Wednesday, December 31, 2014

කාලය පඩයක් වැනිය

.
වසරක නිමාව මතින් නව වසරක ඇරඹුමක් සනිටුහන් කරන දිනය උදාවී ඇත. දින-සති -මාස ගෙවී අපට නොදැනීම කාලය සිය සුපුරුදු වේගයෙන් ගෙවී ගොස් ඇත. මේ මොහොත තුළත් ගෙවී යමින් ඇත.  

කාලය විසින් වර්තමානය අතීතය වෙත ද, අනාගතය වර්තමානය වෙත ද පමුණුවමින් සිටියි. මෙය එකිනෙකට ආබද්ධ, අනුගාමී සිදුවීම් දාමයක් ලෙස නිරතුරුව සිදු වෙමින් පවතියි. 

කාලයත් සමග අපේ ගත-සිත පමණක් නොව පෙනෙන- නොපෙනෙන භෞතික ලෝකය ද වෙනස් වෙමින් යයි. එහෙත් අපගේ අනවධානය නිසා හෝ අපගේ ඉඳුරන් ඒ වෙනස ග්‍රහණය කර ගැනීමට තරම් ප්‍රබල නොවන නිසා හෝ අපට ඒ ක්ෂණයක් පාසා සිදු වන අඛණ්ඩ වූත්, සූක්ෂම වූත් වෙනස නොපෙනෙයි. නොදැනෙයි. අපට පෙනෙන්නේ-අපට දැනෙන්නේ එවැනි අඛණ්ඩ වූත්, සූක්ෂම වූත් වෙනස්වීම් සමුදායක් යම් කැපී පෙනෙන මට්ටමකට ළඟා වූ විටය. නිදසුනක් ලෙස ඇසට නොපෙනෙන තරමේ කලලයක් ලෙස මව්කුස පිළිසිඳගත් දා පටන් අපගේ දිවියේ ගත වන සෑම මොහොතක් තුළම අප මුහුකුරා යමින් සිට ඇත්තෙමු. කොටින්ම දිරාපත් වෙමින් සිට ඇත්තෙමු. එහෙත් ඒ දිරාපත් වීම අපට පෙනෙන්නේ මැදි වයස පන්නා, ශාරීරික දුබලතා සමග අඟපසඟ පෙර සේ වැඩ නොකරන විටය. ගණව වැඩුණු කෙස් කළඹ-රෝම කූප සුදු පැහැ ගැන්වෙන විටය.  හම රැළි වැටෙන විටය.

අභාවය හුදු අභාවයක්ම නොවී ඒ මතින් නව පරපුරක-නව උරුමයක උපත ඇති කරයි. ලොව අනාදිමත් කාලයක පටන් සිදුව ඇති සහ සිදුවෙමින් පවතින අනවරත වූ ක්‍රියාවලිය මෙයයි.  

යමක් හටගත් මොහොතේ පටන් අපා-දෙපා-සිව්පා-බහුපා-අජීවි-සජීවි සියල්ලටම පොදු වූ විපරිණාමයේ ධර්මතාව ද මෙයයි. එක් පරපුරක් මියැදෙමින් සිටින විට නව පරපුරක් ඉපිදෙමින්-වැඩෙමින් ඇත. එක් තුරු-ලතා පරපුරක් මියැදෙමින් සිටින විට ඒ මතින් නව තුරු ලතා පරපුරක් ඉපිදෙමින්-වැඩෙමින් ඇත. මානවයා විසින් දිනෙන් දින ගොඩනගන දැනුම මතින් නව දැනුම ගොඩනැගෙමින් ඇත. නව දැනුම් ක්ෂේත්‍රයන් බිහි වෙමින් ඇත. ඒ නව දැනුම ඔස්සේ මානව චින්තනයේ නිම්වළළු පුළුල් වෙමින් ඇත.  

අප මේ ගෙවන්නේ එවන් අඛණ්ඩ වූ මහා වෙනස්වීම් සමුදායක එක් නිමේෂයක් පමණි. 

අතීතය ඉක්ම ගොස් ඇතත් ඒ මතින් උගත යුතු පාඩම් බොහෝ ඇත. ඒ අන් කිසිවකට නොව මේ ගෙවෙන නිමේෂය-එනම් වර්තමානය නිවැරැදි මග ඔස්සේ ගමන් කරවීමටය. අතීතයෙන් පාඩම් උගත්තෝ දවල් වැටුනු වළේ රෑ නොවැටෙන්නෝ වන්නේ එ් නිසාය. ජීවිතය දිනන්නෝ ද ඔවුහුය.

සැබවින්ම අප අතීතයේ බොහෝ දෑ ද, අනාගතයේ බොහෝ දෑ ද නුහුළනු බැරි තරම් හිස මත තබා, ජීවත් වෙමින් සිටින්නෙමු. අතීතය අපට ආලෝකයක් සපයනමුත්, අප ජීවත් විය යුත්තේ අතීතයේ නොවේ. අනාගතය අපට සුවහසක් බලාපොරොත්තු ලබා දෙනමුත්,  අප ජීවත් විය යුත්තේ අනාගතයේ ද නොවේ. අප ජීවත් විය යුත්තේ මේ ගෙවෙන මොහොත-මේ ගෙවෙන නිමේෂය එනම් වර්තමානය තුළය. එවිට අපට අනාගතය ගැන වදවෙන්නට දෙයක් නැත. මන්ද අතීතයේ ආලෝකය වර්තමානයට ලැබෙන්නා සේම වර්තමානයේ ආලෝකය ද  අනාගතයට ලැබෙන නිසාය. 

ඔබේ ජීවිතයේ සුක්කානම ඇත්තේ කා අතවත් නොව ඔබ අතය. පසුනොතැවෙන තීරණ සමගින් ජය-සතුට පිරි දිශාවට ඔබේ ජීවිතය පදවා ගෙන යාමේ වගකීම ඇත්තේ ඔබට මිස අන් කිසිවෙකුටත් නොවේ. 

''කාලය පඩයක් වැනිය- ගියොත් ගියාමය.''

සරළ වූ මේ කියමනේ ඉමහත් වටිනාකම අද වැනි දවසකට වඩාත් ගැළපෙන්නේ ඒ නිසාය.  

නව වසරට පියමනින ඔබට ජයෙන් ජය!

Monday, December 15, 2014

මේ පික්පොකට්කාරයන්ගේ ද සීසන් එකයි

දිනය - 2014 දෙසැම්බර් 15 එනම් මෙය ලියන දින
වේලාව - පෙ.ව 7-30
ස්ථානය- විජේරාම හන්දිය (ජපුර සරසවි බස් නැවතුම)

  
කොටුවෙන් ගමන් ඇරඹි බස් රථය, කෙමෙන් නුගේගොඩට සේන්දු විය. මහරගම ගමනාන්තය කරගත් බස්රථයක් වූ මෙයින් ඇතැම් මගීන් බැසගිය අතර ඇතැමෙක් බසයට ගොඩ වුනහ. බස් රථයට ගොඩ වූ පිරිස අතර සරසවි සිසුවියක් ද සිටියාය. ඇය සරසවි සිසුවියක් බව මා දැනගත්තේ ඇය පසුපස දොරින් ගොඩ වී ඉදිරියට යාමේදී ඇගේ බෑගයෙහි "University Of Sri Jayawardhanapura'' යැයි කොටා තිබූ අකුරු පෙළ නිසාය. ඇය ඇතැම් විට සති අන්තයේ නිවසේ සිට යළි සරසවිය වෙත යමින් සිටිනවා විය යුතුය.

වැඩි දුරක් යන්නට මත්තෙන් ඇයට හිඳ ගැනීමට අසුනක් ලැබුණෙන්, ඇය එහි වාඩි වූවාය. කෙමෙන් බස් රථය විජේරාම හන්දියට සමීප වෙමින් තිබුණි. විජේරාම හන්දියෙන් බැසීම සඳහා සෙනග, ඉදිරිපස දොර අසළටත් පසුපස දොර අසළටත් රැස් වෙමින් සිටියහ. 

තරමක් විශාල වූ තම බෑගය කරට ළා ගත් ඇය ද බසයෙන් බැසගැනීම සඳහා පසුපස දොර අසළට පැමිණියාය. බැසීම සඳහා දොර අසළ රොක් වී සිටි පිරිසේ අවසානයට සිටියේ ඇයයි. සැණෙකින් තවත් දෙදෙනෙකු ද ඇයට සමීප වුණි. ඉන් එක් අයෙකු පාසල් බෑගයකට සමාන බෑගයක් දකුණු උරෙහි ළා ගෙන සිටි අතර ඔහු එය සිය වමතින් ඉදිරිපසට වන්නට අැද අල්ලා ගෙන සිටියේය. එම නිසා ඔහුගේ දකුණු අතෙහි වැළමිටින් පහළ කොටස සම්පූර්ණයෙන්ම වාගේ බෑගයට ආවරණය වී තිබුණි. අනෙකා සිටියේ බස් රථයේ රියදුරු අසුන දෙසට පිටුපාය. 

මා සිටියේ හරියටම පිටුපස දොරට හරි කෙළින් අසුනේය. තවමත් බසය හෝල්ට් එකෙහි නතර කර නැත. මට පිටුපා සිටි දකුණු අත වැසෙන සේ බෑගය දමා ගත් පුද්ගලයාගේ දකුණු අතෙහි වැළමිට ක්ෂණිකව ඉදිරියට පසුපසට යනු මට පෙනුනි. පැහැදිළිවම සැකකටයුතු දෙයක් සිදු වෙමින් පවතී. නමුත් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, මා ඒ පිළිබඳව සැක හැර දැන ගතයුතුය. නිකරුණේ මිනිසුන්ට චෝදනා කිරීමට ගොස් මුළු දවසම මස්තබාල්දු කර ගැනීමට මට අවශ්‍ය නැත. එබැවින් මා ඉතා උනන්දුවෙන් ඔහුගේ දකුණු අත තිබෙන්නේ කොතන දැයි විපරම් කර බැලුවෙමි. නමුත් කුමන කෝණයකින් බැලුව ද මට කිසිවක් නොපෙනේ. ඒ තරමට බෑගය දකුණු අතෙහි දමාගෙන සිටි පුද්ගලයා ඇය ආවරණය කරගෙනය. 


ඇය ඇතුළු පසුපස දොර අසළට පැමිණි සියලු දෙනා බැස ගිය ද, ඔවුන් දෙදෙනා පමණක් බැස ගියේ නැත. මා මෙතෙක් සිතා සිටියේ සැබවින්ම ඔවුන් දෙදෙනා ද විජේරාම හන්දියෙන් බසිනු ඇත කියාය. මේ සමග මගේ සැකය තවත් වැඩිවුණි. දැන් බස් රථය මහරගම බලා වේගයෙන් ඇදේ. මා ක්ෂණිකව ආපසු හැරී බැලුවෙමි. පෙර කී සරසවි යුවතිය කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටියි. 

අහෝ සිදු වීමක මහත! 

ඇයගේ බෑගයේ පහළ සිපර් දෙකම විවෘතව පවතී. කිසිදු සැකයක් නැත. විජේරාම හන්දියෙන් බසින්නට මෙන් මොවුන් දෙදෙනා ඇය සමීපයට ආවේ පික්පොකට් ගැසීමටය. 

බස්රථය ගමනාරම්භ කරන්නට පෙර මෙය මා දුටුවා නම් කුමක් හෝ කළ හැකිව තිබුණි. නමුත් දැන් අගතියට පත් පාර්ශවය ද මෙහි නැත. පැමිණිලිකාර පාර්ශවයක් නැති විත්තිකාර පාර්ශවයකින් සිදු කළ හැකි යුක්තිය පසිඳලීමක් නැත. තවත් කෙනෙකු හෝ මෙය දුටුවා නම් ඔවුන් දෙදෙනා පරීක්ෂාවට ලක් කරන්නට ද තිබුණි. නමුත් සාක්ෂිකරුවා මා පමණක් බැවින් ඊට ද ඉඩක් නැත. තනිවම එවැනි කාර්යයන්ට බැස උදේ පාන්දරම කුණු බාල්දි පෙරළා ගන්නට ද මට හැකියාවක් නැත. 

මා කළහැකිව තිබූ දේවල් මෙලෙස සිතමින් සිටියදී, ඔවුන් දෙදෙන කිසිදු හාන්කවිසියක් නැතිව මහරගම ආපිකෝ එක ආසන්නයෙන් බැස ගියහ.  

එසේ නම් ඔබ කළ යුත්තේ කුමක් ද?

උත්සව සමයේ බස්රථ අධික සෙනගින් යුක්ත වීම සහ ගම් දනව් බලා පිටත්ව යන මිනිසුන් ළග මිලමුදල් යහමින් ගැවසීම යන කාරණා නිසා, උත්සව සමය පික්පොකට්කාරයන්ගේ මඩිය තර වෙන කාලය බවට පත්ව ඇත.

