Showing posts with label කොරියාවෙන්_ලංකාවට_පාඩම්. Show all posts
Showing posts with label කොරියාවෙන්_ලංකාවට_පාඩම්. Show all posts

Tuesday, October 29, 2019

අන්ත දුගී දකුණු කොරියාව සංවර්ධිත ලෝකයට ගෙන ගිය "පක් චුන් හි", අප උගතයුතු පාඩම් සහ ගෝඨාභය


1948දී ඇමරිකානු හමුදා සහ සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයෙන් පිටත්ව ගිය පසු, 1950 ජුනි 25 වෙනිදා එතෙක් සෝවියට් හමුදා පාලනය යටතේ පැවති උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවා. වසර තුනක් පුරා ඇවිළුනු බිහිසුණු කොරියානු යුද්ධය අවසන් වුනේ කොරියානුවන් මිලියන 3 කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින්. එක්සත් ජාතීන්ගේ ධජය යටතේ  දකුණු කොරියාවේ සහයට පැමිණි රටවල් 21කින් යුත් හමුදා සේනාංකයේ 36 000කට අධික පිරිසක් ද මිය ගියා. තුවාලකරුවන් ලක්ෂ ගණනක්. දේපළ හානිය ගිනිය නොහැකි තරම්. 

යුද්ධයෙන් පසු රජයේ අයවැයෙන් 90%ක් රඳා පැවතුනේ විදේශ ණය මත. රටේ මිනිසුන්ගේ කුසගින්න පවා නිවා ගන්න සිදු වුනේ විදේශවලින් ආධාර වශයෙන් ලැබුණු ආහාරවලින්. ඒ කාලේ අපේ රටින් පවා දකුණු කොරියාවට සහල් යවා තිබෙනවා ආධාර වශයෙන්. 

‍රටේ ගොඩනැගෙමින් තිබූ අස්ථාවර දේශපාලන හා ආර්ථික තත්වය යටතේ රට අන්ත දුගී බවින් මිරිකිලා ඉන්න කොට තමයි පක් චුන් හි රටේ නායකයා වෙන්නෙ 1961 දී.

1962 ජනවාරි 13 ඔහු ආර්ථික සැලසුම් මණ්ඩලය පිහිටවලා, පස් අවුරුදු සැලැස්මක් හදනවා. මේ සැලැස්ම තමයි දකුණු කොරියාව ඉතා කෙටි කලකින් නව කාර්මික රටක් ලෙස දියුණු වෙන්න පදනම වුනේ. ආනයන මත රැඳි ආර්ථිකය වෙනුවට ඔහු නිෂ්පාදන ආර්ථිකයක් කෙමෙන් ගොඩනැගුවා. එතෙක් ආනයනය කළ භාණ්ඩ රට තුළම නිෂ්පාදනය කරන්න අවශ්‍ය  කටයුතු කළා. සහල් ආනයනය තහනම් කළා. පවුලේ ව්‍යාපාර වශයෙන් තිබුණු, අද ලෝකප්‍රකට සන්නාම වන "Hyundai,Samsung, Daewoo" වැනි සමූහ ව්‍යාපාර සඳහා රජයෙන් අවශ්‍ය  සවිය දුන්නා. 

"හන් ගඟේ ආශ්චර්යය" (Miracle on the Han River) කියන විරුද නාමය දකුණු කොරියාවට එකතු වුණෙත් ඔහුගේ මේ උපාය මාර්ගික ආර්ථික සැලසුම් නිසා.   
‍පළමු පස් අවුරුදු  සැලැස්ම ක්‍රියාත්මක කරන්න තිබුණු ලොකුම බාධාව වුනේ මුදල් නැතිකම. නමුත්, රජය සිදු කළේ ජර්මනියේ පතල්වල රැකියාවට ගොස් සිටි දකුණු කොරියානුවන් මව් රටට එවන මුදල් මේ මුල් සැලැස්ම සඳහා යොදා ගැනීම. ඉන්පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන්, ඇමරිකාවෙන් සහ ජපානයෙන් ණය ලබාගෙන ඔහු ආර්ථික සැලසුම් ක්‍රියාවට නැංවුවා. 

