Monday, April 27, 2015

දුටුගැමුණු රජු දුෂ්ඨයෙක් නෙමෙයි- මෙන්න හේතු

නම- දුට්ඨගාමනී අභය 
කාලය-ක්‍රි.පූ 161-137
පුද්ගලික නාමය (personal Name) -අභය
පදවි නාමය (Title) - ගාමනී 
ගුණවාචක නාමය (Epithet)- දුට්ඨ 

දුටුගැමුණු රජු කවුද කියලා ශ්‍රී ලාංකික අපිට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ. ඒත් අපේ ලිඛිත ඉතිහාසයෙ කියන විදිහට ඇත්තටම දුටුගැමුණු රජු දුෂ්ඨයෙක් ද කියන එක නම් විමසා බැලිය යුතු කාරණයක්. ඒ වගේ වීර චරිතයකට දුෂ්ඨ කියන විශේෂණ පදය යොදන්න සහ එය ජනගත කරන්න කවුරු හරි පෙළඹෙයි කියලා කොහොමටත් හිතන්න අමාරුයි. එහෙම වුනත් දුටුගැමුණු රජු ගැන පරිච්ඡේද 22කින්ම විස්තර වර්ණනා කරන මහාවංශයම තමයි අපිට කියන්නෙ ගැමුණු කුමාරයා තමන්ගෙ පිය රජුට (කාවන්තිස්සට) ගැහැණු ආභරණ යැවීමත් එක්ක ඒ නම පටබැඳුනයි කියලා. ඒත් ඒක විශ්වාස කරන්න අමාරු දෙයක්. මොක ද එවැනි නුගුණවාචක පදයක් තමන්ගෙ නමත් එක්ක රාජපුත්‍රයෙක් නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙක්වත් පාවිච්චි කරයි කියලා සහ පාවිච්චි කරන්න ඉඩ දෙයි කියලා කොහොමටත් හිතන්න අමාරුයි. 

දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ පාලන කාලයෙන් අවුරුදු 500කට විතර පස්සෙ තමයි (ක්‍රි.ව 5) මහාවංශය ලියවෙන්නෙ. එහෙම ලියවෙන මහාවංශයෙ තමයි (24 පිටුව) මේ නම හැදෙන්න බලපෑවය කියන කතාවත් තියෙන්නෙ. 

ඒත් මෙතන මොනයම් හෝ පැටලැවිල්ලක්-වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම කියන පළවෙනි කෙනා මම නෙමෙයි. මං දන්න තරමින් ඒ අදහස මුලින්ම ඉදිරිපත් කළේ සෙනරත් පරණවිතාන මහත්තයා. තමන්ගෙ එපිග්‍රාෆියා සෙයිලනිකා කියන පොතේ.

එහෙමනම් කොහොම ද ගැමුණු රජු දුෂ්ඨයෙක් වුනේ?


ඒ ගැටලුව ලිහාගන්න නම් අපි නිරුක්තිමය වශයෙන් දුට/දුටු කියන වචනය ගැන පරීක්ෂා කළ යුතු වෙනවා. 

සරළවම කියනව නම් සිංහල භාෂාව දුව හෝ පුතා නම්, පාලි භාෂාවයි සංස්කෘත භාෂාවයි කියන්නෙ අම්මයි තාත්තයි වගේ. මොක ද සිංහල භාෂාවේ තියෙන වචනවලින් අතිබහුතරයක්ම පාලි-සංස්කෘත භාෂාවලින් 

තත්සම විදිහට හෝ තත්භව විදිහට ආපු ඒවා.

නිදසුනක් විදිහට අපි නිදසුන කියන වචනයම ගමුකො. නිදර්ශන කියන්නෙ සංස්කෘත වචනයක්. නිදස්සන කියන්නෙ එහි පාලි රූපය. නිදසුන කියන්නෙ සිංහල රූපය. මේ වගේ උදාහරණ ඕන තරම් සිංහල භාෂාවේ තියෙනවා. සිංහල භාෂාවේ පද නිරුක්තිය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් කළ අයෙකුට මෙය ඉතා පැහැදිළි කාරණයක්. 

එහෙමනම් අපිට මේ දුට/දුටු වචනවල නිරුක්තිය හොයාගන්නත් ඒ භාෂාවන්ගෙම පිහිට පතන්න වෙනවා. එතකොට අපිට පුලුවන් වේවි මහාවංශෙ ලියපු මහානාම හාමුදුරුවන් කියනවට වැඩිය සාධාරණ සහ වඩා නිවැරදි නිගමනයයකට මේ වචනය සම්බන්ධයෙන් එන්න. එහිදී අපිට දෙයාකාරයකට නිරුක්තිය හදාගන්න පුලුවන්.

