Monday, December 15, 2014

මේ පික්පොකට්කාරයන්ගේ ද සීසන් එකයි

දිනය - 2014 දෙසැම්බර් 15 එනම් මෙය ලියන දින
වේලාව - පෙ.ව 7-30
ස්ථානය- විජේරාම හන්දිය (ජපුර සරසවි බස් නැවතුම)

  
කොටුවෙන් ගමන් ඇරඹි බස් රථය, කෙමෙන් නුගේගොඩට සේන්දු විය. මහරගම ගමනාන්තය කරගත් බස්රථයක් වූ මෙයින් ඇතැම් මගීන් බැසගිය අතර ඇතැමෙක් බසයට ගොඩ වුනහ. බස් රථයට ගොඩ වූ පිරිස අතර සරසවි සිසුවියක් ද සිටියාය. ඇය සරසවි සිසුවියක් බව මා දැනගත්තේ ඇය පසුපස දොරින් ගොඩ වී ඉදිරියට යාමේදී ඇගේ බෑගයෙහි "University Of Sri Jayawardhanapura'' යැයි කොටා තිබූ අකුරු පෙළ නිසාය. ඇය ඇතැම් විට සති අන්තයේ නිවසේ සිට යළි සරසවිය වෙත යමින් සිටිනවා විය යුතුය.

වැඩි දුරක් යන්නට මත්තෙන් ඇයට හිඳ ගැනීමට අසුනක් ලැබුණෙන්, ඇය එහි වාඩි වූවාය. කෙමෙන් බස් රථය විජේරාම හන්දියට සමීප වෙමින් තිබුණි. විජේරාම හන්දියෙන් බැසීම සඳහා සෙනග, ඉදිරිපස දොර අසළටත් පසුපස දොර අසළටත් රැස් වෙමින් සිටියහ. 

තරමක් විශාල වූ තම බෑගය කරට ළා ගත් ඇය ද බසයෙන් බැසගැනීම සඳහා පසුපස දොර අසළට පැමිණියාය. බැසීම සඳහා දොර අසළ රොක් වී සිටි පිරිසේ අවසානයට සිටියේ ඇයයි. සැණෙකින් තවත් දෙදෙනෙකු ද ඇයට සමීප වුණි. ඉන් එක් අයෙකු පාසල් බෑගයකට සමාන බෑගයක් දකුණු උරෙහි ළා ගෙන සිටි අතර ඔහු එය සිය වමතින් ඉදිරිපසට වන්නට අැද අල්ලා ගෙන සිටියේය. එම නිසා ඔහුගේ දකුණු අතෙහි වැළමිටින් පහළ කොටස සම්පූර්ණයෙන්ම වාගේ බෑගයට ආවරණය වී තිබුණි. අනෙකා සිටියේ බස් රථයේ රියදුරු අසුන දෙසට පිටුපාය. 

මා සිටියේ හරියටම පිටුපස දොරට හරි කෙළින් අසුනේය. තවමත් බසය හෝල්ට් එකෙහි නතර කර නැත. මට පිටුපා සිටි දකුණු අත වැසෙන සේ බෑගය දමා ගත් පුද්ගලයාගේ දකුණු අතෙහි වැළමිට ක්ෂණිකව ඉදිරියට පසුපසට යනු මට පෙනුනි. පැහැදිළිවම සැකකටයුතු දෙයක් සිදු වෙමින් පවතී. නමුත් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, මා ඒ පිළිබඳව සැක හැර දැන ගතයුතුය. නිකරුණේ මිනිසුන්ට චෝදනා කිරීමට ගොස් මුළු දවසම මස්තබාල්දු කර ගැනීමට මට අවශ්‍ය නැත. එබැවින් මා ඉතා උනන්දුවෙන් ඔහුගේ දකුණු අත තිබෙන්නේ කොතන දැයි විපරම් කර බැලුවෙමි. නමුත් කුමන කෝණයකින් බැලුව ද මට කිසිවක් නොපෙනේ. ඒ තරමට බෑගය දකුණු අතෙහි දමාගෙන සිටි පුද්ගලයා ඇය ආවරණය කරගෙනය. 


ඇය ඇතුළු පසුපස දොර අසළට පැමිණි සියලු දෙනා බැස ගිය ද, ඔවුන් දෙදෙනා පමණක් බැස ගියේ නැත. මා මෙතෙක් සිතා සිටියේ සැබවින්ම ඔවුන් දෙදෙනා ද විජේරාම හන්දියෙන් බසිනු ඇත කියාය. මේ සමග මගේ සැකය තවත් වැඩිවුණි. දැන් බස් රථය මහරගම බලා වේගයෙන් ඇදේ. මා ක්ෂණිකව ආපසු හැරී බැලුවෙමි. පෙර කී සරසවි යුවතිය කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටියි. 

අහෝ සිදු වීමක මහත! 

ඇයගේ බෑගයේ පහළ සිපර් දෙකම විවෘතව පවතී. කිසිදු සැකයක් නැත. විජේරාම හන්දියෙන් බසින්නට මෙන් මොවුන් දෙදෙනා ඇය සමීපයට ආවේ පික්පොකට් ගැසීමටය. 

