Friday, September 26, 2014

Star United Supermarket Chain - ශ‍්‍රී ලාංකීය සුපිරි වෙළඳසැල් ක්‍ෂේත‍්‍රයේ නවතම ආගමනය

මේ බ්ලොග් අඩවිය වෙළඳනාම ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් හදපු එකක් නොවුනත් ස්ටාර් යුනයිටඩ් ගැන මගේ මුල්ම ලිපියෙ වචනයක් දෙකක් සඳහන් වී තිබීමත් සමග කිහිප දෙනකුම ඒ ගැන මගෙන් විමසීමක් කරපු නිසයි ඒ ගැන ලිපියක් ලියන්න හිතුවේ.

පසුබිම් කතාව

ඇත්තටම ලංකාවේ සිල්ලර වෙළඳ ක්‍ෂේත‍්‍රය අතිශය තරගකාරී එකක් කියන එක හැමෝම පිළිගන්නවනේ. මේ සිල්ලර වෙළඳ ක්‍ෂේත‍්‍රය තුළට තමයි පුංචි සිල්ලර කඩේ ඉඳන් මහාපරිමාණ සුපිරි වෙළඳසැලුත් අයිති වෙන්නෙ. ක‍්‍රමයෙන් ගම් දනව් නාගරීකරණය වෙනකොට, මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙනකොට ඒ සමග පුළුල් වන පාරිභෝගික වුවමනාවන් ඉෂ්ට කරන්න සුපිරි වෙළඳසැල්වල අවශ්‍යතාව මතු වෙනවා. සාමාන්‍ය සිල්ලර කඩේකට ගිහින්, පෝලිමේ ඉඳන් එකින් එක අවශ්‍ය දේ කියලා මිලදී ගන්නවට වැඩිය මිනිස්සු කැමතියි සුපිරි වෙළඳසැලකට ගිහින් තමන්ට අවශ්‍ය භාණ්ඩ ටික නිදහසේ අරගන්න.

මේ සුපිරි වෙළඳසැල් කෙරුවාවට අපි කියන්නෙ Modern Trade එහෙමත් නැත්නම් නවීන වෙළඳාම කියලා. සුපිරි වෙළඳසැල්වලට පරිබාහිරව තියෙන අනෙකුත් සිල්ලර වෙළඳ ව්‍යාපාරවලට අපි කියන්නෙ General Trade එහෙම නැත්නම් සාමාන්‍ය වෙළඳාම කියලා. හැබැයි ලංකාවේ සිල්ලර වෙළඳ ක්‍ෂේත‍්‍රයෙන් 85% ක් විතර ආවරණය වෙන්නෙ මේ සාමාන්‍ය සිල්ලර වෙළඳසැල්වලින්.එහෙම වුනත් නවීන වෙළඳාමට එහෙමත් නැත්නම් සුපිරි වෙළඳසැල්වලට හිමි වපසරිය වසරින් වසර වැඩිවෙමින් පවතිනවා.

Cargills, Sathosa, Keels, Laughs, Arpico වැනි තරගකරුවන් කිහිප දෙනකු අතේ තමයි ශ‍්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්‍ෂේත‍්‍රයේ පාලනය තියෙන්නෙ. ඉතින් මොවුන් අනුගමනය කරන ප‍්‍රමිතීන් නිසා වගේම ඔවුන්ගේ වෙළඳනාමය හා බැඳුණු ජනප‍්‍රියත්වය නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඔවුන් වෙත ආකර්ෂණය වෙනවා. මේ හරහා ඔවුන් විශාල ආදායමක් ලබනවා විතරක් නෙමෙයි අලුතින් නව ශාඛා විවෘත කරන්නත් කටයුතු කරනවා. මොවුන්ට තියෙන ප‍්‍රධානම ශක්තිය තමයි වෙළඳනාමයේ ජනප‍්‍රියත්වය (Brand Popularity). එමනිසා මොවුන් ලංකාවේ පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා මොන අස්සක මුල්ලක ශාඛාවක් දැම්මත්, මිනිස්සුන්ට ඒක අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නෑ. මිනිස්සු ඒකට ඉබේම ඇදිලා එනවා. මේකෙන් ඒ අවට තියෙන පුංචි පුංචි සිල්ලර කඩවලට ලොකු පහරක් වදිනවා. හැබැයි පුළුල් වන පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන්න සුපිරි වෙළඳසැල් නැතුවත් බෑ.

අපි මෙතෙක් කතා කළේ නවීන වෙළඳාමට අයත් කාගිල්ස්, කීල්ස් වැනි සමාගම් වශයෙන් ක‍්‍රියාත්මක මහාපරිමාණ තරගකරුවන් ගැන පමණයි. හැබැයි නවීන වෙළඳාම ඇතුළෙ ඉන්නෙ ඔවුන් පමණක් නෙමෙයි. තනි තනි පුද්ගලයන්ට අයිති ස්වාධීන සුපිරි වෙළඳසැලුත් තිබෙනවා. හැබැයි අර මහාපරිමාණ සුපිරි වෙළඳසැල් ජාල මේ ස්වාධීන සුපිරි වෙළඳසැල් පිහිටි ප‍්‍රදේශයට ආවම, ඔවුන්ටත් විශාල පසුබෑමකට ලක් වෙන්න සිද්ද වෙනවා. මේ සඳහා බලපාන ප‍්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා.


