Wednesday, July 29, 2015

තාජුදීන්ගේ මරණය : නීතියට පාටක්- හැඩයක් තිබිය හැකි ද?



2012 වසරේදී නාරාහේන්පිටදී හදිසි අනතුරකින් මිය ගියා යැයි පැවසෙන රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණය මිනීමැරුමක් විය හැකි බවට රහස් පොලිසිය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේය. එතෙක්, වසර 3ක් තිස්සේ එය ස්වාභාවික මරණයක් යැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින් පවා නිගමනය කර තිබියදී, ඊට තෙවසරකට පසු පොලිසියම එය මිනීමැරුමක් යැයි අධිකරණයට දැනුම් දෙන විට, අපට නම් ඇතිවන්නේ නීතිය පිළිබඳවත්, නීතිය සුරකින ආයතන පිළිබඳවත් දැඩි කනස්සල්ලකි. 

පොලිසිය ප්‍රකාශ කරන මේ අලුත්ම කතාව දෙස බලන විට, අපට නිසගයෙන්ම සිහියට එන්නේ බටහිර රහස් ඔත්තුසේවා චිත්‍රපටයක එන රහසිගත ඝාතන ප්‍රයත්නයක සිදුවීම් දාමයක්ය.

කෙසේ වුව ද, හදිසි අනතුරු සිදුවීම වයස් භේදයකින් තොරව, අබල-දුබල-ප්‍රබල භේදයකින් තොරව, අප්‍රකට-කුප්‍රකට-සුප්‍රකට භේදයකින් තොරව සිදු විය හැකි දෙයක් බැවින් ද, රටේ කතාබහට ලක් වන පුද්ගලයන් සමග හොඳ-නොහොඳකම් තිබීම හදිසි අනතුරු සිදු වීමට හෝ නොවීමට බලපෑම්කාරකයක් නොවන බැවින් ද, තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සත්‍යය රටට හෙළි වන තෙක් අගතිගාමී වීමට හෝ පූර්ව විනිශ්චයන්ට එළඹීමට තරම් අප ඉක්මන් නොවිය යුතුය.   

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කොට සත්‍යය රටට හෙළි කිරීම අධිකරණයට සහ පොලිසියට බාර කටයුත්තක් බැවින්, එය පසෙකින් තබමි. 

එහෙත්, නීතියේ, අධිකරණයේ සහ පොලිසියේ හැසිරීම පිළිබඳව දැඩි ගැටලුවක් අපට නම් තිබේ.  මන්ද, පාලකයන් මාරු වන විට, ඒ ඒ පාලකයන්ට ඕනෑ හැටියට නීතියට සහ නීතිය සුරකින ආයතනවලට හැඩය වෙනස් කර ගත හැකි නම් සහ එය ක්‍රියාත්මක විය යුතු නියමානුකූල ක්‍රමයට ක්‍රියාත්මක නොවේ නම්, එවැනි නීතියක් පිළිබඳව, එවැනි විනිශ්චය ආයතනයක් පිළිබඳව සහ එවැනි පොලිසියක් පිළිබඳව අපට විශ්වාසය තැබිය හැකි ද යන ගැටලුව අපට තිබේ.

පසුගිය පාලන සමයේදී සරත් ෆොන්සේකා මහතා සිරභාරයට පත් විය. එය දේශපාලන පළිගැනීමක් ලෙස ඇතැම් නීතිඥයන්ම අර්ථකථනය කළහ. එහෙත්, සරත් ෆොන්සේකා මහතා සිරභාරයට පත් වූයේත්, දඬුවම් නියම වූයේත් පිළිගත් නියමානුකූල අධිකරණ ක්‍රියාපටිපාටියක් හරහාය. ඔවුන් පවසනා පරිදි, සරත් ෆොන්සේකා සිරභාරයට යැවුණේ මහින්ද රාජපක්ෂගේ උවමනාව මතම නම්, සැමට උඩින් තිබිය යුතු නීතිය එක් එක් පාලකයාගේ සිතැඟි පරිදි මෙහෙය විය හැකි එකක් ලෙසත්, පාලක පක්ෂයේ පාට අනුව නීතියේ පාට ද වෙනස් කර ගත හැකි බවත් නිගමනය කිරීමට අපට සිදු වේ. නීතිය එලෙස පුද්ගලයන් අනුව වෙනස් කළ හැකි නම්, එවැනි නීතියක් පිළිබඳව සහ එවැනි අධිකරණයක් පිළිබඳව විශ්වාසය තැබිය හැකි ද යන ගැටලුව පුරවැසියන් වශයෙන් අපට ඇත.  