බස්රථය ගමනාරම්භ කරන්නට පෙර මෙය මා දුටුවා නම් කුමක් හෝ කළ හැකිව තිබුණි. නමුත් දැන් අගතියට පත් පාර්ශවය ද මෙහි නැත. පැමිණිලිකාර පාර්ශවයක් නැති විත්තිකාර පාර්ශවයකින් සිදු කළ හැකි යුක්තිය පසිඳලීමක් නැත. තවත් කෙනෙකු හෝ මෙය දුටුවා නම් ඔවුන් දෙදෙනා පරීක්ෂාවට ලක් කරන්නට ද තිබුණි. නමුත් සාක්ෂිකරුවා මා පමණක් බැවින් ඊට ද ඉඩක් නැත. තනිවම එවැනි කාර්යයන්ට බැස උදේ පාන්දරම කුණු බාල්දි පෙරළා ගන්නට ද මට හැකියාවක් නැත. 

මා කළහැකිව තිබූ දේවල් මෙලෙස සිතමින් සිටියදී, ඔවුන් දෙදෙන කිසිදු හාන්කවිසියක් නැතිව මහරගම ආපිකෝ එක ආසන්නයෙන් බැස ගියහ.  

එසේ නම් ඔබ කළ යුත්තේ කුමක් ද?

උත්සව සමයේ බස්රථ අධික සෙනගින් යුක්ත වීම සහ ගම් දනව් බලා පිටත්ව යන මිනිසුන් ළග මිලමුදල් යහමින් ගැවසීම යන කාරණා නිසා, උත්සව සමය පික්පොකට්කාරයන්ගේ මඩිය තර වෙන කාලය බවට පත්ව ඇත.

එබැවින් වටිනා කියන දෑ (පර්ස් එක, ෆෝන් එක ආදිය) පහසුවෙන් සිපරය ඇද විවෘත කළ හැකි බෑග් සාක්කුවල නොදැමිය යුතුය. විශේෂයෙන්ම පර්ස් එක වුව කලිසමේ පිටුපස සාක්කුවේ දමනවා නම් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. මන්ද අපේ අරමුණ බස් රථයෙන් ගමන් කිරීම විය හැකි වුවත් පික්පොකට්කරුවාගේ අරමුණ පික්පොකට් ගැසීම වන නිසාය.බැවින් සුළු ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට ගත වන්නේ තත්පර දෙක තුනකට නොඅඩු කාලයකි. ඔවුන් ඒ තරමට සංවිධානාත්මකය. සූක්ෂමය.

එසේම මෙහිදී කිවයුතු තවත් කරුණක් ඇත. ඔබ යම් අයෙකු පික්පොකට් ගසනු දුටුවහොත් කළ යුතු හොඳම දේ වන්නේ වහා එය අසළ සිටින තවත් අයෙකුට පෙන්වීමයි. එසේ නොකර ඔබ තනිවම ක්‍රියාත්මක වීමට ගියහොත්, ඔබේ සුළු ප්‍රමාදයෙන් ඔහු ඔබට එරෙහිව ක්‍රියාත්මක විය හැක. එනම් ඔබ දුටු බව ඔහුට දැනී, ඔබ ඔහු අල්ලා ගැනීමට සැරසෙන විටම ඔහු ඊට කලින් ක්‍රියාත්මක වී ඔබ පික්පොකට්කරුවෙක් යැයි පවසා ඔබව ඊට හසු කරනු ඇත. අඩක් විවෘත කරන ලද බෑග් සිපරය හෝ බිමට දමන ලද භාණ්ඩය දකින මිනිසුන්, කලින් ක්‍රියාත්මක වූ ඔහුගේ වචන විශ්වාස කරනු ඇත. එවිට වඳින්න ගිය දේවාලෙ හිසේ කඩා පාත් වූවා සේ බඩකටපුරා පුදසත්කාර ලබන්නට ඔබට සිදු වනු ඇත.  




ප.ලි

පික්පොකට් ගහන අයෙකු හරියටම අතට අහු වුනොත්, ආරක්ෂිත විදිහට සංග්‍රහ කරන්නට ද අමතක කරන්න එපා. ආරක්ෂිත විදිහට යැයි කීවේ ඔවුන් ළග සාමාන්‍යයෙන් ආත්මාරක්ෂාවට මුවහත් නියන් වැනි ආයුධ තිබිය හැකි නිසා ය. 

2 comments:

  1. මටත් ටිකදුරක් වුනත් බසයෙන් ගමන් කරන්න තියෙන්නේ මමත් මගේ ජංගම දුරකතනය ගැන, පසුම්බිය ගැන ගොඩක් අවධානයෙන් යන්නෙ. (සල්ලි ගොඩක් ගෙනියන්න‍ෙ නැති වුනත් මගේ ජා.හැ. එකයි රියදුරු බලපතයි නැති වුනොත් හරිම කරදයක්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සල්ලි වගේ නෙමෙයි ඒව හදාගන්න රස්තියාදු වෙන එක ගැන කියලා වැඩක් නෑ.

      Delete