Showing posts with label සමාජයීය ජීවිතය/Social Life. Show all posts
Showing posts with label සමාජයීය ජීවිතය/Social Life. Show all posts

Sunday, May 1, 2016

විදේශිකයොත් හරියට කරන-අපේ අය නොකරන කුණු විසිකිරිල්ල....

Image result for don't litter png

පසුගිය දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිවෙන බස් රථයක මට යාබදව අසුන්ගෙන සිටි විදේශිකයාට තමා හපමින් සිටි චුයින්ගමය විසිකිරීමට අවශ්‍ය විය. ඔහු විසි හය වියැති ඊශ්‍රායල් ජාතිකයෙකි. වටපිට විපරමින් බලා, බස් රථය තුළ කසළ බහාලීම සඳහා බඳුන් (Thrash Bin) සවි කර නැද්දැයි ඔහු මගෙන් විමසුවේය. 

එවැනි කසළ බඳුන් නොතිබුණෙන්, ඔහු මගෙන් අනවශ්‍ය කොළ කෑල්ලක් තිබේදැයි විමසුවේය. මගේ ගමන් මල්ලේ තිබූ පරණ බස් ටිකට් පතක් මම ඔහුට දුනිමි. ඔහු එම කොළ කැබැල්ලෙහි චුයින්ගම් එක ඔතා, තම ගමන් බෑගයේ පුංචි සාක්කුවක දමා ගත්තේය. 

චුයින්ගම් එකක් විසි කිරීමට අවශ්‍ය වූ විට, හැමෝම නොවුනත් අපේ රටේ බොහෝ දෙනෙක් නම් කරනු ඇත්තේ කුමක් ද? 

නිසැකවම වටපිට බලා, කාටවත් නොපෙනෙන ලෙස හිමින් සීරුවේ බස් එකේ අසුනක කොණකින් අලවන එකය. නැතිනම් බිමට දමන එකය. 

චුයින්ගම් නොව අනෙකුත් කැළිකසළ ගත්ත ද, අපේ රටේ බොහෝ දෙනෙකුගේ පුරුද්ද ඔයාකාරය. 

දිනක් එක්තරා පුද්ගලයකු තමන් පානය කළ මයිලෝ පැකැට්ටුව වැහිවතුර සහ අපජලය බැහැර කිරීම සඳහා ඇති කොන්ක්‍රීට් කාණුවේ කොන්ක්‍රීට් පියන් දෙක අතර සිදුරකින් ආයාසයෙන් කාණුව තුළට ඔබනු දුටුවෙමි. එලෙස පුද්ගලයන් 10 දෙනෙකු එම කාර්යය කළහොත්, කාණුව අවහිර වී, පුංචි වැස්සටත් මාර්ගය යටවන තත්වයට පත් වන බව ඒ පුද්ගලයාට නොවැටහීම පුදුමය.  

කසළ බැහැරලීම සම්බන්ධයෙන් සමස්තයක් ලෙස අපේ රටේ මිනිසුන්ගේ චර්යාවේ ප්‍රශ්නයක් ඇති බව මිනිසුන් ගැවසෙන අවට වටපිටාව දෙස මඳක් බැලීමෙන් පෙනේ. එම යහපත් චර්යාවන් පාසල් වයසේම පුරුදු කළයුතු දේ වුවත්, එම යුගය පහුකර ඇති වැඩිහිටියන්ට ද ඒවා පුරුදු කිරීම එතරම් අපහසු නොවන බව අපගේ විශ්වාසයයි.  

ඒ අන් කිසිවකින් නොව, මිනිසුන් නිවෙස්වල රැඳී සිටින උදෑසන කාලයේ වාලම්පුරිකාරයන්ගෙ, ග්‍රහතාරකාකාරයන්ගෙ සහ සෙත් ශාන්තිකාරයන්ගෙ ග්‍රහණයෙන් විද්‍යුත් නාලිකා ටික මුදාගෙන, මිනිසුන්ගෙ ආකල්ප සංවර්ධනය කෙරෙන, රටට-සමාජයට වැදගත් වන දැනුම බෙදන වැඩසටහන් ටිකක් ඉදිරිපත් කිරීමෙනි. උදෑසනම යැයි විශේෂයෙන් කීවේ එවැනි ආකල්ප සංවර්ධන වැඩසටහන් සඳහා උචිතම වෙලාව නැවුම්බර උදෑසන කාලය නිසාය. 

Thursday, April 21, 2016

පුපුරා යන්නට පෙර දැන් සිටම අපේ රටට ජනගහණ පාලනයක් අවශ්‍යය.


දිනෙන් දින අපේ රටේ වනවැස්ම අඩු වෙමින් තිබේ. මහපොළොව මත ඉදිවන ලොකු-කුඩා ගොඩනැගිලි විසින් තුරුලතා පිරි හරිතවර්ණ පරිසරය කෙමෙන් ගිලගනිමින් තිබේ. රක්ෂිත සහ වනෝද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර ද විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින හායනය වෙමින් තිබේ. 

මීට දශක දෙකකට පමණ පෙර, එනම් අප කුඩා කාලයේ අපේ ගම්වල තිබෙනු දුටු වනවදුළු සහ තුරුලතා පිරි හිස් ඉඩම් අද දක්නට නොමැති තරමට, එම ඉඩම්වල මිනිසුන් නව නිවාස ඉදිකර පදිංචි වී ඇත. රටේ අනෙකුත් ප්‍රදේශ ගත්ත ද, තත්වය ඔයිට වෙනස් නැත. මෙලෙසින්, දිනෙන් දින ජනගහණ වර්ධනයත් සමග භූමියේ ඉඩකඩ සහ අනෙකුත් සම්පත් එන්න එන්නම හීන වී යනු පෙනේ.  

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ක්‍රමයෙන් ගස්වැල් අතේ ඇඟිලි ගණනටත්, ඇතැම් විට නැත්තටම නැතුවත්, නිවාස සහ වෙනත් ගොඩනැගිලි දස දහස් ගණනිනුත් භූමිය පුරා තිරස් සහ සිරස් ලෙස වසා පැතිර යන තත්වයට පත්වීමයි. 

