Tuesday, October 8, 2019

අනාගත ජනාධිපතිට ලියන ලිපි පෙළ අංක 03 . අධ්‍යාපනය

අනාගත ජනාධිපතිට ලියන ලිපි පෙළ
අංක 03 . 

අධ්‍යාපනය 
=========

රටක් සතු හොඳම ආර්ථික ප්‍රතිපත්තිය අධ්‍යාපනය යි- කියමනක් 

ගරු ජනාධිපති තුමනි , 

ඔබ මා විසින් යොමු කල දෙවැනි ලිපියෙහි අන්තර්ගත ඉඩම් හා භූමි කළමනාකරණය ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන්නට ඇතැයි සිතමි. එයට අවශ්‍ය මූලික පදනම ඔබ සකස් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. ඔබගේ මේ අලුත් රටට මේ සැළසුම් සියල්ල ඉටු කර ගැනීමට ඔබට අවශ්‍ය ලොකුම සම්පත මානව සම්පත බව ද ඒ ගොඩනැගෙන රටේ ශ්‍රම බලකාය රට හදන යාන්ත්‍රණයේ මූලිකම පාදම බව ද ඔබට මතක කරනු කැමැත්තෙමි. 

එබැවින් ඔබ මේ ගමන යාමට රටේ මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කරමින් මෙහෙයවා ගත යුතුය. ඔවුන්ට නිසි අධ්‍යාපනය, පුහුණුව , නිපුණතා ලබා දී වෘත්තීයම වශයෙන් ඔවුන් සූදානම් කල යුතුය. මේ රට ගොඩ නැගිය යුත්තේ අප විසිනි. ඒ සඳහා අවශ්‍ය දැනුමසහ ශ්‍රමය වෙන රටකින් ගෙන ආ නොහැකිය. එබැවින් මේ රටේ උපදින හැදී වැඩෙන අපේ දරුවන් ඔබ මේ දකින අනාගතය වෙත ගෙන යෑමට සූදානම් කල යුතුය. ගොඩ නැගෙන රටට ඔවුන්ගෙන් ද එසේ රට ගොඩ නැගීමෙන් ලැබෙන පල ඔවුන්ට ද ලැබෙනුයේ ඔවුන් ඒ සඳහා සූදානම් නම් පමණි. වර්තමානයේ අප බිහි කරන ශ්‍රම බලකාය අක්‍රමවත් ය. එබැවින් මේ ක්‍රමයෙන් තව දුරටත් ඔබ තුමාට රට ඉදිරියට ගෙන යා හැකි නොවේ. එබැවින් ඔබ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කල යුතුය. හෙට ලොව දිනන වෘත්තිකයා හා ශ්‍රමිකයා නිර්මාණය වන්නේ ඒ වෙනස් කරන අධ්‍යාපන ක්‍රමයෙනි. අධ්‍යාපන වෙනස් විය යුතු යැයි මා සිතන ආකාරය ඔබට මෙසේ පැහැදිලි කිරීමට මට අවසර...

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස් කම් හා ප්‍රතිසංස්කරණ මා ප්‍රධාන කොට ආකාර හයකින් ඉදිරිපත් කරමි. 

1. අධ්‍යාපන ක්‍රමයෙහි අන්තර්ගතයෙහි වෙනස් කම්
2. අධ්‍යාපනයෙහි ව්‍යුහයේ වෙනස් කම්
3. අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක භෞතික වෙනස් කම්
4. අන්තර්ජාතික පාසල් සඳහා උසස් අධ්‍යාපන ක්‍රමයක් 
5. ජාතිය, ආගම, භාෂාව අනුව නොබෙදුන පාසල් ක්‍රමයක්
6. ඉංග්‍රීසි භාෂාව පාසල තුලට ගැනීම 

