Saturday, September 27, 2014

පාරිභෝගික සත්කාරයේ නොමැකෙන කතා

''Sainsbury's'' කියන්නෙ එක්සත් රාජධානියේ තියෙන විශාල සුපිරි වෙළඳසැල් ජාලයක්. එහේ තියෙන තුන්වෙනියට විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය තමයි මේක.

මේ සුපර් මාර්කට් එකකට ආපු වයස අවුරුදු තුනක කුඩා ළමයෙකුට විශාල ප‍්‍රහේලිකාවක් ඇතිවුණා ටයිගර් බ්‍රෙඩ් (Tiger Bread) නමින් අලෙවියට තබා තිබූ එක්තරා සේන්ස්බෙරි පාන් වර්ගයක් නිසා. ඇයට පෙනුනු විදිහට කොටියෙක්ගෙ කිසිදු ශරීර කොටසකට මේ පාන් වර්ගය සමාන වුණේ නෑ. නමුත් ඒ වෙනුවට ජිරාෆ් සතෙකුගේ හමේ ස්වරූපය නම් තිබුණා. 


ඇත්ත නේන්නම් ටයිගර් බ්‍රෙඩ් වුනාට කොටියෙක්ගෙ අහලමායිමකටවත් මේක කිට්ටු කරන්න බෑනෙ.....!

 


ඇය තමන්ගෙ අම්මගෙයි තාත්තගෙයි උදව්වත් අරන් සේන්ස්බෙරි පාරිභෝගික සේවා අංශයට මෙහෙම ලියුමක් ලිව්වා.

 

 

 

"ඇයි මේකට ටයිගර් බ්‍රෙඩ් කියන්නෙ. මේකට කියන්න ඕන ජිරාෆ් බ්‍රෙඩ් (Giraffe Bread) කියලනෙ..." ඇය මේ ලියුමෙන් එහෙම ඇහුවා.


මේ පුංචි ළමයා එවපු ලිපියට පිළිතුරු ලිපියක් ලියන්න සේන්ස්බෙරි පාරිභෝගික සේවා අංශය අමතක කළේ නැහැ. මොකද ලොකු පුංචිකම් උස් මිටිකම් පාරිභෝගික සත්කාරයට අදාළ නැති නිසා. ඒක නිසා ඇයට මේ සම්බන්ධයෙන් සෑහෙන්න ස්තුති කරලා තමයි මේ ලියුම ඇයට එවලා තිබුණෙ.

 

 

මේකෙ තවදුරටත් කියලා තිබුණා මේ පාන් වර්ගය ''ටයිගර් බ්‍රෙඩ්'' කියලා නම් වුණේ කොහොම ද කියලත්. මේක මුලින්ම හදපු පාන් බාසුන්නැහේ (baker) තමයි මේ නම දාලා තියෙන්නෙ. මොකද ඔහුට මේක කොටි හමක් වගේ තමයි පෙනිල තියෙන්නෙ. නමුත් ඒ නමට වඩා මේ පුංචි ළමයා යෝජනා කරන නම හොඳටම ගැළපෙනවා කියලත් මේ ලියුමෙ කියලා තිබුණා.


ඔවුන් ඒක ලියුමට  විතරක් සීමා කළේ නැහැ. එච්චර කාලයක් ටයිගර් බ්‍රෙඩ් නමින් තිබුණු නිෂ්පාදනය ''ජිරාෆ් බ්‍රෙඩ්'' කියලා ඔවුන් නම් කළා.


මේ නම් විපර්යාසය ගැන පාරිභෝගිකයන් දැනුවත් කරන්න වගේම අර පුංචි ළමයට ස්තුති කරන්න ජිරාෆ් බ්‍රෙඩ් කවුන්ටරයෙ මේ වගේ සටහනක් ප‍්‍රදර්ශනය කරන්නත් ඔවුන් අමතක කළේ නෑ.

 

 

"අපේ පාරිභෝගියෙක්ගෙ නුවණක්කාර යෝජනාවක් නිසා 'ටයිගර් බ්‍රෙඩ්' 'ජිරාෆ් බ්‍රෙඩ්' වශයෙන් නම වෙනස් කළත්, ආහාර සැකසුම් වට්ටෝරුවේ (recipe) කිසිම වෙනසක් අපි කරලා නැහැ. ඔබ මෙතෙක් රසවිඳි අපූරු රසය එලෙසින්ම එහි ගැබ්ව තිබෙනවා" කියලා තමයි ඒ සටහනෙහි දක්වලා තිබුණේ.


ආයතනයක දියුණුවට එවන පාරිභෝගික යෝජනා හෝ චෝදනා නිකන්ම කුණු කූඩෙට දාන්න එපා කියන්නෙ ඒකයි. ඒවයින් ගතයුතු දේ මොකද්ද කියල බලන්න  ඕන. පුංචි ළමයෙක්ගෙ කියා මොවුන් මේක නිකන්ම නොසළකා හැරිය නම් මේ අපූරු කතාව ලෝකෙ පුරා ප‍්‍රසිද්ධ වෙන්නෙත් නෑ. මම වුනත් අද මේ ගැන ලියන්නෙ නෑනෙ. පාරිභෝගික සත්කාරය නිසා නොමිලේ ලැබෙන ප‍්‍රචාරය තමයි මේවා.

No comments:

Post a Comment