Thursday, May 7, 2015

ඔබත් දුටුවිරු මායාව (deja vu) අත්විඳ තිබේ ද?


දුටුවිරු මායාව කියන්නෙ තමන් යම් දෙයක් දුටු විට හෝ අත් විඳි විට, එය මීට ඉහතදී කුමන හෝ දිනයක තමන් දැක ඇතැයි හෝ අත්විඳ ඇතැයි යන හැඟීමක් ඇති වීමයි. 

නිදසුනක් ලෙස, ඔබ ජීවිතයේ පළමු වරට යම් ස්ථානයක් නැරඹීමට ගියේ යැයි සිතමු. නමුත් ඔබ එම ස්ථානයට ගිය විට, ඔබ එම ස්ථානයට මීට ඉහතදී පැමිණ ඇතැයි යන හැඟීමක් ඔබට ඇති වෙයි.

එසේම ඔබ යහළුවන් පිරිසක් සමග රෙස්ටුරන්ට් එකකට ගොස්, ආහාර ගන්නා අතරේ වර්තමාන දේශපාලන තත්වය හෝ වෙන යම් මාතෘකාවක් කතා කිරීමට පටන් ගත්තේ යැයි සිතමු. මීට ඉහතදී ද ඔබ මේ ආකාරයටම, මේ මිතුරන් පිරිසත් සමගම, මෙවැනිම රෙස්ටුරන්ට් එකක, එම මාතෘකාවම කතා කරමින් ආහාර ගෙන තිබේය යන හැඟීමක් සිතට නැගේ. මේ තවත් නිදසුනකි.

මේ දුටුවිරු මායා තත්වය ඔබ මීට පෙර අත් විඳි අත්දැකීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නේ යැයි උපකල්පනය කළහොත්, ඒ සඳහා බලපෑ අතීත අත්දැකීම කෙරෙහි ඔබ පූර්ණ අවධානයෙන් සිට නැතැයි ද, ඒ නිසා ඔබගේ මතකයෙහි එය නිසි ලෙස තැන්පත් වී නැතැයි ද, එනිසා අතීත අත්දැකීමේ ඡායාමාත්‍රික මතකයක් පුනරාවර්ජනය වී ඇතැයි ද අපට සළකන්න පුලුවන්.

එසේම දුටුවිරු මායා තත්වය සඳහා හේතු විය හැකි සිදු වීමක් ඔබ මීට පෙර කිසි ලෙසකින්වත් අත්විඳ නැතිනම්, (නිදසුන් - ඔබ ජීවිතයේ පළමු වරට ගිය ස්ථානයකට අදාළව මෙම තත්වය ඇති වන අවස්ථාවක්) එය සිදු වනු ඇත්තේ බොහෝ විට ඔබ විසින් පෙර දැක ඇති එවැනි ස්ථානයක පින්තූර කිහිපයක් නිසා, නරඹා ඇති චිත්‍රපටයක් නිසා, හෝ කියවන ලද පොතක ප්‍රකාශිත යමක් මනසෙහි චිත්‍රණය වීමක් නිසා යැයි අපට සිතිය හැකියි.

කෙසේ වුවත්, පෙර අත්දැකීමකට කිසි සේත් සම්බන්ධ නැතිව වුව ද, ඔබේ මොළයේ නියුරෝරසායනික ක්‍රියාවක් නිසා දුටුවිරු මායා තත්ත්වය ඇති විය හැකි බව මනෝවිද්‍යාඥයන් පවසනවා.     

දුටුවිරුමායාව වශයෙන් හැඳින්වෙන මෙම තත්වය ඇති විිමට බලපාන හේතු පිළිබඳව මනෝවිද්‍යාඥයන් විවිධ හේතු දක්වනවා. ඇතැමෙක් පවසන්නේ මෙය මොළය විසින් අතීතය සහ වර්තමානය පටලවා ගැනීමක් ලෙසයි. අධිමානසික විද්‍යාඥයින්ගේ අදහස නම් එ් සඳහා පෙර භවයක අත්දැකීම් හේතු වන බවයි. 

දුටුවිරු මායාව සඳහා ඉංග්‍රීසි බසෙහි යෙදෙන වචනය නම් Deja Vu (දෙජා වූ) යන්නයි. එහි තේරුම නම් “ඒ වන විටත් දැක ඇති'' (already Seen) යන්නයි. Deja Vu යනු ප්‍රංස භාෂාවෙන් ඉංග්‍රීසි බසට පැමිණි වචනයකි.

No comments:

Post a Comment