👉1. මා අන්තර්ගතයෙහි වෙනස් කම් පහත ලෙස විස්තර කරමි. 
රටක අධ්‍යාපනය යනු රටේ රටේ උපදින දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන මාධ්‍ය වූවත්, අප එයින් බලාපොරොත්තු වන ප්‍රධානතම ප්‍රතිඵලය නම් ඒ පුරවැසියා රටේ පවතින ආර්ථික ක්‍රියාවලිය තුලින් සිය ජීවනාලිය සරි කර ගැනීමට හැකියාවක් ඇති සුදුස්සෙකු බවට පත් කිරීම ය. එනම්, රටේ ආර්ථිකය තුල ව්‍යාපාරයක්, නිර්මාණයක් හෝ රැකියාවක් කර ඔහු හෝ ඇය සිය ජීවිතය හොඳින් පවත්වා ගෙන යාමට ආදායමක් සකස් කර ගත යුතුය. එනම්, ඔබ පවත්වා ගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන ශ්‍රමිකයා හෝ වෘත්තිකයා රටේ පවතින ආර්ථික ක්‍රමයට පලදායී කෙනෙකු විය යුතුය. එවිට ඔවුන් සෘජුවම ආර්ථිකයට ඔබ්බවා ගත හැකි පුරවැසියන් බවට පත් වන අතර එලෙස බිහි වූ දක්ෂයෝ ආර්ථිකයට අන්තර් ග්‍රහණය වීමෙන් ආර්ථික ක්‍රියාවලියට ද වාසි සහගතය. 

එබැවින්, අප අපගේ අධ්‍යාපන ක්‍රමය සකස් කර ගත යුත්තේ රටේ ආර්ථික ක්‍රියාවලිය , සංවර්ධන උපාය මාර්ගය අරමුණු කර ගෙනය. ආර්ථිකයට වෘත්තිකයන්, නිර්මාණ කරුවන්, ශ්‍රමිකයන් , තාක්ෂණික ශිල්පීන් , ව්‍යවසායකයන් ආදීන් ප්‍රමාණවත් අයුරින් සැපයෙන ක්‍රමයකට ඔබ අධ්‍යාපන ක්‍රමය සකස් කල යුතුය. ඔබ අනාගතයේදී ඉදි කිරීමට නියමිත කාර්මික නගර , කාර්මික කලාප, නැව් ගුවන් ප්‍රවහන සේවා , කැණීම් , උද්‍යාන, ස්වාභාවික වනාන්තර ඇති කිරීම ආදිය ඉලක්ක කරගෙන ඒම ආර්ථික උපාය මාර්ග පුරවැසියා ඉලක්ක කරවන අධ්‍යාපන ක්‍රමයක් ඔබ සැකසිය යුතුය. 

අපේ රටේ දැනට බහුතරයක් ලෙස බිහි වන ඉතිහාසය , ශිෂ්ඨාචාරය , සාහිත්‍යය , භූගෝලය , කෘෂි කර්මය ආදියෙන් දාර්ශනිකයන් බිහි කිරීමෙන් ආර්ථිකයට පණ පොවන ශක්තිමත් ශ්‍රම බලකායක ගොඩ නැගීමට අපට නොහැකිය. එම දාර්ශනික විෂයන් එසේ දාර්ශනිකයන් විය හැකි පිරිසකට පමණක් සීමා කොට අනෙක් පිරිස් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය , විද්‍යා හා තාක්ෂණ , ඉංජිනේරු , විවිධ ක්ෂේත්‍ර වල තාක්ෂණික ශිල්පීන් ආදිය නිර්මාණය කිරීමට යොදා ගත යුතුය. එවිට ඔවුන් විශ්වවිද්‍යාලය තුලින්ම වෘත්තීය නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියන් බවට පත් වන අතර එළියට එන විටම රැකියාවක් ලබා ගැනීම සෘජුවම කල හැකිය. ආර්ථිකයට අවශ්‍ය ශ්‍රමිකයා නිර්මාණය කර දීම තුලින් පුරවැසියා ට ජීවනාලියත් , ආර්ථිකයට දක්ෂ මානව සම්පතත් ලැබීමෙන් රට වේගයෙන් ඉදිරියට ගලා යනු ඇත. එවිට රැකියා විරහිත උපාධි දාරීන් යැයි කොටසක් මින් මතු වට බිහි නොවේ. 

