Friday, December 12, 2014

මෛත්‍රීපාලගෙන් මහින්දට ගුණ වර්ණනාවක්

අතීතය, අනාගතයට බරක් වන්නට ඉඩ නොතැබූ නායකයා

 
අතීතය විසින් නොසලකා හරිනා ලද බොහෝ දෑ අනාගත පරපුරට බරක් වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකාවේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

මහින්ද රාජපක්ෂ නමැති අපේ කාලයේ විශිෂ්ට දේශපාලනඥයාගේ දේශපාලන දිවියට වසර 43 ක් සපිරෙන මේ අවස්ථාවේ එතුමා සම්බන්ධයෙන් මවිසින් මෙම ලිපිය ආරම්භ කරන්නට පටන් ගත් විට, මගේ මනසට නැගුණ එකම පැනය වූයේ එය කොතැනින් ආරම්භ කළ යුතු ද යන්නයි.

වත්මන් ලෝකයේ එක් එක් රටවල නායකයින් සිහිපත් කරන විට මහින්ද රාජපක්ෂ චරිතය යනු මහා වීර කාව්‍යයක් බඳු චරිතයකි.

ලෝකයේ බොහෝ රටවල් නිර්මාණය කළ හා ගොඩනැඟු අසහාය ජාතික නායකයින් පිළිබඳව ලෝක දේශපාලනය පිළිබඳව හදාරණ විට අපිට සිහිපත් වේ. ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා ශ්‍රී නේරු තුමන් ලා, වියට්නාමයේ හෝ-චි මින්ග්, චීනයේ සුන් යත් සෙන්, හා මාඕ සේතුං, පාකිස්ථානයේ මොහමඩ් අලි ජින්නා, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතීර් මොහමඩ් වැනි නායකයෝ එම රටවල්වල ජනතාව විසින් වර්තමානයෙහි පවා දේවත්වයෙහි ලා සලකන ජාතික නායකයෝ වෙති. 

නිදහසට පෙර අපේ රටේ ජාතික නායකයෝ විශාල පිරිසක් නිදහස පතා එක්ව කටයුතු කළ ද, නිදහසින් පසු අවදිය දෙස බලන විට ජාතිය ගොඩනඟන්නට අවශ්‍ය නායකත්වයක් ඉන්පසුව බලයට පැමිණි එකම දේශපාලනික නායකයකුට හෝ ලබා දෙන්නට නොහැකි විය. ඇතැම් නායකයෝ අඩු වැඩි වශයෙන් තම පාලන කාලය තුළ ජනතා හිතසුව පිණිස කුමක් හෝ කාර්යයක් සිදු කළා විනා, අනාගත දැක්මකින් කටයුතු කළෝ නොවෙති. 

විශේෂයෙන් නිදහසින් පසු ගත වූ වසර 65 කට ආසන්න කාලයේ හරි අඩක්ම අපිට ගත කරන්නට සිදු වූයේ බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක් සමඟ වීම මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. ත්‍රස්තවාදය ඉබේ හටගත්තක් නොව එය නිර්මාණය වීමට අවශ්‍ය පසුතලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූවකි.

මේ ලිපිය ලියන්නට ආරම්භ කළ මොහොතේ මගේ මනසට ආ පළමු සංකල්පනාව වූයේ එක්තරා ප්‍රබල කියමනකි. එනම් - “අතීතය විසින් අත්හැර දමන ලද දෑ අනාගතයට බර වැඩියි” යන්නයි. මේ කියමන පිළිබඳව මා සිතන්නේ අපේ රටේ මතු නොව, ලොව බොහෝ නායකයින් විසින් සිදු කරන ලද්දේ අතීතයේ සිට ගොඩ නැඟී ආ ප්‍රශ්න කන්දරාව එසේම තිබිය දී, අලුතින් නිර්මාණය කරන ලද ගැටලු සම්භාරයක් සමඟ එම ප්‍රශ්න කන්දරාවත්, ඊළඟ පරම්පරාවට බාර දී එම දේශපාලන නායකයින් සිය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමයි.