දැනුමින්-කුශලතාවෙන් සන්නද්ධ ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ආයෝජනය කළා. නැව් කර්මාන්තය, වානේ, යන්ත්‍රසූත්‍ර, ගල් අඟුරු, ඇඟලුම් වැනි ප්‍රධාන කර්මාන්ත අංශ කිහිපයක් සඳහා විශාල ලෙස මුදල් ආයෝජනය කළා. 
එම කාලයේදී, ඇඟලුම්වලින් ලොව විශාලතම අපනයනකරු වෙන්න කොරියාවට පුලුවන් උනා. 

1970 අප්‍රේල් මාසේ පක් චුන් හි, පෝහාන් වානේ නිෂ්පාදන කම්හල (POSCO) පටන් ගත්තා. මෙය තාක්ෂණය සහ අනෙකුත් සම්පත් විශාල වශයෙන් යොදා ගත යුතු දැවැන්ත ව්‍යාපෘතියක්. ව්‍යාපෘතියෙ සාර්ථකත්වය පිළිබඳ අවිනිශ්චිතතාව නිසා IBRD ජාත්‍යන්තර බැංකුව කොරියාවට උපදෙස් දුන්නෙ මේ සඳහා මුදල් නොයොදවන ලෙස. අභියෝග ජයගනිමින්, 1973 දි මෙම කම්හල වානේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අද ලෝකයේ වානේ නිෂ්පාදනය කරන පළමු රටවල් 5 අතර කොරියාව. 

වානේ නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමග වානේ ආශ්‍රිතව නිෂ්පාදන සිදු කරන නැව්, රථවාහන, යන්ත්‍රසූත්‍ර, විදුලි උපකරණ වැනි කර්මාන්ත අංශවල විශාල දියුණුවක් ඇති වුනා. 

ජනපති පක් චුන් හි විසින් 1970 අප්‍රේල් 22 දියත් කරපු නව ප්‍රජා ව්‍යාපාරය මගින් කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමටත්, මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමට පටන් ගත්තා. 

1973 ඔක්තෝබර් මාසෙ ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් කිහිපයක් අතර ඇති වුනු යුද්ධයේදී තෙල් හිඟය නිසා නව කාර්මික රටක් ලෙස ගොඩනැගෙමින් තිබුණු කොරියාවට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනා. නමුත්, එය වාසියක් කරගත් දකුණු කොරියාව මැදපෙරදිග රටවල් වෙත තම ශ්‍රමිකයන් සහ ඉදිකිරීම් සමාගම් යවමින් ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයට අත ගැහුවා. වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 10ක ආදායමක් දකුණු කොරියාවට ලැබුණා.

1979 තෙක් වසර 20 කට ආසන්න කාලයක් රට පාලනය කරපු පක් චුන් හි තමයි කොරියානු සංවර්ධනයේ පියා. 

ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය අඩු, ටිකක් දරදඬු පාලනයක් වශයෙන් ඇතැමුන් විවේචනය කරාට, ඔහු තමයි කොරියාවේ වත්මන් දියුණුවේ පෙරගමන්කරු. රටේ දියුණුව වෙනුවෙන් අභියෝග බාරගත්, කෙලින් තීන්දු තීරණ ගත් නායකයෙක්.

"මේ රටට අනාගතයක් නෑ. වසර සියයක් ගත වුවත්, මේ රට යළි ගොඩ නැගිය නොහැකි වේවි."  -ඩග්ලස් මැක් ආතර් ( කොරියානු යුද්ධයේදී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙය වූ ඇමරිකානු හමුදා ප්‍රධානියා )

("This country has no future. This country will not be restored even after 100 years" - Douglas Mac Arthur who led UN forces command in Korean war) 

‍මේ 2019 අවුරුද්ද. වසර 70කට පමණ පස්සෙ අද කොරියාව ලොව 12 වෙනි විශාලතම ආර්ථිකයේ හිමිකරු. කොරියානු ආශ්චර්යයට අත්තිවාරම සැපයූ ප්‍රධාන සාධක 04යි.

