Friday, September 19, 2014

පොලොන්නරුවෙදි උගුඩුවෙක් දුන්න සැපක්......................

රැකියා ස්ථානයෙන් පවරපු රාජකාරියකට පහුගිය සතියෙ ජයන්තිපුරට යන්න වුනා. ජයන්තිපුර කිව්වට ඒක කොහේ තියෙනව ද කියල ඇතැමෙක් දන්නෙ නැති වෙන්නත් පුලුවන් නිසාම, පොඩි සිතියම් පොජ්ජකුත් මේකට ඇමුණුවා



පවරපු රාජකාරිය ඉෂ්ට කරන්න මාත් එක්ක තව දෙන්නෙකුත් කොළඹින් ගියා. රාජකාරියට අදාළ සියලු වැඩකටයුතු ඉවර වෙනකොට, ඉර බහින්නත් ඔන්න මෙන්න. අපිට එදාම ආපහු කොළඹ එන්න බස් තිබුනත්, කොළඹ ඉඳන් අපේ වාසස්ථානවලට යන්න බස් තියේ ද කියන දෙගිඩියාව අපිට තිබුනා. 

 

ඒක නිසා අපි එදා හැන්දෑවෙම කොළඹ එන්නැතුව, පොලොන්නරුව ටවුන් එකට යන්න තීරණය කළා. ඔය ලෝක ප්‍රසිද්ධ ගල් විහාරය එහෙම තියෙන්නෙ ජයන්තිපුරයි පොලොන්නරුවයි අතර තමා. අපේ පැරැන්නන්ගේ ශෛල නිර්මාණ හැකියාව කොයි තරම් විශිෂ්ට ද කියලා ගල් විහාරෙට ගියාම හිතෙනවා. සරළව කියනව නම් පිස්සු හැදෙනවා. බුද්ධාලම්බන ප‍්‍රීතිය ටිකක් එන්නත් එක්කම ගල්විහාරෙ තියෙන සැතපෙන පිළිම වහන්සෙගෙ පින්තූරෙකුත් මේකට ඇමුණුවා.


ජයන්තිපුර ඉඳන් පොලොන්නරුවට බස් එකේ යනව නම් රුපියල් 20ක් වගේ තමයි ගන්නෙ. පොලොන්නරුව පැත්තට බඩගාන්න හිතුවේ ඇයි කියනව නම් අපේ පරණ මිත්‍රයෙක්ගෙ ගෙදර තිබුනේ පොලොන්නරුව ඔරලෝසු කණුව කිට්ටුවම. පොලොන්නරුව කිට්ටුවටම ආපු එකේ ඔහුත්  ටිකක් හම්බවෙලා නොගියොත් ඒකත් අවුල් නෙ. 

 

ඒ වෙනකොට අපේ රටේ සමහර ප්‍රදේශවලට බලපාලා තිබිච්ච නියඟෙ පොලොන්නරුවටත් එලෙසමයි. ඉරට 'වියාපු පොල් අතු කෑල්ලක් ගහන්න හිතෙන' රස්නයක්. 

 

තිබහටයි මහන්සියටයි දෙකටම හරියන්න කූල් ෆ්රුට් ජූස් මොනවහරි බොමු කියලා අදහසක් ආවා. ඉතින් ඔරලෝසු කණුව ළගම තිබුණු  සුපර් මාකට් එකට තුන්දෙනාම ගියා. ඇතුළතත් පිරිසිදුයි. පාරිභෝගික සේවාවෙත් කියන්න තරම් වරදක් නෑ. ඒ කියන්නෙ හොඳයි කියන එකනෙ. සුපර් මාකට් එකේ නම තමයි ''ස්ටාර් යුනයිටඩ් ක‍්‍රවුන් ෆැමිලි සුපර්'' 

 

පොලොන්නරුව ඔරලෝසු කණුව ළගම තියෙන ස්ටාර් යුනයිටඩ් සුපර්මාර්කට් එක තමයි මේ.

 

 

ඕක තමයි කතාව. කියෙව්වට බොහොම ස්තුතියි !

 

හෝව්... හෝව්.... කතාව ඉවර නෑමෙච්චර වෙලා කළේ කතාවෙ පූර්විකාව. ඕං... දැන් තමයි කතාව පටන් ගන්නෙ. 

 

අපි එදා රෑ නැවතුනේ පොලොන්නරුව හන්දියට ටිකක් ළගම නවාතැන්පොළක (Guest House). වොෂ් එකකුත් දාගෙන, කෑමත් ගෙන්න ගෙන කාලා, පොඩි කයියකුත් ගහලා ඉවර වෙනකොට රෑ 10.30ට ඇති. 

 

තිබිච්ච මහන්සියටත් එක්ක යකා ගැහුව වගේ නින්ද ගියා. මොකද...ඒක අපිටම කියාපු රාත‍්‍රියක්. සීතලයි -නිහඬතාවයි- නිදිමතයි මේ තුනම එකට එකතු වුණාම ඉතින් කුමන කතා ද?

 

ඒත් කරුමයක මහත! 

 

එකපාරටම අපි උඩගිහින් ඇහැරුනා. කවුදෝ වහළෙට ගල් ගහනවා. වෙලාව පාන්දර 4.00 පහුවුණා විතරයි. ඒකත් අමුතුම තාලෙ ගල් ගැහිල්ලක්. ගලක් වහළ උඩට විසිකරනවා... ඒක පෙරළිලා පහළට එනවා. ආපහු ඒ ගලම වහළ උඩට දානවා. ඒක ආයිත් පහළට පෙරළිලා එනවා. ඔහොම මේක දිගටම වෙනවා. නින්ද යන්නෙත් නෑ. දැන් අපි තුන් දෙනාම ඇහැරිලා. හිතට පොඩි දෙගිඩියාවකුත් ආවා හොල්මනක්වත් ද කියලා. නැගිටින්නත් කම්මැලියි. විනාඩියක් දෙකක් බැලුවා. නවතින පාටක් නෑ. නැගිට්ටා තුන් දෙනාම... දන්නැද්ද ඉතින් හොඳ පදේකුත් කියාගෙන. 

 

සද්දෙ එන්නෙ අපේ කාමරේ වොෂ් රූම් එක පැත්තෙන්. දොර ඇරලා බැලින්නම් සද්දෙ එන්නෙ වොෂ් රූම් එකේ සිවිලිම උඩින්. උගුඩුවෙක් සිවිලිම උඩ ඉඳන් ආතල් එකක් ගන්නවා. මේ ඇස්බැස්ටෝස් සිවිලිම ගහල තිබුණෙත් මුදුන් වහලෙ ඉඳන් දෙපැත්තට බෑවුම් වෙන විදිහට. උඩ පැනලා සිවිලිමට හයියෙන් තට්ටුවක් දැම්මා, මූ එළියට යයි කියලා හිතාගෙන.  

 

වැඩේ දෙල් වුණානෙ! සිවිලිමෙන් එළියට යනවා වෙනුවට මූ නැග්ගෙ නැතෑ සිවිලිමේ ඉහළ කොටසට. දැන් මූ ඉන්නෙ හරියටම අපේ ඇඳන්වලට හරිකෙළින් සිවිලිම උඩ. මූ විතරක් ආව නම් කමක් නෑ. බල්ලො මස් කඳුලක් නැති ඇටකටුව කටින් අතාරින්නෑ වගේ මූත් අර ගල් ගෙඩියත් අරන් තමයි උඩට ඇවිත් තිබුණෙ. දැන් ආයිත් අර සෙල්ලමමයි. දැන් තිබුණට වැඩිය සද්දෙත් වැඩියි. සිවිලිමත් උස වැඩියි. ආයෙ ඉතින් කොහෙ එළවන්න ද......

 

මූ මේ සෙල්ලම නතර කළේ හරියටම උදේ 6.00ට කිට්ටු කරලා. එතකම් ඉතින් ''අපි නිදිමරන්නම්... උඹ ආතල් ගනින්..'' කියලා අපි ඇහැරන් හිටියා. උගේ කරදරය නතර වුනාට පස්සේ තමයි ඕන් ඉතින් අපිට නින්ද ගියේ. 

 

උදේ 6.00ට නැගිටින්න හිතන් තියපු එලාම් එකත් ඕෆ් කරලා හොඳට පොරවගෙන නිදා ගත්තා. නැගිටින කොට උදේ 8.20 විතර වෙලා. එදා නම් උගුඩුවා ගැන පුදුම තරහක් තිබුනේ. ඒත් මේක ලියන කොට ඌ ගැන සතුටක් එන්නෙ. ඒ සමහර විට අපිට පොලොන්නරුව ගැන නොමැකෙන මතකයක් ඌ දුන්න නිසා වෙන්න ඇති. 


No comments:

Post a Comment