Sunday, September 8, 2019

මාතර කියන්නෙ මට මතක ගොඩක්...


මාතර ..... කියනකොටම මතක් වෙන්නේ  අපේ  අම්මගේ තාත්තගේ මහගෙවල්. අපේ දෙමව්පියො හැදුනු - අපේ ආත්තම්මලා- සීයලා ජීවත් වුණු, අපි පුංචිකාලෙ අවුරුද්දකට කීපසැරයක්ම ආවගියපු මහගෙවල්. එහෙම ආවගියාම ඔවුන්ගෙ ආදරයත් එක්ක ගෙවුණු දවස් සුන්දර මතකයන් විදිහට තාමත් අපේ හිත්වල තියෙනවා. අම්මගෙයි තාත්තගෙයි මහගෙවල්වල ආවම පළතුරු කාලෙට වෙරළු අහුලන්න යන්න- ජම්බු, රඹුටන්, කජුපුහුලන් කඩන්න යන්න අපිට පුදුම ආශාවක් තිබුනෙ. 

ඉස්සර බෙලිඅත්තෙන් බැහැලා, ගැටමාන්න හරහා කිරින්ද පුහුල්වැල්ලට යන බස් එකට නැගලා, වංගු පහුකරන් පැයක විතර ගමනකින් පස්සෙ කරයල් කනත්ත පන්සල් හන්දියෙන් තමයි අපි බහින්නෙ. ඉස්සර එතන තිබුනෙ බාබර් සැලුන් එකයි සිල්ලර කඩේකුයි විතරයි. සීනි තේකොළ බිස්කට් එහෙම අරගෙන, ගෙදරින් අරන් ආපු බඩු මලුත් උස්සගෙන ඉස්සෙල්ලම යන්නෙ තාත්තගෙ මහගෙදර. පයින් විනාඩි දහයක විතර ගමනක්.  කඳුපාර දිගේ ඇවිත්, මහ ගෙදර කිට්ටුවට එනකොටම ඉස්සෙල්ලම අපිව පිළිගන්න එන්නෙ නැට්ට වනාගෙන, මුහුණෙ සතුටු-සිනහ පුරෝගත්ත බලු ගෙඩියා. උඩුබිරුම් තියලා- ඉස්සෙල්ලම ආත්තම්මටයි සීයටයි අපි එන පණිවිඩේ දෙන්නෙ ඌ. අපිව දැක්කම ආත්තම්මටයි සීයටයි පුදුම සතුටක්. අද වගේ කල් තියා දැනුම් දීලා එන්න, එනගමනුත් සැරින් සැරේ කතාකර කර එන්න ඒ කාලෙ දුරකතන තිබුනෙ නෑ.  ආදරණීයයන් කාලෙකට පස්සෙ අනපේක්ෂිතව හමුවුනාම සතුට කොහොමත් වැඩියි. 

  අපේ ආත්තම්මා ආදරයේ උල්පතක්. සත්තුන්ට පවා ආදරය කරුණාව දක්වපු කෙනෙක්.  කෑම උයලා ගෙදර අය කෑම ගන්න කලින් ගෙදර හිටපු බල්ලටයි පූසන්ටයි කෑම දෙන එක ආත්තම්මගෙ පුරුද්දක්. කුරුල්ලන්ට කෑම දාන්න වෙනම ලෑල්ලක් ගහක සවි කරලා තිබුණා.  ආත්තම්මා මියැදුණාට පස්සෙ, අපේ සීයා මානසිකව වැටුනා. හරියට කෑමක් ගත්තෙවත් නෑ. එහෙම තමයි ආදරෙන් එකට ජීවිතේ බෙදාගත්තු අය. සමහරු දරාගන්නවා- සමහරුන්ට අමාරුයි.  හරියටම ආත්තම්මගෙ තුන්මාසෙ දානෙ දවසෙම සීයත් නැතිවුනා. ආත්තම්ම අන්තිම කාලෙ වෙද්දි ටිකක් අසනීපව හිටියෙ. ඒ කාලෙම ආත්තම්මට මාව බලන්න ඕන වුනා. ආත්තම්ම මගේ අතින් අල්ලගෙන මොනවදෝ කිව්වා. ඇස්වල කඳුලු. ඒ වෙනකොට ආත්තම්මගෙ කටහඬ තේරුම් ගන්න තරම් පැහැදිළි මට්ටමක තිබුණෙ නෑ. ආත්තම්මයි සීයයි නැතිවුනාට පස්සෙ, අපි ඉස්සර තරම් මාතර මහගෙවල් පැත්තෙ යැවුනෙ නෑ. අපේ අම්මගෙ පැත්තෙන් ආත්තම්මයි සීයයි පවා අන්තිම කාලෙ හිටියෙ අපේ ගෙදර. අපේ අම්ම තමයි සැළකුවේ. අපේ අම්මගෙ මහගෙවල් තිබුණෙත් අපේ තාත්තගෙ මහගෙවල්වල ඉඳන් මහලොකු දුරක නෙමෙයි. පන්සල දෙපැත්තෙ කඳු දෙකේ තමයි මහගෙවල් දෙකම තිබුනෙ. අම්මගෙ මහගෙවල් නම් අද ගරාවැටිලා. කවුරුත් නෑ.


