Wednesday, July 29, 2015

තාජුදීන්ගේ මරණය : නීතියට පාටක්- හැඩයක් තිබිය හැකි ද?



2012 වසරේදී නාරාහේන්පිටදී හදිසි අනතුරකින් මිය ගියා යැයි පැවසෙන රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණය මිනීමැරුමක් විය හැකි බවට රහස් පොලිසිය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේය. එතෙක්, වසර 3ක් තිස්සේ එය ස්වාභාවික මරණයක් යැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින් පවා නිගමනය කර තිබියදී, ඊට තෙවසරකට පසු පොලිසියම එය මිනීමැරුමක් යැයි අධිකරණයට දැනුම් දෙන විට, අපට නම් ඇතිවන්නේ නීතිය පිළිබඳවත්, නීතිය සුරකින ආයතන පිළිබඳවත් දැඩි කනස්සල්ලකි. 

පොලිසිය ප්‍රකාශ කරන මේ අලුත්ම කතාව දෙස බලන විට, අපට නිසගයෙන්ම සිහියට එන්නේ බටහිර රහස් ඔත්තුසේවා චිත්‍රපටයක එන රහසිගත ඝාතන ප්‍රයත්නයක සිදුවීම් දාමයක්ය.

කෙසේ වුව ද, හදිසි අනතුරු සිදුවීම වයස් භේදයකින් තොරව, අබල-දුබල-ප්‍රබල භේදයකින් තොරව, අප්‍රකට-කුප්‍රකට-සුප්‍රකට භේදයකින් තොරව සිදු විය හැකි දෙයක් බැවින් ද, රටේ කතාබහට ලක් වන පුද්ගලයන් සමග හොඳ-නොහොඳකම් තිබීම හදිසි අනතුරු සිදු වීමට හෝ නොවීමට බලපෑම්කාරකයක් නොවන බැවින් ද, තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සත්‍යය රටට හෙළි වන තෙක් අගතිගාමී වීමට හෝ පූර්ව විනිශ්චයන්ට එළඹීමට තරම් අප ඉක්මන් නොවිය යුතුය.   

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කොට සත්‍යය රටට හෙළි කිරීම අධිකරණයට සහ පොලිසියට බාර කටයුත්තක් බැවින්, එය පසෙකින් තබමි. 

එහෙත්, නීතියේ, අධිකරණයේ සහ පොලිසියේ හැසිරීම පිළිබඳව දැඩි ගැටලුවක් අපට නම් තිබේ.  මන්ද, පාලකයන් මාරු වන විට, ඒ ඒ පාලකයන්ට ඕනෑ හැටියට නීතියට සහ නීතිය සුරකින ආයතනවලට හැඩය වෙනස් කර ගත හැකි නම් සහ එය ක්‍රියාත්මක විය යුතු නියමානුකූල ක්‍රමයට ක්‍රියාත්මක නොවේ නම්, එවැනි නීතියක් පිළිබඳව, එවැනි විනිශ්චය ආයතනයක් පිළිබඳව සහ එවැනි පොලිසියක් පිළිබඳව අපට විශ්වාසය තැබිය හැකි ද යන ගැටලුව අපට තිබේ.

පසුගිය පාලන සමයේදී සරත් ෆොන්සේකා මහතා සිරභාරයට පත් විය. එය දේශපාලන පළිගැනීමක් ලෙස ඇතැම් නීතිඥයන්ම අර්ථකථනය කළහ. එහෙත්, සරත් ෆොන්සේකා මහතා සිරභාරයට පත් වූයේත්, දඬුවම් නියම වූයේත් පිළිගත් නියමානුකූල අධිකරණ ක්‍රියාපටිපාටියක් හරහාය. ඔවුන් පවසනා පරිදි, සරත් ෆොන්සේකා සිරභාරයට යැවුණේ මහින්ද රාජපක්ෂගේ උවමනාව මතම නම්, සැමට උඩින් තිබිය යුතු නීතිය එක් එක් පාලකයාගේ සිතැඟි පරිදි මෙහෙය විය හැකි එකක් ලෙසත්, පාලක පක්ෂයේ පාට අනුව නීතියේ පාට ද වෙනස් කර ගත හැකි බවත් නිගමනය කිරීමට අපට සිදු වේ. නීතිය එලෙස පුද්ගලයන් අනුව වෙනස් කළ හැකි නම්, එවැනි නීතියක් පිළිබඳව සහ එවැනි අධිකරණයක් පිළිබඳව විශ්වාසය තැබිය හැකි ද යන ගැටලුව පුරවැසියන් වශයෙන් අපට ඇත.  

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් වූ සිදු වීම ද එසේමය. ඇය ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු වූයේ ද අගවිනිසුරු ඉවත් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහිම නියම කර තිබූ ක්‍රියාපටිපාටිය ඔස්සේය. ඇතැමුන් පවසනා පරිදි, ඇය තනතුරින් ඉවත් කිරීම පාලකයන්ගේ උවමනාව මතම සිදු වූවක් නම්, එවැනි නීතියක් පිළිබඳව, එවැනි යුක්තිය පසිඳලන ක්‍රමයක් පිළිබඳව අපට විශ්වාසය තැබිය හැකි ද? 

තරාදිය අතින් ගත්- දෑස බැඳි යුක්තියේ දෙවඟනගේ මූර්තියෙන් ද පැවසෙන්නේ නීතිය ඉදිරියේ සැවොම සමාන බවත්, ජාතිය, කුලය, බලය ආදී පුද්ගලාරෝපිත බාහිර කිසිදු සාධකයක් සළකා බලා නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බවත්ය.   

