Sunday, September 8, 2019

මාතර කියන්නෙ මට මතක ගොඩක්...


මාතර ..... කියනකොටම මතක් වෙන්නේ  අපේ  අම්මගේ තාත්තගේ මහගෙවල්. අපේ දෙමව්පියො හැදුනු - අපේ ආත්තම්මලා- සීයලා ජීවත් වුණු, අපි පුංචිකාලෙ අවුරුද්දකට කීපසැරයක්ම ආවගියපු මහගෙවල්. එහෙම ආවගියාම ඔවුන්ගෙ ආදරයත් එක්ක ගෙවුණු දවස් සුන්දර මතකයන් විදිහට තාමත් අපේ හිත්වල තියෙනවා. අම්මගෙයි තාත්තගෙයි මහගෙවල්වල ආවම පළතුරු කාලෙට වෙරළු අහුලන්න යන්න- ජම්බු, රඹුටන්, කජුපුහුලන් කඩන්න යන්න අපිට පුදුම ආශාවක් තිබුනෙ. 

ඉස්සර බෙලිඅත්තෙන් බැහැලා, ගැටමාන්න හරහා කිරින්ද පුහුල්වැල්ලට යන බස් එකට නැගලා, වංගු පහුකරන් පැයක විතර ගමනකින් පස්සෙ කරයල් කනත්ත පන්සල් හන්දියෙන් තමයි අපි බහින්නෙ. ඉස්සර එතන තිබුනෙ බාබර් සැලුන් එකයි සිල්ලර කඩේකුයි විතරයි. සීනි තේකොළ බිස්කට් එහෙම අරගෙන, ගෙදරින් අරන් ආපු බඩු මලුත් උස්සගෙන ඉස්සෙල්ලම යන්නෙ තාත්තගෙ මහගෙදර. පයින් විනාඩි දහයක විතර ගමනක්.  කඳුපාර දිගේ ඇවිත්, මහ ගෙදර කිට්ටුවට එනකොටම ඉස්සෙල්ලම අපිව පිළිගන්න එන්නෙ නැට්ට වනාගෙන, මුහුණෙ සතුටු-සිනහ පුරෝගත්ත බලු ගෙඩියා. උඩුබිරුම් තියලා- ඉස්සෙල්ලම ආත්තම්මටයි සීයටයි අපි එන පණිවිඩේ දෙන්නෙ ඌ. අපිව දැක්කම ආත්තම්මටයි සීයටයි පුදුම සතුටක්. අද වගේ කල් තියා දැනුම් දීලා එන්න, එනගමනුත් සැරින් සැරේ කතාකර කර එන්න ඒ කාලෙ දුරකතන තිබුනෙ නෑ.  ආදරණීයයන් කාලෙකට පස්සෙ අනපේක්ෂිතව හමුවුනාම සතුට කොහොමත් වැඩියි. 

  අපේ ආත්තම්මා ආදරයේ උල්පතක්. සත්තුන්ට පවා ආදරය කරුණාව දක්වපු කෙනෙක්.  කෑම උයලා ගෙදර අය කෑම ගන්න කලින් ගෙදර හිටපු බල්ලටයි පූසන්ටයි කෑම දෙන එක ආත්තම්මගෙ පුරුද්දක්. කුරුල්ලන්ට කෑම දාන්න වෙනම ලෑල්ලක් ගහක සවි කරලා තිබුණා.  ආත්තම්මා මියැදුණාට පස්සෙ, අපේ සීයා මානසිකව වැටුනා. හරියට කෑමක් ගත්තෙවත් නෑ. එහෙම තමයි ආදරෙන් එකට ජීවිතේ බෙදාගත්තු අය. සමහරු දරාගන්නවා- සමහරුන්ට අමාරුයි.  හරියටම ආත්තම්මගෙ තුන්මාසෙ දානෙ දවසෙම සීයත් නැතිවුනා. ආත්තම්ම අන්තිම කාලෙ වෙද්දි ටිකක් අසනීපව හිටියෙ. ඒ කාලෙම ආත්තම්මට මාව බලන්න ඕන වුනා. ආත්තම්ම මගේ අතින් අල්ලගෙන මොනවදෝ කිව්වා. ඇස්වල කඳුලු. ඒ වෙනකොට ආත්තම්මගෙ කටහඬ තේරුම් ගන්න තරම් පැහැදිළි මට්ටමක තිබුණෙ නෑ. ආත්තම්මයි සීයයි නැතිවුනාට පස්සෙ, අපි ඉස්සර තරම් මාතර මහගෙවල් පැත්තෙ යැවුනෙ නෑ. අපේ අම්මගෙ පැත්තෙන් ආත්තම්මයි සීයයි පවා අන්තිම කාලෙ හිටියෙ අපේ ගෙදර. අපේ අම්ම තමයි සැළකුවේ. අපේ අම්මගෙ මහගෙවල් තිබුණෙත් අපේ තාත්තගෙ මහගෙවල්වල ඉඳන් මහලොකු දුරක නෙමෙයි. පන්සල දෙපැත්තෙ කඳු දෙකේ තමයි මහගෙවල් දෙකම තිබුනෙ. අම්මගෙ මහගෙවල් නම් අද ගරාවැටිලා. කවුරුත් නෑ.


පවුලෙ වැඩිමලුන් වුණු අපේ තාත්තවයි අම්මවයි බලන්න- තාත්තගෙයි අම්මගෙයි නංගිලා මල්ලිලා අපේ ගෙදර එන එක තමයි දැන් වෙන්නෙ. 

 කාලය ගෙවිලා- අපිත් දැන් වැඩිහිටියො වෙලා ටිකක් මුහුකුරාගෙන එනකොට, මහපොළොවත් එක්ක හැප්පිලා- අපිව උස්මහත් කරපු, අනුන්ගෙ දේ කඩාවඩා ගන්නැතුව තමන්ගෙ මහන්සියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා කියලා අපිට ජීවිතේ කියලා දුන්නු,  අරක්කුවත් සිගරට්වත් කටේ නොතියපු- අදටත් කටේ නොතියන අපේ තාත්තා, අපිට විතරක් නෙමෙයි ගෙදර සතාසිව්පාවටත් ආදරේ සෙනෙහස දක්වන අපේ අම්මා අද ටිකින් ටික වයසට ගිහින්, අද දරුමුනුබුරන්ගෙ හුරතල් බලනවා . ජීවිතේ ස්වභාවය ඕක තමයි.  එක් පරපුරක් මියැදෙමින් ඉන්න කොට, අලුත් පරපුරක් ඉපිදෙන-වැඩෙන එක. එක් තුරු-ලතා පරපුරක් මියැදෙමින් තියෙන කොට, ඒ මතින් අලුත් තුරු ලතා පරපුරක් ඉපිදෙන - වැඩෙන එක. 

No comments:

Post a Comment