අපේ රට පාලනය කළ ඇතැම් නායකයින් දෙස බලන විට මෙම චරිත ලක්ෂණය පැහැදිලි කර ගත හැකි බවට අටුවා - ටිකා - ටිප්පණි අවශ්‍ය නැත. නමුත් මහින්ද රාජපක්ෂ නමැති දේශපාලනඥයාගේ චරිතය පිළිබඳව අනාගතයේ දිනෙක කියවන විට එතුමා වූකලී අතීතය විසින් අත්හැර දමා තිබු බොහෝ දෑ අනාගතයට බරක් වන්නට ඉඩ නොතැබු එකම ජනනායකයා වශයෙන් ජනතාව විසින් ගෞරව බහුමානයෙන් යුක්තව හඳුන්වනු ලබන බව නොඅනුමානය.

මා එසේ පවසන්නේ සාක්ෂාත් සාක්ෂි රැසක් සහිතව ය. හොඳම නිදසුන කොටි ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා එතුමා පැහැදිලි දැක්මක්, ප්‍රතිපත්තියක් සහිතව ගත් නිවැරැදි තීන්දු තීරණයි. ලෝකයේ මහා බලසම්පන්නම ත්‍රස්තවාදී සංවිධානය ලෙස ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල් පවා හැඳින්වූ කොටි සංවිධානය සමඟ මුහුණට මුහුණ හැප්පෙන්නට යාම කළු ගලේ ඔළු ගසා ගැනීමක් යැයි බොහෝ දෙනා සිතන්නට ඇත. 

ජාත්‍යන්තරය විසින් අත පොවනු ඇතැයි ද, මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහි ආර්ථික සම්බාධකවලට හෝ වෙනත් ගැටලුවලට මුහුණ පාන්නට වෙතැයි බොහෝ අය සිතූහ. නමුත් මාවිල්ආරුවෙන් ආරම්භ කළ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මෙහෙයුම එතුමා නන්දිකඩාල් කලපුවෙන් කොටි ත්‍රස්තවාදය අවසන් කරන තෙක් අතරමඟ නවතා දැම්මේ නැත. මේ සඳහා එතුමා දුන් නායකත්වය ශ්‍රී ලංකාවාසී ජනතාව ඉර හඳ පවතින තාක් කල් සිහිපත් කරනු ඇත.

කොටි ත්‍රස්තවාදය ආරම්භ වූ සමයේ පටන් එවකට පැවැති රජයන් මහජනතාවගේ ප්‍රශ්න යට ගැසීම සඳහා හිඟන්නාගේ තුවාලයක් බවට පත් කර ගත්තේ කොටි ත්‍රස්තවාදයයි. මහජනතාව මර්දනයටත් එයම යොදා ගත්තේය. අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එයම කරන්නට හැකියාව තිබිණි. 

රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ම බෝම්බ පුපුරන විට, ඊට මහත් ප්‍රසිද්ධියක් ලබා දෙමින්, තමන් නායකත්වය ලබාදෙන වසර කිහිපය සුවසේ සිට විශ්‍රාම යා‍මේ හැකියාව එතුමාට තිබිණි. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තෝරා ගත්තේ වඩා ම පහසු මාර්ගය වෙනුවට වඩා දුෂ්කරම මාර්ගයයි. ඒ දුෂ්කරම මාර්ගයේ ගමන් කිරීමට එතුමා ගත් වෙහෙසකර ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වශයෙන් මේ රටේ වසර 30 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වූවා පමණක් නොව, ජනතාවට සැබෑ නිදහසේ අරුත එතුමා ප්‍රායෝගිකව කියා දුන්නේය.

නිදහස නම් කෑමෙන් බීමෙන්, බතින් බුලතින්, ඇඳීමෙන් පැලඳීමෙන් සුසංවිදිත වූ සමාජයක් ගොඩනැඟීම ය යන මහගමසේකරයන්ගේ කවියක එන අර්ථය ගත් විට රටේ යහ පැවැත්ම උදෙසා සපිරි සමාජයක අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිටිය. 

