නායක කිම් ඉල් සන් උත්සාහ කළා. යුද්ධය ඇරඹී තෙමසක් පමණ ගත වන විට, සොවුල් අගනුවර ඇතුළු මුළු දකුණු කොරියානු භූමියම පාහේ උතුරු කොරියානු හමුදාව යටතට පත් වුවත්, ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදාවන්ගේ සහය දකුණු කොරියානු හමුදාවට ලැබීමත් සමග උතුරු කොරියාවට යළි පසුබහින්නට සිදු වුනා.

මිලියන තුනකට අධික කොරියානුවන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කරමින්, 1950 සිට 1953 දක්වා වසර තුනක් පුරාවට දිග්ගැසුණු මෙම යුද්ධයෙන් පසු, උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරුණු 38 වන අක්ෂාංශ රේඛාව ඔස්සේ කි.මී.4 ක පළලින් යුත් දැඩි ආරක්ෂිත යුද මුක්ත කලාපයක් පිහිටුවීමට කටයුතු කෙරුණා.

පසුකාලීනව, කොරියාව එක්සේසත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව කිහිප විටක්ම උත්සාහ කළත්, ඒ කිසිදු උත්සාහයක් හෝ සාර්ථක වූයේ නැහැ.

කිසිදු කොරියානුවෙකුගේ හෝ අදහස් විමසීමකින් තොරව ලෝක බලවතුන්ගේ තනි අභිමතයට ඇති කළ භූගෝලීය රේඛාවක්, ඉතිහාසය පුරාවට එකම රටක, එකම භාෂාවක, එකම සංස්කෘතියක උරුමය විඳගත් එකම ජනකොට්ඨාසයක මිනිසුන්ගේ හදවත් දෙපළු කරමින්, එකිනෙකට එදිරිව දෙරටක් නිර්මාණය වුනු ආකාරය සැබවින්ම ඛේදජනකයි.






සටහන-දමයන්ත මුණසිංහ

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ලොවට ආදර්ශ සපයන අයිස්ලන්තය






(World Economic Forum 2018 වාර්තාවට අනුව ලොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ඉහළින්ම සිටින්නේ අයිස්ලන්තයයි. ශ්‍රී ලංකාව 100 වන තැනය.  

අයිස්ලන්තයේ මේ සඳහා පදනම වැටුනේ අයිස්ලන්ත කාන්තාවන්ගෙන් 90%ක් පමණ රැකියාවලින් පමණක් නොව ගෙදරදොර කටයුතුවලින් ද ඉවත් වී 1975 ඔක්තෝබර් 24 දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරය සමගිනි. එ් සමග පිරිමින්ට තම දරුවන් තමන් සමග සේවා ස්ථානයට පවා රැගෙන යාමට සිදු වූ බව කියති. එසේ අරගල මතින් ලබා ගත් ජයග්‍රහණ ක්‍රමිකව වර්ධනය වී අද වන විට කාන්තාවන්ගෙන් 80%ක් ශ්‍රම බලකායේය. දරුවන් රැකබලා ගැනීමේ කටයුතුවලදී පවා මව-පියා එකසේ වගකීම් ඉටු කරන තැනට පත්ව තිබේ) 


කිසිසේත්ම පිරිමියා ගැහැණියටත් ගැහැනිය පිරිමියාටත් යටත් විය යුතු නැත. විවාහ ජීවිතය වුව ද, අන්‍යොන්‍ය විශ්වාසය, ගෞරවය සහ සහයෝගය මත ගෙවන දිවියක් විනා පිරිමියාගේ ආධිපත්‍යයට යට විය යුතු කරුමයක් නොවේ.


https://www.sbs.com.au/topics/life/culture/article/2018/11/27/what-can-iceland-teach-us-about-gender-equality

Wednesday, January 23, 2019

යෝගට් කප් එකේ සිට පොලිතින් උරය දක්වා ප්‍රතිචක්‍රීයකරණය කරන දකුණු කොරියාව~~


දකුණු කොරියාව යනු ඉතා සංවිධිත අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන රටක්. ලොව දෙවෙනි විශාලතම නගරය වන සහ මිලියන 50ක් වූ කොරියානු ජනගහණයෙන් හරි අඩක් ජීවත් වන, ඉතා ජනාකීර්ණ සොවුල් අගනුවරින් පමණක් බැහැරළන ටොන් ගණනක අපද්‍රව්‍යවලින් තුනෙන් දෙකක් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. නමුත්, එය කොරියානු මහපොළොවේ අද යථාර්ථයක්.  

විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී, කොරියානු පරිසර අමාත්‍යංශය විසින් සම්මත කර ඇති කසළ වර්ගීකරණ ප්‍රතිපත්තියට අනුව ආහාරමය අපද්‍රව්‍ය (음식물 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ආහාරමය නොවන අපද්‍රව්‍ය (일반 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය (재활용  쓰레기) සහ විශාල භාණ්ඩ වශයෙන් ඉවතළනදෑ වෙන් වෙන්ව  වර්ග කර බැහැර කිරීම ජනතාවට අනිවාර්ය කර තිබෙනවා. එසේ  කිරීමට අපොහොසත් වීම දඩුවම් ලැබිය හැකි වරදක් පමණක් නොවෙයි, එවැනි අය පිළිබඳව දැනුම් දුන්නොත් රජයෙන් මූල්‍ය ත්‍යාග පවා ලබාගත හැකියි. නමුත්, එලෙස දඩ කාපු කොරියානුවෙක් නම් සොයා ගත නොහැකි තරමට අතිශය විරලයි. 

සාමාන්‍යයෙන්, දකුණු කොරියාවේ කසළ රැගෙන යාම සඳහා ඍජුව ගාස්තු අයකිරීමක් කෙරෙන්නෙ නෑ. ඒ සඳහා ‍යොදා ගන්නේ 1995 වසරේදී හඳුන්වා දුන් පරිමා පාදක ගාස්තු ක්‍රමය (volume based fee system). එනම්, තමන් ඉවතළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතුයි කියන සරළ සිද්ධාන්තය. 

ඒ අනුව, ජනතාව තමන් ඉවතළන කසළ බහාලිය යුත්තේ ලීටර් 5,10,20, 50, 100 ආදී වශයෙන් තමන්ට අවශ්‍ය පරිමාව අනුව සාමාන්‍යයෙන් සුපිරිවෙළඳසැල්වලින් පහසුවෙන් මිලදී ගත හැකි, එක් එක් දිස්ත්‍රීක්කයට සුවිශේෂීව හඳුන්වා දී ඇති සහ එක් එක් කසළ වර්ගයට නියමිත වර්ණයෙන් යුත් පොලිතින් බෑග්වල. කසළ එකතු කරනු ලබන්නන් එම ප්‍රමිතියට අනුකූල නොවන බෑග් සහ තමන්ට අදාළ නොවන වෙනත් දිස්ත්‍රීනක්කයකට අයත් කසළ බෑග් රැගෙන යන්නෙ නැහැ.

ආහාරමය අපද්‍රව්‍ය බහාළනු ලබන ප්ලාස්ටික් බඳුන් සඳහා නියමිත ටැග් මිලට ගෙන ඇමිණිය යුතුයි. බයිසිකල්, කබඩ්, රූපවාහිනී වැනි විශාල භාණ්ඩ ඉවතළෑමේදී දිස්ත්‍රීක්ක කාර්යාල මගින් මිලදී ගත් ස්ටිකර් අලවා, රැගෙන යායුතු කසළ තබන පොදු ස්ථානයක තැබිය යුතුයි.



සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ කසළ රැගෙන යනු ලබන්නේ රාත්‍රී 7ත් පාන්දර 5ත් අතර. එනිසා නියමිත දිනයේ එම කාල සීමාව තුළ පමණක් කසළ නිවසින් පිටත තැබිය යුතු වෙනවා. අවේලාවේ කසළ පිටතින් තැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. 