  • ඔවුන්ගේ වෙළඳනාමයේ ජනප‍්‍රියත්වය අඩු වීම
  • නවීන වෙළඳාම සම්බන්ධයෙන් දැනුම අඩු වීම
  • මහාපරිමාණ තරගකරුවන් ජනමාධ්‍ය කේන්ද‍්‍ර කරගත් ජාතික ම්ටටමේ අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන් සිදු කළත්, මොවුන්ට එසේ කිරීමට ශක්තියක් නොමැති වීම
  • නවීන වෙළඳාම සම්බන්ධයෙන් ක්‍ෂේත‍්‍රයේ සිටින ප‍්‍රවීණයන්ගේ දැනුම හා උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබීම

ඔබ අහලා ඇති ලංකාවේ තිබිච්ච Sentra, Kings, Park & Shop, Dhanasiri, Dahamco වගේ ස්වාධීන සුපිරි වෙළඳසැල්. ඒව අද දකින්නවත් නෑ. ඔවුන්ට ඒවා වහන්න සිද්ද වුණේ අර මුලින් කියපු කුමන හෝ හේතුවක් නිසා. ඔවුන්ට මහාපරිමාණ තරගකරුවන් එක්ක හැප්පෙන්න බැරි වුණා. මොවුන් අද වෙනකොට දකින්න නැතත් අදටත් ලංකාවේ තනි තනි පුද්ගලයන්ට අයිති සුපිරි වෙළඳසැල් බවට පරිවර්තනය කළ හැකි ප‍්‍රමාණයේ සිල්ලර වෙළඳසැල් වගේම දැනටමත් සුපිරි වෙළඳසැල් වශයෙන් පවත්වා ගෙන යන වෙළඳ ස්ථාන විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. 

විසඳුම
උසස් වන පාරිභෝගික අවශ්‍යතාව සපුරනවා වගේම මහාපරිමාණ සුපිරි වෙළඳසැල් ජාල පැමිණියත්, නොසැළී ඔළුව උස්සන්න පුලුවන් අවස්ථාවක් ගමේ නැත්නම් නගරයේ තමන්ගෙම කියා වෙළඳසැලක් පවත්වා ගෙන යන මනුස්සයටත් තියෙන්න ඕන. මේ අවශ්‍යතාව සපුරන්න තමයි සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) ස්ටාර් යුනයිටඩ් (Star United) කියන වෙළඳනාමය ගොඩනගන්නෙ.

Star United Logo
මේක වෙළඳසැල් හිමිකාරීත්වයේ ගෞරවය සහ අභිමානය සුරකින ව්‍යාපාරික ආකෘතියක්...... 

CBL ආයතනය ගොඩනගපු මේ Star United නමැති සෙවන යටට එන්න මේ වන විට ස්වාධීනව පවත්වාගෙන යන සුපිරි වෙළඳසැල්වලටත්, සුපිරි වෙළඳසැල් බවට පරිවර්තනය කළ හැකි මට්ටමේ ඉඩපහසුකම් තියෙන සිල්ලර වෙළඳසැල්වලට පමණක් නෙමෙයි සුපිරි වෙළඳසැලක් අලුතින්ම විවෘත කිරීමට බලා පොරොත්තු වන අයටත් අවස්ථාව උදා කර දීලා තියෙනවා.

ස්ටාර් යුනයිටඩ් වෙතින් ලැබෙන සේවා

වෙළඳසැලේ බිම් සැලැස්ම (Layout) සකස් කර දීමේ ඉඳන් කැටගරි සැලැස්ම සකස් කරදීම, මෙහෙයුම් පුහුණුව ලබා දීම, තොරතුරු තාක්‍ෂණික සහය ලබා දීම සහ අලෙවි සේවා සහය ලබා දීම වගේ පුළුල් පැකේජයක් මෙම ස්ටාර් යුනයිටඩ් වෙළඳනාමය වටා එකතු වන අයට ලැබෙනවා. මේ සියලු සහය ලබා දුන්නත් වෙළඳසැලේ අයිතිය තියෙන්නෙ අදාළ වෙළඳසැලේ හිමිකරුටම නිසා වෙළඳසැලේ කරන සියලුම ප‍්‍රතිසංස්කරණ කටයුතු වගේම සවිකළ යුතු උපකරණ සියල්ල සඳහා සම්පූර්ණ බරපැන දැරිය යුත්තෙ අදාළ වෙළඳසැල විසින්මයි. මේ මොනවා ලැබුනත් අදාළ වෙළඳසැලේ හිමිකරුගේ කැපවීම නම් අනිවාර්යෙන් තියෙන්න  ඕන. මේ සඳහා CBL එක කරන ආයෝජනය සහ කැපවීම වෙනුවෙන් යම් ගාස්තුවක් අදාළ සුපිරි වෙළඳසැල විසින් ගෙවිය යුතු වෙනවා.  