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් වූ සිදු වීම ද එසේමය. ඇය ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු වූයේ ද අගවිනිසුරු ඉවත් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහිම නියම කර තිබූ ක්‍රියාපටිපාටිය ඔස්සේය. ඇතැමුන් පවසනා පරිදි, ඇය තනතුරින් ඉවත් කිරීම පාලකයන්ගේ උවමනාව මතම සිදු වූවක් නම්, එවැනි නීතියක් පිළිබඳව, එවැනි යුක්තිය පසිඳලන ක්‍රමයක් පිළිබඳව අපට විශ්වාසය තැබිය හැකි ද? 

තරාදිය අතින් ගත්- දෑස බැඳි යුක්තියේ දෙවඟනගේ මූර්තියෙන් ද පැවසෙන්නේ නීතිය ඉදිරියේ සැවොම සමාන බවත්, ජාතිය, කුලය, බලය ආදී පුද්ගලාරෝපිත බාහිර කිසිදු සාධකයක් සළකා බලා නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බවත්ය.   

ඇතැමුන් පවසනා පරිදි, පසුගිය පාලන සමයේ නීතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ සිතැඟි පරිදි නම්, එය තවදුරටත් එසේ නොවීමට වගබලා ගැනීම වර්තමාන පාලකයන්ගේ වගකීමය. එහෙත්, අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතන ස්වාධීනව තිබිය යුතු යැයි පැවසූ ඇතැම්හුම, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා පක්ෂ මූලස්ථානයකටම කැඳවා, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තවදුරටත් නිර්දේශපාලනික ආයතනික පාලනයක් පිළිබඳ බලාපොරොත්තු ඈත් කරවන්නක් බව ද මෙහිදී සඳහන් කළ යුතුමය.  

සමාජයක යහපැවැත්ම දුම්රියකට සමාන කළ හොත්, එම දුම්රිය ගමන් කරන්නා වූ රේල් පීලි දෙක නීතිය සහ අධ්‍යාපනය වන්නේය. එමනිසා, නීතිය එදාවේල හම්බ කරගෙන කන තැනැත්තාගේ සිට මහා ධන කුවේරයා දක්වාත්, දුබලයාගේ සිට ප්‍රබලයා දක්වාත් එක හා සමානව සහ සාධාරණව ක්‍රියාත්මක විය යුතුය. නීතිය සියල්ල අභිබවා තිබිය යුතු යැයි මා මුලින් පැවසූයේ එබැවිනි.  

එබැවින්, යුක්තිය පසිඳලීමට පිහිටුවා ඇති අධිකරණය ද, නීතිය හා සාමය පවත්වා ගෙන යාමට පිහිටුවා ඇති පොලිසිය වැනි ආයතන ද කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක විය යුතු අතර, බාහිර පුද්ගලයන් කරන්න යැයි පවසන දෙය කරනා නොව, නියමානුකූලව කළ යුතු දේ කරනා ස්වාධීන ආයතන ආයතන බවට ඒවා පත් විය යුතුමය.  එසේ නොවී, ජලය, එය බහාළන භාජනයේ හැඩය ගන්නාක් මෙන්, නීතිය ද එක් එක් පුද්ගලයාට අනුව හැඩය ගන්නේ නම්, එවන් රටක අනාගතය පිළිබඳව කියන්නට කිසිත් නැත. 

Tuesday, July 21, 2015

වාර්ගිකත්වය ද ජාතිකත්වය ද? (Ethnicity or Natioanality?)- ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ගැටුමට පසු වදනක්

පසුගිය 19 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරඟය අතරතුරදී දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේය. එම ගැටුමේ පසුබිම සහ ඊට මුල් වූ හේතු පිළිබඳව විවිධ මාධ්‍ය විවිධ හේතු ඉදිරිපත් කරන අතර, ඇතැමෙක් එය මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ලෙස ද, තවත් අය එය පාකිස්තානයට සහයෝගය දැක්වූ ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් සහ ඊට එරෙහි වූ පිරිසක් අතර ඇති වූ ගැටුමක් ලෙස ද වාර්තා කර තිබුණි. මෙහි අවසානයට සඳහන් කළ කාරණය නිසා ගැටුම හටගත්තා ද නැද්ද යන්න නිශ්චිතවම පැවසිය නොහැකි වුවත්, එම සිද්ධිය එනම් ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් පාකිස්තානයට හුරේ දැමීම සත්‍ය සිද්ධියක් බව අපිදු දෑසින්ම දුටුවෙමු. 

