Friday, December 18, 2015

ජාතිවාදයේ මූලබීජ නැති කළ යුත්තෙ රාජ්‍ය ව්‍යුහයෙන්ම නොවේ ද?

මනුෂ්‍යත්වය අගය කරන මිනිස්සු වශයෙන් අප අයිසිස් වේවා තලේබාන් වේවා බෝකෝ හරාම් වේවා එල්ටීටීඊ වේවා (මතවාදීමය වශයෙන් සක්‍රීය වුවත් සන්නද්ධමය වශයෙන් අක්‍රීයව ඇති) එසේත් නැතිනම් වෙන යම් ආගමික/වාර්ගික වේශයෙන් ක්‍රියාත්මක අන්තවාදී ව්‍යාපාරයක් වේවා ජනතාව තළන පෙළන- මනුෂ්‍යත්වයට එරෙහි ඒ සියලුම අන්තවාදී ව්‍යාපාර සපුරා හෙළා දකින්නෙමු. එහෙත්, අප එසේ කරන්නේ අප අප්‍රිය කරන කිසියම් අන්තවාදයක්/දෘෂ්ටිවාදයක් නරකය කියන අතරේ, අප ප්‍රිය කරන තවත් වාර්ගික හෝ ආගමික අන්තවාදයකට/දෘෂ්ටිවාදයකට හුරේ දමන අතරේ නොවේය.


නිදසුනක් ලෙස, ඉස්ලාම් අන්තවාදයට එරෙහි වන අතරේම සිංහල බෞද්ධ වෙසින් ක්‍රියාත්මක අන්තවාදයට ද, එසේම උතුරේ දෙමළ අන්තවාදයට ද අප එරෙහි වන්නෙමු. ඒ මක් නිසාද යත්, එක් අන්තවාදයක් පිටු දැකීමට වෙනත් අන්තවාදයක් යොදා ගැනීම මගින් එකිනෙකට එරෙහි කලකෝලාහල-එදිරිවාදීකම් නිර්මාණය වෙනවා පමණක් නොව කාලයාගේ ඇවෑමෙන් රට තුළ මහා පරිමාණ යුද ගැටුම් පවා ඇවිළිය හැකි බැවිනි.   

නමුත්, අපට ඇති ප්‍රශ්නය වන්නේ රටේ නීතිය තුළම- රාජ්‍ය ව්‍යුහය තුළම එවැනි අන්තවාදයන් පෝෂණය කිරීමට අවශ්‍ය සාධක තබා ගන්නා අතරේම ඒවා වළක්වා ගත හැක්කේ හෝ ඉන් ජනතාව ඈත් කළ හැක්කේ කෙසේ ද යන්නයි. 


නිදසුනක් ලෙස, කන්ද උඩරට, තේසවලමේ, මුස්ලිම්, මුක්කුවා ආදී විවිධ වාර්ගික ආගමික සහ ප්‍රාදේශීය විශේෂතාවෙන් යුත් නීති පද්ධතීන්ගෙන් අපේ රටේ නීතිය සැදුම්ලත්ය. (ව්‍යවස්ථාපිත නීතිය හැර) නමුත්, එලෙස අච්චාරු සහගතව පවතින අපේ රටේ නීතිය දැන්වත් කිසිදු ආගමික-වාර්ගික-ප්‍රාදේශීය විශේෂත්වයකින් තොරව පුරවැසියන් ලෙස සැමට පොදුවේ බලපාන පරිදි සකස්  කළ යුතු නොවේ ද? 


1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අනුව (මුස්ලිම් විවාහ නීතියට අනුව) මුස්ලිම් මිනිසෙකුට විවාහ හතරක් එකවර කරගත හැක. ඉස්ලාම් ආගමානුකූලව ඊට අවසර ඇති නිසා වෙනම පනතක් හරහා ඊට අවකාශ සළසා ඇත. නමුත්, සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥාපනතට අනුව විවාහ වීමේදී එක් විවාහයක් කර ගෙන සිටින අතරතුර එය දික්කසාද නොකර තවත් විවාහයක් කරගතහොත් ඔහු හෝ ඇය බහුවිවාහ වරදට හසුවෙයි. නමුත්, එක රටක එලෙස නීති පද්ධති දෙකක් තිබිය හැකි ද සහ එලෙස තබා ගත යුතු ද? සැබවින්ම නැත.


කන්ද උඩරට නීතිය ගත්ත ද තේසවලමේ නීතිය ගත්ත ද මුක්කුවා නීතිය ගත්ත ද ඒ ඒ නීති පද්ධති මගින් ද යම් යම් වාර්ගික-ආගමික සහ ප්‍රදේශ බද්ධ කණ්ඩායම්වලට විශේෂ සැළකිලි දක්වා ඇත. එය වෙනස් විය යුතු නොවේ ද? වෙනස් කළ යුතු නොවේ ද?