මෙලෙස රැගෙන යන කසළ අතරින්, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සියලුම ද්‍රව්‍ය එනම්, ප්ලාස්ටික් බෝතල්-යෝගට් කප්-බාස්කට් ඇතුළු සියලුම ප්ලාස්ටික් වර්ග, ඇලුමීනියම්- ටින්- තඹ වයර් ආදී සියළුම ලෝහමය ද්‍රව්‍ය, බ්ලෙන්ඩර්- ප්‍රින්ටර් වැනි සියලුම විදුලි උපාංග, වීදුරු බෝතල්, කඩදාසි නිෂ්පාදන, ඍජුෆෝම් ආදී සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි භාණ්ඩ කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබනවා. එහිදී, ඒවා තෝරා වර්ගීකරණය කර, ප්‍රෙස් මැෂින් මගින් කුට්ටි කර, යළි පිරිසිදු අමුද්‍රව්‍ය නිපදවනු ලබන ආයතන වෙත අලෙවි කරනු ලබනවා. 


ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියේ පහසුව පිණිස දකුණු කොරියාවේ නිෂ්පාදිත සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළහැකි භාණ්ඩවල ප්‍රතිචක්‍රීයකරණ සළකුණ මැද එම භාණ්ඩය නිෂ්පාදිත අමුද්‍රව්‍යය සටහන් කිරීම අනිවාර්යයි. නිදසුනක් ලෙස සියලුම ප්ලාස්ටික් භාණ්ඩවල PP,HDPE,PS, PET වශයෙන් ඊට අදාළ ප්ලාස්ටික් අමුද්‍රව්‍යයේ නම සටහන් කර තිබෙනු දකින්න පුලුවන්. මෙලෙස දිනකට මෙවැනි ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයකට රැගෙන එනු ලබන කසළ ප්‍රමාණය ටොන් ගණනක්. 

දිනකට එක්රැස්වන ටොන් ගණනක පොලිතින් ප්‍රතිචක්‍රීයකරණය කරන්නෙත් මෙලෙසින්මයි. 

මෙලෙස කසළ තේරීමේදී ඉවතළන සහ ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය වෙනම කුට්ටි කර දහනය කර විදුලිය නිපදවන මධ්‍යස්ථාන වෙත සහ භූමිය ගොඩකිරීම් සඳහා සපයනු ලබනවා. කොරියාවේ ඉවත ලනු ලබන ආහාරමය අපද්‍රව්‍යවලින් සත්ව ආහාර සඳහා සාමාන්‍යයෙන් ගොවිපොළවල් වෙත රැගෙන යන්නේ 10%ක් පමණ. ඉතිරි සියල්ල දහනය කර බලශක්තිය නිපදවන කර්මාන්තශාලා වෙත හෝ පොහොර නිපදවීම සඳහා යොමු කෙරෙනවා. ප්‍රතිචක්‍රීය කළ නොහැකි ආහාරමය නොවන ද්‍රව්‍යත් බොහෝ විට යොමු කෙරෙන්නේ දහනය කරන මධ්‍යස්ථාන වෙත. 

සොවුල් අගනුවර පිහිටි නුවොන් දහන මධ්‍යස්ථානයට කොරියාවේ දිස්ක්‍රීක්ක 25 අතරින් 6කින්ම එන ටොන් ගණනක අපද්‍රව්‍ය බලශක්තිය නිපදවීම සඳහා දහනය කෙරෙනවා. අපද්‍රව්‍ය දහනය කළ පසු දහයෙන් පංගුවක් පමණයි සාමාන්‍යයෙන් ඉතිරි වන්නෙ. එලෙස ඉතිරි වන අළු පොළොව ගොඩකිරීම් සඳහා යොදා ගනු ලබනවා. 