මෙලෙස කුඩා ප්‍රදේශයක් තුළ ජනඝනත්වය වැඩි වී, හුස්මක් කටක් ගත නොහැකි තරමට ඉතා සීමිත ඉඩකට කොටු වීමට සිදු වන විට, පැල්පත් නිවාස බිහිවීම, කසළ සහ අපජලය බැහැරලීමේ ගැටලු, ඇළමාර්ග-වැව් අමුණු නෑමට නොව අඩුම තරමේ පය ඔබන්නටවත් බැරි තරමට අපවිත්‍ර වීමේ ගැටලු ආදී විවිධ සමාජ-පාරිසරික ගැටලු රැසකට අපට මුහුණ පාන්නට සිදු වේ. 

යසට ඇති ග්‍රාමීය ප්‍රදේශ කෙමෙන් නාගරීකරණය වන විට, ඔය කී ගැටලු රැසට නිසැකවම අපට යම් දිනක මුහුණ දීමට සිදු වේ. මෙය මන්දගාමී කිරීමට සහ එහි යම් පාලනයක් කිරීමට ගතයුතු එක් වැදගත් පියවරක් වනුයේ ජනගහණ වර්ධනය පාලනය කිරීමය. 

ඒ අනුව, අප රටේ පවුලකට හැදිය හැකි උපරිම දරුවන් සංඛ්‍යාව දෙදෙදෙනකු දක්වා සීමා කිරීම උචිත යැයි අපට හැඟේ. එවැනි නීතියක් ක්‍රියාත්මක කරන්නේ නම් කිසිදු වාර්ගික භේදයකින් තොරව එය ක්‍රියාත්මක කිරීමටත් රජය වගබලා ගත යුතුය. 

පවත්නා සමාජ ආර්ථික තත්වය තේරුම් ගත් නාගරික ඇතැම් පවුල් නම්, මේ වන විටත් දරුවන් එක් අයෙකුගෙන්ම සෑහීමට පත් වෙති. 

අපේ කලාපයෙන් ජනගහණ පාලනය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වසර 35ක් මුළුල්ලේ දැඩි සේ ක්‍රියාත්මක කරන රටක් ලෙස චීනය හැඳින්විය හැක. ඔවුන් එය ක්‍රියාත්මක කළේ 1980 සැප්තැම්බර් 25 දින සිටය. 

"එක පවුලකට එක දරුවෙක්" (one child policy) ප්‍රතිපත්තියේ සිටින ඔවුන් මෑතකාලීනව නම් ඇතැම් පවුල් සඳහා පමණක් දරුවන් දෙදෙනෙකු හැදීමට අවසර ලබා දුන් අවස්ථා ඇත. චීන රජය විසින් එය ක්‍රියාත්මක කරනු ලබන දැඩිබව නිසා, ඇතැමුන් ඒ පිළිබඳව විවේචන එල්ල කළ ද, සමස්තයාගේ යහපත සඳහා එවැනි ක්‍රියාමාර්ග ගැනීම වරදක් ලෙස අප නම් නොදකින්නෙමු. 

ඉන්දියාව වැනි රටවල ජනගහණය අධික ප්‍රදේශයන්හි පවතින සංකීර්ණ ගැටලුකාරී තත්වයන් දෙස බලන විට, අප රටේ තත්වයන් තවමත් පාලනය කළ හැකි මට්ටක පවතී යැයි අපට හැඟේ. 

එබැවින්, අප රටේ ජනගහණ පාලනය සඳහා කල් නොයවා අද අදම පියවර ගතහොත්, ජනඝනත්වය අධික වීමෙන් මතුවන විවිධ සමාජ-ආර්ථික සහ පාරිසරික ගැටලු යම් මට්ටමකින් හෝ පාලනය කිරීමට සහ අනාගත පරපුරට හොඳ හුස්මක් කටක් ගෙන, ජීවත් විය හැකි ඉඩකඩ සහිත තුරුලතා පිරි වටපිටාවක් ඉතිරි කිරීමට නිසැකවම අපට හැකි වනු ඇත.  

Wednesday, April 13, 2016

මේ කාලේ පරිස්සමින්- බීගත්තු ගොන් රංචු පාරවල්වල

මේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයයි. හිතවත්කම් අලුත් කෙරෙන, විවිධ කෑම-බීම වර්ග නොසෑහෙන්න කැවෙන-පෙවෙන විනෝදමත් කාලයකි මේ. 

අඩිපුඩි ගසන අයට නම්, කැවුම්-කොකිස්-කිරිබත් නැතත්, බෝතලයක් දෙකක් ඇත්නම්, අවුරුද්ද එතනය. අප්‍රේල් 13-14 දිනයන්හි සුරාසැල් වසා තැබුවාට, බෝතල් මදි වුනහොත් වැඩිමිලට වුනත් ගතහැකි තැන් ගමේ-නගරයේ කියා භේදයක් නැතිව තිබේ. එය රහසිගතව හිතවතුන් හරහා පමණක් සිදු වන ගනුදෙනුවක්ය. 

යමෙකුට මත්පැන් නොබී සිටිය හැකි නම්, එය හැම අතින්ම හොඳය. මේ කාලේ බෝතල්වල මිලගණන් අනුව නම්, නොබී ඉන්නා එක කොහොමටත් තමන්ගේ ආර්ථිකේට හොඳය. 

ඒ කෙසේ වෙතත්, පුරුද්දකට හැමදාම නොවෙතත් ඉඳලා හිටලා හෝ විනෝදෙට යහළු මිතුරන් එකතුව අඩියක් පුඩියක් ගැසුවාට ඒ හැටි අවුලක් නැතිය. අවුල නම් බීලා හාන එකය. එකට අඩිය ගහපු එකා එක්කම පැටලී, එකට හිස්කරපු බෝතලේම බිඳ, අනෙකාගේ බඩට බසසන එකය. ගමට ඇහෙන්න කුණු හරුප කියා-කෑකෝ ගසා වලිබලි දා ගන්නා එකය. 

