Friday, November 28, 2014

අගේ ඇති කතාවක්....

හොඳින් උගත් තරුණයෙක් විශාල සමාගමක කළමනාකාර තනතුරකට අයදුම් කළේය. පළමු සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් වූ ඔහුට, අවසාන සම්මුඛ පරීක්‍ෂණය යෙදී තිබුණේ සමාගමේ අධ්‍යක්‍ෂවරයා සමගය. තරුණයාගේ විස්තර සටහන (CV) බැලූ අධ්‍යක්‍ෂවරයා, මොහු අධ්‍යාපනයෙන් විශිෂ්ට  දක්‍ෂතා පෙන්වා ඇති අයෙකු බව පසක් කරගත්තේය.

‘‘ඔබට පාසලෙන් මොනව හරි ශිෂ්‍යත්වයක් එහෙම ලැබුණ ද?’’ අධ්‍යක්‍ෂවරයා විමසීය.

‘‘නැහැ’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘එතකොට ඉගෙන ගන්න වියහියදම් කළේ අම්ම තාත්ත වෙන්නැති නේද ?’’ අධ්‍යක්‍ෂවරයා යළිත් ඇසීය.

‘‘ඔව්. මගේ අම්ම තමා වියදම් කළේ. මගේ තාත්තා මට අවුරුද්දක විතර වයසෙදි නැති වුණා’’ තරුණයා පිළිතුරු දුන්නේ ය.

‘‘ඔබේ අම්ම කොහෙද වැඩ කරන්නෙ?’’ අධ්‍යක්‍ෂවරයා ඇසීය.

‘‘මගේ අම්ම රස්සාව විදිහට කරන්නෙ කුලියට ඇඳුම් හෝදන එක.’’ තරුණයා පිළිතුරු දුන්නේය.

මඳක් කල්පනා කළ අධ්‍යක්‍ෂවරයා, තම දෑත පෙන්වන ලෙස තරුණයාට පැවසුවේය.

තරුණයා වහා අත්ල උඩු අතට හරවා
තම දෑත අධ්‍යක්‍ෂරවයාට පෙන්නුවේය.

‘‘ඔබ මීට කලින් අම්මට රෙදි හෝදන්න එහෙම උදව් කරලා තියෙනව ද?’’

‘‘උදව් කරලා නම් නෑ. මොකද.. අම්මට  ඕන වුනේ නිතරම මම පොතේපතේ වැඩක් කරනවා දකින්න. අනෙක මට වැඩිය වේගෙන් අම්මට රෙදි හෝදන්න පුළුවන්’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘මම අද ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. අද ගෙදර ගියාම අම්මගේ අත්දෙක හොඳට හෝදන්න. හෝදලා හෙට උදේ ඇවිත් මාව හම්බවෙන්න’’

අධ්‍යක්‍ෂවරයාට සමු දී, තරුණයා තම නිවසට ගියේය. මවට කතා කළේය. ඇගේ දෑත් සේදීමට තමාට අවශ්‍ය බව මවට පැවසුවේය. ඇයට මෙය මහත් කුතුහලය ගෙන දෙන්නක් විය. කුතුහලය සමග සියුම් සතුටක් ද ඇගේ හදවතට දැනුණි. අවසන ඇය තම පුතුට සේදීම සඳහා දෑත දිගු කළේය. 

තරුණයා තම මවගේ දෑත් සෙමින් පිරිමදිමින් සේදුවේය. ඔහුගේ දෑසට කඳුළු ඉනුවේය. තමාගේ සුමුදු දෑත් මෙන් නොව මවගේ දෑත් ගොරෝසුය. රැළි වැටී ඇත. අත්ලේ තැන් කිහිපයකම සම පළුදු වීම නිසා හටගත් කුඩා තුවාලය. එලෙස සම පළුදු වූ තැන් පිරිමදින විට මවගේ ඇඟ වෙව්ළුම් කනු ඔහුට පෙනුණි. මේසා කලක් තමාට සිප්සතර හැදෑරීමට වියපැහැදම් කළේ මේ දෑතය.

