Friday, September 6, 2019

~~ඇමරිකාවේ තනි අභිමතයට ඇති කළ තාවකාලික භූගෝලීය රේඛාවක් නිසා දෙකඩ වුනු කොරියාව~~

වර්ෂ 1939 ඇරඹි දෙවන ලෝක යුද්ධය 1945 අගෝස්තු වන විට යම් තීරණාත්මක අවසානයක් කරා ළඟා වෙමින් තිබුණා. ඒ ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය, බ්‍රිතාන්‍යය ඇතුළු මිත්‍ර රටවල් (Allied Forces) හමුවේ ජර්මනිය, ජපානය සහ ඉතාලිය යන අක්ෂයේ බලවතුන් (Powers of the Axis) ලෙසින් හැඳින්වූ රටවල් ත්‍රිත්වය පරාජයට පත්වෙන පසුබිමක් තුළ. ‍

ලෝක යුද්ධයේ අවසානය තවත් වේගවත් කරමින්, 1945 අගෝස්තු 06 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා නගරයට පරමාණු බෝම්බයක් හෙළනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් දින දෙකකට පසුව එනම්, අගෝස්තු 08වෙනිදා සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසට පිවිස, ජපන් හමුදාව සමග සටනට එළඹුනා. ක්‍රි.ව. 1910 සිටම මුළු කොරියානු අර්ධද්වීපයම පැවතුනේ ජපන් අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙසින්.

1945 අගෝස්තු 09 වෙනිදා ජපානයේ නාගසාකි නගරයට ඇමරිකාව හෙළන ලද පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු, මිත්‍ර රටවල් හමුවේ තම රට යටත් වන බව ජපානය නිවේදනය කළා.

ඒ වන විටත්, කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසට ඇතුළු වී සිටි සෝවියට් හමුදා මුළු කොරියානු අර්ධද්වීපයම තමන් යටතට නතු කර ගනු ඇතැයි සැක පහළ කළ ඇමරිකාව, හදිසියේම ඩීන් රස්ක් සහ චාල්ස් බෝන්ස්ටීල් යන ඇමරිකානු හමුදා කර්නල්වරුන් දෙදෙනා කැඳවා ඔවුන්ට විනාඩි 30ක කාලයක් ලබා දී, කොරියානු භූමිය තුළ ඇමරිකානු පාලනයට නතු කර ගත යුතු ප්‍රදේශය නිර්ණය කිරීමට බාර දුන්නා.

ඒ අනුව, ඔවුන් කොරියන් අර්ධද්වීපය මැදින් වැටී තිබූ 38 වන අක්ෂාංශ රේඛාවෙන් දකුණු කොටස ඇමරිකානු පාලනයට අයත් වන ලෙසත්, උතුරු කොටස සෝවියට් පාලනයට අයත් වන ලෙසත් කොරියාව දළ වශයෙන් දෙකට බෙදනු ලැබුවා. මෙහිදී, කොරියාවේ සොවුල් අගනුවර ඇමරිකානු කොටසට අයත් වන ලෙස බෙදීමට ඔවුන් වග බලා ගත්තා. මෙලෙස සීමා නිර්ණය කරන මොහොත වන විට, එකදු හෝ ඇමරිකානු හමුදා භටයෙකු කොරියානු භූමිය තුළ නොසිටියත්, වහා තම භට කණ්ඩායම් කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසට පිටත් කර යැවීමට ඇමරිකාව කටයුතු කළා.

ඒ අනුව, කොරියාවේ උතුරු කොටසේ සිටි ජපන් හමුදා කණ්ඩායම් සෝවියට් හමුදාවටත්, දකුණු කොටසේ සිටි ජපන් හමුදා කණ්ඩායම් ඇමරිකන් හමුදාවටත් යටත් වුනා. මෙලෙස කොරියාව තුළ 35 වසරක ජපන් පාලනය අවසන් කිරීමෙන් පසු, මුළු කොරියාවම ආවරණය වන පරිදි මහ මැතිවරණයක් පවත්වා යළි ඒකීය කොරියාවක් ගොඩනැගීම කොරියාවේ සිටි ඇමරිකානු පරිපාලකයන්ගේත්, සෝවියට් පරිපාලකයන්ගේත් මුල සිටම පැවති අදහස වුවත්, එය ඉටුවුනේ නැහැ. ඇමරිකාවට අවශ්‍ය වුනේ මුළු කොරියාව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී පාලනයක් ඇති කිරීම. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සෝවියට් රුසියාවට අවශ්‍ය වුනේ මුළු කොරියාව පුරා සමාජවාදී පාලනයක් ස්ථාපිත වනු දැකීම.