පවුලෙ වැඩිමලුන් වුණු අපේ තාත්තවයි අම්මවයි බලන්න- තාත්තගෙයි අම්මගෙයි නංගිලා මල්ලිලා අපේ ගෙදර එන එක තමයි දැන් වෙන්නෙ. 

 කාලය ගෙවිලා- අපිත් දැන් වැඩිහිටියො වෙලා ටිකක් මුහුකුරාගෙන එනකොට, මහපොළොවත් එක්ක හැප්පිලා- අපිව උස්මහත් කරපු, අනුන්ගෙ දේ කඩාවඩා ගන්නැතුව තමන්ගෙ මහන්සියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා කියලා අපිට ජීවිතේ කියලා දුන්නු,  අරක්කුවත් සිගරට්වත් කටේ නොතියපු- අදටත් කටේ නොතියන අපේ තාත්තා, අපිට විතරක් නෙමෙයි ගෙදර සතාසිව්පාවටත් ආදරේ සෙනෙහස දක්වන අපේ අම්මා අද ටිකින් ටික වයසට ගිහින්, අද දරුමුනුබුරන්ගෙ හුරතල් බලනවා . ජීවිතේ ස්වභාවය ඕක තමයි.  එක් පරපුරක් මියැදෙමින් ඉන්න කොට, අලුත් පරපුරක් ඉපිදෙන-වැඩෙන එක. එක් තුරු-ලතා පරපුරක් මියැදෙමින් තියෙන කොට, ඒ මතින් අලුත් තුරු ලතා පරපුරක් ඉපිදෙන - වැඩෙන එක. 

Friday, September 6, 2019

~~ඇමරිකාවේ තනි අභිමතයට ඇති කළ තාවකාලික භූගෝලීය රේඛාවක් නිසා දෙකඩ වුනු කොරියාව~~

වර්ෂ 1939 ඇරඹි දෙවන ලෝක යුද්ධය 1945 අගෝස්තු වන විට යම් තීරණාත්මක අවසානයක් කරා ළඟා වෙමින් තිබුණා. ඒ ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය, බ්‍රිතාන්‍යය ඇතුළු මිත්‍ර රටවල් (Allied Forces) හමුවේ ජර්මනිය, ජපානය සහ ඉතාලිය යන අක්ෂයේ බලවතුන් (Powers of the Axis) ලෙසින් හැඳින්වූ රටවල් ත්‍රිත්වය පරාජයට පත්වෙන පසුබිමක් තුළ. ‍

ලෝක යුද්ධයේ අවසානය තවත් වේගවත් කරමින්, 1945 අගෝස්තු 06 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා නගරයට පරමාණු බෝම්බයක් හෙළනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් දින දෙකකට පසුව එනම්, අගෝස්තු 08වෙනිදා සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසට පිවිස, ජපන් හමුදාව සමග සටනට එළඹුනා. ක්‍රි.ව. 1910 සිටම මුළු කොරියානු අර්ධද්වීපයම පැවතුනේ ජපන් අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙසින්.

1945 අගෝස්තු 09 වෙනිදා ජපානයේ නාගසාකි නගරයට ඇමරිකාව හෙළන ලද පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු, මිත්‍ර රටවල් හමුවේ තම රට යටත් වන බව ජපානය නිවේදනය කළා.