මවගේ දෑත් සේදූ තරුණයා, ඉන්පසුව සේදීම සඳහා නිවසට ගෙනවිත් තිබූ රෙදි සියල්ල සේදීමට
මවට උදව් කළේය. ඔහුට මහත් වෙහෙසක් දැනුණුමුත් සතුට මුසු පෙර නොවූ විරූ හැඟීමකින් එය යටපත්ව ගියේය. තම මව මෙතෙක් කලක් මෙම වෙහෙස තනිවම විඳදරා ගන්නට ඇත. පෙර කිසිදිනක ඇති නොවුණු ආකාරයේ සෙනෙහබර හැගීමක් ඔහුට තම මව ගැන ඇති වුණි.

ගිවිස ගත් පරිදිම, පසුදා උදෑසන තරුණයා අධ්‍යක්‍ෂවරයා හමු වීමට ගියේය.

‘‘ඊයේ මං කිව්ව දේ ඔබ කරන්න ඇතිනෙ’’ අධ්‍යක්‍ෂවරයා තරුණයාගෙන් විමසීය.

‘‘ඔව්. ඔබතුමා කිව්ව විදිහටම මං අම්මගේ අත් දෙකම ඊයේ හේදුවා. ඒ විතරක් නෙමෙයි හෝදන්න ගෙනල්ල තිබිච්ච රෙදි ටිකත් ඔක්කොම හෝදන්න අම්මට උදව් කළා’’ තරුණයා පිළිතුරු දුන්නේය.

‘‘ඉතින් ඔබට දැනුණු හැගීම් මොනව ද? ඒකෙන් ඉගෙන ගත්ත දෙයක් එහෙම තියෙනව ද ?’’ අධ්‍යක්‍ෂවරයා ඇසීය.

‘‘ඊයේ දවස මගේ ජීවිතයේ ගෙවපු හොඳම දවසක්. මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
 
01වෙනි එක තමයි යමෙකුගේ සේවය කොතරම් වටිනව ද කියන එක. ඒ වගේම ඒ සේවය අගය කිරීමේ තියෙන වැදගත්කමත් මම ඊයේ තේරුම් ගත්තා. ඇත්තටම.... මගේ අම්මගේ කැපකිරීම් නොවෙන්න, මම අද මේ සාර්ථකත්වය ලබන්නේ නැහැ. (Value of Appreciation)

02වෙනි කාරණය තමයි සාමූහිකව වැඩ කරන කොට ඇත්තටම වැඩ විතරක් නෙමෙයි අපි බෙදාගන්නෙ, අපේ හැඟීම් සමුදායත් අපි එකිනෙකා අතර බෙදා ගන්නවා කියන එක. සාමූහිකත්වය වැඩකටයුතු කරන්න පහසුවක් ගෙනදෙනවා විතරක් නෙමෙයි අපට මානසික සතුටකුත් ගෙනදෙනවා කියන එක. අනික... වැඩ කරන එක කොච්චර වෙහෙසකර දෙයක් ද කියන එකත් මම ඊයේ හොඳට තේරුම් ගත්තා. (Value of Teamwork)
03වෙනි කාරණය තමයි පවුලක එකිනෙකා අතර තියෙන්න ඕන බැඳීම කොච්චර වටිනව ද කියන එක’’ තරුණයා පැහැදිළි කළේය. (Value of Relationships)

අධ්‍යක්‍ෂවරයා සිය හඬ අවදි කළේය.