මා මේ ලිපිය ආරම්භ කළ මොහොතේ මගේ සිතට නැඟුණු අර කී ප්‍රකාශය මා දකින්නේ අතීතය විසින් නොසලකා හැර, ගොඩගසා තිබුණු ප්‍රශ්න කන්දරාව කිසිසේත්ම අනාගතයට දායාද කරන්නට එතුමා තුළ තිබූ අකැමැත්තයි. එය ශ්‍රේෂ්ඨ නායකයකු සතු දුර්ලභ ගුණයක් ලෙස දකිමි.

මෑතක දී එක්තරා මහාචාර්යවරයෙක් විසින් රජයේම සඟරාවකට ලියන ලද ලිපියක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව ලියා තිබු වැකියක් මට මේ මොහොතේ සිහිපත් වේ. එහි සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සම කළ හැකි මේ රටේ එකම නායකයා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා බවයි. නමුත් ඒ තර්කය සමඟ මම කිසිසේත්ම එකඟ නොවෙමි.

ජේ. ආර්. ජයවර්ධන මහතා ශූර දේශපාලකයෙක් විය හැකිය. එහෙත් ඒ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමාන යැයි මම කිසිසේත්ම නොසිතමි. වර්තමානයේ ජේ. ආර්. චරිතාපදානය සිහිපත් කරන විට, 1977 න් එපිට මෙරට නොතිබූ ගැටලු රැසක නිර්මාතෘවරයා වන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා බව කවුරුන් වුවද පිළිගන්නා කරුණකි. 

මේ රට ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් මහා පඹ ගාලක පටලවන ලද්දේ ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ පඹ ගාලෙන් ගොඩ එන්නට බැරිව අදටත් රටේ විවිධ අංශවල ඇති වී තිබෙන අවුල ජේ. ආර්. ජයවර්ධන නම් දේශපාලනඥයාට නොතිබු අනාගත සමපේක්ෂණය පිළිබඳ දැනුම පිළිබඳ හොඳම නිදසුනයි.

අනෙක් කරුණ නම් ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වයට පැමිණ පළමු වසර 6 යන්නටත් ප්‍රථම ඒ මහතා ජනතාව අතර මහත් අපකීර්තියට, ජනතා අප්‍රසාදයට ලක් වූ සැටි කවුරුත් දන්නා කරුණකි. ඊනියා ජනමත විචාරණය නමැති ලාම්පු - කළගෙඩි සෙල්ලම ඒ මහතා නිර්මාණය කළේ තමන් ජනතා අප්‍රසාදයට ලක් වී ඇති බව හොඳින්ම දැන සිටි නිසාය. 

77 පැවැති මහ මැතිවරණයෙන් පසුව සති දෙකක් පොලීසියට නිවාඩු දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මරා දැමීමට, ඔවුන්ට හිංසා කිරීමට, පහර දීමට හා දේපළ ගිනි තැබීමට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ගේ මවුවරු හා දියණියන්ට අඩන්තේට්ටම් කිරීමට ඉඩ සැලැස්වූ ආකාරය කූප්‍රකටය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි උගතුන්ට කාණුවේ පෙරළාගෙන පහර දීමට හා පන්සල් වටා කම්බි වැටවල් ගසා, විනිශ්චයකරුවන්ට “හූ” කියු ජේ. ආර්. ජයවර්ධන චරිතය, මහින්ද රාජපක්ෂ නමැති ජනහිතකාමී ජනනායකයාගේ චරිතයට කෙසේ නම් සම කළ හැකි දැයි මම නොදනිමි.

1995 පැවැති ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැති එකම මැතිවරණයක දී විරුද්ධ පාක්ෂියකුගේ නිවෙසකට ගල් කැටයකින් හෝ වැනි පහරදීමක් හෝ සිදු නොවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය දේශපාලන ක්‍රමය තුළ ලබා දී තිබු යහපත් පූර්වාදර්ශ නිසාය. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යන්නට නැවතීමේ තිත තැබුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 45 කට වැඩි ප්‍රමාණයක් වත්මන් රජය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අතහැර පැමිණියේ එම ගුණෝපේත බව නිසාය.