වගකීමෙන් බොන්න (Drink Responsibly) යැයි බෝතලේම සඳහන් කර තිබුණාට, ඇතැමෙක් ඒ ගැන දන්නේවත් නැතිය. බොන්නේ තමන්ට දැරිය හැකි පදමට නොවේය. කරටි කැඩී වැටෙන්නමය. එහෙම බිව්වාම විඳවිල්ල මිස කිසි ගතියක් නම් නැතිය. විනෝදෙකුත් නැතිය.

බිව්වම වීරයෝ වෙන්නේ ගොන්නුය. ගොන්නු කිව්වාට සැබවින්ම කකුල් හතරේ ගොන්නු නම්, එහෙම අඩි පුඩි ගහන්නේ නැතිය. විවිධ මිනිස් ගුණාංගයන් තිරිසන් සතුන්ට ආරෝපණය කර, උන් පුද්ගලත්වාරෝපණයට ලක් කෙරුණේ පැරැණි ඉන්දීය උපදේශ කථා සාහිත්‍යය තුළය. කතා කරන සත්තු අපට දක්නට ලැබෙන්නේ ඒවාහිය. එය උපදේශ කතා කීමේ කලාවේ අංගයක් ලෙස සිදු වූවක්ය. හැමවිටම සිංහයා වීරත්වයත්, නරියා කපටිකමත් උරුමකරගත්තකු වශයෙන් දැක්වෙන්නේ ඒ අනුවය. 

අපේ රටේ වත්මන් ජනව්‍යවහාරය තුළ යමෙක් ඉවක් බවක් නැති ඔලමොට්ටල වැඩ කරන විට ඒ චරිත ලක්ෂණය ආරෝපණය කෙරෙන්නේ ගොනාටය. නැතිනම් හරකාට හෝ මීහරකාටය. නැතුව, එසේ කෙරෙන බව උන්වත් දන්නේ නැතිය.   

කෙසේ වුවත්, එවැනි කකුල් දෙකේ ගොන් රංචුවක ආසන්නතම කෙරුවාවක් මෙසේය.

ඊයේ රාත්‍රී එකොළහට පමණ පස් හයදෙනෙකුගෙන් යුත් කකුල් දෙකේ තරුණ ගොන් රංචුවක් කරටි කැඩෙන්න අඩිය ගසා, වාහන යනෙන මහ පාරේ වැතිර, කුණු හරුප කියමින්, අන් අයට බාධාකරමින් තම ගොන්කම ප්‍රදර්ශනය කරමින් සිටිනු දුටුවෙමි. වාහන ආවා කියා උන්ට අයින් වෙන්න හදිසියක් නැතිය. 

හිමින් හරි බරි ගැහී, එහෙට මෙහෙට පැද්දී, අතපය ඇඟිලි විසිකරමින් උන් පාරේ අයින් වෙන තෙක් බලා සිටීමට වාහනකරුට සිදු වේ. උන් එක්ක හරි වැරැද්ද කතා කරන්න යෑම, එසේ යන එකාගේ ද ගොන්කමය. ඒ මක්නිසා ද යත්, හරිවැරැද්ද කතා කළ යුත්තේ ඒවා අහන්න සූදානම් එවුන් එක්කය. අහන්න සූදානම් නැති එකාට මක්කා කිව්වත් වැඩක් නැතිය. 

ළඟ බැලුවොත් නම්, ඒ වගේ උන්ට විසඳුම අතින් පයින් ගේම දෙන එකය. එවිට සිදු වන්නේ උන්ටත් තුවාල කර, තමනුත් තුවාල කරගෙන, පොලිසි ගානෙත් රස්තියාදු වී, ඇතැම් විට එකෙක් දෙන්නෙක්ගෙ ජීවිතයත් නැති කරගෙන අවුරුද්දත් කාබාසිනියා කරගන්නටය. ඒ නිසා, දුර බලන එක කොයි පැත්තෙනුත් හොඳය. 

"මේ කාලේ පරිස්සමින් - බීගත්තු ගොන් රංචු පාරවල්වල" යැයි මුලම කිව්වේ ඒ නිසාය. 

Sunday, April 10, 2016

ඔබේ නිගමනය හැමවිටම නිවැරදි නොවිය හැක...


කිසියම් කාසියක් නූලකින් එල්ලා නිශ්චලව තබා ඇතැයි සිතමු. නිදසුනක් ලෙස රුපියල් පහේ කාසියක් ගනිමු. මේ කාසිය දෙස එකිනෙකට වෙනස් දෘෂ්ටිකෝණයන්ගෙන් පුද්ගලයන් 5 දෙනෙකු බලා සිටිනවා යැයි ද සිතමු. 

පළමු තැනැත්තා කාසියේ රාජ්‍ය ලාංඡනය සහිත පැත්ත පමණක් හොඳින් පෙනෙන ලෙසත්, දෙවන තැනැත්තා කාසියේ වටිනාකම ආදී තොරතුරු සඳහන් පැත්ත පමණක් පෙනෙන ලෙසත්, තෙවන තැනැත්තා කාසියේ දාරය පමණක් පෙනෙන ලෙසත්, සිව්වන තැනැත්තා කාසියේ රාජ්‍ය ලාංඡනය සහිත පැත්තත් දාරයත් යන දෙපැත්ත පමණක් පෙනෙන ලෙසත්, පස්වන තැනැත්තා කාසියේ වටිනාකම ආදී තොරතුරු සඳහන් පැත්තත් කාසියේ දාරයත් යන දෙපැත්ත පමණක් පෙනෙන ලෙසත් සිටුවා තබා ඇතැයි සිතමු. 

