Friday, May 15, 2015

විවාහය, වැට පැනීම සහ වගකීම


සත්ව ලෝකයේ සෙසු කිසිදු සත්ව කොට්ඨාශයක දක්නට නොමැති තරමේ, වඩා සංවිධිත වූ සහ වගකීම්සහගත බවක් මිනිස් සමාජයේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් පවතී. එය හුදු පුද්ගලාන්තර බැඳීමෙන් ඔබ්බට ගිය නෛතික වූ ද බැඳීමකි. දෙතැනක හැදී-වැඩී, දෙතැනක යහන්ගත වූ දෙදෙනෙක්, එක හදකට මුහුව, එකතැනක, එක යහනෙ, එකට හිඳ, දුක සැප බෙදා ගනිමින් දිවි ගෙවීමට පටන් ගන්නේ මෙකී විවාහ බන්ධනය සමගය. 

මිනිසා කවදත් සැප විඳීමට කැමැත්තේය. එය එදාට මෙන්ම අදටත්, අදට මෙන්ම හෙටටත් එකසේ වලංගු වන්නේය. එහෙත් ඇතැමෙක් වැඩි සැප පතා ගොස්, ජීවිතයම අනාගන්නෝය. අන් සැප ද නසන්නෝය. කැදලි බිඳින්නෝය. හෙමින් ලතාවට ගෙවත්ත මැදින් ගලා යන නිල් දිය දහරේ කිමි ද නොනා, කුතුහලය පෙරටුව- වැඩි සිසිලස පතා -අන් වතු මැදින් ගලා යන දිය දහරාවන්හි ද කිමිදී නෑමට තැත් කරන්නෝය. අවසන ඇදගෙනම නාන්නෝය. නාගෙනම නැසෙන්නෝය.

කෑමක් වුව හැමදාම ගෙදරින් කන විට, ඇතැමෙක්ට නීරස විය හැකිය. කිසි ගතියක් නැතැයි සිත්විය හැකිය. එහෙයින් අලුත් කඩයක් වෙත ගොස් අලුත් කෑමක රස බලන්නට ඇතැමෙක්ට සිත් විය හැකිය. 

නමුදු, ගෙදර කෑම තිබියදී, කඩෙන් කෑම එතරම් ඇඟට ගුණ නැත්තේය. බිඳුණු කැඩපතක් යළි ප්‍රකෘතියට පත් කළ නොහැක්කා සේ මුළු ජීවිතයම සිඳ බිඳ දමනු ඇත්තේය.  දරුවන් ගැන සිතා හෝ ක වහළ යට විසුවත්, පෙර පරිදි සබඳතා නොපවතිනු ඇත්තේය. එකිනෙකා නුරුස්සනු ඇත්තේය. අඬදඹර ඇරඹෙනු ඇත්තේය. බිඳුණු හදක ක්‍රියාකාරීත්වය එසේ වන්නේය. 

මන්ද, මිනිසුන් අන් අය සමග කුමක් බෙදා ගත්ත ද, තමාගේ ප්‍රියයා පමණක් කිසිදු අයුරකින් බෙදා ගැනීමට-අන් අයගේ පරිහරණයට දීමට අකැමැත්තේය.       

එසේ නම්, යුග දිවි ගෙවන්නන් තම යුග ජීවිතය සරළ "ලිස්සායාමක්" ලෙස නොව "වගකීමක්" ලෙස සිතිය යුතු වන්නේය. තම ගෙයි වැට මායිමෙන් එපිටට පැනීමට පෙර තම නිවසේ ආදරණීයයන් සිහිපත් කළ යුතු වන්නේය. ගෙවූ ජීවිතයට වඩා ගෙවන්නට ඇති ඉදිරි ජීවිතය ගැන සිහිපත් කළ යුතු වන්නේය. තාවකාලික "අනියම්" සැපට වඩා දිගුකාලීන "නියම" සැපක මිහිරියාව සිතට ගතයුතු වන්නේය. වැඩේ ගැස්සුණහොත්, සමාජයට යළි මුහුණ දෙන්නේ කෙසේද යන්න කල්තියා සිහිපත් කළ යුතු වන්නේය. එවිට, අනියම් සැප දෑස මානයේ වුව ද, කිසිවෙකු වැට පනින්නට නොසිතනු ඇත්තේය. තමාට කවුරුන් කුරුමානම් ඇල්ලුව ද, කුරුමානම අල්ලන විටම දඩයක්කරුගේ ගොදුර තමා බව කල්තියා දැනගනු ඇත්තේය. 

විවාහ ජීවිතය තුළ ලිංගික කාර්යය අවියෝජනීය වුව ද, දරුමල්ලන් ලැබී කලක් යන විට එය ප්‍රමුඛතාවක් නොවනු ඇත. ළං කරගන්නා තෙක් උච්චස්ථානයේ තිබූ කුතුහලය-ආශාව, විවාහ වී ළං කරගත් විට සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත. ඉන්පසු, දරුවන්-ගෙදර දොර කටයුතු-සමාජ ජීවිතය ප්‍රමුඛ වනු ඇත. ලිංගිකත්වය කාලයාගේ ඇවෑමෙන් දුරස් වනු ඇත. එහෙත් විවාහ ජීවිතය තුළ සපුරා නිශ්කාමී වීමක් සහ අන්‍යොන්‍ය සෙනෙහස ළබැඳියාව අඩු වීමක් සිදු නොවිය යුත්තේය. කලත්‍රයා පවුලේ සුඛ විහරණය සලසනු පිණිස නිවසින් බැහැරව සිටිය ද, හැම විටම අන්‍යොන්‍ය බැඳියාව පවත්වා ගත යුත්තේය. සැබවින්ම, Kit එකේ සිටිය යුත්තේය. (Keep In Touch)

මෙහිදී තව දෙයක් ද කිවයුතුව ඇත. පුරුෂකේන්ද්‍රීය දෘෂ්ටිකෝණයට නතු වූ අපේ සමාජයට අනුව, වැට පැන්නොත් හැම විටම වරද පැටවෙන්නේ කාන්තාවටය. සීසෝ එකේ තනියෙන් සීසෝ පැදිය නොහැක්කා සේම, තනි අතින් ද අත්පුඩි ගසනු නොහැක්කේමය. පටවනවා නම් වරද පැටවිය යුත්තේ, වරදේ දෙකෙළවර බැඳි දෙපාර්ශවයටම මිස එක පාර්ශවයකට පමණක් නොවන්නේය. 

පින්තූරය ගත්තෙ මෙතනින්.

No comments:

Post a Comment