එබැවින් වටිනා කියන දෑ (පර්ස් එක, ෆෝන් එක ආදිය) පහසුවෙන් සිපරය ඇද විවෘත කළ හැකි බෑග් සාක්කුවල නොදැමිය යුතුය. විශේෂයෙන්ම පර්ස් එක වුව කලිසමේ පිටුපස සාක්කුවේ දමනවා නම් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. මන්ද අපේ අරමුණ බස් රථයෙන් ගමන් කිරීම විය හැකි වුවත් පික්පොකට්කරුවාගේ අරමුණ පික්පොකට් ගැසීම වන නිසාය.බැවින් සුළු ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට ගත වන්නේ තත්පර දෙක තුනකට නොඅඩු කාලයකි. ඔවුන් ඒ තරමට සංවිධානාත්මකය. සූක්ෂමය.

එසේම මෙහිදී කිවයුතු තවත් කරුණක් ඇත. ඔබ යම් අයෙකු පික්පොකට් ගසනු දුටුවහොත් කළ යුතු හොඳම දේ වන්නේ වහා එය අසළ සිටින තවත් අයෙකුට පෙන්වීමයි. එසේ නොකර ඔබ තනිවම ක්‍රියාත්මක වීමට ගියහොත්, ඔබේ සුළු ප්‍රමාදයෙන් ඔහු ඔබට එරෙහිව ක්‍රියාත්මක විය හැක. එනම් ඔබ දුටු බව ඔහුට දැනී, ඔබ ඔහු අල්ලා ගැනීමට සැරසෙන විටම ඔහු ඊට කලින් ක්‍රියාත්මක වී ඔබ පික්පොකට්කරුවෙක් යැයි පවසා ඔබව ඊට හසු කරනු ඇත. අඩක් විවෘත කරන ලද බෑග් සිපරය හෝ බිමට දමන ලද භාණ්ඩය දකින මිනිසුන්, කලින් ක්‍රියාත්මක වූ ඔහුගේ වචන විශ්වාස කරනු ඇත. එවිට වඳින්න ගිය දේවාලෙ හිසේ කඩා පාත් වූවා සේ බඩකටපුරා පුදසත්කාර ලබන්නට ඔබට සිදු වනු ඇත.  




ප.ලි

පික්පොකට් ගහන අයෙකු හරියටම අතට අහු වුනොත්, ආරක්ෂිත විදිහට සංග්‍රහ කරන්නට ද අමතක කරන්න එපා. ආරක්ෂිත විදිහට යැයි කීවේ ඔවුන් ළග සාමාන්‍යයෙන් ආත්මාරක්ෂාවට මුවහත් නියන් වැනි ආයුධ තිබිය හැකි නිසා ය. 

Friday, December 12, 2014

මෛත්‍රීපාලගෙන් මහින්දට ගුණ වර්ණනාවක්

අතීතය, අනාගතයට බරක් වන්නට ඉඩ නොතැබූ නායකයා

 
අතීතය විසින් නොසලකා හරිනා ලද බොහෝ දෑ අනාගත පරපුරට බරක් වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකාවේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

මහින්ද රාජපක්ෂ නමැති අපේ කාලයේ විශිෂ්ට දේශපාලනඥයාගේ දේශපාලන දිවියට වසර 43 ක් සපිරෙන මේ අවස්ථාවේ එතුමා සම්බන්ධයෙන් මවිසින් මෙම ලිපිය ආරම්භ කරන්නට පටන් ගත් විට, මගේ මනසට නැගුණ එකම පැනය වූයේ එය කොතැනින් ආරම්භ කළ යුතු ද යන්නයි.

වත්මන් ලෝකයේ එක් එක් රටවල නායකයින් සිහිපත් කරන විට මහින්ද රාජපක්ෂ චරිතය යනු මහා වීර කාව්‍යයක් බඳු චරිතයකි.

ලෝකයේ බොහෝ රටවල් නිර්මාණය කළ හා ගොඩනැඟු අසහාය ජාතික නායකයින් පිළිබඳව ලෝක දේශපාලනය පිළිබඳව හදාරණ විට අපිට සිහිපත් වේ. ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා ශ්‍රී නේරු තුමන් ලා, වියට්නාමයේ හෝ-චි මින්ග්, චීනයේ සුන් යත් සෙන්, හා මාඕ සේතුං, පාකිස්ථානයේ මොහමඩ් අලි ජින්නා, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතීර් මොහමඩ් වැනි නායකයෝ එම රටවල්වල ජනතාව විසින් වර්තමානයෙහි පවා දේවත්වයෙහි ලා සලකන ජාතික නායකයෝ වෙති. 

නිදහසට පෙර අපේ රටේ ජාතික නායකයෝ විශාල පිරිසක් නිදහස පතා එක්ව කටයුතු කළ ද, නිදහසින් පසු අවදිය දෙස බලන විට ජාතිය ගොඩනඟන්නට අවශ්‍ය නායකත්වයක් ඉන්පසුව බලයට පැමිණි එකම දේශපාලනික නායකයකුට හෝ ලබා දෙන්නට නොහැකි විය. ඇතැම් නායකයෝ අඩු වැඩි වශයෙන් තම පාලන කාලය තුළ ජනතා හිතසුව පිණිස කුමක් හෝ කාර්යයක් සිදු කළා විනා, අනාගත දැක්මකින් කටයුතු කළෝ නොවෙති. 

විශේෂයෙන් නිදහසින් පසු ගත වූ වසර 65 කට ආසන්න කාලයේ හරි අඩක්ම අපිට ගත කරන්නට සිදු වූයේ බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක් සමඟ වීම මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. ත්‍රස්තවාදය ඉබේ හටගත්තක් නොව එය නිර්මාණය වීමට අවශ්‍ය පසුතලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූවකි.

මේ ලිපිය ලියන්නට ආරම්භ කළ මොහොතේ මගේ මනසට ආ පළමු සංකල්පනාව වූයේ එක්තරා ප්‍රබල කියමනකි. එනම් - “අතීතය විසින් අත්හැර දමන ලද දෑ අනාගතයට බර වැඩියි” යන්නයි. මේ කියමන පිළිබඳව මා සිතන්නේ අපේ රටේ මතු නොව, ලොව බොහෝ නායකයින් විසින් සිදු කරන ලද්දේ අතීතයේ සිට ගොඩ නැඟී ආ ප්‍රශ්න කන්දරාව එසේම තිබිය දී, අලුතින් නිර්මාණය කරන ලද ගැටලු සම්භාරයක් සමඟ එම ප්‍රශ්න කන්දරාවත්, ඊළඟ පරම්පරාවට බාර දී එම දේශපාලන නායකයින් සිය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමයි.

අපේ රට පාලනය කළ ඇතැම් නායකයින් දෙස බලන විට මෙම චරිත ලක්ෂණය පැහැදිලි කර ගත හැකි බවට අටුවා - ටිකා - ටිප්පණි අවශ්‍ය නැත. නමුත් මහින්ද රාජපක්ෂ නමැති දේශපාලනඥයාගේ චරිතය පිළිබඳව අනාගතයේ දිනෙක කියවන විට එතුමා වූකලී අතීතය විසින් අත්හැර දමා තිබු බොහෝ දෑ අනාගතයට බරක් වන්නට ඉඩ නොතැබු එකම ජනනායකයා වශයෙන් ජනතාව විසින් ගෞරව බහුමානයෙන් යුක්තව හඳුන්වනු ලබන බව නොඅනුමානය.

මා එසේ පවසන්නේ සාක්ෂාත් සාක්ෂි රැසක් සහිතව ය. හොඳම නිදසුන කොටි ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා එතුමා පැහැදිලි දැක්මක්, ප්‍රතිපත්තියක් සහිතව ගත් නිවැරැදි තීන්දු තීරණයි. ලෝකයේ මහා බලසම්පන්නම ත්‍රස්තවාදී සංවිධානය ලෙස ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල් පවා හැඳින්වූ කොටි සංවිධානය සමඟ මුහුණට මුහුණ හැප්පෙන්නට යාම කළු ගලේ ඔළු ගසා ගැනීමක් යැයි බොහෝ දෙනා සිතන්නට ඇත. 

ජාත්‍යන්තරය විසින් අත පොවනු ඇතැයි ද, මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික සම්බාධකවලට හෝ වෙනත් ගැටලුවලට මුහුණ පාන්නට වෙතැයි බොහෝ අය සිතූහ. නමුත් මාවිල්ආරුවෙන් ආරම්භ කළ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මෙහෙයුම එතුමා නන්දිකඩාල් කලපුවෙන් කොටි ත්‍රස්තවාදය අවසන් කරන තෙක් අතරමඟ නවතා දැම්මේ නැත. මේ සඳහා එතුමා දුන් නායකත්වය ශ්‍රී ලංකාවාසී ජනතාව ඉර හඳ පවතින තාක් කල් සිහිපත් කරනු ඇත.

කොටි ත්‍රස්තවාදය ආරම්භ වූ සමයේ පටන් එවකට පැවැති රජයන් මහජනතාවගේ ප්‍රශ්න යට ගැසීම සඳහා හිඟන්නාගේ තුවාලයක් බවට පත් කර ගත්තේ කොටි ත්‍රස්තවාදයයි. මහජනතාව මර්දනයටත් එයම යොදා ගත්තේය. අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එයම කරන්නට හැකියාව තිබිණි. 

රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ම බෝම්බ පුපුරන විට, ඊට මහත් ප්‍රසිද්ධියක් ලබා දෙමින්, තමන් නායකත්වය ලබාදෙන වසර කිහිපය සුවසේ සිට විශ්‍රාම යා‍මේ හැකියාව එතුමාට තිබිණි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තෝරා ගත්තේ වඩා ම පහසු මාර්ගය වෙනුවට වඩා දුෂ්කරම මාර්ගයයි. ඒ දුෂ්කරම මාර්ගයේ ගමන් කිරීමට එතුමා ගත් වෙහෙසකර ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වශයෙන් මේ රටේ වසර 30 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වූවා පමණක් නොව, ජනතාවට සැබෑ නිදහසේ අරුත එතුමා ප්‍රායෝගිකව කියා දුන්නේය.

නිදහස නම් කෑමෙන් බීමෙන්, බතින් බුලතින්, ඇඳීමෙන් පැලඳීමෙන් සුසංවිදිත වූ සමාජයක් ගොඩනැඟීම ය යන මහගමසේකරයන්ගේ කවියක එන අර්ථය ගත් විට රටේ යහ පැවැත්ම උදෙසා සපිරි සමාජයක අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිටිය. 

මා මේ ලිපිය ආරම්භ කළ මොහොතේ මගේ සිතට නැඟුණු අර කී ප්‍රකාශය මා දකින්නේ අතීතය විසින් නොසලකා හැර, ගොඩගසා තිබුණු ප්‍රශ්න කන්දරාව කිසිසේත්ම අනාගතයට දායාද කරන්නට එතුමා තුළ තිබූ අකැමැත්තයි. එය ශ්‍රේෂ්ඨ නායකයකු සතු දුර්ලභ ගුණයක් ලෙස දකිමි.

මෑතක දී එක්තරා මහාචාර්යවරයෙක් විසින් රජයේම සඟරාවකට ලියන ලද ලිපියක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව ලියා තිබු වැකියක් මට මේ මොහොතේ සිහිපත් වේ. එහි සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සම කළ හැකි මේ රටේ එකම නායකයා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා බවයි. නමුත් ඒ තර්කය සමඟ මම කිසිසේත්ම එකඟ නොවෙමි.

ජේ. ආර්. ජයවර්ධන මහතා ශූර දේශපාලකයෙක් විය හැකිය. එහෙත් ඒ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමාන යැයි මම කිසිසේත්ම නොසිතමි. වර්තමානයේ ජේ. ආර්. චරිතාපදානය සිහිපත් කරන විට, 1977 න් එපිට මෙරට නොතිබූ ගැටලු රැසක නිර්මාතෘවරයා වන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා බව කවුරුන් වුවද පිළිගන්නා කරුණකි. 

මේ රට ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් මහා පඹ ගාලක පටලවන ලද්දේ ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ පඹ ගාලෙන් ගොඩ එන්නට බැරිව අදටත් රටේ විවිධ අංශවල ඇති වී තිබෙන අවුල ජේ. ආර්. ජයවර්ධන නම් දේශපාලනඥයාට නොතිබු අනාගත සමපේක්ෂණය පිළිබඳ දැනුම පිළිබඳ හොඳම නිදසුනයි.

අනෙක් කරුණ නම් ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වයට පැමිණ පළමු වසර 6 යන්නටත් ප්‍රථම ඒ මහතා ජනතාව අතර මහත් අපකීර්තියට, ජනතා අප්‍රසාදයට ලක් වූ සැටි කවුරුත් දන්නා කරුණකි. ඊනියා ජනමත විචාරණය නමැති ලාම්පු - කළගෙඩි සෙල්ලම ඒ මහතා නිර්මාණය කළේ තමන් ජනතා අප්‍රසාදයට ලක් වී ඇති බව හොඳින්ම දැන සිටි නිසාය. 