1. ජනතාව උද්යෝගිමත් කිරීම (1960දී බීමත්කම-කම්මැලිකම)
2. ස්ථාවර හා දුරදක්නා දේශපාලන නායකත්වය
3. අංශ කිහිපයක කර්මාන්ත සඳහා ඉලක්කගතව වැඩ කිරීම
4. යටිතල පහසුකම් සංවර්ධනය

අපේ රටත් භූගෝලීය පිහිටීමේ වාසිය ගනිමින් වරාය -ගුවන් සේවා-සංචාරක වැනි සේවා අංශවල දියුණුවක් වගේම, පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ලුණු -සීනි-ටින් මාලු වැනි අපේ රටේ නිපදවිය හැකි- එහෙත් දැනට ආනයනය කරන දේවල්වලින් පටන් ගෙන අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න අවශ්‍යයි. රජයෙන් අවශ්‍ය සහය දෙමින්, අපේ රටේ තිබෙන ප්‍රධාන සමූහ ව්‍යාපාර මෙවැනි ව්‍යාපෘති සඳහා සම්බන්ධ කරගත යුතුයි. ඒ වගේම, සාම්ප්‍රදායික ගොවිතැන වෙනුවට තාක්ෂණික කෘෂිකර්මාන්තය. දැනුමින් සන්නද්ධ ශ්‍රම බලකායක්. 

මේ සියල්ල වෙනුවෙන් අද අවශ්‍යතාව ජනතාව විසින් තෝරාගන්නා දුරදක්නා දේශපාලන නායකත්වයක්. ඉන්පසුව ඔහුට අවශ්‍යයි හොඳ කණ්ඩායමක්. එවැනි නායකත්වයක් සැපයිය හැකි පුද්ගලයන් අනෙකුත් දේශපාලන වේදිකා මත සිටින්නටත් පුලුවන්. එහෙත්, දැනට සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් එවැනි නායකත්වයක් පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.

-දමයන්ත-

රටට ජය!

Wednesday, January 23, 2019

යෝගට් කප් එකේ සිට පොලිතින් උරය දක්වා ප්‍රතිචක්‍රීයකරණය කරන දකුණු කොරියාව~~


දකුණු කොරියාව යනු ඉතා සංවිධිත අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන රටක්. ලොව දෙවෙනි විශාලතම නගරය වන සහ මිලියන 50ක් වූ කොරියානු ජනගහණයෙන් හරි අඩක් ජීවත් වන, ඉතා ජනාකීර්ණ සොවුල් අගනුවරින් පමණක් බැහැරළන ටොන් ගණනක අපද්‍රව්‍යවලින් තුනෙන් දෙකක් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. නමුත්, එය කොරියානු මහපොළොවේ අද යථාර්ථයක්.  

විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී, කොරියානු පරිසර අමාත්‍යංශය විසින් සම්මත කර ඇති කසළ වර්ගීකරණ ප්‍රතිපත්තියට අනුව ආහාරමය අපද්‍රව්‍ය (음식물 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ආහාරමය නොවන අපද්‍රව්‍ය (일반 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය (재활용  쓰레기) සහ විශාල භාණ්ඩ වශයෙන් ඉවතළනදෑ වෙන් වෙන්ව  වර්ග කර බැහැර කිරීම ජනතාවට අනිවාර්ය කර තිබෙනවා. එසේ  කිරීමට අපොහොසත් වීම දඩුවම් ලැබිය හැකි වරදක් පමණක් නොවෙයි, එවැනි අය පිළිබඳව දැනුම් දුන්නොත් රජයෙන් මූල්‍ය ත්‍යාග පවා ලබාගත හැකියි. නමුත්, එලෙස දඩ කාපු කොරියානුවෙක් නම් සොයා ගත නොහැකි තරමට අතිශය විරලයි. 

