Sunday, November 25, 2018

සරත් කාලයේදී ශාඛපත්‍ර විවිධ පැහැ ගන්නේ ඇයි?


පත්‍ර යනු ශාඛවල ආහාර නිෂ්පාදනාගාරයන්ය. ගසේ මුල් මගින් ලබා ගන්නා ජලය සහ වාතයෙන් ලබා ගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව, හිරු එළිය උපයෝගී කරගනිමින් ඔක්සිජන් සහ ග්ලූකෝස් බවට පරිවර්තනය කෙරෙන අතර, ඒ අතරින් ගසේ වර්ධනයට සහ පැවැත්මට යොදා ගන්නේ ග්ලූකෝස්ය. ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින් හඳුන්වන මෙම ක්‍රියාවලිය සිදු වීම සඳහා පත්‍රවල ඇති හරිතප්‍රද (chlorophyll) නමැති රසායනිකය උපකාරී වේ. (ශාඛ පත්‍ර කොළ පැහැ ගැන්වී තිබෙන්නේ මෙම හරිතප්‍රද නිසාය)

ග්‍රීෂ්ම කාලය නිමාවී සරත් කාලය ඇරඹීමත් සමග, හිරු පායා තිබෙන කාලය හෙවත් දිවා කාලය කෙමෙන් අඩු වී ගෙන යයි. (දකුණු කොරියාවේ ග්‍රීෂ්ම කාලයේදී රාත්‍රී අට පමණ වන තෙක් දිවා එළිය තිබුණත්, මේ දිනවල ගෙවෙන සරත් කාලයේදී හවස හතර-පහ වන විටම අඳුර වැටේ) ශීත ඍතුව සඳහා සූදානම් විය යුතු බව ශාඛ දැනගන්නේ එමගිනි. 

ශීත කාලයේදී ප්‍රභාසංස්ලේෂණය සඳහා ප්‍රමාණවත් තරම් හිරු එළිය සහ ජලය නොලැබේ. එමනිසා, ග්‍රීෂ්ම කාලයේදී ගබඩා කරගත් ආහාර මගින් තම පැවැත්ම තහවුරු කරගනිමින්, ශීත කාලයේදී ශාඛ විවේක ගනී.  එම නිසා, ශාඛ තම ආහාර නිෂ්පාදනාගාර වසා දැමීම සරත් කාලයේදී අරඹයි. ඒ සමග, පත්‍ර කොළ පැහැ ගන්වන හරිතප්‍රද පත්‍රවලින් ඉවත් වෙයි.

එලෙස හරිතප්‍රද ඉවත් වීමත් සමග, පත්‍රවල කහ සහ ඔරේන්ජ් පැහැය අපට දිස්වන්නට පටන් ගනී. (පත්‍රවල එම පැහැයන් කුඩා  ප්‍රමාණ වශයෙන් හැමවිටම පැවතුනත්, ඒවා වසා ගනිමින් පත්‍රය පුරා පැතිර පවතින කොළ පැහැති හරිතප්‍රද නිසා ග්‍රීෂ්ම කාලයේදී අපට එම පැහැයන් දැක ගත නොහැක.)

සරත් කාලයේදී ගස්වල දැක ගත හැකි දම් සහ රතු පැහැයන් බොහෝ විට ඇති වන්නේ සරත් කාලයේදීමය. ඒ මේපල් වැනි ඇතැම් ශාඛවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නතර වූ පසු, පත්‍රවල ඉතිරිවන ග්ලූකෝස් නිසාය. සරත් කාලයේ පවතින දිවා හිරු එළිය සහ රාත්‍රී සීතල නිසා පත්‍රවල රැඳී ඇති එම ග්ලූකෝස් රත් පැහැයක් ගනී.

ඕක් වැනි ඇතැම් ගස්වල පත්‍ර දුඹුරු පැහැ ගන්නා අතර, ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නතර වීමත් සමග ඉතිරි වන අපද්‍රව්‍ය නිසාය.

මේ සියල්ලේ එකතුවක් ලෙස සොබාදහම අපට සරත් කාලයේ විචිත්‍රත්වය කැන්දන් එයි. #autumn #southkorea #Korea

No comments:

Post a Comment