77 පැවැති මහ මැතිවරණයෙන් පසුව සති දෙකක් පොලීසියට නිවාඩු දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මරා දැමීමට, ඔවුන්ට හිංසා කිරීමට, පහර දීමට හා දේපළ ගිනි තැබීමට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ගේ මවුවරු හා දියණියන්ට අඩන්තේට්ටම් කිරීමට ඉඩ සැලැස්වූ ආකාරය කූප්‍රකටය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි උගතුන්ට කාණුවේ පෙරළාගෙන පහර දීමට හා පන්සල් වටා කම්බි වැටවල් ගසා, විනිශ්චයකරුවන්ට “හූ” කියු ජේ. ආර්. ජයවර්ධන චරිතය, මහින්ද රාජපක්ෂ නමැති ජනහිතකාමී ජනනායකයාගේ චරිතයට කෙසේ නම් සම කළ හැකි දැයි මම නොදනිමි.

1995 පැවැති ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැති එකම මැතිවරණයක දී විරුද්ධ පාක්ෂියකුගේ නිවෙසකට ගල් කැටයකින් හෝ වැනි පහරදීමක් හෝ සිදු නොවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය දේශපාලන ක්‍රමය තුළ ලබා දී තිබු යහපත් පූර්වාදර්ශ නිසාය. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යන්නට නැවතීමේ තිත තැබුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 45 කට වැඩි ප්‍රමාණයක් වත්මන් රජය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අතහැර පැමිණියේ එම ගුණෝපේත බව නිසාය.

ජේ. ආර්. ජයවර්ධන මහතා අද ජීවත්ව සිටියානම්, මහින්ද රාජපක්ෂ ශෛලිය ගැන ඔහු නැවත අධ්‍යනය කරනවා ඇත.

මහින්ද රාජපක්ෂ යනු අතීතයේ පාඩම් මත ප්‍රායෝගිකව පිහිටා කටයුතු කරන මහ පොළොවේ පය ගසා ගත් දේශපාලනඥයෙකි. එතුමා වඩාත් සාර්ථක වන්නට හේතුව එතුමා සතුව තිබු මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයයි. මෑතක දී තංගල්ල මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට පැවැති උත්සවයකට මම ද සහභාගි වුයෙමි. 

එතුමා පැමිණෙන තෙක් මහත් පිරිසක් රැස්ව සිටියහ. ජනාධිපතිතුමා එනතෙක් නොඉවසිල්ලෙන් රැඳී එතැන සිටි ඇතැම් වියපත් මවුවරුන්ගේ මුහුණ දකින විට මට මතක් වූයේ උම්මග්ග ජාතකයේ මහෞෂධ කුමරු එනතෙක් මග බලා සිටින මව සම්බන්ධයෙන් එම ජාතක කථාකරු ලියා තිබූ වගන්තියයි. 

“මෑණියන් දෑ තොමෝ තම පුතණුවන් දැන් එත්දෝ, නේත්දෝහෝයි මග බල බලා හුන්හ” යන වැකිය මට සිහිපත් වූයේ එම මවුවරුන්ගේ මුහුණු මත වතල අපේක්ෂා කන්දරාව දුටු නිසාය. එක් අවස්ථාවක එක මවක් අසල සිටි ආරක්ෂක නිලධාරියකුට බැණ වැදුණේ “අපේ ජනාධිපතිතුමා බලන්නට අපිට අයිතියක් නැද්ද” යනුවෙනි.

“අපේ ජනාධිපතිතුමා” යැයි මහජනතාවට කට පුරා කිව හැකි එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි, ඒ තරමට ඒ මහතා ජනතාවට ආකර්ෂණය වූවා මෙන්ම ජනතාව ද එතුමාට ආකර්ෂණය විය. එම බැඳීම මම දකින්නේ සසර පුරා පවතින ආත්ම ගත බැඳීමක් වශයෙනි. 

එතුමාගේ මුහුණ මත පැතිරෙන ආකර්ෂණීය සිනහව, ව්‍යාජ වූ හෝ එම අවස්ථාව සඳහා මවා ගත් එකක් නොව, හදවතේ ගැඹුරු පත්ලෙන්ම මතුවන ළෙන්ගතුකම හා බැඳුණු සිනහවකි. ඒ බව ජනතාව දනී. ඒ නිසාම එතුමා කවදත් ජනතාවගේ සදාදරණීය දේශපාලනඥයාය.

රාජ්‍ය පරිපාලනයේ දී එතුමා සතු වූ උදාර ගතිගුණය වූයේ මුදල් යනු සියල්ල නොවන බවයි. මුදල් ලැබෙනවා නම් රටේ ඕනැම දෙයක් විකුණා දමා ඒ ලැබෙන මුදලින් රජය පවත්වාගෙන යාම එතුමාගේ අපේක්ෂාව නොවීය. රටට ලැබෙන මුදලට වඩා ඉන් වන හානිය විශාල නම් ඒ දෙය බැහැර කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සෑම විටම කටයුතු කෙළේය. දුම්වැටි හා මද්‍යසාර පාලනය සඳහා නීතිරීති ක්‍රියාත්මක කිරීම මෙන්ම පසුගිය වසර කිහිපය තුළ කිසිදු රාජ්‍ය දේපළක් කුණු කොල්ලයට පෞද්ගලික අංශයට අලෙවි කිරීමට පියවර නොගැනීම හා එසේ විකුණා දමා තිබූ ඇතැම් රාජ්‍ය දේපළ රජය යටතට පවරා ගැනීම ද මෙහිදී සිහිපත් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර දෙකහමාරේ ආණ්ඩුව පැවැති සමයේ රාජ්‍ය අංශය හකුළුවා දැමීමට එම රජය කටයුතු කළ ආකාරය රටේ සෑම කෙනෙක් ම හොඳින් දනිති. අඩුම තරමින් රෝහලකට කම්කරුවෙක්වත් බඳවා නොගත් ඒ යුගයේ රාජ්‍ය අංශයේ සේවකයින් පිරිස ලක්ෂ 06 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන බලපෑම් කරද්දීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා උපරීම දායකත්වය ලබා දුන්නේය. මේ නිසා රාජ්‍ය අංශයේ සේවක පිරිස ලක්ෂ 16 දක්වා ඉහළ දැමීමට පියවර ගනු ලැබීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලනඥයෙක් වශයෙන් වසර 43 ක් තිස්සේ පැමිණි ගමන සැබැවින්ම ඓතිහාසිකය. එය කාලයේ අවශ්‍යතාවකි. සොබා දහම විසින් වරින්වර ජාතියේ මෙන්ම රටේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා නායකයෝ නිර්මාණය කරති. මේ යුගය මහින්ද යුගයයි. මහින්ද යුගය සොබා දහම විසින් රටේ අවශ්‍යතාව හා ජාතික අවශ්‍යතාව සඳහා නිර්මිත ප්‍රපංචයකි.

නුවරකලාවියේ මෙන්ම තමන්කඩුවේ ගැමියෝ ඇතැම් විට යම් යම් කාරණා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ මම බොහෝ විට ශ්‍රවණය කරමි. කිසියම් කාරණයක තිරසාර බව පිළිබඳව ඔවුන් කියන්නේ ඒක “ගලේ කෙටු අකුරක් වගේ අපිට විශ්වාසයි” යන වගන්තිය යෙදීමෙනි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු ගලේ කෙටු අකුරක් සේ ස්ථිර, විශ්වසනීය නායකත්වයක් සහ දැක්මක් සහිත දේශපාලනඥයෙකි. “නගුල අල්ලා ආපසු බලන්නා දෙවියන් නොදකී” යන කියමන අනුව, එතුමා ඉදිරියට තැබු පියවර ඉදිරියට ම තබනවා විනා මොන හේතුවක් නිසා හෝ එය ආපසු තබන්නේ නැත. හේතුව තිරසාර දැක්මක් හා ස්ථිර ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමේ උත්තුංග හැඟීම එතුමාට තිබෙන බැවින් හා යථාර්ථය දැකීමට එතුමා සතුව තිබූ ප්‍රායෝගික බුද්ධිය නිසාය.

සිය දේශපාලන දිවියේ තුන් සාලිස් වසරක් සම්පූර්ණ කරන මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමාට දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.

ශ්‍රීලනිප මහලේකම්, සෞඛ්‍ය අමාත්‍ය
මෛත්‍රීපාල සිරිසේන

මේ 2013 ජුනි 09 වැනිදා සිළුමිණ පුවත්පතට වත්මන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සපයන ලද ලිපියකි. මෙලෙස ගුණ වැයූවන් අද දෙපිලකය. එකිනෙකාට එරෙහි කතාවලය. බලන් කාලය මැව් වෙනසක අරුමය. එහෙත් අප කලබල විය යුතු නැත. දැන් වේදිකා දෙදරවමින්, උගුර ලේ රහ වන තුරු එකිනෙකාට කියනා ඇනුම්බැනුම්, ගැරහිලි, දෝෂාරෝපන අමතක කරදා යළි කිසිත් නොවූවන් සේ එකිනෙකා වැළඳගැනීමට වුව මොවුන්ට ගත වන්නේ අසුරුසැණක මොහොතකි. පැරණි වුවත් මෙම ලිපිය හුදී ජන පහන් සංවේගය පිණිස යළි පළ කරන ලද්දේ ඒ යථාර්ථය තේරුම් ගනු පිණිසය. 


Friday, November 28, 2014

අගේ ඇති කතාවක්....

හොඳින් උගත් තරුණයෙක් විශාල සමාගමක කළමනාකාර තනතුරකට අයදුම් කළේය. පළමු සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් වූ ඔහුට, අවසාන සම්මුඛ පරීක්‍ෂණය යෙදී තිබුණේ සමාගමේ අධ්‍යක්‍ෂවරයා සමගය. තරුණයාගේ විස්තර සටහන (CV) බැලූ අධ්‍යක්‍ෂවරයා, මොහු අධ්‍යාපනයෙන් විශිෂ්ට  දක්‍ෂතා පෙන්වා ඇති අයෙකු බව පසක් කරගත්තේය.

‘‘ඔබට පාසලෙන් මොනව හරි ශිෂ්‍යත්වයක් එහෙම ලැබුණ ද?’’ අධ්‍යක්‍ෂවරයා විමසීය.

‘‘නැහැ’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘එතකොට ඉගෙන ගන්න වියහියදම් කළේ අම්ම තාත්ත වෙන්නැති නේද ?’’ අධ්‍යක්‍ෂවරයා යළිත් ඇසීය.

‘‘ඔව්. මගේ අම්ම තමා වියදම් කළේ. මගේ තාත්තා මට අවුරුද්දක විතර වයසෙදි නැති වුණා’’ තරුණයා පිළිතුරු දුන්නේ ය.

‘‘ඔබේ අම්ම කොහෙද වැඩ කරන්නෙ?’’ අධ්‍යක්‍ෂවරයා ඇසීය.

‘‘මගේ අම්ම රස්සාව විදිහට කරන්නෙ කුලියට ඇඳුම් හෝදන එක.’’ තරුණයා පිළිතුරු දුන්නේය.

මඳක් කල්පනා කළ අධ්‍යක්‍ෂවරයා, තම දෑත පෙන්වන ලෙස තරුණයාට පැවසුවේය.

තරුණයා වහා අත්ල උඩු අතට හරවා
තම දෑත අධ්‍යක්‍ෂරවයාට පෙන්නුවේය.

‘‘ඔබ මීට කලින් අම්මට රෙදි හෝදන්න එහෙම උදව් කරලා තියෙනව ද?’’

‘‘උදව් කරලා නම් නෑ. මොකද.. අම්මට  ඕන වුනේ නිතරම මම පොතේපතේ වැඩක් කරනවා දකින්න. අනෙක මට වැඩිය වේගෙන් අම්මට රෙදි හෝදන්න පුළුවන්’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘මම අද ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. අද ගෙදර ගියාම අම්මගේ අත්දෙක හොඳට හෝදන්න. හෝදලා හෙට උදේ ඇවිත් මාව හම්බවෙන්න’’

අධ්‍යක්‍ෂවරයාට සමු දී, තරුණයා තම නිවසට ගියේය. මවට කතා කළේය. ඇගේ දෑත් සේදීමට තමාට අවශ්‍ය බව මවට පැවසුවේය. ඇයට මෙය මහත් කුතුහලය ගෙන දෙන්නක් විය. කුතුහලය සමග සියුම් සතුටක් ද ඇගේ හදවතට දැනුණි. අවසන ඇය තම පුතුට සේදීම සඳහා දෑත දිගු කළේය. 