සාමාන්‍යයෙන්, දකුණු කොරියාවේ කසළ රැගෙන යාම සඳහා ඍජුව ගාස්තු අයකිරීමක් කෙරෙන්නෙ නෑ. ඒ සඳහා ‍යොදා ගන්නේ 1995 වසරේදී හඳුන්වා දුන් පරිමා පාදක ගාස්තු ක්‍රමය (volume based fee system). එනම්, තමන් ඉවතළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතුයි කියන සරළ සිද්ධාන්තය. 

ඒ අනුව, ජනතාව තමන් ඉවතළන කසළ බහාලිය යුත්තේ ලීටර් 5,10,20, 50, 100 ආදී වශයෙන් තමන්ට අවශ්‍ය පරිමාව අනුව සාමාන්‍යයෙන් සුපිරිවෙළඳසැල්වලින් පහසුවෙන් මිලදී ගත හැකි, එක් එක් දිස්ත්‍රීක්කයට සුවිශේෂීව හඳුන්වා දී ඇති සහ එක් එක් කසළ වර්ගයට නියමිත වර්ණයෙන් යුත් පොලිතින් බෑග්වල. කසළ එකතු කරනු ලබන්නන් එම ප්‍රමිතියට අනුකූල නොවන බෑග් සහ තමන්ට අදාළ නොවන වෙනත් දිස්ත්‍රීනක්කයකට අයත් කසළ බෑග් රැගෙන යන්නෙ නැහැ.

ආහාරමය අපද්‍රව්‍ය බහාළනු ලබන ප්ලාස්ටික් බඳුන් සඳහා නියමිත ටැග් මිලට ගෙන ඇමිණිය යුතුයි. බයිසිකල්, කබඩ්, රූපවාහිනී වැනි විශාල භාණ්ඩ ඉවතළෑමේදී දිස්ත්‍රීක්ක කාර්යාල මගින් මිලදී ගත් ස්ටිකර් අලවා, රැගෙන යායුතු කසළ තබන පොදු ස්ථානයක තැබිය යුතුයි.



සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ කසළ රැගෙන යනු ලබන්නේ රාත්‍රී 7ත් පාන්දර 5ත් අතර. එනිසා නියමිත දිනයේ එම කාල සීමාව තුළ පමණක් කසළ නිවසින් පිටත තැබිය යුතු වෙනවා. අවේලාවේ කසළ පිටතින් තැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. 



මෙලෙස රැගෙන යන කසළ අතරින්, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සියලුම ද්‍රව්‍ය එනම්, ප්ලාස්ටික් බෝතල්-යෝගට් කප්-බාස්කට් ඇතුළු සියලුම ප්ලාස්ටික් වර්ග, ඇලුමීනියම්- ටින්- තඹ වයර් ආදී සියළුම ලෝහමය ද්‍රව්‍ය, බ්ලෙන්ඩර්- ප්‍රින්ටර් වැනි සියලුම විදුලි උපාංග, වීදුරු බෝතල්, කඩදාසි නිෂ්පාදන, ඍජුෆෝම් ආදී සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි භාණ්ඩ කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබනවා. එහිදී, ඒවා තෝරා වර්ගීකරණය කර, ප්‍රෙස් මැෂින් මගින් කුට්ටි කර, යළි පිරිසිදු අමුද්‍රව්‍ය නිපදවනු ලබන ආයතන වෙත අලෙවි කරනු ලබනවා. 


ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියේ පහසුව පිණිස දකුණු කොරියාවේ නිෂ්පාදිත සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළහැකි භාණ්ඩවල ප්‍රතිචක්‍රීයකරණ සළකුණ මැද එම භාණ්ඩය නිෂ්පාදිත අමුද්‍රව්‍යය සටහන් කිරීම අනිවාර්යයි. නිදසුනක් ලෙස සියලුම ප්ලාස්ටික් භාණ්ඩවල PP,HDPE,PS, PET වශයෙන් ඊට අදාළ ප්ලාස්ටික් අමුද්‍රව්‍යයේ නම සටහන් කර තිබෙනු දකින්න පුලුවන්. මෙලෙස දිනකට මෙවැනි ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයකට රැගෙන එනු ලබන කසළ ප්‍රමාණය ටොන් ගණනක්. 