පරිමා පාදක ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර, 1985 වසරේදී කොරියාවේ ඒක පුද්ගල කසළ ඉවතළන ප්‍රමාණය රාත්තල් 4.85ක්. නමුත්, 1995දී එම ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම ප්‍රමාණය රාත්තල් 4.43 දක්වා අඩු වී තිබෙනවා. 2010 වන විට එම ප්‍රමාණය රාත්තල් 2.11 දක්වා ක්‍රමිකව අඩු වී තිබෙනවා. මොකද, ජනතාව දන්නවා තමන් බැහැරළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතු බව.  

කැළිකසළින් තොර ඉතා පිරිසිදු අලංකාර නගර, සුපිරිසිදු දුම්රියහල්-බස්නැවතුම් වැනි පොදු ස්ථාන, දෙපස එක පෙළට සිටුවන ලද ගස් පේළි සහිත ක්‍රමවත් මං මාවත්, ඉතා ජනාකීර්ණ නගරවල පවා තැන තැන පිහිටුවා ඇති කසළින් තොර පරිසර උද්‍යාන ආදී නෙත් ඇදගන්නා බොහෝදෑ පිටුපස පදනම තමයි, මුල සිට අග දක්වා ඉතා සංවිධිත වූ දකුණු කොරියානු කසළ කළමනාකරණ ක්‍රමය.

දැනට ඉවතළන කසළවලින් 80%ක් වන කසළ ප්‍රතිචක්‍රීයකරණ අගය 2020 වන විට 87% දක්වා වැඩි කිරීම කොරියානු රජයේ ඉලක්කයයි. 

අහස උසට කුණු කඳු ගොඩ ගසනා, ඒවාට යටවී ඔහේ මිනිසුන්ට මියැදීමට ඉඩසළසන ශ්‍රී ලංකාවේ අපි මෙවැනි දියුණු රටවල්වලින් දැන්වත් පාඩම් උගත යුතු නොවේ ද?

        --දමයන්ත--

Tuesday, January 22, 2019

නැති වූ ගවයන් සොයා වන මැද (පුංච් කාලෙ කතාවක්)



 මා කුඩාකල අප නිවසේ  එළගවයන්  විස්සක් පමණ ඇතිකළ අතර හිමිදිරි පාන්දර කිරි දෙවීමේ කාර්‍යයේ සිට ඒ හා සම්බන්ධ සියලු කටයුතු සොයා බැලූවේ අපේ අම්මාය. අපිදු ඒ සඳහා උදව් නොකළා නොවේ. පාසල් ඇරී නැවත නිවසට පැමිණි පසු  හවස් කාලයේ ගවයන් ගැටගසා ඇති තැන්වලින් ලිහා, ඇළ වෙත දක්කාගෙන ගොස් වතුර දීමේ කාර්යය බොහෝවිට සිදුකළේ අපය. දොවනා කිරි සියල්ල කිරි මණ්ඩලයට රැගෙන නොයන අම්මා, ඉන් කොටසක් නිවැසියන්ගේ පානය සඳහා උණු කරන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස සැමදා උදෑසන උණු උණු එළකිරි කෝප්පයකින් සප්පායම් වීමට අපට අවස්ථාව ලැබුණි. 

අම්මා ගවයන්ට සැළකුවේ උන් හුදු තිරිසනුන්ය යන මානසිකත්වයෙන් නොවේ. ඇට ලේ මසින් හැදුණු අපේම පවුලේ කොටසක් ලෙසටය. කන්න වතුර ටික වෙලාවට දී රැකබලා ගන්නා බැවින් ගවයන් ද අම්මාට සැළකුවේ ආදරයෙනි. දුරතියා වුව අම්මාගේ සේයාව දුටු විටම ගවයන් සිය හිස උස්-පහත් කර, නිරතුරුව සිය පිළිගැනීම ඇයට ලබාදෙයි. 

ස්වාභාවික හේතූන් මත ගවයන් මිය ගිය අවස්ථාවලදී අම්මාගේ දෑසට කඳුළු උනනු අප දැක ඇත්තෙමු. එලෙස අප අතරින් සමුගත් රත්ති, කෑටි,  කලූවා වැනි ගවයන් අපේ රංචුවේ සිටි පැරණිම සාමාජිකයන් වූ අතර ඇතමෙක් මා ඉපදීමටත් පෙර සිටම සිටියවුන්‍ ය. ඔවුහු තවමත් අප මනසෙහි ජීවමානව සිටින්නාහුය. 