තරුණයා තම මවගේ දෑත් සෙමින් පිරිමදිමින් සේදුවේය. ඔහුගේ දෑසට කඳුළු ඉනුවේය. තමාගේ සුමුදු දෑත් මෙන් නොව මවගේ දෑත් ගොරෝසුය. රැළි වැටී ඇත. අත්ලේ තැන් කිහිපයකම සම පළුදු වීම නිසා හටගත් කුඩා තුවාලය. එලෙස සම පළුදු වූ තැන් පිරිමදින විට මවගේ ඇඟ වෙව්ළුම් කනු ඔහුට පෙනුණි. මේසා කලක් තමාට සිප්සතර හැදෑරීමට වියපැහැදම් කළේ මේ දෑතය.

මවගේ දෑත් සේදූ තරුණයා, ඉන්පසුව සේදීම සඳහා නිවසට ගෙනවිත් තිබූ රෙදි සියල්ල සේදීමට
මවට උදව් කළේය. ඔහුට මහත් වෙහෙසක් දැනුණුමුත් සතුට මුසු පෙර නොවූ විරූ හැඟීමකින් එය යටපත්ව ගියේය. තම මව මෙතෙක් කලක් මෙම වෙහෙස තනිවම විඳදරා ගන්නට ඇත. පෙර කිසිදිනක ඇති නොවුණු ආකාරයේ සෙනෙහබර හැගීමක් ඔහුට තම මව ගැන ඇති වුණි.

ගිවිස ගත් පරිදිම, පසුදා උදෑසන තරුණයා අධ්‍යක්‍ෂවරයා හමු වීමට ගියේය.

‘‘ඊයේ මං කිව්ව දේ ඔබ කරන්න ඇතිනෙ’’ අධ්‍යක්‍ෂවරයා තරුණයාගෙන් විමසීය.

‘‘ඔව්. ඔබතුමා කිව්ව විදිහටම මං අම්මගේ අත් දෙකම ඊයේ හේදුවා. ඒ විතරක් නෙමෙයි හෝදන්න ගෙනල්ල තිබිච්ච රෙදි ටිකත් ඔක්කොම හෝදන්න අම්මට උදව් කළා’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘ඉතින් ඔබට දැනුණු හැගීම් මොනව ද? ඒකෙන් ඉගෙන ගත්ත දෙයක් එහෙම තියෙනව ද ?’’ අධ්‍යක්‍ෂවරයා ඇසීය.

‘‘ඊයේ දවස මගේ ජීවිතයේ ගෙවපු හොඳම දවසක්. මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
 
01වෙනි එක තමයි යමෙකුගේ සේවය කොතරම් වටිනව ද කියන එක. ඒ වගේම ඒ සේවය අගය කිරීමේ තියෙන වැදගත්කමත් මම ඊයේ තේරුම් ගත්තා. ඇත්තටම.... මගේ අම්මගේ කැපකිරීම් නොවෙන්න, මම අද මේ සාර්ථකත්වය ලබන්නේ නැහැ. (Value of Appreciation)

02වෙනි කාරණය තමයි සාමූහිකව වැඩ කරන කොට ඇත්තටම වැඩ විතරක් නෙමෙයි අපි බෙදාගන්නෙ, අපේ හැඟීම් සමුදායත් අපි එකිනෙකා අතර බෙදා ගන්නවා කියන එක. සාමූහිකත්වය වැඩකටයුතු කරන්න පහසුවක් ගෙනදෙනවා විතරක් නෙමෙයි අපට මානසික සතුටකුත් ගෙනදෙනවා කියන එක. අනික... වැඩ කරන එක කොච්චර වෙහෙසකර දෙයක් ද කියන එකත් මම ඊයේ හොඳට තේරුම් ගත්තා. (Value of Teamwork)
03වෙනි කාරණය තමයි පවුලක එකිනෙකා අතර තියෙන්න ඕන බැඳීම කොච්චර වටිනව ද කියන එක’’ තරුණයා පැහැදිළි කළේය. (Value of Relationships)

අධ්‍යක්‍ෂවරයා සිය හඬ අවදි කළේය.

‘‘මගේ ආයතනයේ කළමනාකාර තනතුරට මට අවශ්‍ය කළේ ආයතනයේ තව කෙනෙක් කරන වැඩ කොටස අගය කරන්න දන්න, මිනිසුන්ගේ හදගැස්ම හඳුනන මනුස්සයෙක්. වැඩක් කරන කොට විඳින්න වෙන දුෂ්කරතා සහ අපහසුතා ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක්. අනික තමයි.... මුදල් තමන්ගේ ජීවිතේ එකම ඉලක්කය කර නොගත්ත සහ තමන්ගේ පවුලට ආදරේ කරන මනුස්සයෙක්. මොකද... තමන්ට, තම පවුලට ආදරේ කරන්නෙ නැති මනුස්සයා කවදාවත් තමන්ගෙ ආයතනයට, තමන් සමග වැඩ කරන සේවකයන්ට ආදරේ කරයි කියලා හිතන්න බැහැ. ඔවුන්ට හොඳින් සළකන එකකුත් නැහැ. 

ඉතින්..... මම හිතනවා ඔබ තමයි අපේ ආයතනයට සුදුසුම කෙනා. හෙට ඉඳන් වැඩට එන්න. හොඳට වැඩ කරන්න.
ඔබ සුභපැතුම්!’’ තරුණයාට අතට අත දෙමින් අධ්‍යක්‍ෂවරයා සිය කරුණු දැක්වීම අවසන් කළේය.

තරුණ කළමනාකාරවරයා දැඩි කැපවීමෙන් වැඩ කළේය. නොබෝ දිනකින්ම ඔහු කාර්යමණ්ඩලයේ සිත ද දිනාගත්තේය. පෙර මෙන් නොව දැන් ඕනෑම සේවකයෙකුට තමන්ගේ ගැටලූ ඍජුවම කළමනාකරු සමග කතා බස් කර, අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට හැකිය. සේවකයන් රැකියාව අතහැරයාම ද සැළකියයුතු ලෙස අඩු වුණි. මෙලෙස සියලූ දෙනාගේ සාමූහික කැපවීම මත ආයතනය දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් ද අත්කර ගත්තේය. 

 ***
පසුවදන

සැබවින්ම මිනිසෙකුගේ වටිනාකම ගොඩනැගෙන්නේ හදවත (Heart), මනස (Head) සහ ක‍්‍රියාශීලිත්වය (Hand) යන අංග තුන (3H) එක්වුණු විටය. මෙම කාරණයම අධ්‍යාපනයේ පරමාර්ථ පැහැදිළි කරමින් අපේ කාලයේ (චන්ද්‍රිකා පාලන සමයේ) පාසල් පෙළපොත්වල පෙරවදනේ, දැනුම (Knowledge), ආකල්ප (Attitudes), කුශලතා (Skills) යනුවෙන් සඳහන් කර තිබුණා ඔබට මතක ඇති. සැබවින්ම මෙකී සාධක ත‍්‍රිත්වයෙන් තොර අධ්‍යාපනයකින් රටට, සමාජයට මතු නොව පුද්ගලයාට ද ඇති වන සෙතක් නැත. යමෙකුට දැනුම සහ කුශලතා තිබුණ ද, යහපත් ආකල්ප යන සාධකය නොමැති නම් එවැනි පුද්ගලයා කෛරාටිකයකු, හොරෙකු, වංචනිකයෙකු හෝ දුර්ගුණයෙකු වනු නොඅනුමානය. 

එමනිසා දයාව, කරුණාව, ආදරය, සහකම්පනය (empathy) වැනි ගුණාංග අපේ හදවතේ තිබිය යුතුය. තාර්කිකත්වයෙන් සහ දැනුමින් (සමාජ දැනුමින් සහ විෂය දැනුමින්) අපේ මනස සන්නද්ධ විය යුතුය. කුශලතාවලින් අපේ ගත සවිමත් විය යුතුය. එවන් හදවතක්, එවන් මනසක්, එවන් ගතක් සහිත මිනිසුන්ගෙන් කිසිදා තම පවුලට, සමාජයට, මතු නොව රටට ද වැඩක් මිස අවැඩක් නම් නොවන්නේය.



Saturday, November 22, 2014

කාලය මැව් වෙනස-මෛත්‍රීපාල Vs මහින්ද













  .....................................................................................................

විටෙක ගුණ වැයූවන්...
විටෙක ගුණ ලියූවන්...
අගුණ වයන්නට...
අගුණ කියන්නට...
සැරසිච්ච හැටියක්...
හැබෑටම මහතුනි...
හැකි ද මේ හැටි කොරන්නට..
එකම වේදිකාවේ...
එකට සිටි එවුන් නෙවැ මුන්...

පිළිතුර: සරළය... සුගමය...

ඇහැකිය එලෙස කොරන්නට..
දේශපාලනේ හැටි ඔහොම නොවැ බං...
පුදුම වෙන්නට කාරි නැත...
පිල් මාරු වෙන කල සොහොයුරා වුව..
නැති ගුණත් ගුණ වෙනවා...
ඇති ගුණත් ඍණ වෙනවා....

Wednesday, November 12, 2014

මීට වැඩිය හොඳයි පුකට ටයර් දෙකක් හයි කරගත්ත නම් !

මේ දවස්වල කොළඹට හිටු කියලා වැස්සය. කුණු කාණු පිටාර ගලන, පාරවල් යටවෙන වැසි මිසක් මොර සූරන වැසි මේ කොලොම්පුරේ නැහැ නොවැ. මොක ද මොර සූරන්න මෙහෙ මොරගස් තියෙන එකක් යැ. 

කොළඹට මෙහෙම වහින්නේ මාස දෙකක් දෙක හමාරක් විතර තිස්සේය කියන එක කොළඹ ඉන්න අපේ උදවියට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.  

ඔය හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, පොලොන්නරු වගේ පළාත්වලට ලෙල්ලෙට පායද්දිත් කොළඹට හිටු කියලා වැහපු විත්තිය දන්නව නම් ඒ පළාත්වල මිනිස්සු ඔය නිසි දේව බලධාරියාට මොනවා කොරයි ද කියලා මට නම් හිතා ගන්න බෑ. වැස්ස වලාහක දෙය්යො වුනත් මං කියන්නෙ සාධාරණ විදිහට කටයුතු කොරන්න ඕනෑය. අනික කොළඹට වැස්ස කියලා ඇති සෙතක් නෑ නෙ. කුණු කාණු ටිකයි, ඇලවල් ටිකයි පිරිලා පාරවල් යටවෙන එක තමයි වෙන එකම නස්පැත්තිය. අර කිව්ව පැතිවලට වහිනවා නම් ඒ මිනිස්සු ගොවිතැනක් බතක් හරි කර ගන්නවා යස අගේට. දෙයියොන්ගෙ මෙව්ව එක කෙසේ වෙතත් මේ සොබාව දරුමෙ පාලනය කොරන්න පුලූවන් ජගතෙක් මේ මිහිපිට නැහැ නොවැ. පුලුවන් උනා නම් ආපදා කළමනාකරණ අමාත්‍යංශෙත් අස් කරලා දාන්න වෙනවා. 

වැස්සත් එක්ක වැඩට යනව කියන්නෙ හොදි ඕන්නෑ. මෙහෙම වහින වෙලාවට, පාර අයිනෙ උනත් ඉන්න ඕන හරි පරිස්සමෙන්. කොටින්ම හොඳ සූදානම් පිට. කොයි වෙලාවෙ මඩ නාන්න, මඩ කන්න වෙයි ද කියලා කව්ද දන්නෙ. මොකද වාහනවලින් ඉගිළිලා යන අපේ සමහරක් මහත්තුරුන්ට පාර අයිනෙ ඉන්න මිනිස්සු ගැන පුදුම හැඟීමක් නෙ තියෙන්නෙ.  

කොහොම හරි අද මහ වැස්සෙම හනිකට බස් එකට ගොඩ වුනා. වහින දවසට බස් එකේ හිට ගෙන යන එක නම් එපා වෙන කාරියක්. අර මෙව්ව එකත් නගිනවා. අර යකා ද මොකා ද කියන්නෙ. මොකද සමහරක් එහෙට මෙහෙට යන්නෙ මඩ තැවරිච්ච සපත්තු -සෙරෙප්පු අනිත් මිනිස්සුන්ගෙ කලිසමේ හොඳට අතුල්ලගෙන. ඒත් අද නම් වාඩිවෙලා යන්න සීට් එකක් වේලාසනින්ම හම්බ වෙච්ච නිසා අර කලින් කිව්ව එකා නග්ග ගන්න ඕන උනේ නෑ. 

ෂාහ්හ්හ්හ්හ් ...මේ බස් එක යන වේගයක්. කොටින්ම පපුව සීතල වෙලා යනව. 

මොන වේගයක් ද බොල මේ ? ඉබ්බො යනවා මීට වැඩිය වේගයෙන්. 