ඇතැමුන් පවසනා පරිදි, පසුගිය පාලන සමයේ නීතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ සිතැඟි පරිදි නම්, එය තවදුරටත් එසේ නොවීමට වගබලා ගැනීම වර්තමාන පාලකයන්ගේ වගකීමය. එහෙත්, අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතන ස්වාධීනව තිබිය යුතු යැයි පැවසූ ඇතැම්හුම, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා පක්ෂ මූලස්ථානයකටම කැඳවා, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තවදුරටත් නිර්දේශපාලනික ආයතනික පාලනයක් පිළිබඳ බලාපොරොත්තු ඈත් කරවන්නක් බව ද මෙහිදී සඳහන් කළ යුතුමය.  

සමාජයක යහපැවැත්ම දුම්රියකට සමාන කළ හොත්, එම දුම්රිය ගමන් කරන්නා වූ රේල් පීලි දෙක නීතිය සහ අධ්‍යාපනය වන්නේය. එමනිසා, නීතිය එදාවේල හම්බ කරගෙන කන තැනැත්තාගේ සිට මහා ධන කුවේරයා දක්වාත්, දුබලයාගේ සිට ප්‍රබලයා දක්වාත් එක හා සමානව සහ සාධාරණව ක්‍රියාත්මක විය යුතුය. නීතිය සියල්ල අභිබවා තිබිය යුතු යැයි මා මුලින් පැවසූයේ එබැවිනි.  

එබැවින්, යුක්තිය පසිඳලීමට පිහිටුවා ඇති අධිකරණය ද, නීතිය හා සාමය පවත්වා ගෙන යාමට පිහිටුවා ඇති පොලිසිය වැනි ආයතන ද කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක විය යුතු අතර, බාහිර පුද්ගලයන් කරන්න යැයි පවසන දෙය කරනා නොව, නියමානුකූලව කළ යුතු දේ කරනා ස්වාධීන ආයතන ආයතන බවට ඒවා පත් විය යුතුමය.  එසේ නොවී, ජලය, එය බහාළන භාජනයේ හැඩය ගන්නාක් මෙන්, නීතිය ද එක් එක් පුද්ගලයාට අනුව හැඩය ගන්නේ නම්, එවන් රටක අනාගතය පිළිබඳව කියන්නට කිසිත් නැත. 

2 comments:

  1. පශ්චාත් මරණ පරීක්ෂණය කලේ නැහැ කෙරෙව්වා. ඒ කියන්නේ මරාගේ ආණ්ඩුවට අවශ්‍ය නිගමනය එන විදිහට මරණ පරීක්ෂණය ලියෙව්වා. දැන් තමයි ඒ මිනිස්සුන්ට අවංකව කට අරින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්ත බොරුව වෙලා බොරුව ඇත්ත වෙලා තිබුණු කාලය ඉවරයි. දැන් බොරුව යට ගිහින් ඇත්ත එලියට එනවා. මරාට කෙලවෙනවා. යෝෂිත කියන බැල්ලිගෙ පුතා එල්ලුම්ගස් යනවා. එල්ලුම්ගහ පටන්ගම්මු කියලා මෛත්‍රීපාල කිව්වේ මේ වැඩේ දැනගෙනයි. ඔවුන්ව එල්ලන්නම ඕනේ අනාගතේදී මේ ජාතියේ එවුන් ඇතිවීම වලක්වන්න.

    ReplyDelete
  2. ඔබ කියනා පරිදි, පත්වන පාලකයන්ට අනුව මිනීමැරුම් ස්වාභාවික මරණ ලෙසටත්, ස්වාභාවික මරණ මිනීමැරුම් ලෙසටත් පරිවර්තනය කළ හැකි නම්, එය ඉතා බරපතල තත්වයකි. එහෙත්, මෙය ඝාතනයක් විය හැකි බවට රහස් පොලිසිය කරන වත්මන් ප්‍රකාශයන් අවසන් නිගමනයක් නොවන බැවින් ද, පොලිසිය සෑම විටම ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරියේ අභිලාෂයන්-උවමනා එපාකම් මත නොව තමන්ට නියමිත රාජකාරි අනුව ස්වාධීනව සහ අපක්ෂපාතීව යැයි පැහැදිළි සහතිකයක් තවමත් දිය නොහැකි බැවින් ද, ඔබ එළඹ ඇති තරම් වේගයෙන් මේ පිළිබඳ අවසන් නිගමනයකට ඒමට අප ඉක්මන් නොවිය යුතු බව මගේ හැඟීමයි.

    ඒ කෙසේ වෙතත්, මෙවැනි ආකාරයේ ආන්දෝලනාත්මක - සැක සහිත සිද්ධීන් දිගින් දිගට නොවිසිඳී දිග් ගැස්සීම රටකට කොහෙත්ම හොඳ නැත. එමනිසා, වගකිවයුතු අංශ අපක්ෂපාතීව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කොට, සත්‍යය රටට හෙළි කළ යුතුමය. වීදුරු කටු සිරුරේ ඇනීම්, දත් කැඩීම්, ශරීරය තැලීම්-සීරීම් ආදී මෙය ඝාතනයක් විය හැකි බවට අනුමාන කරන සාධක හදිසි අනතුරකදී වුව සිදුවීමට ඉඩ තිබිය හැකි බැවින්, මෙය ස්වාභාවික මරණයක් ද විය හැක.

    ඒ කෙසේ වෙතත්, නිසි සාක්ෂි-සාධක මත එය ඝාතනයක් බවට ඔප්පු වන්නේ නම්, ඊට සහසම්බන්ධවූවන්ට අනිවාර්යයෙන්ම නීති ප්‍රකාරව තරාතිරම නොබලා කටයුතු කළ යුතුමය. එය යෝෂිත ද පෝෂිත දැයි යන්න කොහෙත්ම වැදගත් නැත.

    ReplyDelete