Wednesday, October 7, 2015

පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හමුවේ ඔඩුදුවන ජාතිවාදය..

අප රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙති. නිදහසින් පසු ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජාතිකත්වයක් (Nationality) ගොඩ නගනු විනා, එක එක ජනවර්ගයට විවිධ ප්‍රමාණයේ හැඳිවලින් බෙදීමේ සහ විවිධ ප්‍රමාණයෙන් බෙදා ගැනීමට තැත් කිරීමේ පටු ජාතිවාදී දේශපාලනයේ ප්‍රතිඵල ලෙස 1948 ලත් නිදහසින් පසු හරි අඩක්ම අප රට ජන ඝාතක සහ ආර්ථිකඝාතක දැවැන්ත යුද්ධයක පැටළුණි.


 ශ්‍රී ලාංකීය දේශපාලන න්‍යාය පත්‍රවල ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රවල ද තවමත් යුද්ධයේ ශේෂමාත්‍ර කතා බහට ලක් වන බැවින් තවමත් අප ඒ යුද්ධයෙන් මිදී නැති බව පැහැදිළිය. 


නමුත්, යුද්ධයක අමිහිරිබව විඳි රටක පුරවැසියන් වශයෙන් අප තවමත් අතීතයෙන් පාඩම් උගනින්නට සූදානම් නැති බව පෙනේ. සමාජ ජාල වෙබ් අඩවිවල වෛරසයක් සේ විවිධ නිර්නාමික පිටු සකස් කරගෙන සිංහල මුස්ලිම් කෝලාහලයක්ට අර ඇඳීමට දිවා රෑ නොබලා ඇතැමුන් අර අඳිනු පෙනීමෙන් ඒ බව පසක් වේ. මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයන් පමා වන්නට- පමා වන්නට සිදු වෙන හානිය ඉතා දැඩි බව පාලකයන් තේරුම් ගත යුතුය. 

කිසිදු ආගමික කොට්ඨාසයකට නීතිය අතට ගැනීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය. එය  ඉස්ලාම් ද බෞද්ධ ද ක්‍රිස්තියානි ද හින්දු ද වෙන කුමක් හෝ කියා භේදයක් නැත. නබි තුමා ආව ද බුදුරදුන් ආව ද ජේසු තුමා ආව ද නීතිය, නීතිය ලෙස ක්‍රියාත්මක විය යුතුය. (බුදුරදුන් පවා භික්ෂූන්ට කීවේ "අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තිතුං" එනම් රාජ නීතියට අනුව (එනම් රටේ නීතියට අනුව) කටයුතු කරන්නට කියාය) 

විග්නේශ්වරන් මහ ඇමතිවරයා උතුරේ අනෙකුත් ජාතීන්ට පදිංචි විය නොහැකි යැයි තවමත් ප්‍රකාශ කරති. ඒ අනුව, උතුරේ වෙනම ජාතිවාදයකි. රටේ ව්‍යවස්ථාවට අනුව ඕනෑම පුරවැසියෙක්ට රටේ ඕනෑම තැනක පදිංචි වීමට නිදහසේ ජීවත් වීමට අයිතිය ඇත. එහෙත්, මේවාට විරුද්ධ නොවී රට බල්ලට ගියත් ඡන්දය බලා ගෙන වැඩ කරනා අපේ රටේ පාලකයන් ගල් ගිල්ල බමුණන් සේ කට පියා ගෙන සිටිති.

ඒ අතර, ප්‍රතිපත්තිවලින් බෞද්ධ නොවන එහෙත් සිංහල බෞද්ධ යැයි උජාරුවෙන් කියා ගන්නා ඇතැමෙක් (සැබැවින්ම බෞද්ධ ප්‍රතිපත්ති මත කටයුතු කරනා සිංහලයන් ගැන නොවේ. ඔවුන්ගෙන් සතා සිව්පාවෙකුටවත් කරදරයක් නැත) මෙය බුදුන්ගේ දේශය යැයි ද, මෙය අන් ජාතීන්ට තහනම් යැයි ද අන් ජාතීන් ආ තැනකට යා යුතු යැයි ද තවත් ජාතිවාදයක නිරත වෙයි. ඒ ගැන ගී සින්දු සකස් කර රින්ගින් ටෝන් ලෙස ද යොදාගනිති. මුස්ලිම් කවඩල් වර්ජනය කරන්නැයි ඔවුන් කියනා විට ඔවුන් වැනිම අන්තගාමී ඇතැම්  මුස්ලිම් අය ද සිංහල ව්‍යාපාර සහ ඔවුන් නිපදවන භාණ්ඩ වර්ජනය කරන්නැයි සමාජ ජාලවල පෝස්ට් ෂෙයා කරති. 


එවැනි ජාතිවාදී ඇතැම් මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී පාකිස්තානය ජයගත් පසු විසිල් ගසා හුරේ දමා රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වෙති. 

ඒ අනුව බලන විට ජාතිය ගොඩ නැගීම (Nation Building) කියන කාරණයෙන් අප ගව් ගාණක් එපිට බව පෙනේ. සිංගප්පූරුව ජාතිය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ඇණගත් ඇනගැනිල්ල දෙස බලා ගුරුහරුකම් ගත්තේය. නමුත් අප රට වාර්ගික වශයෙන් බෙදී වෙන් වෙලාය. එකාට එකා නැත. තවමත් එකිනෙකා ගැන වෛරයෙන් සැකයෙන් බලන තැනය. සියලු ජනවර්ගයන්ට ශ්‍රී ලංකාව අපේ රට යැයි හදවතින් සහ ආඩම්බරෙන් කිව හැකි  තැනක නැත. 

විල්පත්තු කැලේ කපනවා නම් එය ආරක්ෂා කිරීමේ නෛතික වගකීම තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මිස ආගමික කණ්ඩායම්වලට නොවේ. තලේබාන් ගණයේ විසඳුම් ආරෝපනය කරන්නට යෑම බුද්ධිමත් පිළිවෙත නොවේ. බංගලාදේශයේ බෞද්ධ භික්ෂූන් අමු අමුවේ ඝාතනය කෙරෙන්නේ එලෙස ආගමික අන්තවාදයන්ට යට වී නීතිය බල්ලට ගොස් ඇති නිසාය.   

කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් නම්, එය ආරක්ෂා කිරීමේ වගකීම අදාළ ආයතන සතුය. ආයතනවල අකාර්යක්ෂමතාව මැඩලීම සඳහා විසඳුම් දෙනු වෙනුවට ජාතිවාදයෙන් පිළතුරු සෙවීමට යාම විසඳුම් නොවේ.

මෙලෙසින් රටේ පාලකයන්ගේ සහ වගකිව යුතු ආයතනවල අකාර්‍යක්ෂමතාව හේතුවෙන් දිනෙන් දින ඔඩුදුවන ජාතිවාදය, දිනක අපේ රට මහා විනාශයකට ඇද දමනු ඇත.

No comments:

Post a Comment