මිනිස්සුත් කන්කෙඳිරි ගානවා බස් එකේ මේ අධිවේගී ගමන ගැන. සමහර අයගේ මූනවල් ඉදිලා වැටිලා තැලිච්ච ගොරක ගෙඩි වගේ. රතු පාට වෙලා. බලන්න වටින සිරියාවක්. ඒත් අපේ ඩ්‍රයිවර් උන්නැහේ නම් වෙනසක් නෑ., සුපුරුදු ලැසි ගමනෙම තමයි. 

''ෂිහ් .... මේකා යන්නෙම නෑ නෙ.. බලන්න අනිත් බස් ඔක්කොම මේක පහු කරගෙන යනවා. ඒත් මූ කොටනවා'' 

මගේ ළග හිටං හිටපු අවුරුදු 40ක විතර අන්කල් කෙනෙක් මගේ පැත්තට හැරිලා එහෙම කිව්වා. මාත් ඉතින් මද සිනහවකින් අන්කල්ට සංග්‍රහ කරලා ඒක අනුමත කළා. 

මේ චෝදනා, ඇණුම් බැනුම්, ගෙරවිලි අස්සෙ පහුගිය කාලෙ මේ හා සමානවම වෙච්ච සිද්ධියක් මට මතක් වුනා. කොළඹදි වෙච්ච එකක් නම් නෙමෙයි මේක.

මම තව යාළුවෙකුත් එක්ක උඩවලවේ අපේ මිත‍්‍රයෙක්ගෙ ගෙදරකට යන්න ඇඹිලිපිටිය - උඩවලව බස් එකකට ගොඩවුනා. මේක රෝසා බස් එකක්. මේ බස් කාරයාත් අර මුලින් කියපු බස් කාරයාගේ සහෝදරයෙක් මයෙ හිතේ. ජනේලෙන් බලන් ගියාම වැලි කැට ගණන් කරත හැකි. ඇක්ස්ලේටරෙ නම් පෑගෙන්නෙම නැති තරම්. සෙනග අහුලා- අහුලා, හෙමින්- හෙමින් ලතාවට දැන් මේක යනවා. මේ යන වේගෙ හැටියට ඉස්සරහ හෝල්ට්වලින් නගින්න හිතාගෙන, තාමත් ගෙවල්වල ලකලැහැස්ත්ති වෙවී ඉන්න මිනිස්සුන්ටත් පාරට එන්න වෙලා ඇති. 

ඒ මදිවට මගීන් ටින් මාලූ කරනවා. පිටිපස්සෙන් සෙනග නග්ග ගන්නවා. ''ඉස්සරහට යන්න...ඉස්සරහට යන්න.. තව තව....ඔය ඉඩ තියෙනවා නෙ. යන්නකො ඉස්සරහට '' 

ඉස්සරහිනුත් සෙනඟ පටවා ගන්නවා. ''පිටිපස්සට යන්න. ඔය මැද ඉන්න මහත්තය එහාට යන්න. ඕන තරම් බස් එකේ ඉඩ තියෙනවනෙ '' කොන්දොස්තර මහත්තයගේ සැරපරොස් බෑඟිරිය ඒ විදිහට යනවා. 

ඔය මැද ඉන්න මහත්තය කිව්ව කෙනාට එහාට යන්න තරම් ඉඩක් බස් එකේ නම් නෑ. ඒත් ඉතින් මේ සුවච (එකෙකු දෙන්නෙකු හැරුණු විට අපේ කොන්දොස්තොර මහත්වරු බොහෝ දෙනෙක් මගී ජනතාවට ඉතාමත් කාරුණික, යහපත් වචනයෙන්ම අමතන නිසාම මේ විශේෂණ පදය යෙදූ බව සළකන්න.) කොන්දොස්තර මහත්තයගේ ඉතා කාරුණික ඉල්ලීම අහක දාන්න බැරි කමට දෝ, ඇඟ වකුටු කරගෙන හරි මිනිස්සු එහාට යනවා. 

දැන් මේක කුකුල්ලූ පැක් කරපු ලොරියක් වගේ. නෑ.. නෑ ... හරියටම කියනව නම් දෙකොණ බැඳපු මුං ඇට මල්ලක් වගේ. ආයි ඉතින් හුස්මක් කටක් ගන්න, වාතාශ්‍රෙ ටිකක් වදින්න කිසිම ඉඩක් නෑ. ඒත් මේ බස් උන්නැහේලගේ  තණ්හාව ද මොකද්ද දන්නෑ... මෙච්චර සෙනඟ පිරිලත් තවත් කොටනවා. මං හිතන්නෙ මෙයාලගෙ ට්‍රයි එක සීට්  60 වයිකින් එකක පටවන සෙනග මේ පුංචි බස් එකට පටව ගන්න වෙන්න ඇති. 

ඉතින් මෙහෙම බස් එක පැද්දි -පැද්දි, ඉබි ගමනෙ ඉදිරියට ඇදෙනවා. මිනිස්සුත් එකා දෙන්නා ''ෂිහ්... ෂිහ් '' කියනවත් කනට ඇහෙනවා. 

මං වාඩිවෙලා හිටපු සීට් එකට ඉස්සරහ සීට් එක කෙළින් හිටගෙන හිටියා අවුරුදු 50 ක 55 ක විතර අංකල් කෙනෙක්. මේ අංකල්ට නම් මලම පැනලා වගේ හිටියේ. විටින් විට තොල් මතුරනවාත් දැක්කා.

මේ අන්කල් ෆුල්ම කේන්තියෙන් විත්තිය මට තේරුම් ගියා. දැන් බස් එක ඇඹිලිපිටියේ ඉඳන් හෝල්ට් හතරක් පහක් විතර පහු කරලා.
 

'' මීට වැඩිය හොඳයි පුකට ටයර් දෙකක් හයි කරගත්ත නම් ! අම්මපා මීට වැඩිය හයියෙන් යන්න තිබ්බා'' 

වේගයෙන් වටපිට බලලා අන්කල් හයියෙන්ම එහෙම කිව්වා. 

මට හුකුස් ගාලා හිනා ගියා. 

ඇත්ත නේන්නම් මොන ක්‍රමෙන් හරි ඕක හයි කරගන්න පුලූවන් වුනානම් ඒකත් මරු. ලොකු පොඩි ගැහැණු පිරිමි හැමෝම තම තමන්ගෙ පශ්චාත්භාගෙට ටයර් හයි කර ගෙන, පාරෙ එහෙට මෙහෙට යනවා මට එවෙලෙම මැවිලා පෙනුනා.
 

නව නිර්මාණ එහෙම කරන්න අදහසක් තියෙන අයට මේක හොඳ Idea එකක්. කොටින්ම Full Innovative. පේටන්ට් එකකුත් ගන්න බැරි වෙන එකක් නෑ ඕං.😂

Friday, November 7, 2014

අඩු රැකවරණය - වැඩි රැකවරණය - අඩු වැඩි නැති නිසි රැකවරණය

දෙමව්පියන්ට මෙලොව සිටිනා වටිනාම වස්තුව තම දරුවන් බවට කිසිදු විවාදයක් නැත. විවාහපත් යුවළකට අලුතින් දරුවෙකු පිළිසිඳ ගැනීම යනු මහමෙරක් ලැබුනා හා සමානය. එය ඒ තරමට පවුලක පරිපූර්ණත්වයට බලපායි. කොටින්ම, නිවසක් (House) ගෙදරක් (Home) බවට පත් කරන්නේ දරුවන්ය.



කිසිදු දෙයක් තනිව කරකියා ගත නොහැකි අසරණයකු ලෙස මෙලොව එළිය දකිනා දරුවාට, තනිව දෙපයින් නැගී සිටින  තෙක් නිරන්තර රැකවරණය ලබා දීමට දෙමව්පියන් දරනා වෙහෙස කොතරම්දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත. 

මේ ලිපියෙන් ඔබේ අවධානයට යොමු කරන්නේ මව්කුසින් බිහි වූ දා පටන් විවිධ සංවර්ධන අවධි පසුකරමින් යන දරුවාට ස්වකීය ළමාකාලය තුළ දෙමව්පියන් වශයෙන් අප ලබාදෙන්නා වූ  ආදර-රැකවරණයේ නිසි-අනිසිබව ගැනය. 

රුවන්ට අප බෙහෙවින් ආදරේ බව ඇත්තය. එහෙත් අප කුඩා කල සිටම දරුවන්ට  ඕනෑවට වඩා ආදරේ කරන්නේ නම් එය දරුවෙකුට කරන්නා වූ මහත් අසාධාරණයක් බව ඔබ දන්නේ ද?

දරුවන්ට ඕනෑවට වඩා නීතිරීති දැමීමෙන් අප වැළකිය යුතුය. විශේෂයෙන්ම මෙම තත්වය බෙහෙවින් දැකිය හැක්කේ තනි දරුවෙකු හෝ දෙදෙනෙකු සිටින කුඩා පවුල් ඒකක තුළය. ඒ ඇතැම් විට දෙමව්පියන්ගේ පූර්ණ අවධානය ඔවුන් වෙත යොමු වෙන නිසා විය යුතුය. එවැනි පවුල්වල දෙමව්පියන් දරුවන් කෙරෙහි තිබෙන වැඩි ආදරේ නිසාම දරුවාට නිදහසේ දුවපැන ඇවිදිමින් නිදහස්  ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථා අහිමි කරයි. අසල්වැසි ළමා ළපටින් සමග සෙල්ලම් කිරීමට ඇති අවස්ථා අහිමි කරයි. යම් යම් දේ අත්හදා බැලීම් ඔස්සේ ඉගෙන ගැනීමට ඇති අවස්ථා අහිමි කරයි. 

සැබවින්ම ඔබට ඔබේ දරුවා කිසිදු සිරීමක්වත් නැතිව එලෙස හදා වඩා ගත හැක. නමුත් වැඩි පරිස්සමට එලෙස හැදීම තුළින් දරුවා මානසික වශයෙන් දුර්වලයෙකු, නැතිනම් අන් ළමයින්ට සාපෙක්ෂව වටපිටාවේ ඇති දේ උකහා නොගත් අයෙකු බවට පත් විය හැකිය. එවැනි දරුවන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගෙන අවස්ථා සීමිත වේ. එවැනි දරුවන් අභියෝගවලට මුහුණ දීමට බියක් දක්වයි. සෑම විටම  දෙමව්පිය සරණම පතයි. අභියෝගයක් ආ විට දෙමව්පියන්ගේ පිටුපස හැංගීමට බලයි. තමන්ම සිතා යමක් කිරීමට තිබෙන හැකියාව ඔවුන්ට අඩුය. නිර්මාණශීලි හැකියාවන් ඉස්මතු නොවෙයි. හුදු පොත පතේ දැනුම පමණක් ඇත්තෙකු බවට දරුවා පත් වෙයි. මේ තත්වය දරුවෙකුගේ ඉදිරි ජීවිතයට නම් කොහෙත්ම හිතකර වන්නේ නැත.  

එමනිසා දරුවන්ට ළමාකාලය නිදහසේ විඳින්නට ඉඩදෙන්න. නගරයක ජීවත් වන්නේ නම් මසකට වරක් හෝ තුරුලතා පිරි උද්‍යානයකට රැගෙන ගොස්  පරිසරය විඳින්නට ළමයාට අවස්ථාව සළසා දෙන්න. 

දරුවාට සීතල, උණුසුම දැනෙන්නට ඉඩ හරින්න. බාහිර පරිසරයට නිරාවරණය වන්නට ඉඩ හරින්න. දරුවාගේ ප්‍රතිශක්තිය සහ දරාගැනීමේ හැකියාවන් වර්ධනය වන්නේ එවිටය. 

දරුවාට බඩගින්න නැති වෙලාවට පවා පිටුපසින් ගොස් පැරැත්ත කර කර බලෙන් ආහාර කැවීමෙන් වළකින්න. ඔවුන්ට බඩගින්න දැනෙන්නට ඉඩ හරින්න. 'සුවැති බණ්ඩියක්' ඔවුන්ට ලැබෙනු ඇතිවා පමණක් නොව  ඔවුන් ආහාරයේ ඇති වටිනාකම තේරුම් ගනු ඇත. 

කුඩා කල සිට අනවශ්‍ය ලෙස රැකවරණය ලද දරුවන් ඇඟපත මෝරා නිසි කලවයසට එළඹුන ද හැසිරෙනු ඇත්තේ නොදරුවන් මෙනි. ඔවුන් 'ගෙදරටත් බබා සමාජයටත් බබා' වර්ගයේ අයෙකු බවට පත් වනු ඇත.

හැකි සෑම විටම දරුවාට ස්වයං අධ්‍යයනයන්ට අවස්ථාව සළසා දෙන්න. දරුවාට සෙල්ලම් කිරීම මගින්, වටපිටාව ගවේෂණය කිරීම මගින් සහ අත්හදාබැලීම (trial & error)  මගින් දේවල් ඉගෙනීමට අවස්ථාව ලබා දෙන්න. අනවශ්‍ය ලෙස ඔවුන්ට උපදෙස් දීමට නොයන්න. එ යමක් දැක විමසා බලා තීන්දු තීරණ ගැනීමට දරුවාට බාධාවකි. 