කුඩා වසුපැටවුන් සමග සෙල්ලම් කිරීම තරම් විනෝදජනක දෙයක් කුඩාකළ අපට නොවීය. ඒ යටගියාව නම් තවමත් මිහිරිය. සුන්දරය.

මිල මුදල් වස්තු සම්පත් හොරහතුරන්ගෙන් ආරක්‍ෂා කරගත යුතුවා සේම ගවයන් ද හොරුන්ගෙන් පරිස්සම් කරගැනීමට අපට සිදු විය. බොහෝ විට මාස පහ- හයකට වරක් අපේ ගවයෙකු- දෙන්නෙකු හොරුන්ගේ ග‍්‍රහණයට හසුව අපට අහිමි වෙයි. හොරකම සිදුවන්නේ රාත්‍රී කාලයේදී ඉතා පරිස්සම් සහගතව බැවින්  අපට එය පාලනය කිරීම ද  පහසු කාර්‍යයක් නොවීය. මා කුඩා කළ එලෙස සිදු වූ ගව හොරකමක් මට අද වාගේ මතකය.

එවර හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබුණේ අපේ වැස්සියන් දෙදෙනෙකු සහ අවට නිවසක ගොන් නාම්බෙකි. මෙම ගොන්නාම්බා විශාල මොල්ලියකින් හෙබි, කරත්තෙකට ඈඳිය හැකි තරමේ හැඩිදැඩි එකෙකි. ඒවන විට මට වයස අවුරුදු 8ක් පමණය. මොවුන්ගේ අහිමි වීම අප පවුල් දෙකටම විශාල පාඩුවක් වූ අතර කැළයෙහි ගවයන් රැගෙන ගිය පාරක් හෝ සොයා ගත නොහැකි විය. අවසන ගම්මුන්ගේ අදහසට අනුව සාස්තර කියන තැනකට ගොස් මේ පිළිබඳව විමසන්නට යෙදුනි. සාස්තර කියන්නාගෙන් පැවසුණේ ගවයන් තිදෙනා තවමත් ජීවතුන් අතර සිටින බවත් කැළෑවේ එකළඟ දිවුල් ගස් තුනක් පිහිටි තැනක ඔවුන් ගැටගසා තිබෙන බවත්ය.

මේ 'ගවේෂණ' මෙහෙයුම සඳහා අප පවුල් දෙකෙන් වැඩිහිටියන් දහදෙනකු පමණ කැළයට ඇතුළු විය. කුඩාවුන් වූ අපට ද ඔවුන් හා එකතු වීමට මහ
ත් ආශාවක් තිබූ නමුත් අපට දෙමව්පියන්ගෙන් ඊට අවසර නොවීය. නමුදු අපගේ නොතිත් ආශාව දෙමව්පිය අනවසරයට යටත් කළ නොහැකි විය. එබැවින් අප සැළකිය යුතු තරමේ පරතරයක් තබා ගනිමින් ඔවුන් පසුපස හොර රහසේම ගමන් කළෙමු. තණ කැවීම සඳහා කැලයට ගවයන් දක්කා ගෙන යාම නිසාත්, දඩයම, තුඹ කැඩීම, දර කැඩීම වැනි විවිධ හේතූන් නිසා කැළෑවට ගිය මිනිසුන්ගේ අඩිපාරවල් නිසාත් මෙකී කැළෑව මැදින් කුඩා අඩිපාරක් සකස් වී තිබුණි. හොඳින් වැඩී තිබූ ඇමටියා සහ අන්දර ගස් නිසා අපට මඳ දුරක් යන විට මව්පියන්ගේ සේයාව නොපෙනී ගියේය.