ඉන්දියාවේ රවීන්ද්‍රනාත් තාගෝර් තුමන්ලා පැවසූ ආකාරයේ දේශසීමාවන්ගෙන් ඔබ්බට ගිය ලෝක පරිමාණ පුරවැසිභාවයක් තවමත් අහසේ පාවෙන සුසමාදර්ශයක් බැවින්, ලොව සියලුම ජාතීන් තම පුරවැසිභාවය දරන රටෙහි ජාතිකත්වය (nationality) වටා එකතු වී සිටින්නෝය. සෑම රටකටම අනන්‍ය වූ ජාතික කොඩිය සහ ජාතික ගීය වැනි අංගයන්හි අරමුණ වන්නේ ද තනි රටක් ලෙස, තනි ජාතියක් ලෙස සියලු පුරවැසියන් එකමුතු කිරීමයි. 

ඒ අනුව, ජාතියෙන් ශ්‍රී ලාංකිකයන් වන සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජනවර්ගයන් (races) නියෝජනය කළ යුත්තේ ශ්‍රී ලංකාව ද නැතිනම් වෙනත් රටක් ද යන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැවොම සිතා බැලිය යුතුය.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ ඉරිදා පැවති තරඟයේදී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රේක්ෂකයන් පිරිසක් පාකිස්තානු ධජ අතැතිව පාකිස්තානයට හුරේ දැමීම, ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වූ අනෙකුත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ සිත් බිඳවීමක් බව, ඇතැමුන් ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයෙන් පළ කළ අදහස්වලින් අපට පසක් විය.  

විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වන ලකුණු පෙනී පෙනී, ශ්‍රී ලාංකිකයන් පිරිසක්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දැවී යන විට හුරේ දමා, චියර් කරමින් ප්‍රතිවාදී කණ්ඩායමට සහයෝගය දැක්වීම ගැටුමක් දක්වා දුරදිග යන්නට තරම් හේතුවක් විය හැකි බව අපගේ ද හැඟීමයි. 

විශේෂයෙන්ම පාකිස්තානය සහ වෙනත් රටක් අතර අතර පවතින තරඟයකදී නම්, පාකිස්තානයට නොව කුමන රටකට සහහයෝගය දැක්වුව ද එහි කිසිදු ගැටලුවක් නැත. එසේම, ලංකාවේ පුරවැසිබව ලබා සිටිය ද, තම මව්රට පාකිස්තානය නම් එසේ කළ ද එතරම් ගැටලුවක් නැත. එහෙත්, තමන්ගේ අත්තාගේ මුත්තාගේ පටන් මව්රට ශ්‍රී ලංකාව වන පුරවැසියන් හුදු තම ජනවාර්ගික හෝ ආගමික පදනම මත මව්රටට එරෙහිව ප්‍රතිවාදී පිළට හුරේ දැමීම කොතරම් යුක්තිසහගත දැයි අපට නම් නොතේරේ. 

එම නිසා, මෙවැනි සිදු වීම් පසුගිය කාලයේ ඇවිළී යටපත්ව ගිය ජාතිවාදයේ ගිනිදැල් යළි මතු කිරීමට ද හේතු විය හැක්කේය. ජනවාර්ගික සීමාවෙන් ඔබ්බට ගිය ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනගනවා නම්, ඇතැම් අන්තවාදී සිංහල-දෙමළ-මුස්ලිම් සංවිධාන අන් ජාතීන් සම්බන්ධයෙන් දරණ පටු ආකල්ප මෙන්ම මුස්ලිම් අයගේ මෙවැනි ක්‍රියාමාර්ගයන් ද ඊට සැබෑ බාධකයන්ය. 

සිංහල, මුස්ලිම්, දෙමළ වේවා මේ කුමන ජාතියක් තුළ හෝ එකිනෙකාට වෛර කරනා-එකිනෙකාට එදිරිවාදී ජාතිවාදයන් පවතී නම් සහ එක් එක් කණ්ඩායමට වාසිදායක ලෙස නීතිය ක්‍රියාත්මක වේ නම්, ඉන් සිදු වන්නේ රටට හානියක් මිස සෙතක් නම් නොවේ.   