උදාහරණයක් ලෙස ගත් කල, ඔබ රටේ සැලසුම් කරන ගොඩ නැගීම අනුව අවශ්‍ය වන ඉංජිනෙරුවන් ප්‍රමාණය ගණනය කරන්න. අනතුරුව එම ඉංජිනෙරුවන් ප්‍රමාණය සමහ වැඩ කිරීමට අවශ්‍ය තාක්ෂණික ශිල්පීන් ( මේසන්, වඩු, විදුලි කාර්මික, වෙල්ඩින් , ආදිය) ප්‍රමාණය ගණනය කරන්න දැන් ඒවාට අවශ්‍ය පාඨමාලා ඇති කරවන්න. මෙලෙසම රටට දොස්තරලා කීයක් අවශ්‍ය ද, එම ප්‍රමාණයට හෙදියන් කීයක් අවශ්‍ය ද ආදිය ලෙස සෑම ක්ෂේත්‍රයකටම මෙම ගණනය කිරීම කල හැකිය. එවිට ඔවුන් අධ්‍යාපන අවසන් වූ වහාම රැකියාවට යොමු වීමේ අවකාශය සැලසෙයි. 

එබැවින් ඔබ අධ්‍යාපනයේ අන්තර්ගතය රටේ ආර්ථික සැලසුම් මත සිට මෙහෙයවා ගෙන වෙනස් කරන්න. ඔබට පුලුවන් .

👉2. අධ්‍යාපනයේ ව්‍යුහයේ වෙනස් කම් මම ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්. 

අප රටේ සිසුන්ගේ දැකිය හැකි ප්‍රධානතම ලක්ෂයක් නම් පාසල් හැර යෑමයි. එක වසරෙන් පාසලට ඇතුල් වන දරුවන් උසස් පෙළ වන විට සැහෙන ප්‍රමාණයක් පාසැල් හැර ගොසිනි. සාමාන්‍ය පෙළට පෙරම සෑහෙන්න ප්‍රමාණයක් හැලී යන අතර සාමාන්‍ය පෙළින් පසුව තව කොටසක් හැලී යයි. උසස් පෙලින් විභාගයට මූණ නොදීම කොටසක් ද විභාගයෙන් අනතුරුව තව කොටසක් ද රටේ අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ නොලබාම සැඟවී යයි. විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ප්‍රමාණයෙන් ආර්ථිකයට සෘජුව දායක විය නොහැකි පිරිසක් ද පිටව යති. 

සියළුම දරුවන්ගේ බුද්ධි මට්ටම් හා හැකියාවන් සමාන නොවන බැවින් ඔවුන්ගේ විවිධත්වය තේරුම් ගෙන එකිනෙකා සතු දක්ෂතාවයන් හඳුනා ගෙන එම දක්ෂතාවයන් ඔබ නංවා ගෙන ඔවුන් සාර්ථකත්වයට තල්ලු කරනා ක්‍රමයක් අප සැකසිය යුතුය. ඒ සඳහා මා මෙලෙස ඔබට යෝජන කරමි. 

සාමාන්‍ය පෙල දක්වා රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය අනිවාර්යය කරන්න. එය රජයේ වගකීමක් විය යුතු අතර ඒ සඳහා පූර්ණ මැදිහත්වීමක් රජය දැරිය යුතුය. මේ සවහා අවශ්‍ය නීතී සම්පාදන කර ගන්න. සාමාන්‍ය පෙළින් අනතුරුව උසස් පෙළ හැදෑරීමට අකමැති , නුසුදුසු හෝ නොහැකි දරුවන් සඳහා තාක්ෂණික විද්‍යාල ඇති කරන්න. මේසන් වරුව්, වඩුවන්, විදුලි ශිල්පීන්, මිකැනික් වරුන්, ආදී බොහෝ ක්ෂේත්‍ර වලට වෘත්තීය සුදුසුකම් ඇති කරනවන නිපුණතා වර්ධනය කරවන සිද්ධාන්තමය ඉගැන්වීමක් කර සහතිකයක් ලබා ගත හැකි මට්ටමේ ක්‍රමවේදයක් ඇති කරන්න. උසස් පෙලින් අසමත් හෝ මුහුණ නොදූන් අයටද සිය අධ්‍යාපන හැකියාව මත විවිධ වෘත්තීන්ට යොමු වීමට ශිල්පීය ඥාණය හා පුහුණුව ලබා දෙන තාක්ෂණික විශ්වවිද්‍යාල ඇති කරන්න. 
එම විද්‍යාල හා විශ්වවිද්‍යාල මෙලෙස පාසල් හැර යන හෝ ඉවත් වන දරුවන් ප්‍රමාණයට ප්‍රමාණවත් විය යුතු අතර ඔවුන් සියල්ලන්ටම යම් ශිල්පීය හැකියවක් ලබා දෙන්නක් විය යුතුය. ඒ ඒ ශිල්පීය ක්ෂේත්‍ර ඔබගේ ආර්ථික උපාය මාර්ග අනුව සකසා ගත යුතුබව මා නැවතත් මතක් කරමි. 