එසේම සෙල්ලම් භාණ්ඩ ගෙනවිත් දීමේදී ද, දෙවරක් සිතන්න. කිසිවිටකත් සෙල්ලම් තුවක්කු වැනි ප්‍රචණ්ඩත්වය හුරුකරවන සුළු සෙල්ලම් භාණ්ඩ වර්ග ගෙනවිත් දීමෙන් වළකින්න. දරුවන්ගේ බුද්ධිය සහ නිර්මාණශීලිත්වය ඔප්නංවන සුළු ප්‍රහේළිකා (Puzzles) වර්ගයේ සෙල්ලම් භාණ්ඩ, කුඩා සංගීත භාණ්ඩ, ගෙවල් කට්ටල, වාහන වැනි දෑ ගෙනවිත් දෙන්න. 

දරුවාට ගැළපෙන- නොගැළපෙන භේදයක් නොබලා කුඩා කලසිටම ඔවුන් ඉල්ලන සෑම දේම ගෙනවිත් දෙමින්, කොටින්ම 'ඕනෑවට වඩා හුරුතල් කරමින්'  දරුවන් හැදීම තුළින් ''සෑම දෙයම තමන්ට හිමි විය යුතුය'' යන පටු මානසිකත්වයක් (Entitlement Mentality) දරුවන් නිර්මාණය කරගනී. එම මානසිකත්වය තුළින් ආත්මාර්ථකාමීව කටයුතු කිරීමට දරුවන් පෙළඹෙන අතර තම දෙමව්පියන්ගේ උත්සාහයන් ගැන කිසිදු වැටහීමක් හෝ අගය කිරීමක් ද ඔවුන් තුළ ඇති නොවේ. 

එලෙස අනවශ්‍ය ලෙස මව්පිය ආදර රැකවරණය ලද දරුවන් ලොකු මහත් වී, ඉගෙන කියාගෙන යම් ආයතනයක ඉහළ තනතුරකට පත් වුවහොත්, ඔවුන් අන් සේවකයන් ගැන හැගීමක් නැති, සමාජශීලී නැති අයෙකු බවට පත් වෙයි. එපණකුදු නොව තමා පානය කළ තේ කෝප්පය කිසිවෙකු හෝ හෝදනු ඇතැයි බලාපොරොත්තුවෙන් හෝ එය තමා සේදිය යුතු නැතැයි යන පටු මානසිකත්වයෙන් හෝ එය නොසෝදා, ආහාර ගන්නා පොදු  ස්ථානය තුළම තිබෙන්නට හරියි. තමා ආහාර ගැනීමේදී මේසය මතට වැටෙන ආහාර කැබලි කිසිවෙකු හෝ ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් හෝ එසේ අස් කිරීම තම තරාතිරමට තරම් නොවේ යැයි සිතා හෝ මේසය මතම තිබෙන්නට හරියි. ස්වයංසේවා නොවන හෝටලයක නම් එසේ කෙරුවාට කම් නැත. මේ අන් කිසිවක් නොව දෙමව්පියන්ගේ වැරදිය. මේ සරළ උදාහරණ කිහිපයක් පමණි.

එසේ නම් ඔබේ වගකීම කුමක් ද ?

ඔබේ වත්පොහොසත්කම අනුව
ඔබ ඔබේ දරුවාට සුවිසල් නිවසක, මිල අධික ආහාරපාන, පියානෝ වැනි සංගීත භාණ්ඩ ගෙනවිත් දෙමින්, පුළුල් තිර රූපවාහිනියක දසුන් නැරඹීමට පහසුකම් ද සළසා දෙමින් සුවපහසු ජීවිතයක් ගත කරන්නට අවස්ථාව සලසා දෙනවා විය හැකිය. 

නමුත් ඔබ ගෙවත්තේ තණකොල කපන විට ඔවුන්ට ද එය කරන අයුරු බලා සිටින්නට අවස්ථාව දෙන්න. ගෙදරදොර අස්පස් කරන විට දරුවාට ද ඊට සම්බන්ධ වීමට ඉඩදෙන්න. දරුවාගෙන් ලබාගත හැකි උදව් ඔවුන්ගෙන් ලබා ගන්න. ගෙදරදොර 'වැඩ'' කරන අයුරු දෑසින් දැක ගැනීමට අවස්ථාව ලබා දෙන්න. තම පිඟාන කෝප්පය ඔසවා ගත නොහැකි නම් පමණක් දරුවා ආහාර ගත් පසු, ඔබ ඔවුන්ගේ පිඟාන සේදුවාට කම් නැත. නමුත් එසේ නොවේ නම් තමන්ගේ පිඟාන කෝප්පය සෝදා ගැනීමට දරුවන් පුරුදු කරවන්න.  

ඔබේ දරුවාට එසේ කිරීමට ඉඩ දිය යුත්තේ ඔබේ කාර්යබහුලත්වය නිසා හෝ ගෙදරදොර කටයුතු කිරීමට සේවකයකු නොසිටිනා නිසා හෝ නොවේ. ඔබ ඔවුන්ට නිවැරදි ලෙස ආදරය කළ යුතු නිසාය

ඔබ ගෙදර දොරේ යම් වැඩක් කරන්නේ නම්, ඔබේ දරුවාට ද කුමන හෝ පුංචි උදව්වක් කිරීමට අවස්ථාව දෙන්න. එය ඇතැම් විට යම් උපකරණයක් ගෙන්වා ගැනීම විය හැකිය. 

එසේම අසල්වැසි දරුවන් සමග සෙල්ලම් කිරීමට ඔවුන්ට අවස්ථාව දෙන්න. එමගින් සාමූහිකත්ව ගුණාංග කුඩාකල සිටම ඔවුන් ඉගෙන ගනු ඇත. අනෙකාගේ උදව්වේ වටිනාකම තේරුම් ගනු ඇත. අනෙකා අගය කිරීමට ඉගෙන ගනු ඇත. 

මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය දරුවා නැණගුණ පිරි, තම වටපිටාව ගැන සවිඥානක, කායික මානසික නිරෝගීතාවෙන් යුතු පුද්ගලයෙකු බවට පත් වීමය. මේ සියල්ල සමග හැදෙන දරුවා ජීවිතයේ සැඳෑ සමයේදී ඔබට ද හොඳින් සළකනු ඇත.  

DON'T DO UNDER-PARENTING - දරුවන්ට අඩුවෙන් ද ආදරය නොකරන්න.

DON'T DO OVER-PARENTING -    ඕනෑවට වඩා ද ආදරය නොකරන්න.

JUST DO PARENTING -  අවශ්‍ය පමණට නිවැරදි ලෙස පමණක් ආදරය කරන්න.

Saturday, November 1, 2014

මුදල් ඔය කියන තරම් වටිනව ද?

‘‘ආ............මෙන්න’’

මා බස් රථයට ගොඩ වූ ස්ථානයේ සිට කොටුව තෙක් ගමන් ගාස්තුව වශයෙන් රුපියල් 20 ක් ගත් කොන්දොස්තර මහතා, ඉතුරු මුදල් වශයෙන් රුපියල් 20 කොළයක් සහ රුපියල් 10 කොළයක් මා අත තැබීය.

මුදල් පරිහරණයේදී මාගේ එක්තරා පුරුද්දක් ඇත. එනම් මුදලේ වටිනාකමේ අනුපිළිවෙළට පසුම්බිය තුළ මුදල් තැන්පත් කර ගැනීමයි. ඒ අනුව රුපියල් 20 කොළය යට තිබූ රුපියල් 10 කොළය උඩට ගෙන, මම පසුම්බියට බහාළීමට සූදානම් වුණෙමි. පුරුද්දේ වාසනා මහිමය !

"මේක ඉරිලනෙ.... මේක නැතුව මට වෙන 10ක් ගන්න පුලුවන් ද?''

තුනෙන් පංගුවකට වඩා ඉරී තිබූ රුපියල් 10 කොළය යළි කොන්දොස්තර මහතාට දී, ඒ වෙනුවට වෙනත් කොළයක් මම ඉල්ලා ගතිමි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඉරුණු මුදල් නෝට්ටු බස් රථය තුළදී මාහට ලැබී ඇතිමුත්, එය කොන්දොස්තරවරයාගේ දැනුවත්කම පිට සිදුවන්නක් ද නැතහොත් අත්වැරදීමෙන් සිදු වන්නක් දැයි එකහෙළා පැවසීමට මට නොහැක. කෙසේ වෙතත් නිසැක ලෙසම එම ඉරුණු නෝට්ටු කිසියම් මගියෙකුගෙන්ම ඔවුන් අතට පත්වන්නට ඇත. 

සැබවින්ම අපේ රටේ ඇතැමෙක් මුදල් නෝට්ටු හරිහැටි පරිහරණය කිරීමට නොදන්නා බව මුදල් නෝට්ටු කිහිපයක් අතට ගත් විට මනාව පැහැදිළි වේ. කාසි මෙන්ම මුදල් නෝට්ටු ද හුවමාරුව ආත්මය කරගත් ඒවාය. එමනිසා කාසිවල මෙන්ම මුදල් නෝට්ටුවල ද අයිතිය නිරන්තරව මාරු වේ. එනම් තමා සන්තකයේ ඇති විට මුදලේ අයිතිය තමාට වුව ද, තවත් කෙනකු අතට එය පත් වූ විට, එය එම තැනැත්තාගේ අයිතියට නතු වේ. නමුත් තම අයිතියට නතු වූ පමණින් මුදල් නෝට්ටු කිළිටි කිරීමට, නැවීමට, පොඩි කිරීමට සහ විකෘති කිරීමට නෛතික වශයෙන් අපට කිසිදු අයිතියක් නැත.

මුදල් නෝට්ටු විකෘති කිරීම ශ‍්‍රී ලංකා මුදල් නීති පනතේ 58 වන වගන්තියට අනුව දඳුවම් ලැබිය හැකි වරදකි.   

පනතේ ඒ බව මෙසේ සඳහන් කර තිබේ. 

Chapter III, Section 58 of Monetary Law Act No. 58 of 1949

ශ‍්‍රී ලංකාවේ මුදල් සම්බන්ධයෙන් පූර්ණ අධිකාරි බලය ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවටය. එබැවින් මුදල් නෝට්ටුවල යම් වෙනසක් සිදු කරන්නේ නම්, එය කිරීමේ පූර්ණ අයිතිය සහ බලය ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවට විනා අන් කිසිවෙකුට හෝ නොවේ. මුදල් නෝට්ටු විකෘති කිරීම සම්බන්ධයෙන් නෛතික පැත්ත කෙසේ වුව ද, මුදල් නෝට්ටු විකෘති කිරීම කොතරම් සදචාරසම්පන්න දැයි මඳක් සිතා බැලීම වටී.

එසේම රුපියල් 05 කාසි යොදා ගෙන සකසන ලද මාල ඇතැම් විට බස්රථවලදී හෝ මගතොටේදි අලෙවි කරනු ඔබ දැක තිබෙන්නට පුලුවන. නමුත් පෙරකී පනතේ 58A වගන්තියට අනුව එලෙස කාසි උණු කිරීම සහ විකෘති කිරීම නීතියට පටහැනි වන්නා සේම දඬුවම් ලැබිය හැකි වරදක් ද වේ. 

ඔබට සම්පූර්ණ පනත කියවීමට අවශ්‍ය නම් පහත ලින්කුව යොදා ගන්න.


කිසියම් ගනුදෙනුවකදී යම් අයෙකු ඔබට ලබා දෙන්නේ අපිරිසිදු නෝට්ටු (හෝ විකල නෝට්ටු) නම් එම නෝට්ටු ප‍්‍රතික්‍ෂේප කර, පිරිසිදු නෝට්ටු ඉල්ලා සිටීමේ පූර්ණ අයිතිය ඔබ සතුව ඇත.

ඇතැමුන් මුදල් නෝට්ටු පරිහරණයේදී කරන්නා වූ ප්‍රධාන වැරදි කිහිපයක් මෙසේ පෙන්වා දිය හැකිය.

1. මුදල් නෝට්ටු මත විවිධ දේ ලිවීම (නිදසුන් ලෙස තම නම, පෙම්වතාගේ හෝ පෙම්තියගේ නම, දුරකතන අංක, කවි, සින්දු ආදිය)

2. මුදල් නෝට්ටු කැපීම සහ සීරීම

3. මුදල් නෝට්ටු නැවීම, පොඩි කිරීම, ගුළි කිරීම පමණක් නොව අපිරිසිදු අතින් ඇල්ලීම



සැබවින්ම හිස් කොළයක් ගෙන එහි තම නම මතු නොව තම හත්මුතු පරම්පරාවේම නම් ලැයිස්තුව ලීවාට කිසිදු ප‍්‍රශ්නයක් නැත. නමුත් එය අතින් අතට යන, අතින් අතට යා යුතු මුදල් නෝට්ටු මත කිරීම නම් අශෝභනය. පිළිකුල්ය.