එලෙස කාසියේ පස් දෙසින් සිටුවා ඇති පුද්ගලයන් කාසිය දකින්නේ එකිනෙකට සමාන දෘෂ්ටිකෝණයන්ගෙන් ද? නැත. කිසිසේත්ම නැත. ඔවුන්ගේ දෘෂ්ටිකෝණයන් එකිනෙකට වෙනස් නිසා ඔවුන් දකින දේ ද වෙනස්ය. 

මෙලෙසින්ම, යම් කාරණයක් පිළිබඳව ඇතැම් විට අප දකින දෘෂ්ටිකෝණයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයකින් වෙනත් අයෙකු දැකිය හැක. 

එමනිසා, කිසියම් දෙයක් පිළිබඳව අප දරණ මතය හැමවිටම නිවැරදි නොවිය හැක. ඇතැම් විට නිවැරදි විය හැකි වුවත්, අඩුපාඩු සහිත විය හැක. ඒ පිළිබඳ දැනුවත්බවින් යුතුව අප කටයුතු කරන්නේ නම් බොහෝ විට ගැටලුකාරී තත්වයන් මතු නොවී මානසික සතුටින් යුතුව කටයුතු කිරීමට අපට හැකිවේ.  

රටක් පාලනය කරන විට වුව ද, කිසියම් ආයතනයක් හෝ සංවිධානයක් පාලනය කරන විට වුව ද, එසේ නැතිනම් පිරිසක් එකතුව කිසියම් වැඩක් සිදු කරන විට වුව ද, සංවාදශීලිව අන් අයටත් අදහස් දැක්වීමට ඉඩ දී, ඒවායෙහි යුක්තියුක්තභාවය ද විමසා බලා වඩාත් නිවැරදි විදිහට වැඩ කටයුතු සිදු කරන විට කිසිවෙකුටත් තමන්ට ඇඟිලි දික් කිරීමට නොහැක. සිදු කිරීමට යන කාර්යය ද වඩා පිළිවෙළට සිදු වේ. 

ඒ සඳහා අවශ්‍ය කරන්නේ තමන් හැමවිටම නිවැරදි ලෙසත්, අන් අය හැමවිටම වැරදි ලෙසත් සිතන අගුළු ළාගත් මනසක් නොව විවෘත මනසකි.  

විවෘත මනස නිසැකවම ඔබට බොහෝ ජීවිත ජයග්‍රහණ ළඟා කරදෙනු ඇත.

Friday, March 25, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7


මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි......


මිහිමත මිනිසාගේ ආරම්භය ඇති වූයේ යම් දිනක ද, එදින පටන්ම ජලය තරම් මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම සහ හැඩගැස්ම තීරණය කළ අන් යමක් මේ මිහිමත නොමැති බව අවිවාදිතය. 

ඉන්දු නිම්න, මොසපොතේමියානු, ඊජිප්තු ආදී පැරැණි කුමන ශිෂ්ටාචාරයක් ගත්ත ද, ඒ සෑම ශිෂ්චාචාරයකම ආරම්භය සනිටුහන් වී ඇත්තේ ගංගා නිම්න ආශ්‍රිතවය. එනම් ජලය ආශ්‍රිතවය. 

ආදිකාලීන මිනිසා දඩයමින් කෘෂිකර්මාන්තයට මාරු වීමත් සමගම මිනිසා සහ ජලය අතර සම්බන්ධය තවත් වැඩි විය. 

ස්වාභාවික ඇළදොළ ගංගා කරා සේන්දු වී, ඒ සමීපස්ථ ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්තයේ සහ පශුපාලනය ආදී වෙනත් ජීවනෝපායන්හි යෙදෙනවාට අමතරව, තමන්ට රිසි ස්ථාන කරා භුමියේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් වාරි මාර්ග ඔස්සේ ජලය ප්‍රවාහනය කිරීමට සහ වැව් අමුණු ඉදිකර ජලය රැස් කර තබා ගැනීමට මිනිසා පසුකාලීනව කටයුතු කළහ. 

අපේ රට ද ඉපැරණි වාරි සංස්කෘතියකට උරුමකම් කියන රටකි. පැරැණි සහ නූතන වාර්මාර්ග යෝජනා ක්‍රමවලින් ප්‍රතිලාභ අදදු අප රටේ ජනතාව භුක්ති විඳිති. 

වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය ද ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති සහ ජනාවාසකරණය නොවූ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තෝරාගත් ප්‍රදේශ කරා උඩවළව ජලාශයේ සිට ඇළ මාර්ග ඔස්සේ ජලය ප්‍රවාහනය කරමින්, අලුතින් ඉදි කෙරුණු වැව්වල ජලය එක්රැස් කරමින් එම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සහ මිනිස් වාසයට උචිත තත්වයට පත් කිරීම සඳහා දියත් කෙරුණු ව්‍යාපෘතියකි. 







මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර තවමත් ගතවී ඇත්තේ වසර 10කට නොඅඩු කාලයකි. එමනිසා, තවමත් මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාස වී නොමැති වුව ද, ජනගහණ වර්ධනය සහ භූමියේ ඉඩකඩ ක්‍රමිකව සීමිත වීමත් සමගම තව අවුරුදු 10ක් පමණ යන විට සැළකිය යුතු මට්ටමින් ජනාවාස වෙනු ඇති බවට කිසිදු සැකයක් නැත. 

ඒ අනුව, කාලයාගේ ඇවෑමෙන් ක්‍රමිකව මංමාවත්, කඩපොළවල්, පාසැල්, ඉස්පිරිතාල ආදී යටිතල පහසුකම් සංවර්ධනය වී, මේ ප්‍රදේශ ද නාගරීකරණය වනු ඇත. 

ඒ සඳහා මූලෝපකාරී ප්‍රධාන සාධකය වන ජලය දැනටමත් මේ ප්‍රදේශයෙහි සුලභ නිසා එය කඩිනම් වනු ඇත. එය මන්දගාමී කරවන යම් දෙයක් වේ නම්, ඒ මේ ප්‍රදේශයෙහි පවතින අලි ප්‍රශ්නය පමණි. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Wednesday, March 16, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6

මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?

වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ සංවර්ධිත හම්බන්තොට තිස්සපුර ප්‍රදේශය මීට වසර දෙකකට එපිට වනතෙක්ම එකදු පාලු ඉඩමක් හෝ දැකිය නොහැකි තරමට සරුසාර කෘෂියායක්ව පැවතුණි. 

නමුත්, අද මේ ප්‍රදේශයෙහි ඇතැම් යායවල්වල වගා කෙරෙන ඉඩම් ප්‍රමාණයට වඩා නොකෙරෙන ප්‍රමාණය වැඩිදෝ කියා සිතෙන තරමට පාලු ඉඩම් ඇත. එසේ නොවන සරුසාර යායවල් ද මේ ප්‍රදේශයෙහි නැතුවා නොවේ. ඒ එම යායවල්වල ගොවිතැන් කරන ගොවීන්ගේ අප්‍රහතිහත ධෛර්යය සහ කැපවීමට පින්සිදු වෙන්නටය.

අලින්ගෙන් වගාබිම් ආරක්ෂා කර ගැනීමට යොදන ධෛර්යය හීන කරගත් ඇතැම් ගොවීන්, තම වගාබිම් වල් වැදෙන්නට ඉඩහැර තම නිවාස ආසන්නයේ අලි කරදරය නැති ඉඩමක් කඩමක් බද්දට ගෙන හෝ වගා කරන්නට පෙළඹ තිබේ. 

අලින්ගෙන් මහත් සේ කරදර සිදු වන මේ ප්‍රදේශයෙහි කෘෂි යායක දෙතුන් දෙනෙකු පමණක් කුඹුරු සහ වෙනත් ගොඩ වගා කරන විට මුහුණ පාන්නට සිදුවන ගැහැට ඉමහත්ය. 

කුරුල්ලන්ගෙන් වන හානිය ගැන වුව ද එසේමය. වී වැපුරූ පසු පැල වී අහුලා කන්නටත්, ගොයම කිරි වැදුණු පසු ඒවා කන්නටත් කුඹුරට පාත් වෙන කරුලු රෑනක සාමාන්‍යයෙන් කුරුල්ලන් 1000ත් 2000ත් අතර සිටිති. කිහිප දෙනෙකු පමණක් කුඹුරු කරන විට, එවැනි කුරුළු රංචු වලින් වන හානිය ඉතා වැඩිය. 

කෙසේ වුව ද, මිනිසුන්ගේ ධෛර්යය එක වගේ නැත. වරක් අලි නිසා විශාල පාඩුවක් විඳින්නට සිදු වූ විට, යළිත් එහි වගා කරන්නට ශ්‍රමය සහ ධනය යොදවන්නට ඇතැම් මිනිසුන් පසුබට වෙති. එය ඔවුන්ගේ පැත්තෙන් අසාධාරණ තීරණයක් ද නොවේ. 

අක්කර හතාර හමාරකින්  යුත් මේ කුඹුරු යාය ද අද මුහුණ පා සිටින්නේ එකී නීරස සත්‍යයටය. දිවා කාලයට කුරුල්ලන්ගෙන් ද, රාත්‍රියට අලින්ගෙන් ද බේරා ගැනීමට විශාල සටනක් කිරීමට සිදුව ඇත. 

දැනට හොඳින් පීදී ඇති මේ කුඹුරු යාය අස්වනු කපා ගෙට ගන්නා තෙක් සුළඟට ළෙළදෙමින් අසිරි මවමින් තිබෙන නමුත්, මේ යාය වටා ඇති කෘෂි ඉඩම් සියල්ලම පාහේ මෙවර පාලුවට ගොස් ඇත.  



පාලුවට ගිය අසල්වැසි ඉඩමක්

එහෙත්, මේ ලිපි පෙළට මාතෘකාගත කුඹුරු යායට කි.මී.1ක් පමණ ඉහත්තාවට වන්නට පිහිටි ප්‍රදේශයෙහි නම් පාලු ඉඩම් නැති තරමට කුඹුරු සහ කෙසෙල් වගාව සරුවට කෙරේ. එහි ඉඩම් හිමි ගොවීන් සැවොම පාහේ තම වගාවන් වටා විදුලිය දමා ගෙන, ඉතා ධෛර්යයෙන් වගාකෙරුවාව සිදු කරති. 







මේ ප්‍ර දේශයෙහි පොළොවෙහි ඇති සරුසාරත්වය මේ පොල්ගස් මෙතරම් කෙටිකලකින් පීදීමෙන් පෙනේ.




මෙලෙස කෙසෙල් සහ පොල් ගස් උස් මහත් කර පරිස්සම් කරගැනීම සඳහා සෑම ඉඩමක් වටාම කම්බි ඇද විදුලිය දැමීමට ගොවියන් කටයුතු කරති. එසේ කළ ද, ගස් උඩ සකස් කළ පැලවල් මතට වී සුපරීක්ෂාවෙන් රැය පහන් කරන්නට ද ඔවුන්ට සිදු වේ. 



මේ සියල්ලට දියවර සැපයෙන්නේ වළව වම් ඉවුර නව සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරුණු මෙවැනි වැව් වලිනි.



වැවේ සිට ජලය ඉඩම් වෙතම රැගෙන යාම සඳහා මෙවැනි කොන්ක්‍රීට් ඇලවල් සකස් කර ඇත.


එසේ වුව ද, අක්කර හතර හමාරකින් යුත් මාතෘකාගත මේ කුඹුරු යාය අවට පාලුවට ගොස් ඇති ආකාරය රක්ෂිතය මායිමේ ඇති වැව් බැම්මේ සිට බැලූ විට දිස්වන්නේ මෙසේය. මැද රවුම් කර ඇත්තේ එකී කුඹුරය.