මෙම ක්‍රියාවලිය ඇති කල පසු රටේ සියළුම දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් පුරවැසියන් බවට පත් වෙන අතර, ඔවුන් පාසැල් හැර ගිය පසු යම් වෘත්තීය සුදුසුකම් සැපිරූ ශ්‍රමිකයන් ලෙස මෙම ආයතන වලින් පිටවේ... ඔබේ ශ්‍රම බලකාය දැන් ඒ ආර්ථිකයට පණ පොවන්න සූදානම් ජනාධිපති තුමනි... 

අධ්‍යාපනයේ ඇති විය යුතු ප්‍රමාණාත්මක භෞතික වෙනස් කම් පිළිබඳව දැන් මා පැහැදිලි කරන්නම්.

👉3. ප්‍රමාණත්මක වෙනස් කම් ලෙස මා හැදින්වූයේ පාසල් පද්ධතිය තුල සිදු විය යුතු භෞතික වෙනස් කම් පිළිබඳව ය. 

රට තුල පවතින පාසල් අතර සම්පත් බෙදි යෑමේ දැඩි විෂමතාවයක් පවතින අතර අන්ත දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් පමණක් යන අන්ත දුප්පත් පාසල් මෙන්ම රටේ බොහෝ පොහොසතුන්ගේ දරුවන් යන සුපිරි පාසල් දක්වා රට තුල පාසල් අතර සම්පත් බෙදීයාම අනුව දැඩි වෙනස් කමක් පවතී. මේ තත්ත්වය අධ්‍යනය කර සුපිරි පාසල් මට්ටමට නොවුනත් රටේ සියළුම පාසල් වලට අවම පහසුකම් නිර්මාණය කිරීමේ වගකීම ඔබ සතුය. 

මෙයද ගණනය කර කළ හැකි විද්‍යාත්මක කාර්‍ය්යක් බව මා ඔබට පෙන්වා ද්නු කැමැත්තෙමි. 

අප රටෙහි මේ වසරේ ඉපදෙන දරුවන් ප්‍රමාණය ගණනය කර ගැනීමට උපත් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේන් ඔබට පහසුවෙන් හැකියාව ලැබේ. එසේනම් තව අවුරුදු පහකින් ඒ ප්‍රමාණයට රටේ ප්‍රාථමික පාසල් වල එක වසරේ සීට් ප්‍රමාණයක් තිබිය යුතුය. දැනට පවතින එම සීට් ප්‍රමාණය ගණනය කර , ඒවා මදි නම් ඔබ එම පහසුකම් සෑදීමට දැන් මම සැලසුම් සකස් කරන්න. එවිට දරුවා ලොකු වී ඉස්කෝලේ යෑමට සැරසෙන විටම ඔවුන් වෙනුවෙන් පහසුකම නිර්මාණය වී තියේවී. පාසල් වල අනෙකුත් පහසු කම් ද, උසස් පෙළට දරුවන් කීය ද, තාක්ෂණික විද්‍යාල හා විශ්වවිද්‍යාල වලට දරුවන් කීය ද ආදී වශයෙන් ගණනය කිරීමේදී මේ වසරේ උපදින දරු පරම්පරාවට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ඔබට ප්‍රක්ෂේපණය කර ගත හැකි වෙනු ඇත. ඒ අනුව එය සැකිල්ල කර ගනිමින් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ භෞතික වෙනස් කම් සංවර්ධන කිරීමට ඔබට පිළිවෙන. 