සැමට සාධාරණව ස්ථාපිත කර ඇති නීතියට පවා යටත් නොවන සුළු, මොන ජනවර්ගයට අයත් වුවත් "ජාති" පොරවල් නිර්මාණය වීම සමාජයට-රටට කොහෙත්ම යහපත් නැත.  

විවිධ ජනවර්ගයන්ගෙන් සහ විවිධ ආගමිකයන්ගෙන් පිරි මේ රටෙහි අන් කවරදාටත් වඩා එක් එක් ජනවර්ගයට විශේෂිත වූ න්‍යායපත්‍රයන්ගෙන් ඔබ්බට ගිය, සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක වන, සැමට සාධාරණව පුරවැසි අයිතිවාසිකම් හිමිවන සාමකාමී රටක අවශ්‍යතාව මතු වී තිබේ.   

එමනිසා, තම මව්රටේම පිරිසක් තම මව්රට පරාජයට පත්වන මොහොතේ පවා ප්‍රතිවාදී පිළට හුරේ දැමීමෙන් ජාතීන් අතර සුහදතාව තවදුරටත් පළුදු වන බව අප සිහිතබා ගත යුතුය.

Saturday, July 18, 2015

අන්තෝ ජටා බහි ජටා...සන්ධානය දිනුවත් පැරදුනත් මහින්ද-මෛත්‍රී දෙදෙනාම අවුලකය


පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින්, සන්ධානය මැතිවරණයෙන් ජය ගත්ත ද මහින්දට අගමැති ධූරය හිමි නොවනු ඇතැයි සඳහන් කළේය. 

නිර්පාක්ෂිකයකු වශයෙන් නම් එවැනි ප්‍රකාශයක් කිරීම සාධාරණීකරණය කළ හැකි වුවත්, කිසියම් පක්ෂයක නායකත්වය දරමින්, එම පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වී ඇති මොහොතක එවැනි ප්‍රකාශයක් කිරීම කොතරම් දුරට පක්ෂ නායකයකුට නොගැළපෙන්නේ ද යන්න අතිබහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඒ සම්බන්ධයෙන් දරණ විරෝධී ආකල්පයෙන් පෙනේ. 

තමන්ට බලයට ඒමට දරදිය ඇද්ද- ඊට පාර කැපූ එජාපයට එරෙහි වීමට සදාචාරාත්මකව නොහැකි වීම සහ පාක්ෂික මනාපය නොදිනූ පක්ෂයක නායකත්වය දරමින් පාක්ෂිකයන් සතුටු කිරීමට යාම යන එකිනෙකට පරස්පර උභතෝකෝටිකය හමුවේ, ඔහුට පක්ෂ නායකයකු වශයෙන් කොතරම් දුරට සාර්ථක විය හැකි ද යන්න සහ ඉදිරියේදී කුමන අභියෝගයන්ට ඔහුට මුහුණ දීමට සිදු වනු ඇද්ද යන්න තවමත් ප්‍රකාශ කිරීමට තරම් කල් වැඩි වුවත්, එය, රෝස මල් ඇතිරූ -සුව මාවතක් නම් නොවනු ඇත යන්න සක්සුදක් සේ පැහැදිළි කරුණකි. 

මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගත්ත ද නොපිළිගත්ත ද, මෛත්‍රීපාල සිරිසේන යනු තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හදවතේ නොව අහළ මායිමකවත් නැති තැනැත්තෙකි. මන්ද, මෛත්‍රීපාලට ඡන්දය දුන් අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොව එජාපය ප්‍රමුඛ වෙනත් පක්ෂවල ඡන්දදායකයන් සහ පාවෙන ඡන්දය. එම ඡන්ද දායකයන් ද ඔහුගේ පක්ෂ නායකත්වය වටා දැන් නැත. මන්ද, පසුගිය මැතිවරණයේදී ඔහුට ඡන්දය දුන් නමුත්, ඔහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා යැයි සළකා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය පාවිච්චි කරන්නවුන් කිසිවෙකු හෝ වටපිටාවෙන්වත් සොයා ගත නොහැකි වීම ඊට හේතුවයි. 