1. නිර්භීත යන අර්ථය ඇති සංස්කෘත දෘෂට යන පදයෙන් දුට/දුටු යන පදය සිංහලට බිඳී ආ බව
2. නරක කියන අර්ථය ඇති සංස්කෘත දුෂ්ට යන පදයෙන් දුට/දුටු යන පදය සිංහලට බිඳී ආ බව

මහාභාරතයේ එන වීරයන් දෙදෙනෙක් තමයි දෘෂ්ටද්‍යුමන හා දෘෂ්ටකේතු. මොවුන්ගෙ නම්වල තිබෙන දෘෂ්ට යන සංස්කෘත පදයෙ තේරුම තමයි නිර්භීත කියන එක. ඒක නිසා එම අර්ථය රට එක්සේසත් කරපු ගැමුණු රජුගේ චරිතයට හැම අතින්ම ගැළපෙනවා. ඒ නිසා දුට කියන වචනය භාවිතයට එන්න ඇත්තේ නිර්භීත කියන අර්ථයෙන් මිස දුෂ්ට කියන අර්ථයෙන් නොවිය යුතුයි. නමුත් දුට යන පදයේ අර්ථය සහ එය බිඳී ආවේ කුමන පදයකින් ද යන්න ගැන කාලයාගේ ඇවෑමෙන් සමාජය නොදැනුවත් වන්නට ඇති බව අපිට අනුමාන කරන්න පුලුවන්. ඒ නිසා, සාම්ප්‍රදායික කතාකරුවන් සංග්‍රාමයෙහි වීරත්වයත්, ආගමධර්මයට ශ්‍රද්ධාවත් පෙන් වූ මේ නරපතියගෙ නමට තමන් “දුෂ්ට“ යන අර්ය පමණක් දැන සිටි මේ පදය එක්වුනේ කොහොම ද කියන ගැටලුවට නිසැකවම මුහුණ දෙන්න ඇති. ඒ නිසා ජනවහරේ තිබූ පියරජුට කාන්තා ඇඳුම් යැවීමේ කතාව ද සම්බන්ධ කොට, ඒ නිසා දුෂ්ඨ කියන අර්ථයෙන් ගැමුණු රජුට දුට්ඨ කියන නම එකතු වූ බව කියන්නට පෙළඹෙන්නට ඇති.

අනික ආගමික සහ ශාස්ත්‍රීය පදනමින් භාවිත භාෂාවන් විදිහට පාලි-සංස්කෘත ලංකාවේ භාවිත වුනත්, ලංකාවේ මිනිස්සුන්ගෙ ව්‍යවහාර භාෂාව වුනේ සිංහල. ඒ නිසා දුට කියන වචනය හැදෙන්න ඇත්තේ නිසැකවම සංස්කෘත දෘෂ්ට (නිර්භීත) කියන වචනයෙන්. ඒ නිසා ඒක ගැමුණු රජ්ජුරුවන්ගෙ නමට ගුණවාචකයක් විදිහට ඈඳෙන්න ඇති. හැබැයි අර මුලින් කිව්ව වගේ අවුරුදු පන්සියයකට විතර පස්සෙ පාලි භාෂාවෙන් මහාවංශය ලියද්දි දුට කියන වචනයේ සැබෑ නිරුක්තිය සහ අර්ථය සමාජය නොදැන ඉන්න ඇති. ඒ නිසා ඒක පාලියට දුට්ඨ ලෙස (දුෂ්ඨ කියන අර්ථයෙන්) පෙරළ ගන්න ඇති. 

තවත් දෙයක් කියන්න තියෙනවා. දුට කියන මූලයෙන්ම හැදුණ වචනයක් විදිහට දුටික කියන වචනය සළකන්න පුලුවන්. ඒ දුටික කියන වචනය යෙදී ඇති තැනක් අංක 878 දරණ සෙල්ලිපියෙහි හමුවෙනවා. එහි පරුමක තිස  නම් තැනැත්තාගෙ නමට දුටික යන විශේෂණය යොදා තිබෙනු දැකිය හැකියි. ඒ සම්බන්ධයෙන් පරණවිතාන මහත්තයා කියන්නෙත් එය සංස්කෘත දෘෂට (නිර්භීත) කියන වචනයෙන් බිඳී ආවක් කියලයි. (දුට+ඉක =දුටික). මොක ද ඔය කියන විදියට දුට කියන වචනය සංස්කෘත දුෂ්ඨ හෝ පාලි දුට්ඨ කියන වචනයෙන් බිඳී ආවක් නම් කිසි සේත්ම එවැනි නුගුණවාචක පදයක් තමන්ගෙ නමට එකතු කරගන්න විතරක් නෙමෙයි ඒක හැමෝටම පේන විදියට සෙල්ලිපියක කොටන්න කිසිසේත්ම පෙළඹඹෙන්නෙ නැහැ. 

References-

Page 31, History Of Sri Lanka, Ariyarathne Chandra, Samudra Book Publications, Kurunegala, 2009 August  

ප.ලි මේ සම්බන්ධයෙන් සෙනරත් පරණවිතාන මහතා විසින් Identification Of Kings යන මාතෘකාව යටතේ ඉංග්‍රීසි බසින් රචිත ලේඛනයක් මා සතුව ඇත. එහි මුල් පිටු කිහිපය නැති බැවින් ප්‍රකාශිත වර්ෂය, කෘතිය කුමක්දැයි කිව නොහැක. මෙම ලේඛනය තුළ සම්පූර්ණයෙන්ම පාහේ තිබෙන්නේ මහින්දාගමනයේ පටන් ලක්දිව සෙල්ලිපිවල දැක්වෙන සඳහන් රජවරුන්ගේ නම් සහ කාලවකවානු පිළිබඳවයි. Epigraphia zeylanica, Volume 6 හි ඇතැයි සැකයක් තුබුණ ද, එය සොයා ගත නොහැකි වුණි. මේ පිළිබඳව දන්නා කෙනෙක් සිටී නම් කියන්න.

No comments:

Post a Comment