මෙම කැළෑව හරි මැදට වන්නට ආරක් පිහිටා තිබේ. එහි ජලය ගලායන්නේ වැහිදාට පමණි. අප ගිය අඩි පාර ද වැටී තිබුණේ මෙම ආරට සමාන්තර වන ලෙසය. මව්පියන්ගේ සේයාව නොපෙනී ගොස් විනාඩි විස්සකට තිහකට පමණ පසු, මිනිසුන් දෙතුන් දෙදෙනෙකුගේ සේයාව ආරෙන් එපිටෙහි පිහිටි සුවිසල් කළුවර ගස අසළින් අපට දිස් විය. මාගේ සහෝදර සහෝදරියන් ද මා සමග සිටියහ. අප විගස ආරෙන් එගොඩ වී කළුවර ගස දෙසට පියමණින්නට වීමු. අප එහි ආසන්නයට එනතෙක්ම යමකට තට්ටු කරන ශබ්දයක් ඇසුණු අතර ආර අසබඩ බැවින් එම  ශබ්දය දෝංකාර දුන්නේය. නමුත්, අප කළුවර ගසට මීටර් තිහක් පමණ ළං වන විට කිසිදු ශබ්දයක් තබා, මිනිස් පුළුටක සේයාවකදු පෙනෙන්නට නොවීය.

අපි හයියෙන් ''අම්මේ'' යැයි කිහිපවිටක්ම හඬගෑවෙමු. නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. මා ඒ වන විට සිටියේ ඇහැළ ගසක අඩි හත අටක උසින් තිබූ අත්තක් මතය. ඒ අප දෑස් මානයෙන් සැඟව ගිය මිනිස් රූ දෙක කොහිදැ යි බලනු පිණිසය. අප දුරදී දුටු මිනිස් රූ දෙක පෙනෙන තෙක් මානයකවත් නැත. නමුත් එකවරම කළුවර ගස අතරින් පෙර නොදුටු විරූ කාලවර්ණ මිනිස් රුවක් මතුවිය. මුව පුරා ඝනට වැවුණු රැවුළ බිය ගෙන දෙන සුළුය. ඔහු අත අඩි හතරක් පමණ දිගැති කඩුවකි.
 
''මං ආවොත් තොපි මරනවා... මැරුම් කන්නැතුව පලයව්''

ඒ තියුණු හී සැර බඳු මහා ගොරහැඬි හඬ, නිහඬ වනය දෙදුරුම් කැව්වේය. අපට හීන් දාඩිය දැම්මේය. ඇඟපත වෙව්ළා ගියේය. මා ගහෙන් බිමට බැස්සාද පැන්නා ද කියා මතක නැත. පණ එපා යැයි අපි ආපසු දිවීමු. නැවත ආපසු හැරී බැලුවේ ආරෙන් එපිටට ගොස්‍ ය. අපේ කකුල් අතපය සියල්ල කටු අතුවල වැදී හොඳටම සීරි තිබුණි. සීරුණු තැන් අතරින් සිහින් ලේ බිඳු මතුවී තිබුනි. නමුත් ඒ වග අපට දැනුණේ හති ඇරීමට නතර වූ විටය.

මේ බව දෙම්ව්පියන්ට සැළකිරීමට අප එක පිම්මේ නිවසට දිවගිය නමුත් ඔවුහු ඒ වන විටත් නිවසට පැමිණ නොසිටියහ. ඔවුන් එදින නිවසට පැමිණෙන විට සවස පහට ආසන්නව තිබුණි. අප සිදු වූ සියල්ල වහා ඔවුන්ට සැළකර සිටියෙමු. එසැණින් සියළු දෙනා සමග අප සිද්ධිය වූ කළුවර ගස වෙත ගියෙමු. නමුත් එහි කිසිවෙකුදු නොවීය. ඔවුන් අනතුර කල්තබා හැඳින සැණින් නික්ම යන්නට ඇත. එහි ඔවුන් ඉතිරි කර ගොස් තිබූ දෙයක් විය. ඒ අන් කිසිවක් නොව අලුත මස් කළ ගවයන්ගේ බඩවැල් ආදී කොටස්ය. 

(පින්තූරය ගත්තෙ මෙතනින්)