මේ වන විට ස්ටාර් යුනයිටඩ් සුපිරි වෙළඳසැල් ජාලයේ ප‍්‍රගතිය

මේ වන විට මේ ස්ටාර් යුනයිටඩ් සුපිරි වෙළඳසැල් ජාලය සතුව වෙළඳසැල් 40කට අධික ප‍්‍රමාණයක් තිබෙනවා.

නුවර සහ මාතලේ පැත්තෙන් කටුගස්තොට, බරිගම, නුවර කොළඹ වීදිය, නාලන්දා (නාවුල), දිගන, මැණික්හින්න වගේ ප‍්‍රදේශවලත්..... උතුරුමැදින් පොලොන්නරුව, ජයන්ති පුර වගේ ප‍්‍රදේශවලත්... ගම්පහින් නිට්ටඹුව, වේයන්ගොඩ, යක්කල වගේ ප‍්‍රදේශවලත්.... කුරුණෑගලින් හතරලියද්ද, පිලැස්ස, දම්බොක්ක වගේ ප‍්‍රදේශවලත්..... රත්නපුර පැත්තෙන් මලව, කුරුවිට, කහවත්ත වගේ ප‍්‍රදේශවලත්..... දකුණුලකින් හුංගම, අගුණකොළපැළැස්ස වගේ ප‍්‍රදේශවලත් ස්ටාර් යුනයිටඩ් සුපිරි වෙළඳසැල් පිහිටලා තියෙනවා.

මේ වෙළඳ ආකෘතියේ විශේෂත්වය

මෙහි තියෙන විශේෂත්වය තමයි මේ හැම එකක්ම ඒ ඒ ප‍්‍රදේශයේම හිමිකරුවන්ට අයිති ඒවා වීම. එමනිසා ස්ටාර් යුනයිටඩ් වෙළඳනාමය යටතේ ව්‍යාපාරය කරගෙන ගියත්, මෙහි නාම පුවරුවේ එහි හිමිකරුගේ නම ද ඇතුළත් කිරීමට අමතක කර නැහැ. වෙළඳසැල් හිමිකාරීත්වයේ ගෞරවය සහ අභිමානය සුරකින ව්‍යාපාරික ආකෘතියක් කියලා මම මුලින් සඳහන් කළේ ඒකයි. 


Star United- Dambulla
 මෙහි ඉහළින්ම තියෙන්නෙ අදාළ සුපිරි වෙළඳසැලේ හිමිකරුගේ නමයි.

එසේම මේ සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන්නෙ CBL නිෂ්පාදන විතරක් නෙමෙයි. රටේ ජනප‍්‍රිය සෑම නිෂ්පාදකයෙකුටම තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ සමාන අවස්ථා මෙහි උදා කර දී තිබෙනවා. මොකද.... තියෙන දේ වෙනුවට තම රුචිකත්වයට අනුව අවශ්‍ය දේ තෝරා ගැනීමේ පහසුකම පාරිභෝගිකයට අනිවාර්යෙන් තිබිය යුතු නිසා. හැබැයි ඇතැම් ජනප‍්‍රිය සුපිරි වෙළඳසැල් තුළ නම් මේ කියූ දේ වෙනව ද කියන එක ගැටලුවක්.

ඇත්තටම මේක හොඳ අරමුණු රැසක් පෙරදැරි කරගෙන ආරම්භ කරපු ව්‍යාපෘතියක්... මෙය ආරම්භ කරල තවම ගත වෙලා තියෙන්නෙ කෙටිකාලයයි. මෙය නවෝත්පාදනයක් වගේම දැඩි අභියෝගාත්මක ගමනක්. කොහොම වුනත් ඉදිරියේදී මේක ජනප‍්‍රිය ජාලයක් ලෙස පාරිභෝගිකයන්ට, සැපයුම්කරුවන්ට වගේම ස්ටාර් යුනයිටඩ් සමග අත්වැල් බැඳන් ඉන්න හවුල්කරුවන්ට මහගු ප‍්‍රතිලාභ ගෙන දේවි කියන විශ්වාසය සහ බලාපොරොත්තුව මේ ව්‍යාපෘතියේ ආරම්භකයන් සතුව තිබෙනවා. 

http://www.dailynews.lk/?q=business/cbl-expand-star-united-supermarket-chain-500

 වැඩි විස්තර කියවන්න මේ උඩ තියෙන ලින්කුව යොදාගන්න.

 


Star United supermarkets- the latest supermarket chain in Sri Lanka By Damayantha Munasingha

1 comment: