Saturday, September 27, 2014

එහෙමත් සෙනසුරාදාවක් යළි නොම වෙයං සදා !!!

'' ඒයි... නැගිටපන් බං. 6.45 යි වෙලාව '' 

කාමර සගයා මගේ උරහිස සොළවමින් මට අවදි කළේය. මොහු මගේ කාමර සගයා පමණක්ම නොවේ. එකම ආයතනයේ මා සමග සේවය කරනා කාර්යාල සගයා ද වේ.

'' මං තව චුට්ටකින් නැගිටිනවා... අද ට‍්‍රැෆික් එකත් නෑනෙ.''

සතිය මැද දිනක නම් මා ඒ වන විටත් ඇහිරිලාය. 

සාමාන්‍යයෙන් සතියේ මැද දිනයන්හි කොලඹ නගරයේ අධික මාර්ග තදබදයක් පවතී. එමනිසා නවාතැනේ සිට කාර්යාලය වෙත යෑමට විනාඩි 45ක් පමණ ගත වන අතර මාර්ග තදබදය එතරම් නැති සෙනසුරාදා දිනයන්හි ඒ සඳහා ගත වන්නේ විනාඩි 25කටත් අඩු කාලයකි.

වැඩකරන දින අතරින් මඳක් වැඩිපුර නිදාගැනීමට අවස්ථාව ලැබෙන්නේ සෙනසුරාදා දිනයන්හි පමණක් බැවින්, මුළු සිරුරම වැසෙන සේ හොඳින් පොරවාගෙන යළිත් මම ඇඳෙහි ගුළි වුණෙමි.

'' ඒයි... නැගිටපන් යකෝ.... 7.10 යි වෙලාව. අද උඹ   ඕෆ් ද ? ''

හිස මඳක් ඔසවා, කොට්ටයට එපිටින් තිබූ ජංගම දුරකතනය ගෙන වෙලාව බැලීමි. වේලාව 7.10 ය. අවදි වීම සඳහා 7.15ට තැබූ එලාම් එක ද ඕෆ් කර දමා, මම ඇඳෙන් බැස ගත්තෙමි. තට්ටු දෙකේ ඇඳක් වූ මෙයින් උදෑසන බැස ගැනීම ද එතරම් පහසු කාර්යයක් නොවේ.

ඒ වන විටත් මගේ කාමර සගයා ඇඟපත පිරිසිදු කරගෙන හමාරය. වෙනදා මුලින්ම නැගිටින්නේ මා වුව ද, අද ඔහු මටත් කලින් ඇහැරිලාය.

තුවාය ද කරට දමා, දත් බුරුසුව ද රැගෙන මම නානකාමරයට රිංගුවෙමි. දත් ටික මැද, ක්‍ෂණිකව නා ගතිමි. කුමන හෝ ගමනක් යාමට තිබේ නම්, පාන්දර දෙකට තුනට වුව නා ගැනීම මගේ වසර ගණනාවක පුරුද්දක් වන අතර මුළු දවසම ප‍්‍රබෝධයෙන් සිටීම සඳහා  එය මට මහත් පිටිවහලක් ගෙන දේ.

තුවාය සහ තෙතබරිත කලිසම වැල්පොටෙහි වනා, මම ලහි ලහියේ වැඩට යන්නට සූදානම් වුණෙමි.

ඒ වන විට වේලාව 7.30 පසු වූවා පමණි. 

සෙනසුරාදා දිනයන්හි උදෑසන 8.15 වන විට කාර්යාලයට වාර්තා කිරීමට නම්, 7.40ට පෙරවත් නවාතැනෙන් පිට විය යුතු අතර සතියේ දිනක නම් 7.20ටවත් පිට විය යුතුය.

'' අද මට උණ හැදෙන්න වගේ... ඇඟට කිසි ෆිට් එකක් නෑ බං... ෂෝර්ට් ලීව් එකක් දාලා වේලාසනින් ගෙදර ගියොත් අවුලක් වෙන එකක් නෑනෙ.'' මගේ සගයා ඔහුගේ ඇඳුම් රාක්කය අසළ සූදානම් වන ගමන් මගෙන් ඇසීය.

'' නෑ... අසනීපයක් නම් ඉතින් අවුලක් නෑනෙ... හදිසි වැඩ තියෙන ඒවා ඉවර කරලා 10.00ට විතර උඹ ඕෆ් වෙයං...'' බිමට නැමී සපත්තු යුගළ පයෙහි දමා ගන්නා ගමන් මම පිළිතුරු දුනිමි.

