Saturday, August 8, 2015

සැබවින්ම ජාතිවාදී ආගම්වාදී පක්ෂ තහනම් කළ යුතු ද?


රංගිරි දඹුලු විහාරාධිපති ඉනාමලුවේ සුමංගල හිමියන් ද, අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ද පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ලංකාවේ ඇති සියලු ජාතිවාදී සහ ආගම්වාදී පක්ෂ තහනම් කළ යුතු බවයි. සැබවින්ම එසේ කළ යුතු ද? මේ ඒ සම්බන්ධයෙන් කෙරෙන කෙටි විමසුමකි.

ජාතිවාදය යනු තමන් නියෝජනය කරනු ලබන ජනවර්ගය වර්ගෝත්තමවාදීවත්, සෙසු ජනවර්ග හීනත්වයෙනුත් සැළකීමට පොළඹවනු ලබන පටු දෘෂ්ටිවාදයකි. ආගම්වාදය ද එසේමය. බොහෝ විට එකිනෙකට ආබද්ධව පවතින මෙම ජාතිවාදය සහ ආගම්වාදය තවත් ජනකොට්ඨාශයකට හෝ ආගමික කණ්ඩායමකට එරෙහිව මානසික හෝ කායික පීඩනය එල්ල කළ හැකි අවියක් ලෙස ද, ජනවර්ග අතර ගිනි ඇවිළවිය හැකි අධික්‍රියාකාරී ඉන්ධනයක් ලෙස ද සැළකිය හැක. ඒ අනුව, ජාතිවාදය හා ආගම්වාදය මත පිහිටුවා ඇති දේශපාලන පක්ෂ විසින් දරණු ලබන සහ විටින් විට ඉස්මතු කරනු ලබන මතවාදයන් සහ ස්ථාවරයන් ද ජාතික වශයෙන් සැමට වැදගත් සහ සාධාරණ මතවාදයන් සහ ස්ථාවරයන් නොවන අතර, තමන් නියෝජනය කරනු ලබන ජනවර්ගය හෝ ආගමික කණ්ඩායම ඉලක්ක කරගත් පටු මතවාදයන් සහ ස්ථාවරයන් වේ.  

ගත වූ දශක කිහිපය තුළ ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් හිස කුරෝලු කරගත් විවිධ කල්ලි කණ්ඩායම් විසින් උහුළනු බැරි තරමේ හානියක් අප රටට සිදු කර ඇති බව ද, වත්මනෙහි ද සිදු කරමින් පවතින බව ද ඇස් කන් ඇති සවිඥානක ඕනෑම අයෙකු පිළිගන්නා සත්‍යයකි. ඒ අනුව, උතුරේ එක් පිරිසක් තමන්ට විශේෂිත බලතල සහිත පාලනයක් අවශ්‍ය යැයි කියමින් කාලයක් මුළුල්ලේ එක් ජාතිවාදයක නියැළෙමින් සිටියි. නැගෙනහිර තවත් පිරිසක් තමන්ට වෙනම පරිපාලන ඒකක අවශ්‍යයැයි කියමින් සැඟවුණු න්‍යාය පත්‍ර මත තවත් ආකාරයක ජාතිවාදයක නියැළෙමින් සිටියි. ඒ අතර, දෙමළ ජනයා සහ මුස්ලිම් ජනයා පිටස්තරයන් බව ද, මේ රට සිංහල බෞද්ධයන්ට පමණක් අයිති එකක් යැයි ද කියමින් තවත් පිරිසක් ඊට නොදෙවෙනි ජාතිවාදයක නියැළෙමින් සිටියි. මේ සියලු ජාතිවාදයන් සහ ආගම්වාදයන්ගෙන් මේ රටට සිදු වී ඇති සෙතක් තිබේ ද? රටට අත්කර දී ඇති ජයග්‍රහණයක් තිබේ ද? 

නැත... කිසිසේතම නැත. උතුරේ පැවති අරගලය කිසිදු වාර්ගික භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන්ට හානි ගෙන දුන්නේය. පසුගිය කාලය තුළ කිහිප විටක් ඇවිළුණු සහ අවුළුවන්නට තවමත් උත්සාහ දරන සිංහල-මුස්ලිම් ගැටුමකින් ද රටට හානියක් සහ අපකීර්තියක් මිස වෙන කිසිවක් නම් නොලැබෙනු ඇත්තේය.   