ඒ වන විටත්, කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසට ඇතුළු වී සිටි සෝවියට් හමුදා මුළු කොරියානු අර්ධද්වීපයම තමන් යටතට නතු කර ගනු ඇතැයි සැක පහළ කළ ඇමරිකාව, හදිසියේම ඩීන් රස්ක් සහ චාල්ස් බෝන්ස්ටීල් යන ඇමරිකානු හමුදා කර්නල්වරුන් දෙදෙනා කැඳවා ඔවුන්ට විනාඩි 30ක කාලයක් ලබා දී, කොරියානු භූමිය තුළ ඇමරිකානු පාලනයට නතු කර ගත යුතු ප්‍රදේශය නිර්ණය කිරීමට බාර දුන්නා.

ඒ අනුව, ඔවුන් කොරියන් අර්ධද්වීපය මැදින් වැටී තිබූ 38 වන අක්ෂාංශ රේඛාවෙන් දකුණු කොටස ඇමරිකානු පාලනයට අයත් වන ලෙසත්, උතුරු කොටස සෝවියට් පාලනයට අයත් වන ලෙසත් කොරියාව දළ වශයෙන් දෙකට බෙදනු ලැබුවා. මෙහිදී, කොරියාවේ සොවුල් අගනුවර ඇමරිකානු කොටසට අයත් වන ලෙස බෙදීමට ඔවුන් වග බලා ගත්තා. මෙලෙස සීමා නිර්ණය කරන මොහොත වන විට, එකදු හෝ ඇමරිකානු හමුදා භටයෙකු කොරියානු භූමිය තුළ නොසිටියත්, වහා තම භට කණ්ඩායම් කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසට පිටත් කර යැවීමට ඇමරිකාව කටයුතු කළා.

ඒ අනුව, කොරියාවේ උතුරු කොටසේ සිටි ජපන් හමුදා කණ්ඩායම් සෝවියට් හමුදාවටත්, දකුණු කොටසේ සිටි ජපන් හමුදා කණ්ඩායම් ඇමරිකන් හමුදාවටත් යටත් වුනා. මෙලෙස කොරියාව තුළ 35 වසරක ජපන් පාලනය අවසන් කිරීමෙන් පසු, මුළු කොරියාවම ආවරණය වන පරිදි මහ මැතිවරණයක් පවත්වා යළි ඒකීය කොරියාවක් ගොඩනැගීම කොරියාවේ සිටි ඇමරිකානු පරිපාලකයන්ගේත්, සෝවියට් පරිපාලකයන්ගේත් මුල සිටම පැවති අදහස වුවත්, එය ඉටුවුනේ නැහැ. ඇමරිකාවට අවශ්‍ය වුනේ මුළු කොරියාව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී පාලනයක් ඇති කිරීම. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සෝවියට් රුසියාවට අවශ්‍ය වුනේ මුළු කොරියාව පුරා සමාජවාදී පාලනයක් ස්ථාපිත වනු දැකීම.

මෙසේ දීපව්‍යාප්ත මහ මැතිවරණයකට දෙපාර්ශවයම එකඟතාවයට නොඑන තත්වයක් තුළ, දකුණු කොරියාවේ ජනපතිවරයා වශයෙන් කොමියුනිස්ට් විරෝධියෙකු වූ සිංමන් රී තේරී පත් වුනා. මේ අතර, යුද සමය තුළ සෝවියට් රතු හමුදාවේ මේජර්වරයෙකු ලෙස ද සේවය කර තිබූ කොමියුනිස්ට්වාදියෙකු වූ කිම් ඉල් සන් උතුරු කොරියාවේ නායකයා ලෙස පත් කිරීමට සෝවියට් රුසියාව කටයුතු කළා. මෙම නව නායකයන් දෙදෙනාටම කොරියාව යළි එක්සේසත් කිරීමට අවශ්‍ය වුනත්, ඔවුන්ගේ එකිනෙකට එදිරි දේශපාලන දර්ශනය ඊට ඉඩ ලබා දුන්නෙ නැහැ.

ඉතිහාසය පුරාවට තනි රටක් ලෙස පැවති කොරියාව මෙසේ දෙකඩ කර, 1948දී ඇමරිකානු හමුදා සහ සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයෙන් පිටත්ව ගියා.