නමුත්, මෙවර වගා නොකෙරුව ද, මේ කුඹුරු යාය ආසන්න ඉඩම් හිමි ඇතැම් ගොවීන් මෙහි ගොවිතැන් බත් කෙරුවාව සපුරා අත් හැර නොමැති බව දැනට ඉදිකරමින් පවතින මෙවැනි ස්ථිර ඉදිකිරීම්වලින් පෙනේ. 



ගස් උඩ පැල වෙනුවට කෝන්ක්‍රීට්වලින් ඉදි කෙරෙන මෙවැනි ඉදිකිරීම් පවා අලින්ට විනාශ කළ නොහැකි දේවල් නොවේ. මෙහි බිම් කණු වටා උල්ව සිටින සේ කම්බි කූරු ඔබ්බවා ඇත්තේ අලියාට ඇඟෙන් තල්ලු කිරීමට හෝ හොඬවැල දමා ඇදීමට නොහැකි වන ලෙසය.

කොතරම් සශ්‍රීක පසක් හිමි වුව ද, අලි කරදරය බහුල මේ ප්‍රදේශයෙහි වගා කෙරුවාවේ අනාගතය කාලය විසින්ම විසඳනු ඇත.


පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Sunday, March 13, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 5

යමින් ගමන් කැලෑ ගෙඩි කමු...

අහළ පහළ කඩයක් හෝ නිවසක් නොමැති අලි ගහන කැලෑ මායිමේ පිහිටි මේ ගොවිබිමට එන විට, කන්න බොන්නට අවශ්‍ය සියලුම දෑ නිවසින් රැගෙන ඒමට ගොවියෝ කටයුතු කරති. දින කිහිපයකට සෑහෙන්න ජලය, උයා පිහා ගන්නට අවශ්‍ය අඩුමකුඩුම ටික, අඳින්නට ඇඳුමක් දෙකක්, මුහුණකට-ඇඟපත හෝදගන්නට අවශ්‍ය සබන් සහ දත්බෙහෙත් ටික ආදී අවශ්‍යම කරන ද්‍රව්‍ය ටික තිබෙන විට ගොවිබිමේ ගතකරන ජීවිතය හරි සරළය. අල්පේච්ඡය.

අක්කර හතරහමාරකින් යුත් මේ කෙත්බිම අවට, ලඳු කැලෑවල මේ දිනවල නොසෑහෙන්න කැලෑගෙඩි වර්ග ඇත. ගස්ලබු-කෙසෙල් වැනි පලතුරක් වගාබිමක හැරුණුකොට, මේ කැලෑවල නැති බැවින් දර කෑල්ලක් දෙකක් ගෙනෙන්නට-කිසියම් අවශ්‍යතාවකට රිටක් දෙකක් කපා ගන්නට ගිය විට, මේ කැලෑගෙඩි වර්ග ඇති පදමින් කුසට දා ගැනීම අපේ සිරිතය.

එරමිණියා ගස් මෙහි ලඳු කැලෑවල සහ වගා ඉඩම් වෙත පිවිසෙන පස් පාරවල් දෙපස සුලභ දසුනකි. ඉදුණු එරමිණියා ගෙඩි දම්පාටය. ඇඹුල් රසත් පැණි රසත් මිශ්‍ර අමුතුම රසයක් එහි ඇත. වහා ඇඟේ ඇමිණෙන වක් ගැසුණු තියුණු කටු නිසා, මේවා කඩා ගත යුත්තේ හරි පරිස්සමිනි. 


එරමිණියා
එරමිණියා ශාඛයේ ලොකු අයියා ලෙස සැළකිය හැකි තවත් කැළ ගෙඩි වර්ගයකි දෙබර ශාඛය. එරමිණියා ගහ වැනිම නමුත්, මෙහි ගෙඩි මඳක් විශාලය. රසයෙහි නම් ඒ හැටි වෙනසක් නැත.


දෙබර ශාඛය සහ ඉදුණු දෙබර ගෙඩි

මේ තියෙන්නේ කරඹ ශාඛයකි. පිච්ච මලට සමාන මල් හැදෙන මෙහි ගෙඩි ඉතා රසවත්ය. ඉදුණු ගෙඩි දම් පාටය. මෙම ශාඛයෙහි ඉදුණු ගෙඩි පමණක් නොව අමු ගෙඩි හා මල් ද ආහාරයට ගත හැකිය.  
කරඹ ශාඛය


කරඹ මල්

ඉදුණු කරඹ ගෙඩි

රඹ යායේ ළවැලි පාරේ -මගේ හද දිනූ අරුන්දතී 
වැව පුරා රතු නෙළුම් පිපුණේ - නුඹ බලන්නයි අරුන්දතී...///

විජය කුමාරතුංගයන් ගැයූ මේ ගීතයේ කරඹ යායක් ගැන කියවේ. රතුපාට දළුවලින්, සුදු පාට මල්වලින් සහ කොළ පාට සහ දම්පාට ගෙඩිවලින් යුත් කරඹ ගස සැබවින්ම නෙතට පියකරුය. ඉතින් එවැනි යායක් ගැන කියනුම කවරේ ද? 

මීට අමතරව කෑලිය, කර වැනි ශාඛ වර්ග ද මෙහි නැතුවා නොවේ. මේවා ස්වාභාවිකවම කැලයේ හැදෙන ඒවාය. යමින් ගමන් විනෝදෙට කනවා මිස බඩ පිරෙන්නට කන දේවල් නොවේය. 


කෑලිය ශාඛය

මේ දිනවල කර ශාඛයේ නම් ගෙඩි නැත. ඉතා දිගු සහ තියුණු කටු ඇති නිසා කර කැඩීමේදී ඉතා පරිස්සමින් කළ යුතුය. 

කර ශාඛයේ අත්තක්
මේ ප්‍රදේශය පුරාවට තැන තැන ශේෂ වී ඇති පලු ගස් එමට ඇතත්, ඒවායෙහි කිසිම ගසක මේ දිනවල ගෙඩි නැත. සාමාන්‍යයෙන් පලුගස්වල ගෙඩි හටගන්නේ මැයි සහ ජුනි මාසවලය. පලු ගෙඩි කහපාටට හොඳින් පැසුණු රට ඉඳි වාගේය. පැණිරසය. අලින්ගෙන් බේරීම සඳහා ගොවීන් උඩු පැල සකස් කරන්නේ ද බොහෝ විට පලු ගසකය. 