ජේ. ආර්. ජයවර්ධන මහතා අද ජීවත්ව සිටියානම්, මහින්ද රාජපක්ෂ ශෛලිය ගැන ඔහු නැවත අධ්‍යනය කරනවා ඇත.

මහින්ද රාජපක්ෂ යනු අතීතයේ පාඩම් මත ප්‍රායෝගිකව පිහිටා කටයුතු කරන මහ පොළොවේ පය ගසා ගත් දේශපාලනඥයෙකි. එතුමා වඩාත් සාර්ථක වන්නට හේතුව එතුමා සතුව තිබු මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයයි. මෑතක දී තංගල්ල මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට පැවැති උත්සවයකට මම ද සහභාගි වුයෙමි. 

එතුමා පැමිණෙන තෙක් මහත් පිරිසක් රැස්ව සිටියහ. ජනාධිපතිතුමා එනතෙක් නොඉවසිල්ලෙන් රැඳී එතැන සිටි ඇතැම් වියපත් මවුවරුන්ගේ මුහුණ දකින විට මට මතක් වූයේ උම්මග්ග ජාතකයේ මහෞෂධ කුමරු එනතෙක් මග බලා සිටින මව සම්බන්ධයෙන් එම ජාතක කථාකරු ලියා තිබූ වගන්තියයි. 

“මෑණියන් දෑ තොමෝ තම පුතණුවන් දැන් එත්දෝ, නේත්දෝහෝයි මග බල බලා හුන්හ” යන වැකිය මට සිහිපත් වූයේ එම මවුවරුන්ගේ මුහුණු මත වතල අපේක්ෂා කන්දරාව දුටු නිසාය. එක් අවස්ථාවක එක මවක් අසල සිටි ආරක්ෂක නිලධාරියකුට බැණ වැදුණේ “අපේ ජනාධිපතිතුමා බලන්නට අපිට අයිතියක් නැද්ද” යනුවෙනි.

“අපේ ජනාධිපතිතුමා” යැයි මහජනතාවට කට පුරා කිව හැකි එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි, ඒ තරමට ඒ මහතා ජනතාවට ආකර්ෂණය වූවා මෙන්ම ජනතාව ද එතුමාට ආකර්ෂණය විය. එම බැඳීම මම දකින්නේ සසර පුරා පවතින ආත්ම ගත බැඳීමක් වශයෙනි. 

එතුමාගේ මුහුණ මත පැතිරෙන ආකර්ෂණීය සිනහව, ව්‍යාජ වූ හෝ එම අවස්ථාව සඳහා මවා ගත් එකක් නොව, හදවතේ ගැඹුරු පත්ලෙන්ම මතුවන ළෙන්ගතුකම හා බැඳුණු සිනහවකි. ඒ බව ජනතාව දනී. ඒ නිසාම එතුමා කවදත් ජනතාවගේ සදාදරණීය දේශපාලනඥයාය.