අනෙක් අතට, පසුගිය ජනපතිවරණයේදී මහින්දට ලැබුණේ වෙනත් පක්ෂවලින් කෙසේ වෙතත් අතිබහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දය. පසුගිය ඡන්දයෙන් පැරදුන ද, තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හදගත් ජනප්‍රිය නායකයා මහින්ද වන්නේ ඒ නිසාය. 

නමුත්, පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙන් ඔහුට ඡන්දය දුන් ජනතාව අමන්දානන්දයට පත් වූ නමුත්, තමන් නායකත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නම් මෛත්‍රීගේ ජාතිය අමතමින්-කුලප්පු වී සිටිනු දැකිය හැකි විය. ඔවුන්ට අනුව, මෛත්‍රීපාලට පක්ෂ නායකත්වය දීම ද නොකළ යුතුව තිබූ ක්‍රියාවකි. එම විශේෂ ප්‍රකාශයක් සමග තවදුරටත් ඔහු පක්ෂ නායකත්වයේ තබා ගත යුතු නැති බව ද, ඔහු පක්ෂ නායකත්වයෙන් එළවිය යුතු යැයි ද බොහෝ පාක්ෂිකයෝ ප්‍රකාශ කරති. ඇතැම්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කියන්නේ පසුගිය ඡන්දයට මෛත්‍රීපාල ගෙනවිත්, එජාපය විසින් දියත් කළ ගැටය දැන් හොඳට වැඩ කරමින් තිබෙන බවය. ඉතිහාසය ප්‍රතිවර්තනය වන බව පසක් කරමින් නායකත්ව අර්බුද-මත ගැටුම් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෛනික චර්යාව බවට පත් වෙමින් ඇත. එවැනි දේ පිළිබඳව, පසුගිය වසර කිහිපය පුරාවටම අතොරක් නැතිව අසන්නට දකින්ට ලැබුණේ එජාපයේ සහ ජවිපෙ තුළය.

මේ නව තත්වය මත, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නම් සිටින්නේ දැඩි කලකිරීමක බව තේරුම් ගැනීමට, ඔවුන් සමග දේශපාලනය පිළිබඳ පුංචි පහේ සංවාදයක යෙදීමම ප්‍රමාණවත්ය. කොටින්ම, මෙම මැතිවරණය තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ දැඩි උදාසීන බවක් දකින්නට ඇත. ඒ උදාසීනබව සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ නායකත්වය දැරීම ප්‍රබල හේතුවක් වී ඇති අතර, පසුගියදා කළ ප්‍රකාශයත් සමග එම තත්වය තවදුරටත් වර්ධනය වී ඇත. 

ඒ වෙනුවට, එජාප පාක්ෂිකයන් තුළ මෙවර මැතිවරණය පිළිබඳව දැඩි උද්යෝගයක් ඇති වී තිබේ. ඈත ගම්දනව්වල පවා මධ්‍යම රාත්‍රියේ නිදි වර්ජිතව එජාප පාක්ෂිකයන් සැරසිලි කිරීම්වලය. පෝස්ටර් ගැසීම්වලය.  සංවිධාන කටයුතුවලය. එජාප නායකත්වයේ ආශිර්වාදය පමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ ආශිර්වාදය ද නොඅඩුව ලැබී ඇති මෙවර මැතිවරණයේදී, එජාපයට ආණ්ඩු බලය ගත නොහැකි වුවහොත්, එය ලබා ගත හැකි වෙනත් කාලයක් නම් නොඑනු ඇත.  

පසුගිය ජනපතිවරණය තුළ යාන්තම් විධායක සභාවට රිංගා යහපාලනයට දායක වූවා මිස, ඍජුව ආණ්ඩුවට සම්බන්ධ නොවීමේ වාසිය නිසා ජවිපෙ තුළ ද විශාල පිබිදීමක් මෙම මැතිවරණය තුළ දැකිය හැක. කොටින්ම, පසුගිය ඡන්දයේදී මෛත්‍රීට වැටුණු පාවෙන ඡන්ද බොහොමයක් මෙවර එජාපයට කෙසේ වෙතත් ජවිපෙට නම් වැටෙනු ඇත. මාගේ අනුමානය අනුව, මෙවර ජවිපෙ ආසන 10ක්වත් අවම වශයෙන් ජයගනු ඇත. උනුත් එකය-මුනුත් එකය-අපිටත් අවස්ථාවක් දීලා බලාපල්ලා යැයි කියමින් ඒ සඳහා හොඳ ජනමතයක් ද මේ වන විට ජවිපෙ විසින් ගොඩනගා ගනිමින් සිටී. 

