Tuesday, January 22, 2019

නැති වූ ගවයන් සොයා වන මැද (පුංච් කාලෙ කතාවක්)



 මා කුඩාකල අප නිවසේ  එළගවයන්  විස්සක් පමණ ඇතිකළ අතර හිමිදිරි පාන්දර කිරි දෙවීමේ කාර්‍යයේ සිට ඒ හා සම්බන්ධ සියලු කටයුතු සොයා බැලූවේ අපේ අම්මාය. අපිදු ඒ සඳහා උදව් නොකළා නොවේ. පාසල් ඇරී නැවත නිවසට පැමිණි පසු  හවස් කාලයේ ගවයන් ගැටගසා ඇති තැන්වලින් ලිහා, ඇළ වෙත දක්කාගෙන ගොස් වතුර දීමේ කාර්යය බොහෝවිට සිදුකළේ අපය. දොවනා කිරි සියල්ල කිරි මණ්ඩලයට රැගෙන නොයන අම්මා, ඉන් කොටසක් නිවැසියන්ගේ පානය සඳහා උණු කරන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස සැමදා උදෑසන උණු උණු එළකිරි කෝප්පයකින් සප්පායම් වීමට අපට අවස්ථාව ලැබුණි. 

අම්මා ගවයන්ට සැළකුවේ උන් හුදු තිරිසනුන්ය යන මානසිකත්වයෙන් නොවේ. ඇට ලේ මසින් හැදුණු අපේම පවුලේ කොටසක් ලෙසටය. කන්න වතුර ටික වෙලාවට දී රැකබලා ගන්නා බැවින් ගවයන් ද අම්මාට සැළකුවේ ආදරයෙනි. දුරතියා වුව අම්මාගේ සේයාව දුටු විටම ගවයන් සිය හිස උස්-පහත් කර, නිරතුරුව සිය පිළිගැනීම ඇයට ලබාදෙයි. 

ස්වාභාවික හේතූන් මත ගවයන් මිය ගිය අවස්ථාවලදී අම්මාගේ දෑසට කඳුළු උනනු අප දැක ඇත්තෙමු. එලෙස අප අතරින් සමුගත් රත්ති, කෑටි,  කලූවා වැනි ගවයන් අපේ රංචුවේ සිටි පැරණිම සාමාජිකයන් වූ අතර ඇතමෙක් මා ඉපදීමටත් පෙර සිටම සිටියවුන්‍ ය. ඔවුහු තවමත් අප මනසෙහි ජීවමානව සිටින්නාහුය. 

කුඩා වසුපැටවුන් සමග සෙල්ලම් කිරීම තරම් විනෝදජනක දෙයක් කුඩාකළ අපට නොවීය. ඒ යටගියාව නම් තවමත් මිහිරිය. සුන්දරය.

මිල මුදල් වස්තු සම්පත් හොරහතුරන්ගෙන් ආරක්‍ෂා කරගත යුතුවා සේම ගවයන් ද හොරුන්ගෙන් පරිස්සම් කරගැනීමට අපට සිදු විය. බොහෝ විට මාස පහ- හයකට වරක් අපේ ගවයෙකු- දෙන්නෙකු හොරුන්ගේ ග‍්‍රහණයට හසුව අපට අහිමි වෙයි. හොරකම සිදුවන්නේ රාත්‍රී කාලයේදී ඉතා පරිස්සම් සහගතව බැවින්  අපට එය පාලනය කිරීම ද  පහසු කාර්‍යයක් නොවීය. මා කුඩා කළ එලෙස සිදු වූ ගව හොරකමක් මට අද වාගේ මතකය.

එවර හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබුණේ අපේ වැස්සියන් දෙදෙනෙකු සහ අවට නිවසක ගොන් නාම්බෙකි. මෙම ගොන්නාම්බා විශාල මොල්ලියකින් හෙබි, කරත්තෙකට ඈඳිය හැකි තරමේ හැඩිදැඩි එකෙකි. ඒවන විට මට වයස අවුරුදු 8ක් පමණය. මොවුන්ගේ අහිමි වීම අප පවුල් දෙකටම විශාල පාඩුවක් වූ අතර කැළයෙහි ගවයන් රැගෙන ගිය පාරක් හෝ සොයා ගත නොහැකි විය. අවසන ගම්මුන්ගේ අදහසට අනුව සාස්තර කියන තැනකට ගොස් මේ පිළිබඳව විමසන්නට යෙදුනි. සාස්තර කියන්නාගෙන් පැවසුණේ ගවයන් තිදෙනා තවමත් ජීවතුන් අතර සිටින බවත් කැළෑවේ එකළඟ දිවුල් ගස් තුනක් පිහිටි තැනක ඔවුන් ගැටගසා තිබෙන බවත්ය.

