Tuesday, October 21, 2014

ඉඩෝරය


කොළොම්තොට මහවැස්ස.....
කිසිදු අරුතක් නැතිව...
පාරතොට යටවෙලා...
පයින්වත් යා නොහැක...
කොළොම්තොට එලෙස වුව...
අනෙක් පැති එලෙස නැත... 
අහස නිල්සයුර මෙනි..
සුදු වළා රැළි විසුළ...
වතුරපොදකුදු නැතිව..
මිය ඇදෙන තුරුලතා..
පණ අදින වගාබිම්...
නැගෙන ජන ළසෝහඬ... 
නොපෙනේ ද නොඇසේ ද..
 බලකාර දෙවිවරුනි...??

එකදු වරුසාවක් තබා වැහි වළාවක සේයාවකදු නැත. අහස් ගැබ, සුදු පැහැති රැළි කැටිති පිරි නිල් මහසයුර මෙනි. අතොරක් නැතිව දවස පුරා පතිත වන අව්රශ්මිය උහුළනු බැරි තරම්ය. පසුගිය සමයේ නිලට දිළුණු ගස්වල කොළ, දැන් සම්පූර්ණයෙන්ම වාගේ වියළී ගොසිනි. වරින් වර හමන සුළඟට ගස්වල ඇති වියළි කොළ ගැලවී මහපොළොව සිපගනියි. දුහුවිල්ල සමග දසත පැතිරෙන වියළි කොළ, වරින් වර බිම සහ අහස සිපගනිමින් නිරන්තර චලනයේ යෙදෙයි. උසට උසේ වැඩුණු පොල් ගස් ද බිමට නැමුණු අමු අතු සහිතව මළානිකව ඇත. ඇතැම්වා මිය ගොසිනි. දැඩි ඉඩෝරයන්ට පවා ඔරොත්තු දෙන සුළු මහා කොහොඹ ගස් ද මෙවර දැඩි නියංසායට හසුව ජීවිතයත් මරණයත් අතර සටනකය.

ප‍්‍රදේශයේ ගොඩමඩ වගාබිම් පෝෂණය කරමින් වෙනදා ගලාගිය ඇළදොළ ද දැන් නිසලය. ඇළෙහි තැන තැන වලගැසුණු තැන්වල පමණක් දිය ඉතිරිව ඇත. දිය පිරුණු කාලයෙහි මෙහි සිටි මත්ස්‍ය කැළ අද කොහිදැයි කිව නොහැක. මාළුන් අතලොස්සක් පමණක් ඇළෙහි දිය රැඳුණු තැන්වල දිවි රැක ගෙන සිටිති. නමුදු ඇළ කණ්ඩියේ ගසක අත්තකට වී මාළුන් ඩැහැ ගැනීමට මාන බලනා පිළිහුඩුවන් ද, දියකඩිත්තෙහි මඳක් ඉහළට එසවුණු ගලක් මත නිසොල්මන්ව දෑස් අයා සිටිනා කොකුන් ද ඔවුන්ගේ ජීවිත ඉරණම කඩිනමින්ම විසඳනු ඇත.  

Drought

කිසිදු වැස්සක සේයාවකදු නැති අහස් කුස දෙස බලා මිනිසුන් සැමදා හූල්ලති. ඇතැම් දිනවල වහින්නට පෙරමං හදමින් එක්රොක් වන කළු වළාකැටි ද, දැඩි සුළඟත් සමග ඈත නොපෙනෙන ඉසව්වකට ගසා ගෙන යයි. කළ ගොවිතැන් බොහොමයක් ද ජලය නොමැති කමින් විනාශ වී යාම නිසා, ගොවිතැන ජීවිකාව කරගත් සාතිශය බහුතර ජනයා අද අන්ත අසරණ තත්වයකය. 

මේ කියූවේ පසුගිය මාස තුනකට ආසන්න කාලයක් පුරා දකුණේ විශේෂයෙන් හම්බන්තොට ප‍්‍රදේශයට බලපෑ නියං රකුසාගේ තරමය. පෙලොන්නරුව, අනුරාධපුර, අම්පාර සහ මොනරාගල වැනි ප‍්‍රදේශවල තත්වය ද මීට නොවෙනස් නැත.  

එහෙත් නියගය බලපා මාස හතරකට පමණ පසු, පසුගිය දා හම්බන්තොට ප‍්‍රදේශයට සැළකිය යුතු තරමේ වරුසාවක් ඇදහැළුණි. එම වරුසාවත් සමග එතෙක් කොළ හැළී දුඹුරු පැහැවන්ව තිබූ වතුපිටි, දැන් යළිත් කොළ පැහැ ගැන්වෙමින් පවතී. රතට රතේ දළු ළන ගස් ඇසට ප‍්‍රිය උපදවයි. 