මෙසේ දීපව්‍යාප්ත මහ මැතිවරණයකට දෙපාර්ශවයම එකඟතාවයට නොඑන තත්වයක් තුළ, දකුණු කොරියාවේ ජනපතිවරයා වශයෙන් කොමියුනිස්ට් විරෝධියෙකු වූ සිංමන් රී තේරී පත් වුනා. මේ අතර, යුද සමය තුළ සෝවියට් රතු හමුදාවේ මේජර්වරයෙකු ලෙස ද සේවය කර තිබූ කොමියුනිස්ට්වාදියෙකු වූ කිම් ඉල් සන් උතුරු කොරියාවේ නායකයා ලෙස පත් කිරීමට සෝවියට් රුසියාව කටයුතු කළා. මෙම නව නායකයන් දෙදෙනාටම කොරියාව යළි එක්සේසත් කිරීමට අවශ්‍ය වුනත්, ඔවුන්ගේ එකිනෙකට එදිරි දේශපාලන දර්ශනය ඊට ඉඩ ලබා දුන්නෙ නැහැ.

ඉතිහාසය පුරාවට තනි රටක් ලෙස පැවති කොරියාව මෙසේ දෙකඩ කර, 1948දී ඇමරිකානු හමුදා සහ සෝවියට් හමුදා කොරියානු අර්ධද්වීපයෙන් පිටත්ව ගියා.

දෙපාර්ශවයේම හමුදා පිටත්ව යාමෙන් වසර දෙකකට පසුව, එනම් 1950 ජුනි 25 වෙනිදා දකුණු කොරියාව ආක්‍රමණය කර කොමියුනිස්ට් පාලනයක් යටතේ කොරියාව එක්සේසත් කිරීමට උතුරු කොරියානු නායක කිම් ඉල් සන් උත්සාහ කළා. යුද්ධය ඇරඹී තෙමසක් පමණ ගත වන විට, සොවුල් අගනුවර ඇතුළු මුළු දකුණු කොරියානු භූමියම පාහේ උතුරු කොරියානු හමුදාව යටතට පත් වුවත්, ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදාවන්ගේ සහය දකුණු කොරියානු හමුදාවට ලැබීමත් සමග උතුරු කොරියාවට යළි පසුබහින්නට සිදු වුනා.

මිලියන තුනකට අධික කොරියානුවන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කරමින්, 1950 සිට 1953 දක්වා වසර තුනක් පුරාවට දිග්ගැසුණු මෙම යුද්ධයෙන් පසු, උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරුණු 38 වන අක්ෂාංශ රේඛාව ඔස්සේ කි.මී.4 ක පළලින් යුත් දැඩි ආරක්ෂිත යුද මුක්ත කලාපයක් පිහිටුවීමට කටයුතු කෙරුණා.

පසුකාලීනව, කොරියාව එක්සේසත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව කිහිප විටක්ම උත්සාහ කළත්, ඒ කිසිදු උත්සාහයක් හෝ සාර්ථක වූයේ නැහැ.

කිසිදු කොරියානුවෙකුගේ හෝ අදහස් විමසීමකින් තොරව ලෝක බලවතුන්ගේ තනි අභිමතයට ඇති කළ භූගෝලීය රේඛාවක්, ඉතිහාසය පුරාවට එකම රටක, එකම භාෂාවක, එකම සංස්කෘතියක උරුමය විඳගත් එකම ජනකොට්ඨාසයක මිනිසුන්ගේ හදවත් දෙපළු කරමින්, එකිනෙකට එදිරිව දෙරටක් නිර්මාණය වුනු ආකාරය සැබවින්ම ඛේදජනකයි.






සටහන-දමයන්ත මුණසිංහ

No comments:

Post a Comment