අන්ත දුප්පත් දිරා ගිය ගොඩ නැගිලි සහිත පරණ පාසල් වසා දැමීමට ඔබ පසු බට නොවන්න. නිසි පරිදි ඔබ සතු සම්පත් කළමනාකරණය කර ගන්න. ඔබ නවීන පන්නයට හිතන්න. ලෝකය සමග ගමන් කල හැකි පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය නූතන දැනුම පාසල් තුලට ගෙන එන්න. 

ඔබට තව මා විශේෂ යෝජනාවක් කරන්නම්. කොළඹින් පිට වන ප්‍රධාන පාරවල් 5 සහ පිටත වට රවුම් අධිවේගය ඇසුරු කොට ප්‍රධාන පාසල් 5 ක් අලුතින්ම ගොඩ නගන්න. නෙළුම් කුළුණ , මත්තල ගුවන් තොට, සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ආදියට වියදම් කලා මෙන් ණය මුදලක් ගෙන විශාල ප්‍රමණයේ ප්‍රධාන පාසල් 5 ක් අලුතින්ම හදන්න. දරුවන් 20,000 ක් පමණ අලුතින් බඳවා ගත හැකි මට්ටමේන් මෙම පාසල් සමන්විත විය යුතුය. ඒම පාසල් වලට කොළඹ පොඩි පොඩි ඉස්කෝල වල දරුවන් බඳවා ගන්න. රටේ ඈත කොන් වල සිට මහ පාන්දර නැගිටගෙන ඉස්කෝලේ ඇවිත් කොළඹ ට්‍රැෆික් එකේ ඉස්කොල වෑන් වල ජීවිතය ගෙවා දමන දරුවන් මෙම නව පාසල් වලට බඳවා ගන්න. කොළඹ ට්‍රැෆික් එක අඩු කිරීමට ද කොළඹ අසු මුළු වල ඇති කුඩා පාසල් වල දරුවන් ට හොඳ පාසලක් ලබා දීමටද වෑන් වල කොළඹ රස්තියාදු වන දරුවන්ගේ ජීවිතය ප්‍රකෘතිමත් කිරීමට ද එම ඉඩම් වඩා හොඳ සංවර්ධනයකට යෙදවීමට ද එයින් හැකි වේවි. 

මේ සංවර්ධන උපාය මාර්ගය මා අංක 2 ලිපියේ සඳහන් කල අනාගත සුපිරි ජනාවාස සැලසුම් වන භූමි වල සැලසුම් විය යුතුය. රටේ අනෙකුත් ප්‍රදේශ වලට ද මවන් පාසල් අවශ්‍යතාවය පරිදි ඇති කරන්න. රටේ සියළුම දරුවන්ට පාසලක් තුල සීට් එකක් වෙන් කරන ක්‍රමයකට ගණන් බලා අපි සැලසුම් සකස් කල යුතුය. එම සීට් එකේ අවම ගුණාත්මකභාවය නිර්ණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටිය යුතු අතර ඔබ ඒ සඳහා නියාමන ක්‍රමවේද ඇති කල යුතුය. ක්‍රමයෙන් වර්ධනය වන ආර්ථිකයෙන් මේ සඳහා සහය ඔබට ලැබෙනු ඇත.

👉4. වර්තමානය වන විට රට තුල අන්තර්ජාතික පාසල් විශාල ප්‍රමාණයක් පවතින අතර ඇති හැකි පවුල් වල දරුවන් විශාල ප්‍රමාණයක් එම පාසල් වල අධ්‍යාපනය ලබයි. ඔබේ අධ්‍යාපන සැලසුම් වලට එම පාසල් පද්ධතිය ද ඇතුලත් විය යුතුය. 