කොහොමටත්, යහපාලනය යනු දින සියයට නොව මේ ලෝක විනාශය තෙක් වුව රටක් පාලනය කිරීම නොව ගෘහ පාලනයේදී වුව යොදා ගත යුතු වටිනා සංකල්පයකි. පසුගිය යහපාලන ආණ්ඩුවේ සාධනීය අගය කළ යුතු කරුණු නැතුවා නොවන නමුත්, පසුගිය ජනපතිවරණයේදී වේදිකාවක් පාසා හඬ නැගූ තරමින් නම් යහපාලනය ක්‍රියාත්මක නොවූ බව- අැස්කන් වැඩකළ සියලු දෙනා අත්දුටු කරුණකි. යහපාලනයට අතිහිත දුන් ජවිපෙ ද ඒ සම්බන්ධයෙන් ප්‍රබල විවේචන එල්ල කරමින් සිටී. 

මෑතම නිදසුන ලෙස, ලයිට් කණුවක් පාසා, හන්දියක් හන්දියක් පාසා දියත් කර තිබූ සුජීව සේනසිංහගේ කටවුට් ව්‍යාපාරය පෙන්වා දිය හැකිය. පසුගිය ජනපතිවරණයේදී, මහින්දගේ කටවුට් කොළඹ නගරයේ ලයිට් කණුවක් පාසා ගසා තිබෙන විට, ඊට එරෙහිව හඬ නැගීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිටිය ද, මෙවර ඔහු සුජීව සේනසිංහගේ කටවුට්වලට හඬ නොනැගූවේ යහපාලන ආණ්ඩුව විසින් ඔහුට සාධාරණය ඉටු කරමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් පිදුම් ලැබ ඇති නිසා විය යුතුය. (හයිලෙවල් පාරේ පසුගිය දිනවල ගමන් කළ අයෙකුට නම් මේ පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත්, මේ වන විට එම කටවුට් බොහොමයක් ඉවත් කර ඇත)

පාක්ෂික පොදුජන මතයට එරෙහි පක්ෂ නායකත්වය, පක්ෂයේ අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිනබව, ඒ නිසාම පාක්ෂිකයන් තුළ හට ගෙන ඇති උදාසීනකම, ප්‍රතිවාදීන්ගේ උනන්දුව, සන්ධානය තුළම මහින්ද විරෝධීන් සහ මෛත්‍රී විරෝධීන් ලෙස තිබෙන බෙදීම ආදී නානා හේතූන් නිසා මෙවර සංධානයට දැඩි අවාසි සහගත තත්වයක් ඇත. යම් හෙයකින් මෙවර මැතිවරණයෙන් සංධානයට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත්, එහි චෝදනාව පක්ෂ අභ්‍යන්තරයෙන් මෛත්‍රීපාලට එල්ලවනවාමය. එය අවසන් වන තැන අනාගතය විසින් විසඳනු ඇත.

අනෙක් පැත්තෙන්, ආණ්ඩුවක් පිහිටුවීමට සංධානයට හැකියාවක් ලැබුණහොත්, දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි මහින්ද නොව ඒ සඳහා වෙනත් අයෙකු අගමැති ධූරය සඳහා යෝජනා කෙරෙනු ඇත. එසේ වුව ද, ආසන දිනා ඇති අපේක්ෂකයන් බහුතරය මහින්ද හිතවාදීන් වුවහොත්, එවිට ද මෛත්‍රීට පක්ෂ නායකත්වය තබා ගැනීම පිළිබඳව දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇත. බොහෝවිට, පක්ෂ නායකත්වය යළි මහින්ද යටතට ඒමේ ඉඩකඩ ද වැඩිය. 

සංධානයට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුව ද, නොහැකි වුව ද, මෛත්‍රීපාල සිරිසේන මහතා සංධානයෙන් තමන්ට හිතෛෂී මන්ත්‍රීවරුන් ද කැටුව එජාපය ප්‍රමුඛ අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සමග ජාතික ආණ්ඩුවක් හෝ පිහිටුවා- අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට දෙනු ඇත. එසේ වුවහොත්, මහින්දට විපක්ෂ නායක හෝ නිකන්ම මන්ත්‍රීවරයෙකු වීමට නිසැකවම සිදු වනු ඇත. 