කොහොමත් ඔහු සෙනසුරාදා වරුව වැඩ කර, නවාතැනට නොපැමිණ කෙළින්ම තම නිවස බලා පිටත් වන අතර සඳුදා දින නිවසේ සිටම වැඩට පැමිණ, හැන්දෑවට යළි නවාතැන වෙත පැමිණීම ඔහුගේ සාමාන්‍ය සිරිතයි.

'' අද නම් නමයවත් වෙයි ඔෆිස් එකට යනකොට... උඹ නැගිට්ටෙත් පරක්කු වෙලානෙ. ඉක්මන් කරලා යමං. පෙරේදා යන කොටත් ටිකක් පරක්කු වෙලා.. ''  මිතුරා කියවා ගෙන ගියේය.

'' අද ට‍්‍රැෆික් නෑනෙ.. විනාඩි 20න් ඔෆිස් එකට යතහැකි. යමු ද එහෙනම්. මං රෙඩි '' බෑගය ද කරට ගෙන ඔහු දෙස බලමින් මම පැවසුවෙමි.

'' ඒයි... උඹ අද ඔහොම ද යන්නෙ.. අද සෙනසුරාදා කැෂුවල්නෙ....''

මගේ මිතුරාට සෙනසුරාදා සහ සිකුරාදා පැටළිලාය. සෙනසුරාදා දිනයන්හි කැෂුවල් ඇඳුමින් වැඩට යාහැකි වුවත්, මගේ මිතුරා සතියේ දිනවල මෙන් අත්දිගට හැඳ, කමිසය ද කලිසමට යටකර සැරසිලාය.

නමුත් පුදුමයකි. මිතුරා පාලනය කරගත නොහැකි තරමේ සිනාවකය.

'' අනේ. උඹ වගේ ටියුබ් ලයිට් එකක්... බලපං අද දවස කවද්ද කියලා...''

ජංගම දුරකතනය ගෙන එහි තබූ  දින සටහන බැලීමි. අහෝ ! ඇණගැනිල්ලක මහත...! ඇණගෙන ඇත්තේ ඔහු නොව මාය.

උදෑසන සිට වූ සිදුවීම් පෙළ මට එකිනෙක සිහිපත් විය. සතියේ දිනවල මාර්ග තදබදයට හසු වන නිසා 6.30 ට එලාම් එක තබා වේලාසන අවදි වන නමුත් සෙනසුරාදා දිනයකැයි සිතා මා එදින එලාම් එක තැබූයේ 7.15 ටය. එමෙන්ම යහළුවාට ෂෝට් ලීව් එකක් ගැනීමට අවශ්‍ය යැයි පවසූ විට, මා 10.00ට විතර ගන්නැයි කීවේ ද සෙනසුරාදා වැඩ කිරීමට ඇත්තේ වරුවක් පමණක් බැවිනි.

හැඳසිටි ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් එක සැණෙකින් ගලවා දමා, රාක්කයේ එල්ලා තිබූ අත්දිග කමිසයක් සහ කලිසමක් ගෙන ක්‍ෂණිකව අයර්න් කර ගතිමි.

'අහවල් එක' කැඩුණු කඩියෙකු මෙන් මා කඩිමුඩියේ ඇඳුම් ඇඟලා ගතිමි. මෙතරම් කෙටිවේලාවකින් මා කිසි දිනක ඇඳුම් ඇඟලාගෙන තිබුණේ නැත.

මේ ඇණගැනිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස අප එදින කාර්යාලයට යන විට 9.00 ට ආසන්නව තිබුණි.

කෙසේ වුව ද එලෙසින් මා ඇණගත්ත ද, එදින මගේ වෙලාව නම් හොඳ බව කිව යුතුමය. මන්ද... යහළුවා නවාතැනේ නොසිටි දිනයක් වූයේ නම් එදින මා කැෂුවල් ඇඳුමින් වැඩට යනු නිසැකය. එසේ වූයේ නම් මහත් වූ අපහසුතාවකට පත්ව, නවාතැන වෙත ආපසු හැරී එනවා හැර වෙන විකල්පයක් මාහට ඉතිරි වන්නේ ද නැත. 

No comments:

Post a Comment