Wednesday, January 23, 2019

යෝගට් කප් එකේ සිට පොලිතින් උරය දක්වා ප්‍රතිචක්‍රීයකරණය කරන දකුණු කොරියාව~~


දකුණු කොරියාව යනු ඉතා සංවිධිත අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන රටක්. ලොව දෙවෙනි විශාලතම නගරය වන සහ මිලියන 50ක් වූ කොරියානු ජනගහණයෙන් හරි අඩක් ජීවත් වන, ඉතා ජනාකීර්ණ සොවුල් අගනුවරින් පමණක් බැහැරළන ටොන් ගණනක අපද්‍රව්‍යවලින් තුනෙන් දෙකක් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. නමුත්, එය කොරියානු මහපොළොවේ අද යථාර්ථයක්.  

විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී, කොරියානු පරිසර අමාත්‍යංශය විසින් සම්මත කර ඇති කසළ වර්ගීකරණ ප්‍රතිපත්තියට අනුව ආහාරමය අපද්‍රව්‍ය (음식물 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ආහාරමය නොවන අපද්‍රව්‍ය (일반 쓰레기), ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය (재활용  쓰레기) සහ විශාල භාණ්ඩ වශයෙන් ඉවතළනදෑ වෙන් වෙන්ව  වර්ග කර බැහැර කිරීම ජනතාවට අනිවාර්ය කර තිබෙනවා. එසේ  කිරීමට අපොහොසත් වීම දඩුවම් ලැබිය හැකි වරදක් පමණක් නොවෙයි, එවැනි අය පිළිබඳව දැනුම් දුන්නොත් රජයෙන් මූල්‍ය ත්‍යාග පවා ලබාගත හැකියි. නමුත්, එලෙස දඩ කාපු කොරියානුවෙක් නම් සොයා ගත නොහැකි තරමට අතිශය විරලයි. 

සාමාන්‍යයෙන්, දකුණු කොරියාවේ කසළ රැගෙන යාම සඳහා ඍජුව ගාස්තු අයකිරීමක් කෙරෙන්නෙ නෑ. ඒ සඳහා ‍යොදා ගන්නේ 1995 වසරේදී හඳුන්වා දුන් පරිමා පාදක ගාස්තු ක්‍රමය (volume based fee system). එනම්, තමන් ඉවතළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතුයි කියන සරළ සිද්ධාන්තය. 

ඒ අනුව, ජනතාව තමන් ඉවතළන කසළ බහාලිය යුත්තේ ලීටර් 5,10,20, 50, 100 ආදී වශයෙන් තමන්ට අවශ්‍ය පරිමාව අනුව සාමාන්‍යයෙන් සුපිරිවෙළඳසැල්වලින් පහසුවෙන් මිලදී ගත හැකි, එක් එක් දිස්ත්‍රීක්කයට සුවිශේෂීව හඳුන්වා දී ඇති සහ එක් එක් කසළ වර්ගයට නියමිත වර්ණයෙන් යුත් පොලිතින් බෑග්වල. කසළ එකතු කරනු ලබන්නන් එම ප්‍රමිතියට අනුකූල නොවන බෑග් සහ තමන්ට අදාළ නොවන වෙනත් දිස්ත්‍රීනක්කයකට අයත් කසළ බෑග් රැගෙන යන්නෙ නැහැ.

ආහාරමය අපද්‍රව්‍ය බහාළනු ලබන ප්ලාස්ටික් බඳුන් සඳහා නියමිත ටැග් මිලට ගෙන ඇමිණිය යුතුයි. බයිසිකල්, කබඩ්, රූපවාහිනී වැනි විශාල භාණ්ඩ ඉවතළෑමේදී දිස්ත්‍රීක්ක කාර්යාල මගින් මිලදී ගත් ස්ටිකර් අලවා, රැගෙන යායුතු කසළ තබන පොදු ස්ථානයක තැබිය යුතුයි.



සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ කසළ රැගෙන යනු ලබන්නේ රාත්‍රී 7ත් පාන්දර 5ත් අතර. එනිසා නියමිත දිනයේ එම කාල සීමාව තුළ පමණක් කසළ නිවසින් පිටත තැබිය යුතු වෙනවා. අවේලාවේ කසළ පිටතින් තැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. 



මෙලෙස රැගෙන යන කසළ අතරින්, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සියලුම ද්‍රව්‍ය එනම්, ප්ලාස්ටික් බෝතල්-යෝගට් කප්-බාස්කට් ඇතුළු සියලුම ප්ලාස්ටික් වර්ග, ඇලුමීනියම්- ටින්- තඹ වයර් ආදී සියළුම ලෝහමය ද්‍රව්‍ය, බ්ලෙන්ඩර්- ප්‍රින්ටර් වැනි සියලුම විදුලි උපාංග, වීදුරු බෝතල්, කඩදාසි නිෂ්පාදන, ඍජුෆෝම් ආදී සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි භාණ්ඩ කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලබනවා. එහිදී, ඒවා තෝරා වර්ගීකරණය කර, ප්‍රෙස් මැෂින් මගින් කුට්ටි කර, යළි පිරිසිදු අමුද්‍රව්‍ය නිපදවනු ලබන ආයතන වෙත අලෙවි කරනු ලබනවා. 


ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියේ පහසුව පිණිස දකුණු කොරියාවේ නිෂ්පාදිත සියලුම ප්‍රතිචක්‍රීයකරණය කළහැකි භාණ්ඩවල ප්‍රතිචක්‍රීයකරණ සළකුණ මැද එම භාණ්ඩය නිෂ්පාදිත අමුද්‍රව්‍යය සටහන් කිරීම අනිවාර්යයි. නිදසුනක් ලෙස සියලුම ප්ලාස්ටික් භාණ්ඩවල PP,HDPE,PS, PET වශයෙන් ඊට අදාළ ප්ලාස්ටික් අමුද්‍රව්‍යයේ නම සටහන් කර තිබෙනු දකින්න පුලුවන්. මෙලෙස දිනකට මෙවැනි ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයකට රැගෙන එනු ලබන කසළ ප්‍රමාණය ටොන් ගණනක්. 

දිනකට එක්රැස්වන ටොන් ගණනක පොලිතින් ප්‍රතිචක්‍රීයකරණය කරන්නෙත් මෙලෙසින්මයි. 

මෙලෙස කසළ තේරීමේදී ඉවතළන සහ ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය වෙනම කුට්ටි කර දහනය කර විදුලිය නිපදවන මධ්‍යස්ථාන වෙත සහ භූමිය ගොඩකිරීම් සඳහා සපයනු ලබනවා. කොරියාවේ ඉවත ලනු ලබන ආහාරමය අපද්‍රව්‍යවලින් සත්ව ආහාර සඳහා සාමාන්‍යයෙන් ගොවිපොළවල් වෙත රැගෙන යන්නේ 10%ක් පමණ. ඉතිරි සියල්ල දහනය කර බලශක්තිය නිපදවන කර්මාන්තශාලා වෙත හෝ පොහොර නිපදවීම සඳහා යොමු කෙරෙනවා. ප්‍රතිචක්‍රීය කළ නොහැකි ආහාරමය නොවන ද්‍රව්‍යත් බොහෝ විට යොමු කෙරෙන්නේ දහනය කරන මධ්‍යස්ථාන වෙත. 

සොවුල් අගනුවර පිහිටි නුවොන් දහන මධ්‍යස්ථානයට කොරියාවේ දිස්ක්‍රීක්ක 25 අතරින් 6කින්ම එන ටොන් ගණනක අපද්‍රව්‍ය බලශක්තිය නිපදවීම සඳහා දහනය කෙරෙනවා. අපද්‍රව්‍ය දහනය කළ පසු දහයෙන් පංගුවක් පමණයි සාමාන්‍යයෙන් ඉතිරි වන්නෙ. එලෙස ඉතිරි වන අළු පොළොව ගොඩකිරීම් සඳහා යොදා ගනු ලබනවා. 

පරිමා පාදක ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර, 1985 වසරේදී කොරියාවේ ඒක පුද්ගල කසළ ඉවතළන ප්‍රමාණය රාත්තල් 4.85ක්. නමුත්, 1995දී එම ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම ප්‍රමාණය රාත්තල් 4.43 දක්වා අඩු වී තිබෙනවා. 2010 වන විට එම ප්‍රමාණය රාත්තල් 2.11 දක්වා ක්‍රමිකව අඩු වී තිබෙනවා. මොකද, ජනතාව දන්නවා තමන් බැහැරළන කසළ ප්‍රමාණයට තමන් ගෙවිය යුතු බව.  

කැළිකසළින් තොර ඉතා පිරිසිදු අලංකාර නගර, සුපිරිසිදු දුම්රියහල්-බස්නැවතුම් වැනි පොදු ස්ථාන, දෙපස එක පෙළට සිටුවන ලද ගස් පේළි සහිත ක්‍රමවත් මං මාවත්, ඉතා ජනාකීර්ණ නගරවල පවා තැන තැන පිහිටුවා ඇති කසළින් තොර පරිසර උද්‍යාන ආදී නෙත් ඇදගන්නා බොහෝදෑ පිටුපස පදනම තමයි, මුල සිට අග දක්වා ඉතා සංවිධිත වූ දකුණු කොරියානු කසළ කළමනාකරණ ක්‍රමය.

දැනට ඉවතළන කසළවලින් 80%ක් වන කසළ ප්‍රතිචක්‍රීයකරණ අගය 2020 වන විට 87% දක්වා වැඩි කිරීම කොරියානු රජයේ ඉලක්කයයි. 

අහස උසට කුණු කඳු ගොඩ ගසනා, ඒවාට යටවී ඔහේ මිනිසුන්ට මියැදීමට ඉඩසළසන ශ්‍රී ලංකාවේ අපි මෙවැනි දියුණු රටවල්වලින් දැන්වත් පාඩම් උගත යුතු නොවේ ද?

        --දමයන්ත--

No comments:

Post a Comment