Sunday, March 27, 2016

ඔබත් හිතේ එලාම් ඔරලෝසුවෙන් වැඩ අරගෙන තියෙනව ද?


පසුගිය දිනක යම් ප්‍රදේශයකට යාම සඳහා පාන්දර 3ට පමණ ඇහැරීමට මට අවශ්‍යව තිබුණි. ඒ සඳහා, මා ජංගම දුරකතනයෙන් එලාම් එක සකස් කළෙමි. නමුත්, පුදුමයකි. හරියටම පාන්දර 3.00ට විනාඩි පහක් පමණ තිබියදී මට ස්වාභාවිකවම ඇහැරුණි. සැබවින්ම, මෙවැනි අත්දැකීමක් විඳි පළමු අවස්ථාව මෙය නොවේ. 

විස්මිත මනසේ එලාම් ක්‍රියාකාරීත්වය මා බහුල වශයෙන්ම අත් විඳි කාලය නම් මා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පාඩම් කළ කාලයයි. එම කාලයේදී සාමාන්‍යයෙන් රාත්‍රී 11.00ට නින්දට ගිය මම පාඩම් කිරීම සඳහා පාන්දර 3.00ට නොවරදවාම ඇහැරුණි. මෙය මාස තුනක පමණ කාලයක් තිස්සේම නොකඩවා මා ක්‍රියාත්මක කළ දෙයකි. 

නමුත්, එම කාලය තුළ එලාම් එක වැදීමෙන් පසු මා ඇහැරුණේ මුල් කාලීන සතියක් පමණය. ඉන්පසු, එලාම් එක හඬලන්නට විනාඩි දෙක තුනකට පෙර නොවරදවාම මට ස්වාභාවිකව (ස්වයංක්‍රීයව) ඇහැරිය හැකි විය.

සැබවින්ම මෙය සිදු වන්නේ කෙසේ ද?

මේ පිළිබඳව පර්යේෂණ කළ ජර්මනියේ ලුබෙක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජැන් බෝන් මහතාට අනුව, අපේක්ෂිත වෙලාවට ඇහැරීම සඳහා මිනිස් මනසට අභ්‍යන්තර එලාම් ඔරලෝසුවක් ලෙස ක්‍රියාත්මක වීමේ අපූරු හැකියාවක් ඇත. එය සිදු වන්නේ adrenocorticotropin සහ cortiso නමැති දිවා කාලයේ ආතතිය පාලනය කිරීම සඳහා නිකුත් කෙරෙන හෝර්මෝන දෙකෙහි ක්‍රියාකාරීත්වයෙනි. 

ඇහැරීමට අපේක්ෂිත වෙලාවට පැයකට පමණ පෙර සිට වැඩි වශයෙන් මේ හොර්මෝන නිකුත් වෙන්නට පටන් ගනී. ඒ ඇහැරීමේ ආතතියට (Stress of waking) ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. ඒ අනුව, ඇහැරීමට අපේක්ෂිත වෙලාවට විනාඩි පහකට- දහයකට පෙර, නැතිනම් හරියටම එම වෙලාවටම ස්වාභාවිකව අප ඇහැරීමට ලක් වේ. වඩාත් වැදගත් දෙය නම්, මෙය ක්‍රියාත්මක වන්නේ නින්දට යාමට පෙර අප ඇහැරීමට අපේක්ෂා කරන වෙලාව පිළිබඳව මනා සිහියෙන් මනසට නිසි සේ සන්නිවේදනය කළහොත් පමණක් වීමයි. 

මගේ හැඟීම නම්, විද්‍යාව හා තාක්ෂණය පෙරට වඩා දියුණු මේ කාලයේ ශරීරයේ අවයව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අප කොතරම් දැනුමින් පොහොසත් වුව ද, මිනිස් මනසේ විස්මිත ක්‍රියාකාරීත්වය පිළිබඳව නම් අප තවමත් දැනුමින් දුප්පත් බවය. 

නමුත්, මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම අනාගතයේදී වඩාත් පුළුල් වන්නට පුළුල් වන්නට ඇතැම් විට අප සිහිනෙන්වත් නොසිතන මට්ටමේ මනස හා භෞතික උපකරණ ඒකාබද්ධ වූ තාක්ෂණික ඉසව්වන්ට විද්‍යාව අපව නිසැකවම රැගෙන යනු ඇත. 

No comments:

Post a Comment