රජයේ පාසල් වලින් ප්‍රමාණවත් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කල නොහැකි නිසා, හොඳ පාසලකට දරුවන් ඇතුලත් කර ගත නොහැකි වූ දෙමාපියන් මෙලෙස සිය දරුවන් අන්තර්ජාතික පාසල් වෙත යවා අධ්‍යාපනය ලබා දෙයි. එහි වරදක් මා නොදකිමි. ඔවුනට තෘප්තිමත් අයුරින් රජයේ පාසලේ අධ්‍යාපනය නොලැබේ නම්, මුදල් ගෙවා එය ලබා ගැනීමේ වරදක් නොමැතිය. 

නමුත්, ඒවා අන්තර්ජාතික පාසල් යැයි කියා එම දරුවන් රජයේ වගකීමෙන් නිදහස් නොවේ. ඒ දරුවන් ද මේ රටේ අනෙකුත් දරුවන් සේම සම අයිතියක් දරණ දරුවෝ ය. එබැවින් අප ඔවුන් වෙනුවෙන් ද අපගේ ප්‍රතිපත්තිය සකා කර ගත යුතුය. 

අන්තර්ජාතික පාසල් වල විෂය නිර්දේශය අන්තර්ජාතිකව පිළිගත් සියල්ලන්ටම පොදු එකක් කරන්න. එම දරුවන්ට පාආල් අධ්‍යාපනයෙන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුලත් වීමට අවකාශ හෝ එම දරුවන්ට මෙරට් තුල සිටම උසස් අධ්‍යාපනය ලබා ගත හැකි විශ්වවිද්‍යාල පහසුකම් පිළිබඳව කලෙක පටන් හිඩැසක් පවතී. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ එම දරුවන් විශාල ලෙස මුදල් ගෙවා විදේශ රට වල අධ්‍යාපනය සොයා ඉගිල යාමත් , ඔවුන් බහුතරයක් ආපසු නොඒම නිසා බුද්ධි ගලනය ලෙස අපේ දක්ෂ දරුවන් අපට අහිමි වීමත් ය. දරුවා රටට මෙන්න දෙමාපියන් ගෙන් ඈත් වීම දඑසේ නැතිනම් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය නොලබා රට තුල අතරමං වීම ද සිදු වෙයි. එබැවින් අප මේ සඳහා විශේෂ උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතුය. ගුණාත්මක පුද්ගලික විශ්වවිද්‍යාලය ක්‍රමයක් ඇති කිරීම හෝ එම දරුවන්ට රජයේ විශ්වවිද්‍යාල වල දොරටු විවර කිරීම කල යුතුය.

👉5. පස් වන කරුණ නම් ආගම , ජාතිය අනුව වෙන්වූ පාසල් හෝ විශ්ව විද්‍යාල වල පැවැත්ම අත් හිටුවීමයි.

අප රට තුල පොදු අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතු අතර ඒ අධ්‍යාපන ක්‍රමය ජාතිය, ආගම හෝ ජන වර්ගය මත වෙනස් වීම සිදු නොවිය යුතුය. සාමාන්‍ය පෙල දක්වා දරුවන් පාසල් අධ්‍යාපනය ලැබිය යුත්තේ රටේ පොදු විෂය පථයට සමගාමීව ය. විවිධ ජාතීන්, ආගම් හා ජන වර්ග අනුව පාසල් හෝ විශ්වවිද්‍යාල ඇති වීම වැළැක්වීය යුතු අතර ඇති වී තිබෙන පාසල් ඉක්මනින් වෙනස් කොට පොදු දහරාවට අනුයුක්ත කර ගත යුතුය. සියළුම පාසල් ඇතුලත ඒ ඒ ජන වර්ග වලට අදාලව ඔවුන්ගේ මව් භාෂාව හා ආගම ඉගෙන ගැනීමට අවකාශය සළසා දිය යුතු අතර එම උගන්වන දෑ පොදු එකඟතාවක් මත නියාමනය කිරීම රජයේ වගකීමකි. 

👉6.පාසල් ඇතුලත උගන්වන භාෂාව ක්‍රමයෙන් අප ඉංග්‍රීසියට යොමු කර විය යුතුය. 

ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ද කණිෂ්ඨ අධ්‍යාපනය වැඩි වන සේ ක්‍රමයෙන් ඉංග්‍රීසියෙන් ද උසස් අධ්‍යාපන ඉංග්‍රිසියෙන් ද ලැබෙන ක්‍රමයක් අප අනුගමනය කල යුතුය. 

ලෝකයේ දැනුම ජනිත වී ඇත්තේ බොහෝමයක් ඉංග්‍රීසියෙන් බවද ඒවා පහසුවෙන් අධ්‍යනය කිරීම ද , එතනින් එහාට වැඩි දුර දියුණු කිරීමද කල හැක්කේ ඉංග්‍රීසියෙනි. 

අප කුඩා ජාතියක් බැවින් වීනයේ , ජපානයේ , කොරියාවේ මෙන් ඔවුන්ගේ භාෂාවෙන්ම රට දියුණු කිරීමට සිතීම ප්‍රායෝගික නොවේ. එබැවින් අප යම් දිනෙක, යම් යම් ප්‍රමාණවලින් ඉංග්‍රිසිය අපේ වැඩ කරන භාෂාව බවට පත් කර ගත යුතුය. 

අපේ මව් භාෂාවන් සුරැකිව රකින ගමන්, එම භාෂාවන් පාසල් තුල උගන්වන ගමන් අප සාමාන්‍ය පෙලින් අනතුරුව, උසස් අධ්‍යාපනය හා රට තුල වැඩ කරන භාෂාව ලෙස ඉංග්‍රීසි පිළි ගැනීම කල යුතුය. 

අප මෙය නිල වශයෙන් නොකලත් මේ වෙනස සෙමින් සිදු වෙයි. රට තුල අන්තර්ජාතික පාසල් වැඩි වීමත්, පුද්ගලික අධ්‍යාපන ආයතන බහුල වීමත්, පුද්ගලික අංශය සම්පූර්ණයෙන්ම වාගේ ඉංග්‍රීසියෙන් වැඩ කිරීමත් මේවාට උදාහරණ ය. ඉංග්‍රීසි නොදැනීම රැකියාවකට යාමට අප තරුණ පරම්පරාවට ඇති ප්‍රධාන බාදකයක් වී ඇත්තේ ය. එසේ නම්, අප එය පිළිගත යුතුව ඇත. අප ඉංග්‍රීසි භාෂාව ක්‍රමයෙන් රට තුල ස්ථාපිත කල යුතුව ඇත. එය එක වර සිදු වන්නක් නොවිය යුතුය. එය වසර් 5-10 ක් පමණ කාලයක් ඇතුලත ඊට අවශ්‍ය සම්පත් හා පරිසරය සකසමින් දරු පරම්පරාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් සිදු විය යුත්තකි. එය අද හෝ හෙට සිදු විය යුතුමය.

 එහි ප්‍රමාදය රටේ ප්‍රමාදයට අනුලෝමව සමානුපාතික යැයි කිව හැකිය.

එබැවින්, ඔබ සිතන්න. ඔබට තනිවම මෙය කල හැක්කක් නොවේ. මෙය සිදු කිරීමට ඔබට අත්‍යාවශ්‍යම සාධකය නම් මෙය කළ හැකි දක්ෂයෙකු මෙහි නියමුවා කර වීමය. Meritocracy හෙවත් දක්ෂයාට තැන දීම යන ප්‍රතිපත්තිය ඔබට මෙහිදී වැදගත් වේවි. නෑයන්ට ආයතන වල ප්‍රධාන තැන් දෙන ක්‍රමයක් ඔබට මෙවන් දේ කල නොහැකිය. මා මේ ඔබට දෙන වැදගත්ම පණිවිඩයයි. දක්ෂයෙකු පත් කර ගෙන මෙය භාර දෙන්න. 

ඔබට පුලුවන් 
අපිට පුලුවන් 

පැතුම් .
(පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )

https://m.facebook.com/story.php?story_fbid=10215772503682034&id=1127212983

No comments:

Post a Comment