තම පෙම්වතාට හෝ පෙම්වතියට ආදරේ නම් එය සනිටුහන් කළ යුත්තේ ඇයගේ හෝ ඔහුගේ හදවතේ මිස, අතින් අතට යන මුදල් නෝට්ටු මත නම් නොවන බව විකෘති මානසික ආශාවන් ඇතිවුන් කවදා නම් තේරුම් ගනීවි ද?

පොතක පිටු මත පෑනේ තීන්ත සිඳෙන තුරු කවි, ගී, පදවැල් දහසක් වුව ලීවාට කිසිදු ගැටලුවක් නැත. නමුත් එය මුදල් නෝට්ටු මත කිරීම නම් අශෝභනය. පිළිකුල්ය.

ඇතැමෙක් වෙළඳසැලේදී හෝ බස් රථයේදී ඉතුරු මුදල් ලද පසු, එය ගුලිකර තම සාක්කුවේ ඔබා ගනිති. සාමාන්‍යයෙන් අපි අනවශ්‍ය කොළ කැබලි නම් ගුලිකර කුණු කූඩයට දමන්නෙමු. එසේ කරන්නේ ද කුණුකූඩයේ ඉඩ ඉතිරි කරගනු පිණිසය. නමුත් වටිනාකමක් ඇති මුදල් නෝට්ටු එලෙස ගුලිකර දමා ගැනීමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඇති අපිළිවෙළ සහ අපිරිසිදුකම විනා අන් කිසිවක් හෝ නොවේ.

ඇතැම් අයගේ මුදල් පසුම්බිය මීතොටමුල්ලේ කුණු කන්ද මෙනි. (ප‍්‍රසිද්ධ බ්ලූමැන්ඩල් කුණු කන්ද දැන් නිකන්ම පස්කන්දක් බැවින් එය නිදසුන් කර නොගත්තෙමි). කුණු ගොඩ අපිළිවෙළ යැයි කිසිවෙකුත් දොස් කියන්නේ නැත. මන්ද කූණු ගොඬේ ස්වභාවයම අපිළිවෙළ වන නිසාය. නමුත් මුදල් පසුම්බිය යනු තමන්ට නිතර අවශ්‍ය වන වටිනා දේ බහාළන තැනයි. එබැවින් තම පසුම්බිය තුළ මුදල් නෝට්ටු තැන්පත් කර ගැනීමේදී, වටිනාකමේ අනුපිළිවෙළින් (වටිනාකමින් ඉහළ නෝට්ටු යටටත්, වටිනාකමින් අඩු නෝට්ටු උඩටත් එන පරිදි) අසුරා ගැනීමෙන් මුදල් නෝට්ටු සුරැකෙනවා පමණක් නොව මුදල් ඉවතට ගැනීමේදී තමන්ට ද පහසුවක් ගෙන දෙයි.

පසුම්බියෙහි මුදල් තැන්පත් කළ යුතු පිළිවෙළ මෙන්න.




විකල වූ හෝ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මුද්‍රණය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට වසරකට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව ඔබ දන්නවා ද?

2012 වසරේදී පමණක් රුපියල් මිලියන 159.6ක වටිනාකමින් යුත් භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටු ප‍්‍රමාණයක් මහ බැංකුව විසින් විනාශ කර ඇති අතර එම විනාශ කළ නෝට්ටු වෙනුවට අලූතින් නෝට්ටු නිකුත් කිරීමට මහ බැංකුව රුපියල් මිලියන 855ක මුදලක් වැය කර ඇත. (දත්ත මූලාශ‍්‍රය:-ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් 'පිරිසිදු මුදල් ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව' මැයෙන් 2014.03.23 දිනැති දිවයින පුවත්පතේ පළ කළ ආර්ථික ලිපිය)

මේ වැය වන්නේ මේ රටේ සුවහසක් මිනිසුන්ගේම මුදල්ය. ග‍්‍රාමීය ප‍්‍රදේශයකට සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට තිබෙන මුදල්ය. අඩුපාඩු සහිත පාසලකට පහසුකම් දීමට තිබෙන මුදල්ය. කොටින්ම කියනවා නම් මේ රටේ මිනිසුන් වෙනුවෙන් කුමන හෝ වැඩදායක දෙයක් කිරීමට තිබෙන මුදල්ය.

පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය මගින් අපට ලැබෙන මහඟු ප‍්‍රතිලාභ කිහිපයක් මෙසේය.

1. මුදල් නෝට්ටුවල ආයු කාලය දිගු වෙයි.

2. නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා වැය වන වියදම අඩු වෙයි.

3. විදේශ මුදල් දේශීයව මාරු කිරීමේදී අපේ මුදල් නෝට්ටුවල පවතින හොඳ තත්වය නිසා විදේශිකයන් අප රට පිළිබඳ යහපත් පළමු හැගීමක් ඇති කර ගනියි.

4. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපට තම රටේ පුරවැසියන් ගැන ආඩම්බරයක් ඇති වෙයි.

4. පිරිසිදු නෝට්ටු තේරීම, බන්ඩල් කිරීම, ගණන් කිරීම පහසුය.

5. පිරිසිදු නෝට්ටු භාවිතය රොගකාරක විෂබීජ පැතිර යාමේ අවදානම ද අඩු කරයි.

මහබැංකුව විසින් වසර ගණනාවක් මුළුල්ලේ ජනතාව අතර පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමට සුවිශේෂී වැඩසටහන් දියත් කරමින් සිටී. 

තවමත් සංසරණයේ තිබෙන රුපියල් 500, 1000, 2000 පැරණි නෝට්ටු සම්පූර්ණයෙන් දමා ගැනීමට ඔබේ මුදල් පසුම්බිය ප්‍රමාණවත් නොවන බව ඔබ අත්දැකීමෙන් දනී. එසේ දමා ගත් විට නෝට්ටුවෙන් කොටසක් පසුම්බියෙන් පිටතට මතු වී එම කොටස හොඳහැටි නැවී පොඩි වන බව ද ඔබ හොඳාකාරව දනී. නමුත් මෑතකදී ප්‍රමාණයෙන් කුඩා මුදල් නෝට්ටු නිකුත් කිරීමට මහබැංකුව සාධනීය පියවර ගත්තේ ද රට තුළ පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමටය.

ඊට අමතරව රට පුරා පිහිටි වාණිජ බැංකු හරහා තමන් අත තිබෙන භාවිතයට නුසුදුසු හෝ විකල නෝට්ටු (Unfit or Mutilated Notes) අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමේ අවස්ථාව ද සළසා තිබෙන අතර කිසිදු බැංකුවකට එය ප්‍රතික්ෂේප කළ නොහැක. 

එලෙස නෝට්ටු මාරු කිරීමේදී මෙයත් මතක තබා ගත යුතුයි. 

එනම් ඔබ රැගෙන යන මුදල් නෝට්ටුව සත්‍ය එකක් වුනත්, පලුදු වෙලා නම් අවම වශයෙන් මුදල් නෝට්ටුවෙන් තුන් කාලක් (3/4) සහ අවම වශයෙන් එක් නෝට්ටු අංකයක්වත් තිබිය යුතු වීමයි. විකල නෝට්ටුව සඳහා සම්පූර්ණ මුදල ප‍්‍රතිපූරණය කිරීමට මහ බැංකුව කටයුතු කරන්නේ එලෙස තිබේ නම් පමණයි. එසේම නොට්ටු අංක හඳුනාගත හැකි අයුරින් නොට්ටුවේ බාගයක් පමණක් තිබේ නම්, එවිට ඔබට ලැබෙන්නේ එම නෝට්ටුවේ වටිනාකමින් බාගයක් පමණයි.

එසේම මේ 2014 වසරේ සිට රුපියල් 10 නෝට්ටු යළි මුද්‍රණය නොකිරීමටත් ඒ වෙනුවට කාසි පමණක් නිකුත් කිරීමටත් මහ බැංකුව තීරණය කර ඇත්තේ ද, රුපියල් 10 මුදල් නෝට්ටු විකෘති වීමට පිළියමක් වශයෙනුයි. නමුත් ඉහළ වටිනාකම් සහිත නෝට්ටු සඳහා එම පිළියම යෙදිය නොහැක. 

එසේ නම් රට තුළ පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමට නම් මහජනතාව වශයෙන් අප කළ යුත්තේ මුදල් පරිහරණය කිරීමේදී වඩා වගකීම්සම්පන්න වීමයි. වඩා විනයගරුක වීමයි. ඒ හැර වෙන විකල්පයක් නම් නැත.

  මුදලට වටිනාකමක් දෙන්න- ඔබට වටිනාකමක් ගන්න
Give value to money-Add value to you

Tuesday, October 21, 2014

ඉඩෝරය


කොළොම්තොට මහවැස්ස.....
කිසිදු අරුතක් නැතිව...
පාරතොට යටවෙලා...
පයින්වත් යා නොහැක...
කොළොම්තොට එලෙස වුව...
අනෙක් පැති එලෙස නැත... 
අහස නිල්සයුර මෙනි..
සුදු වළා රැළි විසුළ...
වතුරපොදකුදු නැතිව..
මිය ඇදෙන තුරුලතා..
පණ අදින වගාබිම්...
නැගෙන ජන ළසෝහඬ... 
නොපෙනේ ද නොඇසේ ද..
 බලකාර දෙවිවරුනි...??

එකදු වරුසාවක් තබා වැහි වළාවක සේයාවකදු නැත. අහස් ගැබ, සුදු පැහැති රැළි කැටිති පිරි නිල් මහසයුර මෙනි. අතොරක් නැතිව දවස පුරා පතිත වන අව්රශ්මිය උහුළනු බැරි තරම්ය. පසුගිය සමයේ නිලට දිළුණු ගස්වල කොළ, දැන් සම්පූර්ණයෙන්ම වාගේ වියළී ගොසිනි. වරින් වර හමන සුළඟට ගස්වල ඇති වියළි කොළ ගැලවී මහපොළොව සිපගනියි. දුහුවිල්ල සමග දසත පැතිරෙන වියළි කොළ, වරින් වර බිම සහ අහස සිපගනිමින් නිරන්තර චලනයේ යෙදෙයි. උසට උසේ වැඩුණු පොල් ගස් ද බිමට නැමුණු අමු අතු සහිතව මළානිකව ඇත. ඇතැම්වා මිය ගොසිනි. දැඩි ඉඩෝරයන්ට පවා ඔරොත්තු දෙන සුළු මහා කොහොඹ ගස් ද මෙවර දැඩි නියංසායට හසුව ජීවිතයත් මරණයත් අතර සටනකය.

ප‍්‍රදේශයේ ගොඩමඩ වගාබිම් පෝෂණය කරමින් වෙනදා ගලාගිය ඇළදොළ ද දැන් නිසලය. ඇළෙහි තැන තැන වලගැසුණු තැන්වල පමණක් දිය ඉතිරිව ඇත. දිය පිරුණු කාලයෙහි මෙහි සිටි මත්ස්‍ය කැළ අද කොහිදැයි කිව නොහැක. මාළුන් අතලොස්සක් පමණක් ඇළෙහි දිය රැඳුණු තැන්වල දිවි රැක ගෙන සිටිති. නමුදු ඇළ කණ්ඩියේ ගසක අත්තකට වී මාළුන් ඩැහැ ගැනීමට මාන බලනා පිළිහුඩුවන් ද, දියකඩිත්තෙහි මඳක් ඉහළට එසවුණු ගලක් මත නිසොල්මන්ව දෑස් අයා සිටිනා කොකුන් ද ඔවුන්ගේ ජීවිත ඉරණම කඩිනමින්ම විසඳනු ඇත.  

Drought

කිසිදු වැස්සක සේයාවකදු නැති අහස් කුස දෙස බලා මිනිසුන් සැමදා හූල්ලති. ඇතැම් දිනවල වහින්නට පෙරමං හදමින් එක්රොක් වන කළු වළාකැටි ද, දැඩි සුළඟත් සමග ඈත නොපෙනෙන ඉසව්වකට ගසා ගෙන යයි. කළ ගොවිතැන් බොහොමයක් ද ජලය නොමැති කමින් විනාශ වී යාම නිසා, ගොවිතැන ජීවිකාව කරගත් සාතිශය බහුතර ජනයා අද අන්ත අසරණ තත්වයකය. 

මේ කියූවේ පසුගිය මාස තුනකට ආසන්න කාලයක් පුරා දකුණේ විශේෂයෙන් හම්බන්තොට ප‍්‍රදේශයට බලපෑ නියං රකුසාගේ තරමය. පෙලොන්නරුව, අනුරාධපුර, අම්පාර සහ මොනරාගල වැනි ප‍්‍රදේශවල තත්වය ද මීට නොවෙනස් නැත.  