ඒ ඒ ආගමිකයන්ගේ පාරම්පරික ආගමික සංස්කෘතික චාරිත්‍රයන්ට-සම්ප්‍රදායන්ට ගරු කරමින් නීතිය තුළ එලෙස අවකාශ සළසා දිය යුතු යැයි කිසියම් අයෙකු කිව හැක. නමුත්, නීතිය තිබිය යුත්තේ ඒ කිසිදු පාරම්පරික හෝ නූතන කිසිදු හෝ ආගමකට/ආගමික චාරිත්‍රයකට/සම්ප්‍රදායකට යටත්ව නොව ඊට ඉහළින් නොවේ ද? 


එමෙන්ම, රටක නීතිය සේම රාජ්‍ය ව්‍යුහය ද සියලුම වාර්ගිකත්වයේ සහ ආගමිකත්වයේ වරපටිවලින් සපුරා වියුක්ත විය යුතු යැයි අප පවසන්නේ එමගින් නීතියට-රාජ්‍යයට සහ එහි ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම පොදු පුරවැසි සංස්කෘතියකට මග සළසන නිදහස් ලෞකික රාජ්‍යයකට දැඩි සේ බාධාකාරී වන නිසාය. එපමණක් නොව මිනිසුන් වෙන් කරන සුළු නිසාය. 


එහෙත්, අප රටේ ඉදිරිය ගැන නොව එකිනෙක ජාතීන් එකිනෙකාට එදිරිව ගහමරා ගත්ත ද, තම ඡන්දය ගැන පමණක් සිතා කටයුතු කරන, රට හැදීමට යැයි කියා ගොස් තමන් හැදෙන්නට වෙර දරන අධම දේශපාලනඥයන් මේ කිසිවක් නිවැරදි කිරීමට පියවර ගන්නා බවක් අපට පේන්නෙ නැත. 


ජාතිය ආගම ලේබල් කරගත් පක්ෂ තවමත් තිබෙන්නේ ඒ නිසාය. ජාතිය ආගම ලේබල් කරගත් පාසල් තවමත් තිබෙන්නේ ඒ නිසාය. රටේ සියලු පුරවැසියන් රාජකාරි සඳහා යන එන රාජ්‍යයට අයිති පොදු ස්ථාන කිසිදු ආගමකට සංකේතමය වශයෙන් හෝ විශේෂත්වයක් නොදෙන පොදු ස්ථාන ලෙස පවත්වා නොගන්නේ ඒ නිසාය. 


උතුරේ ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් සහ සංවිධාන උතුරේ පදිංචි විය හැක්කේ දෙමළ ජනයාට පමණකැයි කියන විට එය ඔවුන්ගේ නිජබිම යැයි කියන විට, ඇතැම් ජාතිවාදී සිංහල සංවිධාන මෙය සිංහල බෞද්ධයන්ගේ රට යැයි ද, අන් ජාතීන්ට වසන්නට මෙහි අයිතියක් නැතැයි ද කියන විට, ඇතැම් ජාතිවාදී මුස්ලිම් දේශපාලනඥයන්ස හ සංවිධාන නැගෙනහිර පාරම්පරික මුස්ලිම් භූමිය යැයි කියන විට, ඔවුන්ට එහි වෙනම පරිපාලන ඒකක අවශ්‍ය යැයි කියන විට මේ කිසිවකට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර, අවම වශයෙන් මේ සෑම ජාතිවාදයකටම එරෙහිව වචනයක් හෝ නොකියා ගල් ගිල්ලා සේ රාජ්‍ය පාලනය කරන්නේ ඒ නිසාය. 


ලෝකයේ අද මේ මොහොත වන විටත් යුද ගැටුම්වලින් දහසකුත් දෙනා මියැදෙති. අප රට ද තිස්වසරක සාපලත් යුද්ධයකින් නොසෑහෙන්න බැට කෑවෙමු. එම තත්වය නිර්මාණය කිරීම සඳහා ඇප කැපවූ-මතවාද හැදූ- වර්ගෝත්තමවාදී චින්තනයෙන් එකිනෙකට එදිරි දේශපාලන තීන්දු තීරණ ගත් සිංහල දෙමළ දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනෙක් තමන් විසින් පෝෂණය කරන ලද ඒ යුද්ධයේ අවසානය ද නොදැක මහපොළවට පස්වෙලා ගියහ. එහෙත්, ඒ කාලකණ්ණි යුද්ධයේ විපාක වින්දේ පොදු මහජනතාවය. ඇවිළවීම ලේසිය. නිවීම දුෂ්කර නොව කළ නොහැකි තරම් සංකීර්ණය. යුද්ධය හමාර වුව ද තවමත් අප විඳවන්නේ ඒ නිසාය.


අප ඉල්ලන්නේ ෂාරියා නීතිය ද නොවේ. බෞද්ධ නීතිය ද නොවේ. හින්දු නීතිය ද නොවේ. ආගමික, වාර්ගික හෝ ප්‍රාදේශීය නැඹුරුතාවෙන් යුත් වෙන යම් නීතියක් ද නොවේ. ඒ කිසිදු භේදයකින් තොර පුරවැසියන් වශයෙන් සැමට සාධාරණව බලපවත්වන එක නීතියකි. පොදු රාජ්‍ය ව්‍යුහයකි. 

No comments:

Post a Comment