මහින්ද මෙවර ඡන්දයට ඉදිරිපත් නොවී මැදමුලනට වී සිටියේ නම්, කොහොමටත් ප්‍රතිවාදීන් සඳහා මෙවර මැතිවරණයේ කිසිදු තරඟයක් නැත. මහින්දගේ පාලන කාලය තුළ නීතියේ ආධිපත්‍යය වැනි කාරණා සම්බන්ධයෙන් කුමන විවේචන තිබුණ ද, හිටපු කිසිදු රාජ්‍ය නායකයකුට මෙතරම් තමන්ට අනන්‍ය වූ පුද්ගලබද්ධ ජනප්‍රියත්වයක් තිබී නැත. පාවෙන ඡන්දදායකයන් අතර තිබූ ජනප්‍රියත්වය හැරෙන්නට මෛත්‍රීපාලට එවැනි ජනප්‍රියත්වයක් නම් දැනට ගොඩනැගී නැත. මහින්ද විරෝධය සහ වෙනසක් සදහා ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයා යැයි සළකා ඡන්දය දුන්නා මිස තමන්ට අනන්‍ය වූ පුද්ගලබද්ධ ජනප්‍රියත්වයක් ඔහු වටා ගෙඩා නැගී නැත. (යම් ජනප්‍රියත්වයක් ගොඩනැගුණා නම්, එය ද මහින්දට නාමයෝජනා දීමත් සමග බොහෝ සේ පහත වැටුණි. පසුගියදා විශේෂ ප්‍රකාශය කළේ ද ඔවුන් සතුටු කිරීම සඳහාය) ඒ අනුව, මහින්ද මෙවර ඡන්දයට ඉදිරිපත් නොවී සිටියේ නම්, පාක්ෂිකයන් අතිබහුතරයක් ඡන්දය දැමීමට ඡන්ද පොළට නොයෑමට ඉඩ තිබුණි. දැනට ඇති වී තත්වය හමුවේ ද, සැළකිය යුතු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඡන්දදායක පිරිසක් මෙවර ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්ද පොළට නොයෑමට ඇති ඉඩකඩ වැඩිය. එහිදී ඡන්දය භාවිත කිරීමේදී සංධානයෙන් ඉදිරිපත් වුව ද, එම අපේක්ෂකයා මහින්දහිතවාදියෙක් ද, නැතිනම් මෛත්‍රී හිතවාදියෙක් ද යන සාධකය ද පාක්ෂිකයන් සළකා බලනු ඇත. තවමත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතිබහුතරයක් මහින්දට මනාප නිසා, මහින්ද විරෝධී එවැනි අපේක්ෂකයන්ට ඔවුන් ඡන්දය පාවිච්චි නොකර සිටීමට ඉඩ ඇත. ඒ කුමක් වුව ද, පිල් මාරු කිරීම අරුමයක් නොවන ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුවක් පිහිටු වීමේදී කුමක් සිදු වනු ඇත්දැයි ඉඳුරා කිව නොහැක. 

මේ කුමන කරුණක් සළකා බැලුව ද, මෙවර මැතිවරණය සංධානයට අන්තෝ ජටා-බහි ජටා (ඇතුළතත් ගැටය-පිටතත් ගැටය) විදිහේ මැතිවරණයකි. (ඒ ගැටයේ මහමොළකරු රනිල් වික්‍රමසිංහ මහතාය. )

දැනට පවතින මෙම තත්වය මත, සංධානය දිනුව ද පැරදුන ද, මහින්ද ද , මෛත්‍රී ද යන දෙදෙනාම අවුලක පැටළෙන බව අපට ස්ථිරව පැවසිය හැක. 

(ඉහත පින්තූරය ගනු ලැබූවේ තමන්ගේ ගමට යාමට තිබූ අබලන් පාර කාපට් කර, පිළිවෙළට සකස් කරදීම නිසා, ඊට කළගුණ වශයෙන් එහි සවිකර තිබූ දැන්වීමක පසුගිය දා මහින්දගේ සහ බන්දුල ගුණවර්ධනගේ මුහුණු විකෘති කර ඇති අයුරුයි.. කුමන පක්ෂයක පුද්ගලයකු සම්බන්ධයෙන් වුව ද මෙවැනි අමන-පහත් වැඩ කිරීම අනුමත කළ නොහැක