මේ 'ගවේෂණ' මෙහෙයුම සඳහා අප පවුල් දෙකෙන් වැඩිහිටියන් දහදෙනකු පමණ කැළයට ඇතුළු විය. කුඩාවුන් වූ අපට ද ඔවුන් හා එකතු වීමට මහ
ත් ආශාවක් තිබූ නමුත් අපට දෙමව්පියන්ගෙන් ඊට අවසර නොවීය. නමුදු අපගේ නොතිත් ආශාව දෙමව්පිය අනවසරයට යටත් කළ නොහැකි විය. එබැවින් අප සැළකිය යුතු තරමේ පරතරයක් තබා ගනිමින් ඔවුන් පසුපස හොර රහසේම ගමන් කළෙමු. තණ කැවීම සඳහා කැලයට ගවයන් දක්කා ගෙන යාම නිසාත්, දඩයම, තුඹ කැඩීම, දර කැඩීම වැනි විවිධ හේතූන් නිසා කැළෑවට ගිය මිනිසුන්ගේ අඩිපාරවල් නිසාත් මෙකී කැළෑව මැදින් කුඩා අඩිපාරක් සකස් වී තිබුණි. හොඳින් වැඩී තිබූ ඇමටියා සහ අන්දර ගස් නිසා අපට මඳ දුරක් යන විට මව්පියන්ගේ සේයාව නොපෙනී ගියේය.

මෙම කැළෑව හරි මැදට වන්නට ආරක් පිහිටා තිබේ. එහි ජලය ගලායන්නේ වැහිදාට පමණි. අප ගිය අඩි පාර ද වැටී තිබුණේ මෙම ආරට සමාන්තර වන ලෙසය. මව්පියන්ගේ සේයාව නොපෙනී ගොස් විනාඩි විස්සකට තිහකට පමණ පසු, මිනිසුන් දෙතුන් දෙදෙනෙකුගේ සේයාව ආරෙන් එපිටෙහි පිහිටි සුවිසල් කළුවර ගස අසළින් අපට දිස් විය. මාගේ සහෝදර සහෝදරියන් ද මා සමග සිටියහ. අප විගස ආරෙන් එගොඩ වී කළුවර ගස දෙසට පියමණින්නට වීමු. අප එහි ආසන්නයට එනතෙක්ම යමකට තට්ටු කරන ශබ්දයක් ඇසුණු අතර ආර අසබඩ බැවින් එම  ශබ්දය දෝංකාර දුන්නේය. නමුත්, අප කළුවර ගසට මීටර් තිහක් පමණ ළං වන විට කිසිදු ශබ්දයක් තබා, මිනිස් පුළුටක සේයාවකදු පෙනෙන්නට නොවීය.

අපි හයියෙන් ''අම්මේ'' යැයි කිහිපවිටක්ම හඬගෑවෙමු. නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. මා ඒ වන විට සිටියේ ඇහැළ ගසක අඩි හත අටක උසින් තිබූ අත්තක් මතය. ඒ අප දෑස් මානයෙන් සැඟව ගිය මිනිස් රූ දෙක කොහිදැ යි බලනු පිණිසය. අප දුරදී දුටු මිනිස් රූ දෙක පෙනෙන තෙක් මානයකවත් නැත. නමුත් එකවරම කළුවර ගස අතරින් පෙර නොදුටු විරූ කාලවර්ණ මිනිස් රුවක් මතුවිය. මුව පුරා ඝනට වැවුණු රැවුළ බිය ගෙන දෙන සුළුය. ඔහු අත අඩි හතරක් පමණ දිගැති කඩුවකි.
 
''මං ආවොත් තොපි මරනවා... මැරුම් කන්නැතුව පලයව්''

ඒ තියුණු හී සැර බඳු මහා ගොරහැඬි හඬ, නිහඬ වනය දෙදුරුම් කැව්වේය. අපට හීන් දාඩිය දැම්මේය. ඇඟපත වෙව්ළා ගියේය. මා ගහෙන් බිමට බැස්සාද පැන්නා ද කියා මතක නැත. පණ එපා යැයි අපි ආපසු දිවීමු. නැවත ආපසු හැරී බැලුවේ ආරෙන් එපිටට ගොස්‍ ය. අපේ කකුල් අතපය සියල්ල කටු අතුවල වැදී හොඳටම සීරි තිබුණි. සීරුණු තැන් අතරින් සිහින් ලේ බිඳු මතුවී තිබුනි. නමුත් ඒ වග අපට දැනුණේ හති ඇරීමට නතර වූ විටය.

මේ බව දෙම්ව්පියන්ට සැළකිරීමට අප එක පිම්මේ නිවසට දිවගිය නමුත් ඔවුහු ඒ වන විටත් නිවසට පැමිණ නොසිටියහ. ඔවුන් එදින නිවසට පැමිණෙන විට සවස පහට ආසන්නව තිබුණි. අප සිදු වූ සියල්ල වහා ඔවුන්ට සැළකර සිටියෙමු. එසැණින් සියළු දෙනා සමග අප සිද්ධිය වූ කළුවර ගස වෙත ගියෙමු. නමුත් එහි කිසිවෙකුදු නොවීය. ඔවුන් අනතුර කල්තබා හැඳින සැණින් නික්ම යන්නට ඇත. එහි ඔවුන් ඉතිරි කර ගොස් තිබූ දෙයක් විය. ඒ අන් කිසිවක් නොව අලුත මස් කළ ගවයන්ගේ බඩවැල් ආදී කොටස්ය. 

(පින්තූරය ගත්තෙ මෙතනින්)

No comments:

Post a Comment