දෙපාර්ශවයේම හමුදා පිටත්ව යාමෙන් වසර දෙකකට පසුව, එනම් 1950 ජුනි 25 වෙනිදා දකුණු කොරියාව ආක්‍රමණය කර කොමියුනිස්ට් පාලනයක් යටතේ කොරියාව එක්සේසත් කිරීමට උතුරු කොරියානු නායක කිම් ඉල් සන් උත්සාහ කළා. යුද්ධය ඇරඹී තෙමසක් පමණ ගත වන විට, සොවුල් අගනුවර ඇතුළු මුළු දකුණු කොරියානු භූමියම පාහේ උතුරු කොරියානු හමුදාව යටතට පත් වුවත්, ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදාවන්ගේ සහය දකුණු කොරියානු හමුදාවට ලැබීමත් සමග උතුරු කොරියාවට යළි පසුබහින්නට සිදු වුනා.

මිලියන තුනකට අධික කොරියානුවන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කරමින්, 1950 සිට 1953 දක්වා වසර තුනක් පුරාවට දිග්ගැසුණු මෙම යුද්ධයෙන් පසු, උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරුණු 38 වන අක්ෂාංශ රේඛාව ඔස්සේ කි.මී.4 ක පළලින් යුත් දැඩි ආරක්ෂිත යුද මුක්ත කලාපයක් පිහිටුවීමට කටයුතු කෙරුණා.

පසුකාලීනව, කොරියාව එක්සේසත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව කිහිප විටක්ම උත්සාහ කළත්, ඒ කිසිදු උත්සාහයක් හෝ සාර්ථක වූයේ නැහැ.

කිසිදු කොරියානුවෙකුගේ හෝ අදහස් විමසීමකින් තොරව ලෝක බලවතුන්ගේ තනි අභිමතයට ඇති කළ භූගෝලීය රේඛාවක්, ඉතිහාසය පුරාවට එකම රටක, එකම භාෂාවක, එකම සංස්කෘතියක උරුමය විඳගත් එකම ජනකොට්ඨාසයක මිනිසුන්ගේ හදවත් දෙපළු කරමින්, එකිනෙකට එදිරිව දෙරටක් නිර්මාණය වුනු ආකාරය සැබවින්ම ඛේදජනකයි.






සටහන-දමයන්ත මුණසිංහ

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ලොවට ආදර්ශ සපයන අයිස්ලන්තය






(World Economic Forum 2018 වාර්තාවට අනුව ලොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ඉහළින්ම සිටින්නේ අයිස්ලන්තයයි. ශ්‍රී ලංකාව 100 වන තැනය.  

අයිස්ලන්තයේ මේ සඳහා පදනම වැටුනේ අයිස්ලන්ත කාන්තාවන්ගෙන් 90%ක් පමණ රැකියාවලින් පමණක් නොව ගෙදරදොර කටයුතුවලින් ද ඉවත් වී 1975 ඔක්තෝබර් 24 දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරය සමගිනි. එ් සමග පිරිමින්ට තම දරුවන් තමන් සමග සේවා ස්ථානයට පවා රැගෙන යාමට සිදු වූ බව කියති. එසේ අරගල මතින් ලබා ගත් ජයග්‍රහණ ක්‍රමිකව වර්ධනය වී අද වන විට කාන්තාවන්ගෙන් 80%ක් ශ්‍රම බලකායේය. දරුවන් රැකබලා ගැනීමේ කටයුතුවලදී පවා මව-පියා එකසේ වගකීම් ඉටු කරන තැනට පත්ව තිබේ) 


කිසිසේත්ම පිරිමියා ගැහැණියටත් ගැහැනිය පිරිමියාටත් යටත් විය යුතු නැත. විවාහ ජීවිතය වුව ද, අන්‍යොන්‍ය විශ්වාසය, ගෞරවය සහ සහයෝගය මත ගෙවන දිවියක් විනා පිරිමියාගේ ආධිපත්‍යයට යට විය යුතු කරුමයක් නොවේ.


https://www.sbs.com.au/topics/life/culture/article/2018/11/27/what-can-iceland-teach-us-about-gender-equality