Hambanthota, Sri Lanka

මෙම වරුසාව මිනිසුන්ට ද නව බලාපොරොත්තු එක් කර ඇත. වරුසාවත් සමග ළඳු කැළෑ එළි පොහෙළි කර, මහ කන්නය සඳහා මුං, කව්පි, කුරහන්, රටකජු, තල වැනි ධාන්‍ය වර්ග වගා කිරීමට ද මිනිසුන් මේ දිනවල යුහුසුළුව කටයුතු කරමින් සිටිති. 

වැස්සක් දෙකක් ඇද හැළුන ද, මේ ප‍්‍රදේශයෙහි ඇති ගිනිගහන අව්රස්මියෙහි නම් කෙළවරක් නැත. හිසට රෙදි කඩක් දමාගෙන හෝ තොප්පියක් පැළඳ, මහපොළොව සමග මිනිිසුන් හැප්පෙන්නේ එනිසාය. පැය ගණනක් තිස්සේ මෙලෙස මහපොළොව සමග හැප්පීම නම් එතරම් පහසු කටයුත්තක් නොවේ.

Hambanthota,Sri Lanka
ඇතැමෙක් අත්ට‍්‍රැක්ටර හෝ මහට‍්‍රැක්ටර යොදා ගෙන හේන් කෙරුවාව සඳහා පොළොව පෙරළන කාර්යය සිදු කළ ද, මේ මිනිසුන් තම දෑතින්ම එම කාර්යය සිදු කරනුයේ පිරිවැය අඩු කරගනු පිණිසය. තල වපුරා පොලොව පෙරළන්නේ තල ඇට පස්වලට යටවනු පිණිස සහ පස් තට්ටුව බුරුල් වනු පිණිසය. තල ඇට පැළ වී සරුසාරව වැඞීමට එය මහත් පිටිවහළක් ගෙන දේ. මෙලෙස තල වැපිරීමේදී තල ඇට සමග මුසුවන්නේ මහපොළොවේ පස් විතරක්ම නොවේ. මේ මිනිසුන්ගේ දහඩිය කඳුළු.

මහපොළොව සමග මෙලෙස හැප්පීමේදී ගතට දැනෙන විඩාව පිළිබඳව කැත්ත උදැල්ල අතට ගත්තෙකුට නම් අමුතුවෙන් නොකිවමනාය. එලෙස දැනෙන විඩාව සන්සිඳුවා ගැනීමට උණුසුම් කහට කෝප්පය තරම් විඩාසන්සිඳුවන පානයක් තවත් නැත. අල්ලට සීනි ටිකක් දමා ගෙන නැතිනම් හකුරු කෑල්ලක් සමග උගුරෙන් උගුර කහට කෝප්පයකින් සප්පායම් වූ පසු, තවත් පැය කිහිපයක් ජවයෙන් වැඩකිරීමට එය ගතට මහා සවියක් ගෙන දෙයි.   

Hambanthota, Sri Lanka

තවමත් හම්බන්තොට ප‍්‍රදේශයේ ඇළවේළි සඳහා උඩවළව ජලාශයෙන් ජලය මුදා හැර නැත. ජලය මුදා හැරීමට තරම් ප‍්‍රමාණවත් ජල මට්ටමක් උඩවළවේ ද නැත. මිනිසුන් දැනට කරගෙන යන තක්කාලි, වම්බොටු වැනි වගා සඳහා වතුර ගසන්නේ ද ඇළෙහි ඉතිරිව ඇති දිය ටිකෙනි. වතුර මැෂිමෙන් වතුර ගැසීමට තරම් ප‍්‍රමාණවත් ජල මට්ටමක් නොමැති නම් බොහෝ විට ඇළෙහි අඩි තුන හතරක වළක් හාරා එම කාර්යය සිදු කරති. මන්ද ජලය අඩුවී රොන් මඩ බටය දිගේ මැෂිමට ඇදීගියහොත් සිදු වන්නේ නිකරුණේ තම කාලය ශ‍්‍රමය සහ ධනය නාස්ති කර ගැනීමටය.  

අප කන බත් ඇටේ සිට සෑම භාණ්ඩයකටම අපි මිලක් ගෙවා ලබා ගන්නා බව ඇත්තය. එහෙත් බිම්ටට්ටමේ සිටිනා මේ මිනිසුන් වගුරනා දහඩිය මහන්සියට සැබෑ මිලක් සහ වටිනාකමක් ලැබේ ද යන්න නම් ගැටලූවකි.

No comments:

Post a Comment