අනුව, වර්ගවාදී සහ ආගම්වාදී පක්ෂ විසින් ජාතිවාදය හා ආගම්වාදය වපුරා යම් විශේෂිත ජන කෝටඨාශයක කරමතින් සැළකිය යුතු ආසන ප්‍රමාණයක් පාර්ලිමේන්තුව තුළ දිනාගෙන - දේශපාලනිකව කේවල් කිරීමේ බලයක් අත් කර ගැනීමෙන් අනතුරුව කරනු ලබන පටු ඉල්ලීම්වලට, ඇතැම් විට ජාතික න්‍යාය පත්‍ර රැගත් රජයකට පවා අවනත වීමට සිදු වේ. ඔවුන් විසින් කරනු ලබන එවැනි ඉල්ලීම් පොදුවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන, සාධාරණ ඉල්ලීම් නොවන නිසාත්, රටෙන් කෑල්ලක් කඩා ගැනීමට හෝ වෙනම පරිපාලන ඒකක පිහිටු වීමට කරනු ලබන ඉල්ලීම් කිසි සේත්ම රටේ සමස්තයාගේ සුභසිද්ධිය තකා කරනු ලබන ඉල්ලීම් නොව, තම පටු පරමාර්ථ සාධනය කර ගැනීමට කරනු ලබන ඉල්ලීම් වන නිසාත්, එවන් ප්‍රදේශවාදී සහ වාර්ගික නැඹුරුතාවෙන් යුත් දිශානතියකට රටත් ජනතාවත් රැගෙන යන සුළු දේශපාලන පක්ෂවලින් පොදුවේ රටට වන කිසිදු සෙතක් නැත.   

ජාතිවාදී හෝ ආගම්වාදී ලේබල් අලවා ගත් පක්ෂ - දෙමළ ජාතික සන්ධානය වේවා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වේවා මෑතකම පිහිටුවාලූ බොදු ජන පෙරමුණ වේවා මේ කිසිදු පක්ෂයක් වටා ඒ ඒ ජනවර්ග සහ ආගමික කණ්ඩායම් ඒකරාශි වීම රටට සුභ නැත. ඒ වෙනුවට, කිසිදු ජාතියක් හෝ ආගමක් ලේබල් කර නොගත් ජාතික ප්‍රවාහයේ දේශපාලන පක්ෂ එනම් එක්සත් ජාතික පක්ෂය වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා ජනතා විමුක්ති පෙරමුණ වේවා මේ ඕනෑම පක්ෂයක් වටා ජනතාව වාර්ගික හෝ ආගමික පදනමින් තොරව හුදු ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු වීම රටට සැබවින්ම හිතකරය.   මෑතක් වන තුරුම වාර්ගික ලේබලය යටතේ පැවති ජාතික හෙළ උරුමයේ නම ද, එක්සත් ජාතික යහපාලන පෙරමුණ යැයි වෙනස් කර ගැනීම ද ඉතා අගය කළ හැක. 

එහෙත් මෙහිදී තව දෙයක් පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුය. එනම්, එකවර මෙම පක්ෂ තහනම් කිරීමට යාමෙන් ගැටලුකාරී තත්වයන් නිර්මාණය විය හැකි බැවින්, එය ක්‍රමවත් සන්නිවේදනයක් හරහා සිදු කළ යුතු වීමයි. ඒ අනුව, අලුතින් ලියාපදිංචි කරනු ලබන කිසිදු පක්ෂයක් ජනවාර්ගික හෝ ආගමික නාමයන් යටතේ  ලියාපදිංචි නොකිරීමටත්, වාර්ගික හෝ ආගමික නාමයන් යටතේ දැනට ලියාපදිංචි කර ඇති සියලු පක්ෂවලට සිය නම් වෙනස් කර ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දීමටත් කටයුතු කළ හැකිය. 

එසේම, කිසිදු ආගමක පූජ්‍ය/පූජක තැනැත්තන් පක්ෂ දේශපාලනයට නො ආ යුතු අතර, ඔවුන් මැදිහත්කරුවන් සහ අනුශාසකයන් ලෙස සිය ගෞරවය ආරක්ෂා කරගනිමින් රාජ්‍යපාලනය සඳහා බලපෑම්කාරක පිරිසක් ලෙස ස්වාධීනව කටයුතු කිරීම ද ඉතා වැදගත්ය. 

ඒ අතරම, පුරවැසි අයිතිවාසිකම් කිසිදු වාර්ගික-ආගමික භේදයකින් තොරව සැමට හිමි වන බවට ද, නීතිය කිසිදු වාර්ගික හෝ ආගමික විශේෂීකරණයකින් තොරව සැමට සාධරණව  ක්‍රියාත්මක වන බව ද තහවුරු කළ යුතුය. එසේම රටේ සියලු පුරවැසියන්ට පොදු වූ නීතියට සහ ව්‍යවස්ථාවට පටහැනිව කුමන හෝ ආගමික නායකයෙක් වුව ක්‍රියාකරන්නේ නම්, එවැනි අය බෞද්ධ ද හින්දු ද, කතෝලික හෝ ක්‍රිස්තියානි ද, ඉස්ලාම් හෝ වෙනත් ආගමික පූජකතුමෙක් ද යන්න කොහෙත්ම නොසළකා නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සඳහාත්, ජාතික සමගිය ආරක්ෂා කිරීම සඳහාත් තබනු ලබන ශක්තිමත් පියවරක් ලෙස මෙම යෝජනාව සැළකිය හැකිය. 

No comments:

Post a Comment