සාමාන්‍ය ප්‍රමාණයේ පලු ගසක්

මේ කැලෑ ගෙඩි වර්ග හැරුණු විට, පිසගෙන කන පලා වර්ග සහ ගෙඩි වර්ග ද මෙහි ඇත. ඒ අතර, බටු කරවිල විශේෂය. වගා කරවිල තරම් ගෙඩි විශාල නොවූව ද, සාමාන්‍ය කරවිල මෙන්ම මඳක් තිත්ත රසයෙන් යුක්තය. කිසිදු රසායනික තෙල් පෝර කිසිවක් නැතිව කැලයේ ස්වාභාවිකව හැදෙන නිසා, වගා කරවිලවලට වඩා ශරීරයට ගුණදායකය.   

බටු කරවිල
කැරන් ශාඛය මෙහි සුලභව හමු වෙන, ආහාරයට ගත හැකි තවත් ශාඛයකි. එහි එන ළපටි ගොබ එසේත් නැතිනම් කැරන් කොපු ගලවා තෙලට හදාගත් විට කදිමය. 

කැරන් ශාඛය

කැරන් කොපු
මේ කිසිවක් තෙල් පෝර යොදා, මිනිස් ආයාසයෙන් වගා කරන දේවල් නොවේය. කැලයේ ස්වාභාවිකව හැදෙන දේය. 

මේ පිළිබඳව සටහන් තැබූයේ අන් කිසිවක් නිසා නොව, අලි ගහණ මේ ප්‍රදේශයෙහි ගොවිතැන් කෙරුවාව ගැන ලියැවෙන මේ ලිපි පෙළෙහි අත්හළ නොහැකි කොටසක් නිසාය.



පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)

Thursday, March 10, 2016

කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව-4

මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....

වේලාව රාත්‍රී එකොළහ හමාරට ආසන්නය. බිම් පැලේ කණුවක එල්ලා ඇති ලන්තෑරුමේ දැල්ල සුළඟට ඒ මේ අත පැද්දෙමින් ඔහේ පත්තු වෙයි.


රැහැයියන්ගේ සහ කුඩා කෘමීන්ගේ අනවරත හඬලෑම ද යටපත් කරමින්, වරින් වර සැර අඩු වැඩි කරමින් හමා යන තද සුළං පහර නිසා කන්වල පවා අගුලු වැටී ඇති ගාණය. මේ තද සුළං පහර ඇඟේ වදිනා විට දැනෙන්නේ සීත වාතය පපුවේ පිටපොත්ත පසාරු කරගෙන පපු කුහරය තුළට ඇතුළුව, ඒ ක්ෂණයෙන් මුළු ඇඟම හිරිවට්ටමින් ලේ නහර දිගේ ගත පුරාම ගමන් කරන්නාක් මෙනි. 

තද සුළං පහර ඒ මේ අතට අඹරවමින් හමනා විට, පොල් අතු වහළ ගැලවී යාදෝ කියා ද විටෙක සිතේ. සුළං පහර පොල් අතු වහළේ වැදී හමනා විට එන අඛණ්ඩ "හෝ හෝ" හඬත්, තද සුළං පහර පැළ තුලට නොඑනු පිණිස උඩු පැලේ දෙපස විවෘත අවකාශය ආවරණය වන සේ එල්ලා ඇති පරණ සරම් කඩමාලු සහ ඉටි කවර සුළඟට පැද්දෙන විට එන "සර සර" හඬත් නිසා මේ රැයේ කොහොමටත් නින්දක් නම් අහළ මායිමකටවත් එන්නේ නැත. 

මෙවැනි වේලාවට උඩු පැලේ අතුරා ඇති පැදුරු කඩමාල්ල මත වැතිර, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පෙරවනයෙන් හොඳහැටි ඇඟ වසා ගෙන, කුඹුරට අලි පැමිණ ඇද්දැයි උඩු පැලෙන් බැස පරීක්ෂා  කර බැලිය යුතු මීළඟ අඩහෝරාව එන තෙක් නිවී හැනහිල්ලේ සිටිනු විනා කළ හැකි අන් කාර්යයක් නැත. 

අක්කර හතර හමාරකින් යුත් මේ කුඹුරු යායේ ගොයම දැන් බොහෝ දුරට පීදිලා අවසන්ය. වැපිරූ දා පටන් පරිස්සම් කළ ගොයම ඉතිරි සති කිහිපය තුළ ද පරිස්සම් කර නොගතහොත් මහන්සිය සහ වැය කළ මිල මුදල් සියල්ල වතුරේය. 


හරියටම වේලාව එකොළහයි හතළිස් පහය. අධිබලැති විදුලි පන්දම ගෙන උඩු පැලෙන් අඩක් බිමට බැස, කුඹුරේ හතර මායිම දිගේ විදුලි පන්දම අල්ලමින් අලි වැදී ඇද්දැයි පරීක්ෂා කළ යුතු ඊළඟ අඩහෝරාව එන්නේ රාත්‍රී දොළහටය. ඒ සඳහා තවත් විනාඩි 15ක් ඇත. එහෙත්, පැලේ හාන්සි වී සිටි අනෙක් සගයා අඩහෝරාව සම්පූර්ණ වෙන්නටත් මත්තෙන් අලි ඇවිත්දැයි බලන්නට යමියි කල් වේලා ඇතුවම උඩු පැලෙන් බිමට බැස්සේය. 