එහෙත් නියගය බලපා මාස හතරකට පමණ පසු, පසුගිය දා හම්බන්තොට ප‍්‍රදේශයට සැළකිය යුතු තරමේ වරුසාවක් ඇදහැළුණි. එම වරුසාවත් සමග එතෙක් කොළ හැළී දුඹුරු පැහැවන්ව තිබූ වතුපිටි, දැන් යළිත් කොළ පැහැ ගැන්වෙමින් පවතී. රතට රතේ දළු ළන ගස් ඇසට ප‍්‍රිය උපදවයි. 

Hambanthota, Sri Lanka

මෙම වරුසාව මිනිසුන්ට ද නව බලාපොරොත්තු එක් කර ඇත. වරුසාවත් සමග ළඳු කැළෑ එළි පොහෙළි කර, මහ කන්නය සඳහා මුං, කව්පි, කුරහන්, රටකජු, තල වැනි ධාන්‍ය වර්ග වගා කිරීමට ද මිනිසුන් මේ දිනවල යුහුසුළුව කටයුතු කරමින් සිටිති. 

වැස්සක් දෙකක් ඇද හැළුන ද, මේ ප‍්‍රදේශයෙහි ඇති ගිනිගහන අව්රස්මියෙහි නම් කෙළවරක් නැත. හිසට රෙදි කඩක් දමාගෙන හෝ තොප්පියක් පැළඳ, මහපොළොව සමග මිනිිසුන් හැප්පෙන්නේ එනිසාය. පැය ගණනක් තිස්සේ මෙලෙස මහපොළොව සමග හැප්පීම නම් එතරම් පහසු කටයුත්තක් නොවේ.

Hambanthota,Sri Lanka
ඇතැමෙක් අත්ට‍්‍රැක්ටර හෝ මහට‍්‍රැක්ටර යොදා ගෙන හේන් කෙරුවාව සඳහා පොළොව පෙරළන කාර්යය සිදු කළ ද, මේ මිනිසුන් තම දෑතින්ම එම කාර්යය සිදු කරනුයේ පිරිවැය අඩු කරගනු පිණිසය. තල වපුරා පොලොව පෙරළන්නේ තල ඇට පස්වලට යටවනු පිණිස සහ පස් තට්ටුව බුරුල් වනු පිණිසය. තල ඇට පැළ වී සරුසාරව වැඞීමට එය මහත් පිටිවහළක් ගෙන දේ. මෙලෙස තල වැපිරීමේදී තල ඇට සමග මුසුවන්නේ මහපොළොවේ පස් විතරක්ම නොවේ. මේ මිනිසුන්ගේ දහඩිය කඳුළු.

මහපොළොව සමග මෙලෙස හැප්පීමේදී ගතට දැනෙන විඩාව පිළිබඳව කැත්ත උදැල්ල අතට ගත්තෙකුට නම් අමුතුවෙන් නොකිවමනාය. එලෙස දැනෙන විඩාව සන්සිඳුවා ගැනීමට උණුසුම් කහට කෝප්පය තරම් විඩාසන්සිඳුවන පානයක් තවත් නැත. අල්ලට සීනි ටිකක් දමා ගෙන නැතිනම් හකුරු කෑල්ලක් සමග උගුරෙන් උගුර කහට කෝප්පයකින් සප්පායම් වූ පසු, තවත් පැය කිහිපයක් ජවයෙන් වැඩකිරීමට එය ගතට මහා සවියක් ගෙන දෙයි.   

Hambanthota, Sri Lanka

තවමත් හම්බන්තොට ප‍්‍රදේශයේ ඇළවේළි සඳහා උඩවළව ජලාශයෙන් ජලය මුදා හැර නැත. ජලය මුදා හැරීමට තරම් ප‍්‍රමාණවත් ජල මට්ටමක් උඩවළවේ ද නැත. මිනිසුන් දැනට කරගෙන යන තක්කාලි, වම්බොටු වැනි වගා සඳහා වතුර ගසන්නේ ද ඇළෙහි ඉතිරිව ඇති දිය ටිකෙනි. වතුර මැෂිමෙන් වතුර ගැසීමට තරම් ප‍්‍රමාණවත් ජල මට්ටමක් නොමැති නම් බොහෝ විට ඇළෙහි අඩි තුන හතරක වළක් හාරා එම කාර්යය සිදු කරති. මන්ද ජලය අඩුවී රොන් මඩ බටය දිගේ මැෂිමට ඇදීගියහොත් සිදු වන්නේ නිකරුණේ තම කාලය ශ‍්‍රමය සහ ධනය නාස්ති කර ගැනීමටය.  

අප කන බත් ඇටේ සිට සෑම භාණ්ඩයකටම අපි මිලක් ගෙවා ලබා ගන්නා බව ඇත්තය. එහෙත් බිම්ටට්ටමේ සිටිනා මේ මිනිසුන් වගුරනා දහඩිය මහන්සියට සැබෑ මිලක් සහ වටිනාකමක් ලැබේ ද යන්න නම් ගැටලූවකි.

Saturday, October 4, 2014

ප්‍රීතිමත් ජීවිතයකට මග......

1. දවස අරඹන්න ප්‍රබෝධමත්ව සහ නැවුම් ලෙස.

ඔබේ නිවසේදී වේවා ඔබේ නවාතැනේදී වේවා ඔබේ කාර්යාලයේදී වේවා උදෑසන යමෙකු පළමු වරට හමුවන විට සුහද සිනාවක් සමග '' Good Morning'' කියා ආචාර කරන්න. එය පුද්ගල සබඳතා දිනෙන් දින අලුත් කිරීමට බෙහෙවින් හේතු වේ. 

2. දවස පුරා ප්‍රසන්න මුහුණින් සිටින්න.

ඔබ වඩාත් කැමති ශෝකයෙන් බර, මළානික අයෙකු සමග ඔබේ දවස ගෙවන්න ද නැතිනම් සිනාමුසු මුහුණින් පිරි, විහිළුවක්-තහළුවක් කරමින් විනෝදකාමීව සිටිනා අයෙකු සමග දවස ගෙවන්න ද ?



ඔබේ නිසැක පිළිතුර වනු ඇත්තේ මා දෙවනුවට කී ගණයේ අය සමග සිටීමට ඔබ කැමති බවයි. 

එසේනම් ඔබ මෙන්ම ඔබ වටා සිටින සෙසු අය ද එලෙස ඔබ සිනාමුසු මුහුණින් සිටිනු දැකීමට කැමතිය. සැබවින්ම කෙනකුට ඔබ වෙත සමීප වන්නට සිත් දෙන්නේ ඔබ හොඳ මුහුණුවරකින් (මූඞ් එකකින්) සිටී නම් පමණි.
 
3. උදව් අවැසි අයට උදව් උපකාර කරන්න.

ඔබේ පවුලේ සහෝදර-සහෝදරියන්ට, යහළු-යෙහෙළියන්ට, අසල්වැසියන්ට උදව් අවශ්‍ය විට ඔබට කළ හැකි උපරිමයෙන් උදව් කරන්න.

ඔබේ සහෝදර-සහෝදරියන් නැතහොත් ඔබ සමග එකම නවාතැනේ සිටිනා යහළුවා විභාගයට සූදනම් වන්නේ නම් ඔවුන්ට උදව් කරන්න. මෙය භෞතික උදව්වක්ම විය යුතු නැත. නිදසුනක් ලෙස විභාගයට සූදානම් වන අයෙකු සිටී නම් ඇතැම් විට ඔබට කළ හැකි හොඳම උදව්ව උපකාරය වනු ඇත්තේ ඔබගේ වෙනදා සුපුරුදු චර්යාව මඳක් පාලනය කරගැනීම විය හැක. එනම් වෙනදා මහ හඬින් දැමූ රේඩියෝව හෝ රූපවාහිනිය මඳක් අඩු කර ඇසීම- බැලීම විය හැක.

ඔබ අවිවාහකයෙකු නම් නිවසේදී ඉවුම්පිහුම් කිරීමට, නිවස පිරිසිදු කිරීමට තම මවට කුඩා හෝ සහයෝගයක් ලබා දෙන්න. 

ඔබ විවාහක පිරිමියෙකු නම් විශේෂයෙන්ම ඉවුම්පිහුම් කිරීමේදී සහ ගෙදරදොර කටයුතුවලදී ඔබේ බිරිඳට සහයෝගය ලබාදෙන්න. ඔබ කාන්තාවක නම් සැමියාගේ වැඩකටයුතුවලට උදව් කරන්න. ශක්තිමත් පවුල් සබඳතාවකට එය බෙහෙවින් ඉවහල් වනු ඇත.

බස්රථයක හෝ මගතොට යන එන විට ඔබට අතපාන්නෙකුට සුළු හෝ උපකාරයක් කරන්න. ලංකාවේ නම් බස් රථයකට ගොඩවන මුදල් එකතු කරන්නන්ගේ ප‍්‍රමාණයේ හැටියට ඒ සැමට උපකාර කිරීමට අපට කිසිසේත්ම නොහැක. එමනිසා අඩුම තරමේ ජීවත් වීමට වෙනත් කිසිවක් කරගත නොහැකි තරමට ආබාධිත යැයි හැඟෙන අයෙකුට හෝ පුංචි උපකාරයක් කරන්න. ඉන් ඔබට විශාල මානසික සතුටක් ලැබෙනු ඇත.

ඔබේ යහළුවකු හෝ ඔබේ සේවාස්ථානයේ අයෙකු යම් උදව්වක් ඉල්ලූ විට ඔබට එය කළ හැකි දෙයක් නම් එය නොපිරිහෙළා ඉටු කරන්න. යමෙකු ඔබෙන් උදව්වක් ඉල්ලූ විටක ඔබට හැකියාව  තිබියදී ඔබ එය නොකර සිටී නම් ඔවුන් ද ඔබට උදව් නොකරනු නිසැකය.

4. ඔබේ පවුලට, යහළු මිතුරන්ට ශක්තියක් වන්න.

ඔබ යම් දුකකට-කලකිරීමකට පත්ව සිටින විට, යමෙකු පැමිණ ඔබ සමග සුහදව කතාබස් කොට ඔබට ශක්තියක් වෙයි නම් ඔබට එය කොතරම් දෙයක් ද?



එසේ නම් ඔබ ද ඔබ වටා සිටිනා යහළු මිතුරන්ට ඔවුන්ගේ දුකේදී -වේදනාවේදී ශක්තියක් වන්න. ඔවුන් සමග සිටින්න. ඔවුන්ගේ හිත හදන්න. එවිට ඔවුන් කිසිදිනක ඔබව අමතක නොකරනු ඇත.

5. හුදු විවේචනය පමණක් උරුමකරගත්තෙකු නොවන්න.

මේ කියන්නට යන්නේ කිසිසේත්ම විවේචනය නොකළ යුතු බව නම් නොවේ. එහෙත් එය ප‍්‍රයෝජනවත් සහ සුහද සිතින් කරනා විවේචනයක් විය යුතු බවය. හුදු විවේනයට පමණක් සීමා නොවූ දිරිගැන්වීම්, යෝජනා සහ මගපෙන්වීම් ද සහිත එකක් වියයුතු බවය.


ඔබේ ආයතනයේ සහෝදර කාර්යමණ්ඩලය හෝ යහළුමිතුරන්ව සුහදව තබා ගැනීමට නම් ඔබ අණක් ගුණක් නැති සැරපරුෂ විවේචනයෙන් නම් මිදිය යුතුමය. 

එසේම අවිචාරවත්ව කටමැන දොඩවන්නෙකු වනවාට වඩා පිරිස අතර ඔබ හොඳ සවන්දෙන්නෙකු වන්න. 

6. යමක් කීමට සහ කිරීමට පෙර හොඳින් සිතා බලන්න.

බොහෝ විට සිදු වන්නේ මෙහි අනෙක් පැත්තය. එනම් වැඬේ සිදු වූ පසුව එහි අනිටු ප‍්‍රතිවිපාක ගැන පසුතැවීමය. එමනිසා යමක් කිරීමට පෙර එයින් ඇති විය හැකි ප්‍රතිඵල කෙබඳුදැයි යන්න හොඳින් විමසා බැලිය යුතුය.

එසේම කිසිවිටකත් කටට ආ පළියට වචන පිට නොකළ යුතුය. එහි පාලනයක් තිබිය යුතුමය.

                                      '' මහනෙල් සුවඳමය- කුඩමස පිළීගඳමය
                                       දෙකට එක දියමය- හොඳට නරකට දෙකට කටමය''


යනුවෙන් උපදේශාත්මක කවි ගී ලියවී ඇත්තේ කවියන්ගේ  අත කහනවාට නම් නොවේ.

මෙකී කරුණු ඔබේ එදිනෙදා ජීවිතයට එකතු කරගන්න. ඔබට මානසික සතුටක් වගේම හොඳ ගෙදරදොර පරිසරයක් සහ හොඳ රැකියා පරිසරයක් නිර්මාණය වනු නිසැකයි

                                                          ඔබට සදා ජය !!!