දිනකට එක්රැස්වන ටොන් ගණනක පොලිතින් ප්‍රතිචක්‍රීයකරණය කරන්නෙත් මෙලෙසින්මයි. 

මෙලෙස කසළ තේරීමේදී ඉවතළන සහ ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය වෙනම කුට්ටි කර දහනය කර විදුලිය නිපදවන මධ්‍යස්ථාන වෙත සහ භූමිය ගොඩකිරීම් සඳහා සපයනු ලබනවා. කොරියාවේ ඉවත ලනු ලබන ආහාරමය අපද්‍රව්‍යවලින් සත්ව ආහාර සඳහා සාමාන්‍යයෙන් ගොවිපොළවල් වෙත රැගෙන යන්නේ 10%ක් පමණ. ඉතිරි සියල්ල දහනය කර බලශක්තිය නිපදවන කර්මාන්තශාලා වෙත හෝ පොහොර නිපදවීම සඳහා යොමු කෙරෙනවා. ප්‍රතිචක්‍රීය කළ නොහැකි ආහාරමය නොවන ද්‍රව්‍යත් බොහෝ විට යොමු කෙරෙන්නේ දහනය කරන මධ්‍යස්ථාන වෙත. 

සොවුල් අගනුවර පිහිටි නුවොන් දහන මධ්‍යස්ථානයට කොරියාවේ දිස්ක්‍රීක්ක 25 අතරින් 6කින්ම එන ටොන් ගණනක අපද්‍රව්‍ය බලශක්තිය නිපදවීම සඳහා දහනය කෙරෙනවා. අපද්‍රව්‍ය දහනය කළ පසු දහයෙන් පංගුවක් පමණයි සාමාන්‍යයෙන් ඉතිරි වන්නෙ. එලෙස ඉතිරි වන අළු පොළොව ගොඩකිරීම් සඳහා යොදා ගනු ලබනවා. 

පරිමා පාදක ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර, 1985 වසරේදී කොරියාවේ ඒක පුද්ගල කසළ ඉවතළන ප්‍රමාණය රාත්තල් 4.85ක්. නමුත්, 1995දී එම ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම ප්‍රමාණය රාත්තල් 4.43 දක්වා අඩු වී තිබෙනවා. 2010 වන විට එම ප්‍රමාණය රාත්තල් 2.11 දක්වා ක්‍රමිකව අඩු වී තිබෙනවා. මොකද, ජනතාව දන්නවා තමන් බැහැරළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතු බව.  

කැළිකසළින් තොර ඉතා පිරිසිදු අලංකාර නගර, සුපිරිසිදු දුම්රියහල්-බස්නැවතුම් වැනි පොදු ස්ථාන, දෙපස එක පෙළට සිටුවන ලද ගස් පේළි සහිත ක්‍රමවත් මං මාවත්, ඉතා ජනාකීර්ණ නගරවල පවා තැන තැන පිහිටුවා ඇති කසළින් තොර පරිසර උද්‍යාන ආදී නෙත් ඇදගන්නා බොහෝදෑ පිටුපස පදනම තමයි, මුල සිට අග දක්වා ඉතා සංවිධිත වූ දකුණු කොරියානු කසළ කළමනාකරණ ක්‍රමය.

දැනට ඉවතළන කසළවලින් 80%ක් වන කසළ ප්‍රතිචක්‍රීයකරණ අගය 2020 වන විට 87% දක්වා වැඩි කිරීම කොරියානු රජයේ ඉලක්කයයි. 

අහස උසට කුණු කඳු ගොඩ ගසනා, ඒවාට යටවී ඔහේ මිනිසුන්ට මියැදීමට ඉඩසළසන ශ්‍රී ලංකාවේ අපි මෙවැනි දියුණු රටවල්වලින් දැන්වත් පාඩම් උගත යුතු නොවේ ද?

        --දමයන්ත--