රාජ්‍ය පරිපාලනයේ දී එතුමා සතු වූ උදාර ගතිගුණය වූයේ මුදල් යනු සියල්ල නොවන බවයි. මුදල් ලැබෙනවා නම් රටේ ඕනැම දෙයක් විකුණා දමා ඒ ලැබෙන මුදලින් රජය පවත්වාගෙන යාම එතුමාගේ අපේක්ෂාව නොවීය. රටට ලැබෙන මුදලට වඩා ඉන් වන හානිය විශාල නම් ඒ දෙය බැහැර කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සෑම විටම කටයුතු කෙළේය. දුම්වැටි හා මද්‍යසාර පාලනය සඳහා නීතිරීති ක්‍රියාත්මක කිරීම මෙන්ම පසුගිය වසර කිහිපය තුළ කිසිදු රාජ්‍ය දේපළක් කුණු කොල්ලයට පෞද්ගලික අංශයට අලෙවි කිරීමට පියවර නොගැනීම හා එසේ විකුණා දමා තිබූ ඇතැම් රාජ්‍ය දේපළ රජය යටතට පවරා ගැනීම ද මෙහිදී සිහිපත් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර දෙකහමාරේ ආණ්ඩුව පැවැති සමයේ රාජ්‍ය අංශය හකුළුවා දැමීමට එම රජය කටයුතු කළ ආකාරය රටේ සෑම කෙනෙක් ම හොඳින් දනිති. අඩුම තරමින් රෝහලකට කම්කරුවෙක්වත් බඳවා නොගත් ඒ යුගයේ රාජ්‍ය අංශයේ සේවකයින් පිරිස ලක්ෂ 06 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන බලපෑම් කරද්දීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා උපරීම දායකත්වය ලබා දුන්නේය. මේ නිසා රාජ්‍ය අංශයේ සේවක පිරිස ලක්ෂ 16 දක්වා ඉහළ දැමීමට පියවර ගනු ලැබීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලනඥයෙක් වශයෙන් වසර 43 ක් තිස්සේ පැමිණි ගමන සැබැවින්ම ඓතිහාසිකය. එය කාලයේ අවශ්‍යතාවකි. සොබා දහම විසින් වරින්වර ජාතියේ මෙන්ම රටේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා නායකයෝ නිර්මාණය කරති. මේ යුගය මහින්ද යුගයයි. මහින්ද යුගය සොබා දහම විසින් රටේ අවශ්‍යතාව හා ජාතික අවශ්‍යතාව සඳහා නිර්මිත ප්‍රපංචයකි.

නුවරකලාවියේ මෙන්ම තමන්කඩුවේ ගැමියෝ ඇතැම් විට යම් යම් කාරණා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ මම බොහෝ විට ශ්‍රවණය කරමි. කිසියම් කාරණයක තිරසාර බව පිළිබඳව ඔවුන් කියන්නේ ඒක “ගලේ කෙටු අකුරක් වගේ අපිට විශ්වාසයි” යන වගන්තිය යෙදීමෙනි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු ගලේ කෙටු අකුරක් සේ ස්ථිර, විශ්වසනීය නායකත්වයක් සහ දැක්මක් සහිත දේශපාලනඥයෙකි. “නගුල අල්ලා ආපසු බලන්නා දෙවියන් නොදකී” යන කියමන අනුව, එතුමා ඉදිරියට තැබු පියවර ඉදිරියට ම තබනවා විනා මොන හේතුවක් නිසා හෝ එය ආපසු තබන්නේ නැත. හේතුව තිරසාර දැක්මක් හා ස්ථිර ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමේ උත්තුංග හැඟීම එතුමාට තිබෙන බැවින් හා යථාර්ථය දැකීමට එතුමා සතුව තිබූ ප්‍රායෝගික බුද්ධිය නිසාය.

සිය දේශපාලන දිවියේ තුන් සාලිස් වසරක් සම්පූර්ණ කරන මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමාට දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.

ශ්‍රීලනිප මහලේකම්, සෞඛ්‍ය අමාත්‍ය
මෛත්‍රීපාල සිරිසේන

මේ 2013 ජුනි 09 වැනිදා සිළුමිණ පුවත්පතට වත්මන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සපයන ලද ලිපියකි. මෙලෙස ගුණ වැයූවන් අද දෙපිලකය. එකිනෙකාට එරෙහි කතාවලය. බලන් කාලය මැව් වෙනසක අරුමය. එහෙත් අප කලබල විය යුතු නැත. දැන් වේදිකා දෙදරවමින්, උගුර ලේ රහ වන තුරු එකිනෙකාට කියනා ඇනුම්බැනුම්, ගැරහිලි, දෝෂාරෝපන අමතක කරදා යළි කිසිත් නොවූවන් සේ එකිනෙකා වැළඳගැනීමට වුව මොවුන්ට ගත වන්නේ අසුරුසැණක මොහොතකි. පැරණි වුවත් මෙම ලිපිය හුදී ජන පහන් සංවේගය පිණිස යළි පළ කරන ලද්දේ ඒ යථාර්ථය තේරුම් ගනු පිණිසය. 


No comments:

Post a Comment