‘‘මගේ ආයතනයේ කළමනාකාර තනතුරට මට අවශ්‍ය කළේ ආයතනයේ තව කෙනෙක් කරන වැඩ කොටස අගය කරන්න දන්න, මිනිසුන්ගේ හදගැස්ම හඳුනන මනුස්සයෙක්. වැඩක් කරන කොට විඳින්න වෙන දුෂ්කරතා සහ අපහසුතා ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක්. අනික තමයි.... මුදල් තමන්ගේ ජීවිතේ එකම ඉලක්කය කර නොගත්ත සහ තමන්ගේ පවුලට ආදරේ කරන මනුස්සයෙක්. මොකද... තමන්ට, තම පවුලට ආදරේ කරන්නෙ නැති මනුස්සයා කවදාවත් තමන්ගෙ ආයතනයට, තමන් සමග වැඩ කරන සේවකයන්ට ආදරේ කරයි කියලා හිතන්න බැහැ. ඔවුන්ට හොඳින් සළකන එකකුත් නැහැ. 

ඉතින්..... මම හිතනවා ඔබ තමයි අපේ ආයතනයට සුදුසුම කෙනා. හෙට ඉඳන් වැඩට එන්න. හොඳට වැඩ කරන්න.
ඔබ සුභපැතුම්!’’ තරුණයාට අතට අත දෙමින් අධ්‍යක්‍ෂවරයා සිය කරුණු දැක්වීම අවසන් කළේය.

තරුණ කළමනාකාරවරයා දැඩි කැපවීමෙන් වැඩ කළේය. නොබෝ දිනකින්ම ඔහු කාර්යමණ්ඩලයේ සිත ද දිනාගත්තේය. පෙර මෙන් නොව දැන් ඕනෑම සේවකයෙකුට තමන්ගේ ගැටලූ ඍජුවම කළමනාකරු සමග කතා බස් කර, අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට හැකිය. සේවකයන් රැකියාව අතහැරයාම ද සැළකියයුතු ලෙස අඩු වුණි. මෙලෙස සියලූ දෙනාගේ සාමූහික කැපවීම මත ආයතනය දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් ද අත්කර ගත්තේය. 

 ***
පසුවදන

සැබවින්ම මිනිසෙකුගේ වටිනාකම ගොඩනැගෙන්නේ හදවත (Heart), මනස (Head) සහ ක‍්‍රියාශීලිත්වය (Hand) යන අංග තුන (3H) එක්වුණු විටය. මෙම කාරණයම අධ්‍යාපනයේ පරමාර්ථ පැහැදිළි කරමින් අපේ කාලයේ (චන්ද්‍රිකා පාලන සමයේ) පාසල් පෙළපොත්වල පෙරවදනේ, දැනුම (Knowledge), ආකල්ප (Attitudes), කුශලතා (Skills) යනුවෙන් සඳහන් කර තිබුණා ඔබට මතක ඇති. සැබවින්ම මෙකී සාධක ත‍්‍රිත්වයෙන් තොර අධ්‍යාපනයකින් රටට, සමාජයට මතු නොව පුද්ගලයාට ද ඇති වන සෙතක් නැත. යමෙකුට දැනුම සහ කුශලතා තිබුණ ද, යහපත් ආකල්ප යන සාධකය නොමැති නම් එවැනි පුද්ගලයා කෛරාටිකයකු, හොරෙකු, වංචනිකයෙකු හෝ දුර්ගුණයෙකු වනු නොඅනුමානය. 

එමනිසා දයාව, කරුණාව, ආදරය, සහකම්පනය (empathy) වැනි ගුණාංග අපේ හදවතේ තිබිය යුතුය. තාර්කිකත්වයෙන් සහ දැනුමින් (සමාජ දැනුමින් සහ විෂය දැනුමින්) අපේ මනස සන්නද්ධ විය යුතුය. කුශලතාවලින් අපේ ගත සවිමත් විය යුතුය. එවන් හදවතක්, එවන් මනසක්, එවන් ගතක් සහිත මිනිසුන්ගෙන් කිසිදා තම පවුලට, සමාජයට, මතු නොව රටට ද වැඩක් මිස අවැඩක් නම් නොවන්නේය.



No comments:

Post a Comment