බිමට බැස්සේ වෙලාවටය. අඩි 10කට වැඩි මිසක් අඩු යැයි කිව නොහැකි තරමේ උසකින් යුත් සද්දන්ත අලියෙකු විදුලි වැට පෙරළා ගෙන කුඹුරට ඇතුල් වෙලාය. කි.මී හතරක පහක තරම් දුරක් කරා වුව ආලෝකය එල්ල කළ හැකි අධිබලැති විදුලි පන්දම එම සද්දන්තයා වෙත එල්ල කරමින්, "ඔහෙ හිටු" අලියා කියමින් ගැඹුරු ගොරහැඬි හඬින් කෑ ගසන අතරතුර, සැණෙකින් අලි වෙඩිල්ලක් ද පත්තු කිරීමට අපි කටයුතු කළෙමු. 


අලි වෙඩි
එම හඬත් එක්කම බියට පත් අලියා, කන් පට හකුළුවා, කපොල් තලය උස් කර, ක්ෂණිකව අනිත් පැත්ත හැරී කුඹුරෙන් පිටමන් වුනේය. ඇතැම් අලි මෙලෙස විදුලි පන්දම් එල්ල කරමින් කෑ ගසන විට, ආපසු හැරෙනු වෙනුවට විදුලි පන්දම එල්ල කරන දෙසට එක පිම්මේ පැමිණෙයි. මේ නිසා, අලි එලවිල්ල ද එතරම් සුකර කටයුත්තක් නොවේ. 

තවමත් රැය පහන් වීමට පැය හයකට ආසන්න කාලයක් ඉතිරිව ඇති නිසා, නැවත අලි කුඹුරට ඒමට බොහෝ දුරට ඉඩ ඇත. එබැවින්, වරින් වර උඩු පැලෙන් බැස, විදුලි පන්දම එල්ල කර කුඹුරේ හතර කොන සුරක්ෂිත දැයි තහවුරු කරගනිමින් එලි වෙන තෙක්ම නිදිවරන්නට අපට සිදු විය.

මේ දිස්වන්නේ විදුලි වැටේ කණුවක් ද බිඳ දමා, හරක් ඇතුල් වීම වැළැක්වීමට සකස් කර තිබූ අන්දර කටු ඉති සහ කටු කම්බි ගසා අහුරා තිබූ වැට ද කඩාගෙන අලියා කුඹුරට ඇතුල් වූ ස්ථානයයි.



මේ දිස්වන්නේ අලියා විනාඩි කිහිපයට කා දැමූ පැසුණු ගොයම් කුට්ටියයි. 






කෑ ගැසිල්ලේ සහ අලි වෙඩිල්ලේ හඬට ආපසු හැරුණු අලියා කෙසේ හෝ ගොස් ඇත්තේ කකුලක් බිම අතුල්ලමිනි. එක්කෝ විදුලිය නිසා උගේ කකුලක් හිරි වැටුනා විය යුතුය. නැතිනම් අන්දර කට්ටක් හෝ කටු කම්බිය පෑගුනා විය යුතුය.




වගාව රැකගන්නට මිනිසුන් වෙහෙසෙන්නේ ද තම බඩවියත රැකගන්නටය. අලි වගාවන් වෙත කඩා වදින්නේ ද තම බඩ වියත රැකගන්නටය. 

අඳුර වැටුන පසු රජයේ විදුලි වැටත් කෙසේ හෝ පෙරළා ගෙන, මිනිසුන් විසින් පෞද්ගලික්ව තම වගා ඉඩම් වටා සකස් කර ඇති විදුලි වැටවල් ද පෙරළා ගෙන, ඇතැම් විට විදුලිය ද වද්දා ගෙන, කටුකම්බි කකුලේ ඇන ගෙන, ජීවිතය ද අවදානමට ලක් කරමින් වගාවන් වෙත කඩා වදින්නේ විකුණන් කන්නට නොව හුදෙක් කුස පුරව ගන්නට නොවේදැයි සිතෙන විට අලි ගැන ඇති වන්නේ අනුකම්පාවකි. එහෙත්, එසේය කියා බුරුලක් දෙන්නට කෙසේවත් ගොවියන්ට නොහැක. 

අලි තම වගාවන් වෙත වැදුනොත් වෙන විනාශය උන් භුක්ති විඳින ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල වන නිසාත්, උන් හා මුහුණට මුහුණ හමු වුවහොත් ජීවිතය තොර කර ගන්නට සිදු වන නිසාත් මිනිසුන් අලි පැමිනීම වැළැක්වීමට සෑහෙන්න උපක්‍රම සහ සටනක් කරයි. අලින් ද ඒවා නොතකා කෙසේ හෝ වගාවන් වෙත කඩා වැද කුස පුරවා ගන්නට උත්සාහ කරයි.

මේ නිසා විදුලි වැට වැනි මානසික බාධක වෙනුවට ශක්තිමත් භෞතික බාධකයක් ගොඩ නොනැගෙනතාක් අලි මිනිස් අරගලය තවත් බොහෝ කලක් මෙලෙස පවතිනු ඇත. 

පහතින් මෙහි ඉතිරි ලිපිත් කියවන්න.

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 1 (
පලු ගසේ පැල මත රැයක්....)

මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 2 (
අලි මදිවට හරක්...)


මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 3 (
අලින්ට වැට...)


මිනිස් වාසයක් නැති අලි ගණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 4 (
මැදියම් රැයේ අලියෙකු සමග සටනක්.....)


අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව 5 (
යමින් ගමන් කැලෑ ගෙඩි කමු...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 6 (
මිනිසුන්ගේ ධෛර්යය අලින්ටම යට වෙලා යයි ද?)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව - 7 (මානව ශිෂ්ටාචාරයේ පදනම් සාධකය ජලයයි.....)

කිසිදු මිනිස් වාසයක් නැති අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 8 (අලින්ගෙ හයියට යට මිනිස්සු විතරක් නෙමෙයි...)


කිසිදු මිනිස් වාසයක් නැති, අලි ගහණ කැලෑ මායිමේ කුඹුරු කෙරුවාව- 9 (මාස තුනක මහන්සියේ කූටප්‍රාප්තිය....)